Saturday, June 1, 2013

ඩෝග්ෆින් සේවකයාගේ අවාසනාව

අනේ නෝන

මම බල්ලට කෑම ටිකක් දාන්නයි හැදුවෙ..මාව නිදහස් කරන්න නේනා..මේ බලන්න බල්ල කාපු තුවාල තාම එහෙමමයි. මේව දනවා. අනේ නෝනා..අනේ.. නුවන්ත මහ හඬින් නෝනා ඉදිරිපට අඬන්නට විය.

සිකුරිටි කැමර් වලින්ද උස් තාප්ප වලින් බිත්ති වලින් වටවූ මෙහකාරියක පමණක් පේන්නට සිටින නිවසක පාලිකාව යටතේ නුවන් අසරණ වී සිටියේය. කලින් දින පැමිණ බල්ලාගේ පින්තූර රැගෙන යනු සිකුරිටි කැමර් වල රෙකෝඩ් වී තිබුන බව සිකුරිටි තැන විසින් නෝනාට දන්වන ලදී.

ඉන් පසු බල්ලාට දෙන කෑම අඩුකර ඌ කුසගින්නේ තබන්නැයි නෝනා උපදෙස් දුන්නේය. බල්ලා සැර එකෙකි. එබැවින් බල්ලා රැගෙන යන්න එන ඕනා අමුත්තකුට මේ තාප්පෙන් එපිටට බල්ලා සමග පැනීමට ප්‍රථමයෙන් බල්ලාගේ දැඩි සපාකෑම් වලට යට විය යුතු විය.

අනේ නෝනා ඒ නෝනලා කිව්වා මේ බල්ලා ඒ වගේමයි කියලා.ඔය නෝනගේ බල්ලමද? අනේ නෝනා..මං වැරැද්දක් කලේ නැහැ මම ඉන්සුවරන්ස් කම්පැනියක කෙනෙක්..

හරි අපි දැක්ක නේ තමුසෙ ඉන්සුවරන්ස් කරන හැටි. තමුසෙ දන්නවද මේ බල්ල කීයක් වෙනවද කියලා? තමුසෙගෙ අවුරුද්දක පඩියට වැඩිය වැඩියි මේ බල්ලගේ වටිනකම?

කීයද එක්ලක්ෂ පාලොස්දාහද? නුවන්ත අසන්නට විය..

නහැ නැහැ එක්ලක්ෂ හැත්තපන්දාහයි..හස්බන් දන්න නිසා ඒ ගාන්ට ගත්තෙ. නෝනා පිළිතුරු දුන්නාය.

කොහොම වුනත් තමුසෙ කියනවා බලන්න එහෙනං තමුසෙ ගොතාගත්ත බොරුව මෙතන... තමුසෙලා වගේ හොරුන්ට පුදුම හිතෙන හේතුනේ තියෙන්නෙ..

ගෙදර ගෑනි ලෙඩවෙලා ලමයිට කන්න නැහැ..අම්ම ඉස්පිරිතාලෙ තාත්ත ජම්බු ගහෙන් වැටිල..හහ් හහ් හා...තමුසෙලා දුප්පත් වෙලා ඒකට හේතුත් ඉදිරිපත් කරනවා.. ඒ මදිවට අපේ පෝසත් කමට ඉරිසියා කරලා මේ අසරණ සත්තු පවා උස්සන් යන්න හදනවා.. තමුසෙව හරිනම් පොලිසියට ඉදිරිපත් කරන්න ඕනි..

ඒත් මේ බලු පූසාරියා කාපු තුවාල එක්ක කරදර වැඩ..තමුසෙට ඔය තුවාලම හොඳ දඩුවමක් වෙයි....නෝනා කියන්නට විය.

