Thursday, March 14, 2013

බෝරිං කතාවක් this is not a tasty one

එකම දෙය ගැන නැවත නැවතත් කියවීම වනාහී බෝරින් වන වැඩකි. නමුත් සාමාන්‍ය මනුෂ්‍යෙයකු ලෙස මා ගැටෙන ජීවිත හා පරිසර තත්වයන් වෙනස් වන්නේ මඳ වශයෙනි. එබැවින් එකම ජාතියේ කතා එකම ජාතියේ සිද්දි ආදිය නිරන්තරයෙන් විස්තර කිරීමටත් ඒවා විශ්ලේෂනය කිරීමටත් අපිට සිදුවේ..

මා වැඩකරන කන්තෝරුව මානව සම්පත් කළමනාකරණය මූල්‍ය කළමනාකාරනය යහපත් පාලනය අතින් කප් ගසා ඇති නමගිය එකකි. ලංකාවේ හොඳම ව්‍යාපාර තෝරන කල්හිද සාර්ථක ආයතන තෝරන කල්හිද අතිවිශාල ඉලක්කම් ගණනක ලාභයක් සතුව අපේ කන්තෝරුව අයිති මව් ආයතනය සම්මාන වලින් මුල්තැන්වලට එයි.. 

බිත්ති උස තරමක් අඳුරු ස්වභාවයක් දරණ ගොඩනැගිල්ලක මැද කොරිඩෝරයකි. ඒ කොරිඩෝරයේ කොණක සපත්තු ශබ්ධයක් එත්නම් හෝ වෙනත් ශබ්ධයක් එත්නම් ඒ කොරිඩෝරයේ ඉවත ලූ මේසයක් යට සිටින අයෙක් කළබල වෙයි. ඒ මේසයක් යට සිටින්නේ මනුෂ්‍යෙයකි..  ඒ මනුෂ්‍යයා හැට පැනපු කෙනෙකි. මා අයත් කන්තෝරුව ඇති මාලය පිරිසිදු කිරීම බාර ඒ මැහැල්ලටය. ඒ මැහැල්ල අනෙක් අයට නොපෙනී විවේක කාලය ගතකරන්නට තැනක් සොයාගෙන ඇත. ඒ අර මා පෙර කී ඉවත්කල මේසයේ යටයි. 

ඈතින් අඩි ශබ්ධයක් එනවිට ඇය කලබල වෙයි. එවිට ඇය සිනාසෙන්නට හෝ නිදි ආකාරයක් පෙන්වන්නට වෙරදරයි. කුමක් හෝ හේතුවක් නිසා මා අයත් මහල එතරම්ම කාරයබහුල ලෙස මිනිසුන් එහා මෙහා යන එකක් නොවේ. උදේ ඇවිත් ඉඳගත් පසු ඉඳහිට යමෙක් ඇවිදින්නේත් වැසිකිලි කැසිකිලි අවශ්‍යතා නිසාය.. 

ඒ මනුෂ්‍යයා හැංගෙන්නේ ඇයි..

ඒ මනුෂ්‍ය ගැහැනියගේ රාජකාරිය කාර්යාල පිරිසිදු කිරීමයි. එසේ මේසය යට එලන ලද කොලයක් මත ඇය ඉන්නට එක් හේතුවක් නම් ඇයට වැඩ නැති වෙලාවට ඉන්නට තැනක් අපේ ආයතනය සපයා නැතිකමයි. මහා සුවිසල් ආයතනයක් වුවද මෙහි පිරිසිදු කරන්නියන් සිටිය යුතුව ඇත්තේ තැන් තැන්වලය. එක්කෝ ඔවුන් බිත්ති කන්ඩියක් උඩ පෙලට වාඩි වී සිටියි..නැතිනම් මා පෙර කී තැනැත්තිය මෙන් සැඟවී සිටියි..

