Thursday, July 14, 2011

නිශ්මි බාලෙ ගිය පාරේ...ඒක ෆාතිමා පාරද?


අපියන්නේ කොයි පාරේ නිශ්මි බාලෙ ගිය පාරේ..අපි යන්නේ කොයි පාරේ ත්‍රිමා වෙනුර ගිය පාරේ යැයි කියවමින් කැම්පස් සිසුන් පාරේ යනු ඔබ දැක ඇති..හද්දා පරණ යල් පැනගිය ඒ පැරණි සටන්පාඨ පිරිත් සේ තවමත් වාමාංශික යැයි තමුන්ම කියා ගන්නා සිසු පරපුර විසින් තවමත් සජ්ජායනය කරති.. කිසිත් නොදන්නා අලුත පැමිණෙන සිසුන් බහුතරය “ඒ අයියා මාර ගතී සටන්වලට මයි කැමතී” කියා අයියලා පස්සේ යති..ටික කාලයක් ගිය පසු ඔවුන්ගේ පොරවාගත් සිංහ සම යටින් වල්ග කන් පේන විට බෝ සිසුන් විසින් මොවුන් අත හරිති..මා බාලසූරිය නම් සිසුවා ගැන නොකියමි. නොදනිමි.. එහෙත් නිශ්මි ගැන ඇති දහසක් එකක් වූ ‍තොරතුරුවලින් බිඳක් කීමට සැරසෙමි..

නිශ්මි නමින් මෙන්ම උපන් ජාතියෙන්ම මුස්ලිම් ඇත්තෙකු විය..එහෙත් නම හැරුන කොට ඔහු මුස්ලිම් යැයි හඳුනා ගැනීමට කිසිවක් නිශ්මි තුල පසුකලෙක ඉතිරි නොවීය..නිශ්මි සිටි කල අද මෙන්වත් නිදහස් යුගයක් නොවීය..රට තුලම එකිනෙකා සතුරන් ලෙස දකින පිරිස් සිටි සමයක ඉපදීමට තරම් නිශ්මි අවාසනාවන්ත විය..අධ්‍යාපන ධවල පත්‍රිකාව නැමැති පනත හරහා අධ්‍යාපනය පෞද්ගලිකරණය කිරීමට ගිය අවස්ථාවේ ඒ පණත ගෙන එකින් එක විස්තර කරම්න් අඩු පාඩු පෙන්නා දීමට තරම් නිශ්මි දක්ශයෙක් විය..ඒ නිශ්මි පාසැල් ගිය සමයයි..රත්නපුර ඇලෝසියස් විදු පියස නිශ්මිගේ පාසැල් අධ්‍යාපනයේ දෙවන අදියරට සහය දුන් පාසැලයි..
මෙසේ මුලින් පටන් ගෙන මරණයෙන් කෙළවර වන ආකාරයට ලියාගෙන ගියොත් මෙය පොතක් වනු ඇත ඒනිසා කුඩා මාතෘකා ලෙස ලියනු ඇත..

නිශ්මි ජේ වී පී ද?
නිශ්මිට සිය පාසැල් සමයේදී එක්තරා ගුරුවරයෙකු මුන ගැසෙනු ලැබේ ඔහු විසින් සොයා දෙනු ලැබු මඟ ඔස්සේ ගමන් කරන නිශ්මි පසු කලෙක ජනතා විමුක්ති පෙරමුණ සමඟ එකතු වන දේශපාලන මඟක් ගනී..අද පවතින ජනතා විමුක්ති පෙරමුණට වඩා එහා ගිය දැක්මක් සහිත දේශපාලනයක නිරත වු ජනතා විමුක්ති පෙරමුණ එකල සක්‍රිය දේශපාලන ප්‍රවාහයක් විය..එහෙත් 1989 දි ඇතිවු විප්ලවය ඒ සමයේදි ක්‍රියාත්මක වීම හුදෙක් සිසු අරගලවල නිරත බෝ පිරිස් වල මතය වූවා මිස ජේවිපි නායක වු විජේවීර ඒ කාලයේදි අරගලයක් අපේක්ශා නොකල බව කියැවේ..නිශ්මි ජේවිපි වුවත් ඒ පක්ශය තුල වූ සීමා මායිම් වලට නොබියව මුහුන දුන් පක්ශය තමන්ට රිසි සේ තනා ගැනීමට තරම් සමතෙක් විය..දරුණු නීති වලින් සපිරුන ජේවිපී අන්තයට නිශ්මි විසින් මානුෂික මුහුනුවරක් දීමට උත්සාහ කරන ලදී..කිසි‍විටක කියන දේ අසාගෙන සිටින සම්මතයට අයත් නොවූ නිශ්මි ප්‍රශ්ණ ඇසීමෙන් සිය මේන්ම අන් අදහස් තහවුරු කරගැනීමේ දක්ශයෙකු විය..