මිලී..මේන් මේ හොරාට අර බ්‍රැන්ඩි ටිකක් ගෙනත් දීපං..නෝනා මිලීට අණ කලාය.. මූට බල්ල කාපු තුවාල වේදනාව අඩුවෙයි බ්‍රැන්ඩි වලට.. සොරකමේ පැමිණි නුවන්තට සොරකම අසු වූ පසු බ්‍රැන්ඩි දීම ගැන පුදුමයක් ඇති විය. නමුත් බල්ලා සපා කෑම නිසා පොලිසි ගියොත් නෝනාට අවාසි විය හැකි නිසා මෙසේ හැසිරනවා විය හැකියයිද මේ ගෙවල් වල බ්‍රැන්ඩි සාමාන්‍ය වතුර තරම් සරල බීමක් වෙන්න ඇති යැයිද නුවන්ත සිතුවේය.

ලැබුන බ්‍රැන්ඩි වීදුරුව ඇස් දෙක පියාගෙන උගුරටම හලා ගන්නට නුවන්ත වග බලා ගති..

අනේ නෝනා හරිම දැවිල්ලයි අර දාපු බේත.. ඒ නෝන හරියට දාලත් නැහැ වගේ බේත්..

ඒ නෝන නෙවෙයි මනුස්සයෝ..ඒ මිලී..අපේ ගෙදර වැඩකරන මිලී කොහේාමද ගොනෝ නෝන වෙන්නෙ//?? ලොකු නෝනා කියන්නට විය.

හා දැන් කියනවා එහෙනං පැහැදිලිව මොකද්ද මේ අපේ බල්ලත් එක්ක තියෙන තරහ කියලා..

නෝනා මගේ කතාව දිගයි..සමහර විට මේ කතාව ලිව්වොත් වචන දාහකටත් එහා පනී..කමක් නැද්ද?

ආ මාත් ආසයි තමුසෙලයි කතා අහන්න..එකපාරක් අපේ සිකුරිටි පල්ලෙහා අපේ ඇන්ටනාවක් අරං යන්න ආපු හොරෙක් අල්ලලා දුන්නා..ගොන් තකතීරුවා...ඇන්ටනාව එක්ක තාප්පෙන් වැටිච්චි පාරට මිනිහගේ කකුලකුත් නොන්ඩි වෙලා..පෙරලිලා..දුවාගන්න බැරුව ඉන්නකොට සිකුරිටියා අරං ආවා..මිනිස්සු දැක්කොත් හොද නැහැනේ..අපේ තාප්පෙන් මිනිහෙක් වැටිලා අපි බැලුවෙ නැහැ කියයි.

මිනිහත් හෙන කතා කාරයා..අපරාදෙ කියන්න බැහැ තමුසෙලා ට සල්ලි නැතිවුනාට කතා කියන්න නම් හරිම දක්ෂයි..හෙ හෙහ් හෙ හෙහ්... නෝනා කිය්නනට විය..

මේකයි නෝනා..මම උපාධිධාරියෙක්..වාණිජ අංශයෙන් තමයි කලේ. රස්සාවක් ගන්න බැරිවුනා..මට ඉංගිරිසිත් පුලුවන් වර්ඩ් එක්සෙල් පවර් පොයින්ට් පුලුවන්..ඒත් කොළඹ තිබුන ගොඩක් රස්සා වලට ගිහින් කොළඹ නැවතිලා ඉඳලා ඒක කරාම මාසෙ අවසානෙ ඉතුරු වෙන්නෙ රුපියල් දෙතුන් දාහයි. ඒකමදි .. මම බැඳලා නැහැ.

අම්මටයි තාත්තටයි තනියම ජීවත් වෙන්න තාත්තගේ පෙන්ෂන් එකෙන් පුලුවන්...ඒත් මාත් ආසයි හම්බ කරන්න. මට කැම්පස් එකෙ හිටපු ගර්ල්පෙන් හම්බු වෙන්න යන්න සල්ලි නැහැ.

දැන් ඒකි වෙන කොල්ලෙක් සෙට් කරන් ඇති සමහර විට. යන්තම් රී ලෝඩ් එකක් දාගෙන රෑට රෑට කතාකරන්න ඇහැකි. ඒත් විසිපහ පැනපු අපිට දැන් මල් කඩල මදි.. සැරට ඇඟට ආදරේ දැනෙන් ඕනි..

අනේ මන්දා.. එයාටත් රස්සාවක් නැහැ. මං හැමතැනම රස්සා හෙව්වා..

