Thursday, August 29, 2013

මං බැලුව දකුණ වරාය (colombo south harbor)

මමත් සල්ලි සල්ලි කියලා බලන්නෙ නැතුව පොඩි ට්‍රිප් එකක් ගියා පහුගිය දවස්වල කොළඹ අලුත් වරාය බලන්න. ආනේ අපේ ආන්ඩු විරෝධී අයට නම් ටිකක් රිදිල තිබුනා ඒ අලුත් වරාය කෑල්ල බලන්න මිනිස්සු ගිය එකට. ආහ් මෙන්න වැඩක්. අපි ගියෙ වරාය බලන්න අපි ගියෙ ආන්ඩුවට චන්දෙ දෙන්න නෙමෙයි නෙව. වරාය කියන එක මටනම් අමුතු ලෝකයක්. ලෝකයේ බොහොමයක් රටවල වරායවල් කියන්නෙ ඕපන් ස්පේස් එකක්. ඉතාලියෙ ඉන්න මගේ යාලුවෙක් පිංතූරයක් එවලා තිබුනා එයා වැඩට යන පාරෙ කොටසකට වරායක් හමු වෙනවා. නැව් නවත්වල තියෙනවා ලස්සනේට. ඒත් අපිට පහුගිය කාලෙ තිබුන ත්‍රස්ථවාදී කලබල ජාති නිසා වරායක් කියන්නෙ මැජික් එකක් වාගේ එකක් වුනා. ඉස්කෝලෙන් බස් එකක් පුරෝල ගෙනත් වරායට ගියොත් මිසක සාමාන්‍ය මිනිහෙක්ට වරායක් බලන්න අවස්ථාවක් ලැබුනෙ නැහැ. 

