Tuesday, July 31, 2012

කවර දාපු සහතිකේ..02


ලොක්ක ආවා. මං කැරකි කැරකි ඉඳලා සබන් පෙට්ටියක් ගේන් යනවා කියලා එතන ඉන්න නිරූට කියලා පිටත් වුනා එලියට. බස් හෝල්ට් එකේ කෙල්ලෙක්. ලොලිපොප් එකක් කටේ දාගෙන. ඒක දැක්ක මට වලත්ත අදහසක් ආවා. ... මුන්ට ලොලි පොප් උරන් හොදයි. අහවල් එක දුන්හම තමයි..අනේ ඔයා හැමදාම ඉන්නවද/ කවද්ද අපි බඳින්නෙ? අම්මලට අහුවෙයිද? .හැමදාම මෙහෙම ඉදල බෑෙන කියලා බයිල කියවන්නෙ. රෝස පාට තොල් කහපාටට හුරු ලොලිපොප්පුව වටේ තැවරිල සූස් ගාල පැණි ටික උරාගන්නවා..එයාගෙ ඇස් තියෙන්නෙ ඈත අන්තයක..ඒත් බොහොම සැහැල්ලුවෙන්. ලොලි පොක් උරනව තරං සැහැල්ලුවෙං ඒව කොරන්න බැරි හැටි. හරියට මල් මාල දාල බෙර ගහ ගහ වටේ පිටේ මිනිස්සු අඩද්දි වදකයා වරදකරු මරන්න එක්කරං යනවා වගේ තමයි කෙල්ලො එක්ක යන්න ඕනි රූම් වලට...

හැමෝම හෙම නැතුව ඇති. මට අහුවුන උන් ඒමයි. ඉතිං ඒ තරං අමාරුවෙං එක්කරං ගිහිං මොන සතුටක්ද? විනාඩි දහයෙන් ලෝකෝතතර සැප ලැබුනා වැඩේ ක්ලෝස්..
.
කැම්පස් කාලෙ යාලු උනානං එකක්. ඒ දවස්වල හිතුවෙ තව ටික්ක ඔන් ඔහෙ පෙර පෙර ඉන්නව කියලා... දැන් ඉතිං හැමදා පෙර කල කුසල් එනකං බලා ඉන් වෙලා. පියං කාරයෙක් දිහා..කොටින්ම තේවතුර හදන හැම පක්කිලි වැඩේටම කඩේ යන පියන් කාරයෙක් දිහා ලස්සන කෙල්ලො බලය්යැ..බැලුවත් ඉතිං වැඩක්ය..සල්ලි නෑනෙ විසික් කරන්න.

කන්තෝරුවෙ අයින් කරපු බැනර් කෑල්ලක් ගෙදර ගෙනිච්චා ගෙදර. කවුද ලොකු තැනක් ආපු මහ ලොකු උත්සවයක ඉතිරි වෙච්චි ස්ක්‍රීන් ප්‍රින්ටින් වලිං ගහප බැනර් එකක්...මං අද බලනකොට තාත්තා ඒක වහලෙට දාල තෙමෙන තැනකට.. ඒකත් හොදයි..ඉටිරෙදි දැම්මට තියෙන් නෑ දිරනවා..

මං කැම්පස් ගියා. ඩිග්රිය ගත්තා රස්සාවල් නෑ. මේකට ආවා මේකෙ පියන්. උපාදි සහතිකේ පෙන්නුවෙ නෑ. ඒක පෙන්නුව නං මේකත් නෑ. මට මතකයි ආපු පලවෙනි දවස... මට ජොබ් එක ලැබුනා ජැක් එකක් තිබුන නිසා. කන්තොරුවට ආවා. හරියට තෙමිච්ච මීයෙක් වගේ. ආහම මේං ඉන්නවා නිරූ..නිරූ ටිකක් මැද වයස අසබඩ ඉන්න සුන්දර කොටලු දේනුවක් වගේ සුන්දරයි. ඉතිං මෙයා කියනවා. තේ කොල සුට්ටයි චමිල් දාන් ඕනි හොදෙයි..

සර්ටනං සීනි අඩුවෙං..ඩයබිටිස් නේ...මට සීනි තිබුනට කමක් නෑ...ඔයාට ඕනි විදියට සීනි දාගන්න..දාල මේන් මේම පෙගුනු තේකොල වතුර ටික දාන්න හොඳෙයි..ළමයෙක් උනාම මේව දැනෙගෙන ඉන් එපාය..

කැම්පස් හොස්ටල් ඉද්දිත් ඉන් පෙර ගෙදර ඉද්දිත් මා තේ හදා තිබුනි. නමුත් තේ හදන්න දන්නවාදැයි ඇසුවිට මා ඤැක් කීවේ හැමදා තේ හදන්ට වේය යන බියෙනි. නමුත් එය එසේම විය. ලොක්කා හවස නිරූ ගිය පසු පොඩ්ඩක් ඉන්න චමිල් යයි කියා..

මෙත තේ හදන එක බාල වැඩක් නෙමෙයි. දියුනු රටවල මෙහෙම නෑ. ඒත් ඕක එච්චර ගනන් ගන් දෙයක් නෑ.

අවුල් නං කියන්න. මටත් ේත එක හදාගන්න එක අවුලක් නෑ. ඒත් චමිල්ගෙ කැටගරි එක ඔය ජොබ් එක කරනවා මේ කම්පැනියෙ. මං දන්න කාලෙ ඉදලා පියන්ලා එහෙම.

සර් එහෙම කිව්වා. අනේ අතින් පයිං යනවෑ..මං තේ හැදුවා..


ලස්සනට ඇඳල...යටකරල.. අද මං ආවෙ ලොකු ලියුං කවරෙක උපාදි සහතිකේ දාගෙන. අදනං කියනවම තමයි සර්ට..

මං උපාදි කාරයෙක් කියලා. මේ ලගදි සර් කියලා තිබුනා...අලුත් කන්තෝරුවට ආවට පස්සෙ මහ වැරදි කතාවක්..

එයාට අලුතින් ජොබකට යන්න ලැබුනොත් යන්ෙන පියං කමකටලු...මෙලෝ වටින වැඩක් ලැබෙන් නැති නිසා වෙන් ඇති..
මට තිබුන කලිං කන්තෝරුවෙ තිබුන එකම බාරදූර රාජකාරිය තේ හැදීම...
.ඒත් අලුත් ඔපිස් එකේ ඒකත් නෑ...කම්මැලියි. දැං පත්තරේ ටිකක් කියවල ඈනුං දෙක තුනක් ඇරියට පස්සෙත් පැය තුනක් ගෙවිලත් නෑ..එපාවෙලා..

පඩිය ලැෙබන ඩිංගත් මදි නෑ වගේ..ඒත් වැඩ නෑනෙ...මේ පඩි ඇති..කියලත් හිතෙනවා.

වෙලාව බැලුවා. දැං හරි...
හිමීට කිට්ටු උනා ලොකු ලියුං කවරෙ අරං...බොසා ලඟට...

ම්ම් මොකද්ද?
බොසා සැර කලා..මං බය මූනක් දාගත්තා..ඉන්ටවු වලදි බයවෙන් ඕනි..නැත්තං අතිපන්ඩිතයි කියලා කැපිල්ල..
නෑ සර් සහතිකයක්...

