Saturday, January 12, 2013

රියදුරු රාමවික්‍රම (a driver named Ramawickrama)

රාමවික්‍රම අයියා මා අඳුනාගත්තේ අද ඊයේ නොවේ..වසර කිහිපයක සිට හේ තෙමේ මාගේ මිතුරෙකි. රියදුරු මහතුන් සමග වැඩිදුර පයිරු පාසානම් තබාගැන්ම සුලු මහත්මයෙකුට සුදුසු නොවේ. නමුත් රියදුරෙකුට වඩා රොබෝවරයෙකුට සමීප වූ රාමවික්‍රම සමඟ ආස්‍රය කිරීම මටනම් එතරම් වදයක් ලෙස නොපෙනුනි. කිසිවිට තමුංගේ වෘත්තිය සීමාවෙන් පිට නොපනින රාමවික්‍රම හොඳ සේවකයෙකි..

පසුගිය දිනක වර්ශ අවසාන සේවක එකමුතුවකදී රාමවික්‍රම කටගොන්නටත් මදක් වැඩියෙන් අරගෙන සිටියේය. කොතෙක් බිව්වද කුනුහබ්බ හෝ දරුනු කලහකාරී ගතියක් නැති ඔහු මදක් කතා කිරීම පමණක් එවිට සිදුකරයි..

රාමවික්‍රම අතින් රියදුරකු ලෙස සිදුවන අනතුරු බොහෝ සෙයින් අඩුය. හෙ තෙමේ දක්ෂ රියදුරෙකි. යම් ගමනක් රාමවික්‍රම වේගයෙන් යද්දී කිසිවෙකු වාහනයේ සිට හදිස්සියක් නැහැ රාමවික්‍රම යැයි කීවොත් රාමවික්‍රම ඉබිගමනින්ම යයි. යලිත් මහත්තයා කියන තුරු වාහනය වේගවත් කිරීම රාමවික්‍රම සිදු නොකරයි. එසේම රියදුරෙකු ලෙස රියදුරු රාජකාරි කරනවා විනා ලොක්කන්ගේ හිතගන්නට පාර්සල් ඇදිම, අනවශ්‍ය කයි ගැසීම. ලොක්කන්ට වාසි වනසේ සිටීම රාමවික්‍රම නොකලේය. එනිසා රියදුරෙකු ලෙස කෙතරම් රාමවික්‍රම සාර්ථක වුවත් ඔහුට ලැබුන කාර්යසාධන ලකුණු හැමදා පහල අගයක් ගත්තේය. එයට මහත්වරුන් විසින් කියනු ලබන හේතුද වෙයි. එතරම් පිරිසිදු කම ගැන සැලකිල්ලක් රාමවික්‍රම ගේ නැත. වාහනය පිරිසිදු කිරීම ගැනද සැලකිල්ලක් ඔහුකෙරේ නැත. එබැවින් ලකුනු කපනවා යැයි අගවන්නට මහත්වරු උත්සාහ කරති..නමුත් සැබෑ හේතුව රාමවික්‍රම මහත්වරුන්ට ඕන විදියට වැඩ නොකිරීම සහ යටහත් පහත් නොවීමයි..

රාමවික්‍රම මොකද මේ වාහනේ ඇතුලෙ දුවිලි නේ..එයට උත්තර දෙන රාමවික්‍රම “ඉතිං මහත්තයා මට කියල තියෙන්ෙන උදේ ඉදලා වැඩක් එනකල් ඔපිස් එකට වෙලා ඉන්න කියලනේ..ඉතිං මං පල්ලෙහා ඔපිස් එකේ හිටියා..වාහනේට එන්නෙ මහත්තයල කිව්වම තමයි” රියදුරන් වැඩ නැතිවිට කොළඹ වටේ රවුං ගහන එක මහත්වරුන්ට දිරවන්නේ නැත. එබැවින් ඔවුන්ම කියා ඇත්තේ රියදුරු තැන පහල ඇති මීමැහි පොදිය වැනි තෙරපෙන කාමරෙයේ රියදුරන්ට රැඳී සිටින ලෙසයි. එයට තවත් බොහෝ හේතුද මහත්වරුන්ගෙන් අසා දැනගත හැක. කෙසේ වෙතත් එසේ එකතැනකට වි සිටින විට වාහනය බලන්නට එය සෝදන්නට වෙලාවක් නැති බව හැමෝම දනී. නමුත් සමහර රියදුරෝ මහත්වරුනට කියා වෙලාව වෙන්කරගෙන රිය සෝදති..නමුත් රාමවික්‍රම එසේ නැත. මහත්තයා ඉන්න කීවොත් ඔහු සිටියි. යන්න කිව්වොත් යයි.