අපි හැමෝම ආසයි ලාබෙට ටිකක් නිදහස් තැනක සවාරි ගහන්න. ඒ වාගේ අලුත් තැනක් ලැබුනා මිනිස්සුන්ට කොළඹ දකුනු වරාය. මිනිස්සු ඒක බලන්න යෑම එතන ඉඳන් වරාය ගැන හොඳ කියන එක දිහා තුට්ටු දෙකේ දේශපාලන වෛරයකින් යුතුව බැලීම නරක වැඩක්. දුප්පත් මිනිහෙක්ට අද කාලෙ ලොකු සල්ලියක් වියදං කරලා දුර පලාතක සවාරියක් යන එක අමාරුයි. ඒ නිසා ඒ අය ලේසියෙන්ම දරු මල්ලෝ අම්මල තාත්තල නෑයො යාලුවො එක්ක වරාය බලන්න ඇවිත් තිබුනා. පොඩි ඈයොන්ගෙ ඉඳලා ලොකු අය දක්වා බොහොම උනන්දුවෙන් වරාය නැරඹුවා කියලා මට හිතුනා. 
 මේ තියෙන්නෙ පරණ වරායෙ පොඩි කොටසක්. මේ පසුබිමත් එක්ක බැලුවාම නිකං අර ටිකක් පරණ වීඩියෝ ගේම් එකක තියෙන පසුබිම වාගෙ පේන්නෙ. නවත්වල තියෙන බෝට්ටුව වගේ නැව කේබල් නැවක්. ඒ කියන්නෙ ලංකාව ඇතුලු මුහුදු කේබලවලින් සම්බන්ධවෙලා අන්තර්ජාලය සහ ජාලකටයුතු ක්‍රියාත්මක වෙන මුහුදු කේබ්ල කැඩුනම හෝ රෙපයාර් කරන්න ඕනි වුනාම මේ කේබල් නැව් කෑල්ල ඒ තැන්වලට ගිහිල්ලා වැඩේ කරල දානවා.
මේ තියෙන්නෙ කාල තුවක්කු. අපේ තුවක්කු ලෝකෙට කාල තුවක්කු කියල පෘතුගිසි කාරයා ගැන සිංදුවක් තියෙනවා. මේ කියන කොළඹ කොටුවට තමයි 1505 දි පෘෘතුගීසි කාරයා සැපත් වෙන්නෙ. නම මතක විදියට ලොරන්සු ද අල්මේදා. එයා ගොඩබැහැලා පාන් කකා වයින් බොනකොට මේ අව් අස්සෙ ඒ කාලෙ තිබුන පඳුරු අස්සෙ හැංගිලා අපේ වීර සිංහලයො බලාගෙන ඉන්න ඇති. ඒ බලලා අහක් වෙලා රජතුමාට ගිහින් කේලම කිව්වා ආන්න පාං කකා වයින් බොන පොරවල් ටිකක් කොළොම් තොටට සෙත්ත පෝච්චි වෙලා කියලා. මේ කාලෙ රජවරු කිහිපයක් ලංකාවෙ ඉන්න ඇති. මේ අය ගිහින් කේලම කිව්වෙ නුවර තියෙන රජවාසලට නෙමෙයි. කෝට්ටෙ තියෙන එකට වෙන්න ඕනි. ඉන් පස්සෙ තමයි පරංගියා කෝට්ටෙ යන්න ඇත්තෙ. 
ඉංග්‍රීසි කාලෙ කොළඹ කොටුවෙ තිබුන ලයිට් හවුස් එක තමයි මේක. ඒ කාලෙදි කොළඹ කොටුවෙ මායිමක් විදියට මෙතන තියෙන්න ඇති. නමුත් දැන් නම් මෙතන ඉඳලා මුහුදට ටිකක් දුරයි. ඉන් පස්සෙන් පහු කාලෙක ඩී ඇස් සේනානායක මහත්මයා රට කරපු නවසිය පනස් ගනන් වලදි තවත් ලයිට් හවුසියක් ඉදිවෙනවා කොළඹ කොටුවෙ. 
මේ තියෙන්නෙ ඒ ඩී ඇස් සේනානායක මහත්මයා අගමැති වෙච්චි කාලෙක වැඩ ඇමති තුමා වුන සර් ජෝන් කොතලාවල මහත්මයා ගේ මැදිහත්වීමෙන් හැදුන ප්‍රදීපාගාරය. මේ ප්‍රදීපාගාරය අසලටම මූද තිබිල තියෙනවා කොළඹ වරාය ලොකු කරන්න කලින්. දැන් නම් මේකත් වැඩ නැහැ වගේ තමයි පෙනුනෙ. අලුත් වරාය පුලුල් කරනකොට ලංකා සිතියමේ භූමි පෙදෙසෙට  තවත් වර්ග කිලෝමීටර කිහිපයක් එකතු වෙන්න ඇති. ඒ නිසා ඒ එකතුවුන නව භූමියේ කෙළවර නව ලයිට් හවුසියක් තියෙනවා කියලා තමයි මම පිංතූර වලින් දැක්කෙ. මම අලුත් වරාය ඇතුලට ගියේ නැහැ. ඒ නිසා පිංතූර නැහැ අලුත් ප්‍රදීපාගාරෙ.  අනුන්ගේ පිංතූර වලට කස්ටිය වෙබ් අවකාසෙ මරාගන්න නිසා මම දැන් දැන් ලංකාවෙ අය ගන්න පිංතූර බ්ලොග් එකේ දාන්නෙ අඩුවෙන්. 