කෝ...කියල මං දික්කරං හිටපු ලියුං කවරෙ කඩල බැලුවා...

චමිල් වනිගසේකර...තමුසෙ නේද?
තමුසෙ උපාදි සහතිකයක් අච්චු ගැහුවද?

නෑ සර් මං උපාධි කාරයෙක්..

අස්වෙනවද? ලොක්කා ඇහුවා..

මෙච්චර කල් හරිනොගිහිපු ජොබ් අස්වුනාම හරියයිද.? නෑනෙ..
නෑ සර් මට වැඩක් මොකක් හරි..මට කොම්පියුටර් පුලුවං..ඉංගිරිසිත් පුලුවං..

එතකොට චමිල් කරපු වැඩේ?

ඒවත් කරන්නං සර්...
තව සුට්ටක් විස්තර දැනගන්න තවත් ආතල් ගන්න කියෙව්වෙ නැති අය  කවර දාපු සහතිකේ..01 කියවලා එන්න....

කවර දාපු සහතිකේ..01


පාන්දර හය හමාරයි..අට හමාරට පැය දෙකක් තියෙනවා. ඒත් කෝච්චිය අල්ල ගන්න බැරි උනොත් කේස්. ඒ නිසා දවාලියෙන් අවධි උනා. අද ටිකක් ලස්සනට කන්තෝරු යන්න ඕනි නිසා කලිසමයි ඉන්ටවු හත අටක් පරණ මගේ කමිසෙයි කලිං දවසෙ රෑ මැදලා තිවුවා මතකයි. ඒත් යට ඒවා ඒව හොයන් ඕනි. පැත්තක වහල තිබුන හැමදාම අරින මගේ කාඩ්බෝඩ් පෙට්ටිය ඇරියා. අලුත් බැනියමක් නං තියේ. ඒක ගත්තෙ මේ ලා පාටට හුරු සර්ට් එකට හොදට පේන්න යටට අලුත් බැනියම හොඳ නිසා. ඒත් ජොකෙක් නෑ. (ජොකා= පිරිමි යට ඇඳුම) හෙව්වා පරණ එකෙක් හමු උනා. ඊයෙ රෑ මගේ සැට් එකේ තිබුන ජොක්කු තුනම හේදුවා. අද එකක්වත් නැති එක පුදුමයක් නෙමෙයි නේ.

ඉතිං මං බැනියමයි අමාරුවෙං පෙට්ටියෙ යට තිබිලා හොයාගත් ජොකයි ඇඳ උඩින් තියලා බැලුවා. .ම් හු...ජොකයි බැනියමයි ගැලපෙන්නේ නෑ.. අලුත් ගොනෙක් පරණ කරත්තෙකට බැන්ද වගේ. නැත්තං මැන්ටලයක් බී එම් ඩබ්ලිව්, පර්ෙජා් එලවනව වගේ. ඇත්තට කවුරුත් යට ඇඳුම් දෙක මැච් වෙනවද කියලා බලන්නේ නැත්තේ ඇයි. ඒකත් හොඳයි. නැත්තං ඉන්ටවු වලදි ඒවත් බැලුවනං මං පේල් වෙනවා එකෙන්ම...ඒත් ඉතිං එහෙම නැතත් පේල් නේ..කන්ටැක්ස් නෑ..පුෂ් මදි..

ජොකාගේ උන්ඩ පාරක් දැන් ටිකක් ජිල්බෝලයක් සයිස් එකට ලොකු වෙලා. උන්ඩ පාරක් කිව්වට යුද්දයක්,වලියක් තියෙන පලාතකට නොගිහිපු මගේ ජොකාට මොන උන්ඩද. පරණ වෙලා පරණ වෙච්චි වැඩි කමට හිල්වෙලා..ඒත් තව හෝදල පාවිච්චි කරපු නිසා සිදුර උන්ඩයක් දාන්න පුලුවං තරමට ලොකු වෙලා..දැං ඒකෙං ජිල් බෝලයකුත් බස්සත හැකි අමාරුවක් නැතුවම. කමක් නෑ. ඕක පේනවයැ.

මූන හේදුවා. සපත්තු දැම්මා. ඉස්ටේෂමට ආවා. ඕව කියන්නත් දේවල්ද, කෝච්චිෙය එන හැමෝම එහෙමයි. ඇඳුම් ඇදල සපත්තු දාල එන්නෙ. මාත් ආවා. අපේ ඉස්ටේෂමේ ෆ්ලැට්ෆෝම් එක පොඩියි. ඒ කිව්වෙ උසින් අඩුයි. ආච්චිල සාරි පොට එක අතකිනුයි අනික් අතින් පාපුවරුවෙ බාර් එකයි අල්ලගෙන තමයි යාන්තං නැගගන්නෙ කෝච්චි පෙට්ටියට. ඒ අස්සෙ ඉතිං පාපුවරුවෙ ඉන්න කෙනෙක් මල්ල අරගෙන ඇතුලට දාල ආච්චිට සපෝට් එකක් දෙනවා. කෙල්ලෙක් ආවොත් කෙල්ලගෙ මල්ල නෙමෙයි කොන්දෙන් අල්ලල කෙල්ලව ඇතුලට දා ගන්නවා.

කන්තෝරුවට ආවා කිසි දෙයක් වෙනස් වෙලා නෑ.. හරි සෝක්.. මේ අලුත් ඔපිස් එක හරි මූසලයි. අනේ මන්දා කලිං එකේ වගේ කිසි එලියක් නෑ. අද ලොක්කට සබන් පෙට්ටියක් ගේන්න යන්න තියෙනවා දහයට විතර. ලොක්ක වොස් රූම් ගියාම එයා සබන් පෙට්ටියක් ගෙනියනවා ..පරණ තැනින් අලුත් තැනට කන්තෝරුව මාරු වෙනකොට ලොක්කගෙ සබන් පෙට්ටිය පරණ නිසා දාල ඇවිල්ල. ඔන්න ඔහෙ දහයට විතර ගියාම මැදැයි. මේ උදේ පාන්දර කඩවල් අරිනවයි..

කලිං ඔපිස් එකේ මං හිටියෙ හරිම සන්තෝසෙන්. කස්ටියටම තේ වතුරු හැදුවෙ මම. කස්ටියටම කඩේ ගියේ මම. ඒත් අලුත් එකේ බිල්ඩිමෙන්ම තේ වතුරු දෙනවා... ඒකට වෙනම කස්ටිය ඉන්නවා. මේක තියෙන තැනත් කියන්න පුලුවං නමක් නෙමෙයි. බෲක්ලයින් පෙදෙස. ඕක සෝමපාල පෙදෙස කියල දැම්මනං මොකද? වෙන්නෙ. මං කියන්නෙ පරණ තැනමයි තාම සමහරු ඇහුවම. මොකෝ වැඩකරන තැන අහල උන් මට මොනව දෙන්නද? මූනිච්චාවට අහන පස්න..අර අලුත් නම මට දිරවන්නෙ නෑ...

