Sunday, July 14, 2013

රා සහ අතුරුඵල (coconut toddy)

සරා සලෙළු දන සතොසේ 
සුරා පාන කරන ලෙසේ. 
මේ පද දෙක තියෙන්නෙ සංදේශ කාව්‍යක. මේ පද දෙකෙන් පෙනී යන්නේ ඒ කාලෙත් සතොසෙ(සමුපකාර තොග වෙළඳ සංස්ථාව) සුරා බොන්න පහසුකම් තිබුන බව. දැන් නම් සතොසවල් වලට වඩා ෆුඩ් සිටි ජනප්‍රියයි. ඒ නිසා ෆුඩ් සිටි වල පෝය දවසට කලින් දවසෙ හෙම පෝලිං තියෙනවා අරක්කු බියර් වලට. කොයි තරම් විවෘත වෙළඳ පොලක් තිබුනත් අරක්කු වලට තියෙන ඉල්ලුම සපුරගන්න ලංකාවෙ බාර් වලට සමහර කාලවලට බැරිවෙනවා. ඒ නිසා බාර් ගාව සමහර උත්සව කාල වලට පෙර දිග පෝලිං තියෙනවා. 

අරේ මරේ සීරියස් එකේ එක කතාවක අරේ සීයා සිල්ගන්න පාලොස්වක පෝය දවස දැනගන්නෙ කලින් දවසෙ බාර් එක ගාව තියෙන පෝලිම නිසා. ඒ වගේ වයසක අයට ඒ බාර් ගාවතියෙන පෝලිම දවස් අදුනගන්න හොද උපකාරයක් වෙනවා. 

රා නීතිය
ලංකාවෙ සුරා සම්බන්ධ නීතිය තියෙන්නෙ තාමත් සුද්දගේ කාලෙ දාපු නීතිය. රා බෝතල් දෙකකට වඩා ළඟ තියාගන්න අවසර නැහැ පර්මිට් එකක් නැති අයට. ඒත් විදේශීය මත්පැන් බෝතල් ඕනි තරමක් ළඟ තබාගන්න සාමාන්‍ය ජනයාට අවස්ථාව තිබෙනවා. මේ අනුව අපි ගහකින් මලක් කපලා බෝතල් දෙකකට වඩා වෑස්සුනොත් ඒක තමුංගේ වත්තෙ තිබුන ගහ වුනත් අපිට ඒවා බොන්න නීතිමය අවසරයක් නැහැ. නමුත් ඕන්න විදේශීය මත්පැන් නම් ඕනි තරම් කල්දේරම් ගනන් වුනත් අපිට ළඟ තබාගෙන බොන්න පුලුවන්. මෙතනදි විදේශීය මත්පැන් කියන්නෙ ආනයනය කරන මත්පැන් වෙන්න ඕනි. එහෙම නැතුව දේශීයව නිපදවන මත්පැන් වුනත් ළඟතබාගන්න පුලුවන් සීමාවක් නීති පොත්වල තිබෙනවා. 

පොල්ගස්, කිතුල් ගස්, තල්ගස් ආදි තාල වර්ගයේ ගස් වලින් වෑස්සෙන්නේ තෙලිදිය කියන දියරයක්. ගසේ නොමේරූ මල කැපීමෙන් එන දියරය තමයි තෙලිදිය කියන්නෙ. ඉන් පසුව ඒ තෙලිදිය පැහුනට පස්සෙ තමයි රා හැදෙන්නෙ. කිතුල් රා නම් දවසට ලීටර දහය පාලව ගන්න පුලුවන් ගසුත් තියෙනවාලු. පොල් රා කොපමණ ගන්න පුලුවන්ද කියාල නම් මම දන්නෙ නැහැ. නමුත් මම දැකලා තිබෙනවා දකුණු වෙරළ තීරයේ බෙන්තර ආසන්න සීමාවේ විශාල මුට්ටි ගස්වල මල්වලට සවිකරලා තිබෙනවා. ඒ අනුව කලගෙඩියක් විතර දවසට වෑහෙනවා ඇති කියලා තමයි මට හිතෙන්නෙ. 

