Thursday, April 25, 2013

මත නිසා නරක්වෙන සිත ( Alcohol, Smoking and Drugs)

මධ්‍යසාර 
රසායන විද්‍යාව අනුව මධ්‍යසාර වර්ග බොහෝ ගණනකි. නමුත් වඩාත්ම ජනප්‍රිය මධ්‍යසාර වර්ගය වන්නේ එතනෝල්ය. කසිප්පු, අරක්කු, බියර්, බ්‍රැන්ඩි, විස්කි, වොඩ්කා, රම් ආදී විවිධ නම් වලින් විවිධ රසවලින් එතනෝල් මධ්‍යසාරය විකිනීමට ඇත. එතනෝල් බොන්නේ මත් වීම සඳහාය. නිදහස් සහ සහනකාරී වටපිටාවක් මත් විම තුල ඇතිවෙන බවට මතයක් ඇත. නමුත් මධ්‍යසාර ප්‍රමාණය වැඩිවන විට විවිධ ශාරීරික සහ මානසික දුබලතාවයන් ශරීරය තුල ජනනය වෙයි. මධ්‍යසාර භාවිතය නිසා විවිධාකාර ශාරිරික හානි මනුෂ්‍යයින්ට ඇතිවෙයි. ස්නායු පද්ධතිය, අක්මාව සහ මොලය මධ්‍යසාර භාවිතය නිසා හානියට ලක්විය හැකි ප්‍රධාන ඉන්ද්‍රියයන් වෙයි. මධ්‍යසාර යනු එක් වරක් භාවිත කලොත් යලිත් පාවිච්චි කිරිමට ආශාවක් දක්වන ඇබ්බැහි වන සුලු ද්‍රව්‍යයකි.

මධ්‍යසාර භාවිතියේදී යෞවන වයසේ සිටින අයවලුන්ට සහ ළමුන්ට භාවිත කිරීමට සුදුසු මධ්‍යසාර ප්‍රමාණයන් මෙතැකැයි නිවැරදිව කිව නොහැක්කේ ඔවුන්ට මධ්‍යසාර මගින් ඇතිවන හානිය විවිධාකාර වන බැවිනි. යොවුන් වයසේ සිටින ළමුන් මධ්‍යසාර භාවිත කිරීමෙන් පසු නොගැලපෙන නොමනා ක්‍රියා සිදුකිරීමේ අවධානමක් ඇත. රන්ඩු දබර ඇතිකරගන්නට උත්සාහ කිරීම, අවධානම් සහගත ලිංගික ක්‍රියා වලට පෙළඹීම, බිය අඩු වීම නිසා අවධානම් ස්ථානවල දිය නෑම..කඳු නැගිම ආදි දේවලට පෙළඹීම ආදිය යොවුන් බේබද්දන් අතින් සිදුවිය හැකි බරපතල ගනයේ වැරදි ක්‍රියාවන් වෙයි. 

මධ්‍යසාර භාවිතයේ මානසික සෞඛ්‍යමය බලපෑම.