අනුන්ට ඇහුම් කන් දීම..
එකලද අද මෙන් පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ සිසු බලවේග කීපයක් ක්‍රියාත්මක විය..ඒ සිසු බලවේග සියල්ල එක්කර මෙහෙයවීමේ බලයක් නිශ්මි සතු විය..සිසුන් සියල්ල එක්කර අක්බාර් සාලාව නැමැති තැනදී නිශ්මි විසින් පවත්වනු ලබන කතාව,  සියල්ලන්ටම උත්තර ලැබෙන පිළිතුරු පත්‍රයක් මෙන් වූ බැව් එවකට විශ්වවිද්‍යාලයේ සිටි බෝ දෙනාගේ මතය විය..

අදාල නොවෙන්නන් ඉවසීම..
නිශ්මි සාමාන්‍යන් මිතුරන් මිස සතුරන් ඇතිකරනොගත් සිසු නායකයෙක් වෙයි..ඔහු කිසිවිටෙකත් බලෙන් සිය පක්ශයට හෝ සංවිදානයට මිනිසුන් බඳවාගත්තේ නැත..”ඉස්සර නිශ්මි හමු උනාම ගොඩක් දේවල් කථාකරනව නමුත් අපිට කවදාවත් එයා එක්ක එකතු වෙන්න කියල බල කිරීමක් තිබුනෙ නෑ..” දැනට ත් පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ උගන්වනු ලබන නිශ්මිගේ සමකාලින සොයුරියක් නිශ්මි ගැන කියන්නේ ‍එසේය..අප සියලු දෙනාම සාමාන්‍යයෙන් පෘතග්ජන පුද්ගලයින් ලෙස අපේ මතයට එරෙහි වන අයට එරෙහිව ඇඟිල්ලක් හෝ එසැවීමට ආසා කෙරෙති..නමුත් නිශ්මි තුල තමාට අදාල නොවෙන්නන් හට මත එබ්බවීමට යෑමක් නොතිබුනු බව ඔහුගේ සමකාලිනයින් බෝ දෙනකු පවසා ඇත..

පිදිය යුතු අය පිදීම..
නිශ්මි පාසැල් කාලයේ සිට මියෙන තුරුම විවිධ සටන් සඳහා පෙරමුණ ගත්තත් ඔහු කිසිවිටක ගුරුවරුන්ට ඇමැතිවරුන්ට වැරදි ලෙස ආමන්ත්‍රනය කරන්නේ නැත..අවසන ඔහු සමඟ කාලයක් වාද කල මත ගැටුම් ඇති කරගත් මහාචාර්ය අලුවිහාරේ මහතා කඳවුරුවල මිනීමත නිශ්මි සොයන්ට යන්නේත්..මේ රට ඔබට සුදුසු නොවේ යැයි නිශ්මි භීෂනයට අසු වේයැයි බියෙන් එවකට අධ්‍යාපන ඇමැති විසින් නිශ්මිව රට යැවීමට තනන්නේද ඒ පුද්ගලයින්ගේ මතවලට සහ ඔවුන් විසින්ගෙන එන ඔවුන් අකමැත්තෙන් හෝ මූලික වන දේවලට එරෙහි වනවා මිස මිනිසුන්ට එරෙහි වීමේ නිසරු කම නිශ්මි විසින් මනාලෙස අවබෝධ කරගන්නා ලද නිසාය..