උදෙන්ම නිරූපා ඇවිත්. නිරූපා මිස් ඇවිත්. අනෙ ්ඒ වාහෙෙග මිස්. අම්මප මේ යෝදිට මං මිස් කියන එක පාඩුයි නෙව. මේ මැටි ගහ හිතන් ඉන්නෙ මොනිටරේ නැති උනාම ඩෙක්ස්ටප් එකේ ෆයිල් නැති වෙනවා කියලා. අලුත් ඔෆිස් එකට බඩු ගෙනත්, අපි දාන්න තැනක් නැති නිසා ටිකක් එලියෙ කාමරේක දාල තිබුනා රැයකට. ඒ රැයට ඒකට පැනල හොරෙක් මොනිටරයක් අරං ගිහිං..මහ මැට්ටෙක් කුඩු කාරයෙක් උනත් සී පීයු එක අරං ගියානං හෙන ගානක් ගන්න තිබුන නේ..ඇත්තමයි ඌ නං මහ පිංගුත්තරයෙක්..

ඉතිං පහුවෙනිද උදේ ඔපිස් එක හදාගන්න කස්ටිය කැෂුවල් ඇඳල ලස්සනට ආව. ඇවිත් අස් කරනකොට අපේ නිරූ කෝලම ගෙ මොනිටරේ නැති වෙල කියල හොයා ගත්තා. මං කොම්පියුටර දන්නවා කියල නිරූ දන්නවා. මගේ ලඟට ඇවිත් මේ චමිල් මගේ ගොඩක් පයිල් තිබුනෙ ඩෙක්ස්ටප් එකේ ...ඒව නැතිවෙයිද? කියල තොඳොලේ වෙලා ඇහුවා... මට අහපු ගොං කතාවට බක්ස් ගාල හිනා පනින්න ආවත් සුලු සේවකයින් වැඩ්පුර සිනාසෙන එක අඩුකරගත යුතු නිසා කටපියං හිටියා...

ඉතිං මං කිව්වා මිස් ටයිප් කරපුව තිබුනෙ කී බෝඩ් එකේ නේ.. ඒ නිසා කී බෝඩ් එක ඉතිරි වෙච්චි නිසා ටයිප් කරපුව නැතිවෙන්න නැතිව ඇති කියලා. එත් ඉතිං ඩෙක්ස්ටප් එකෙ තිබුන ඒව නැතිවෙලා ඇති කියලා නිරූ බයෙං හිටියෙ. ඒ මදිවට මේ යෝදි අර අලුත් මොනිටරේ අරං ආපු එකාගෙනුත් ඇහුවා නේ ඩෙක්ස්ටප් එකේ තිබුන ෆයිල් නැති වෙලද කියලා. ඌ උඩ පැන පැන හිනාවුනේ බඩත් අල්ලගෙන. පවු එක අතකින්..

 කවර දාපු සහතිකේ 02 කුත් තියෙනවා හොඳේ..

Monday, July 30, 2012

මගේ තනිකම

                   
තලනවා වගෙ අදත්
සෝම දෝතින් පිටේ..
වදින සැර ඉකිබිඳුම්
හඬ ඇසේ විලාපෙන්..
පියවතී උඹ පවු..


මොක උනත් හෙට උදේ
පියවතී සෝමෙ හා
ගොහිල්ලා උන් පොලේ
විකුනාවි බඩු
පෙන්නාවි සිනාවන්..

කසිය බී මත්වෙලා
නාලගිරි ඇවිල්ලා
හෙටත් දමනය පිණිස
තලාවී පියවතී
අනේ දරුවා කෑ ගසා හඩාවී..

මා ලෙවල් කරනවිට
පන්ති යන විට උදේ
කෙහෙල් පටවං ලොරියෙ
ඒකෙ ගිය පියවතී
සෝමෙ හා ek වුනේ..

ඉස්කෝලෙ යන්නැතුව
බඩු පෙට්ටි කරතියං
පොලේ ගිය පියවතී
දැං අම්ම කෙනෙක් වී
ඒත් වද වේදනා..විදීවි

හොඳින් ගොස් පාසැලට
ඉවර වී පන්තියට
සැරට පාඩම් කලත්
යන්තමට පාස් වී
මාත් දැං ලොකු වෙලා..

මට කැමති සෝමයෙක්
සොයාගත නොහැකි වී
බර වැඩිව මා අරන්
යන කෙනෙක්
නොමැති වී...

රෑ වහල උඩ දුවයි
පරාලේ මීයෝ
උන් කෑගසාවී
රැව් ගිගුම් දේවී
මී මහත්තය ගෑනි හට තලනවා වත්ද

පිපින මල් වටටියක්
පැන් නැතුව වියලිලා
වගේ මට දැනෙනවා
තනිය මට ඇතිවෙලා
කඳුලු වැල් ගලනවා

සෝමෙ හැන්දෑ යමේ
පියවතී තලනවා
ගිගුම් දෙන නදින් ඈ
ලතෝනිය තියනවා
අහෝ මට නැති සතුට..

Wednesday, July 25, 2012

Z වල එල්ලී දිවි නහ ගැන්ම

ඉසෙඩ් ලකුනු අවුල නිසා ළමුන් දිවි නහගන්නට ඕන්න මෙන්න බව දැන් හැමෝම පවසති. විපක්ෂය විසින් කලකදී ගොවියා සියදිවි නසාගන්ට ඔන්න මෙන්න බවත්..තවත් කලෙක දැන් ඔන්න කම්කරුවා සියදිවි නසාගන්න ඔන්න මෙන්න බවත්..තවත් විටෙක කැම්පස් සිසුන් සියදිවි නසාගන්න ඔන්න මෙන්න බවත් කියති. නමුත් සියදිවි නසාගත් තැනැත්තෙක් නැත. ඉඳහිට පෙම් හුටපට නිසා හෝ වෙනත් කොරගන්නම දෙයක් නැති මානසික පීඩනය දරාගන්න නොහැකි අය සියදිවි නසාගන්නට යොමුවෙති..
 අපි කොයි තරම් අමාරුවෙන්ද ඒ ලෙවල් කලේ ඔයා දන්ෙන නෑනෙ ඒකෙ අමාරුව...

හැමෝම වැඩ කරන්නේ අමාරුවෙනි. ගොවියා කුඹුරු හාන්නේ හාන්සි පුටුවක වී නොවේ..කම්කරුවා පාරේ වැඩ කරන්නේ ආතල් එකට නොවේ..එසේම පොල්කඩන මිනිහා උස ගස් මැදට ගොස් හතිඇර ඉතිරිය සෙමෙන් නගින්නේ ද විනෝදයට නොවේ. ලෝකයේ දුක දිනා ජයගත් මිනිසුනුත් දුක දිනා දුකම ගත් මිනිසුනුත් සියලුම දෙනා දුක් විඳිති. සැප යැයි කෙනෙක්ට පෙනුනත් එය සමාරවිට ඒ තැනැත්තාට එය දුකකි. අලංකාර ටයි පොල්ලකින් ලස්සන කලු කෝට් එකකින් මූන පේන තරම් පැහැදිලි සපත්තු දෙකකින් යුතුව කන්තෝරු එන්නෙකු අපි දකින විට අනේ මොන තරම් වාසනාවන්ත ජීවිතයක් දැයි කියා සිතේ. නමුත් ඒ ඇත්තෝද නොයෙක් අඩන්තේට්ටම් වලට මූන දෙති. නිවර්ථන රටක් වෙන මෙහි ටයි පොල්ලක් කෝට් එකක් දාගෙන ඒ සී එක ඇතුලේවත් වෙලාවකට ඉන්න ගියෑම එය අලි කරදරයකි.