ඔබ මධ්‍යසාර භාවිත කරන්නේ නම් ඔබට පහත ආකාරයෙන් මානසික ගැටලු ඇතිවිය හැක.
·        විෂාද තත්වයන් (depression ) - නිතර මධ්‍යසාර ලබාගන්නා බේබද්දන් ගෙන් සියයට හැටකට පමණ මානසික අවපීඩනය සහ විශාද තත්වයන් නිරූපනය වෙයි.
·        මධ්‍යසාර භාවිතය නිසා සාමාන්‍යයෙන් මනුෂ්‍යයන්ගේ මනස විකෘති වීමකට භාජනය වෙයි. මේ මත් ගතිය නැති වීමට පැය ගනනාවක් ගත වෙයි. ඒ කාලය තුල ඇති වූ මනස් විකෘතිය නිසා තමාටත් තමා අවට අයටත් මධ්‍යසාර භාවිත කල අය කරදරයක් විය හැක.
·        ලිංගික බෙලහීනතාවය - බොහෝ පිරිස ලිංගික ක්‍රියාවලට පෙර උත්තේජකයක් වශයෙන් මධ්‍යසාරයෝ දකිති. නමුත් මධ්‍යසාර දිගුකාලීනව භාවිත කිරීමෙන් ලිංගිකමය බෙලහීනතාවය ඇතිවිය හැක. ලිංගිකව බෙලහීනවීමට එක් අයකු කෙතෙක් මධ්‍යසාර ගත යුතුදැයි සූත්‍රගත කල නොහැකි වූවාට සාමාන්‍ය පුද්ගලයින්ට වඩා නිරන්තර බේබද්දන් වන අයගේ ලිංගිකමය හැකියාව අඩු බව පරීක්ෂණ වලින් අනාවරණය කොට ගෙන ඇත.
·        මතකය හා පලපුරුද්ද සම්බන්ධ ගැටලු- මතකය හා පලපුරුද්ද යනු මිනිසුන්ට රැකියා කිරීමටත් සාමාන්‍ය ජීවිතයටත් අත්‍යවශ්‍ය වන දෙයකි. නිතර නිතර ඇල්කොහොල් හරහා සිය මොළය කෘතිමව උද්දීපනය කර පුබුදවාගන්නට සැරසෙන පුද්ගලයින්ගේ මතක ශක්තිය සහ ඔවුන් ගේ පලපුරුදු හැකියාවන් අඩුවිය හැක. එසේ වන්නේ මොලයේ සමහර කොටස් බීමත්බව නිසා අනවශ්‍ය ලෙස විඩාවට ලක්වීමෙනි. 


සිගරට්

සිගරට් භාවිතය මගින් පිළිකා, හදවත් රෝග සහ අධිරුධිර පීඩනය ඇතිවිමේ අවධානම දැඩි ලෙස වැඩිවේ. සිගරට් බොන හැමෝම ලෙඩවීමක් සිදු නොවන නිසා සමහර පුද්ගලයෝ මෙය බොරු යැයි කියති. නමුත් කරන ලද පරීක්ෂන නිරීක්ෂණ අනුව සිගරට් බීමෙන් හදවත් රෝග, පිළිකා සහ අධිරුධිර පීඩනය ඇතිවීමේ හැකියාව වැඩිවෙන බව සොයාගෙන ඇත. 

ඔබට මානසික රෝගී තත්වයක් ඇත්තේ නම් ඔබ සිගරට් බීමට වඩාත් නැඹුරු වන තත්වයක් ඇතිවේ. එසේම වඩාත් ඔබ සිගරට් බීමට නැඹුරු නම් ඔබට මානසික රෝග පැවතීමේ හැකියාවද වැඩි වෙයි. 

·        මානසික රෝග වැඩිදියුනු වීම.
·        විශාද සහ කාංසා තත්වයට ලක්වීම
·        සියදිවි නසාගැන්මේ සිතුවිලි පහල වීම සහ විටෙක ඒවා ක්‍රියාත්මක කිරිමට පවා සිතීම.
·        වැඩිපුර සිගරට් සහ මධ්‍යසාර ගැන්මෙන් මාන සික රෝග ඇතිවමේ අවධානම වැඩිවීම.
·        මානසික විකෘති ඇතිවිම මගින් ලේ වලට ඒ සිගරට් බොන තත්වය ඇතිවීම සඳහා කල් යත්ම බොන සිගරට් ගනන නිරන්තරයෙන් වැඩි කිරීමට සිදු වෙයි. එවිට නොදැනුවත්ම සිගරට් ලෝලයෙක් බවට තමා පත්වෙයි. 

මේ ආදි වාසි රැසක් මධ්‍යසාර, සිගරට් නිසා ඇතිවෙන අතර මනසින් උසස් සත්වයින් මිනිසා ලෙස හඳුන්වා ඇතත් වැඩිකලක් රෝගාතුර වී රටට සමාජයට වධයක් වීමට බොහෝවිට බේබද්දන්ට සහ සිගරට් භාවිත කරන අයට සිදුවෙයි.  නවත්වන්නට බැරිනම් මධ්‍යසාර සිගරට් පාලනය කරගන්නටවත් සිතීම මනාය. 

