Sunday, September 16, 2012

මා දකින පොත් ප්‍රදර්ශන (My Book Fairs)

මා 3-4 පන්තිවල ඉගනගනිමින් සිටියදි මාගේ පාසැලට පොත් විකුනන්නට කට්ටියක් පැමිණියෝය. ඔවුන් කලින් දැනුම් දී තිබුනු පරිදි පොත් ප්‍රදර්ශනය පටන් ගැනිනි. මට පොත් ගන්නට ආසාව තිබුන මුත් සල්ලි නැති විය. බොහෝ අමාරුවෙන් කන්කෙඳිරි ගා රුපියල් තිහක් ගෙදරින් ඉල්ලා ගතිමි. මාගේ රුපියල් තිහට ගත හැකිව තිබුනේ එකම එක පොතකි. එහි කොල ගොඩක් තිබේ. ඒ පොතේ නම පුදුම රතු කුසුම නම් වේ. එය රුසියානු කතාවක පරිවර්ථනයකි. පොතේ අකුරු අලි විසාලෙට නැතිවීමත් රුපියල් තිහට විශාල පොතක් ගැන්නට හැකි විමත් මා මහත්කොට සැලකීමි. එය අපේ ඉංගිරිසි පොත තරම්ම විශාල විය. 

ඒ පොත් ප්‍රදර්ශනය තිබුන දිනය අපිට පාසැල් වැඩකටයුතු එතරම්ම තිබුන දවසක් නොවීය. මා මිලදී ගත් පොතේ මුලත් මැදද් අගත් උඩිං පල්ලෙන් කියවා මා කතාව හොදින් ග්‍රහනය කරගතිමි. පොත මුල සිට අගට කියවීමේ සිරිතක් මට එකලද නොවීය. හොඳින් ලියා ඇති මගේ කැමැත්තට ගැලපෙන පොතක් නම් මා මුල සිට අගට කියවමි. නැත්තං එසේ කියවන්නේ නැත. මගේ මිතුරෙක්ටද කතන්දර පොතක් ගන්නට ආශාව තිබුනි. නමුත් ඔහුට කතන්දර පොත් ගන්නට ගෙදරින් මුදල් දී නොතිබුනි. මිතුරා මගේ පොත ගෙදර ගෙනියා කියවා හෙට ගෙනත් දෙන්නදැයි ඇසීය. මා දැන් කතාව දන්න ානිසාත් මිතුරා ගෙදර ගෙනගොස් ගෙනත් දුන්නාට පසු මට මුලසිට කියවිය හැකි නිසාත් මා ඔහුට පොත දුනිමි..

ගෙදර ගිය පසුය මට දෙවියන් සිහි වූයේ. කෝ ගෙනිච්ච රුපියල් තිහෙන් ගත්ත පොත. ? ගෙදර අය ඇසීය...
මං ඒක යාලුවෙක්ට දුන්නා...
මහ මැට්ටෙක්නේ...අලුත් පොත මොකටද යාලුවෙක්ට දුන්නෙ?? ඒක ගත්තෙ දන් දෙන්නද? ආදී ලෙස ප්‍රශ්ණ වැලක් අසා මට ලෑල්ල පතුරු යනතුරු බැනුම් අසන්නට විය. 
මට එවේලේ සිතුනේ අපරාදෙ රුපියල් තිහ ඉල්ලගත්තෙ...නැතිපාඩුවෙ නිකං උන්නනං ඉවරයි කියලාය. කෙසේ හෝ යාලුවා මට යලිත් පොත ගෙනත් දුන්නේය. ඔහු හොඳ එකෙකි. පොතේ කුනු ගා නොතිබුනි. හොදට එය ගෙනත් දුනි..