මේ තියෙන්නෙ වරායෙ සෑය. ඒ ඇන් ඇස් කුලසිංහ කියන ලංකාවෙ හිටපු මහා මැවිසුරානෝ තමයි මේ සෑය කරවලා තියෙන්නෙ. එතුමානෝ ගේ යුගයේදී ලංකාවට එංගලන්තෙ සහ වෙනත් රටවලින් මගීන් ආවෙ නැවෙන්. ඒ විදියට නැවෙන් ආවම මේක බෞද්ධ රටය, මේකෙ බුද්ධාගම තියෙනවාය කියලා පෙන්වන්න ඕනිය කියලා ඒ කාලෙ අයට හිතිල තියෙනවා. ඒ නිසා වරායේ මුව විට මේ සෑ රජානෝ ස්ථාපනය කරලා තියෙනවා. අමතර වේදිකාවක් එක්ක මේ සෑය තියෙන්නෙ ඈතට දර්ශනය වෙන්න පහසුව පිණිස වෙන්න ඇති. නවසිය පනස් හැට ගනන්වලදි ලියවුන යුගාන්තය, කලියුගය වගේ මාර්ටින් වික්‍රමසිංහ ගේ නවකතා වල නැවෙන් එන පිරිස බලාගෙන ජැටියේ බලාසිටින ජවනිකා පෙන්නුම් කරලා තියෙනවා. 
මේ මෑත යුගය දක්වා මුහුදු රැල්ල ගෑවෙන නොගෑවෙන මානයක තිබුන මේ වරායේ සෑ රජානෝ දැන් නම් අලුත් වරාය නිසා මූදෙන් ටිකක් ඈත් වෙලා. 
අපේ නව කොළඹ නගර සැලසුම අනුව තාප්ප ආදිය ඉවත් කරලා ලස්සන කරනවා. තාප්ප වලිං වටකරන් ඉන්නවාට වඩා නිදහස් ගතියක් තාප්ප නැතුව බිල්ඩින් විතරක් තියෙනකොට මැවෙනවා. මේ තියෙන්නෙ සිංගප්පූරු පාරක් නෙමෙයි. කොළඹ කොටුවේ පාරක්. 
 මේ තියෙන්නෙ පරණ පාර්ලිමේන්තුව. දැන් මේකෙ තියෙන්නෙ ජනාධිපති ලේඛම් කාර්යාලය. මේක ඉස්සර හැඳින්නුවෙ රාජ්‍ය මන්ත්‍රන සභාව කියලා. දැන් තියෙන ලොකු පාර්ලිමේන්තුව හදන්න කලියෙන් කස්ටිය වාද විවාද ආදිය කරලා තියෙන්නෙ මෙතන. ඒ වාද විවාද ආදියෙ තීන්දු තීරණ ආදිය අවුල් ගියාම ජනතාව මේක ඉස්සරහා ගෝල් පේස් එකේදි විරෝධතා පල කලා කියලා පරණ පුවත්පත් වල සඳහන් වෙලා තියෙනවා. උද්ඝෝෂන කරන්න ලිප්ටන් වටරවුමට වඩා ගෝල් පේස් එක හොඳයි. හොඳට හුලං වදිනවත් එක්ක නේ. 
 කොළඹ වරාය බලන්න යන සෙනග දිහා බලාගෙන ඉන්න පුංචි යාලුවො දෙන්නෙක්. මේ යාලුවො හරිම දගයි. නමුත් මේ සුදු අම්මලා තාත්තිලා ලමයි දග කරනකොට ඒ එක්කම පස්සෙන් දුවන්නෙ නැහැ. උනුත් නගින්නෙ නැති තැනක් නැහැ. හැම තැනම රිංගනවා නගිනවා හැබැයි මේ සුදු බබාල හරිම බැලන්ස්. එයාල පඩිපෙලක් බැස්සත් බොහොම ස්ථාවරව ඒ වැඩේට සෙට් වෙනවා. අපේ පොඩි එකෙක් මේ වගේ තැනකට ආවම වැඩිපුරම අහන වචනෙ එපා. යන්න එපා, දුවන්න එපා, පනින් එපා, කෑ ගහන් එපා. අදි වශයෙන් එපා ගොඩායි. නමුත් පොඩ්ඩක් ඔරිජිනල් සුද්දෙක් පොඩි ළමයි හසුරුවන විදිය බලන්න. ළමයාටම ගොඩක් දේවල් අවබෝධ කරගන්න ඉඩකඩ ඔවුන් හදලා තියෙනවා. 
 මේ චූටි පුතා නම් දන්නෙ නැතිව ඇති මේ එයාලටත් ණය ගෙවන්න වෙන එයාලගේ කාලෙදිත් චීනෙට අයිතිය තියෙන ව්‍යාපෘතියක් කියලා. ඒත් පොඩි එකා වරාය බලන්න ඇවිත්. මාත් පොඩි කාලෙ කතරගම ගම්උදාව බලන්න ගිහින් තියෙනවා ජෝති පාල මැරෙනකොට සිංදුත් අහල තියෙනව මේ විදියට ගිහින්. 