කෙසේ වෙතත් සිගරට් බීම සහ මත් පැන් භාවිතය තුල මිනිසුන්ගේ සාමාන්‍ය සෞඛ්‍යය තත්වය දැඩි ලෙස පිරිහීමට භාජනය වෙයි. ඒ තුල ජීවත්වීමට මිනිසුන්ට උපතේදී උරුම වන ආයුකාලයෙන් වැඩි කොටසක් රෝගියෙක් ලෙස ගතකිරීමට සිදුවෙන අතර සමහර විට අකල් මරණයන්ටද මධ්‍යසාර,සිගරට් භාවිතය හේතු විය හැක.

ගංජා භාවිතය

ලංකාවේ යොවුන් පරපුර අතර වඩාත් ජනප්‍රිය මත්ද්‍රව්‍යය ගංජා වෙයි. බොහෝවිට ගංජා ජොයිනට් යන අන්රවර්ථ වචනයෙන් හඳුන්වන අතර කොළයක ඔතාගත් ගංජා සිගරට් බොන ආකාරයට විටින් විට දුම ශරීරයට ඇතුලු කරගැන්ම සිදුකර ගනී. ගංජා මගින් පාවෙන වර්ණවත් ලෝකයකට යනවා යැයි ගංජා මත් කරුවන් පවසන අතර ඒ ඔස්සේ සහනදායී තත්‍ය ලෝකයෙන් එහා තැනක් වෙත ඔවුන් රැගෙන යන බව ඔවුන් පවසති. ගංජා මත මගින් ස්නායු මුලා කිරීම්ක් සිදුවෙයි. එයින් ස්නායු දැඩිලෙස විඩාවට පත්වීම සහ බඩගිනි ඇතිවිම ආදිය ඇතිවිය හැක. ගංජා භාවිතයෙන් පෙනහලු ආබාධ සහ සිගරට් භාවිතය නිසා ඇතිවන අහිතකර දේවල් ශරීරයේ ඇතිවිය හැක. ගංජා භාවිතය මගින් භින්නෝන්මාදය නැමැති රෝගතත්වය ඇතිවීමේ අවධානම දැඩි ලෙස ඉහල යයි. මානසික විකෘතිතා කිහිපයක් ම ගංජා නිසා ඇතිවිය හැක. 
 
ගංජා යනු උත්තේජකයක් යැයිද එය ලෝකයේ සමහර තැන්වල තහනම් නැති මත්ද්‍රව්‍යයක් යැයිද සමහර අය ගංජා වල සැර බාලකොට දක්වති. ගංජා ලෝකයේ සමහර රටවල තහනම් නැති බව සත්‍යයකි. සමහර සංස්කෘතින්  අනුව තහනම් සාධක වෙනස් වෙයි. නමුත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ තහනම් මත්ද්‍රව්‍ය ලැයිස්තුවේද ගංජා ඇත. ලංකාවේ තරුණයින්ට මේ අවස්ථාවේ ඇති සැරම ප්‍රශ්ණය ගංජාදැයි සිතෙන තරමටම සමහරු ගංජා තහනම ගැන කතා කරති. ගංජා සහ මත්පැන් බී හවසට ඒ මත පිටින් දේශපාලනය කතා කිරීම සමහර තරුණ කන්ඩායම් ඔවුන්ගේ දේශපාලනය යැයිද කියති. 
 
එතරම් සරලව දේශපාලනය කල හැකිනම් එය මහා පුදුම ලෝකයකි. මනෝ රාජික මත් ලොවක තනන සමාජවාදී ලෝකය ඒ මනෝරාජ්‍යය තුලම සිරවෙන බව ඔවුන්ට නොතේරෙයි. හැමදාම ඔවුන්ට හමුවන්නේ ඔවුන් වැනිම බීමත් හෝ ගංජා භාවිතයට නැඹුරු සහ එය අනුමත කරන සමාජය පමණක් වන බැවින් ඔවුන් සිතන්නේ ඔවුන්ගේ මහා සමාජය එයම බවකි. එවන් කුඩා මනෝරාජික කන්ඩායම් වලට මහා සමාජයේ ලොකු පොරවල් දෙක තුනක් එකතු වුන විට ඔවුන් එය විසාල විප්ලවීය දෙයක් ලෙසද සලකති. පිට සිට බලන්නකුට එය තවත් එක නාටකයකට එහාගිය දේශපාලන ගැඹුරක් ඇති දෙයක් ලෙස නම් දිස්වන්නේ නැත. 