රා ගැන කතන්දර. 
අන්ද්රේ කියලා රුසියන් ජාතික කවටයෙක් ඉදලා තියෙනවා මහනුවර රජ වාසලේ. අන්දරේ කිතුල් ගහකට රා බොන්න ගිහින් බහින කොට අහුවෙලා කිතුල අයිති කාරයට. පස්සෙ ඉතිං කිතුල් ගහට තණකොල කපන්න නැංගා කියාල අන්දරේ සේප් වුනාලු. ඕවා මොනාද ඉතිං අදකාලෙ වෙන දේවල් හැටියට. චූ කරන්න ප්ලේන් එකක  ගිය මිනිහෙකුත් ලගදි කියලා තිබුනා මං පොඩි කාලෙත් හීනෙනුත් චූ කරනවා කියලා. 

රා බිව්වම මීයා හරි පොරලු. මීයා පූසට පවා ගේම ඉල්ලනවාලු රා බිව්වම. ඒ ගැන කියවෙන අනර්ඝ සිංදුවක් තිබෙනවා සංෆ්ලවර් කන්ඩායමේ. රැවුලා ඒ සිංදුව ලස්සනට කියනවා. 

ඉස්සර මිනිස්සුන්ට ලොකු උඩුරැවුලක් තිබිලා තියෙනවා. අපේ සීයල කියන්නෙ ඒ ලොකු උඩු රැවුල පාත්කරලා රැවුල් ගස් අතරින් ලු අපේ මිතුන් මිත්තො රා බීල තියෙන්නෙ. මොකද රා වල තියෙන විවිධ මන්ඩි සහ අපද්‍රව්‍ය මේ රැවුල් ගස් අතරින් පෙරිලා එනවා. උඩ රැවුලේ එක් වැදගත් දෙයක් විදියට ඒක දකින්න පුලුවනි. වැඩේ කියන්නෙ ඔය රා මුට්ටි අස්සෙ ඉන්නව එක එක ජාතියෙ කූඹි වර්ග. රැවුල් ක්‍රමයට පෙරාගෙන රා බොන්න ගිහින් කූඹියෙක් නාහෙ අස්සෙ ගියොත් කාරිය. ගහෙන් බහින්නත් අමතක වෙයි මම හිතන්නෙ. 
කුඩා රා මුට්ටියක්

රා කියන්නෙ අවුලක් නැති බීමක්ද? 
සමහරු දකින විදියට රා ගුණදායක බීමක්. මම නම් හිතන්නෙ ඒක මෝඩ කතාවක්. රා කියන්නෙ කෙලින්ම තෙලිජ්ජ පැහිලා හැදෙන අතරමැද අවස්ථාවක්. මේ රා කියන ජාතිය තව ටිකක් පැහුනාම ඇඹුල් රස එනවා. ඒ ඇඹුල් රස දියරය විනාකාරි ලෙස පාවිච්චි කරන්න පුලුවන්. සාමාන්‍යෙයන් මත්වෙන්න ගන්න මත්පැන් වල තිබෙන ප්‍රධානම සංඝටකය වෙන්නෙ එතනෝල්. එතනෝල් කියන මධ්‍යසාරය තමයි අපිව මත් කරන්නෙ. නමුත් ස්වාභාවිකව පැහිලා නිසිලෙස නිස්සාරනය කිරිමකින් තොරව අපිට ලැබෙන රා වල නොයෙකුත් සංයෝග තිබෙන්න පුලුවනි. මේ අතර ඇල්ඩිහයිඩ, කීටෝන, මෙතනෝල් ආදී සංයෝග මිශ්‍ර වෙලා තිබෙන්න පුලුවනි. මේ නිසා රා පානය කියන්නෙ සිල්ගත් අයට සුදුසු සෞම්‍ය පානයක් නම් නෙමෙයි. ඒක මිශ්‍ර බීමක්. තමුන් බොන රා ඇත්තටම පවතින්නෙ රා තත්වයේද නැත්නම් ඒවා විනාකිරි වෙන්න කිස්ටු වෙලාද කියලා ඇස් ගෙඩි දෙකෙන් බලලා අපිට තීර්ණය කරන්න බැහැ. නමුත් තෙලිජ්ජ අවස්ථාවේ සිට රා බවට පත්වෙන අවස්ථාව අතර අවස්ථාවේ රා වල එතරම් අවුලක් නැතුව ඇති.  ඉතිං මගේ නම් අදහස නිස්සාරනය කරගත් එතනෝල් තරම් මේ මිශ්‍රන බාවිතය එතරම්ම සරීරයට හොඳ නැතුව ඇති. 

