Tuesday, July 16, 2013

වැටකොලු මැස්සක් ගහන ආකාරය

වැල යන අතට මැස්ස ගහන්න ඔනි කියලා කතාවක් තියෙනවා. නමුත් ඒ විදියට වැල් යන අතවල් බලලා මැහි ගහන්න ගියොත් තැන තැන ගෙනයාහැකි ජංගම (පෝටබල්) මැහි අපිට හදාගන තියාගන්න වෙනවා. ඒ නිසා ඔය පුරාන කතාන්දර වල තිබුනට වැල යන අතට මැස්ස ගහලානම් මැහි කෙරුවාව කරන්න බැහැ. 

මැස්සක් ගහන්න පටන් ගන්න ඕනි වෙලාව.
අලුතින්ම ගහන මැස්සක් නම් අපි ඇට හිටවලා පියලි දෙක තුනක් ඇටෙන් පිටට එනකොට මැස්ස ගහන්න පටන් ගන්න ඕනි.. 
  • දඩු කැපීම
  • මුක්කු කැපීම,
  • දඩු සිටුවීම
  • කම්බි ගැසීම
  • මුක්කු ගැසීම
  • ලනු ඇදීම
  • වෙලීම
ආදී විශේෂ අවස්ථා ගනනාවක් මැස්සක් ගහනකොට තිබෙනවා. මම මෙ ්කියන්නෙ වැටකොලු, පතෝල, කරිවිල වලට ගහන මැහි ගැන. මේ කියන්නෙ දකුනෙ බෙලිඅත්ත තංගල්ල පන්නෙගමුව, වාඩිගල, රන්න, අඟුනකොලපෑලැස්ස පැත්තෙ මැහි ගහන විදිය ගැන. සමහර විට මෙයිට වැඩිය වෙනස් වෙන්න ඇති වෙන පැතිවල මැහි ගැහිල්ල. 
ඇට ජාති ආදිය සිටුවනවිට පේලියකට ඒ ඇටජාති හිටවන වලවල් ආදිය තියෙන්න ඕනි. පෙළට හිටෙව්වෙ නැත්තං මැස්ස ගහන්න ගියාමත් පස්සෙ බෝගයට සාත්තු කරන්න බෝග නෙලන්න ගියාමත් බාධා ඇතිවෙන්න පුළුවනි. පෙළට හිටවලා තියෙන මැස්සක් මේ පහත රූපරාමුවේ දැක්වෙනවා. 
පෙළට කණු සිටුවා ඇති ආකාරය.
 මේ තියෙන වගාව වැටකොළු. වැස්ස සහ පෝෂනය  අඩුවීම නිසාත් බීජවල පවතින දොසක් නිසාත් නිසි වෙලාවට තෙල් ගහන්න බැරිවෙච්චි නිසාත් මේ වැටකොළු වගාව රෝගයකට අහු වෙලා තියෙන්නෙ. හොදට බැලුවොත් ඉදල් (වැටකොළු වැල් මැස්සට යවන කෝටුව) දිගේ ඇදෙන වැටකොළු වැල් මැලවිලා කහගැහිල තියෙනවා පේනව ඇති. මේ මැස්ස ගැන නම් ආයෙත් බලාපොරොත්තුවක් නැහැ වගේ තමයි පේන්නෙ. ඒ නිසා ඒ ගොවි මහතා කරල තියෙන්නෙ මීළඟ වතාව සඳහා බෝග සිටුවන්න වලවල් කපපු එක. බලන්න ඒ වලවල් පේලි ලස්සනට තියෙන හැටි. බාගෙදා ඒ ඊළඟ වතාවෙ සිටුවන්න ඉන්නෙ වැටකොළු නොවෙන්නත් පුළුවනි. මොකද ඒ කපපු වලවල් පේළි ගොඩක් ළඟින් පිහිටලා තිබෙනවා. 

කොහොම වුනත් බෝගයක් හිටවන කොට පෙළට පාත්ති තියෙන එක වාසියක්. මොකද නැත්නම් බැද්ද අයින් කරන්න අහින කියන වැඩ පෝර දාන වැඩ, තෙල් ගහන වැඩ, එයින් ගියාම අවසානෙ එලෝලු කඩන තැනත් මහ වාතයක් වෙනවා තැනින් තැනින් පිළිවෙලක් නැතිව බෝගය වගා කරලා තිබුනාම. 