එක්දාස් නවසිය හැටේ දශකයේ අතිශය ජනප්‍රිය බටහිර රොක් සංගීතඥයින් දෙදෙනකු වු The doors සංගීත කන්ඩායමේJim Morrison සහ Nirwanසංගීත කන්ඩායමේ  Kurt Cobain වයස අවුරුදු 27 දී මිය ගියේ උධිකතර මත්ද්‍රව්‍ය භාවිතයේ ප්‍රතිඵලයක් ලෙසය. 1987 දී එච් ආර් ජෝතිපාලයන් අප හැර යන්නේ දැනටත් අප අතර දිවි ගෙවන ඔහුගේ සමකාලීනයින් වන පුන්සිරි සොයිසා වික්ටර් රත්නායක, අමරදේව, ප්‍රියා වැන්නන් අප අතර තනිකර දාලාය. එච් ආර් ජෝතිපාලගේ අදිසි නික්මයෑමට ඔහුගේ අධිකතර මත්පැන් භාවිතය හේතු වූ බව දන්නෝ දනිති. එසේම ගුණදාස කපුගේ මර්වින් පෙරේරා වැනි ගායකයින්ටද සිය මුළු ජීවිත කාලය ගතකරන්නට මත් රකුසා ඉඩ කඩ ලබාදුන්නේ නැත. මත්ද්‍රව්‍ය වලින් ගීත ගායනයට ඇවැසි ගොරසැඬි පිරිමි කටහඬ ලබාදෙන බවට මතයක් සමාජය පුරා පැතිරී ඇත. අප දන්නා ගොරහැඩි පිරිමි කටහඩක් ඇති කාන්තාවක නම් හිටපු ජනාධිපතිනියය්. එතුමිය කිසිම විටක වොයිස් එක හදාගත්තේ මත් ද්‍රව්‍ය භාවිත කරලා බව අපි අසා නැත. නන්දා මාලනී. මාලනී බුලත්සිංහල වැනි ගායිකාවන්ගේ ගීත තාලෙට නලවමින් ගායනය කරන සංගීත සංදර්ශන වේදිකාවේ සුකුමාල කටහඩ ඇති ගායකයෝද මත් ද්‍රව්‍ය පැන් යහමින් ගනිති. එවිට ඔවුන්ට ගායිකාවන් ගේ ගීත ගායනයට හැකිවෙන තරම් මිහිර බවක් ඇතිකර දෙන්නේ ගංජා විසින්මද? එය එසේ නම් ගංජා යනු සිතු පැතු වොයිස් ලබා දෙන අමුතු ජාතියේ දෙයකි. 

නමුත් සැබෑව නම් මත් ද්‍රව්‍ය තුල නැති කිසියම් දෙයක් එයට ආරෝපනය කොට එය ලබාගන්නට මිනිසුන් මානසිකව පෙළඹීමයි..මෙය සරල උදාහරණයක් ලෙස දක්වෙන්නේ නම් කිඹූලා කෙලින්ම කිරිමැටි නොගිලියි. ඌ කිරිමැටි බෝල කරලා හොඳ අව්ව ඇති තැනකට ගෙනැවිත් ඌද අව්වේ සිට මඳක්නිදා ගනී. නිදාගත් කිඹුලා මදකින් ඇහැරී කට්ට අව්වේ වේලෙන මැටි ගුලි දෙස බලයි. එවිට දැඩි අව්ව හේතුවෙන්  ඌට කිරිමැටි  පේන්නේ රතුපාට මස් කුට්ටි දෙකක් මෙන් රත් පැහැ ගැන්විලාය. එසැනින් තමාම රවටාගන්නා කිඹූල් තඩියා ඒ කිරිමැටිනොව මස් යැයි සිතා මස් කුට්ටියක් කන්නා සේ පැන කිරිමැටි ටික වැරෙන් ගිලදමයි. එසේම ගංජා භාවිත කරන්නෝද විවිධ කැටයම් ඔස්සේ එහි ගුණ කියන්නට සැරසී ඇති අතර අනෙක් ගංජා බාස්ලාද ඒවා යහමින් අනුමත කරති. 

