Thursday, August 16, 2012

අරුම පුදුම පොම්පය

මා කුඩා කල අපේ ගමට අලුතින් බයිසිකල් සාප්පුවක් ආවේය. කලිං බයිසිකල් සාප්පුවක් තිබුන නිසා අලුත් එකට සෙනඟ ආවේ නැත. එබැවින් විවිධාකාර මාකටිං ට්‍රික්ස් මේ බයිසිකල් සාප්පුව විසින් භාවිත කරන ලදී. පැචෝ බයිසිකල් සාප්පුව යන නමින් අතිවිශාල බෝඩ් ලෑල්ලක්ද එහි සවිකරලා තිබුනි.. පැච් ඕෆ් කරන යන අදහස පැචෝ වල තිබූ බව බයිසිකල් කඩයේ සිරිමත් අයියා කීවේය..

අයියා සිරිමත් වුවාට මිනිහා යහපත් ලමයෙක් වූයේ නැත.. සිරිමත් මගෙ සකි යහපත් ලමයෙකු වී උදේ පාන්දර මොන කෙංගඩියට හෝ නැගිට්ටත් පැච් සිරිමත් ගේ විංකලය අරින්නේ නවය හමාරට විතරය..පැච් සිරිමත් නැගිටින්නේ නවයට විතරය.. සිරිමත් මගේ සකි යාපත් ලමයෙක් කියා කටපාඩං කලාට මට ඒ කවි හරියට තේරුන් නැත්තේ සිරිමත් කිව් සැනින් අලුත් විංකලයේ සිරිමත් අයියා මතක් වුන බැවිනි..

අලුත් විංකල් වැඩේ හිතුව තරං නැගලා ගියේ නැත. ගමේ කලිං බාබර් සාප්පුවක් නං ඇරියාට පසු කොල්ලෝ කුරුට්ටෝ අලුත් එකට ගොස් පරන සීබල් බාබර් අංකල්ට ටටා කිව් මුත් බයිසිකල් හදන්නට මොන ෆැෂන්දැයි කල්පනා කිරීම නිසාදෝ සිරිමත් අයියාගේ විංකලය එතරම් සාර්ථක වූයේ නැත. කොන්ඩ කැපීමට අලුත් බාබර සාප්පුවට නං පරණ මුත්තලාද ඉඳහිට ගොස් කොන්ඩේ කපාගෙන ඇවිත් මේ අලුත් ගොයියා වෑවර කපලාය කියලා කොන්ඩය වැවෙන තෙක් අතන මෙතන බැන අඩගසමින් යයි. ඒත් සමහරෙක් ආයිත් ගොස් ඉල්ලන්නේම වෑවර කට් එකමය...
radical pumpkin

ඉතිං සිරිමත් අයියාට විංකලය දුවවන්ට බැරි තැන ඔහු අලුත් පොම්ප වහන්සේ කෙනෙක් ගෙන ආවේය. ඊට කලිං සිරිමත් අයියා විසින් හන්දියේ කඩපිල, බස් එක එනතුරු රැඳී සිටින බස් සෝල්ට් එක, නාන ලිඳ ලඟ ආදි තැන්වල මං අලුත් භාන්ඩයක් ගේන්න යන්නේ ගමට යැයි වහසි බස් දොඩා මාකටිං පාරක් දී තිබුනි. ඒ නිසා පොම්ප වහන්සේ වැඩමවා ඇතිබවට ආරංචි අපි වැනි හිච්චි කොල්ලන් අතර බොහෝ ඉක්මනින් පැතිර ගියේය..

ඉතිං ඒ පොම්පේ නම තමයි රැඩිකල් පොම්පය... කකුලෙන් හුලං ගහන පොම්පයට සීට් එකක් වැනි යමක් සවි කොට මොඩිෆයි කොට එහි එල්ලූ යකඩ තහඩුවක ලොකුවට ඉංගිරිසියෙන් Radical Pump යැයි ගසා තිබුනි. එහි නම ඇසූවිට එයට රැඩිකල් යයි නම ඇති බව දැනගන්නා ලදී..සාමාන්‍ය පොම්පයේ හුලං ගහන්නේ අත් දෙකින් අල්ලා පහලට තල්ලු කිරීමෙනි...