තෙලිදිය වලිං ගන්න පැනි
සීනි එන්න කලිං අපේ ලංකාවෙ අය කැවුම් කොකිස් මුං අලුවා ආදිය හදන්න ඇත්තෙ පැණි දාලා. මේ පැණි තනාගන්නෙ ප්‍රධාන වශයෙන් තෙලිජ්ජ පාවිච්චි කරලා. බාගත් තෙලිදිය හොඳින් පෙරා මැටි මුට්ටියකට දාලා මඳ ගින්නේ වැඩි වෙලාවක් තියලා අපිට පැණි ලබාගන්න පුලුවන් වෙනවා. මේ පැණි නිෂ්පාදනයේදී එකවර ගින්දර ප්‍රමාණය වැඩි වුනොත් හෙම එන්නෙ කසට රසක් තිබෙන අරිෂ්ඨ වගේ ද්‍රාවනයක්. ඒ වගේම පැණි ඔහෙ හට්ටියෙ තිබෙන්න ඇරලා හැඳිගගා තිබුනොත් බුල්ටො බවට පත්වෙනවා.

 සමහර වෙලාවට ලිප නිවන්න මතක නැති වුනොත් එවා හට්ටිය්ත එක්ක ලාටු වගේ ගල්වෙන වෙලාවල් තිබෙනවා. මේ පැණි අපිට කිරි සමග ආහාරයට ගන්න පුලුවනි. පැණි දාපු අයිස් ක්‍රිම් හෙමත් තියෙනවා. නමුත් එ ඇත්තම පැණි නෙමෙයි වෙන්න ඇති. කිතුල් පැණි, පොල් පැණි සහ උක් පැණි අතර රසයේ පැහැදිලි වෙනසක් තිබෙනවා. මෙයින් ලාබම එක උක් පැණි.. උක් පැනි ගන්නේ නම් උක් යුෂ රත් කරලා වෙන්න ඇති. පොල් පැණිත් කිතුල් පැණිත් වෙනස්. ලංකාවෙ බොහොම දේවල් වගේ මේ පැණීත් හෙන බාලෙට තමයි කොළම ඇත්තන්ට මිල දී ගන් වෙලා තියෙන්නෙ. 
ඒ රා මුට්ටියෙම වෙනත් දසුනක් 

හකුරු. 
මම නම් හකුරු හදනවා දැකලා නැහැ. පැණි මද ගින්නේ රත්කරගෙන යන විට එක් අවස්ථාවක පැණි පොල්කටු වලට වක්කරගෙන පොල්කටු නිවුන පසු හකුරු ගලවාගන්න කතාවක් තමයි මට ඇහිල තියෙන්නෙ. හකුරු නම් සුපර් කියන්නෙ කිතුල් හකුරු. ඉස්සර කාලෙ අපි තේ වතුර බොන්න හකුරු ගන්නවා. නමුත් සීනි ආවට පස්සෙ දැන් වැඩිය හකුරු ගැන අවධානයක් නැහැ. සමහර කෑම ජාති හදන්නත් හකුරු යොදාගන්නවා. උදාහරන විදියට තල, දෝසි වර්ග ආදියට සීනි වලට වඩා හකුරු යොදාගන්න එක වාසියි. මොකද එතකොට ඒ කෑම ටික කලක් තබාගන්න පුලුවනි. 

ඉස්සර කාලෙ තේ වතුර ලංකාවට එන්න කලිං ලංකාවෙ ඇත්තො බොන්න ඇත්තෙ බෙලිමල්, රණවරා, පොල්පලා, එරමුසු වගේ ශාක තැම්බූ වතුර. ඒ වගේ තැම්බූ වතුරක් බොනකොට නම් හකුරු කෑල්ලක් තිබුනොත් පංකාදු පහයි. දැනටත් ඔය පෝය කාලෙට තියෙන දංසල් ආදියෙ ඔසුපැන් බොනකොට හකුරු කෑලි දෙනවා. තේ වතුර වල තියෙන උත්තේජන කාරක වගේ නෙමෙයි ඒ ඔසුපැන් ජාතිවල විවිධ ගුන ජාති තියෙන්න ඇති. නමුත් ඒවා කර්මාන්ත විදියට දියුනු වුනේ නැහැ. කොටින්ම ඒවා මාකට් කරලා සුපර් මාකට් එකෙන් එරමුසු පොල්පලා රණවරා බෙලිමල් නැවුම්ව විකුනන්න ක්‍රමයක් ආවෙ නැහැ. ඒ නිසා ඒවා කාලයට යට වෙලා ගියා. නමුත් මහා අමාරු දෙයක් නම් නෙමෙයි ඉතිං ඔය පොල්පලා ගහක් ඉරමුසු ගහක් වේලලා තම්බලා බොන එක. 