ඒ කතාන්දර පොත මා මිලදී ගත් පලමු පොතයි.මා එය දස වතාවකට වඩා කියවා තිබේ. දැන් එය කවුරුහෝ විසේකාර පොඩි යකෙකු ගෙනගොස් කීතු කර ඇතුවා විය හැක. පොඩි එකකු වුවත් පොත් පත්තර කිසි කමකට නැතුව පාවිච්චි කරන්නේ නම්..ඒවා බිම දමා අරියාදු කරන්නේ නම්.. පොත් වල බලි කුරුටු අඳින්නේ නම් ඒ තැනැත්තාට දඩුවම් කල යුතුයැ.මා කුඩාකලමා වසර අවසානයෙ පොත් බාරදෙනවිට ඉතා හොද තත්වයෙන් යලිත් බාර දෙමි. නමුත් එකලද මෙකලද ළමෝ ආන්ඩුවෙන් නිකං දෙන නිසා පොත් පත් වලට එතරම් ගරු කටයුතු ලෙස සලකන්නේ නැත.

ලංකාවේ පොත් කියවීමේ රුචිකත්වයට සෘජුවම වගකිව යුත්තේ රජයේ නිකම් පොත් දීමේ අමනෝඥ ක්‍රියාදාමයයි. අද පවතින ආර්ථික ක්‍රමය අනුව වටිනාකමක් ඇති සැම දේටම මිලක් නියම වෙයි. එසේ මිලක් නැතිව අපිට ලැබෙන දෑ අපි සලකන්නේ වැදැගැම්මකට නැති දේවල් ලෙසය. ආන්ඩුවෙන් ලබාදෙන පොත පත සම්බන්ධයෙන් පවා එසේය. පොත් පත් නිකම් දෙන විට එහි කිසිම අගයක් දරුවන්ට නැත. මා කුඩාකල සිංහල පොතේ ඇති සියලුම කෙටිකතා නවකතා විස්තර කියවා ඒවා කටපාඩමින් මෙන් අවස්ථා කියවන්නට හැකි වුවත් එකලද මෙකලද බොහෝ ලමෝ කියවන්නේ විභාගයකට අවැසි කෑලි පමණකි. 

පාසැල් පොත පත සල්ලි දී ගන්නට සිදු වූවානම් දුප්පත් ලමෝ අපේ ආච්චිලා සීයලා කල මෙන් ධනවත් ලමෝ ගෙන් පොත පත ඉල්වාගෙන කියවති. නැත්නම් පාවිච්චි කරන ලද පොත් අඩුවට මිලදීගෙන කියවති. මගේ මව්පියන්ගේ පරම්පරාවල අය පොත්වලට පුදුමාකාර ගරුත්වයකි ඇත්තේ. අපේ තාත්තා දැනුදු පොතක් බිම දමා තිබෙන විට එක කුමක් වුවත් අපිට බනින්නේ පොත්වල තිබූ වටිනාකම දන්නා නිසාය. එක පවුලේ හත් අට දෙනා සිටි එකල දුප්පත් ළමුන්ට එක ළමයාට එක ගානේ පොත් තිබුනේ නැතිලු. නමුත් එකිනෙකා හුවමාරු කරගැන්ෙමන් පාසැලේ කටයුතු කරගන්නට එකල අය සමත් වූ බව වැඩිහිටියෝ කියනු මා අසා ඇත.

මහා පොත් ප්‍රදර්ශනය

වසර ගනනාවක සිට ලංකාවෙ මහා පොත් ප්‍රදර්ශනයක් බන්ඩාරණායක ශාලාෙව් මේ මස දි පැවැත්වෙයි. මේ ළඟදී මාගේ කන්තෝරුව අසබඩ තැනෙක නෝලිමිට් ආයතනයේ නිමි ඇඳුම් සේල් එකක් තිබුනි. සිතාගන්නට බැරි තරම් ඉහල නම්වල කාර්වලින් බැසගත් ගෑනු පිරිමි ලහි ලහියේ එහි රෙදි තෝරනු ලැබුයේ සියයට පනහේ ඩිසකවුන්ට් එකට නෝලිමිට් ඇදුම් ගැනීමටය. ඒ සේල් පලේ සිටි බොහෝ දෙනා වැදගත් පන්තියට අයත් අයවලුන් වූහ. එහිදී තෙරපෙමින් එකිනෙකා පරයමින් රෙදි තෝරනු දැකගන්නට ලැබුනි. 
ඉස්සර අපේ ගමේ අවුරුදු පොලද එසේය. වෙනදා පොලේ නොයන අය අවුරුද්දට කෙහෙල්ගෙඩි ගන්නට අලුත් වලං ගන්නට පොලේ යති. එදාට පොල ඇඟිලි ගහන්නට බැරි තරම් සෙනඟය. වෙනදා පොලේ සිටින වෙලෙන්දියන් වෙලෙන්දන් සමඟ ටික වෙලාවක් කයියක් ගහලා ගමේ විස්තර අහන අපේ අම්මා එදින තොරතුරු අහන්නේ පොලේ බඩු ගන්නට පැමිණි අයගෙන් පමණය. මන්ද වෙලෙන්දෝ බොහෝ සෙයින් කාර්යබහුල වෙන හෙයිනි.

