Friday, May 18, 2012

ගන්ධබ්බ ජීවිතං

බැඳපු අයට කියන්න තියෙන්නෙ බැඳපු එක ගැන විස්තර..එහෙම නැති අයට කියන්න තියෙන්නෙ කනෙක්ට් වෙච්ච නැති එකේ වරුණාව..එතකොට ඒ දෙකම නැති ඉදල හිටල පෙරාන පාර දාන අයට කියන්නෙ කෝමද??
මං නං හිතන්නෙ ඒකට හරියන වචනෙ ගන්ධබ්බම තමයි..
අපි නිකං විස්තර කතාව ලයිට් ගාන බලන්නෙ නැතුව තොරණට බහිමු..

එදා මට හෙම්බිරිසාව සෙම පස්ට විදියට වැඩිවෙලා එකෙන් උන හැදිල ගෙදර යන දවසක්. ඉතිං බස් එකෙ නැගල සීට් එකක් අල්ල ගත්ත. එතකොට ඕන්න ඉතිං මට සැට් උනේ වෙරළ පැත්තෙ සිට් එකක්. ඒත් එක්කම එහා පැත්තෙ ගෑල්ලමයෙක් ඉන්නවා. තනියම ඒ ඉන්නෙ අනික් පැත්තෙ සීට් පෝලිමෙ සීට් එකක. ඉතිං මගේ හිතට අදහස් ගලාගෙන එනවා මේ පැත්තෙ යෑම අගුනය. මට සෙමය, මූදු හුළඟ හොඳ නැතිය සෙමට. ආදි වශයෙන් සිතුවිලි ගලා එනවා. ඒ අතර අර ගෑල්ලමයා සීට් එකේ සයිඩ් එකෙං දාං හිටිය මල්ලත් ගත්ත අතට. මට උණ වැඩිඋනා. සහොලෝල උණ ඇති උණා.. මූදු හුළඟට උණ වැඩිවෙලා ඉස්පිරිතාල ගත වෙලා නේස් නෝනල පස්සට අනින්ට තඩි ඉන්ජෙක්ෂන් කටු අරං එනව වගේ පෙනුනා.
ඒ අස්සෙ අර ගෑල්ලමයා මූනට වැටුන කොන්ඩ කෑලි ටික පැත්තට දානව හෙම කෝල් පෝං එකෙං කාත් එක්ක හරි අමනාපෙං කතා කරන එක හෙම පෙනුනා.
ඉතිං මං ඉවසීම බල්ලට දාල අර මං ළඟ වාඩි වෙච්චි කොල්ලගෙන් අහපි..මල්ලි මේ පැත්තෙ මූද නේද? මල්ලි ඔව් කිව්වා. මල්ලි මට සෙම.මූදු හුලං හොඳ නෑ..කියල තත්පර දෙකක් තුනක් ගිහිං අර ගෑල්ලමය ගාවින් වාඩි උනා...

මං වාඩිඋනා විතරයි ගෑනු ලමය පොඩියක් සිප් වෙලා ඉඩ දුන්නා. ඒ කිවෙ අර කලිසං වලට දාන සිප් නෙමෙ..ඩොකියුමන්ට් හෙම යවනකොට අපි සිප් කරල යවන්නෙ ආන් ඒක. ඉතිං පොඩියක් සංකෝචනය වෙලා ඉඩ දුන්හම මං වාඩි උනා..
ඒත් ඉතිං අතපය වත් කොහෙවත් නොවැදි සංවර සෛය්‍යාව විනාඩි ගානක් තියාගන්න එක මගේ කාඩ් එකට හොඳ නිසා මං ඉතිං සංවර ඇඩ් එක දාන්න කිසිම උපාංගයක් වදින්නෙ නැති විදියට වාඩි උණා..ඒත් ඉතිං බස් නවත්තල තියෙනකොට වගේයැ යනකොට..විසිවෙනව ගැස්සෙනව ඉඩකඩ මදි වෙනවා. ඒ අස්සෙ මට නින්ද යනවා එයාට නින්ද එනවා. ඒ නින්දවල් දෙක අතර මැද සෙට්වෙලා එහෙ මෙහෙ වදිනවා. ඒත් ඉතිං මේ හැම වෙලාවෙම එහෙමෙ වෙන්නෙත් නෑ. මුලින්ම වැදුනම මං ඉතිං සොරි කියනවා..ඉන් පස්සෙ අරයා ටිකක් හිනාවෙලා අවුලක් නෑ ලයින් එකක් දෙනවා. ලංකාවෙ බස් වල ගිය කෙනෙක් ඉන්නවනං දන්නවනේ ඒවයි තියෙන ඉඩ කඩ අනුව කොයිතරං අමාරුද නොවැදි යන්න කපල් එකකට.