එසේම කෙනෙක් අමාරුවෙන් පාඩම් කරන දේ තවකෙකුට කජුකන තරම් සරලය. හිතන්න ඉස්සර නවය දහය පන්තියේ ගණිත පාඩම..බොහෝ අමාරු ගනන් කෙනෙක් ලේසියෙන්ම හදයි. තවකෙක් කොරගන්න දෙයක් නැතුව ඔහේ ඉඳියි..තවත් අයෙක් අනෙකාගේ පොතට එබී පොටක් පාදගන්නට හදයි..සමහරුන්ට ධාරන ශක්තිය තර්කන හැකියාව වැඩිය. ඔවුන් ආයාසයකින් තොරවම අධ්‍යාපනය ජයගෙන යති. එහෙත් සමහරකට ඒ තරං මතක ශක්තිය ධාරන ශක්තිය වැනි වටිනා දේ නැත. ඔවුන් එක පදයක් කටපාඩම් කරගන්නට දිවා රෑ කකුල් බේසං වල දමා පාඩම් කරති..ඒ අනුව ඒ තුනක් ගන්නා සියලු දෙනාම එක සේ වෙහෙසී එකසේ දුක් වී ඒ තුන ගන්නේ නැතිබැව් පැහැදිලිය..

මේ වෙලාවේ අපි ආන්ඩුවට බනින්න ඕන් නැද්ද එස් බී එලවන් ඕන් නැද්ද?

පවතින ක්‍රමය පත්කරගෙන ඇත්තේ මිනිසුන් විසිනි. එය මිනිසුන් විසින් ප්‍රතික්සේප කරන ආකාරයක් පේන තෙක් මානයේවත් නැත..අපි කෑ ගසා එස් බී එලෙව්වත් තව ටික දිනකින් තවත් අයෙකු ඇවිත් කරන්නේද එවැන් දෑය.. ලොකු උපාධිකාරයින් බුද්ධිමතුන් සැබෑ සමාජ ක්‍රියාකාරින් බොහොමයක් අපේ කැබිනට් මන්ඩලයේ ද ඇත. නමුත් විටෙක ඔවුන්ද ආචාර්ය මර්වින් මහත්තයාගෙන් වෙනස් වන්නේ කථා විලාසයෙන් පමණි. සමස්ථයක් ලෙස ගතහොත් ඒ උපාදි සහිත කැබිනට් මන්ඩලයේ සිටින බුද්ධිමත් ඇමතිවරුන්ද කර ඇති කෙංගෙඩියක් නැත. සාමාන්‍ය පුද්ලගයෙක් ලෙස අපි සෑම අයකුටම මේ සමාජයේ විශාල බලයක් හිමිය. නමුත් අපේ රටේ මිනිසුන් කිසිදාක තමුන්ට තිබෙන බලය අවබෝධ කරගන්නේ වත් එය ක්‍රියාවේ යොදවන්නේවත් නැත. එබැවින් මේ පේන මෑත අනාගතය තුල මේ ක්‍රමයවත් මේ සමාජ අසාධාරනවත් නවතින ආකාරයක් නැත..

ඉතිං අපි කල යුත්තේ කුමක්ද?
මේ දැන් තිබෙන උසස් පෙළ අවුල ඇති විභාගය ලියූ මා දන්නා යහලු ගැහැනු ළමයෙකු ඇත. ඇය උසස් පෙළ ලියා ඒ සැනින් ස්ලිට් නැමැති ආයතනයේ උපාධිය පටන් ගන්නා ලද්දේ ඇගේ අක්කාගේ බලකිරීමටය. ගෙවන ගාන ගැන සිතා ඇය බොහෝ උනන්දුවෙන් වැඩ කරනවාය. එතරම් මිටරයක් නොවන ඇය මධ්‍යම රාත්‍රී වෙනතෙක් නිදිවරා පාඩම් කර අමාරුවෙන් ඒ විශය කොටස් ධාරනය කර විභාග වලට මුහුන දෙයි. ඇගේ උසස් පෙළ ප්‍රථිපල ගණිත හෝ විද්‍යා අංශයෙන් සී තුනකට එහා නොයයි. ඉතිං දැන් ඇය ඒ ආයතනයේ දෙවන සෙමස්තරයේ අවසන් භාගය පසු කරමින් පවතියි. ගුරුවරියක් වූ ඇයගේ මව ඇය මේ ආකාරයේ තොරතුරු තාක්ෂණ උපාධියක් කිරීමට අකමැති වුවත් ඇගේ අක්කා මේ උපාධියට රැකියා සුලභ බව පවසා නංගී ඒ සඳහා යොමු කරවන ලදී..

හෑ අපිට කොහේද සල්ලි...
අපි අසල්වැසි ඉංදියාව ගතහොත් ඒ රටේ නිදහස් උසස් අධ්‍යාපනයක් නැත. ඇත්තේ මුදල් ගෙවා ඉගනීමකි. ඉතිං ඒ දෙමාපියෝ ගන්නා තුට්ටු දෙක අමාරුවෙන් ඉතිරි කරගෙන දරුවන්ට උගන්වති. අපේ රටේ මා දැක ඇති සමහර පවුල් වලට මුදල් ඇත. නමුත් ඔවුන ්සිතන්නේ උසස් අධ්‍යාපනයද ආන්ඩුවේ රාජකාරියක් ලෙසටය. එතනින් එහාට ඇති දරුවන්ගේ විවාහ කටයුතු. ගේදොර තැනීම වැනි කටයුතු දෙමාපියන්ගේන් සිදුවිය යුතු දේ විදියටත් දරුවන්ගේ අධ්‍යාපනය දරුවන් සහ ආන්ඩුව බලාගත යුතු බවටත් සිතන දෙමාපියෝ වෙති. උසස් පෙළ අවසන විශ්ව විද්‍යාල සඳහා නොතේරුනු සිසුන්ට ඉංගිරිසි පරිගණක ඉගනීම සඳහා කීයක් හෝ දෙමාපියන්ගෙන් ඉල්ලා ගත හැකි වුවත් ඉන් පසු දෙමාපියන්ට මුදල් ටිකක් තිබුනත් දෙමාපියන් එතනින් එහාට උගන්වන්නට වෙහෙස නොවෙන ගතියක් මා ගම්බද සමහර පවුල් වල දැක ඇත. එහෙත් ලෝක වශයෙන් ගතහොත් මිනිසුන් කෑමට හැරුනු කොට වැඩියෙන්ම මුදල් වියදම් කරන්නේ අධ්‍යාපනයට බව මා කොහේ හෝ අසා ඇත..

