Friday, March 29, 2013

වැටුපට අමතරව

අද කාලේ හොඳ රැකියා අවස්ථා අඩුයි. ඒ වගේම ආයතනික පැත්තෙන් ගත්තොත් සුදුසු සේවකයනුත් අඩුයි. කොහොම වුනත් දැන දැන් වැටුප සාකච්චා කරලා රැකියාව දෙන තැන් වැඩිවෙලා තියෙනවා. වැටුප සාකච්චා කරනවා කියන්නෙ අපිට මාසිකව ලබාදෙන දීමනාව සලකා බැලීම කියලා ගොඩක් අය හිතනවා. නමුත් අපි රැකියාවක් කරන්නෙ ජීවත්වෙන්න..නමුත් රැකියාව ජීවිතේ වෙනවා කියන්නෙ තමුන්ට නොදැනිම තමුන් ආයතනයේ තිබෙන යන්ත්‍රයක් මට්ටමට වැටෙන එක. වැටුප් සාකච්චාවකදි හෝ රැකියාවක් සොයාබැලීමෙද ඉන්ටවිව් එකේදිම හැමදේම අහන්න බැහැ. අහන්න යන එකත් හොඳ නැහැ..ලංකාවෙ ඉන්ටවීවර්ස්ලා සමහරක් අය නම වැඩිය ගිරවා වගේ ප්‍රශ්ණ අහනවාට ආසත් නැහැ. ඒ වගේ වෙලාවට අපි යන්න ඉන්න ආයතනය ගැන පිටින් හොයාල බලන්න පුලුවන්. තමන් යන්න ඉන්න තනතුරට සමාන්තර අය ගැන හොයාලා බලන්න පුලුවන්..
 
ඉස්සර කාලෙ ලංකාවෙ තිබුනෙ රැකියා කිහිපයයි. ඉංජිනේරු, වෛද්‍ය, නීතිඥ සහ දිසාපති වගේ ලොකු අය වෙන්න තමයි හැමෝම උත්සාහ කලේ. ඒ රැකියා වලත් බහුතරයක් රජයේ රැකියාවලත් තමුන් කලයුතු රාජකාරි ආදිය පැහැදිලව තිබෙනවා. නමුත් තරඟකාරී ලෝකයක එහෙම නැහැ. එකම තනතුරේ වුවත් ස්ථාන දෙකකදී පැවරෙන රාජකාරි වෙනස් වන්නට පුලුවන්..
අපි රැකියාවල් සොයාගැන්මේදී සහ වැටුප් ගැන සාකච්චා කරද්දි සැලකිලිමත් විය යුතු කාරණා කිහිපයක් සලකා බලමු.

·         පැවරෙන රාජකාරි ධාරිතාවය.
දැන් බොහෝ ආයතන සේවකයින් විශාල සංඛ්‍යාවක් බඳවාගෙන වැඩකරනවාට වඩා සේවකයින් සුවල්ප ගානකින් සේවාව පවත්වාගෙන යන්න පෙළඹිලා තියෙනවා. මේ හරහා සමහර විට වෙනදා තුන් දෙනකු කල රාජකාරි එක් අයකු මත පැවරෙන අවස්ථා තිබෙනවා. එවන් අවස්ථාවක නිවාඩු රහිතව එකදිගට වැඩ කිරීම මානසික මෙන්ම ශාරිරික සෞඛ්‍යයට ඒ තරම් හොඳ ප්‍රවනතාවයක් නෙමෙයි. දැන් දැන් ලංකාවෙත් වැඩකරන විට ඇතිවෙන මානසික අසමතුලිත බව නිසා ශාරිරික දුබලතා පවා ඇතිවෙච්චි අය වාර්තාවෙලා තියෙනවා කියලා පහුගිය දවසක අපේ ආයතනයට දේශනයකට පැමිණි ජාතික මානසික වෛද්‍ය විද්‍යායතනයේ දේශක මහත්මයෙක් පැවසුවා. ඒ නිසා තරමක් සැර ඉලක්කම් ගානක වැටුපක් ලැබුනත් තමුන්ගේ ධාරිතාවයට තමාගේ මනසට ශරීරයට නොගැලපෙනවා කියලා හිතෙනවා නම් ඒ ගැන නැවත වතාවක් හිතන්න පෙළඹෙන එක වැදගත්. අපිට ජීවත්වෙන්න රැකියාවක් අවශ්‍යයි. නමුත් රැකියාව මතම ජීවත්වෙන්න ගියාම එතන මහ මූසල යාන්ත්‍රික ගතියක් ජනිත වෙනවා. ඒක දීර්ඝකාලිනව පවතින එක අපේ සෞඛ්‍යයට වගේම අපේ පවුල් ජීවිතවලටත් ඒ තරම් හොඳ නැහැ. 

විශ්‍රාම සැලසුම..