මම එච්චර වැඩ්ඩෙක් නෙමෙයි. මේ හොරකමට පවා මම ආපු පලවෙනි වතාව. ඒකයි අහුවෙන්න ඇත්තෙ..

කඩේක කැෂියර් වැඩ කලා..ඒත් මිනිස්සු එක්ක ගැලවිල්ලක් නැහැ. මුදලාලි ඇවිත් හැමදාම බනිනවා.. ලැබෙන තුට්ටු දෙකත් එපාවෙනවා බැනුම් අහලම.. අපි කැම්පස් කාලෙ හිතුවෙ අපි ලොකු මිනිස්සු කියලා..

කපුටෙක් ( අදාල නැති පිංතූරයකි)
ඒත් ලොකු පන්තියෙ රැස්ටුරන්ට් එකක වේටර් වැඩක් වත් අපිට ගන්න බැහැ. මේ උලව්ව තියෙන නිසා. කැම්පස් සහිතක දැක්ක ගමන් සමහරු පයිල් එක දෙනවා.

එතකොට තමයි අලුත් ඉන්ෂුවරන්ස් කොම්පැනිය සෙට් වුනේ.. නෝන ගේ බල්ල ලක්ෂ එකහමාරයි. ඒත් ලක්ෂ හතර පහේ බල්ලො ඉන්නවා..

බල්ලො කියන්නෙ වටින සම්පතක් කියල අවබෝධ කරගත්ත අපේ කම්පැනිය බල්ලො ඉන්ෂූවරන්ස් කරන්න පටන් ගත්තා. වටින බල්ලෙක් නැතිවුනාම කොච්චර පාඩුද? ආයෙ ඒ ජාතියෙ එකෙක් රටෙත් නැතුව ඇති. බල්ලගේ වටිනකමත් වැඩියි ඉන්ෂුවරන්ස් කලාම. කොටින්ම බල්ල හැපුවොත් හැපීමට ලක්වෙන කෙනාට වන්දිය නෝනට දෙන්න වෙන්නෙ නැහැ. ඒක බලු ඉන්ෂුවරන්ස් එකෙන් ගෙවනවා..

අපේ කම්පැනියෙ ආදර්ශ පාඨය බී අ රියල් පාට්නර්.. නිකම්ම නිකං බලු ඕනර් කෙනෙක් වුනාට වැඩක් නැහැ. බල්ලගේ පාට්නර් කෙනෙක් වුනත් ඇත්තම වෙන්න ඕනි..රියල් වෙන්න ඕනි..බල්ලට ඇත්තටම ආදරේ නම් ඉන්ෂූවරන්ස් එකක් දාල බල්ලා රකින්න ඕනි..

එකඑක පොලිසි එක අනුව බල්ලන්ට තියෙනවා මෙඩිකල් කවර්.. හදිසි ආපදා වලදි නැවත මුදල් ගෙවන ක්‍රම ආදිය. හරිම වැදගත් වැඩක්..

“අපිට දෙයක් බැහ කියල හිතුවොත් බැහැම තමයි . අපි මේ රට වටා ඉන්න බල්ලන්ගේ වටිනාකම වැඩිකරන්නයි යන්නෙ. ධනාත්මකව හිතන මනුස්සයින්ට කරන්න බැරි වෙනසක් නැහැ. මෙ බල්ලන් ඉන්ෂූවරන්ස් කරනවා කියන්නෙ බල්ලන්ට වගේම සමාජයටත් කරන මෙහෙවරක්.. සමහර විට ඔයාල පාරෙ යන කොට හෙම අන්න බලු ඉන්ෂූවරන්ස් කාරයා කියලා මිනිස්සු කියයි. ඒත් තඹේකට වත් සැලෙන් එපා. තමුං කරන්නෙ ජාතික සේවයක්. මිනිසුන් වෙනුවෙන් වගේම සතුන් වෙනුවෙනුත් ජීවිතයේ කැපකිරීම් කරන වටිනා අලෙවි නියෝජිතයෙක් තමයි අදින් පස්සෙ ඔබ තුල ඉන්නෙ..