බොහෝ යුරෝපීය සහ සුදු ජාතිකයින් සිටින ඔස්ට්‍රේලීයා නවසීලන්ත රටවල ඉගෙන ගන්නා ළමෝ උසස් අධ්‍යාපනය හදාරන්නේ කුඩා කුඩා රැකියා වල නිරත වෙමිනි. ඒ රටවල ඒ සඳහා අවස්ථාද නිර්මාණය කොට ඇත. ඉතිං අපේ රටේද එසේ අවස්ථා නම් නැත. එහෙත් සොයෙන්නාට සුලු රැකියාවක් නම් සොයාගන්ට අපාසුවකුත් නැත. අනෙක් කරුණ නම් වැඩකරන විට ඉගනීමයි. මා සේවය කරන ආයතනයේ වැඩ කරන විට අමතර උපාධි කරන්නට දැන දැන් අය යොමුවෙති. නමුත් රාජ්‍ය විශ්ව විද්‍යාලයකින් උපාධියක් රැගෙන කාර්යාලවලට යන බොහෝ දෙනා එතනින් එහාට වැඩකට අවැසි කාරනාවක් වත් ඉගනීමට මැලි වෙන ආකාරයක් පෙන්නුම් කරයි..

මා උසස් අධ්‍යාපනය ලබන කාලයේ එක එක පක්කිලි රැකියාවල නිරත වුනෙමු. අද ඉංජිනේරුව්න ලෙස සමහර ආයතන වල දෙතුන් සීයක් සේවකයින්ට අග්‍ර වී සිටින සමහරු එදා කුලියට හෝටලවල වේටර කම් කලෝය. සමහරෙක් මහ රෑ නිදිවරමින් සිකුයුරිටි වැඩ කලෝය. තවත් අය කුඩා කුඩා නයිට් කඩවල් වල රෑ වැඩ කලෝය. එසේම නිවාඩුවක් දුන් සැනින් ගමේ ගොස් තාත්තාගේ රැකියාවලට උර දී එයින් ගානක් කපා ගන්නට පුරුදු වී සිටි අයද සිටියෝය.. සිකුරිටි රැකියාවක් කල එක් යාලුවෙක් රෑ තිස්සේ නිදිවරා බර දෙනෙතින් ලෙක්චර් විත් අඩ නින්දෙන් ලෙක්චර් වල සිටීම මටනම් සෝකයට කරුණක් විය. කුඩා කල පොතේ අවසාන පිටුවල ලියූවාක් මෙන් ඉගනීම කටු අත්තේ සිට අමාරුවෙන් ගත කල ඔවුහු මල් අත්තම නැතත් ඒ ආසන්නයටම පැමිණ ඇත..ඒ එලෙස එකල අපිට රැකියා කරන්ට වූයේ නිදහස් අධ්‍යාපනය තිබුනත් කොළඹ සිටින්නට වීමත් බෝඩිං ගාස්තු හා වෙනත් අදාල අමතර පාඨමාලා ගාස්තු කවර් කිරීමට සිදුවීමත් නිසාය..
මෙසේ කියන විට යමෙකුට මතක් වන්නේ ඈත ගමක සිටින දුප්පත් අසරණ මුදල් නැති දෙමාපියන්ගේ දරුවන්ය. නමුත් අපි කෙතරම් උඩ දැමුවත් කැම්පස් යන්නේ ඉතා සුලුතරයකි. ඉසෙඩ් ඉස්කුවර් මොන විදියට හැදුවත් එක වසරේ ඇතුල්වෙන ළමුන්ගෙන් සියයට දෙකකට අඩු අගයකි රජයේ විශ්ව විද්‍යාල වලට තේරෙන්නේ..ඉතිරි ළමෝ කුමක් කරනවාදැයි සෙවීම එතරම් තැකීමක් අපේ සමාජය තුල නැත..

තාක්ෂණික අධ්‍යාපනයේ වැදගත්කම..
ටෙක්නිකල් කොලේජ් හෝ තාක්ෂණික ආයතන යැය් කියූවිට අපිට මතක් වෙන්නේ මජං සූට් එකකි. නමුත් අද ලෝකය බොහෝ සෙයින් පැතිරී ගොසින් ඇත. සමහර තාක්ෂණ ක්ෂේත්‍ර අධි තාක්ෂණය සමඟ මුසු වී ගෙන ලෝකය නව මාවතකට රැගෙන ගොස් ඇත. ටෙක්නිකල් කොලීජ් යැයි කියූ සැනින් බදාම ලෑල්ලත් වඩු පට්ටලයත් මතක් වන්නේ නම් ඒ මීට අවුරුදු දහයකට පාලවකට පෙරතිබූ තත්වයයි. දැන් වෙන රටවල මේසන් බාස් උන්නැහේ කෙනෙකුට පවා නියමිත සමාජ තත්වයක් නිර්මාණය කොට ඇත. එසේම තාක්ෂණික සේවකයින් සඳහා වන ඉල්ලුමද සාමාන්‍යයෙන් කලා ක්ෂේත්‍ර කළමනාකාර ක්ෂේත්‍ර වලට වඩා වැඩිය.. අනෙක් කරුණ නම් තාක්ෂණික සේවා වල කුඩා කාලයක් ඉගෙන ගෙන ඉන්පසු විශාල මුදලක් අතට ගත හැකි වීමයි. උදාහරණ ලෙස අපි හොඳ දක්ෂ වෑද්දුම් ශිල්පියෙක් ගතහොත් ඔහුට දිනකට රුපිය්ල දාහක මූලික ගෙවීමකට අද පුහුනුවන්නකු ලෙස වැඩට යා හැකි අතර පසුව සමහර වෑද්දුම් කරුවෝ දිනකට රුපියල් දෙතුන් දාහක් අයකරන වෙලාවල්ද තිබේ.
නියමිත ජාත්‍යන්තර ක්‍රමවේද අනුව පාලනය වන ආයතන වල රැකියා ලැබේනම් ඔවුන්ට නියම ආරක්ෂාවක්, සෞඛ්‍ය පිළිබඳ සැලකීමක් ද බොහෝ විට ලැබේ..

ඒ උනාට උපාධිය...
ලංකවේ දොස්තර උපාධියට පුදුමාකාර සැලකිල්ලක් උනන්දුවක් සමාජය තුල ඇත. නමුත් දොස්තර වන සියලු දෙනාට එක සේ ලොකු ඉල්ලම් පෑදෙන්නේ නැත. අමාරුවෙන් ඉගෙන පසුව විශේෂඥ දොස්තර වුනත් ඒ හැමෝටම එක සේ චැනලින් වලට ලෙඩ්ඩු එන්නේ නැත. රජයේ දොස්තර උන්නැහේ කෙනෙක් උනත් පුද්ගලික අංශයේ සමහර ආයතන හා සන්සන්දනය කරන විට ලොකු වැටුපකට හිමිකම් කියන්නේ නැත. සමාජ තත්වය අතින් යම් කිසි තැනක සිටියත් දොස්තර වරු යන නාමය නඩත්තු කරගැන්මට සමාජ තත්වය පවත්වාගැන්මටත් විශාල වෙර වෑයමක් දැරිය යුතුය.

ඉංජිනේරු අංශ ගත්තද සමහර විට තත්වය ශෝචනීය වෙයි. සමහර ඉංජිනේරු අංශ වලට ඇති රැකියා ප්‍රමාණය හිටිවනම කඩා ගෙන වැටේ. එවිට ඉංජිනේරු උපාධිය ගත්තත් සමහර විට අඩු වැටුපට අවුරුද්දේ දෙකේ කොන්තරත් පදනමට කිසිදු විශ්වාසයක් නැති තැනක සේවයට යොමු වීමට සිදුවෙයි. එනිසා ඉංජිනේරු වෛද්‍ය හෝ වෙනත් උපාධියක් ගත්තා පලියටම ලෝකයේ කිසිම රටක කිසිම තැනක ළඟට කතා කර රැකියා දෙන්නේ නැත. එහෙත් සමහර කාලවලට විවිධ ක්ෂේත්‍රවල රැකියා ඉල්ලුම අනුව වැටුප් සහ ඒ රැකියා ආශ්‍රිත තත්වය තීරණය වෙයි..