ඉතිං ඕම යනකොට මෙයා මගේ දිහා බලනව වගේත් තේරුනා. මගෙත් ඉතිං ඇඩ් ලෝකයයි. හොඳ වෙලාවට ටච් පෝං එකක් ගත්තෙ කියල හිතුනෙ ඒ වෙලාවෙ. ඕක ඉතිං ඉන්ටනෙට් යන්න හදනවයි..රේඩි එක ටියුං කරනවයි විකාර වැඩ ගොඩායි. ඉතිං ඔහොම යනකොට නින්දත් යනවා. කොච්චර උනත් හරි ෆෙන්ඩ්ලි ගතියක් තිබුන ඒ ගෑල්ලමයගේ. මං ඉතිං තේවතුර බොන්න බස් එක නවත්තන හරියට ආහම බැලුව.. මොකෑ මේ බස් එක තේවතුර බොන්ට නවත්තන්නෙ නැත්ද අද කියලා. ඒ වෙනකොට මගේ ලෙඩ තත්වය නිසා මොකුත් කාල බීල තිබුනෙ නෑ. ඒ අස්සෙ ඉතිං අර ගැල්ලමයත් එක්ක කතා කරන්ට දේකුත් තියෙන් එපාය. පැන්න ගමං ඇහුව. නංගි මේ කොහේද කියල. නංගි මේ බස් එක නේ හලෝ පේන්නෙ නැද්ද කියල කිව්වෙ නෑ. එයා බොහොම බුද්ධිමත් කාන්තා රත්න බාගයක් විදියට මේ මෙහෙනෙ කියල වැරදි උත්තරයක් දුන්නා. ඒ මදිවට ඒක කන්ෆර්ම් කරන්නත් මොකද්ද කිව්වා. මාත් ඉතිං ගොනා මොඩල් එකට හිටියා. මං අත්දැකීමෙං දන්නවා එයා කිව්ව ඒ නගරය එන්න තව විනාඩි දහයක් විතර බස් එක යන්න වෙනවා කියලා. ආන් ඒ විනාඩි දහයත් ගියා කියමුකෝ..

එතකොට අර නංගි කියනවා. මේ තියෙන්නෙ අම්බලන්ගොඩ තමයි. කියලා. ඉන් පස්සෙ ඉතිං විස්තර කතා කරන්න සෙට් උනා. තේ බොන්නත් බස් එක නැවැත්තුවා. ඒ දවසෙ නැවැත්තුව පොට් එක අම්බලන්ගොඩ මූද කිස්ටුව තැනක්. ඉතිං කස්ටිය බීච් එක දිහා තියන සින්දු කාමර පේලියට ගියා(මුත්‍රා කරන ස්ථාන). ඒ ගිහිල්ල එක පොරක් බස් එකේ නිදාෙගන ඇවිත් නිදිමත බේරෙන මූන පහත් කරල සිපර් එක හොයල යාංතං ඒ වැඩේ ෂරි කරගෙන එතන තිබුන කොට තාප්පෙං මූද දිහා බලනවා. බලල නිකාං ඉඳල බෑනෙ ඉතිං පොර කමෙන්ට් එකකුත් දානවා. තව වැඩිදුර යන්න නෑ මයෙ හිතේ..මේ වැලිගම හරියෙ වෙන් ඇති මේ මූද වැලිගම වගේ කොළ පාටයි නේ.. යකෝ බස් එකේ නිදාගෙන ආවනං ඒ විදියට හිටපංකෝ. මිනිහ මූදෙ පාට බලල අම්බලන්ගොඩට වැලිගම කිව්ව වැඩෙං එතකොට සිංදු කිය කිය හිටිය සෙට් එකටම හිනා.