මා මේ උදාහරණ දෙක කීවේ ඉහත අවස්ථා දෙකම ඉංගිරිසි භාෂාවෙන් ෆෙයා ලෙස හඳුන්වන නිසාය. පොල යන අදහස සිංහලෙන් ෆෙයා යන තැනට යෙදේ. පොත් විකුනන්නට බන්ඩාරණායක ශාලාවේ සැප්තැම්බර වල ඇත්තේද පොලකි. අපේ ගමේ උන්දැලා අවුරුදු පොලෙන් කරවල මාලු, අල ලූනු තෝරනවා වැනිව..තෙරපෙමින්..බැන අඩගසමින් දාඩිය මුගුරු දාමින් මහජනතාව පොත පත තෝරති. කෙනෙක් ඒ අතර ගෑනුන්ගේ පස්සා පැත්තවල් සොයා ගොස් ජැක් ගසති. තව වනචර කොල්ලෝ කාන්ඩයක් කවදාවත් එලියට පහලියට නොබහින කුරුඳුවත්ත ස්පෙෂල් බඩු දෙස සෙවල පෙරමින් බලති. ඒ අතර ගැටිස්සියෝද ගෑනුද කොතන උනාම මොකෑ අපේ පැෂන් එකට කියා කොටටද හිරටද කපා පලු පිටින්ද කැපී පේන ලෙසින්ද ඇඳගෙන ඇවිත් රෙදි හද හද පොත් තෝරති.

ඒ අතර සමහරුන්ට යාලුවන් හමුවන සාමිචියේ දවස ගෙවිය හැකි තැනකි බුක් පෙයාර් එක. ටියුෂන් පෙම්වතුන්ට තවත් ටැග් ගැහෙන්නට තැනකි බුක් පෙයාර් එක. කොකාකෝලා එලිපන්ට් හවුස් මැගි නූඩ්ල්ස් වාහන වලට සහ ඇතුලේ ඇති අධිමිල කැන්ටින් වලට එය මාර පල්ලමක් ඇති දවස් කීපයකි. ගියවර පොත් ප්‍රදර්ශනයේ මෙලෝ පිරියක් නැති වහතු රහක් ඇති ඇපල් සෝඩා නැමැති බීම ජාතිය නිකම් දුන්නේ එය මහජනතාව අතර ව්‍යාප්ත කිරීමේ අදහසිනි. මාද ඇපල් සෝඩා බීවෙමි. එසේම මා සමග ගිය යාලුවෙක් කලින් කොකාකෝලා හි වැඩකල එකෙකි. ඒ නිසා ෆැන්ටාද ස්ප්‍රයිට්ද කොකාකෝලාද ඇතිපදමට ගෑස් පිටින් බීමට ලැබුනි. ඒ යාලුවා ගියේ කොන්ඩා කපන පොතක් සෙවීමටයි . එහෙත් ඔහුට එය ලැබුනේ නැත. 