ගවේශනාත්මක බව..
කිසිවෙකුගේ බලකිරීමකින් තොරව ඔහු විසින්ම අවබෝධ කරගන්නා ලද කරුනු සහිත ආකර්ශනිය කතා බහ ශෛලියක් නිශ්මි සතු විය..එහෙත් සියල්ලම කතාවෙන් වැසීමේ මෝඩ වර්ථමානයේ ජනප්‍රිය වාද ශෛලිය ඔහු කෙරේ නොවූ බව ඔහුගේ සටන්වලින් පෙනීයයි..එවකට වෙනත් මන්ඩපයක තිබු කලා පීඨයක් පේරාදෙනිය සරසවිය වෙත අනුයුක්ත කරන ලෙස කල ඉල්ලීමේදි පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ ඇති ඉඩ පහසුකම්..ඒ අය දැන් එම ස්ථානයේ ගෙවන දිවිය ගැන සංඛ්‍යාලේඛන සහිත දත්ත පූර්න වාර්තා තමන්ටත් වඩා මැනවින් ඉදිරිපත් කිරීමට එවකට ඉංජිනේරු සිසුවකු වූ නිශ්මි සමත් වූ බව එම කලාපීඨයේ සිසු සංගම් නියෝජිතයෝද පසු කලෙක පවසා තිබුණි..මහා දත්ත වාර්ථා විසාල ෆයිල් කවර තුලින් ඔහු සමඟ මීටින් වලට නොගියත් ඹහුගේ අසාමාන්‍ය හැකියා ව ඒ සියල්ලෙන් සම්පූරන එකක් විය..

සගයින්ගේ පෞද්ගලික ජීවිතය ගැන සංවේදි වීම..
නිශ්මි කිසියම් කර්තව්‍යකට පුද්ගලයෙක් ‍තෝරාගන්නා විට ඔහු ගේ පෞද්ගලික දිවිය ගැනද විශේෂයෙන් සලකා තිබු බව පෙනේ..පවුල්බර වැඩි එකම පුතාලෙස කැම්පස් පැමිණි කිහිපදෙනෙක්ට තමා පසුපස නොඑන ලෙස නිශ්මි බලකර කියු බවත් එසේ කීප දෙනෙක් එලවා ඇති බවත් නිශ්මි ගැන පසු කලෙක අදහස් දක්වන සිසු කැල දක්වන්නේ හද පිරි ‍හෘදයාංගම දුකකිනි..කිසියම් නිවසක රාත්‍රිය ගතකරන්නට ගියත් ඒ ගෙදර ඇත්තන්ගේද හිතවතෙකු බවට නිශ්මි පත්වෙනවා විනා ඔවුනට නිශ්මි යනු තවත් පුතාගේ යහලුවෙකු නොවේ..යම් අවස්ථාවල අහිංසක සිසුන් අත් අඩංගුවට පත් වූකල ඒ අය බේරාගැනීමට සෘජු ලෙසම පෞද්ගලිකව මැදිහත් වී ඇති නිශ්මි එසේ මුදාහල පිරිස්ද ඒ අයුරින් නිදහස් වීම් නොවුවා නම් අද ඔවුන් සමහරෙක් දිවි අතර නොවන්නට විය හැක..

කුල වාදයෙන් තොර වීම..
මේ කියනු ලබන්නේ සමාජිය කුල නොවේ..සරසවියක් තුල බැජ් ලෙස විශයන්ලෙස වෙනස් මත ඇති කන්ඩායම් ලෙස වන බෙදීම් අදද සරසවි වල දකින්නට ඇත..නමුත් තමුන් සමඟ එකට සිගරට් එක ගහන්ට එන නිශ්මි සැනෙන් වෙනස් වී සිගරට් කන්නට කිවු බව නිශ්මිට පහල බැජ් ‍එකේ සහෝදරයෙක් පවසා ඇත..එසේම සිය ඉංජිනේරු සිසු ප්‍රශ්න මෙන්ම ආට් සිසුන් සයන්ස් සිසුන්ගේ ප්‍රශනද නිශ්මිට සැබෑ ප්‍රශ්න විය..විස්ව විද්‍යාලයේ සිටි මයිනර් ස්ටාෆ් එක නිශ්මිගේ යාලුවන් වූවා මිස ඔවුන් මයිනන් ලෙස නිශ්මි ළඟදි අවමන් ලැබුවේ නැත..එසේම පසුකලෙක නිශ්මි සතු වූ මොටෝ බයිසිකලය නිශ්මිට කැම්පස් එකෙන් පිටදී  වෘත්තීය අරගලයකට දායක වූ විට ලැබුන එකක් විය..නිශ්මිගේ මානව හිතවාදයට මගේ පවුල,බැජ් එක,මගේ කැම්පස් එකක් නොවීය..වෙනත් එවකට පැවති සරසවි ප්‍රශ්ණවලටත් නිශ්මි පොරක් ලෙස නොව හිතවතෙක් ලෙස සහාය දුන් බව සමකාලින වෙනත් සරසවි සිසුන් නිශ්මි ගැන පවසා ඇත..