කර්මාන්තයක් ලෙස කිතුල් සහ පොල් රා ආශ්‍රිත දියුනුව 
කිතුල් මලක් හදාගන්නවා කියන්නෙ ඉස්සර ලොකු ගේමක්. නමුත් ඒ සඳහා ප්‍රතිකාරක සහිත හොඳ කිතුල් මල් තනාගන්න ක්‍රමයක් අපේ කන්ඩායමක් සොයාගෙන තිබුනා.  විශාල මහා පරිමාණ ලෙස මේ තෙලිදිය වලින් අරක්කු හදන්න, තෙලිදිය වලින් සීනි හෝ පැණි නිස්පාදනය කරලා ලොකු ලාබයක් ගන්න නම් තවත් පරීක්ෂණ ආදිය කරන්න ඕනි. මම අහලා තියෙනවා සමහර කිතුල් ගස් තිබෙනවාලු දවසට තුන් හතර වතාවක් තෙලිදිය බාන්න වෙන. මොකද කියනවා නම් ඒ ගස්වල තෙලිජ්ජ හැදෙන වේගය වැඩියි.

 සරු බව වැඩියි. පොල් වුනත් හෙමයි. ලොකු ගෙඩි සහ ගෙඩි ගොඩාරියක් හැදෙන ගස් තිබුන පලියට ඒවා තෙලිජ්්ජ ලැබීම අතින් සාර්ථක නොවෙන්න පුලුවනි. කර්මාන්ත විදියට අපි මේවා දිහා බලනකොට මේ වගේ හොඳ සරු තෙලිජ්ජ අස්වැන්න ලැබන ශාක මුහුම්කරනය මගින් හෝ ජානමය වශයේන වැඩිදියුනු කර හො හොඳ වර්ගයේ ගැලපෙන ගස් හදාගන්න ඕනි. එතකොට අපිට ගොඩක් තෙලිජ්ජ ලබාගන්න පුලුවන්, තල් පොල්, කිතුල් ගස් හදාගන් පුලුවන්වෙයි. කිතුල් කර්මාන්තය ගත්තෝතින් තාමත් ඒක තියෙන්නෙ වනගතව. මේ වනගතව තිබෙන කිතුල් කර්මාන්තය තවත් කිතුල් වගාකරන්න හැකිද කියලා හොයලා බලන මට්ටමට ගේන්න පුලුවන් නම් හොඳයි. 

අපි රටේ ආනයන කරන බඩු බැලුවොත් විසාල සල්ලියක් වියදම් කරනවා අරක්කු සහ එතනෝල් ආශ්‍රිත දේව්ල් ආනයනය කරන්න. අපිට එතනෝල් ස්ප්‍රිතු මේ තල්, පොල් කිතුල් ගස් හරහා ලබාගන්න පුලුවන් නම් අපේ රටෙන් විදෙස් රටවලට ඇදි යන ලොකු ධනස්කන්ධයක් රට තුලම ඉතිරි වෙනවා. හැමවෙලේම රට දියුනු කරන්න විශාල ව්‍යාපෘති විතරක් මදි. මේ වගේ නිර්මාණාත්මක දේවල් වලට ඉඩ හසර දෙන්නත් ඕනි. තිතට මත කියලා හැමදාම ලොකු මත්පැන් ප්‍රමාණයක් රටින් ගේන්න ඇරලා ඒවට ගහන බද්දෙන් ආන්ඩුවක් දුවනවා කියන්නෙ තනි විහිලුවක්. 

අඩුතරමෙ තබාගන්න පුලුවන් රා බෝතල ටික හරි වැඩිකරලා නීතියක් හදලා දෙනවානම් ගමේ මදින්නාට කැලේ මුලු ගානෙ හැංගෙන්නෙ නැතුව නම්බුකාර විදියට රා ටිකක් යාලුවොන්ට විකුනගන්න අවස්ථාව ලැබෙනවා. හැබැයි ඉතිං එතකොට මහ  පරිමාණ ව්‍යාපාරික නඩවලට මේ මත් වතුරු බිස්නස් වලිං යන ආදායම් කැපී යන ලයින් එකක් පෙන්නුම් කරන නිසා කවදාවත් ඔය නීති නම් වෙනස් වෙන එකක් නැහැ.