පොත් යනු සන්නිවේදන මාධ්‍යයකි. හරියට රූපවාහිනිය ගුවන්විදිලිය පත්තර වැනි තවත් එක් ප්‍රබල පුරාතන මාධ්‍යයකි පොත. රූපවාහිනියේ කොතරම් හොද දේවල් තිබිය හැකි මුත් ලංකාවේ තිබෙන්නේ ජනප්‍රිය ටෙලි නාට්ටි කීපයකි. ගුවන් විදුලියෙන්ද යමක් කමක් සංගීතයක් තිබිය හැකිමුත් ලංකාවේ තිබෙන්නේ ගීත වැල් පමණි. ඒ සරණම පොත් පත් සඳහාම අදාල වෙයි. විශාල පරාසයක පැතිරුණ පොත් විශාල සංඛාවක් ප්‍රදර්ශනයක අලෙවි විය හැකි මුත් ලංකාවේ වැඩිපුර අලෙවි වන්නේ නවකතා වෙයි. ලාංකිකයා මෙගා නාට්ටිවලට රූපවාහිනියෙන් පෙන්වන සිනමාවට යම්තාක් රුචි වෙයිද ඒ පමණටම පොත් හරහාද නවකතා ඉදිරියෙන් සිටිති. මා මෙතන නවකතා කිවේ ලංකාවේ නවකතා ලෙස සිංහල ගුරුවරු උගන්වන දේට නොවේය. සර්ලොක් හෝම්ස්, ටාසන්, හැරී පොටර, ආදී පරිවර්ථන වලට ජනප්‍රිය වී ඇති කතාන්දර පොත් වලටයැ..

පොත් සොයන්නෝද පොත් පත් සොයන්නේ යම් කිසි අරමුණක් ඇතුවය. එක්කො ළමයිට කියවන්නට දෙන්නට පොත් සොයයි. නැත්තං පුස්තකාලයකට පොත් ගැන්නට පොත් සොයයි. ඒ හැර තරුණ වයසේ අය මේ දවස්වල හිට් පොත් සොයයි. මේ දවස්වල හිට් පොත් දැනගන්නට ඔවුන් යාලුවොන්ගෙන් සහ නෑදෑ අයගෙන් උපදෙස් ගනිති. එකදාස් අටසිය ගනන්වල ලන්ඩනයේ සිටි සර්ලොක් හෝම්ස් මෙහි 2005 දී තොග පිටින් විකිනෙන ලදී. 

මා පොත් ප්‍රදර්ශනයේ සාමාන්‍යයෙන් වැඩිපුර සෙනග ගවසෙන තැන්වලට යනවා අඩුය. අඩුවෙන් තියෙන. නිකම්ම වගේ දෙන සමහර පොත් මා ගනිමි. අරගෙන රෑට නින්ද යන්නෙ නැති දවස්වල කියවන්නට තියා ගමි. නවකතා පොත් මිලදී ගන්නට කතාන්දර පොත් ගන්නට අවැසි නම් අපිට මරදානෙන් ඒවා ඇත්තටම සියයට විස්සේ වට්ටමටඒ පොත් ප්‍රකාශකයින්ගේන් මිලදී ගත හැක.අපි කියවපු නැති පොත්...අමුතු ජාතියේ පොත්,... පරණ පොත්...ආදියමා විසින් සාමානයෙන් සොයනු ලබයි.මම සාමාන්‍යයේන මිල අධික පොත් මිලදී නොගන්නේ ඒ මිල අධික පොත් වලට වැය කරන මුදලින් කිලෝ දෙක තුනකෙ පොත් පත් සමහර ස්ථාන වලින් පරණ පොත් ලෙසට මිලදී ගත හැකි නිසාය. උදාහරණ ලෙස කලක් තහනම් කරන ලද කාල් මාක්ස්ගේ එංගල්ස් පොත් දැන් සමහර තැන්වල රුපියල් 500ට 600ට විකුනති. ඒ සමහර පොත් ඇත්තටම එකල සෝවියට් දේශයෙන් අපිට නිකම්ම බෙදන ලද පොත්වේ. ලක්ෂණ කවර මනරම් කොළ වල තිබුනාය කියා සමහර විට මිල වෙනවා විය හැක. නමුත් අපි පොතක තිබෙන දේ කියවීම විනා පොතේ ලක්ෂන බැලීම එතරම් යුතු නොවන බව මගේ හැගීමයි..

