Sunday, September 9, 2012

ශ්‍රී ලංකාවේ විශාලතම පිළිම (Sri Lanka Tallest Statues)

ලෝකයේ විශාලතම සහ උසම පිළිම සැලකුවහොත් ඒ බොහෝ පිළිම බුදු පිළිම බව පෙනීයනවා ඇත. ඒ පිළිම අතරින් සුවිසල් පිළිම වහන්සේලා දෙනමක් වූ බාමියන් බුද්ධ ප්‍රතිමා අප ලෝකයට ඉතාම අවාසනාවන්ත ලෙස අහිමි විය. නමුත් චීනය, කාම්බෝජය, ජපානය ආදී රටවල විශාල පිළිම වහන්සේලා වැඩ සිටිනවාය. අපේ රටේ අප මූර්ති ශිල්පීන් සාමාන්‍යයෙන් නිර්මාණය කරන්නේ අප අමාමෑනි තිලෝගුරු ගෞතම බුදුන්ගේ පිලිම වහන්සේලායි. ලෝකයේ වෙනත් තැන්වල මෛත්‍රී බුදුන්, අමිතාභ බුදුන්, ශාක්‍යමුණි බුදුන් ලෙස විවිධාකාරයේ පිළිම වහන්සේලා නිරූපනය කර ඇත. දැනට ලොව උසම පිළිමය ලෙස විරුදාවලි ලබා ඇත්තේ චීනයේ අඩි 420ක් උසැති පිළිම වහන්සේ නමක් වෙයි..
මේ පිළිම ලැයිස්තුව ඔබට මෙතැනින් බලාගන්න පුලුවනි.

අපි දැන් ලංකාවේ දැනට පවතින විශාලතම පිළිම වහන්සේලා පිළිබඳව සලකා බලමු..

01. අලුත්ගම කන්දෙ විහාර පිළිමය.
  ස්ථානය = කොළඹ ගාල්ල මාතර ප්‍රධාන මාර්ගයේ කළුවාමෝදර හන්දියෙන් රට තුලට වන මාර්ගයේ මඳ දුරක් ගමන් කල විට කන්දෙ විහාරය හමු වෙයි..
උස = අඩි 160, රියන් 107, දැනට ලංකාවේ ඇති උසම බුදුපිළිමය ලෙස සැලකෙයි.
නිමකරන ලද වර්ශය = 2008

02. වැවුරුකන්නල බුදුරජමහ වෙහෙර පිළිමය
ස්ථානය = මාතර තංගල්ල ප්‍රධාන මාර්ගයේ දික්වැල්ලෙන් බෙලිඅත්ත පාරට හැරී කිලෝමීටර දෙකක් ගිය තැන වැවුරුකන්නල බුදු රජ මහ වෙහෙර වෙයි..දැන් මේ පිළිමය නව ප්‍රතිසංස්කරණ යටතේ කහ පැහැයෙන් දිස්වෙයි.
නිමකරන ලද වර්ශය = 1969
උස = අඩි 150, රියන් 100

03. වෙහෙරහේන බුද්ධ ප්‍රතිමාව
ස්ථානය = මාතර තංගල්ල පරණ පාරේ කාර්මික විද්‍යාලය අසලින් හැරී කිලෝමීටර දෙකක් ගිය තැන වෙහෙරහේන විහාරය වෙයි. එහි මෙ බුදුපිළිමය වැඩ සිටිනවා ඇත.
නිම කරන ලද වර්ශය = මුල්ගල් තබා ඇත්තේ 1939 වර්ශයේදීය
උස = අඩි 132, රියන් 88
කලින් සඳහන් කරල ලද පිළිම වහන්සේලා දෙනමම එලිමහනේ වැඩසිටින අතර මෙම පිලිම වහන්සේ පමණක් ආවරණයක් සහිතව වැඩ සිටී..

