Thursday, September 13, 2012

මිසදිටු කතාන්දර

මගේ යාලුවෙක් ඉන්නවා මිනිහා නිෂ්පාදන ඉංජිනේරුවරයෙක්. සාමාන්‍යයෙන් යාන්ත්‍රික ඉංජිනේරු අංශයට අනෙක් එව්වාට වැඩිය රැකියා අවස්ථා අඩුයි ලංකාවෙ. මිනිහා වැඩ කරන්නෙ කටුනායක සනීපාරක්ෂක තුවා හදන තැනක. අපි හිතමුකෝ ඒක ඊවා කියලා බුවාටත් රුවන් කියමුකෝ. ඉතිං එයා තමයි ඒකෙ කොලටි ඉංජිනියර් ඉන්නෙ. අපි මිනිහාට ඒකට නොකියන කතාවක් නෑ.

එක යාලුවෙක් රුවන් බුවාට කියනවා මචං උඹ හොඳ වෙලාවට ඔය කම්පැනියෙ කොලටි ඉංජිනියර් වුනේ. වැරදිලා හරි උඹ මේන්ටනනස් (නඩත්තු) ඉංජිනේරු උනානම් ඉවරයි කියලා.
ඒක අහං හිටපු තවත් යාලුවෙක් කියනවා. මචං රුවන් ඔතන ආර් ඇන්ඩ් ඩී(රිසර්ච් ඇන්ඩ් ඩිවලොප්මන්ට්- නව නිෂ්පාධන අත්හදා බැලීම, ඒවා පරීක්ෂා කිරීම ආදිය කරන තැන)  වේකන්සි නැද්ද ඉංජිනියර්ස්ලට..? ආර් ඇන්ඩ් ඩී තමයි නියමෙටම ඇත්තෙ ඇයි ඉතිං සයිස් එක අනම් මනම් හැම දේම මනෝමයෙන් බලන්න බෑනෙ. ගිහිල්ල තියලම බලන්න වෙයි.

මේ මොක කිව්වත් ඉතිං රුවන් නෙමෙයි හුම් කියන්නෙ. එක යාලුවෙක් ඒ අස්සෙ මචං දැන් උඹෙ පරම්පරාවටම ඊවා නිකං ලැබෙනවා ඇති නේ...ඇයි ඉතිං උඹ ඒ කොම්පැනියේ නේ. කෝමින් හරි පොර දැන් කොම්පැනිය මාරු කරන්න හොයනවා. ඒත් ඉතිං ඊවා කොම්පැනියෙ කොලටි ඉංජිනියර් කියන පළපුරුද්දට වෙනත් තැනක ජොබ් දේවිද කියන එක තමයි ප්‍රරස්නෙ..

මට ඉන්නවා ගෑනු ලමයා යාලුවෙක් බොහොම දුර පලාතක බොහොම සැප පහසු ඇති වත් පොහොසත් කම් ඇති තැනෙක. මේ ගෑනු ලමයා ඉතිං කාලෙයක් කතා කොරලා ටෙලිපෝං එකෙන් යාලුයි. අපි කාලයක් දිනපතා ඩයරි මාරු කරගන්නවා වගේ ඉස්සර කතා කලත් පස්සෙ ඒක බිඳිලා ගියා ගැලපීම් වැඩි නිසාම. ගැලපීම් වැඩියි කිව්වෙ ඉතිං එයාට තව නොම්බර දෙක තුනක පිරිමි ළමයි හිටියා ඒ කාලෙ. ඒවගේමයි මටත් මෙලෝ වැඩක් නැතත් රෑට දවල්ට කතා කරන්න කෙල්ලො හිටියා පෝන් නම්බර් විදියට. තව ඉතිං කොහේ හරි පාටියකට ගියොත් මෙයාට ඇඩ්‍රස් කොල අනම් මනම් ලැබෙනවා. ඒ වගේමයි මටත් මොකක් හරි මලගෙදරක ගියත් අවුරුදු 45 විතර හෝ සුරූපී නවයොවුන් තරුණියන් ආකර්ශනය වෙනවා. ඉතින් ඔයි වගේ ගැලපීම් වැඩි උන නිසාම අවසානෙ ඒක දිගුදුර ගිය කතාවක් උනේ නෑ. ඒත් තාමත් ඉඳලා හිටලා කෝල් කරනවා.