මැස්සට දඬු සපයා ගැන්ම 
 
මේ මැහි වලට දඬු විදියට ගන්නෙ බොහෝ වෙලාවට ඇල්බීසියා නැත්නම් මකුලත ආදි නම් වලිනුත් ග්ලිරිසීඪියා කියන පොෂ් නාමයනුත් හඳුන්වන ගස් විශේෂයක්. ඉස්සර නම් කඩොල් (කඩොලාන) ගස් හෙම අරගෙන තියෙනවා. නමුත් පස්සෙ කාලෙක වැටවල් වලට හිටවපු ඇල්බීසියා වලින් කෝටු සහ මහ දඩු කපාගන්න පුළුවන් වුනා. මේ දඬුවලට උණ, සූරිය ගස් ආදිය යොදාගන්නත් පුළුවනි. අලුතින්ම එළි කරන ලද බිමක නම් එලි කරන්නට පෙර තිබු මහ ගස් කුඩා ගස් ආදියේ සුදුසු දඩු ආදිය මැස්සට යොදාගන්න පුළුවන් කමක් තියෙනවා. සාමාන්‍යන් මැස්සකට වඩාත් සුදුසු වෙන්නෙ කෙළින් සහ ශක්තිමත්ව තිබෙන ලී. ඇල්බීසිය වඩාත් ම සුදුසු වෙන්නෙ ඇල්බීසිය දන්ඩ හිටෙව්වම ඒක සුටුස් ගාල පැලවෙනවා. 

ඒ ගමන පැළවුනාම අපිට ඊගාව වතාවටත් ඒ ලීම ඒ කෝටුම බොහොමයක් පාවිච්චි කරන්න හැකියාව ලැබෙනවා. මිදි වගේ පළදරන්න සහ පලදාව නොකඩවා ගන්න බෝගාදියට මේ ආකාරයේ මැහි සුදුසු වෙන්නෙ නැහැ. ඒ වගේ වෙලාවට ස්ථිරව කොන්ක්‍රිට් හෝ ශක්තිමත් දඩු ආදියෙන් තැනූ මැස්සක් වඩාත්ම යෝග්‍ය වෙනවා. මේ කරන කරිවිල, පතෝල, වැටකොළු, මෑකරල් මැහි වලදි බෝගය වැඩිම වුනොත් පළදරන්නෙ මාස තුනක් හතරක් විතරයි. ඉන් පස්සෙ ඊලගට මැස්ස පාවිච්චි කරන්නෙ ඊලග කන්නයට. 

මේ දඬු වගේම මැ්සසට මුක්කුත් අපි කලින් හොයාගන්න ඕනි. මුක්කු කලින් කපලා තියෙනවාද නැද්ද කියලානම් මට ලොකු අයිඩියාස් එකක් නැහැ. නමුත් මුක්කු අනිවාර්යෙන්ම ඕනි. නැත්නම් වෙන්නෙ පළදරන වෙලාවට මැස්සෙ බර බෙදිල යන්නෙ නැතිවුනාම මැස්ස පහත්වෙලා බිමට සමතලා වෙන එක. අපේ තාත්තගේ මැස්සක් එකපාරක් වැටුනා. මට මතක විදියට මැස්සෙන් ටිකයි වැටුනෙ. මහ හුලං වැහි අහුවුනා ඒ පාර මැස්සට. අනික මැස්සත් ටිකක් බර වුනා. ඔයින් මෙයින් පළදාව අතර මග මැස්ස වැටුනා. මට මතක විදියට ඒක වුනේ මැස්සෙ පළදාව නෙලන අවසාන සමයෙ. මුල් හරියෙදි වුනානම් සොරිම තමයි. 