මා දන්නා ආකාරයට දැනට ලංකාවේ සුවිශාලම පිළිම තුන මෙය වේ. මේවා ලෝක වශයෙන් බලනවිට ලෝකයේ විශාලතම ප්‍රතිමා ලැයිස්තුවේ විසිපහත් තිහත් අතර ස්ථාන නිරූපනය කරයි. ඊට අමතරව පුරාණ පිලිම වහන්සේලා ගණනාවක් ලංකාව සතුය. අවුකන, රැස්වෙහෙර, බුදුරුවගල, මාලිගාවිල ආදී පිළිමවහන්සේලා එකල පැවති විශාල පිලිමවහන්සේලා ලෙස හඳුනාගත හැක.

මේ පිළිම තුනෙන් ප්‍රථමයෙන් නිර්මාණය වී ඇත්තේ වෙහෙරහේන ප්‍රතිමාව වන අතර ඉන් අනතුරුව වැවුරුකන්නල පිළිමයත් මෑතකාලීනව කන්දේ විහාර පිළිමයත් නිර්මානය වී ඇත. වැවුරුකන්නල පිළිමයේ අල්ලා ඇත්තේ වර්ග අඟලේ ප්‍රමාණයේ පිඟන් ගඩොල් වෙයි. වසරක් පාසා පිළිමය සේදීම පවා විශාල කර්තව්‍යයක් වෙයි.

කන්දෙ විහාරය තවත් විශාල විහාරාංග ගනනාවකින් යුත් අලංකාර ස්ථානයක් බව මා මිතුරන්ගෙන් අසා ඇත. මා එහි ගොස් නැතත් පුවත්පත් වලත් අන්තර්ජාලයේත් ඇති අන්දමට එය නරඹා සිත පහන් කරගත හැකි වැදගත් ස්ථානයක් විය හැක.

වැවුරුකන්නල බුදුරජ මහ වෙහෙර තුලද තවත් නැරඹිමට ස්ථාන තිබේ. කුඩා කෞතුකාගරයක් ඇති අතර එහි පුරාණ ඔරලෝසුවක් සහ වෙනත් පුරාණ කලට අයත් විශේෂ වස්තූන් රැසක් ඇත. අපායේ සිරි මොනවට විදහාපාන යකුන් ඇතුලත් ප්‍රතිමා සහිත උමං විහාරයක්ද එහි ඇත. 

වෙහෙරහේන විහාරයේ ලෝකයේ ඇති විශාලතම උමං විහාරය ඇතිබවට විද්වතුන් මත පලකොට ඇත. එහි ඇති සිතුවම් ගණන දහස් ගනනකි. මෑත යුගයට අයිති විහාරයක විශාලතම සිතුවම් ප්‍රමාණය එහි ඇතැයි මට සිතේ. ජාතක කතා වස්තු මහජනතාවට සමීප කරවීමේ අරමුණින්ද අසා ඇති ජාතක කතා නැවත මතක් කොට ගැන්මටද ධර්ම කාරණා පැහැදිලි කරගැන්මටද මේ සිතුවම් බොදු උපාසකවරුන්ට වැදගත් වෙයි. 

යමුද නගෝ අද කන්දෙ විහාරෙට, යනුවෙන් චාමර වීරසිංහ විසින් කන්දෙ විහාරය ආශ්‍රිතවත්, දකුනේ පිංඇති පිංබිම වැවුරුකන්නල ලෙස ගංවතුර උවදුර අවස්ථාවේ නිර්මාණය වූ ගීතයක් චාමර වීරසිංහ විසිනුත්, වෙහෙරහේන විහාරයෙ උඩමලුවට යන්නම් යනුවෙන් අජිත් මුතුකුමාරණ විසිනුත් ගංවතුර ආශ්‍රිතව ගීතයකුත් ආදි ලෙස ගීත නිර්මාණයන්ට පවා මේ විහාර තුන දායක කරගෙන ඇත්තේ ඒ විහාර ආශ්‍රිත ජනප්‍රියත්වය නිසායැයි මට සිතේ. ප්‍රේමය විරහව, ශෝඛය, ආදී සියලු සැපදුක් සියල්ල පිරිසිඳ දකින අප දහම ආශ්‍රිතව එවන් ගීත නිර්මාණයෙහි මා නම් වරදක් දකින්නේ නැත.