ඉතිං මං මේ මගේ රුවන් යාලුවාගේ කතාවත් එයාට කිව්වා. ඒ අස්සෙ එයාගෙ නෑයෙක් වෙන ලොකු අම්මා කෙනෙක් ඉන්නවා මහණ වෙලා. මං මේ කතාව කියලා නිකමට ඇහුවා දැන් ඔය මහණ මෙහෙණි වරුන්ගේ අටපිරිකර වලට සනීපාරක්ෂක තුවා හෙම දෙන්නෙ නැද්ද කියලා. කෙල්ල බකස් ගාලා හිනා වෙලා. ඔව් තාමත් ඉතිං ඔයාට ඒව තමයි මතක් වෙන්නෙ. "කුණු හිත" කියලා පොඩ්ඩක් බැන්නා. සතියකට විතර පස්සෙ ලොකු අම්මලයි ගෙදර ඒ කිව්වෙ අර ගෑල්ලමයාගේ නෑයො වෙච්චි සිල් මාතාවලාගේ ගෙදර ගිහිල්ලා මට කෝල් එකක් දෙනවා. අමිල අයියේ ඔයා මාව කෑවා. තාත්තට කිව්වොත් ලොකු අම්මා මං ඉවරයි. කියාලා. අර මෝඩ ගහ අටපිරිකරට සනීපාරක්ෂක තුවා දෙනවාද කියලා සිල් මෑනියොන්ගෙන් අහලා. සිල්මෑනියන්ට ධර්මය අමතක වෙලා හොඳ වයින් තුන හතරක් කියලා ඒ පුංචි උපාසිකාවට බැන්නාලු.  ඉතිං ඒක ඇහුව නිසා ඒ ගෑල්ලමයාට සිල් මාතාවගෙන් සනීපාරක්ෂක තුවා රාසියක් නිකම් ලැබුනාලු ගෙදර යනකොට ගෙනියන්න කියලා. ලොකු අම්මාට කියලා කීයක්වත් කඩාගන්න චෑන්ස් එක නැතිවුනා වගේම කොහේද යන පෑඩ්ස් තොගයක් කාර් එකේ දාගන එන්න වුනා කියලා මට බැනුං අහන්නත් වුනා ඒ සිද්දියෙන් පස්සෙ...

 
සර්වඥ ධාතු පස්නය.
 
සර්වඥ ධාතු ගැන අපේ බෝඩිමේ පිංවත් උපාසක උන්නැහෙලත් මේ දවස්වල බොහොම උනන්දුයි. මෙලෝ ආත්මෙකට උපන්තෙකට සෙරෙප්පු දෙකක්වත් දාගන්න කියලා පන්සලකට නොයන උන් සරුවඥ ධාතු නිසා සැදැහැවත් වෙලා ඒ ගැන කතාව. ඉන්ටනෙට් එකේ ඔය ධාතු ගැන තිබුන එක එක නොමනා කතා මං බෝඩිමේ කියන්න ගිහිං හොඳටම බැනුං ඇහුවා. එකෙක් කිවුවා උඹ පවු පුරෝ ගත්තට කමක් නෑ අපිට පව් පුරව්න්න එන්නෙ නැතුව කට වහං හිටපං කියලා. එහෙම හරියනවයැ නේද?
ලුනු නැතුව හදන සම්බෝල අනම් මනම් එහෙම්ම කාල දාන අපි සෙට් එක මැරුනයින් මත්තෙ එක එක තැන්වෙල ගිහිං හරියනවයැ...