ආදර්ශය පරම කොට සැලකීම..
තමන් නායකයෙක් බව කිසිවකු කියනවාටවත් නිශ්මි අකමැති විය..නිශ්මි වරක් උදේ කෑමට ප්‍රමාද වී පැමිණෙයි..එවිට පේරාදෙනියෙ සරසවියේ සිසුන් එහි සිට කෑම පිසගෙන කෑ යුගයයි..එවිට ඒවන විටත් දිවා ආහාර පිණීස පිසෙමින් තිබු ව්‍යංජනයක් නිශ්මි වෙත ශිෂ්‍යාවක විසින් බෙදනු ලබයි..එවිට වහා කිපෙන නිශ්මි එසේ අනික් අයට නොලැබෙන දේ තමාට ද වි‍‍ශේෂයෙන් එපා යයිද මින් මතු මෙවන් දේ සිදු නොවිය යුතු බවද පවසා ඇත..

නිර්මාණශිලිත්වය..
කලක් ඔහේ බලා සිටින පෝස්ටර ඒ වාක්‍ය වලින් ම යලි පණ පොවනු වෙනුවට නැවුම් අදහස් වලින් පුරවාලීමට නිශ්මි පුරෝගාමි විය..එවකට පේරාදෙනිය සරසවිය තුල සිසු ස්මාරක තැනීම අලංකාර ච්ත්‍ර ලෙස ආකර්ශනීය ආකාරයට අරගල ඉදිරිපත් කිරීමට නිශ්මි මූලික වන ලදී..ඔහු යමක් කලක් එකතැන පල්වෙන අයුරින් තිබෙනු අකමැති පුද්ගලයෙක් වූ බව ඔහුගේ සහෘදයින් මෙන්ම ඔහු දන්නා සියලු දෙනා ම කියා ඇත..නන්දා මාලනි ඇතුලු විරු ගී සෙට් එක මෙන්ම වෙනත් ගීගැයුම් වැයුමෙහි දක්ශයින්ට අවැසි වටපිටාව සරසවිය තුලත් ඉන් පිටත් සලසා දීමට නිශ්මි සමත් විය..

පොදු දේපල පිළිබඳ ආකල්ප..
ළිං පිරිසුදු කිරීම තින්ත ආලේප කිරීම..ඩෙස් බංකු තැනීම ආදි සුලුවැඩ සසුන් විසින්ම කලාට අවුලක් නැති බව නිශ්මිගේ අදහස වීඇත..එය ඒ ආකාරයෙන් ම ක්‍රියාත්මක වී නිශ්මි මූලික වී සමහරක් ශ්‍රමදාන පවා විශ්ව විද්‍යාලයය තුල ඇති වුබව එවක විශ්ව විද්‍යාලයීය අනධ්‍යන කාර්ය මණ්ඩල පවා පිළිගන්නා සත්‍යකි..

සංවිධාන හැකියාව
නිශ්මි තුල ගායකයෙක් කඳු නගින්නෙක් ද වූ බව ඔහුගේ මිතුරන් පවසති..සරසවියේ චාරිකා සංවිධානය කිරීම් වෙනත් කලා උත්සව සංවිධානය කිරිමේදිත් නිශ්මි සතු විශාල පුද්ගලයින් සංඛ්‍යාවකින් යුත් ඔහුගේ නිම නොවන විවිධ ජාති ආගම් වයස් වල වූ මිතුරු පිරිස උපකාර කලෝය..දේශපාලනය මෙන්ම ගැටලුවලදීත් සාමාන්‍ය බහුතරය මෙල්ල කල හැකිි අසහාය ප්‍රායෝගික බවක් නිශ්මිතුල වූබව ඔහු ගෑ වී ගිය තැන්වල සිටි පුද්ගලයින් පවා සාක්ශි දරයි..

නිෂ්මි අපගේ අතීතය විසින් මරා දමා ඇත..
කෙනෙක් එවක රජයට දොස් කිව හැක එහෙත් එය එසේ ම නොවේ.. රජය අවි ඔසොවන්නට හේතු වූ අසාර්ථක දේශපාලන ව්‍යාපෘතිද හේතු වූවා විය හැක..ඉවක් බවක් නොමැතිව මරා දැමීම නම් එදා මෙන්ම අදද සිදුවේ..එදා ජේවිපි කාරයින් ඔවුන් විය..අද පාතාල, අභිරහස් මරණ ලෙස විභාගයෙන් තොරව මරාදැමීම් සිදු වෙයි..
මේ ඇත්තේ අපිට වගකියන අපේ රජයකි..‍මේ වගකීම පාට පක්ශ සහ 18ට වැඩි යන සියලු දෙනාටම ලාංකිකයෝ ලෙස හිමිය..
නිශ්මි ගැන ලියවුන පොතක් ඇත..