නමුත් රැඩිකල් පොම්පයේ හුලං ගැසිය හැකි ආකාර කීපයකි. එකක් නම් රැඩිකල් පොම්පයේ ආසනය මත අපි වාඩි වී ශ්‍රී ලාංකීය පුරාණ ලැට් එකේ වාඩිවෙන ක්‍රමයට වාඩිවෙමින් මඳක් ඉස්සෙමින් හුලං ගැසෙන්නට සැලැස්වීමයි.. අනෙක් ක්‍රමය නම් අසුන මත පත්තර කොළයක් දමා ඒ මත සෙරෙප්පු ගැලවූ කකුල තබා කකුල උස් පහත් කිරීමයි... මුල් කාලයේදී කකුලෙන් හුලං ගැසීමට කස්ටිය වැඩිය උනන්දු වූයේ නැත.. මේ පොම්පයේ ඉතිරි කොටස් ඇත්තේ පෙර පරිදිම වෙයි..
බයිසිකල් පොම්පයක වෑල් කර තද කොරන හැටි එය පාවිච්චි කරන හැටි කියලා දෙන්නට මෙතන සූට් බබාලා නැතැයි මා සිතමි..

radical pumpkin

රැඩිකල් පොම්පය ගෙනා කාලයේ කට්ටිය එය උඩ නැග උස් පහත් වීමටවත් කකුලෙන් පාගා හුලං ගැසීමටවත් ගියේ නැත. කලේ පහලට නැවී දෝතින් රැඩිකල් පොම්පයේ සීට් එක අල්ලා පහලට තල්ලු කර උස්සා යලිත් පහලට තල්ලු කිරීමයි.නමුත් කාලෙ වෙනස් විය සමහරු හුලං ගහන්නේ එක්සයිස් කොරනවා වගේය..කලක් ගිය විට ඔහේ පත්තර කොලයක් වත් දාන්නෙ නැතුව කකුල තියා පාගගෙන ගොස් හුලං ගහ ගනී...

ඒ රැඩිකල් පොම්පය හුලං ගසනවාට අමතරව සමාර මහත දෙහෙත වැඩක් පලක් නොකරන අයට එක්සයිස් එකකුත් ගෙනාවේය..දැන් දැන් එන එක්සයිස් මැසින් වලටත් මේ හුලං පොම්ප සවිකර අර කැරකෙන ඇදෙන පෙරලන ගෑනුන්ගේ වැයවෙන තෙල් ටිකෙන් පොරෝජනයක් ගන්නට ඇහැකිනම් කියා මට ටීවී එකේ එක්සයිස් ඇඩ් යනවිට දැනුදු සිතේ.පුනර්ජනනීය බලශක්තිය ගැන කතා කරන මෙකල ඒ මැසින් වල දුනු අදින්නට වැයකරන කිසිම වගතුවක් නැති තෙල් මන්ද වැඩකට ඇති වැඩකට යොදා ලයිට් ගන්නට යොදා ගත නොහැකි මන්දයි මට විටෙක සිතේ. කන ඒවා ඇගේදී තෙල් වෙයි..ඒ තෙල් මන්ද වැඩිවන විට ඒවා තැම්පත් වෙයි..එක්කෝ කනවා අඩු කල යුතුය නැත්තං අර අමතර තෙල් පුච්චා දැන්ම සඳහා මොකක් හෝ එකක් කොල යුතුය..එකතැන ඉඳන් සියලු කැරකීම් කරගත හැකි යන්ත්‍ර දැන් ටීවි වල බහුලව පෙන්වයි.. 
radical pumpkin
ඒ දිලිසෙන නාරි රූප යන වෙලාවට පොඩි එකෙක්වත් වෙනත් පැත්තක් නොබලන්නේ තෙල් බේරෙන ගෑනු සරීර ලස්සනට වසී වෙලාද නැත්තං අර මැසිමට වසී වෙලාද කියා කාරුත් දන්නේ නැත.. 