රාමවික්‍රම මා සමග වැඩට ගිය දවසක කිව් කතාවක් මට මතක් වෙයි. දැන් මහත්තයා මේ කන්තෝරු වල ඉන්නෙ මහත්තුරු නෙමෙයි..පඹයෝ. පඹයා කාත් එක්කත් හිනා වෙනවා. පඹයා හැමෝටම හිනාවුනාට වැඩක් නැහැ. ඒ හිනාව මුට්ටියෙ ඇදලා තියෙන ඉරක් විතරයි නෙව. මට ඉන්නෙ කොල්ලොම දෙන්නෙක්. උන් දෙන්නගෙන් ලොකුම එකා මහ ඉහලින් පාස් වුනා ශිෂ්‍යත්වෙ. ඉතිං මේ කොල්ලා ටීවි එකේ පත්තරේ යනකොට අපේ ඔෆිස් වල හිටපු මහත්තුරු නෝනල කිව්ව කොල්ල කොළ ගෙනත් ඉස්කෝලෙකට දාන්න උදව් පදව් කරන්නං කියලා. සමහරු බොහොම තදින් සුබපැතුවා. කොල්ල අපිට බලන්න එක්කරං එන්න කියලත් කිව්වා.. සමහරු කිව්වා අපිට ලොකුවට සලකන්න බැහැ පොත් පත් සපත්තු හෙම අරං දෙන්න ඇහැකි කියලා. අපේ ගෑනිගේ නෑයො ටිකක් දලකාරයො. උනුත් කිවවෙ එහෙමම තමයි. ඉතිං අපේ ගෑනියි ඔක්කොම කියද්දි මම විතරක් කිව්වා කොල්ලා ඔය ඉස්කෝලෙම හිටපු දෙන් කියලා. මම ඔය මහත්වරුන් ගැන හොදට දන්නවා. වැඩක් කොරගන්න ඕනි වුනාම දරුවො ගැනයි පවුල ගැනයි අහනවා මූනිච්චාවට. ඉන්පස්ෙස මොකුත් නැහැ. දරුවට එක ඉදිකට්ටක දෙයක් හම්බුනේ නැහැ. මං එව බලාපොරොත්තු වුනෙත් නැහැ. ඒත් අරුං කිව්වෙ නිකං අලි දෙන්නං කොටි දෙන්නං වගේ. දරුව මෙහේ ඉස්කෝලෙ වලට දැම්මනං බස් කුලි වෑන් කුලි වලටම තව තුන් හාරදාහක් මගේ පඩියෙන් යනවා. හොද වෙලාවට නොදැම්මෙ.

රාමවික්‍රම අයියා දුර ගමනක් යන විට කෑම පාර්සල් තුනක් විතර අරගෙන එනවා. එයින් එකක් උදේට කනවා දවල්ට තව එකක් රෑටත් කරවල ටිකක් තෙල් දාල තෙලටම මොනවහරි හදාගෙන කෑමටිකක් අරගෙන එන්න රාමවික්‍රම අයියා පුරුදු වෙලයි හිටියෙ. සාමාන්‍යයෙන් රියදුරන් කෑම ගන්න වියදම් කරනවා අඩුයි. මහත්තයෙක් එක්ක කඩේට ගියොත් ඉස්සෙල්ලම පැනලා මික්ස් රයිස් එක දාගන්න දඟලන්නෙ රියදුරු මහත්තයා. නමුත් රාමවික්‍රම එහෙම නැහැ. මහත්තයා එහෙනං කාල එන්න මං ගාව වතුරු බෝතලයක් තියෙනවා.. මං ඒකෙන්ම අත හෝදං කන්නං..එවැනි විටක මා සිටියේනම් රාමවික්‍රම කඩයට එක්කරං ගොස් අඩුතරමින් මාලු කෑල්ලක් හොදිටිකක් හරි අරගෙන දෙයි. එසේම මට ඉහල එක්තරා මහත්මයෙකු යන දිනක නම් හේ ගෙදරින් අපි තුං හතර දෙනාටම උදේ දවල් කෑම උයාගෙන එයි. එවිට පංසලක හෝ ගස් සෙවනක වාහනය නවත්වා අපි කෑම ගනිමු. එවිට රාමවික්‍රම අයියාට කෑම ගේන්නට එපායැයි ඒ ලොක්කා තුමා විසින් කළින් දිනම අදෙනු ලැබේ.

