Sunday, June 30, 2013

එම්බාම් සමරු කලාපය

සමස්ථ ලංකා ඩිප්ලෝමාධාරී එම්බාම් කරුවන්ගේ සංගමය විදියට අපිට මේ පාර අලුත් වැඩක් කරන්න හිතුනා. අපි හැම වෙලාවෙම අපිට ඉහලින් සිටින උපාධිදාරී එම්බාම් කරුවන් සහ අපිට පහලින් සිටින ජෝන් බාස් එම්බාම් කරුවන් බාධාවක් තමයි. ලෝකයේ ඉහල පිළිගැනීමක් තියෙන ඩිප්ලෝමාධාරී එම්බාම් කරුවන්ට ලංකාවේ අත්වෙලා තියෙන තැන ඉතාම ශෝචනීයයි. නමුත් අපි ඩිප්ලෝමාධාරින් ලෙස එකතු වෙලා පොඩි සමරු කලාපයක් ගහලා පොඩි සෙට් වීමක් තියලා අපේ සමගිය වැඩිකරගන්න හිතුවා. ඒ අතර අපේ සෝසල් මීඩියා වල ජනප්‍රිය වෙච්චි එම්බාම් කරුවන් කිහිපදෙනෙකුගේ අත්දැකීම් එකතු කරගන්න හිතුවා මේ පාර සමරු කලාපයට..

පොලොන්නරුවේ එලොව සුව මල්ශාලාවේ සේවය නියුතු ජයන්ත සහෝදරයා

හොඳයි වරදක් නැහැ. දැන් පේස්බුක් බ්ලොග් තියෙන නිසා අපිට මීට් වෙන්න චාන්ස් එනවා. පරණ යාලුවො ආයිමත් මතක් වෙනවා. යුද්දෙන් පස්සෙ ගම්බට්ටොන්ගේ , කොටි ගහපු සීන් වල, බට්ටො පෑගිලා එහෙම ලැබෙන මිනි වල පොඩි අඩුවක් තිබුනා. ඒත් දැන් දැන් වකුගඩු කේස් එකක් තියෙනනිසා මිනි ටිකක් ඒ පැත්තෙන් එනවා. එච්චර ලොකුවට මිනි වල අඩුව දැනෙන් නැහැ. ඒත් අපේ පැත්තෙ තියෙන ප්‍රශ්නෙ තමයි මලගෙවල් ජයට ගන්නෙ නැති එක. දැන් ඉන්න මිනිස්සු මැරෙනවා කියලා හිතන්නෙ නැහැ. ඒ නිසා ඉතුරු කරන්නෙ නැහැ. ලෙඩහැදිලා හෙම මලාම ජීවත් කරවන්න මිනිස්සු සල්ලි දේපල ගෙවල් උගස් තියලා මැරෙනකොට මලගෙදර ගන්න කීයක් වත් ඉතුරු වෙන් නැහැ. ඒනිසා බොහොම ලාබෙට තමයි මලගෙවල් කරන්න වෙලා තියෙන්නෙ. ඒත් ඉතිං මාසෙකට එකක් දෙකක් එන හොඳ මිනි නිසා තත්වෙ අවුලක් නැහැ.

කුරුනෑගල එතෙර දුක මල්ශාලාවේ පියන්ත සහෝදරයා..

පවතින ආර්ථික සමාජීය වටපිටාව තුල මේ ක්‍රමයේ පවතින සෝදාපාලුව අපේ කර්මාන්තයට විතරක් නොදැනී යන්න කිසිම හේතුවක් නැහැ. පශ්චාත් නූතන වටපිටාවේ ලෝකය පවතින විට අපි තාමත් ගමන් කරන්නෙ පරණ වැඩවසම් යුගයටමය කියලා අපිට හිතෙනවා. නමුත් මේ පැත්තෙ සමාජ විදිය ගත්තොත් හාම්පුතා කවදාවත් ඇස් දෙකට අනික් මිනිස්සු දකින්නෙ නැහැ..හාම්පුතා අරාබියෙ. ගෑනිත් එහෙ. මෙහෙ ඉන්න මිනිහා බොනවා. ඒ බීමත්කම නිසාත් විදේශ රැකියාවලට කාන්තාවන් යොමුවීම නිසාත් විවිධ ගැටලු සමාජය තුල ඉස්මතු වෙනවා. 