පොත් ප්‍රදර්ශනයේ සමාරු එන්නේ අභ්‍යාස පොත් ගන්නටය. සමහරු දරුවන්ට ලිපිද්‍රව්‍ය ගන්නට එයි. තවත් අය නිකම් ප්‍රදර්ශනයක් බලන්නට මෙන් එති. 

ලෝකයේ ජනප්‍රිය පොරවල් ගොඩක් සිය පොරබව ලබාගත්තේ පොත් ඇසුරිනි. නිව්ටන්, අයින්ස්ටයින්, ෆොයිඩ්, කාල් මාක්ස්, චාල්ස් ඩාවින්,ඇරිස්ටෝටල්, නබිනායක තුමා..ආදීන්ට සිය මතය සෘජුවම ප්‍රකාශ කිරීමට පොත් පත් ඉවහල් විය. බොහෝ විද්‍යාඥයෝ සිය අදහස් සවිස්තරාත්මකව විස්තර කිරීමට පොත පත උපයෝගී කරගනිති. ළඟදී මැරුන නීල් ආම්ස්ට්‍රෝන් ලා හඳට ගියේ නැතිය කියා මතයක් එක් පොතකින් සනාථ කිරීටම උත්සාහ කරන ලද අතර තවත් පොතකින් ඒ මතය බොරුය ඇත්තටම හඳට ගියාය යන්න කියන ලදී. ලංකාවේද වික්ටර් අයිවන් නැමැත්තෙක් චෝර රැජින නමින් රැජිනකගේ චෝර බව විදහා දක්වන්නට පොතක් ලියා සිය මතය වැඩියෙනුත් එක්ක කියා පල කරන ලදී. නලින්ද සිල්වා නැමැත්තෙක් අයින්ස්ටයින්ටත් බැරිය මට විතරක් හැකිය ආදී කතාන්දර රැගත් අපේ ප්‍රවාද ලෙස පොත් පළ කරන ලදී. ඒ ආදී ලෙස ලෝකයේ මනුෂ්‍යයෝ එක් එක් කාලවලදී සිය විද්‍යාත්මක, කලාත්මක, නාට්‍යමය, සහ යථාර්ථමය අත්දැකීම් පොත් පත්වල ලියා තබන ලදී. බොහෝ භෞතික දෑ වෙනස් වුවත් පොතක පතක තිබෙන දෙයක් ලේසියෙන් වෙනස් වන්නේ නැත. අවුරුදු දාහකටත් එපිට මාතලේ අලුවිහාරයේදී පාලියෙන් ලියා තබන ලද ත්‍රිපිටකයේ ගාථා අපි අද පවා සිංහලට හරවාගෙන භාවිත කරමු.

ආච්චි අම්මලා ඉස්සර කඩේ යන විට බඩු ටික ලියාගෙන යයි..එසේ ලියන්නේ අමතක වේයැයි බියෙනි.  ඉන්පසු බඩු එකින් එක ලාබ තැන්වලින් මිලට ගනී. දැන්දැන් බුක් පෙයා වලට එන ඇත්තෝද අර ආච්චි අම්මලා මෙනි. ගත යුතු පොත් කලින්ම තීරණය කර ලිස්ට් හදාගෙනද හමාරය. ඉන්පසු ලාබ තැන් සොයා තෙරපෙමින් ඒවා මිලට ගැනීමට වලි කති.මා කරන්නේ එය නොවේය.බොහොම සැහැල්ලුවෙන් බුක් පෙයා එකට යති. අතනින් මෙතනින් පොත් කිලෝ පහක් හයක් ගෙනියන්නට ඇති තරම් ද සාක්කුවට දැනෙන තරම්ද වූ පසු රැගෙන විත් බාගයක් කන්තෝරුවේද ඉතිරිය බොඩිමේද දමයි. ඒ අතර දාර්ශනික පොත්, බෞද්ධ පොත්, ගාථා පොත්, කවි පොත්, මන්තර පොත්, මනෝවිද්‍යා පොත්, කතාන්දර පොත්, ළමා කතා පොත්, පරණ පොත්, ආදිය වෙති. සමහර පොත් මෙලෝ රහක් නැත. එහෙත් සමහර පොත් වල කොටසක් හොදය. මා මේ ලගදී ගොඩගේ සාප්පුවෙන් රුපියල් සීයට ගෙනා පොත් අතර ආර්ථික විද්‍යා පොතක්, භූගෝල විද්‍යා පොතක්, ඉතිහාසය සම්බන්ද පොතක්, ඩබ්ලිව් ඒ සිල්වාගේ කතාන්දර පොතක්, සිංහල ව්‍යාකාරණ පොතක්, ඉංගිරිසි පොතක් ආදි පොත් ගානක් තිබුනි. එකකවත් කවරවත් නොතිබුන මුත් අමුතු දේවල් ගොඩක් ඒ පොත් පිටු අස්සේ විය.