නෙට් එකේ තිබුන එක ආටිකල් එකක තිබුනා ඔය කපිලවස්තු සර්වඥ ධාතු මුලින්ම හොයාගත්ත පෙප්පේද පිප්පේද කියන මනුස්සයා වංචාකාරයෙක්ය නේපාලය ඒ ධාතු සත්‍ය ලෙස පිලිගන්නේ නැතිය, බ්‍රිතාන්‍ය කෞතුකාගාරය ඒවා පිළිගන්නේ නැතය කියලා කතා වගයක්. ඒ වගේම ඔය පෙප්පේ කලිං හොයගත්තලු දන්ත ධාතුවක් මනුස්ස දතකට වඩා විශාල එකක්. ඉතිං මහා අනුහසින් ඕක තියං ඉන්න කොට ඉංදියාවෙ හිටපු සුද්දෙක් ඕක ස්වභාවික විද්‍යාඥයො ලව්වා පරීක්ෂා කොරවලා තියෙනවා. ඒකෙදි හොයාගන තිබුනාලු පෙප්පේ විසින් හොයාගන තිබුන ඒ ධන්ත ධාතුව නැමැති දත පුරාණ ඌරෙකුට අයිති එකක් බව සහ කිසිසේත්ම මනුස්ස දතක් විය නොහැකි බව.

ඉතිං ඕ වගේ කිසිම එලොවටත් මෙලොවටත් වැඩක් නැති මෝහය වඩවන, ශ්‍රද්ධාව පෙලන කතාන්දර කිව්වාම අපේ බෝඩිමෙ එකෙක් කියනවා. මේ උඹ අපිට කලිං අපායෙ යනවා සුවර් මේ කියන කතාවලට.. අපායට ගිහිං උඩ එල්ලල අහවල් දෙක තල තල අහනකොට තෝත් එක්ක එකට හිටියෙ මොක්කුද කියලා උඹ අපේ නම් හෙම කියනව නෙමෙයි හොදේ....”


අපි දැන් කතාවට යමු.                 
බොහොම ටික කාලෙකට කලිං අපේ කන්තෝරුවෙ දුර තියෙන ශාඛාවක උත්සවයක් තිබිලා තියෙනවා. ඒ උත්සවේදි ඉතිං බෝම ලස්සනට ආගමට මුල්තැන දෙන්න ඕනි නිසා පොඩියට බනක් පිරිත් ඩිංගක් කියන්න ඕනි කියලා හාමුදුරුවො වඩම්මන්න ලෑස්ති කරලා තියෙනවා. නිකම්ම අපි හාමුදුරු කෙනෙක් වඩම්මන්නෙ නෑනෙව. ඒකට අපි ඇතිරිලි දානවා, ලස්සන කරනවා පිරිසිදු කරනවා. මේ උත්සවය තිබිලා තියෙන්නේ අලුත් මොනාහරි හදපු කෑල්ලක් ඕපන් කරන්න. පරණ ඔපීසියෙ තමයි අර බණ පිරිත් කාරිය කියන්න සකස් කරල තියෙන්නෙ. දැන් ඔක්කොම හරි.. වටේම සුදුපාට ඇතිරිලි. පුටුවටත් ඇතිරිල්ලක් දාල මේසෙටත් දාල කිරිපාටට බැබලෙන්න. ඒ අස්සෙ පැදුරු හෙමත් දාල තියෙනවා මැදින් ඉඩතියලා සාදුට වඩින්න. එලියෙ ලොක්කො හෙම බලං ඉන්නවා දුර ඈත හාමුදුරුවො එනවාද කියලා. ඒ අතර අනික් සොක්කො මොනාහරි වැරදි තියෙනවාද කියලා බලනවා. එකෙනෙක් ඒ අස්සෙ හාමුදුරුවන්ගේ කකුල් පිහිදාන්න ගෙනාපු රෙද්ද ආයෙ ගසලා තියෙනවා. තව කෙනෙක් මල් ටික හදනවා වට්ටියකට.