පවත්නා තත්කාලීන විවෘත සමාජයට ඒ සමාජ ගැටලු කවරාකාරයෙන් ජීර්ණය වුවත් අප අයිති එම්බාම් කරුවන්ගේ සුළුතර කොටසට මේ සමාජිය ප්‍රශ්ණ ආශිර්වාදයක් වෙන වෙලාවල් තියෙනවා. පවුල තුල මූලික කාර්යභාරයක් චරිතයක් හිමි මව පියා විදෙස් ගත වුනාම ඒ පවුල් තුල ඇතිවෙන අසහනය නිමාවෙන්නෙ බොහෝවිට සියදිවි නසාගැනීම් වලින්. ඒ වගේම විදෙස් ගත වෙලා අරාබියෙ සිටම පෙට්ටියෙන් එන මිනිත් දැන් එන්න එන්න වැඩිවෙනවා. නමුත් විදේශ විනිමය කෙලින්ම මරණ ගෙවල් වලට යොමු වීම නිසා මරණ වලට ලැබෙන ගාන අපිට වැඩිකරන්න පුලුවනි. ඒ හරහා කර්මාන්තය යම් කිසි පසුබෑමක් තිබුනත් එම්බාම් කරුවන්ගේ පැවැත්ම දැඩි ලෙස මේ පලාතෙ අවධානමට ලක් වෙලා නැහැ.            
හම්බන්තොට දිවිය ගාමිනී මල් ශාලාවේ ප්‍රධාන එම්බාම්කරු ජිනපාල සහෝදරයා..

බාගයක් අපේ ගම්වල කොල්ලො කොරියාවෙ. තව උන් ඉතාලියෙ. ඉතිරි ඉන්න උන්ටත් අපේ රා-ජපක්ස මහත්තුරුන්ගේ පිහිටෙන් හොඳ රස්සාවල් තියෙනවා.මැරෙන ගානෙ අඩුවැඩියක් නැතත් අපිට දැන් හොඳට සරුයි. මොකද කොරියන් සල්ලි, රට සල්ලි, කොළඹ ගිහින් ගෙනාපු සල්ලි මිනිස්සුන්ට තියෙනවා. මී ආච්චියෙක් මැරුනත් මල ගෙදර දවස් දෙක තුනක් ලොකුවට ගන්න තමයි ප්ලෑන් එක තියෙන්නෙ. මේ උඹලට හින්ද මම කියන්නෙ. මේ ළඟදි ආව කොරියන් ගිහින් ආපු කපල් එකක් පෙට්ටියක් බලන්න සහ මලගෙදර ඇරෙන්ජ් කරගන්න. ඉතිං පෙට්ටි, ඇඳුම්, මල් වඩම්, ඩෙකරේෂන්ස් ඔක්කකොම බලල මම ඇහුව මිනිය දැන් කොහේද කියලා. බැලින්නම් ඕයි කවුරුත් මැරිල නැහැ නෙව.. මී ආච්චි තව සතියක් වගේ තමයි පුළුවන් කියලා දොස්තරයා කියලා. ඉතිං මුනුබුරාල කොරියන් ගිහින් තියෙන සාරෙ පෙන්වන්න දැම්ම ඉඳලම ෆියුනරල් එක ප්ලෑන් කරනවා. එයාලගේ වෙඩින් එකත් හරියට ගන්න වුන් නැහැල්ලු මරණයක් වෙලා නිසා. ඒනිසා මේ ෆියුනරල් එකවත් ලොකුවට ගන්න කියලාලු ඒ දෙන්නාගේ අදහස තියෙන්නෙ. එච්චර ජරාව අත නොගෑවට මාසෙට ජොබ් හත අටක් වැදුනත් අපිට ඇති. හොඳ ගානකට දෙන්න පුලුවන්නේ මිනිය.



 අපේ සංගමේ ගැනත් අයිඩියාස් එකක් දානවනම් මට කියන්න තියෙන්න අපි තවත් උපාධිකාර එම්බාම් කාරයොත් එක්ක හැපිලා වැඩක් නැහැ. මොකද අපිට තරම් ප්‍රැක්ටිකල් නොලේජ් එකක් උපාධිකාර එම්බාම් කාරයින්ට නැහැ. ඒ උපාධිකාර එම්බාම් කාරයින්ට තියෙන්නෙ තියරි නොලේජ් එක විතරයි. අපිතමයි එම්බාම් ඉන්ඩස්ට්‍රිෙය දැනට කප් ගහල තියෙන්නෙ. අනික් ඉතිං හෙල්පිං එම්බාම් කාරයො කියන්නෙ බකට් එක අල්ලං ඉන්න උන්ට නේ.. උන් ඉතිං හැමදාම බකට ්එක තමයි. අපි දැනගන්න ඕනි උන්ට පිහිය නොදී හැමදාම බකට් එක අල්ලන එකේ වැදගත්කම කිය කිය ඒකම කරවගන්න. වැඩිය කරේ නග්ගගන්න හොඳ නැහැ ඔය එම්බාම් සහායකයෝ කියන්නෙ පොඩ්ඩක් ඔලුව දාන්න දුන්නම කඳම බස්සන්න හදන උන්. . එහෙම වුනොත් උන් අපේ කරේ යනවා. මේ මචං මේවා අපි අතරම ෂෙයා වෙන නිසයි දාන්නෙ හරී. මේවා ලීක් කරන්න එපා. එහෙම වුනොත් අර අපේ හතුරු සෙට් දෙක නිකම්ම උඩ යයි.