කෙසේ වෙතත් ඇගේ ඇති වීරිය අත් දෙකට ගෙන පහලට තල්ලු කරන අතින් හුලං ගහන පොම්පය තරම් අර රැඩිකල පොම්ප එක පහසු වූයේ නැත.. ඒත් කකුලෙන් පාගන විදියට තිබුනාම නං හුලං ගහන වැඩේ ලේසි විය.. කෙසේ වෙතත් මේ මහාර්ඝ රැඩිකල පොම්ප රාජයා නිසා සිරිමත්ගේ පැචෝ බයිසිකල් සාප්පුව නම් මඳක් කලඑලි බැස්සේය..

ඒ රැඩිකල් පොම්පය මා දැනගත් දා සිට මට අලුත් ගැටලුවක්ද ඇතිවිය. එනම් රැඩිකල් යනු කුමක්ද යන්නයි. එවිට කවුදෝ කෙනෙක් කියූ බරසාර දැන් තේරුම් යන එදා තේරුම් නොගිය තේරුමක් නම්.. " පවත්නා ප්‍රවාහයට පිටින් අලුත් යමක්" කලවිට එය රැඩිකල් වෙනවා යන්නයි. මෙය අපි හිච්චි එවුන් කාලේ මේ තරං තේරුනේ නැත. දැං සාමාන්‍ය ලෝකෙ දෙයක් වෙන විදියක් තියෙනවා නෙව බොල..ඒ වෙන විදියට නැතුව ඒක අමුතු විදියට වෙනවා නං ඒක රැඩිකල්... දැං බලාපල්ල අර ටවුමෙ ඉඳන් එන තොරොම්බල් කරත්ත කාරයා..ඌ කනේ කරාබුවක් දාලා...පිරිමි කනේ කරාබු දානවය..ඌ රැවුල වවපු නැතිනිසා සරම අඳින නිසා ඌ රැඩිකල් නැහැ..ඒත් උගේ කණ රැඩිකල්..තේරුණාය..බෙලාට..
ඒ අපි හිච්චි උන් ටිකක් රැඩිකල් තේරුම ඇසූවිට ගමේ සීයා කෙනෙක් දුන් පිළිතුරකි. 
ඒ උනාට ඒ විදියට බැලූ විට අපේ ගමේ තිබුනේ රැඩිකල් කන් විතරක් නොවේ..දැන් සිතන විට යාංතං ඉනෙන් පහලට නෙරා රවුමට හැඩට තිබූ ගෑනු පක්ෂ පැත්ත වෙනුවට අලී තඩි පස්සක් තිබූ මාගරට් ඇන්ටිගේ පස්සත් රැඩිකල්ය.. කුඩා කල වුවත් ඉස්සී හැරී බැලිය යුතු විල් බැරැක්කෙක ගෙනයා හැකි තරම් විසාල රැඩිකල පස්සකි මාගරට් ඇන්ටිට තිබුනේ..

මේ රැඩිකල් පොම්පේ ගෙනා කාලේ අපි දහම් පාසැල් ගියෝය. ඒ සතියේ දහම් පාසලේ පවා කතාව රැඩිකල් පොම්පේ ගැනය. එහෙං මෙහෙං අහගත් කරුණු අනුව මට රැඩිකල් යනු අමුතු දේවල්ය යන තේරුම තිබුනි.. රෑට අපි කන විට නොකා ඈනුං ඇර ඇර ඉද නිදියන හාමුදුරුවෝද රැඩිකල් නොවේදැයි අසන්නට මට හිතුනත් එවන් නොමනා කතා තාත්තාගෙන් අසා ටොකු පාරවල් කන්නට සිදු විය හැකි බැවින් කට වසාගෙන ආයාසයෙන් සිටියෙමි.. ඉස්සර අපේ දාම් පාසලේ පොඩි සාදු හරි හොඳය..උන්දෑ බණ කතා ලස්සනට කියාදෙයි. පාඩමට අදාල දේවල් කියා කතාන්දරද කියා දෙයි.. පාඩම අවසානයේ ආ ළමයි දැන් පාඩමට අදාලව චිත්‍රයක් අඳින්ටකෝ යැයි කියයි..
Radical pumpkin
එදා තිබුනේ සුජාතා සිටුදුවගේ කිරිපිඬු වැලඳූ සිදුහත් තවුසා පාත්තරය ගඟේ පාකොට ඉන්පසු ඇසතු බෝ මුල වැඩ සිටීමේ කතාවයි. ඉතිං කස්ටිය චිත්තර ලස්සනට ගජරාමෙට අඳිති.. විනාඩි දෙකක් එක විදියක ඉඳ එකෙක්ටවත් ඇඳිය නොහැක.. අනිකා අඳින සිදුහත් කුමාරයා ලොකුදැයි බලයි...නැත්තං සිටුදුව මොන වගේදැයි බලයි..නැත්තං ගස් ඇඳලා තියෙන්නේ කෝමදැයි බලයි.. කෙල්ලෝ අපිට පොත් පෙන්නන්නේ නැත.. ඒත් උං අඳින චිත්‍ර ලස්සනය.. 