මැස්සක් වැටෙනවා කියන්නෙ ලේසි වැඩක් නෙමෙයි. ආයෙත් ඒ මැස්ස යන්තම් මුක්කු, ජැක් දඩු ගහලා උස්සත හැකි. නමුත් ඒ මැස්සෙ වැඩකොරන්න ගියාම තමයි එපා වෙන්නෙ. බලු බල්ලට යන්න බැහැ මැස්සෙ. ඔලුවෙ වදිනවා පරඩැල් එහෙම. දෙකට තුනට නැමිලා බයේ වගේ තමයි සමහර තැන්වලින් යන්න වෙන්නෙ. ඒ වගේ මැස්සකට පෝර දාන්න, එලෝලු කඩන්න, අහින්න, ගියාම හොදි එපා වෙනවා. ඒත් ඉතිං ලොකු ගානක් පෝර වලට, තෙල් වලට, ඇටවලට, මිනිස්සුන්ට වියදං කරලා ආයි අත අරින්නත් බැහැනේ. ඒ නිසා යන්තං අමාරුවෙන් හරි කඩාගත්තොත් කාටද කියලා ඩිංගෙන් ඩිංග එලෝලු කඩාගන්නවා. 

වැටකොළු මැස්සක් පතෝල මැස්සක් සාපේක්ෂව කරිවිල මෑකරල් බෝංචි මැස්සකට වඩා සවිමත්ව හදන්න ඕනි. සමහර වෙලාවට එක අක්කරයකින් නව වැඩිදියුනු කල දෙමුහුන් වැටකොළු පතෝල ප්‍රබේධ වාර්ථාගත අස්වනු ලබාදෙනවා. වරකට අක්කරයකින් කිලෝ හත් අටසීයක්  වැටකොලු පතෝල කඩන වෙලාවල් තිබෙනවා(සතියකට එවැනි වාර තුනක් කඩන වෙලාවල්ද ඇත ) .ඒ නිසා වැටකොලු මැහි ටිකක් හොඳට සවිමත්ව හදන්න වෙනවා. ඒ නැතත් යන්තං අඩමානෙට වැටෙන්න බලං මැහිගහල පස්සෙ විඳෝනවට වඩා හොඳට හයිය ඇතුව මැස්ස හැදුවම පස්සට ලේසියි. 
 
දඩු මැස්ස
 මේ තියෙන්නෙ දඩු මැස්සක්. ඉස්සර අපි බොහෝ වෙලාවට වගා කලේ අහස් දියෙන්. එතකොට මේ වැහි කාලෙ ඉවරවුනාම ආයි මැහි පටන් ගන්නෙ ඊගාව වැස්ස පටන් ගන්න කන්නයට. ඒ කන්න දෙක අතර සමහර විට මාස දෙක තුනක කාල අන්තරයක් තිබෙනවා. දඩු ඉදල් ආදිය මැස්සෙම තියෙන්න ඇරියාම වෙන්නෙ ඒවා වේයො ගහල දිරලා යනවා. නැත්තං හරක් ඇවිත් බිඳලා දානවා. ඒ නිසා මේ විදියට පොඩි මැහි හදලා වැඩ නැති කාලෙට දඩු ඉදල් ගොඩ ගහල තියාගන්නවා. ආයි හරි කාලෙ ඇවිත් වැඩ පටන් ගත්තම මේ දඩුවලින් කොටසක් මැස්සට පාවිච්චි කරනවා. මේ විදියට යටින් කණුවල කලූතෙල් හෙම ගාල කොච්චර හොදට දඩු තිව්වත් අවසානෙ මේ දඩු දිරනවා. වේයො අල්ලනවා. . නිකම් හිටවල තියනවාට වඩා වැඩි කලක් මේ හරහා අපිට දඩු සහ ඉදල් ආරක්ෂා කරගන්න හැකියාව ලැබෙනවා. 