මා කලින් සඳහන් කල මැහැලිය මේසය යට සැඟව සිටීමට තවත් හේතුවක් ඇත. එනම් ඇය නිතර දෙවේලේ පිරිසිදු කරීමේ වැඩ පරීක්ෂා කරන සුපවයිසරයින් පෙනෙන මානවල සිටියේ වී නම් වෙනත් ස්ථානවල පිරිසිදු කිරීමේ කටයුතු වලට ඇයට එක්කාසු වන්නට සිදුවෙයි. මෙම පිරිසිදු කිරීමේ සමාගම එක් සේවකයකුට ගෙවනු ලබන්නේ දවසක සේවය සඳහා රුපියල් පන්සීයකි. රුපියල් පන්සීයක් වැනි අඩු වැටුපකට සේවක සේවිකාවන් සොයාගැනීම අපාසුය.ඒ නිසාම මේ පිරිසිදු කරන සමාගමෙහි සේවය කරන බොහෝ දෙනා මන්ද මානසික අයවලුන්.මහලු අයවලුන් හෝ වෙනත් දුබලතා ඇති අයවලුන්ම වෙති. ඉතින් මේ අයද පැමිණ වැටුප් මද බව වැඩ අධික බව නිසා ඉක්මනින්ම සේවය නතර කර වෙනත් වැඩ බලායති. එවිට ඉතිරිව සිටින පිරිසිදු කරන සේවකයින් ඒ අඩු තැන්වලට යොමු කරයි. එවිට ඒ සිටින පිරිසිදු කරන සේවකයින්ට වැඩ වැඩි වී ඔවුන්ද කලකිරීමට සහ දැඩි වෙහෙසට පත් වෙයි.. 

මනුපොතේ සහ වෙනත් තැන්වල බොදු සහ වෙනත් ආගම් වල බණ සහ සිල් ටෝක් දකින විට මාර ඌරු ජුවල් නගී.. එක අතකින් මේ ධර්මය යනුද මනුෂ්‍යයාගේ දෑස වසන රෙදි කඩක් වැන්න. අයුතු ක්‍රමවලින් මුදල් උපයන අනුන්ගේ මුදල් අයථා ලෙස යොදාගන්නා සහ වංචාකාරී ලෙස සමාජයේ හැසිරෙන බොහෝ දෙනා දැන් දැන් සිය ඇතුල වසාගැන්මට ධර්මය නැමැති තීන්ත ආලේප කරගනී. නැත්නම් ජාතිය නැමැති මොට ආයුධය ගෙන රට නැමැති ගෙරි හමකට තලයි.. තලන විට අභිමානේ අභිමානේ යැයි සද්දයක්ද පිට වේ..
පුක හෝදන්න නැති සුද්දාගේ රටවල් මට නම් අපේ සෝබන රටට වඩා ආකල්පීය සහ මනුෂ්‍ය සාධාරනත්වය අතින් හොඳය..සුද්දාගේ රට ඇත්තෝ අපේ ලංකාවේ ගෑනු මහන රෙදි කඩක් අඳින්නට පෙර ඒවා මසා ඇත්තේ අපේ ගෑනුන්ට වද දීලාද නැද්ද යන වග සොයා බලයි. ලංකාවේ ඇඟලුම් කම්හල් වල ආයතනික පටිපාටි බොහෝ දුරට සාධාරන වෙයි.  ඒ සේවක දීමනා සේවක සෞඛ්‍ය ගැනද හොඳින් සොයා බලයි. එසේ නැතුව අපේ රටේ ගාමනට්  වල ගෑනු ලමුන්ට වද දෙනවා යැයිද දීමනා නොගෙවනවා යැයිද ඒ රටවල ඇත්තෝ දැනගත්තොත් ඒ රෙදි ඒ රටවල අය පිලිකුල් කරති..ඒවා අඳින්නේ නැත.. ඒ නිසා සේවක සුබසාධනය සමගින්ම නිෂ්පාදනය කරගෙන යෑමට ආයෝජකයෝ උත්සාහ ගනිති.. 

ලෝකෙට බණ කියන අපේ රටේ තත්වය හුටු හුටුය.. සිකුරිටි කාරයින්, පහල මට්ටමේ සේවකයින් කම්කරුවන් ගොයියන් වැනි අයවලුන් සිටිනවාද කියලාවත් අපේ බොහෝ මධ්‍යම පාන්තිකයින්ට මතක නැතිවෙති. ගොයියන්ට වෙන නොයෙක් දුක්ගැහැට නිසා ගොයි පරපුරවල් වල කොල්ලන් ගොවිකම අතැර ඉතාලි, කොරියා, මැදපෙරදිග ගොස් ඒ නිසා එලවලු මිල පලතුරු මිල ඉහල යනවිට ආන්න එවිට ආතල් එක සියලු සිංහල බොදු කිස්තියානි, මුස්ලිම් සියල්ලන්ටම හොඳින්ම දැනේ.. 