කොළඹ අරලිය එම්බාම් කන්සල්ටන්ට් ජෝතිසේකර මහතා.

එම්බාම් කරුවන්ගේ සමුළුවට අදහස් දක්වන්නට මටත් අවසර දීම ගැන මාත් ඉතාම සතුටු වෙනවා. මේ අවස්ථාව අපි හැමෝටම ප්‍රීති වෙන්න පුළුවන් අවස්ථාවක්. කොළඹ පැත්තෙ එම්බාම් කර්මාන්තය යුද්දෙන් පස්සෙ ලෑල්ලටම බැස්සා. නමුත් දැන් දැන් ටිකක් වැඩේ හරියන විදියක් පේනවා. ඒත් ඉස්සර තරම් දවසට මිනි ලොරි ගෙනත් බාන්නෙ නැහැ. ඒ නිසා ලොකු දියුනුවක් නම් නැහැ. හමුදා මිනි හදන එකට ලොකු ගානක් ලැබුනට ඒ ජොබ් එක කරගෙන යන්නත් මහත්තුරු කී දෙනෙක්ට පගා දෙන්න වුනාද කියලා මල් ෂාලාවෙ අයිතිකාරයො කියනවා. වෙන වෙන බිස්නස් වලට අපේ සමහරු දැන් ගිහින්. අපේ යාලුවෙක් දැන් කොළඹ හොඳ හෝටලේක මස් කපන්න ගිහින්. කුනුවෙන්න ඕන්න මෙන්න මස් කපන්න තියෙන නිසා ඒ වැඩේට මස් කපන එකෙක් හොයාගන්න නැති නිසා හෝටලේ වැඩට එම්බාම් කාරයෙක් අරගෙන තියෙනවා. මිනිහාට ඒ වැඩේ නැගලා යනවා. මම හිතන්නෙ අපේ එම්බාම් කර්මාන්තය අන්න ඒ වගේ ක්ෂේත්‍ර ගානකට පතුරුවන්න පුළුවන් කියලා මට හිතෙනවා. රැකියා විරහිත එම්බාම් ඩිප්ලෝමාධාරින්ටත් ඒ හරහා රැකියා ලැබේවි. අපේ වැඩේට ජය වේවා..

වැලිගම අපේ ගම මල් ශාලාවේ සුගතදාස මහතා..

දැන් නම් අපිට ඉස්සර තරම් මිනි ලැබෙන් නැහැ. කොහොම වුනත් අපේ සංගමේ තියෙන එක කොයිකටත් හොඳයි. මගේ ළඟට ආපු ට්‍රෙනින් එම්බාම් ඩිප්ලොමැට්ස්ලා ටික දෙනෙක් මම මාලු වැඩට දැම්මා. මාලු සුද්ද කරලා ෆෝමලින් ඉන්ජෙක්ට් කරලා ඔය කඳු පැතිවලට යවන වැඩේ හොදට අල්ලගෙන තිබුනා උන්. එම්බාම් කරන්න මිනිස්සුම ඕනි නැහැ නේ. ඒ විදියට අපිට සත්තුත් එම්බාම් කරලා යවන්න ඇහැකිද කියලා හොයන්න ඕන. අපේ සංගමේ ඒ වගේ රස්සා හොයල දෙන වැඩ කිඩ එහෙම ඉස්සරහාට වෙනව නම් හොඳයි. මිනිස්සු මැරෙන ගාන්ට වඩා සතුන් මැරෙන ගාන වැඩියි. 