රාජ්‍ය අංශයේ නම් බොහෝදුරට රැකියාවලට යන අයට විශ්‍රාම වැටුපක් ලැබෙනවා. පුද්ගලික අංශයේ ලැබෙන්නෙ ඊපීඑෆ් ඊටී එෆ් සහ වෙනත් දීමනා තමයි. ඒත් සමහර ආයතන වෙනමම විශ්‍රාම සැලසුමක් ඉදිරිපත් කරලා තියෙනවා. එතකොට ආයතනයෙන් ඉවත් වෙනකොට හරි නැත්තං විශ්‍රාම යනකොට හරි ලොකු මුදලක් තමුන්ගේ අතට ලැබෙනවා. අපේ රටේ රජයෙන් පුද්ගලික සේවකයින්ට විශ්‍රාම වැටුප් දෙන්න ක්‍රමයකුත් ආවා..නමුත් ඒක නැවතුනා. මේ ආකාරයේ සැලකිය යුතු ගානක් විශ්‍රාම සැලසුමක් හෝ වෙනත් ඊ පී එෆ්(EPF,ETF) ඊ ටී එෆ් ආදියට කැපෙන්නෙ නැත්නම් අපිට පුද්ගලිකව රක්ෂන හෝ වෙනස් බැංකුගත විශ්‍රාම සැලසුමකට යන්න වෙනවා. ඒ නිසා විශ්‍රාම වැටුප ගැනත් සැලකිලිමත් වෙන්න ඕනි.. සමහර ආයතනවල මූලික වැටුප අඩු වුවත් වෙනත් දීමනාදිය නිසා ලොකු මුදලක් අතට ලැබෙනවා. නමුත් ඊ පී එෆ් ඊටීඑෆ් ආදිය එකතුවෙන්නෙ මූලික වැටුේ ප්‍රතිශත අගයකට.


·         නිවාඩු සහ නිවාඩු ලබාගත හැකි ආකාර.
පුද්ගලික ආයතන වල සාමාන්යෙයන් තියෙන්නෙ අවුරුද්දටම නිවාඩු විසිගනනක් වගේ අගයක්. ඒ වගේම සමහර බැංකු සහ මූල්‍ය ආයතන වල මැනේජර මහත්වරුන්ට වගේ අයට මාසෙකට හෝ අවුරුද්දකට අනිවාර්යෙන්ම ගතයුතු නිවාඩු තිබෙනවා.තවත් ආයතන තියෙනවා අවුරුද්දකට අපි ගත්තෙ නැති නිවාඩු වලට ගෙවන. අවුරුද්දකට තිබෙන නිවාඩු සහ නිවාඩු ලබාගත හැකි ආකාර ආදිය අලුත්ම රැකියාවකට යන අයෙක්ට වැදගත් නැහැ. නමුත් ටික කාලයක් ගිහින් නෑයො, යාලුවො වැඩිවුනාම අපිටත්නොදැනිම අපිට නිවාඩු ලබාගන්න අවශ්‍ය වෙනවා. 

·         අමතර දීමනා සහ බෝනස් ආදිය.
ලංකාවෙදි නම් ආයතන පාඩු පිට දිව්වත් සමහර ආයතන වල සේවකයින්ගේ කැපවීම ආදිය සලකා බලලා බෝනස් ගෙවීමක් සිද්ද කරනවා. මේ බෝනස් ගෙවිම වර්ශ අවසානයේ වගේම වර්ශ මැදදි සිද්ද වෙනවා. මූලික වැටුප අඩු අගයක් වුනත් මේ ආකාරයේ දිරි දීමනා සහ බෝනස් ආදිය ලැබෙන තනතුරක් නම් මාසික වැටුපින් එකතුවෙන ගානට තවත් වැඩිමුදලක් වර්ශ අවසානයේදී එකතුවෙනවා. ඒවා ගැන ඉන්ටවිව් වලදි සාමාන්‍යෙයන් අහන්න බැහැ. අපි දන්න කියන අඳුනන කෙනෙක්ගෙන් යාලුවෙක්ගෙන් ඒවා ගැන දැනගන ඉන්න එක හොඳයි.රැකියාවට යන්න කලින්..

·         වෛද්‍ය පහසුකම්
රක්ෂණ සහ වෛද්‍ය පහසුකම් පැකේජය අද කාලෙ බොහොම වැදගත්. බොහෝවිට පවුලේ දරුවෙක් හෝ අම්මා තාත්තා ලෙඩවුනත් ලොකු මුදලක් යනවා පුද්ගලික ආරෝග්‍ය ශාලාවකට බෙහෙත් ගන්න ගියොතින්. ඒ වගේ අවස්ථාවල අපේ අතේ තියෙන මුදල් වියදම් වෙන්නෙ නැති ආයතනික රක්ෂණ පහසුකම් සහ වෛද්‍යාධාර පහසුකම් සමහර ආයතන වල තිබෙනවා. ඒවායේදී තමුන්ට වගේම තමුන්ගේ පවුලටත් රක්ෂණ ආවරණ වෛද්‍යාධාර ආදිය ලැබෙනවා. ඒ වාගේ පහසුකමක් ලැබෙන අවස්ථාවක් නම් ඒ ගැනත් අපිට හිතන්න වෙනවා වැටුප් ගැන හිතාගෙන යනකොට.