අර පෙර කී සේවිකාව දෙස අපි නැවත හැරෙමු..ඇය එසේ මේසය යට සතියක් දෙකක් සිටියාය. ඉන් පසු මාද මගේ කන්තෝරුවේ මා සමග වැඩකරන අයද එකතුව ඇයට පුටුවක් සහ මේසයක් දුනිමි. මේ කොරිඩෝරය හරහා අපිට වඩා වැදගත් ගරුකටයුතු මහත්වරුද ගමන් ගත්තෝය. ඔවුන් මේ මේසය යට පත්තර කොලයක් මතට වී ගිමන් හරින මැහැලිය නුදුටුවා නොවිය හැක. නමුත් ඔවුන් පංසල් ගොස් මල් පූජා කරලා හෝ අහවල් සාදුගේ සාන්ත බණ අසා පිං ගන්නට සිටිනවා විය යුතුයැ.. නැත්නම් දවසට දෙතුං වතාවක් හෝ සතියට වරක් යාතිකාවක් කර දෙවියන් සේප් කරගන්ට ඉන්නවා ඇත.. 

මේ පිරිසිදු කරන්නියට පුටුවක් දීම පවා සරල දෙයක් නොවේ..එයද අප ආයතන පද්ධතිය තුල වැරදිකාර සේවකයකු ලෙස හඳුනාගන්නට ඇවැසි සාධකයකි. අපේ ආයතනයේ කොරිඩෝර වල ගෘහ භෘන්ඩ තැබීම තහනම්ය. එවිට ඒ වරද අපි පිට පැටවෙයි. එසේම අපි පිරිසිදු කරන්නියට දුන්නේ තරමක් ඉහල මට්ටමේ මහත්වරු වාඩිවෙන එහෙත් භාවිතයෙන් ඉවත්කල එකකි. මේ ආයතනයේ එක් එක් ශ්‍රේණියට අදාල පුකවල් වෙනස්ය. එනම් මැනේජර ලෙවල් එකේ පුකවල් වලට ආතල් වැඩියෙන් ඕනිය. ඒනිසා අයත් ශ්‍රේණිය අනුව පුටුවේ සැප, පුටුවේ විසාලත්වය එහි හැඩය ආදිය වෙනස් වෙයි. මාගේ අදහස තිබුනේ මැනේජර ලෙවල් එකේ විසාල පුටුවක් අර පිරිසිදු කරන්නියට ලබා දීමටය. නමුත් මට වඩා දැනුම් තේරුම් ඇති කාර්යාල සගයන් කීවේ අපි මෙතනිනුත් ආතල් ගන්නට හදන්නේ නැතුව පිරිසුදු කරන්නියගේ යහපත තැකිය යුතු බවකි. එනිසා ඇයට සාමාන්‍ය නිලධාරි පුටුවක් ලබා දෙන ලදී.. 

මේ ආයතනය තුල එක්තරා බා කෝඩ් ජාතියක් හැම බඩුවේම අලවන තියරියක් තිබේ. එම බාර් කෝඩ් එක ඇලව්ව පසු ඒ පුටු මේස පරිඝනක ආදිය ඒ අදාල අංශයටම අයිති වෙයි. වෙනත් තැන්වල ගෙනයැම තහනම්ය..එසේ තව තැනකට ගෙන යා යුතුනම් ඒ සඳහා දිග වැඩපිලිවෙලක්ද ඇත..අපි අර පිරිසිදු කරන්නියට දුන් පුටුවේ එවන් බාර් කෝඩ් එකක් නොතිබුනි. ඒ ඇගේ වාසනාවට හෝ අපේ වාසනාවටය. කෙසේ වතුදු ඒ පුටුව සහ මේසය අපි ලබාදී ඇයට කීවේ කිසිවෙක් කිසියම්ම හෝ කාරණාවක් නිසා පුටුව හෝ මේසය ඇයට අහිමි කරන්නට යන්නේ නම් වහාම අපිට දැනුම් දෙන ලෙසයි. මෙතෙක් ඒ වැන්නක ්සිදු නොවීය. නමුත් එක්දිනක උදේ වෙන විට මේ කොරිඩෝරයේ ඇති පුටුව සහ මේසය අතුරුදන්ව තිබුනොත් ඒ ගැන අපි පුදුම වන්නේද නැත. 