සමහර මහත්වරුන් මේ රියදුරන්ට කෑමඅරන් දෙන්නට කැමති නැත. ඔවුන් යම්තාක් කොටසක් දුප්පත් වී ඇත්ද එසේ වී ඇත්තේ මේ රියදුරන්ට කැම අරන් දීම නිසායැයි සිතන්නෝද වෙයි. බොහෝවිට රියදුරුට ගන්නා කෑම එකට සරිලන විදියට හෝ සමහරවිට ඊටත් වඩා හොඳ ගනනක බිලක් ආයතනයට ඉදිරිපත් කොට ලොක්කන් ආයතනයෙන් සල්ලි ගනිති. එසේ ගත හැකි බවත් රියදුරන් දනිති. එහෙත් රාමවික්‍රම වැනි ප්‍රතිපත්ති ගරුක අනුන් දුන්නත් එහෙමට පැන නොකන අයවලුන්ද වෙති..

පසුගිය දිනක පාටිය වෙලාවේ රාමවික්‍රම කරටි කැඩෙන්නට ගසා සිටියේය. බොහෝ රියදුරන් එවැනි පාටිවලදී කන පැලෙන තුරු බොයි. ආයතනයට සම්බන්ධ ආයතන වලින් සම්මාදම් කර පවත්වන එම සාද ලොක්කන් විසින් සිය අතේ මුදලින් පවත්වනවා වැනි උජාරුවකින් පැවැත්වුවත් උවමනාවටත් වඩා මුදල් ලැබෙන බවත් බොහෝවිට ඒ මුදල් සියල්ලම පාටි වලට නොයෙදන බවත් රියදුරෝ දනිති. එබැවින් දින දෙක තුනක් නොකා නොබි සිටියාක් මෙන් ආපුවෙලාවේ සිට කන දේවල් සියල්ල කෑමටත් බොන්න ඇත්තම් පට් පට් ගා බීමටත් රියදුරන් උනන්දු වෙති. එසේ වන්නේ බීමට ඇති උන්න්දුව නිසාම නොවේ . සැමවිටම තමුංට වඩා වරප්‍රසාද ලත් මහත්වරුන් හා බීලා හෝ පලිගන්ට සමහරු බොති.

රියදුරන් ගැන ආයතනයේ බොහෝ අයතුල ඇත්තේ එය වැදගත් නැති රක්ෂාවක් ලෙසයි. ලංකාව වැනි රටක රියදුරු කෙනෙකු දියුනු රටක රියදුරකු මෙන් සැලකිය නොහේ. ලංකාවේ එලවීම යනු ඉබේ සිදුකල හැකි දෙයක් නොවේ. සමාජය ක්‍රමානුකූල නොවීම නිසා වාහන එලවීම යනු වෙහෙසකර රාජකාරියකි. දියුනු රටවල මෙන් ආයතනික වරප්‍රසාද සමව බෙදීමට වෙහෙසෙන්නේ නැති ආයන ප්‍රධානින් දියුනු රටවල රියදුරන් පාවිච්චි කරනනේ නැතැයි ආදී දේ කියා ..රියදුරන්ට පවු නිසා රියදුරන් තියාගෙන ඉන්නා වගක්ද රියදුරන්ට අගවන්නට උත්සාහකරති. නමුත් බොහෝ රියදුරුන් සිය වෘත්තිය ගැන ගරුත්වයෙන් සිටිති. නිතර පහලට හෙලා නොවැදගත් ජාතියක් ලෙසම රියදුරන් සලකන නිසා ආයතනයෙන් හොරාට දෙයක් පන්නාගෙන හෝ හොර වංචා සහගත ලෙස ඉපයීම් කර අමතර මුදල් සෙවීමට සමහරු පෙළඹෙති. ලොක්කන් ආකල්පීය අතින් සංවර්ධනය නොවන විට පහල ස්ථර වල කලකිරීම් ඇති වේ. එවිට ආයතනය ගැන ඇති සුබ ආකල්ප බිඳ වැටී ආයතන කාර්යක්ෂමතාවය අඩුවේ. නමුත් ලංකාවේ අඩුවෙන් වැරදි කරන සුලු සේවකයින් හැමදාම වැරදි කාරයෝ වෙති. වැඩියෙන් පඩි ගෙන වැඩිපුර වැරදි කොට නිකංම ඉන්න ලොක්කන් හැමදාම ඉහලම වැජඹෙති. විසාල ආයතන අලාබ ලබන්නේ ඇයිදැයි අලාබ ලබන ආයතනයක ලොක්කෙකු ගෙන් අැසුවොත් එය තමුං අයිති පරිපාලන ස්ථරයේ සහ විධායක ස්ථරවල වරදක් ලෙස කිසිම ලොක්කකු නොපිලිගනී. බොහේ අය චෝදනා එල්ල කරන්නේ පහල ස්ථර සහ ඒ ස්ථරයන්හි පවතින ආකල්පමය පසුගාමිත්වයටය.