ඉතිං මේ හාමුරුවන්ට වෙලාව බලන්න කියලා පොඩි ඔරලෝසු කෑල්ලක් අරං අර හාමුදුරුවො වාඩිවෙන්න නියමිත පුටුවට ඉදිරිපිටිං තියෙන මේසෙ උඩිං තියන්න යන්නෙ එක්කෙනක්. එයා එ්ක තියන්න ගියා විතරයි සුදුපාට බෝලයක් වගේ එකක් තියෙනවා ඒ පොඩි මේසෙ උඩ සුදු රෙද්ද මත. ටිකක් පොඩියි. රවුං ජිල් බෝල හැඩේට තියෙනවා. හැබැයි සුදුපාටයි. මේ මනුස්සයට කල්පනා වුනේ ධාතු. මේ වගේ වත්පිළිවෙත් කරන පිළිගත් තැන්වලට ධාතු වඩිනවා කියලා ඒ මනුස්සයා අහලා තිබුනා.

විනාඩි දෙකක් යන්න ගියේ ඒ අවට හිටපු මහ සෙනඟ අර සුදුපාට කුඩා බෝලය බලන්න රොක් වුනා. ඒ අතර ටිකක් ලොකු ලොක්කෙක් බඩ ඊස්සරහට දාගෙන අර චන්ද පෝස්ටරයක වගේ මූණ පේන විදියට පැත්තට වැඳගෙන කාරිය නැමිලා කියලා වැඳගෙනම බලනවා මේක ඇත්තක්ද කියලා. අහල පහල අයත් දැන් වැඳගෙන තමයි ඉන්නෙ. ඔය අතර ඔය තැන බලාකියාගන්න සිකුරිටි උන්නැහේයි තව එක්ෙකනකුයි ගිහිං සිකුරිටි උන්නැහෙ රෑට බය හිතුනාම කියන්න කියලා තිබුන පිරිත් පොත් පිංච අරං ඇවිත් වටේ ඉඳං පිරිත් කියනවා. පිරිත් කියන්නෙ වෙන කිසි දේකට නෙමෙයි ධාතු වෙන තැනකට වඩීවි කියන බයට.. සමහර අය දුවලා ගිහිං කන්තෝරුවෙන් ඇස් කන්නාඩිය දාගෙන ආවා ධාතුව බලන්න. අනේ හරිම පිංපාටයි. ගෑනු මිස් කෙනෙක් එහෙම කිව්වා.
පංසලේ ධාතුවලට වඩා ලොකුයි නේ. සමහරෙක් රහසින් කිව්වා.

ඒ අතර මේ ස්ථානයේ ප්‍රධානියා ඉන්නෙ අර බඩ ඉස්සරහට දාං අත් පැත්තට දාං වැඳන් හිටිය කෙනා.. ආන්න ඒ බුවා පලාතෙ මන්ත්‍රි බබාට කතා කලා. කතා කරලා විස්තරේ කිව්වා බොහොම සැදැහැවැත්ව දෝතින්ම පෝන් එක අල්ලගෙන. මන්ත්‍රි තුමාටත් ඉතිං වෙන වැඩ කෝටියක් තිබුනත් මේ වගේ ශ්‍රද්ධාවන්ත මහජනයා පිරෙන මහජනයා පිනවන වැඩ වලට ඉතිං වෙලාවක් නැතිවෙන්නෙ නැහැනෙ. යන්න තිබුන ගමනත් පැත්තක දාල මන්ත්‍රි හාමුදුරුවො ගෙදර ඉන්න වැඩකරන අයට කියන්ට ඇති වහාම සුදු රෙදි කිට් එක මැදලා තියන්න කියලා..

ඔය කලබල අස්සේ ටික වෙලාවක් ගිහින් එක්ෙකනෙක් හොඳින් ඇහැ දාලා ධාතු දිහා බලනකොට මේන්න බොලේ තවත් ධාතුවක් වැඩලාලු. ඒ කියන්නෙ දැන් අතන ධාතුන් වහන්සේලා දෙකයි. ධාතු ගැන නොද්නන අයටනං චූටි සුදුපාට බෝල දෙකයි. මේ ගැන සැක හිතපු කස්ටියම උඩ ඉන්න දෙයියොවත් මේවා එවනවාද කියලා සැකපිට උඩ බැලුවාලු. එතකොට එක සේවකයෙක්ගේ කට කොණකට යම්තම් සිනාවක් ආවාලු. සර්ධාව අතරින් මිනිහාට යන්තමින් ඇත්ත පෙනිලා.