බොහෝ අය ලෝකයේ විශාලතම ප්‍රතිමාව චීනයේ බුදු පිළිමයක් බව දනිතත් ලංකාවේ විශාල ප්‍රතිමා රැසක් ඇතිබවත් ඒ සම්බන්ධ දත්ත අන්තර්ජාලයේ සුලභ නොමැති බවත් නොදැන සිටිති. පුරාණ පිළිම අතින්ද අප රට ඉදිරියෙන් සිටී. අපේ පුරාණ කාලයේ ඇති පුරාවස්තු රැකගැන්ම මෙන්ම අපේ මෑත කාලීන බොදු පින්වතුන්ගේ ශ්‍රද්ධා භක්තියේ තරම යම්තාක් දුරට විදහා පෙන්වන මේ පිළිම රැකගැන්ම අපේ යුතුකම වෙයි.

මෙහි තවත් විශේෂ කරුණක් නම් කොළඹ ගාල්ල මාතර හම්බන්තොට හරහා පුද්ගලික රථයකින් කතරගම (ඒ 2 මාර්ගය හරහා) යන අයෙක්ට විවේක ඇතොත් වෙලාව වැයකර මේ පිළිමවහන්සේලා තුන් නමම දැකබලාගන වැඳපුදාගැන්මට ඇති හැකියාවයි.

19 comments:

  1. දැනුමටැ යමක්... පිං සිද්ධ වේවා.....

    අපරාදේ කලින් පාර රනිල්ට චන්දෙ දුන්නනම්... මේ පෝස්ට් එකේ දාන්න තිබ්බ ලෝකේ විෂාලම පිළිමෙත් ලංකාවේ කියලා.. කොහෙද අපේ උන්ට ඕවයෙ වගක් තියන එකක්යෑ

    ReplyDelete
  2. වැදගත් ලිපියක්.. වැව්රුකන්නල හා වෙහෙරහේනේනං ගියේ පුංචි කාලේ... කන්දේ විහාරේ පිළිමේ මං යනකොට හදං ගිහින් වැඩ නවත්තලා තිබුනේ... මොනවා නමුත් මිනුම්වල වැරදීමක් නිසා පිළිමේ නොගැලපීමක් තිබුනා... හදපුවා ආයේ තැනින් තැන කඩා දමමින් තිබුනේ... කන්දේ විහාරේ ප්‍රසිද්ධ ඔය පිළිමෙටත් වඩා අනුහස් ඇති විශ්ණු පිළිමයක් ඇති නිසා... ඒ වගේම තමා රුපියල් විස්සක් දීලා අලියගේ බඩ යටින් යන්න එහෙමත් තිබුණා මං ගිය දවසේ... බෝධිප්‍රාකාරය පොකුණක ඇති නෙළුමක ආකාරයට නිර්මාණය වී තිබුණාත් මතකයි... මං මේ කියන්නේ දෙදහස් හතරේ විතර මතකයක්...

    ReplyDelete
    Replies
    1. //කන්දේ විහාරේ ප්‍රසිද්ධ ඔය පිළිමෙටත් වඩා අනුහස් ඇති විශ්ණු පිළිමයක් ඇති නිසා...//

      ??????????????????????????????????