මිනිස්සු අලුත් වෙන්න සාමාන්‍යෙයන් කැමති නැහැ. නමුත් අපි ඒ අයව වෙනස් කරන්න ඕනි. හිතන්න ලොකු කුණාටුවක් ඇවිත් දුප්පත් මනුෂ්‍යෙයක්ගේ බල්ලට හානියක් වෙනවා. ගෙවල් දොරවල් ඔක්කොම හානි වෙලා තිබුනත්..බල්ලා ඉන්ෂූවරන්ස් කරලා තියෙනම් අර මනුස්සයට පොඩි කාලයක් ජිව්ත වෙන්න හරි බලු ඉන්ෂූවරන්ස් එක වැදගත් වෙනවා. බැහැ කියලා හිතන ගෙඩක් මිනිස්සු දුප්ප්ත වෙනවා. පුලුවන් කියල හිතන මනුස්සය තමයි ජීවිතේ ඉහල නගින්නෙ..අද කාලෙ අනුව බල්ලන් මරන්න තහනම්.

.ඇත්තටම පෝසත් බල්ලන්ට සමහර මිනිස්සුන්ට වැඩිය තැනක් තියෙනවා. ඉතිං අපි අපේ වටිනාකම් එක්රැස් කරගන්න අපේ ජීවිතවලට වටිනාකමක් එක්කර ගන්න මේ බලු සම්පත ප්‍රෙයා්ජනයට ගන්න ඕනි. අර ජාතක කතාවකත් තියෙනවා මීකුණක් දැකලා ජිවිතය ජයගත් මිනිහෙක් ගැන. මීකුණ කින් පුලුවන් නම් ඇයි පණ ඇති බල්ලෙකුගෙන් බැරි ජීවිතය ජයගන්න. අපි මෙතනදි ඔයාලව එක පුටුවකට මේසෙකට බැඳලා තියන්නෙ නැහැ. යන්න ඔයාල කැමති තැනක යන්න.ගිහින් බල්ලන්ගේ වටිනාකම දන්න මිනිස්සු අපිවටා එකතුකරගන්න වැඩි වැඩියෙන් බල්ලන් එකතු කරගත්තම වැඩි වැඩියෙන් ඔබේ වටිනාකම වැඩිවේවි. . “

ඔය මං කලින් කිව්ව කතාව කිව්වෙ මම බලු ඉන්ෂූවරන්ස් එකට බැඳුනම එකෙ ලොකු මහත්තය.ඩෝග්ෆින් ඉන්ෂුවරන්ස් එකේ බැඳුන පලවෙනි බැජ් එකට තිබුන කතාව තමයි ඕක.

මිනිහෙක් ඉන්ෂුවරන්ස් කරනවාට වඩා බලු ඉන්ෂූවරන්ස් වාරිකය වැඩියි. මිනිස්සු කැමති නැහැ වැඩිය ගන්න ඉන්ෂූවරන්ස්..මට මාකටින් බැහැ. සිරිමත් මගෙ සකි යහපත් ලමයෙකි..මං ඒ වගේ පොන්නෙයක්.. මට මිනිස්සුන්ට ආස හිතෙන විදියට කතා කරන්න බැහැ නෝනා.. අද නවීන ලෝකෙට මාව අහසින් පාත් වුනා වගේ කියලා මට හිතෙනවා. මං බොරුවක් කියනකොට මූන රතුවෙනවා.. ඇත්ත වගේ බොරු කියන්න බැහැ. 


 මේ හලෝ බල්ලා මලාම මට ගානක් ලැබෙනවා වෙන්න ඇති..ඒත් ඉතිං බල්ල ලැබෙන් නැහැනේ..මොකටද අයිසේ එතකොට ඔය ඉන්සුවරන්ස් එක.. කියලා දවසක් මුදලාලි කෙනෙක් ඇහුවා..ඉතිං මං එතන හිටවුනා..මට ඒකට උත්තරයක් තිබුනෙ නැහැ.. ඒත් දක්ෂ විකුනුම් නිළදාරියෙක්ට ඒ වගේ දේවල් වලට උත්තර තියෙන්න ඕනි.