17 comments:

  1. අගනා ලිපියකි හැමදේටම මිලක් නියම වූ යුගයක පොත් ලෙසින් පල් හැලි වෙළෙඳපොළට පැමිණීම තමා ඉවසන්න බැරි.පොත් ගන්න යන්න පෙර ගන්නේ කුමක්දැයි දැනුම්වත්ව යන්න.
    http://samakayawate.blogspot.com

    ReplyDelete
  2. මා ලියු සාහිත්‍ය මාසයේ කියවන්නට/හිතන්නට යමක් ලිපිය කියවන්නට ඇතැයි හිතනවා. නැත්නම් මෙන්න ලින්ක් එක http://awidda-paya.blogspot.com/2012/09/blog-post.html. මට අතපහු වූ සියලු කොටස් ඔබ එක් කර තිබෙනවා.

    ReplyDelete
  3. අගනාම ලිපියක්....
    පුංචි කාලෙ මගේ මතකයකුත් අළුත් වුනා...

    කියවිමේ අගය රටට දෙන්න ඕන යුගයක මේ වගේ ලිපි ඉදිරිපත් කරන එක ගැන මම ඔබට කෘතඥ වෙනවා....

    ReplyDelete
  4. පොත් ප්‍රදර්ශන ඇතුව හෝ නැතුව හෝ, ලිස්ට් හදාගෙන හෝ නොහදාගෙන හෝ, කොටට ඇඳගෙන හෝ ගැහැණු ළමයිට කෙල හල හලා හෝ කෙනෙක් කිසිත් නොකියවා සිටිනවාට වඩා පොතක් කියවීම හොඳය. විවිධ පුද්ගලයන්ගේ රුචිකත්වයන් විවිධ බැවින් ඔවුන් තම තමන්ගේ අභිමතය පරිදි පොත් තෝරයි. මටනම් ඒ කිසිම දේක වැරැද්දක් නැත!

    ReplyDelete
    Replies
    1. මරදානෙන් දුම්රියෙන ්බැසගත් මා පලමුව ධවලගිරියෙන් මුරුක්කු ග්‍රෑම් සීයක් මිලදී ගතිමි.. මඳක් දුර වුවත් ගොඩගේ සාප්පුවටත් දයාවංශ සාප්පුවටත් පුංචි බොරැල්ලේ විජේසූරිය සාප්පුවටත් යෑමට මා සිතාගතිමි. මා සිතුවේ බී ඇම් අයි සී ඇච් එකේ මෙන් අතුරු සිදුරු නැති ජනතාවක් මෙහිද සිටියැයි කියාය. නමුත් නිවිහැනහිල්ලේ කියවා බලා දැක පොත් පත් අතගා බලා ගන්නට අවකාශ ලැබුනි. ගොඩගේ සාප්පුවේ සියයට පනහේ ඩිස්කවුන්ට් කුටියේ සිටියේ මාත් තව දෙදෙනකුත් පමණි... පොත් පත් කියවීමට බොහෝ දෙනා ප්‍රියකරන නිසසල වටපිටාවක් හෝ අඩුතරමේ ගොඩගේ සාප්පුවේ විය..