මාත් කොණකට ගොස් චිත්‍රය ඇන්දේ කාටවත් නොපෙන්නිය යුතු වැදගත් දෙයක් මා චිත්‍රයේ ඇන්ද බැවිනි.. දැන් සිදුහත් තවුසා පාත්තරය දැමූ පසු පාත්තරය ඉහලට යයි.. ගඟේ ගලන දිසාව යාන්තං පැස්ටල් උලා පෙන්නන ලදී පාත්තරය ඇඳ මා එයට නමකුත් දැම්මේය.. ඉන් පසු පාත්තරය යන්නෙ ගගේ ඉහලට බව පෙන්නිමට ක්‍රමයක් නැත..මා පාත්තරය ලඟින් ඉහලට ඉරක් ගසා ඊතලයක් ඇඳ ඒ බවද පෙන්නුවෙමි...

පොඩි සාදු ඇවිත් චිත්‍ර බලයි...ආ සමන්ත ගන්න බලන්න සමන්තගේ චිත්‍රෙ?  ඒ මටය..මාත් පස්වනක් ප්‍රීතියෙන් ඉපිල චිත්‍රය දුනිමි. 
මොකද්ද සමන්ත මේ ඊතලේ...
ආ ඒ පොඩිසාදු පාත්තරේ යන්නෙ උඩට කියලා පෙන්නල තියෙන්නෙ..
ආ එතකොට මේ පාත්තරේ මොකද්ද ගහල තියෙන ඉංගිරිසි නම..මේ පාත්තරේ පිටි ටින් එකක්ය..ඒක පාත්තරේ නේ.. පාත්තර වල කොහෙද නම් සමන්ත...?
ආ පොඩිසාදු ඒ පාත්තරේ ගහල තියෙන්නෙ රැඩිකල් (Radical) කියලා..ඒක ගලන අතට යන්නෙ නැතුව ඉහලට යන නිසා ඒ පාත්තරේ රැඩිකල් පාත්තරයක් වෙන් ඇති කියලා මං හිතුවෙ..
මගේ රැඩිකල් පාත්තරය නැස්ටමෝල් ටින් එකක් ගානට දැම්ම පොඩිසාදු ගැන තරහක්ද මට එවෙලේ ඇති විය..

අතින් කට අල්ලාගෙන ආ මහ සිනාව නවතාගත් පොඩිසාදු ආ පාත්තර වල නං ගහන්නෙ නෑ... සමන්ත ඉක්මනට මකල දාන්න පාත්තරේ ගහල තියෙන බොඩ් එක...
ඒහෙනං සාදු අර සිරිමත් අයියයි විංකලේ අලුත් කකුලෙං හුලං ගහන පොම්පෙ තියෙන්නෙ රැඩිකල්(Radical) පොම්පෙ කියලා... මං ඒ පණ්ඩිත කතාව හිතුන මුත් එය පොඩිසාදුට කිව්වේ නැත... මම ගොනා වගේ මකනය ගෙන පැස්ටල් වලට වැසී තිබුන රැඩිකල් මකන්නට බොරු උත්සාහයක් ගත්තේය..

(මා රැඩිකල් පොම්පයක් සොයන්නට ගූගල search කලවිට මා සිතු ආකාරයේ පොම්පයක් නැති විය.. එබැවින් ආසන්නයටම ගිය රැඩිකල් පම්ප්කින් නොහොත් විප්ලවීය වට්ටක්කා වල රූප ටිකකි මේ ඇත්තේ)

17 comments:

  1. රැඩිකල්! හෙහ් හෙහ් රැඩිකල්‍. රැඩිකල් කියනඑක හොඳ-නරක දෙපැත්තටම තියෙන්න පුළුවන්. උඹේ රැඩිකල් පාත්තරේ මට මැවිල පේනව‍.