·         ආයතනික පරිසරය.
යම් ආයතනයක් තුල පවතින පරිසරය එක් අයකු නිසා වෙනස් වන්නේ නැහැ. අපි දන්නවා සමහර රාජ්‍ය ආයතන ආදියෙහි තියෙන්නෙ පුදුමාකාර කුල වටපිටාවක්. ඒවායේදි අපි ගියා කියලා අපිට විශේෂ තැනක් ලැබෙන්නෙ නැහැ. අර පවතින දාමයේම එක පුරුකක් වෙන්න තමයි අපිට සිද්ද වෙන්නෙ. මා දන්න ආයතනයක් තිබුනා එහි මීටින් යනුවෙන් පැවැත්වෙන දේවල් තියන්නෙ හරියට අපේ ඉස්කෝල වල රැස්වීම ්තියෙනවා වගේ.එකපසකට විතරයි ොරතුරු ගමන් කරන්නෙ. නිකමට වත් සේවකයින්ගේ දුක්ගැනවිලි නිදහසට කාරනා ආදිය අහන්නෙ නැහැ. ලොක්කන් හිතලා වැඩ කියනවා.සොක්කන් ලොක්කන් දෙන වැඩ කරනවා. ඉතිං ඒ වගේ ආයතන වල ලොක්කෙක් වීමත් මහ කරුමයක්. පොඩි වැඩකට සේවකයෙක් යැවුවත් ඒ වගෙ ආයතන වල හැමදේම ලොක්කගෙන් අහන්න පටන් ගන්නවා. මිනිස්සු හිතලා දෙයක් කරන්න පෙළඹෙන්නෙම නැහැ. ඒ වගේ ආයතන වලට ටිකක් නිර්මාණශීලි වගේ පුද්ගලයින් ගියාම ටිකක් නුහුරු නුරුස්නා ගතියක් එනවා. ඒ නිසා අපි අප්පා බුදුන් කාලෙ ඉඳලා ඒ විදියෙ පරිසරයක් තියෙනවා කියලා දන්න ආයතන වලට යන එක ගැන තවපාරක් හිතන්න ඕනි. 

·         ප්‍රවාහන පහසුකම්
කොළඹ බෝඩින් වෙලා කඩෙන් කාල කොළඹ රැකියාවක් කරන්න හිතනවා නම් බස් වලට,බෝඩින් වලට, කෑමටම රුපියල් දහදාහක් විතර අද වියදම් වෙනවා. ටිකක් ලොකු මට්ටමේ රැකියාවක් නම් ඊටත් වැඩි ගානක් කන්න බොන්න ඉන්නම වියදම් වෙනවා. නමුත් ටිකක් පඩි අඩු වගේ වුනත් ගෙදර ඉදලා රැකියාවට එතරම් දුර ගෙවාගෙන යන්න නැත්නම් ඒක හොඳ ප්‍රවණතාවයක්. මොකද  ප්‍රවාහන වියදම් සහ ජීවන වියදම් ආදිය වැඩිවෙන වේගයෙන්ම වැටුප් ආදිය වැඩිවීම සිදුවන්නෙ නැහැ. දැන් දැන් ආයතන සේවකයින්ගේ ප්‍රවාහනය ගැනත් සොයලා බලනවා. ආයතනික මට්ටමින් සේවයට එන්න වායුසමනිත බස් පවා තිබෙන ආයතන දැන් තිබෙනවා. එහෙම නැති ආයතන වල ප්‍රවාහනය සඳහා වෙනමම දීමනාවක් දෙනවා.  දැන් වැඩිවෙන වියදම් ආදිය නිසා ප්‍රවාහනය සහ සේවා ස්ථානයට ඇති දුර ආදිය ගැනත් හිතන්න යොමුවෙනවා නම් ඒක හොඳයි.. ොකු තනතුරුවලදි නම් තමුන්ේ කාර්යාලයීය අවශ්‍යතාවයන්ට වාහනක් සපයනවද කියලා ොයලා බලන්නතඕනි. ොකද හැමදාම කැබ් සර්විස් වලට කතා කරලා ඒවා ක්ේම් කරලා ඒ විදියට වැඩකරන එක ඒ තනතුර අනුව වදයක් වෙන නිසා.

මේ කාලෙ තියෙන තරඟයත් එක්ක සමහර වෙලාවට ඉන්ටවිව් විස්සකට තිහකට ගියත් රැකියාවක් නොලැබි යන්න හැකියාව තිබෙනවා. නමුත් අපි රැකියාවක් ලබාගත්ත දවසෙ ඉදලාම අලුත් රැකියාවල් හොයන්න යන එක ඊට වඩා අවුලක්. ඒ නිසා රැකියා සෙවීමෙදි වැටුපට අමතරව යන්තමින් හරි මේ කාරණා ගැනත් සලකා බලනවානම් හොඳයි.

3 comments:

  1. හොඳින් ලියා තිබෙනවා

    ReplyDelete
  2. ඇත්ත ඇත්ත සහතික ඇත්ත.....

    ReplyDelete
  3. wedagath lipiyak

    ReplyDelete