මා මේ පිරිසිදු කරන්නියට එතරම් මනාප නැත. ඇයද එක්තරා මාකටිං තල්ලියකි. ඇයට කලක් බෙල්ල අමාරුවක් තිබුනි. එයට කොළරයක් දමන්නැයි ඉස්පිරිතාලෙන් කියා තිබුනි. මැය උදෑසන පැමිණ නියමිත කාර්යාල පිරිසිදු කර අර කොළරය මේසය උඩ තබා මේස යටට වී නිදි කිරන අවස්ථා මා දැක තිබුනි. ඇයට සුපවයිසරයෙක් පැමිණ වැඩක් කියනවිට ඇය කරන්නේ මේසය යටින ්පැමිණ මේසය උඩ තබා ඇති අර කොළරය පෙන්වීමයි. එවිට මේ නාකි මනුෂ්‍යයා බෙල්ලේ අමාරුවකින් පෙලෙන බව දැනගන්නා සුපවයිසර තැන කනස්සල්ලෙන් වෙනත් පිරිසිදු කරන්නියක් සොයා යා යුතුයැ. 
 
මෙවන් අය සිටීමෙන් පිං කැමැත්තන්ට වාසි වෙන අවස්ථාද නැතුව නොවේ. පසුගිය කලෙක අපේ ආයතනයේ තිබූ බත් දන්සලකි. බත් දන්සැලක් කීවා ඒක අර වෙසක් දන්සැල් ජාතිය නොවේය. කවුරු හෝ සැට් එකක් කුමක් හෝ කාරණයක් අරබයා විසල් පිරිසක් රැස්කර මීටිමක් තියති. ඒ මීටිම පටං ගත් තැන පටන් ටයි කාරයෙක් කොඤ්ඤං ඉංගිරිසියෙන් මල මිනියක් හිටගත්තාක් වැනි බොහෝ ක්‍රියාශීලිත්වයෙන් පවර් පොයින්ට් වැනි විසාල මෘදුකාංග භාවිත කර තැනූ ප්‍රසන්ටේෂමක් ආධාරයෙන් යමක් කියයි. බලං ඉන්න එවුං පලවෙනි විනාඩි දහයේම නිදති. ඉන් පසු  ඔන්න වැඩේ ඉවරවන විට ඉදිරිපෙල උන් අප්පුඩි තලන විට පසුපස උන්ද නින්දෙන් නැගිට පැන අත්පුඩි තලති..ඒ අප්පුඩි අවසරයෙන් දැන් කෑම වෙලාව බව ප්‍රත්‍යක්ෂ කරගන්නා සේවකයෝ වහ වහා දිවා බත් දන්සල වෙත යති.. 

බොහෝවිට රුපියල් දෙසීයකට වැඩි වටිනකමක් ඇති බැදපු බතක් වන එය රැගෙන වහා වහා අර පිරිස බුදිති. එවන් බත් දන්සලක බත් පාර්සල ඉතිරිවිය. විසාල ලොක්කන්ට විසාල වසයෙන් සැලකීමේ වැඩපිලිවෙල යටතේ ලොක්කන් ලග වැඩකරන සුකිරි බටිල්ලන්ටත් කෑම එවන ලෙස ඉහල අණ ලැබුනි. මා ඇතුලු පිරිසක් කෑම රැගෙන ආ මුත් උන් ගොඩ දෙනෙක් කන්න කැමති වූයේ නැත. ඉතිං අපි ඒ කෑම අර මහලු මන්ද මානසික ඩයල් තොගයක් වන පිරිසිදු කරන්නියන්ට දුන්නෝය. සමහර ගෑනු ඒ කෑම එකෙන් කොටහක් කා ඉතිරිය ගෙදර සිටින මුනුබුරාට යැයි තබාගත්තේය. 