මැස්ස ගැසීම.
මැස්සේ වටේ කණු
මේ තියෙන්නෙ මැස්සක වටේ තියෙන ටිකක් විශාල ශක්තිමත් දඩු පේලිය. අපි මුලින්ම ලොකු සයිස් දඩු හෝ ලී ආදිය හොයලා මැස්සෙ වටේට පේලිවලට හරියන විදියට හිටෝ ගන්නවා. හිටවගෙන ඉවරවෙල අපි කලිං සකස් කරගත්තු පාත්ති පේලි වල පාත්ති තුන හතරකට මැදින් එක දඩුවක් වෙන්න ටික්ක අර තරම් විසාල නැති ලී දඩු හිටෝනවා. මේ මැද පාත්ති පේලි ලග හිටවන දඩු පාත්තියක් ළඟම හිටෙව්වොත් ආයිත් සැරයක් ඉදලක් හිටවන්නෙ නැතුවම වැල මැස්සට දඩුව දිගේ යවත හැකි. එහෙමත් බැරි අවස්ථාත් වෙනවා සමහර වෙලාවට. ඉතිං දඩු පේලි වලට උඩින් අඩි හයක් විතර උසින් වයර් කම්බි අදිනවා. මෙ ්කම්බි එක පේලියකට තමයි අඳින්න තියෙන්නෙ. මේ කම්බිය සාමාන්‍යෙයන් වයර් කම්බි කියල කියන්නෙ. මට මතක නැහැ මේක නූල් කීයෙ කම්බියද කියලා. සාමාන්‍ය හඳුන් කූරක් විතර මහත කම්බි තමයි අපි පාවිච්චි කරන්නෙ මැස්සෙ කම්බි අදින වැඩේට. 

වටේ ලනුවලට සම්බන්ධ වෙන සහ වටේ පේලියට යොදන කම්බි බොහෝවිට වානේ කම්බි වෙන්න ඕනි. මොකද වානේ කම්බි යකඩ කම්බි වගේ ලේසියෙන් කැඩෙන්නෙ නැහැ. වානේ කම්බි ඒ නිසා ලොකු බරක් යෙදෙන ලොකු බලයක් ඇතිවෙන තැන් වලට යොදනවා. මේ කම්බි තද කරන්නෙ කම්බියෙ දිග නිවැරදිව අරගෙන කම්බියේ අග ලීයක් වටා එතීමෙන්. අපිට අර ලීය අවසාන දඩු වලට තියලා කරකවන්න පුලුවනි. ඒ විදියට කම්බි තද වෙනකල් අර තුන්වෙනි ලී කෑල්ලෙ කම්බිය ඔතන්න ඕනි. ඒම කරගත්තම කම්බි තදට ඇදගන්න පුලුවන් වෙනවා. 

මුක්කු ගැසීම.
මුක්කු පේළිය.
 මේ පින්තූරෙ ටිකක් උනන්දුවෙන් බැලුවොත් මැස්සෙ ලොකු දඩුවලට ගහපු ජැක් බලාගන්න පුලුවන් වෙයි. පොඩි උණ බම්බු හිසකට ඇමිනූ වයර් කම්බියක් මහ දඩුවේ අගට ඇමිනීමෙන් තමයි මේ මුක්කුව ගහන්නෙ. මුක්කු මුලින් අපි ටිකක් තද බුරුල අඩුවෙන් වුනත් තියනවා. පස්සෙ මැස්සෙ කම්බිටික  තද වෙනකොට මුක්කුවත් ගාන්ට සෙට් වෙනවා. මේ මැහි වටේ පොල් අතු ගහන්නෙ නම් වෙනමම හේතුවකට. සාමාන්‍යන් මැස්සෙන් පිටට යන වැල් ආදිය මේ පොල් අතු වල එතිලා හැදෙන්න හැකියාව ලැබෙනවා. ඊට අමතරව ගොවීන් අතර මතයක් තිබෙනවා හොඳ මැස්සක් වැඩිය එළියට පහළියට පේන්න තිබුනාම ඇස්වහ කටවහ වදිනවා කියලා. ඒනිසා මහ පාරවල්වලට එළිමහනට විවෘත පැති පොල් අතු වලින් ආවරණය කරන්න ගොවියා වග බලා ගන්නවා.