බොබ් මාලේගෙන් ගංජා ජොයින්ට් එකත්, කාල් මාක්ස් ගෙන් රැවුලත්, ෆිදෙල් කැස්ත්‍රෝ චේ ගුවේරාගෙන් ඔවුන් අඳිනජාතියේ ඇඳුනුත් ණයට ලබාගත් වෙස් නැට්ටුවන් පිරිසක් ඒ ඒ විශාල චරිත වල නම් කියමින් විවිධ නැටුම් ලාංකික සමාජය තුල දමයි. ඔවුන් ඇඳුමින් පෙනුමින් සහ ගංජා භාවිතයෙන් හෝ සුරුට්ටුවෙන් දේශපාලනය කරනවා විනා ඒ විශාල චරිත විසින් සිදුකරන ලද දේශපාලනික සෙල්ලම් ගැන අබමල් රේණුවක් වත් ලංකාවේ නැට්ටුවන් දන්නේ නැත. දීප්ති කුමාර ගුණරත්න වැන්නන් එවැනි දේශපාලනික සංකීර්ණ දේවල් තේරුම් කරන්නට යම් උත්සාහයක් ගත්තත් අවසන දීප්තිද අපේ අයට සෙට් වන්නේ බොනකොට ගන්න පුලුවන් බයිට් එකක් විදියට පමණි.

අපි මොන මතය මතධාරීව දැරුවත් අපි දිවි ගෙවිය යුතුවන්නේ වත්මන් සාමාන්‍ය සමාජය තුල වෙයි. මෙය තුල වයසක ගංජා ගසන්නන් හෝ කලක් මතෙහි ගැලී සිටියවුන් පවා පසුකලෙක තම දුවනිය කසාද බැන්දවීමට සොයන්නේ ගංජා නොගසන අරක්කු නොබොන සිගරට් නොබොන සුකුමාර මනාලයෙකි. මා දන්නා එවන් තත්වයක් නිසා ගැහැනු ළමයකුට සිය පෙම්වතා ජීවත්වුවත් මලා සේ සලකන්නට සිදු විය. ගෙවල් වලින් කැමතිව සියලු කේන්දර පොරොන්දම් සූදානම්ව එන්ගේජ් වීමට සිටි එම පෙම්වතුන් දෙපලගේ පෙම්වතා එක්වරම ගංජා ගසා පොලිසියට කොටු වෙයි. ඉන් පසු කිසිම හේතුවක් නිසා ඔහුට දුවනිය දීමට නොහැකි බව පවසන පෙම්වතියගේ දෙමාපියන් දුවනිය කාමරයට කොටු කොට වෙනත් මගුලක් ඇයට සෙට් කර දෙයි. 

සමහර විට  ඉතාම කළාතුරකින් ගංජා ගහන එකක් විය හැකිය ඒ පෙම්වතා. නමුත් වැරැද්ද පොලිසියටත් අසු වී සමාජය හමුවේ අප්‍රසාදයට පාත්‍රවී ඇති කලෙක බොහෝ විට ෆිල්ම් එකකවත් නැති නවකතාවක වත් නැති  අලුත්ම අහේතුවකට පෙම්වතුන්ට වෙන්වන්නට සිදු වෙයි. ප්‍රේමයෙන් වෙන් වීම කෙතරම් වේදනාකාරීද මාස ගානක් පුරා තැනූ මාලිගා එකවිට හිසමත කඩා වැටෙන විට කොතරම් ආතල්දැයි ඔබට සිතාගැන්මට මා ඉඩහරිමි. මොහොතක සුව දෙන ගංජා මිටියක් නිසා අවසන සොඳුරු පෙම් කතාවක අවසානය සිදු විය. 

මෙහි සමහර කාරණා කාරණා ජාතික මානසික සෞඛ්‍යය පිළිබඳ කවුන්සිල අඩවියෙන් උපුටා ගන්නා ලදී.. 

6 comments:

  1. කතාව සම්පුර්ණ ඇත්ත! මොනවා කිව්වත් මත් වෙනවනම් සිහිය වෙනස් වෙනවනම් ඒක අජූතයි!

    ReplyDelete
  2. itin machan ubath bonawa neda owaa!!!!!!!

    ReplyDelete
  3. මේකනම් බලන්නත් බයයි.ඒත් වටින ලිපියක් සහෝ.

    ReplyDelete
  4. අමිලයා ගංජා බොන් නෑ කුඩු ගහන්නෙ.

    ReplyDelete