මේ වැඩි කෑම පිරිසිදු කරන්නියන්ට දීමේ අදහස මගේ මිතුරකුගේය..එක්තරා මහලක පිරිසිදු කරන සේවිකාවක් අප ආයතනයේ කුනු බාල්දියක් අවුස්සාගෙන යමක් කන්නට සොයනවා මගේ මිතුරා දැක තිබුනි. ඔහු කුමක් හෝ කරුණකට අහු මුල්ලකට රිංගන විට එය දැක ඇත. මටද එය අසා බොහෝ සංවේග පහල වුනි. මට නං දැන් ප්‍රයිඩ් රයිස් එතරම් පිරියක්ද නැත. නමුත් දවසට රුපියල් පන්සියක් ගන්නා මනුෂ්‍යෙයා් කවදා නම් රුපියල් දෙසීයක් දී රයිස් කන්නට වාසනාවන්ත වෙයිද? එමනිසාම එම මනුෂ්‍යයින්ට බොහෝ රස සේ පෙනෙන මුත් මිල අධික පීසා, බරගර, රයිස් , කොත්්තු ආදිය දිව්‍ය බෝජන සේ දැනෙනවා විය හැක.. 

මා ඉහත කී පුටුව ලබාදෙන්ට මූලික වූ නිසා අර මහලු අම්මා මා සමග වැඩිපුර සිනා සෙයි.. නමුත් මා මුඩුම පාට් එක දාගෙන දිගටම යයි. එය මගේ හැටිය. නමුත් ඇය මා හොද අයෙකු යැයි මාක් කරගෙන ඇතුවා විය යුතුය. පත්තර කොල කිහිපයක් එලාගෙන ඇය මේසය ලස්සන කරගෙන ඇත.ඇය දැන් වතුර බෝතලයක්, නැප්කින් එකක්, ඇගේ ගමන් බෑගය ආදිය ලස්සනට ඒ මේසය මත තබාගෙන ඇත. ඇගේ මිතුරියන්ටද ඇය ඒ පුටුව සහ මේසය පෙන්වන්නේ ගෞරවයෙනි. දිනක් ඒ මහලු අම්මා තවත් යහලු මහලු ගැහැනියක එක්කරං ඇවිත් ඇය සමග වාඩි වී උන්නාය. කෙසේ වෙතත් ඇගේ යහලු අනෙක් පිරිසිදු කරන්නියන් දවල් බත බුදින්නේද එක්කෝ වොෂ් රූම් එකක(වැසිකිලියට පෙර ඇති හැඩ වැඩ දමන කාමරය)  සිටය. නැතිනම් කුමක් හෝ මුල්ලක ඉඳලාය.බොහෝ විට ඔවුන් කැන්ටිමට යන්නේ නැත්තේ කැන්ටිමේ අය මේ පිරිසිදු කරන්නියන්ගෙ අපිරිසිදු ස්වභාවයට ආසා නැති නිසා වෙන්නට ඇත. ඒ නිසා බිම තබාගෙන නැත්නම් යන්තම් පඩියක් උඩ තියාගෙන සැඟවි බත් එක කෑම අර පිරිසිදු කරන්නියන්ට අවුලක් නොවේ. 