සැඩ සුළඟ සහ මද පවන එහි නමයි..
මහින්ද සෙනරත් ගමගේ සහ අනිල් ජයරත්න මහතා ඒ පොතේ කතුවරුන් වේ..
නුගේගොඩ කියවන නුවණ පොත්හලෙන් සහ සරසවි පොත්හලෙන් මේ පොත ලබාගන්න පුලුවන්..කිසියම් උපුටාගැනීමකට නිශ්මි ගැන විස්තර අවැසි නම් මේ පොත බලන්න.. මම කියල තියෙන දේවලට වඩා පැහැදිලිව උදාහරණ සහිතව මේ පොතේ විස්තර තියෙනව..
පොතේ අංකය:- ISBN 978-955-51376-0-7
ඒ කතු තුමකු‍ගෙ ඊ මේල් එක: mahinda.sayuri@gmail.com



16 comments:

  1. ඇත්තටම තවමත් නිශ්මි වගේ අයට සුදුසු රටක් නෙවෙයි මේක.

    ReplyDelete
  2. අවසානය කුමක් වූවත් වටිනා චරිතයක්...

    ReplyDelete
  3. කොච්චර හොඳ කෙනෙක් කිව්වත් ජේ.වී.පී නම් සමාජයට පිලිලයක් වෙන්න ඉස්සෙල්ලා මැරුව එක හොඳයි.

    ReplyDelete
  4. ඇනෝ මල්ලි සමහර මිනිස්සු නියෝජනය කරන්නෙ යුගයක්..
    ඒ අය කියන්නෙ පක්ශම නෙමෙයි..
    ඇතුලත්මුදලි,ගාමිණී,විජය,විජේවීර,ප්‍රේමදාස ල හිටියනම්
    නිශ්මි,ත්‍රිමා,වෙනුර,ගමනායක,හිටියනම්...
    පේමකීර්ති,කදිරගාමර්,නීලම් තිරුචෙල්වම් හිටියනම්..
    අද මේ තියන තත්වෙ නෙමෙ රට තියෙන්නෙ..
    පක්ශ කියන්නෙ මිනිස්සු..
    යෝදයො නැති පාංකඩ මමි විතරක් ඉන්න දැන් කාලෙට වඩා වෙනස් වෙන්න තිබුන ඔවුන් හිටියනම් හැම පක්ශෙම..
    හැම දේශපාලනයම..
    ඔවුන්ගේ මතය මිසක් ඒ වෙනුවට එය නියෝජනය කරන මිනිසා හෝ මිනිසුන් නෙමෙයි නැති කරන්න ඕනි ...

    ReplyDelete
  5. අපේ එක ඉංජිනේරු ශිෂ්‍ය සංගම් සභාපති කෙනෙකුට ආචාර්ය වරයෙක්ගෙන් අපහාස නඩුවක් වැටුනා. රැස්වීමකදි ආචර්ය වරයාට මේ මනුස්සයා, මේ මෝඩයා, මේ තිරිසනා කියන වචන වලින් ආමන්ත්‍රණය කළා කියල . වෙන කොහේවත් නෙවෙයි නිශ්මි හිටපු පේරාදෙණියෙ ඉංජිනේරු පීඨයේ අක්බාර් ශාලාවෙදිම තිබ්බ රැස්වීමකදි ඕක වුණේ .

    ReplyDelete
  6. නිශ්මි ගැන කියවීමට බොහෝ දුරට එකඟ විය හැකි වුනත් ජවිපෙ සන්නද්ධ අරගලය විජේවීරගේ අවශ්‍යතාවයක් නොවේය කීම ඇඟ බේරා ගැනීමකි. 71 දාපු බබා පාට් එකමය.

    ReplyDelete
  7. නිශ්මි ගේ තිබ්බ හොද ගතිගුණ ඔහු පෙනී හිටිය පක්ශයටත් තිබ්බා නම් කොච්චර හොදද?

    ReplyDelete
  8. ඒ කාලෙ නන්දා මාලනියි සුනිල් ආරියරත්නයි විරු ගී කියමින් වියලිලා තිබුන තරුන ජීවිත විප්ලවීය මායාවෙන් අවධි කරල පුච්චල දමන්න දායක උනා...