අපිට එතෙන්ට යන්න බැරි උනානේ..

ගණිතය හැදෑරු අයෙක් ඉංජිනේරු වරයෙකු ලෙසත්, ජීව විද්‍යා අය දොස්තර වරු ලෙසත්, වාණිජ්‍ය හදාරන අය ගණකාධිකාරී වරු ලෙසත් ලංකාවේ අය සිතති. නමුත් වෙනත් රටක විශ්ව විද්‍යාල වල ඇති විශය සංකලන සහ උපාධි හා ඩිප්ලෝමා පාඨමාලා සංඛ්‍යාව දුටුවිට අපේ රටේ විශ්ව විද්‍යාල සහ අධ්‍යාපන ආයතන අපිට හිමි කර ඇත්තේ කෙතරම් කුඩා වපසරියක්ද කියා අපිට නිතතින්ම සිතේ. හැදෑරීමට මුදල් නොමැති වුවත් කොළඹ හෝ වෙනත් තැනක පැවැත්වෙන විදෙස් විශ්ව විද්‍යාලයක විස්තර පොතක් රැගෙන ඒ විශ්ව විද්‍යාල වල ඇති පාඨමාලා සංඛ්‍යාව හා ඒ විස්තර බලාගැන්මෙන් මේ අධ්‍යාපනය යන ක්ෂේත්‍රය අද වන විට කොතරම් පලල් දැයි දැනගන්නට අවකාශ ලැබේ.. සමහර විෂය ක්ෂේත්‍ර දැන් දැන් සංකලනය කරමින් උගන්වයි.. උදාහරණ ලෙස ඉංජිනේරුවරයෙකු බොහෝ විට කළමනාකාරයෙකුගේ රාජකාරිද කලයුතු අවස්ථා ඇත. එවන් විටක ඉංජිනේරු උපාධියට කළමනාකාර කොටස්ද ඇතුලත් කොට ඇති අවස්ථා දැන් දැන් ඇත. එසේම වෛද්‍ය ක්ෂේත්‍රයට අවශ්‍ය සංකීර්ණ උපකරණ නිපදීම ඒවා නඩත්තු කිරීමාදිය සමිබන්ධ විශය ක්ෂේත්‍රවලදී ගණිත භෞතීය විද්‍යා මෙන්ම ජීව විද්‍යා කොටස්ද වැදගත් වෙයි..

ෆේස්බුක් එකේ එස් බීටත් බන්දුලටත් රජයටත් බැනීමෙන් සෙතක් වන්නේ නැතැයි මා සිතමි. ලෝකයේ සහ අපේ රටේ හැමදේටම මිලක් නියමවෙන මෙකල( කොටින්ම ධර්මයට පවා) අධ්‍යාපනය පමණක් නිකම් ලැබිය යුතු යැයිද එහි ප්‍රමිතිය නිසියාකාරයෙන් පැවතිය යුතුයැයිද මොරදීම බීරි අලින්ට ට්‍රම්පට ගැසීම හා සමාන දෙයකි.. මා සිතන්නේ දැන් මේ යන කාලය පෙට්ටියෙං එලියේ පමණක් නොව රටෙනුත් එලියේ සිතා බලා තම දියුණුව ගැන යොවුන් පරපුර සහ තරුණ පරපුර සිතිය යුතු කාලයයි. අපි මේ රටට මෙතෙක් නොවැදගත් නම් අපි මේකෙම පැල වීම තේරුමක් නැතැයි කීමේ මා නම් වරදක් දකින්නේ නැත. දැනට ලංකාවේ විශ්ව විද්‍යාල වල ඉගැන්වෙන පාඨමාලා වලින් බාගෙට බාගයක් අයිති වන්නේ පුරාවිද්‍යාවට හෝ ඒ ආසන්න පැරණි දේවලටය. වැනෙන්නා වාලේ වැනි වැනී සිට පසු කලෙක අරාබි දේශයේ හෝ කොරියාවේ ඇත්තන්ගේ වලං හෝදන්නට කම්කරු වැඩට යන්නේ නැතිව ඉක්මන් තීරණයක් ගෙන තමුන්ගේ පාර තමුන් කපාගැන්ම වැදගත් බව අවසන කියන්නට කැමැත්තෙමි..

Monday, July 23, 2012

ගොයි වැටුප


මීට වසරකට පමණ පෙර සෑම මාසයකම එක්තරා දිනයක් අපේ පැත්තේ වැඩිහිටි උන්දැලා කිහිප දෙනකුට බොහෝ වැදගත්ය. හැට පැන්න අම්මලා එදාට වෙනදා පොලේ අඳින දූලා දිහා යන්නට අඳින සාරිය හෝ රෙද්ද ඇඳගෙන පියරු තවරාගෙන කදිමට සැරසෙයි.

අපේ තාත්තාද නංගීට කෑ ගසා සරමක් කමීසයක් සොයාගනී. කමීසය යලිත් නංගීට පෙන්වා මේක මදින් ඕන් නෑ වගේ නේ” කියා අසයි. නංගී ඒ අවසරයෙන් තාත්තාගේ අතින් සර්ට් එක ගෙන එය අයන් එකෙන් අතුල්ලා දෙයි. ඒ අතර තාත්තා රැවුල කපයි. අර නංගී විසින් මැද දුන් කමිසයත් යන්තම් එහෙං මෙහෙං මැද දුන් සරමත් ඇඳ සීරුමාරුවට අත් දිග කමිසයේ අත් දෙක නවා ගනී. ඉක්බිති තාත්තාගේ සාක්කුවේ ඇති කුඩා පනා කෑල්ල ගෙන බොහොමයක් සුදු පැහැයට හැරුනු කෙස් ගස් ටික පැත්තකට හෝ පසුපසට පීරා ගනී. වසර තිහකටත් වඩා පැරණි එහෙත් තාත්තා විසින්ම අලුත්වැඩියා කරගෙන යන්තං ටවුමට යන්නට තරං දැන් කාලයේ ප්‍රමාණවත් වන, තාත්තාගේ හද්දා පරණ රැලේ බයිසිකලයට තාත්තා නගින්නේ පුරාණ මුහන්දිරම් කෙනෙක් කාර් එකට නගිනවා වැනි උජාරුවෙනි.