 නමුත් අපේ පිරිසිදු කරන්නිය මහත් උද්දාමයෙන් අර අපි දුන් මේසය මත බත් එක තබාගෙන සන්තෝෂයෙන් ආහාර ගනී..ඇයට සමහර අවස්ථාවල වෙනත් පිංකැමති අය ලබාදෙන නෙස්කැෆේ තේවතුර, මාලුපාන් බනිස් ආදිය වෙත්නම් ඒවාද පැමිණ වාඩි වී උජාරුවෙන් කයි. මාත් මගේ මිතුරනුත් ඒ දැක සතුටුවෙයි.   ඒ පුටුව දුන්නාට පසු මා ඉන්නා තැන ඇය බොහෝ උනන්දුවෙන් පිරිසිදු කරයි. මාත් මගේ සහෝදර සේවකයුනුත් ආයතනයේ පුටුවක් වුවත් එය බිම වාඩි වී ලතවෙන අයකුට දීමෙන් කලේ පිනකි. ඒ නිසා මටද සමහර විට ලබන ආත්මේ විසාල පස්සක් හෝ විසාල පුටු ගානක් ලැබෙන්නට හැකිය. නමුත් මේ ලිපිය නිසා උරණ වූ මගේ ආයතන ප්‍රධානින් මා මේ වාඩි වී සිටින පුටුව පවා නැතිකකලොත් එයට අර පිරිසිදු කරන්නියත් මා දන්නා කියන ඉතාම සුවල්ප පිරිසත් හැර වෙනත් කිසිවෙකු සත්‍ය ලෙසම විස්සෝප වෙන එකක් නැත.(බාගෙදා ආනේ පවූ ඌෟ කියා හූල්ලන්නට නම් සෙනග ගොඩක් සිටිය හැක..) . එය මා හොදින්ම දනිමි.

8 comments:

  1. මිනිසත් බව මිනිසා පරිපුර්ණ මිනිසෙකු බවට පත් කරයි.

    මනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)

    ReplyDelete
  2. this is great writing, this brings to my mind Gogol's writings about Russian offices in the 19th century. The same kind of sarcasm, the same characters, read his 'the mantel'(hima kabaya) so similar..

    As for the reality behind this, it just explains some dark human features that show themselves up whenever an opportunity gives a chance.. vanity, suppressing others, turning a blind eye all are part of it.
    Thanks this was nice reading --

    Chaminda

    ReplyDelete
  3. මෙපින් බලෙන් ඔබට නුඩුරේදීම උච්චාසයන සහ මහාසයන ලැබේවා!!!

    ReplyDelete
  4. ඔබ කලයුතු සුදුසුම දේ කරලා තියෙනවා...
    අපි සැමගෙන්ම වෙන්න ඕන භේදයකින් තොරව මනුෂය වර්ගයාට සේවයක්..

    ReplyDelete
  5. අර අන්තීමටම කියපු එක නම් මගේ බොක්කටම වැදුනා. මෙහෙමයි මචෝ. පිස්සන් කොටුවේ, සනීප වෙච්ච රෝගින්, සුවවු පසුවත් බාරගන්න කවුරුත් නෑ. තම නිවෙස් වලට ගියත්, දූ දරුවන් ඥාතින් ඔවුන් ප්‍රතික්ෂේප කරනවා. ඒත් එක කාරුණික වෛද්‍යවරයෙක්, ඔවුනට පිහිට වන්නට තීරණය කලා. ඔහු ඔවුනට අන් අයගෙන වෙන්වූ වාසස්ථානයක්, රෝහල තුලම ලබා දුන්නා. වැඩි පිරිසක් කරන්නෙ ඔඹ සඳහන් කළ රැකියාව. සමහර විට මේ එයින් කෙනෙක් වෙන්න ඇති. කෙසේ වෙතත් ඒ වෛද්‍යවරයාත්, උඹත්, උඹගේ හිතවතුනුත් කරනා සේවය නම් අති උදාරයි. ඒ වගේම උඹට වරදිනකම්, හිනා වෙන්න බලාගෙන සිටින, පිරිසකුත් ඇති.

    ReplyDelete
  6. මේ සද්කාර්යයේ අතුරුපලයක් ලෙස ඔබට ඇතිතාක් ආත්ම තෘප්තිය ලැබෙන්නට මං ප්‍රාර්ථනා කරමි.

    ReplyDelete

  7. පැහැදිලිවම අමිල මේ පඩ ෂෝ සමාජයක් ..
    මුළු ලෝකෙටම පේන්න එක
    මගුලක් , යටින් බල්ලෙක්ට බත් පිඩක් දෙන්නේ නැහැ ....

    ReplyDelete
  8. උඹලත් සිරා වැඩ කරනවා බං....
    ඒ ගෑණු කෙනා හිනාවෙද්දි බුම්මගෙන යන්න එපා...
    හිනාවෙලා පලයං... උඹට වියදමක් යන්නේ නැහැ නේ හිනාවෙන්න...

    ජයවේවා!!!

    ReplyDelete