      Delete
    2. ඔව් මාරයාගේ කතාව ඇත්ත.ඒ වගේම පැරණි බුදු ගෙය පිහිටි ගොඩනැගිල්ලෙහි ඇති තොරණ එයිතිහාසිකයි..!(නියම වචනය ටයිප් කරගත නොහැකියි)

      Delete
    3. අනුහස්???? බැරිවෙයි ද මටත් ටිකක් ගන්න?? :D

      Delete
    4. කන්දේ විහාරයේ තියෙන විෂ්ණු දේව ප්‍රතිමාව වාඩිවෙලා ඉන්න ඉරියව්වෙන් ලංකාවේ හම්බෙන පරනම වගේම එකම විෂ්ණු ප්‍රතිමාවලු. ඒ වගේමයි පරණ විෂ්ණු දේවාල හැම එකකම දේව රූපය තිර දාලා ආවරනය කරලා තිබුණත් කන්දේ විහාරයේ විෂ්ණු ප්‍රතිමාව හැමෝටම දැක බලා ගන්න පුලුවන්. [දැන් ඒක එහෙම නෙමෙයිද මන්දා]

      Delete
  3. බොහොම හොඳ ලියවිල්ලකි. මා යමක් දැන කියා ගතිමි........ස්තුතියි

    ReplyDelete
  4. ගිහිං තියෙනවා පොඩි කාලේ...
    ආයේ යන්න ඕනා වෙලාවක..

    ReplyDelete
  5. තැන් තුනටම ගොස් ඇත්තෙමි.
    කන්දේ විහාරයේ පිලිමය පොටෝවට නගා ඇති කෝනය නම් නියමයි..ඔබ ගත්ත පින්තූරයක්ද..?
    කන්දේ විහාරයේ ගොඩනැගිලි සැලසුම් වලට කාලයක් සම්භන්දවී සිටියෙමි.

    ReplyDelete
    Replies
    1. මාරයියේ මෙන්න ඉන්නවා වගකිව යුත්තෙක්....:D

      Delete
    2. පිලිමයේ නොවේ ගොඩනැගිලිවල..!!

      Delete
  6. වෙහෙරහේනටයි වැවුරුකන්නලටයි ගිහින් තිබ්බට කන්දෙ විහා‍‍රෙටනං තාම ගිහිං නෑ.

    ReplyDelete
  7. කන්දෙ විහාරෙට ගොස් නැත.අනිත් පිළිම වහන්සේලා නම් වැඳ පුදාගන ඇත්තෙමි.

    ReplyDelete
  8. කුරුණෑගල පැත්තේ ලංකාවේ විශාලම පිළිමය ඉදි වෙන බවට මතකය!එය හිටි පිළිමයකි!කන්දේ විහාරේ අපි යන කාලේ මොනරු සෙට් 1 කුත් හිටිය මතකයි!

    ReplyDelete
    Replies
    1. @ නුවන්

      කුරුණෑගල ඉදි කරන්නේ විශාලම සෙල් පිළිමය. හැබැයි ඒක හිටි පිළිමයක් නෙමේ හිඳි පිළිමයක්

      Delete
  9. වැවුරුකන්නල, වෙහෙරහේන ගෙවල් ළඟ පාත නිසා පොඩි කාලේ ඉදලම වැඳපුදා ගත්ත තැන් දෙකක්....

    මෑත කාලීන බොදු පින්වතුන්ගේ ශ්‍රද්ධා භක්තියේ තරම යම්තාක් දුරට විදහා පෙන්වන???? කොහොමද බන් පිළිම වලින් ශ්‍රද්ධා භක්තිය මනින්නේ? පිළිමේ ලොකු වෙන තරමට ශ්‍රද්ධා භක්තිය වැඩි වෙනවැද???

    ReplyDelete
  10. වැදගත් විස්තර සහිත හොද ලිපියක්! මම කැමති ජාතියෙ ලිපියක්, නියමයි!

    ReplyDelete
  11. බියගම ප්‍රදේශයේ මේ දවස්වල දකුණු ආසියාවේ විශාලම හිඳි බුද්ධ ප්‍රතිමාව නිර්මානය කෙරෙමින් තියෙන්නේ

    ReplyDelete
  12. ඇත්තටම වටින ලිපියක් මේක. කන්දෙ විහාරෙට ගිහින් නෑ. ඒකටත් යනව🥰

    ReplyDelete