වැටකොලු මැස්සක්
කම්බි පේලි යන්නෙ මීටර් දෙකක් වගේ පරතරයකින්. ඒ කම්බි පේලිවලට උඩින් අපි ලනු ඇදගන්න ඕනි. ඒ ලනු කම්බි පේලියේ අවසාන කම්බියට ගැට ගහලා තද කරගන්න ඕනි. ඇත්තටම මේවා මෙහෙම කියන්න බැහැ. මේක නිකං ගොලුව දැක්ක හිනෙ වගේ ඇති. නමුත් ටිකක් උනන්දුව තියෙන කෙනෙක්ට වැඩේ වෙන විදිය ටිකක් හරි අවබෝධයක් ගන්න මේ හරහා පුළුවන් වෙනවා. මේ උඩින් අදින ලනු කම්බි ඇදපු දිශාවට ලම්භකවත් එකිනෙක ලනු සමාන්තරවත් අදිනු ලබනවා. කලිං දඩු පේලිවල කම්බි ඇදගන්නෙත් කම්බි එකිනෙක සමාන්තර වෙන විදියට තමයි. 

මේ යොදාගෙන තියෙන ලනු නම් මෝල් ලනු. මෝල් ලනු කිව්වෙ දැන් ටික කාලෙක ඉඳලා මැසින් වලිං අඹරලා මීටර් දෙතුන් සීයෙ රෝල්, රෝද විදියට එන බෝල ලනු. ඒ ලනු සාපේක්ෂව ශක්තිමත් වැඩියි. අනික ලනු පිරිද්දුම් අඩු නිසා ශක්තිය වැඩියි. අපිට මැදින් ලනු ගැටගගහා ඉන්න දේකුත් නැහැ. මේ ලනු ඇද්දට පස්සෙ පරණ ශක්තිමත් ලනු වලින් නැවත කම්බි වලට තියලා පොඩි ගැටයක් දාගෙන යන්න ඕනි. හොදට පිංතූරෙ බැලුවොත් පේනවා ඇති ලනු හැම පොටම හැම කම්බියකටම ඇටෑච් වෙනවා කියලා. 
ජලය බැසයන්නට කැපූ අගලක්
හොඳට දඩු ආදිය ගහලා ඉදල් ගහලා තියෙන මැස්සක් ඉහත රූපෙ තියෙනවා. මේ මැස්ස ගැහුවට මදි මේ පින්තූරෙ තියන විදියට එන්න නම් බිම දුවන වැල් ඉදලක් හිටෝල  හෝ නැත්තනම් තියෙන දන්ඩකට හෝ සම්බන්ද කරලා බඳින්න ඕනි. එහෙම බදින්න පට්ට විදියට කෙහෙල් පට්ට ගන්න පුළුවනි. කෙසෙල් පට්ට නැත්නම් ඉතිං ගොක් කොළ තීරු ඉරලා පොඩි පටි කෑලි ගන්න පුළුවනි. බෝග වැල් වලින් අතු වැල් ඒ කියන්නෙ එක වැලකින් රිකිලි වැල් අවශේස වැල් ඇතිවෙනවා. ඒ හැම එකක්ම පහල ඉදලා උඩට ගෙනියන්නෙ නැහැ. වැඩි වැල් අපි ඇගිල්ලෙන් කඩලා දාලා එක වැලක් විතරක් මැස්සට යනවා. මැස්සට ගියායිං පස්සෙ ඕනි තැනක ඕනි විදියකට වැල් ටික හෙවුනාට (වැල් පැතිරුනාට) කමක් නැහැ. 

ඕනිම දේකට තාක්ෂණයක් තියෙනවා. තාක්ෂණය කියන්නෙ පුරාණ සංදේශ කාව්‍ය වගේ කටපාඩම් කරන දෙයක් නොවෙයි. සාමාන්‍ය ජීවිතෙන් පොත්වලට ඇවිත් ආයෙත් ඊලග පරම්පරාවට ගිහින් ආයෙත් ඒ පරම්පරාවෙන් තව පොත් හරහා අලුත් වෙන දෙයක්. නමුත් අපි කුමක්දෝ අවාසනාවකට දැනුම ජනනය කරන්න උත්සාහ කරන්නෙ නැහැ. දැනුම හදන්න උත්සාහ කරන්නෙ නැහැ. ඒක ජානමය අවුලක් දෝ මන්දා. මේ වගේ දේවල් අස්සෙ හිතන්නෙ නැති තාක්ෂණික යෙදීම් තියෙනවා. මහ විසාලෙට ගොවීන් භෞතික විද්‍යාව ඉගෙන ගෙන නැති වුනාට ගණිතය හදාරල නැති වුනාට කිසිම පූර්ව ගණනයකින් තොරව සාර්ථකව ගොවින් මේ මැසි ඉදිකර බෝග ජාති සාර්ථකව වගා කර ගන්නවා. 