 ලංකාවෙ උසම බිල්ඩිම තමයි මේ. ලෝක වෙළඳ මධ්‍යස්ථානය කියන්නෙ මේකට. මේකට කලිං උසම බිල්ඩිම වුනේ ලංකා බැංකුව. ඒකත් තියෙන්නෙ මේ ළඟමයි. මේ බිල්ඩින් දෙක ලස්සනයි. නමුත් ඇතුලෙ ටොයිලට් වල වතුර නැති එක විසාල ගැටලුවක් කියලා තමයි ගොඩක් යාලුවො කියන්නෙ. කන්නෙ බොන්නෙ බටහිර විදියට වුනාට අපි රෙන්නෙ සිංහල විදියට කියලා මේ බිල්ඩිම ප්ලෑන් කරපු අයට මීටර් වෙන්නෙ නැතුව ඇති. 
 
කාක්කො දෙන්නෙක්, පොරක් ,වේටර් වරයෙක් සහ හෝටලයක එලිමහන් තැනක්. ලස්සනයි නේ. 
මේ ඉන්නෙ ස්වීප් විකුනන අංකල් කෙනෙක්. ටිකක් වයසක මනුස්සයෙක්. එදා කස්ටිය මේ හරියෙට එක්රැස් වෙන නිසා එයා එතන්ට එන්න ඇති. තව අන්නාසි මාමෙකුත් හිටියා මේ අහල පහලම. මේ හරියෙන්ම පාරේ එහා පැත්තෙ හෝටලයක් සූම් කරලා තමයි අර ඉහල පිංතූරෙ හෝටලේ ඉඳන් පොතක් කියවන පොරගේ පිංතූරය ගත්තෙ. මෙතන ඉඳන් ටිකට් ගන්න දුප්පත් මිනිස්සු ප්‍රාර්ථනා කරනවා ඇත්තෙ අර හෝටලේ එලියට වෙලා හුලං වැදි වැදි නිස්කලංකෙ පොත් බල බල ඉන්න මනුස්සයාගේ ජීවිතය වෙන්න ඇති. 
මේ තියෙන්නෙ කාගිල්ස් බිල්ඩිම. මේ ජාතියෙම කාගිල්ස් බිල්ඩිමක් නුවරත් තියෙනවා. මම නුවර ගිය වෙලාවක ඒකෙ පඩියෙ තියෙන පිංතූරෙකුත් ගත්තා. බොහොම බර කාලෙකට ඉස්සරවෙල හදපු බලගතු බිල්ඩිමක්. මේ බිල්ඩින් එකේ රතුපාට ගාල තියෙන්නෙ ඇයි දන්නෙ නැහැ. කොහොම වුනත් කොටුවෙ තියෙන මේ බිල්ඩිම ඡායාරූප ගන්න පුළුවන් වෙල තියෙන්නෙ මේ ළඟදි. යුද්ද කාලෙ මේ හරියෙ කැමර් එකක් හරවන්නවත් දෙන්න නැතුව ඇති. 
මේ තියෙන්නෙ නුවර කාගිල්ස් එකේ දොර ගාව තියෙන සලකුණ. මේ වගේම එකක් කොටුවෙ එකෙත් ඇති. බලන්න ඕනි ඊලග දවසෙ ගියාම.

18 comments:

  1. සංතෝෂයි! සංතෝෂයි!! අළුත් වරාය බලන්න ගිය ලක්ෂ 50න් ඒක්කෙනෙක්.
    //මේ චූටි පුතා නම් දන්නෙ නැතිව ඇති මේ එයාලටත් ණය ගෙවන්න වෙන එයාලගේ කාලෙදිත් චීනෙට අයිතිය තියෙන ව්‍යාපෘතියක් කියලා.//

    සහතික අැත්ත.

    ReplyDelete
    Replies
    1. සමහර විට වංශකතා වෙනස් කරලා දුටුගැමුනු වසභ ආදි රජවරුන් වැව් දාගැබ් හැදුවෙත් චීනෙන් පිටරටින් ආදාර අරගෙන කියාල කියයිද දන්නෙත් නැහැ ජැකසන් මැති තුමා..

      Delete
  2. කොලොම් පුරේ මම මනාපම බිල්ඩිම තමා බං කාගිලීස් බිල්ඩිම..

    ReplyDelete
    Replies
    1. සමිතා කියනවා නේ කොලම්පුරේ නුබ ඉන්නා ඉසව්වේ කිරිල්ලියෝ ඉගිලෙනවලු නිදැල්ලේ කියලා..
      සමහර විට සමිතා පැස්බරියක් වගේ තඩි වුනාම පියාඹන්න බැරි නිසා අතුල කොලොම්පුරෙන් පියාඹන්න ආස හිතෙන කිරිල්ලියක් සෙට් කරගන්න ඇති.

      Delete
  3. සුදු අම්මලා තාත්තිලා ලමයි දග කරනකොට ඒ එක්කම පස්සෙන් දුවන්නෙ නැහැ. උනුත් නගින්නෙ නැති තැනක් නැහැ. හැම තැනම රිංගනවා නගිනවා හැබැයි මේ සුදු බබාල හරිම බැලන්ස්. එයාල පඩිපෙලක් බැස්සත් බොහොම ස්ථාවරව ඒ වැඩේට සෙට් වෙනවා. අපේ පොඩි එකෙක් මේ වගේ තැනකට ආවම වැඩිපුරම අහන වචනෙ එපා. යන්න එපා, දුවන්න එපා, පනින් එපා, කෑ ගහන් එපා. අදි වශයෙන් එපා ගොඩායි. නමුත් පොඩ්ඩක් ඔරිජිනල් සුද්දෙක් පොඩි ළමයි හසුරුවන විදිය බලන්න. ළමයාටම ගොඩක් දේවල් අවබෝධ කරගන්න ඉඩකඩ ඔවුන් හදලා තියෙනවා. -පට්ට ඇත්ත....නමුත් අපි සුද්දන්ගෙන් ඉගෙන ගන්න අකමැතියීනේ...අපිනෙ ලෝකෙන් ම උතුම්ම ජාතිය..අන් හැම රටවල්ම අපට යටයිනෙ