රාමවික්‍රම අයියා උද්ගෝෂන වැඩවර්ජන ආදියට සහබාගි වනමුත් හේ තෙමේ ඉදිරිපෙල සාමාජිකයකු නොවේ. රැකියා හත අටක්ම කර ති ඔහු මේ රැකියාව සාපෙක්ෂව කරදර අඩු එකක්ලෙස දකී. පවර් ස්ටියරින් නොමැති බර වාහන එලවා ඇති රාමවික්‍රම අයියා යලිත් බරවාහන එලවිමට කැමැත්තක් නැත. නමුත් ඔහු ඩබල් කැබ් ආදිය එලවන විට විශාල ඉඩකඩක් පාරේ යොදාගෙන හරවන විටත් විශාල ඉඩකඩක් ලබාගෙන හරවන්නේ කලක් බරවාහන එලවා ඇති පුරුද්ද නිසාදෝයි මට සිතේ.

චන්ද්‍රසිරි කියල ඉස්සර මහත්තයෙක් හිටිය. අපරාදෙ කියන්න බැහැ රිටායර් වුනාට මොකද තව කල් වැඩ කරන්න තිබුන මහත්තයා. මහත්තයා වැඩකල කොම්පියුටරේ මට ගෙදර ගෙනියන්න දුන්න. ගෙදර ගිහිං අර පොඩි උං දෙන්නට දුන්නම උන් මොකද්ද ඔබල වැඩකරන්නෙ නැතුව ගියා. ඒපාර චන්ද්‍රසිරි මහත්තය ඇවිත් ඒක හදලම දුන්න. මේ ලඟක් වෙනකල් වැඩ කලා.. ඔය අලුත් කෑලි අනං මනං තියෙනව නේ මහත්තයා. ඔව්වා ගැන චන්ද්‍රසිරි මහත්තයා හරි උනන්දුයි. මටත් වාහනේ යනකොට ඒවා ගැන කියල දෙනවා. චන්ද්‍රසිරි මහත්තය හරි කැමති අපි ඉගන ගන්නවාට. මටත් නිකං ඉන් වෙලාවට කන්තෝරුවට ඇවිත් කෝම්පියුටර වැඩ ටිකක් ඉගනගන් කියලා කිව්වා. ඒත් ඉතිං ඕව කරන් ගිහින් චන්ද්‍රසිරි මහත්තයටත් හොද නැතිවෙයි කියලා මං ගියෙ නැහැ. අර කොම්පියුටරෙ දීලත් මට කිව්වා මටත් පුරුදු වෙන්නය කියලා. දැන් මටත් ටිකක් වැඩක් කොරගන්න ඇහැකි. ඉස්සර ලැට්ටප් හරි බර.. ඕකෙ තියනෙව අර බූරු කාඩ් පේලියට හදන සෙල්ලම් එකක්. චන්ද්‍රසිරි මහත්තය වැඩට ගියාම මං වාහනට වෙලා නිකං ඉන්නවනං ඕක ඕන් කොරල දීල යනව. ඉතිං මාත් මට උදව්වක් පදව්වක් කොරල දෙන්න කාරියක් හෙමට නැත්තං මං අර ලැට්ටප් එකේ තියෙන කාඩ් සෙල්ලම කරනවා. මේවා රාමවික්‍රම විසින් කියද්දී ඒ අතිත මතක සටහන් නිසා රාමවික්‍රම අයියාගේ මුවේ සිනාරැල්ලක් ඇඳේ..

පුතා සිස්සත්වෙ පාස් වුන කියල දැනගෙන චන්ද්‍රසිරි මහත්තයා පස්සෙ පොත්පතුයි සපත්තු කූට්ටමකුයි අරං දුන්න.බාගෙදා චන්ද්‍රසිරි මහත්තයා බැදපු නැති නිසා ලමයිට ආස ඇති. අන්න රත්තරං මහත්තුරු.. චන්ද්‍රසිරි මහත්තය ඕනි රෑක..රාමවික්‍රම වරෙං මිනියක් මරන්න කිව්වත් රාමවික්‍රම යන තරමට මං ඒ මනුස්සයට ගරු කරනවා. ඒකට දැං ඉන්න පකිස් බූරුවො. උං හිතං ඉන්නෙ සමහර දේවල් උං උපදිනකොටම මහවුසද පන්ඩිතයා හදුං කැටේ අරං ආව වගේ අරං ඇවිත් කියලා. ඇත්තමයි මං නං ඕකුං එක්ක වැඩි බජනයක් නැත්තෙත් ඒ නිසා. සමහර ඩයිවර් උන් එලෝලු බෑග් පවා ගිහිං ඩිකියෙ දානවා. කෑම එක අරං ගිහින් ඔපිස් එකෙන් තියෙනවා. දැං නං ඉන්න එවුවොන්ගේ ලබ්බක් බැහැලයි කිව්වත් මං නං නෙමෙයි කෑම අනං මනං අරං යන්නෙ.. ඇත්තමයි. කිසි ගුනයක් නැහැ.