සමහර විට මේ අපි මැහි ගහන විදිය හත් පරණ විදියක් වෙන්න පුළුවනි. මීට වඩා සාර්ථක ක්‍රම අපි අතරම ඇති. නැත්නම් විදෙස් රටවල වෙනස් තාක්ෂණ ඇති. අපේ තාත්තල කොල්ලො වෙලා ඉඳලා තියෙන්නෙ නවසිය පනස් ගනන් වල, නවසිය හැට ගනන්වල. ඉතිං ඒ කාලෙ තාත්තලා ගොවීන් පුහුනු කරන වැඩමුළු වලට ගිහින් තියෙලු. ඉස්සර ඉස්කෝල වල මේසන් වැඩ වඩු වැඩ ආදිය ගොඩක් අයට ඉගනගන්න ලැබුනාලු. නමුත් ඊට පරම්පරාවකට පස්සෙ අපිට අපේ තාත්තගෙන් හැර මේවා ඉගෙනගන්න තැන් නැහැ. තිබුනත් ඒවායි තාත්තලා කාලෙ ඉගෙනගත්තට වඩා වැඩිමනක් දෙයක් උගන්වන්නෙත් නැහැ. 

දෙදාස් ගනන්වල මුලදි ලංකාවට ආව තායිලන්තෙන් දෙමුහුම්  බීජ. මේ බීජ එවකට තිබුන බීජ වලට වඩා හැම ඇතින්ම සාර්ථකයි. ඉතිං මේ බීජ වගා කරලා ගොවීන් විශාල අස්වනු වාර්ථාගත අස්වනු ලබාගත්තා. එවකට අක්කරයකින් ලබාගත්තාට වඩා තුන් ගුණයක විතර අස්වැන්නක් එකවර ගොවින්ට ලැබුනා. නමුත් කෘෂිකර්ම දෙපාර්ථමේන්තුව කියන එක මේ බීජ හරහා මේ තරම් වාර්ථාගත අස්වනු ලැබෙන බව දන්නෙත් අවුරුදු තුන හතරක් ගිහින්. ඒ වෙනකොට අපේ දෙමුහුම් කොරන තාක්ෂණවලින් හදපු බීජ  අර තායි බීජ වලට අහලකින් වත් යන තැනක තිබුනෙ නැහැ. 

සමහර සබා වල ඔය පන්ඩිතයෝ ඇවිත් හිනා වෙවි අපේ බීජ ගැන වරුණා ටෝක්ස් දෙනවා. ඒ හැම වෙලාවෙම මට ඔය සිද්දිය මතක් වෙනවා. උන් ඇවිත් අපි කනවා කියන්න කලිං ඇයි අපිට අපේ උන්ව කන්න විදියක් හොයා ගන්න බැරි වුනේ. උන් ජාන වෙනස් කරලා දෙමුහුන් කරලා ගිල්ලවන්න කලින් ඇයි අපේ වහන්සේලාට ඒවා හොයාගන්න බැරිවුනේ. අවුරුදු දහතුනක් නිකං උගන්නගෙන තව අවුරුදු හතරක්ම කිසිම ගාස්තුවකින් තොරව මිලක් වටිනකමක් දන්නෙ නැතුව දෙන්නං වාලේ දැනුම ගත්ත නිසාද? 

15 comments:

  1. මේක pdf කරලා පොෂ් නෝනලා මහත්තුරු ටිකට යවන්න ඕනේ මේල් හරහා...

    මට ෂුවර් " අනේ හරි ස්වීට් නේද " කියලා කියනවමයි.. ඉස්සර අපිත් වත්තේ වගා කරා.. පොළොන් මෑ , බෝංචි , දඹල , කරවිල , ඩුබායි වට්ටක්කා , බතල පාත්තියක් ( කටින් බතල නෙවේ ) එහෙමත් තිබුණා.. පස්සේ පස්සේ ඒවා එහෙමම නැති වෙලා ගියා..