ඒ යන්නේ ගොවි විශ්‍රාම වැටුප ගන්නය. ඒක තාත්තාට මාර වටිනවාය. සමහර කාලවල දැනුදු තාත්තා අපිට වඩා සල්ලියක් අතගාන අවස්ථා ඇත. ඒ අපේ වත්ෙත් වගා වලිං ලැබෙන නොයෙකුත් ආදායම් නිසාය. එහෙත් තාත්තාට අර දෙන රුපියල් දාහේ විශ්‍රාම වැටුප හරි අගේය. කලක් නංගීටත් එයින් රුපියල් දෙතුන් සීයක් ලැබුනි. ඒ නිසා ඇයද තාත්තාගේ ඇඳුම් මැද දීමට උනන්දු වෙයි. ඔහු පඩිය ගන්න යැවීමට මතක් කරයි.. ඒ ගන්නා රුපියල් දාහෙන් බොහෝ විට තාත්තා වැඩ අටෝරාසියක් කරගනී.. අපේ තාත්තා නං ඔය රුපියල් දාහ ගන්නට මහ ලොකු පෙරුම් පිරීමක් කොලාට ඒකෙං ගෙදරට අඩුම කුඩුම ටිකක් ගෙන එන්නට බුලත් පුවක් ටිකක් ගන්නට හැර වෙන වැඩක් නං කොරන්නේ නැත. නමුත් ඒ රුපියල් දාහෙන් සමහර වැඩිහිටි අය බොහෝ වැඩ කරගන්නා අවස්ථා එකල විය..

මේ කියන්නේ වෙන යමක් ගැන නොව්..ගොවි විශ්‍රාම වැටුප ගැනය. දැනට මාස හතර පහක් පොලු තබා යලිත් නොගෙවන තැනට කටයුතු කෙරීගෙන යන ගොවි විශ්‍රාම වැටුප ගැනයි..

ආර් ප්‍රේමදාස ජනාධිපති තුමාගේ කාලයේ ගාමිණි ජයසූරිය මැතිතුමාගේ මූලිකත්වයෙන් ඇරඹුනු මෙම ගොවි විශ්‍රාම වැටුප් ක්‍රමය බොහෝ සෙයින් පැතිර යෑමට ආර් ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ මැදිහත්වීම හේතුවිය. මාස හයකට වතාවක් ගෙවනු ලබන සුලු වාරිකයක් ඒ රක්ෂණ ලාභියාට වසර හැට පිරෙන තෙක් ගෙවීමට සිදුවෙයි. ඉන්පසු ඒ රක්ෂිතයා මියෙන තෙක් මාසික වාරික වූ ගොවි විශ්‍රාම වැටුපක් ලෙස එය රජයෙන් ගෙවනු ලබුයේ ඒ ගොවි විශ්‍රාම වැටුප් අරමුදලෙනි.. සිය ජීවිත කාලයෙන් වැඩි හරියක් හේනේ, කුඹුරේ හෝ ගොවිබිමේ ගෙවන..කාෂ්ඨක අව්වේ පෙලෙමින් උදැල්ල,අව්ව, වැස්ස සමඟ හෙට්ටු වෙන ජනතාවට ගොවි විශ්‍රාම වැටුප අස්වැසිල්ලක්ම විය. සිය අවසාන කාලය ආ පසු කාටවත් අත නොපා ජීවත් වෙන්නට තරම් ඒ අනූ ගනන්වල අගදී විශ්‍රාම වැටුපෙන් ලැබුනු රුපියල් දාහ සමත් විය.

කිසිදු රැකවරණයක් ඊපී එෆ් ඊටී එෆ් හෝ වෙනත් රක්ෂණයක් නැතුව ගෙවුනු ගොවි ජීවිත වල වටිනාකම අවබෝධ කරගත් ප්‍රේමදාස ජනාධිපතිතුමා සිදුකල එක සද්ක්‍රියාවක් නම් මේ ගොවි විශ්‍රාම වැටුප හඳුන්වා දීමයි.. ඒ හරහා ගොවි ජනතාවට ගෞරවාන්විත විශ්‍රාම දිවියක් හිමි කරලීම නිතරම දුප්පත් ජනතාවගේ දුර අනාගතය දුටු ප්‍රේමදාස ජනාධිපති තුමාෙග් අරමුණ වන්නට ඇත..

මේ ටික කියවන විට පිරිසකට වෛරය ඇවිත් ඕකා හැටදාහක් කොල්ලෝ ටයර් සෑයවල් වල මැරුවා කියා දෙස් තියෙනු ඇත. නමුත් කෙතරම් නරුම මිනිසෙකු වුවත් කළ හොඳ වැඩ හොඳයැයි කියන්නට මා නම් පැකිලෙන්නේ නැත. හොඳ වැඩ නරක වැඩ තරාදියක දමා මිනිසුන් කිරා බැලිය නොහැක. එහෙත් ගාමන්ට් අටවා, වෙළඳ කළාප අටවා ඒ තුල අපේ ගෑනු ළමුන් අතිවිශාල සංඛ්‍යාවකට රැකියා ලැබීම තුල මේ අසල ඇති, තායිලන්තය, ඉංදියාව, ඉන්දුනීසියාව, පිළිපීනය, බුරුමය, වැනි රටවල් තුල ජනප්‍රිය වේස මඩු හෙවත් ගණිකා නිවාස විශාල වශයෙන් අපරට තුල ඇතිවීම දශක දෙකක් පුරාවට බොහෝ දුරට අඩු වූ බවට මට නම් සිතේ.. සමහර නින්දෙන් අවධි වූ කැනහිලුන් මොර දුන්නාට මේ රට තවමත් ලිංගික සේවා සැපයීමෙන් මුදල් සරි කරගන්නා තැනට ඇවිත් නැත..

දැන් අපි විශ්‍රාම වැටුපට යමු.

මේ ගෙවීම් සිදුකරනු ලැබුවේ අරමුදලක් ඇතිකොට ඒ අරමුදලේ මුදල් වලට ලැබෙන පොලියෙන් මේ විශ්‍රාම වැටුප් මාසික ප්‍රතිලාභ ගෙවීමේ ක්‍රමවේදයටයි.


  • ආරම්භයේදී විශ්‍රාම වැටුප් අරමුදලට යොමු වූ මුදල් හැර පසුකාලීනව වෙනත් විශාල ප්‍රමාණයේ ප්‍රතිපාදන විශ්‍රාම වැටුප් අරමුදලට නොලැබීම..
  • විවිධ අවස්ථාවන්හි අත්තනෝමතික ලෙස මේ විශ්‍රාම වැටුප් ගෙවීමට තිබූ මුදල් සංචිතය වෙනත් වැඩ වලට යොදාගැන්ම..
  • රක්ෂිතයාට ගෙවන මාසික ප්‍රතිලාභ මුදල විවිධ රජයන් විසින් ලකුනු දමා ගැන්ම පිණිස වැඩිකරනු ලැබුවත් ඒ හා සමානව වාරික මුදල් වැඩිනොකිරීම..
  • අවසානයේ ඉතිරි වී තිබු සොච්චමත් මාවිල් ආරු වන්දි ගෙවීම්වලට යොදවා මුදල සිඳෙන්නට හැරීම..

නිසා අද වන විට විශ්‍රාම වැටුප් අරමුදලේ මුදල් නොමැති විම හේතු කොටගෙන ගොවි විශ්‍රාම වැටුප් මාසික වාරික ගෙවීම නැවතී ඇත. ඒනිසා ගොවි ජනතාව මෙතෙක් ආඩම්බරයෙන් මාසයේ එක් දිනෙක උප තැපැල් කන්තෝරුවට ගොස් ලබාගන්නා පඩිපත නැවතී ඇත.