අපේ මේ කන්තෝරු වල ටිකක් උෂ්ණත්වය ගැන සොයාබලනවා. කාලගුණ තත්වය ගැන සොයාබලනවා නිතර. මොකද මැෂින් වැඩකරන්න අවශ්‍ය තත්වය නැතිවුනොත් එක එක කතන්දර වෙන නිසා. ඉතිං මේ ආකාරයට උෂ්ණත්වය පීඩනය මනින්න මාන එහෙම තියලා තිෙයනවා බිත්තියෙ ගහලා. අර පිරිත් වලට බණ වලට කාමරේ අස් පරස් කරනෙකොට එක බුවෙක්ගේ අතින් මේ මානයක් බිඳිලා. බිඳිච්ච මානෙ පොඩි වුනාට මේ සමහරක් ඒවා හරිම මිල අධිකයි. අනික ඕක බින්දෙ මොකද අනං මනං කේස් ගොඩයි. මිනිහා කරලා තියෙන්නෙ ඒක වහලෙ යටලීයක් අස්සෙ හංගලා. පේන් නැති තැනක. එලියට ගෙනියලා අතන මෙතෙන දානවට වඩා ඒක හොදයිත් එක්කනේ. ඉතිං පොර වහලේ හංගපු අර උෂ්ණත්වමානයේ, ක්ෂීරමානයේ, හෝ පීඩනමානයේ යම් කිසි ද්‍රවයක් හෝ රසදිය හෝ ලෝහ කැබැලි තමයි අර සුදු රෙද්ද උඩට වැටිලා තියෙන්නෙ. ඒක සුදුපාටට පේන්න ඇත්තෙ පසුබිම සුදුපාට නිසා වෙන්න ඇති. කස්ටිය නං ඒ සිද්දියෙන් බොහොම සැරට ඇන්දිලා තිබුනා..

කොහොම හරි අස්සෙ ගහල හංගන්න හදපු මීටර් එකත් අහුවුනා සිද්දියෙන්. පස්සෙ ඉතිං ලොක්කා මන්ත්‍රිතුමාට කතා කරලා වැඩේ අවුල් කියන්න ඇති. කෝමහරි අර පිරිත් කියපු වැඳගෙන හිටපු සෙට් එක පස්සෙ කාලෙක මගදි හමුඋනත් කෝමද එදා ධාතු කියලාලු කතාව පටන් ගන්නෙ..

6 comments:

  1. ගැලපීම් වැඩියි කියන කෑල්ල හොඳ කෑල්ල!

    ReplyDelete
  2. පෑඩ් කතාව සිරා !

    ReplyDelete
  3. ඇයි බන් බුදු රැස් විහිදෙනවා කියලා එකසිය ගානට වැන්දේ. මුන් බුද්ධාගමේ ඉපදුනාට වඩා හොඳයි. නිගන්ටයෝ වෙලා ඉපදුනානම්. රට හරක්. සමහර් උන් නම් ගියේ ට්‍රෙන්ඩ් එකට. නියම මාකටින් පාරකුත් ගියානේ.

    ReplyDelete
  4. ඇයි අර බුද්ධ රූප වලිං රැස් විහිදෙන සීන් එකකුත් උනේ...

    ReplyDelete
  5. ජාතික පුෂ්පය නේ ධාතු වැඩම්මේව්වේ!අපේ සැදැහැවත් උපාසක රැල එයාව බලන්නත් එක්ක යන්න ඇති!

    ReplyDelete
  6. ඔව්ව නම් මොනාද බන් මඩ වලවලුත් පිරිත් කරපු රටක් නේ මේක...... :D

    ReplyDelete