ඉතිං බස් එක තේ බිව්වට පස්සෙ මං ඇවිත් වාඩිවෙලා. කෝකටත් කියල පැනඩෝල් දෙකක් කාරිය බීල. අර නංගත් එක්ක චැටක් දාං එනවා. ඒකත් හොඳයි. අර අංකල්ල ඇන්ටිල සෙට් උනා වගේ හාර හාර විස්තර අහන්නෙ නෑ නංගිල. අයිය වැඩකරන්නෙ කොහෙද කියල ඇහුවම අපි දෙන උත්තරේ අරං ඔහෙ ඉන්නවා. අංකලයෙක්ට ඕ උත්තරේ දුන්නනං නවසිය හැත්ත ගනං වල ඔය පැත්තෙ මගෙ යාලුවෙක් හිටිය සිමියොං කියල දන්නවයි අර මාර ගහ ලග පෙට්ටි කඩේ ලඟ වංගුවෙ..ඉතිං නවසිය හැට ගනන් වල නෙට් වත් නැති කාලෙ ඒව මං මනසින් සර්ච් කරන්න ඕනි අර පෙට්ටි කඩේ හොයන්න. ඉන් පස්සෙ දන් නෑ කිව්වොත්. දැං ඒ පැත්තෙ කොච්චර කල්ද ආකද මේකද පස්න ගොඩයි. තව තුන් හතර දෙනෙක් දෙනව අපිට අඳුගන්න. හරියට අර ෆේස්බුක් එකේ පාස්වර්ඩ් මිස් උනාම මිනිස්සු අඳුනගන්න දෙනව වගේ මහා චාටර් වැඩක් අංකල්ල ඇන්ටිල සෙට් උනා අතන දන්නවද මෙතන දන්නවද. අරයව දන්නවාද..එයා ඉන්නෙ කොහේද කියල අයිඩෙන්ටි වේරිෆිකේෂන් අනං මනං හොයන එක. නංගිල අක්කල සෙට් උනාම තියෙන හොදේ ඒකයි..ෆෝන් එක පිරෙන්න සිම් එක පිටාර ගලන්න කොල්ලන්ගෙ නම්බර තිබුනත්. මේ මට ලව් කරල තියන අයිය කෙනෙක් ඉන්නව ඔයා කිව් කම්පැනියෙ කියල කවදාවත් ගෑනු ලමයෙකේ කියන්නෙ නෑ කෙලිම්ම..

ඉතිං ඒ අස්සෙ නංගිට බස් එකේදි වෙච්චි අකරතැබ්බ වගේ ඒවත් කිව්ව. පස්සෙ එයැයි මාත් එක්ක හෑන්ඩ් ටෙලිපෝං එකෙං කියපු විදියට මං හොඳ කෙනෙක්. සමහර අය නැග්ග තැන ඉඳල වාඩිවුන තැන ඉඳල කරේ යන්න එනවලු. කරෙයි නගර්ල වගේ. එයා කැමති නෑලු හුඩ් රැක් හෙවත් බෑග් තියෙන රැක් එකේ බෆල් තියෙන තැංවල යන්න. ඒකයිලු මේ පැත්තෙං වාඩි උනේ. දවසක් එහෙම යනකොට එයා ළඟ ඉන්න බෝයිට තුවාල උනාලු අර පෙට්ටි ස්පීකරයක් වැටිල ඇගේ වැදිල. අනේ පව්. මාත් ඉතිං හොරාට දුක්වුනා. ගොඩක් අමාරු උනාද?? ඒ කිඹුල් කඳුලු සහ ඕප කඳුලු පාරක්?? ඔව් අනේ එයාට තුවාලත් වෙලා.. බේත් දාන්න බස් එක නවත්තලත් තිබුන..

ඉතිං ඕහොම කයි මර මර යනකොට එයා කියනවා. මං හමු උන එක හොදයිලු නැත්තං ඉතිං පාලුවෙංලු යන්නත් වෙන්නෙ. මටත් ඉතිං කමිං කලර් නොට් බෑඩ් වගේ තේරුනා( එන පාට නරක නැත). බහින්නත් කිස්ටු උනා නංගියා..ඉතිං මං නම ගම කාරිය අහගත්තා. එයා බහින්න කිස්ටුව ඉතිං අර එයාගෙ ටුකුරු ටුකුරු ගාන ටෙලිපෝං එක වදිනවා.. හැම තිස්සෙම. මොකක් හරි ටයිප් ගහල තිව්වම ආයෙත් වදිනවා. ඉතිං එයා කිව්ව. ඒක හරි වදයක් වෙලාලු තියෙන්නෙ. මාත් ඉතිං වෙලාව බලල කිව්ව. එහෙනං ඉතිං මගේ නම්බරෙත් දාගන්න. ඒ තරම්ම ලොකු වදයක් වෙන එකක් නෑ කියල.
එතකොට නංගි ඇහුවා ආ ඒ මොකටද ඔයාගෙ නම්බරේ මට.?? කියලා
මට පොලව පලාගෙන පොඩ්ඩක් යන්ට හිතුනා. ඒත් මොකුත් නොපෙන්න හිටියා. හුම් කියලා.
පස්සෙ එයා ටික දුරක් ගිහිං මට පෝං එක දුන්නා ගහල දෙන්න කියලා. ඉන් පස්සෙ මගේ නම යටතේ ඒක සේව් කරගත්තා..