උපාසක අම්මලාට පොල්තෙල් සුවඳ කූරු ගන්නට..අපේ බාප්පලා මාමලාට නං අරක්කු ඩිංගක් මාසෙට වරක් හෝ කට ගාන්නට, සහ නොයෙකුත් ඔවුන්ගේ කියා ඇති වැඩවලට කාටවත් අත නොපා නම්බු පිට කීයක් හරි ගන්නට තිබූ අවස්ථාව දැන් නැති වී ඇත..මෙතෙක් කල් අවුරුදු හැට සම්පූර්ණ නොවූ එහෙත් වසර ගානක් සය මස් වාරික ගෙවූ අයට ඒ මුදල් නොලැබී යනවාද ඇත..

මා හයිලෙවල් පාරේ යනවිට නුගේගොඩ හරියේ අලී තඩි බෝඩ් එකක් දිටිමි. රගර් ගැසීමට උත්සාහ කරන ශ්‍රී ලංකන් ගුවන් සේවිකාවන් කීප දෙනකුගේ ඡායාරූපයක් එහි වෙයි. අනෙක් කෙල්ලන් කොල්ලන් විසින් එකියකගේ පුකෙන් අල්ලා උස්සා උඩින් යන බෝලයක් අල්ලා ගැන්මට වැරගන්වනු ලබයි. එය අලංකාරය. දර්ශනීයය. ලක්ෂණ ගෑනුන් ඇති නිසා කොල්ලන්ගේ ආකර්ශනය අලවන සුලුය.

ඇත්තම කතාවද එහි ඇත. සීනි කිලෝ එකෙං, පරිප්පු පන්සීයෙන්, තෙල් ටිකෙන් කපාගත් ,බදු ගෙවන එහෙත් උපන්තේකට එරොප් පෙලෙන් එකක නොගිය දුප්පත් අහිංසක ගැමියන්ගේ මුදල් වලිං අර, ශ්‍රී ලංකන් ගුවන් සේවිකාවන් පුකෙන් අල්ලා උඩට උස්සා ආකාස ගත කොට ඇත. මේ ගොවි විශ්‍රාම වැටුප් ගන්නා බොහෝ අහිංසක මාපියෝ කාගේ හෝ පිනා චෑන්ස් එකකට ඩිංගක් දඹදිව යන්නට වරම් ලැබුනොත් හැර අහස් යාත්තරාවක කවදා වත් ගොස් නැත. එහෙත් අපි ගන්නා සෑම බඩුවකින්ම කරමුලට එකතු කරන ලද බදු වලිං ගන්නා සල්ලි බිලියන ගනනින් මේ අන්ධභූත පාඩු ලබන ගුවන් සේවා දෙක නඩත්තුව පිණිස වැයකරයි..

එසේම කෝචච්ි පාරක් දැකලාවත් නැති තණමල්විල බිබිල හම්බන්තොට වන්නියේ ගොවියන්ද වසර ගණනක සිට මේ වනතෙක් ජයග්‍රාහීව පාඩු ලබන කෝචචි වෙනුවෙන් අල්ලට කන සීනි ඇටයේ සිට සූරා ගන්නා ලද බදු මුදල් කුට්ටි ගන්න ගෙවිය යුතුය.

මේ විශ්‍රාම වැටුප ගන්නේ අර උපාධිදාරින් ඉගෙන ගත්ත පලියට අයිස් ගහන්නට ආන්ඩු කන්තෝරු වලට පුරවා මාස් පඩි ලබා ගන්නා උපාධි ලැයිසොන් ජොබ් ආකාරයෙන් නොවේ.. ගොවි ජනතාව දුක් මාන්සියෙන් හම්බ කර වසර තිහ හතලිහක් මහපොලෙව සමඟ ඔට්ටු වී ටිකක් බැරි අමාරු කම් ඇති වූ විට වාත තෙල් ටිකක් ගාගන්නවත් ලැබෙන උපහාර මුදලක් වශයෙනි.. එවන් වූ වටිනාකමක් ඇති, මිනිසෙක් ගොවියෙක් වූවාට උපහාර පිණිස, රජයෙන් ඇති කරන ලද ගොවි විශ්‍රාම වැටුප අද ඔවුන්ට අහිමි කර ඇත.

ඉතා සුලුක කලක් ගිනිගහන අව්වේ මහපොලොව සමඟ තාත්තා එක්ක උදලු ගෑ මට ඒ ගොවිතැන් වල ඇති අමාරුව ටිකක් තේරේ..තාත්තාට පනස් ගානක් වන කලදීත් මට තාත්තා සමඟ විටෙක සමහර වැඩවලදි හැෙරන්නට බැරිවිය.. එසේ කොරලාත් ගන්න එලවලු කිලෝ එක අපි දෙන මුදලට හතර ගුණයක් වැඩිපුර මුදලකට පාරිබෝගිකයාට ලැබේ..උදාහරණ ලෙස අපි දෙන්නේ වම්බටු කිලෝව රුපියල් විස්සට නම් කොළඹ බොහෝ කඩබක්කි වල දෙසිය පනහ රුපියල් විස්සක් විය.. එවන් ගොවි ජනතාවට මේ රජය පෝර මිටියකින් පමණක් සලකයි.. එයද වී ගොවීන්ට පමණි..

තාක්ෂණික අතින් සැලසුම් අතින්, ගොවිතැනේ වර්ථමානයට අපි කෙසේවත් ලං වි නැත. අපි තාමත් දියුණු රටවල් හා බලන විට ගොවිතැන් අංශයෙන් සිටින්නේ බලංගොඩ මානවායාගේ අවධියේය. පිටකොටුවෙං මිලදී ගන්නා අඹ ගෙඩියකට වඩා ඒ රොප්පේ සීත පෙට්ටි වල එන දොඩං ගෙඩි හැඩට ලස්සනට කදිමට ඇත. අපේ රටේ එලවලු පලතුරු වල තත්වය ගැන කතා කරලා වැඩක් නැත.. ඒ පෙනෙන නවීන ලෝකයට ගොවීන් දැක්කීමේ කිසිදු වැඩපිලිෙවලක් අාන්ඩු කරන අයටවත් පුටුවල ඉන්න අයටවත් නැත. එසේම ගොවීන්ට ලබාදුන් තුට්ටු දෙකත් කපා ඔවුන් සිඟන මට්ටමට හෙලා දැමීමට තරම්,, නිදහස් වේලාවක කොම්පියුටර බැලීමට තරම් ඉහල සමාජයක සිටින අපි අද කුරිරු වී ඇත.

ඉතිං මේ වන් සමාජයක නොවටිනා ගොවියෙකු, කම්කරුවෙකු, වැදගත් මිනිසෙකු වෙනවාට වඩා ඕස්ට්‍රේලියාවේ සරණාගතයෙක් වීම රිසි නොවේයැයි කාට නම් කිව හැකිද?

ඔන්න යාලුවනේ කුනු කන්ද පෙරලුනා ඈ..

පුංචි පැංචි කියල කිඩ්ස් පෝගැම් එකක් ඉස්සර ගියා..ඒකෙ හැමදේම වගේ කියන්නේ එක ස්ටයිල් එකකට.. ඔන්න යාලුවනේ අපි අද බලමු මාලතී නැන්දා අපිට මොනවද ග...