    ඒ වෙලාවෙ වික්ටර් රත්නායක වාගෙ අය නන්දා සුනිල් ඇවිලවීමේ ව්‍යායාමයට දැඩි ලෙස විවේචනය කලා..

    අද සෝක් බබාල උනාට එදා එයාල එහෙමයි..එදා උනු දේට විජේවීර කියන කෙනා විතරක් නෙමේ ඒ තත්වෙට තරුණයො ඇදපු පක්ශ විපක්ශ සියලු දෙනා වග කියන්න ඕනි...

    ReplyDelete
  9. "ඒ අය කියන්නෙ පක්ශම නෙමෙයි....
    පක්ශ කියන්නෙ මිනිස්සු..."

    මෙන්න මේක තේරුම් ගන්න මිනිස්සු ටිකක් පරිණත වෙන්න, සමාජයේ යම් යම් වගකීම් දරලා එව්වායේදී මිනිස්සු හැසිරෙන හැටි තේරුම් ගන්න, ඕනෑ කියලා මට හිතෙනවා...

    මුලු ලියමනේම තිබිච්චි දේ අර පේලි දෙකේ කැටි වෙලා තියෙනවා...

    ReplyDelete
  10. //සමහර මිනිස්සු නියෝජනය කරන්නෙ යුගයක්.//
    සහතික ඇත්ත. නිශ්මි එහෙම කෙනෙක්

    ReplyDelete
  11. කියවා දැන ගැනීම විනා නිශ්මි,ත්‍රිමා,වෙනුර,ගමනායක වගේ අය පිළිබඳ නැවත අප සමාජයේ අසන්නටවත් ලැබෙයි ද යන්න ගැටළුවක්. ඒත් එවන් අය බිහිවුනත් සිදුවන ඉරණම පෙර ඔහුන්ට සමාන නම්..........!
    (හරියටම වසරකට පසු indi සහෝගේ බ්ලොග් අඩවියට අදහසක් දැම්මේ. ලිපි ආර පොත් යුගයකට වෙනස් වෙලා කියල හිතෙනවා.ගොඩක් වටින ලිපි ටිකක්, අමතක කරන්න එපා, අදහස් නොදැක්වුවාට ලිපි ටික නම් කියැවෙනවා)

    ReplyDelete
  12. This comment has been removed by the author.

    ReplyDelete
  13. This comment has been removed by the author.

    ReplyDelete
  14. නිශ්මි, අනධ්‍යයන කාර්ය මන්ඩලයේ ගැටලු වලට විසදුම් අරන් දීල තියෙනවා පාලකයන් එක්ක කතා කරලා..ඒකට ගරු කිරීමක් ලෙස අනධ්‍යයන කාර්ය මන්ඩලය නිශ්මිට ස්කූටර් එකක් අරන් දීලා තියෙනවා

    ReplyDelete
  15. නි්ෂ්මි - සැඩ සුළග මද පවන කෘතියේ මුද්රිත පිටපත් සියල්ල අවසාන විය. එහෙත් මේ කෘතිය, සමාජය යහපත් තැනක් කළ යුතුයැ යි සිතන සැම කෙනෙකු විසින් ම කියවිය යුතු එකකැයි අප සිතන හෙයින් එය සැම කෙනෙකුට ම නොමිලේ බාගත කොටගෙන කියවිය හැකි පරිදි අපගේ www.sayuribooks.com වෙබ් අඩවියෙහි බහා ඇත්තෙමු. එහි නොමිලේ කියවිය හැකි පොත් යටතේ බලන්න. - මහින්ද සෙනරත් ගමගේ

    ReplyDelete
  16. නි්ෂ්මි - සැඩ සුළග මද පවන කෘතියේ මුද්රිත පිටපත් සියල්ල අවසාන විය. එහෙත් මේ කෘතිය, සමාජය යහපත් තැනක් කළ යුතුයැ යි සිතන සැම කෙනෙකු විසින් ම කියවිය යුතු එකකැයි අප සිතන හෙයින් එය සැම කෙනෙකුට ම නොමිලේ බාගත කොටගෙන කියවිය හැකි පරිදි අපගේ www.sayuribooks.com වෙබ් අඩවියෙහි බහා ඇත්තෙමු. එහි නොමිලේ කියවිය හැකි පොත් යටතේ බලන්න. - මහින්ද සෙනරත් ගමගේ

    ReplyDelete