      අපිට හෙමීට ගිහිං පොත පත තෝරලා රුචි විදියට පෝලිමක් නැතුව ගන්න හැකියාව බී ඇ්ම අයි සී ඇච් එකේ නෑ..එතන හරිම කලබලයි... ඔය කලබලෙයි තෙරපිල්ලයි අල ලූනු ගන්න, රෙදි ගන්න සේල් බඩු ගන්න ප්ලාස්ටික් බඩු ගන්න සුදුසු වුනාට පොත් පත් සම්බන්ධ තැනකට ගැෙලපෙන්නේ නෑ... ඒ අවකාශය තුල බොහොම පොඩි ඉඩයි තියෙන්නෙ එක ප්‍රකාශකයකුට.....

      කොටින්ම අපේ බුක් පෙයා එක මැනිං මාකට් එක වගේ මිනිස්සුයි බඩුයි, කුනුයි කුනුහරුපයි තියෙන තැනක් මිසක් කිසිම ලස්සනක් ආට් එකක් කලාවක්, හෝ එවන් රූල් එකක් ඇති තැනක් නෙමෙ

      Delete
    2. ඔබ බම්බලපිටිය හන්දියේ තිබෙන ගුණසේන පොත් සාප්පුවට ගොස් ඇතැයි සිතමි. එහි වාඩි වී පොත් බැලීමට සෝෆා පවා ඇත. මෙවැනි තැන් වල අවශ්‍ය නම් පොත සම්පූර්ණයෙන් කියවා යාමට හැකිය. බොහෝ පොත් හල වලට පැමිණ මෙසේ පොත් කියවන අය මා දැක ඇත්තෙමි.

      Delete
    3. සුදු පූසාගේ කතාවට මමත් එකඟයි.. දැන් ගොඩ දෙනෙක් පොත් කියවන එකෙන් ඈත් වෙනවා.ඒ නිසා කොහොම හරි පොතක් කියවන එක තමා වටින්නේ.. අඩුම තරමේ ශර්ලොක් හෝම්ස්/හැරී පෝටර් කියවන එක හොඳයි මල් මල් කතා කියවනවට වඩා.. එහෙමත් කෙනෙක්ට තර්ක කරන්න පුළුවන්.. පොත් ප්‍රදර්ශණය ඇතුලේ කලබලයි නම් තමා..ඒත් වැඩි මිලක් සහිත පොත් අඩු ගානට ලබා ගන්න පුළුවන් තැනක් නිසා එකේ කිසිම වැරැද්දක් කියන්න බැ නේද.. 30%ක වට්ටමක් ලැබුනත් ඒක වටිනවා ලොකු ගානක් පොතක් ගන්න කොට.. මට නම් ඒක ඇත්තටම වටිනවා.. ජය වේවා..

      Delete
    4. මට පොතක් ගන්න තියෙනවා ඒක 800යි. පොත් ප්‍රදර්ශනෙන් ගත්තොත් 560 යි. අපි හිතමු පොත් සාප්පුවේ 25%ක ඩිස්කවුන්ට් එකක් දුන්නැයි කියලා. එතකොට පොත් සාප්පුවෙන් ගත්තොත් 600යි. පොත් ප්‍රදර්ශනේට ගියොත් 40ක් වාසියි. ඒ හතලිහෙන් මට බස් එකේ පොත් ප්‍රදර්ශනේට ගිහින් එතෑකි. ප්‍රදර්ශනේදී පොත කියවමින් පොතේ හැඩ වැඩ බැලීමට නොහැකි බව දන්නා නිසා මම කලින්ම මට අවශ්‍ය පොත් ලිස්ට් එකක් අටවාගෙන සිටිමි.

      ප.ලි : මම දුප්පතෙකි!

      Delete
  5. අයියෝ අපිත් ගත්තනේ ඉස්කෝලෙ පොත් ප්‍රදර්ශණ වලිං පොත්...
    අම්මට බර බරේ දාලා හෙන අමාරුවෙං සල්ලි ඉල්ල ගන්නේ...

    ReplyDelete
  6. 'ම' ලෙස අඛ්‍යාතය යොදන්න නම් 'මම' උක්තය විය යුතු ය.. මා යනු අනුක්තයක් මිස උක්තයක් නොවේ!