පස්සෙ මම අතනට මෙතනට විසි වුනා. අවසානෙ බලු ඉන්ෂූවරන්ස් ඔපිස් එකට මාව දාලා නැතිවුන බල්ලො හොයන්න දැම්මා. බල්ලො නැතිවුනාමත් අපේ පොලිසි ඩොකියුමන්ට් අනුව අපි ගෙවන්න ඕනි.සමහර වෙලාවට බල්ලා හොයලා දෙන එක වාසියි ගෙවනවාට වඩා. අනික අපි චෙක් කරලා බලන්න ඕනි බල්ලා ඇත්තටම නැතිවෙලාද කියලත්..

 මේ නෝනගේ බල්ල වගේම බල්ලෙක් නැතිවෙලා. ඌ ලක්ෂ දෙකක් වටින බල්ලෙක්..අපේ කම්පැනිය ඌගේ වටිනාකම ලක්ෂ තුනක් කියලා තමයි ඉන්ෂූවරන්ස් කරලා තියෙන්නෙ..

ඉතිං මේ බල්ලා කොහොම හරි හොයන්න නැත්තං තමුසෙ මෙතන තියාගෙන වැඩක් නැහැ කියලා බොසා කිව්වා. එතනින් මට තේරුනා මේ මාස තුන හතරෙ මම ගත්ත දාහෙ කොල පාලහ මේ පාර ඉඳලා නැතිවෙන්න යනවා කියලා..

ඒ නැතිවුන බල්ලා මේ අහල පහලමයි. නෝනගේ බල්ලගේ ජාතියෙමයි. මං සැකේට මාව හපාපු නෝනගේ මේ බල්ලගේ පොටෝවක් අරං පෙන්නුවා අර පවුලේ අයට.. මේකම තමයි කියලා ඒ නෝන කිව්වෙ.

මම තව ඉන්ෂූවරන්ස් යාලුවෙක් එක්ක ආවෙ බල්ලව උස්සං යන්න. අපිට බල්ලො අල්ලන්න මොකුත් බඩු දීලා නැහැ. ඒ වගේ කිසිම දෙයක් නොදීපු තැනක  වැඩකරන්න අපි ළඟ ධනාත්මක අදහස් තියෙන්න ඕනි..ඒත් කොහොම හරි මූව අරං ගියෙ නැත්තං ජොබ් එක නැතිවෙනවා. මම බල්ලට වෙරි වෙන්න දෙන්න අරක්කු කාලකුත් අරං ආවෙ.. මං හිතන්නෙ යාලුව මගේ සද්දෙයි බල්ලගේ සද්දෙයි ඇහිලා දුවන්න ඇති ..

අද කාලෙ වලහ එනකොට දැං යාලුවො සෙට් වෙලා ගහේ නගින්නෙත් නැහැ.. සෙට්වෙලා නිදාගන්නෙත් නැහැ.. පුලුවන් නම් වලහට කේලං කියලා අපිව අල්ලලා දෙනවා..අම්මප නෝන..මට මේ යාලුවො එපා වෙල තියෙන්නෙ..

වෙන බෙහෙතක් දැනං හිටියෙ නැහැ බල්ල මෙල්ල කරන්න. අර යාලුවා කිව්වා අරක්කු කාලක් දෙමු බල්ල බොයි කියලා..උගේ පැත්තෙ බල්ලො අරක්කු වලට පෙරේතලු.. බාගයක් අරං අපිදෙන්නා කාලක් වෙනකල් ටිකක් ගත්තා..වැඩේට උත්තේජකයකුත් ඕනි නේ..හොරකම් කරන්න ආවම හොරකම අතරමග රීපෙස්මන්ට් විදියට තේ කෝපි දෙන සිරිතක් නැහැ නේ නෝන..ඒ නිසා අරක්කු කාල අපි දෙන්න බීල ඉතිරිය බල්ලට තියා ගත්තා.. නෝනයි මෝඩ සිකුරිටියට මම අහුවුනේ නැහැ.

නෝනයි බල්ල අරක්කුත් බිව්වා..ලක්ෂ ගානක් වටින බල්ල මං හිතුවෙ ගල් අරක්කු බොන එකක් නැහැ කියලා.ඒත් විස්කි බ්‍රැන්ඩි බොන්න ඕනි නෝනගේ බල්ල මගේ ගල් කාල බිව්වා...