පහුගිය දවස්වල හරක් මරන්න එපා කියාල ලොකු විරෝධයක් රටේ ආව නෙව. ඒ වෙලාවෙ අපේ සංගමේට තිබුනෙ හරක් එම්බාම් කරන්න හරක් කල් තියාගන්න විධි ගැන පත්තර ආටික්ල හෙම දාන්න. මං දැකල තියෙනවා ෆිල්ම් එහෙම එන්න කලිං ඒ අධ්‍යක්ෂවරු මීඩියා වල කතාකරනවා. ඒ වගේ අපි ඒ වගේ සත්ව කරුණාව මිනිස්සු අතර පැතිරෙන අවස්ථාවලදි අපේ කර්මාන්තය ගැන හිතන්න යොමු වෙනවා නම් හොඳයි. මොකද අපිට පැවැත්මක් තියෙන්න නම් එම්බාම් ඩිප්ලෝමාධාරී ඉදිරිපරපුරක් තියෙන්න ඕනි. බලන්න සූරිය ගඟ ලඟ අර අලුත් පාලම හැදුනම තොටියා ටුවරිස්ට් බෝට් සර්විස් එකක් පටන් ගත්තා. මිනිහ ඉංගිරිසිත් ඉගෙන ගෙන ඔරුවට වයිෆයි කෑල්ලකුත් හයි කලා ටුවරිස්ට්ලාට වයිෆයි වලින් ඉන්ටනෙට් යන්න ඔරුවෙ යන වෙලාවට.. ආන්න ඒ වගේ කතා අපි අපේ අනාගත ඩිප්ලෝමාධාරී එම්බාම් කරුවන්ට කියලා දෙන්න ඕනි..

තව වැදගත් අදහස් එවපු එම්බාම් කරුවො කීප දෙනෙක්ම සිටියා.. අපේ වෘත්තිය සදා දිනේවා යන පැතුමින් එහෙනම් අපේ සමරු කලාපයේ අපිට තියෙන අදහස් ඉඩකඩ සීමිත හෙයින් මෙතනින් නවතිනවා. මිනී පිරි එම්බාම් වැඩි හෙටක්. හැමෝටම. 



ඡායාරූපය ඉස්සුවේ අමන්දා ජයවර්ධනගේ ෆ්ලිකර් පිටුවෙනි.. 

14 comments:

  1. හැමදාම කියන දේ...
    උඹ ගොඩක් දවස්වලට අල්ලගන්නේ,
    අනිත් එවුං හීනෙකිංවත් අල්ලන්න හිතන්නවත් නැති මාර්තෘකා...
    උඹ තාම ලියන එකෙං හරි හමං වැඩක් අරගෙන නැහැ අමිල...
    එක්කෝ පොතක් ගහපං. ඒක විකුණගන්න අයිඩියා එකත් උඹේ ඔළුවේ තියෙන එකේ...
    නැත්තන්ග් නාට්ටි පිටපත් ලියහං... මේ වගේ ඒවා එහෙම එකකට සිරා...
    ඒකත් කම්මැලිනං මේ කෙහෙල්මලවල් පත්තරේකට හරි යවහං...
    ඉස්සර තරුණයා පත්තරේ පොඩි කොලමක් ගියා "එදිරිගෙ සාටරේ" කියලා... කිසිම තේරුමක් නැති යාං හෑල්ලක්, නමුත් ඒ කාලේ මම තරුණයා කියෙව්වේ ඒ කොලම කියවන්න... උඹට තැනක් හදාගන්න බැරි නැහැ...
    අපරාදේ උඹේ හැකියාව නැත්තං... නිකාං දියවෙනවා...

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. අවුරුඩු 3ක් බ්ලොග් ලියන කියවන මට 'ෆේවරිට්' බ්ලොග් එකක් වත් මං කැමතිම රචකයෙක්වත් හිටියෙ නෑ. හැබැයි දැන් මූ තමයි ඩයල් එක!

      Delete
  2. මාර ලියවිල්ලක්....!

    අමිල මට සිහි වුනේ කකකට පෙර සිළුමිනේ ගිය බූවාලන්තය. රනා කියා ඇති පරිදි මේවා වැඩි පිරිසක් අතරට ගෙන යා යුතුයි.

    ReplyDelete
    Replies
    1. MARADATH KIYANAWA, MARE MARU, KAKKA GEI MAGEI KATHA WAGE NEVE. THAWA LIYANNA.

      Delete
  3. කොහෙන්ද මේ අදහස් එන්නේ

    ReplyDelete
  4. මරු පෝස්ට් එක.

    ReplyDelete
  5. අමිල උඹේ පරිකල්පන ශක්තියට මල් මිටක්...

    ReplyDelete
  6. කොළඹ මල් ශාලාවේ නම@මල් හතයි ඈ!

    ReplyDelete
  7. ඒකනං පට්ට සංකල්පයක් ඈ....

    ReplyDelete
  8. ඈ බං! එතකොට උනුත් සමරු කලාප ගහලද! අර රනා කියන්නා වගේ පොතක් වගේ එකක් ට්‍රයි කරපංකෝ බං!

    ReplyDelete
  9. මමත් ඩිප්ලොමාදාරී මල් ශාලා කරුවෙක්. දැන් බී. මල් එක කලා..ඒ උනාට සිරි ලන්කා වර්ලත් මල්සාලා කරුවන්ගේ සන්ගමය මට මෙම්බර්සිප් එක දෙන් නෑ නෙ?

    ReplyDelete