    ජය වේවා!!

    ReplyDelete
    Replies
    1. අමිල ට පිටකවරේ නැති ව්‍යාකරණ පොතක් අරං දෙමු!

      Delete
  7. මාත් ගත්තා ගොඩගේ එකෙන් ඒ ගාණට වටිනා පොත් දෙකක්, රුපියල් තිහක් ද කොහෙද එකක්.
    1. අනුර හොරේෂස් ගේ ගිනි අවි සහ ගිණි කෙලි - නිවුස් ප්‍රින්ට් කොලිටියේ.
    2. අර්නස්ට් මැකින්ටයර් ගේ නාට්‍යයක් - මුද්‍රණ දෙපාර්තමේන්තු එකක්

    ReplyDelete
  8. ශාස්ත්‍රීය සංගීත ප්‍රසංගයක් බලන්න යනවා මෙන්ම,අද පොත් ප්‍රදර්ශනය බැලීමද ට්‍රෙන්ඩ් 1 කි!ස්වර්ණ පුස්තක සම්මාන උලෙලෝ හෝ සාහිත්‍ය තරගාවලි වල අවසන් අදියරට තේරුණු පොත් ටික නෙට් 1න් බලාගත හැකිය.ඒ ටිකත් ලියාගෙන ගොස් පොත් සාප්පුවේදී පොත් වල පිටුවක් දෙකක් පෙරලා පොර පාට් එකක් දා බැර පොත් ටිකක් මිලට ගෙන ඒම මාර ෆැෂන් ඒකක්ය!
    (අත්දැකීම් ඇති නිසා කියමි)

    ReplyDelete
  9. පුදුමයකි. නැහැ පුදුමෙකුත් නැහැ.... මං පුංචි කාලේ කියවපු මුල්ම කථා පොත පුදුම රතු කුසුම......... ඒක මට අරං දුන්නේ මගේ අම්මාගේ නංගී. පිටු නං ළමයෝ ඔය කියන තරම් තිබුනේ නැහැ මං හිතන්නේ පිටු 32ක් වගේ තිබුනේ. එච්චර පිටු ගොඩක් මං කියෙව්වානේ කියලා ඒ දවස් වල හරිම උද්දාමයක් මට තිබුනා. කලින් ඒ කථාව කවදාවත් අහලා නොතිබුනු නිසා හරිම ආසාවෙන් මුල සිට අගට උදේ ඉඳන් රෑ මැදක් වෙනකම් කියවලා ඉවර කලා.

    ලස්සන නිමාව. අමුතු කඩදාසි. ලස්සන චිත්‍ර. දැන් ඒ පොත ඒ නිමාවෙන් සොයා ගන්න තැනක් ඇත්තේම නැහැ.

    ReplyDelete
    Replies
    1. ඒ උනාට ඒ පිටුවල අකුරු ගොඩාක් තිබුනා....හතර වසර ලමෙයක්ට කියවන්න ටිකක් ලොකු පොතක් ඒක....ඒ කතාව හරියටම මතක නෑ...ඒත් ලේඛකයා කතාව අවසාන කරන්නෙ සාදයකින්...මාත් ඒ සාදයට ගියා...රස කෑම ගොඩාක් තිබුනා...මට ඒවා කන්න ලැබුනේ නෑ රැවුලේ ගෑවුනා විතරයි කියලා අවසාක කරන්නෙ...

      මට මාර පස්නයක් තිබුනෙ රැවුලෙන් කෝමද කෑම කන්නෙ කියලා....ගොඩක් කල් ගිහින් තේරුනේ මේක සුරංගනා කතාවක්නේ කියලා...

      Delete
    2. ඔවු පොත සී ආර් පොතක් විතර දිග පළලයි නේ. අකුරු නං ගොඩක් තිබුනා තමයි. අපරාදේ ඒ කාලේ ඒක ඊට වඩා පරිස්සමින් බැලුවා නං පොත කාලයක් රැක ගන්න තිබුනා.

      Delete
  10. ම්... මේ පාරනම් ටිකක් වැඩිපුර ගන්න ඕනේ...

    ReplyDelete