    ReplyDelete
  2. රැඩිකල්නං එය තියෙන්නේ අම්බානක මේ දවස් වල තොග වශයෙනුත් ගන්න පුළුවං විදිහට......

    ReplyDelete
  3. රැඩිකල් මොකද්ද ඕකේ තේරුම,,මේ දවස් වල ඕකට අරුම පුදුම තේරුම් දෙන්න දගලනවා නේ,,බ්ලොග් කාරයොයි,කවි කාරයොයි ඒ පාර

    ReplyDelete
  4. මචං අමිල,

    හුඟක් ඉක්මනින් කළ යුතු වැඩක් පට්ට ඔලුවේ කැක්කුමක් නිසා නවත්තලා අන්තර්ජාලේට ආවේ පොඩ්ඩක් ඔළුව නිදහස් කරගන්න.
    ඔළුවේ කැක්කුම කොහේ ගියාද නෑ බං...

    බොහෝම ස්තූතියි...

    ජය වේවා!!!

    ReplyDelete
  5. දැන් දැන් පන්සලුත් රැඩිකල් වෙන එකේ පාත්තර රැඩිකල් උනාට මොකද

    ReplyDelete
  6. මම බැලුවා වට්ටක්කයො දාගෙන මොකද කියලා.. පෝස්ට් එකට අදාළ නොවෙන පින්තූර දැමීමත් රැඩිකල්ද මන්දා?

    ReplyDelete
    Replies
    1. අනිවා.
      පින්තූර වලට අනුව බලද්දි පෝස්ට් එක රැඩිකල්.
      පෝස්ට් එකත් එක්ක බලද්දි පින්තූර රැඩිකල්
      :)

      Delete
  7. රැඩිකල් පෝස්ට් එකක් !

    ReplyDelete
  8. අවංකවම කිව්වොත් මේක මම මෙතෙක් කියවපු සිරාම බ්ලොග් පෝස්ට් වලින් එකක්. පට්ටම පට්ට.

    ReplyDelete
  9. :D
    "මං රැඩිකල්!" :D

    ReplyDelete
  10. අපි නොදන්න රැඩිකල්...:P උඹේ ලිවිල්ල සුපිරි මචන්... ජයවේවා!!!!

    ReplyDelete
  11. http://images-en.busytrade.com/84980000/Foot-Air-Pump.jpg
    මේ ජාතියෙ වෙන්ටෑති.

    ReplyDelete
  12. රැඩිකල් කියන්නේ මහා පුදුම දෙයක් අද රැඩිකල් එකා හෙට ආදිකල්පිකයා අද රැඩිකල් දේ හෙට පරණයි අද පරණ දේ අනිද්දා රැඩිකල් වෙනවා.

    ReplyDelete
  13. රැඩිකල් කරවලත් තියෙනවලුනේ දැන්....

    ReplyDelete
  14. රැඩිකල් pompayak wage ekak set una, meka balanna
    http://www.google.lk/imgres?q=radical+bicycle+pump&um=1&hl=en&biw=1024&bih=600&tbm=isch&tbnid=bow0AYieATzSLM:&imgrefurl=http://www.coroflot.com/gilley/custom-prototypes%3Fspecialty%3D7%26experience_range%3D4%26msa%3D312%26&docid=Xq4YplO1VeBBXM&imgurl=http://s3images.coroflot.com/user_files/individual_files/original_371657_Y8Ut7MH6uu3riY0bRbZ4LM5JN.jpg&w=837&h=1575&ei=81cuUM-MDoXJrAesm4CQBA&zoom=1&iact=hc&vpx=699&vpy=181&dur=4350&hovh=308&hovw=164&tx=72&ty=135&sig=108933959760751328329&page=4&tbnh=139&tbnw=74&start=55&ndsp=20&ved=1t:429,r:8,s:55,i:272

    ReplyDelete
  15. පට්ටම රැඩිකල් පෝස්ට් එකක්....

    ReplyDelete