අපි තුන්සිය හැටපස් දිනයක් මුං එක්ක වැඩකොරලා එක දවසක් අපි ස්ටයික කළාම මුං අපිට ලියුං එවනවා ගෙවල් වලට. (රාමවික්‍රම අයියලා එකතු වි ඔවුනට ලැබෙන බෝනස් මුදල මදි යැයි එක්දින වැඩවර්ජනයක් සහ පිකට් එකක් කල අතර එම පිකට් නීතිවිරෝධී යැයි සැලකූ ආයතනය යලිත් එසේ කරන්නේ නම් රැකියාෙවන් නෙරපන බවට ලියුං යවන ලදී. ඔවුන් එවිට සේවකයින් සේවයට නොපැමින පිට සිට උද්ගෝෂන කරන බව දැනගත්තේ ඒ ඒ අංශයේ සිටින ආයතන ප්‍රධානින් වෙතිනි. එම නිසා බොහෝ රියදුරන් එසේ තමුං වැඩට පැමිණියේ නැති බවට ඉහලට රපෝර්තු කල මහත්වරුන් ගැන සිටින්නේ වෛරයෙනි. )

ඉන්පසු රියදුරන් අකුරට වැඩ කිරීමේ ක්‍රියාමාර්ගයක්ද තිබුන අතර කිව්වත් නැතත් අකුරටම වැඩ කරන රාමවික්‍රම අයියා අකුරු දැන හැමදා වැඩකරන්නෙකු බැවින් ඒ හේතුවෙන්ම රාමවික්‍රම කැපී යන්නටද සමහර විට ඉඩක් ඇත.

11 comments:

  1. මල්ලි රට යන අත තමා ජීවත් වීමට තියෙන ක්‍රෙම්. මං දැකල තියෙනවා ඔය වගේ පොරවල් පස්සේ නොකරන වැඩත් කොරනවා... ඒ උනාට කතාව පස්ටයි..

    ReplyDelete
  2. හැමදාම වගේ වැදගත් පණිවිඩයක් අමිල..
    එල ..දිගටම ලියන්න...

    කැපෙන්නට පතාගෙන එන්නාවුන්
    නොකපන විටද කැපේ, කපන විටද කැපේ..

    ReplyDelete
  3. සමාජ ස්ථර කිපයක් ගැනම ලියැවුණු අගනා ලිපියක්...

    ReplyDelete
  4. ඔහොම අය නම් හුඟක් අඩුයි අද කාලේ.....ඒත් තනි ප්‍රත්පත්තියක දිගටම ඉන්නව කියන්නෙත් අමාරු වැඩක්......රාමවික්‍රම අයියට කිසිම නරකක් වෙන්න එපා කියලා අපිත් එක හිතින්ම පතනවා...

    ReplyDelete
  5. මරු ලිපියක්. තවත් ලියන්න

    ReplyDelete
  6. මම දැකල තියන රියදුරන් බොහොමයක් කේලාම්කරුවන්. රාමවික්‍රම බොහොම හොඳයි ඒ අතින්

    ReplyDelete
  7. මම දැකලා තියෙන සුපිරිම රියදුරා ගැන මාත් ලිපියක් ලිව්වා

    බෆල් රථයේ සිටි සෙබළුන්ගේ ගැලවුම්කාරයා

    ReplyDelete
  8. ඔයා නේද චන්ද්‍රසිරි මහත්තයා‍‍‍....

    ReplyDelete
  9. මටත් තෙරුම් ගන්නම අමාරු ජාතියක් තමා ඩ්‍රයිවර්ලා.. මාර ජාතියක්..

    ReplyDelete
  10. රාමවික්‍රම හඳුන්වන්න කට්ටිය පාවිච්චි කරන එක වචනයක් අලුගුත්තේරුවා නේද අමිල?


    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
  11. අවංකයා හැමදා දුකේ,,,,

    ReplyDelete