    මට ලොකු ආසාවක් තියෙන මුකුණුවැන්න පලාකොටුවක් කරන්න අඩි 10 x 10 යේ..ඒත් වතුර ප්‍රශ්නේ තමයි තියෙන්නේ..

    කෙසේ උනත් බොහෝම හොඳයි මේ පෝස්ට් එක අමිල..

    ReplyDelete
  2. මචං නියම පොස්ට් එක , මේ උඹලගේ වත්තක ෆොටෝස් ටිකක්ද

    ReplyDelete
    Replies
    1. හරි සනීප පෝස්ට් එකක්.හැබැයි පොටො ඔක්කොම මගෙ වත්තේ ඒවා.අමිලගෙ නොවෙයි.

      Delete
  3. මේක බොහෝම වටින පෝස්ටුවක් මටනං...

    ReplyDelete
  4. වවනවා කියන එක මට නම් එච්චරම දිරවන වැඩක් නෙමෙයි.. ඒ උනත් ලස්සනට පිලිවෙලට වවලා තියෙනවා දකිනකොට නම් හරි ආසයි...
    වවන්න අකමැති උනත් පෝසට් එක නම් ආසාවෙන් කියෙව්වා....

    ජය වේවා!!

    ReplyDelete
  5. කොවුල් කපලා බුලත් වැල්වලට හිටවලා කහට පට්ටාවලින් බුලත් වැල් කොවුල්වලට බැඳලා තියෙනවා.ඒ ඇරෙන්ඩ එළවලු පාත්තිවලටනං මැස්සවල් ගහලා නෑ.අනික ඔය පාත්තියක දිග ඕනෙ තරමක් දිගට ගන්ඩ පුළුවන් උනාට පළල හැමතිස්සෙම අඩි 3කට සීමා කරන්ඩ කියලා ඉගෙනගෙන තියෙනවා.එතකොට පාත්තියෙ වැඩ කරන්ඩ ලේසියි නේ.

    ReplyDelete
  6. මේ බ්ලොග් ලිපි අතරේ දකින්න ලද වෙනස්ම අයුරක සිතට සිසිලසක් ඒ වගේම මේ වෙනුවෙන් දහදිය වගුරන මිනිසුන් ගේ ජවය ගැන ආත්මාභිමානයක් ඇතිකළ ලිපියක්

    ReplyDelete
  7. නියම ලිපියක්

    ReplyDelete
  8. ඈ බොල අමිලෝ,

    උඹත් නිර්ධන පංතිය සූරං කන ඉඩම් හිමි වැවිලිකරු-ධනපතියෙක් කියලා දන්නෙ අද!

    ReplyDelete
  9. මැහි ආතල් බ්ලොග් ලියන හැමෝටම නෑ නොවැ. මේවායේ හොඳම ආතල් එක තියෙන්නෙ මැස්ස කඩාගෙන වැටුනම. උඹලගෙ මැස්සක් කඩාගෙන වැටිල නැද්ද?

    ReplyDelete
  10. හරිම සරුසාර වගාවක් බව බැලූ බැල්මට ම පේනවා. මට මතක යි කාලෙකට කලින් පත්තරේක දාල තිබුණා තට්ටු නිවාසෙක උඩු මහලේ ප්ලාස්ටික් පෝච්චිවල කරපිංචා හිටවලා තියෙන එකක්. ලංකාවේ නෙමෙයි යුරෝපා රටක. ලංකාවේ මිනිස්සුන්ට ඉතින් ඉඩ නෑ නොවැ ඕවා කරන්න. පුංචි රටකනේ බොලව් අපි ඉන්නේ :D

    ReplyDelete
  11. මමත් වවනවා ලාවට.... හැබැයි අල්ලපු වත්තේ...:D

    ReplyDelete
  12. මමටත් තියෙනවා ලස්සන ගෙවතු වගාවක්..එහෙම දකිනොට හිත ගෙ⁣ාඩක් සැහැල්ලුවක් දැනෙනවා

    ReplyDelete
  13. මමටත් තියෙනවා ලස්සන ගෙවතු වගාවක්..එහෙම දකිනොට හිත ගෙ⁣ාඩක් සැහැල්ලුවක් දැනෙනවා

    ReplyDelete