ම්ම ඉන් පස්සෙ කතා කරා මැසේජ් කලා..සති දෙකක් විතර වැඩේ නැගල ගියා. පස්සෙ ඉතිං ඒක බැහැල ගියා. සුලු සිද්දියක් උනත් විස්තර ලියන්න ගියාම පස්ට වෙලාවක් යනව නේ.. සිහ් මං හිතුවෙ මේ වගේ කෑලි තුන හතරක්ම එකපාර දාන්න. ඒත් ඉතිං බෑ නෙව..දිග වැඩියි වෙලාව අඩුයි වගේ කේස් එනවනේ..

17 comments:

  1. අපෝ නවසිය හැට හණංවල ඔය වැලිගං පැත්තේ ඔථනෑ තරං නෙට් තියෙන්න ඇති.

    මාදැල්!

    ReplyDelete
    Replies
    1. දැනුත් සමාර වෙලාවට තියෙනවා ඒවා..

      Delete
  2. /* ම්ම ඉන් පස්සෙ කතා කරා මැසේජ් කලා..සති දෙකක් විතර වැඩේ නැගල ගියා. පස්සෙ ඉතිං ඒක බැහැල ගියා. */

    ඒකට හේතුව දන්නවා නේද දැං?

    ReplyDelete
    Replies
    1. වෙන හේතුවක් නෑ ඉතිං කම්මැලිකම තමයි

      Delete
  3. ආහ් මං දන්නවා තො‍රණේ විස්තරය.. අර අරයා නේ.. වෙලාවට උඹ දැන් ඔව්වා ලියන්නෙ.. නැත්තං උඹත් වල් කොල්ලෙක් වෙන්න පුලුවන්.. :-D

    ReplyDelete
    Replies
    1. මේවා ලිව්වම ලකුනු වැඩි වෙයි නේ..මරු මරු///

      Delete
  4. ගන්ධබ්බ අවස්තාවේදී වෙන්නේ ඔච්චරමයි කියලා තේරුම් ගත්තු එකත් හොඳයි.
    දැන් සෙම අමාරුව හොඳද? :D:D:D

    ReplyDelete
    Replies
    1. ඊට කලිං දවසෙ තුං පාරක් විතර වමනෙත් ගියා..ඒත් ගෑල්ලමයයි ගාව ගියාට පස්සෙ ලෙඩ ටික කොහෙං ගියාද නෑ..ගෙදර ගියෑම හොඳ උනා..
      බාගෙදා කොළඹ ඩස්ට් එක වැඩි හින්දද දන්නෙ නෑ..

      Delete
  5. දැන් ඒ ගෑල්ලමයට වැරදිලාවත් බස් එකේදී තව කොල්ලෙක් සෙට් උනොත් එයාට උඹ ගැනත් කියාවි. හැබැයි උඹවත් අර වල් කොල්ලෝ ගොඩට දායිද දන්නෑ! :D

    ReplyDelete
  6. ඉක්මනටම ලංවෙන අය ඉක්මනටම වෙන් වෙනවා කියල අහල තියෙනවා .

    ReplyDelete
  7. අනේ දෙවියනේ ඔය කෙල්ලත් මේ බ්ලොග් එක බලලා කමෙන්ට් කලොත් නම් මරේ මරු

    ReplyDelete
  8. ඇයි බං මේක ඉවර කලේ... ආසාවෙන් කියවං ආපු කතාව

    ReplyDelete
  9. අයියෝ......ෂල්ලි

    සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  10. කෝ අෆ්ෆා.. කතාව රසවත් වේගෙන එනකොටම එකපාරට... අර මොන්ටිසෝරි ලමයි සින්දු වල අන්තිම පදේ එක්ස්ප්‍රස් යනව වගේ කතාවත් ඉවර කරලනෙ...

    ReplyDelete
  11. //අංකලයෙක්ට ඕ උත්තරේ දුන්නනං නවසිය හැත්ත ගනං වල ඔය පැත්තෙ මගෙ යාලුවෙක් හිටිය සිමියොං කියල දන්නවයි අර මාර ගහ ලග පෙට්ටි කඩේ ලඟ වංගුවෙ..//
    අම්මප ඔන්න ඕකනං සහතික ඇත්ත.

    මරු කතන්දරේ.

    ReplyDelete
  12. උඹට ඔහොම කිව්වට අරකි බැන බැන ගියාද දන්නෙත් නෑ... "මේකා කොහෙටවත් අනින්නෙවත් නෑනේ " කියලා...

    උඹ ඕනෑවට වඩා උපාසක වෙන්න ගිහින්ද කොහෙද නැග්ග එක බැහැලා ගිහින් තියෙන්නේ...

    ReplyDelete