10 comments:

  1. තියාගන්න පුළුවන් රා බෝතල් ගාන වැඩි කරලා වැඩක් නෑ බං. ඒවා විනාකිරි වෙනවනේ. දැන් රා බෝතල් කරලා කල් තබාගන්න පුළුවන් විදියට තියෙනවා වයින් ස්ටෝස් වල. මං දැක්කා අම්බලන්ගොඩ වයින් ස්ටෝස් එකකදී. බියර් වගේම දුඹුරු පාට බෝතලයක් තියෙන්නේ.

    රා බොනවනම් උදේ පාන්දරම බොන්න ඕනේ...

    ReplyDelete
    Replies
    1. බෝතල් රා කියන්නේ මල ජරාවක්.සෑහෙන්න ලුණු කලවම් කරලයි තියෙන්නේ.ඒවා නියම රා නෙවේ. වතුර, සීනි,සහ යීස්ට් එකතුවක්.ලුණු රසත් තියෙනවා.කොහොම උනත් ලාබෙට ගන්න පුළුවන් මත්පැනක් නිසා අලෙවිය වැඩියි.බෝතලය රුපියල් 86 පමණ ඇති.

      Delete
  2. හොඳ ලිපියක් අමිල...

    ReplyDelete
  3. අමිල ස්පෑම් එක බලහන් ..

    ReplyDelete
  4. ෂා සෑහෙන්න තොරතුරු හොයල තියෙන්නෙ.නියමයිඈ

    ReplyDelete
  5. //සරා සලෙළු දන සතොසේ
    සුරා පාන කරන ලෙසේ.
    මේ පද දෙක තියෙන්නෙ සංදේශ කාව්‍යක.// ගුත්තිලේයි තියෙන්නේ..

    //පාලොස්වක පෝය දවස දැනගන්නෙ කලින් දවසෙ බාර් එක ගාව තියෙන පෝලිම නිසා.// ඇයි හෙට පෝය දින වසා ඇත කියලා බෝඩ් එකකුත් ගහන්නෙ..

    තල්, පොල් නම් බීලා තියෙනවා ඒත් තාම කිතුල් බීලා නෑ.. රා නම් බොන්න කැමතියි.. ඒත් හොඳ ඒවා හොයාගන්න අමාරුයිනෙ.. සමහර තැන්වල පීප්පෙ හිඳෙද්දි ඒකට වතුර හා යීස්ට් දානවාලු.. කැකුළු හාල් හෝදපු වතුරත් දානවා කියන්නෙ.. යන්න ඕනෙ රා ටිකක් බොන්න.. :)

    ReplyDelete
    Replies
    1. මම කියන්න ගිය දේ හරී කියල,
      සරා සලෙළු දන සතොසේ
      සුරා පාන කරන ලෙසේ
      පුරා අවුලු නොයෙක රසේ
      සරා අවන්හල් සහසේ
      මේ මේ උදේනි පුර සැනකෙලි වර්නනාවේ කොටසක්, තියෙන්නේ වෑත්තෑවේ හිමි ලියපු ගුත්තිල කාව්‍යය යේ.

      Delete
  6. හකුරු නම් මන්දා,සුදු හකුරු නම් හදන්නේමෙහෙමයි.

    ReplyDelete
  7. මොකෙං හැදුවත් ඇල්කොහොල් නම් අජූවයි ඈ..

    ReplyDelete
  8. මං කුඩා කාලෙ නම් අපේ ගම් ප්‍රදේශයේ රා නිෂ්පාදනය කල වග මට මතකයි.. දැන් නම් කිතුල් ගසුත් අඩුයි. උත්සව වෙනුවෙන් කැවිලි හදද්දි අදත් සමහරු කොහෙන් හරි පැණි ටිකක් හොයාගෙන ඇවිත් දානව. ඇත්තටම, එහෙම පැණි දාල හදන් කෑම, සීනි දාල හදන ඒවට වඩා රසයි.. හකුරු හදන්නෙ ඔබ කිව්ව ක්‍රමයට තමයි. එක වතාවක් දැකල තියනව. ඒ එක කොටසකට කියන්නෙ "හකුරු ඇස්ස" කියල.. හොඳම හකුරු නම් අතින් කඩන්න පුලුවන් මගෙ මතකයේ හැටියට..

    ReplyDelete