මගේ ප්ලෑන ඔක්කොම හරිගියා..ඒත් බල්ලා ඩෝප් එකට නිදාගන්න කලිං තමයි මං උස්සන් යන්න හදල තියෙන්නෙ.. බල්ල නිකං සැර වුනාටත් වැඩිය අරක්කු ටික බිව්වම සැර වෙලා..මේං..තාම ලේ.. නුවන්ත තුවාල පෙන්නන්නට විය..

නෝනා මෙවන් කතාවක් සීනෙන් වත් බලාපොරොත්තු නොවීය.

හොඳට බෙහෙත් දා ගන්නට රුපියල් පන්දාහක්..දී නිකං ඉන්නට නෝනාට සිතුනි. නමුත් ඔහු බල්ලා අල්ලන්නට ගැසූ ප්ලෑන වෙනස් එකක් නිසාත් ඔහු සාම්ප්‍රදායික නොවූ ලස්සන හොරෙකු වූ නිසාත් ඔහු පුද්ගලික ඉස්පිරිතාලෙට ඇරලවන ලෙස ගෙදර මෙහෙකාරියට අණ ලැබුනි. මෙහෙකාරිය ටැක්සියකට කතා කරන්නට ඇත.

ටික දිනකින් මේ සිද්ධිය ආරංචි වුවොත් සිය සමාගමට වන කැලල තකා ඉන්ෂූවරන්ස් සමාගමෙන් නුවන්ත ඉවත් කරන ලදී. ගෙදරටම ඔහුගේ සහතික ටික ලැබුන අතර කිසිදු හේතුවක් නිසා නැවත ආයතනයට පැමිණීම අනවශ්‍ය බවද දන්වා තිබුනි.

අවසානයේ නෝනාගෙන් මොකද්ද ආයතනයක මැනේජර රස්සාවක් නුවන්තට ලැබී තිබුනි. දැන් නුවන්ත ලස්සනට ඉන්න මැනේජරයෙකි. හේ ඉඳහිට හොඳ හරක් මස් කෑල්ලක් ෆුඩ් සිටියකින් මිලදී ගෙන නෝනා සහ බල්ලා බලන්නට යයි. මන්ද ඔහුට රැකියාව ලබාදුන් බලු සතාට කෘතගුණ සැලකිය යුතු බැවිනි.

9 comments:

  1. මරු බන්..උත්කෘෂ්ටයි..ගැලපෙන පින්තුරෙකුත් දාලා තියෙන්නේ........

    ReplyDelete
  2. දිග වුනාට කම්මැලි නැතිව ඔක්කොම කියෙව්වා :) අද කාලේ ජීවිත මෙහෙම තමා......

    ReplyDelete
  3. අමුතුම සීන් එකක්!

    ReplyDelete
  4. කතාවක් ... හැබැයි මෙහෙම ඇත්ත සින් තියනව ...

    ReplyDelete
  5. ...//කිසිම දෙයක් නැතුවත් වැඩ කරන්න ධනාත්මක චින්තනේ තියෙන්න ඕනා.//..
    ...//මිනිස්සු බලු ඉන්සුවරන්ස් කාරයා කිව්වට ගණන් ගන්න එපෑ. ඔයා කරන්නේ සමාජයට හොඳ මෙහෙවරක්//....

    ඔය කතන්දර අපිත් අහනවා මාසෙකට දෙහෙකට සැරයක්... :D

    අද මාතෘකාවත්... ලොවෙත් නැත.

    ReplyDelete
  6. අැත්තටම බල්ලො අරක්කු බොනවද? නැත්නම් අරක්කු බොන්නෙ බල්ලොද?

    ReplyDelete
  7. බල්ලව ඔච්චර වටිනවද...??? මගේ අම්බෝ....

    ReplyDelete
  8. චැහ්.. මරු දේසනේ බං.....

    ReplyDelete
  9. මොකක් කියන්නද කියලා හිතා ගන්න බැ. හීනයක් වෙන්න බෑ හීනයක්නම් *ක රිදෙයිය.

    ReplyDelete