    ReplyDelete
    Replies
    1. මම්.. අපිව ප්‍රෝග්‍රැම් කරන්න යන්නෙ සුද්දගෙම අතීතෙට. සුද්දො සභ්‍යත්වය ගැන අපි කතාකරන විදියට කතා කලේ නවසිය හතලිස් ගනන් වල..
      අපි අද අපේ සදාචාරය කියන්නෙ සුද්දො නවසිය හතලිස් ගනන්වල එංගලන්තෙ අමරිකාවෙ ජීවත්වෙච්ච රාමුගත විදියට.
      සමහර විට ඒ කාලෙ එංගලන්තෙ රේඩියෝ වල දොරමඩලාව වගේ කයි ගහන ඉවන්ට් පවා තියෙන්න ඇති.

      Delete
  4. මට මාර දුකයි අපේ ඔෆිස් එක බත්තරමුල්ලට ගෙනියපු එක. මම හවසට මේ පැත්තේ රවුමක් ගහනවා බොහෝ දිනවල.

    ReplyDelete
    Replies
    1. මමනම් රවුමක් ගහන්න යන්නෙ කළාතුරකින්.. වරාය ඇතුලට ගිහිනුත් නැහැ. යන්න ඕනි වෙලාවක..

      Delete
  5. පරංගියා ආවම මිනිස්සු රජවාසලට කිව්වේ ‘හිරිගල් කා ලේ බොන‘ කට්ටියක් ඇවිත් කියලලු.

    ReplyDelete
    Replies
    1. මේ කාලෙ කොළඹ හිටපු අය සුද්දො දැකල තියෙන්න නැතුව ඇති. ජුලියස් සීසර් ඔගස්ටස් සීසර් කාලෙ ලංකාව එක්ක රෝම රට ග්‍රීසිය වගේ ඒවා සම්බන්ධකම් තිබුනා කියලා සාධක හමුවෙලා තියෙනවා. (රෝමකාසි, බඳුන් වංශකතා තොරතුරු ආදිය)

      Delete
  6. මචන් සිරා විස්තරේ. පොඩි පුස්නයක් තියෙනවා අහන්න, පරංගි කොළොම්තොට එනකොට කොටුවක් තිබුනද..?

    ReplyDelete
    Replies
    1. දැනටත් ඔතන කොටුවක් තියා කොටු බැම්මක් වත් නැහැ. ආදිපාද වීදියෙ කෙලවරක එක කොටු ද්වාරයක් විතරක් ඉතිරිවෙලා තියෙනවා.
      ලිපියෙ කොළඹ කොටුව කියලා අදහස් කලේ ලොකේෂන් එක. පෘතුගීසි කොටුව පස්සෙ කාලෙක ලොකුවෙලා පලල් වෙලා තමයි ඉංගිරිසි කොටුව හැදුනෙ.
      ඔය කාලෙම වාගේ අපේ අයත් කොටු හදලා තියෙනවා. කෝට්ටේ පැත්තෙ ටිකක් රවුමක් දැම්මොත් ඒ අපේ අය හදපු කොටු බැම්මෙ ඉතිරි කොටස් බලන්න පුලුවනි.

      Delete
  7. අර DS හදපු lighthouse එක තාම වැඩ කරනවා බං! රෑට පත්තු කරනවා!

    ReplyDelete
    Replies
    1. එහෙමද.? මම දැනං හිටියෙ නැහැ ඒක.

      Delete
  8. ලස්සන විස්තරයක්.කොටුවේ ඇවිදපු පරණ මතකයන් ආයෙත් මතක් උනා.
    චීනෙන් නය අරගෙන වරාය හදපු එකේ නරකක් නම් මට පෙනෙන්නෙ නැහැ.අපි 1950 දශකයේ නයට කාපු පිටිවලට අපි තවමත් ඇමරිකාවට නය ගෙවනවානේ.

    ReplyDelete
    Replies
    1. බිස්නස් කියන්නෙ බිස්නස්. මෙතන තියෙන්නෙ නම් බිස්නස් කියලා මම හිතන්නෙ නැහැ. අමරිකාවත් චීනෙ ලව්ව කෑලි බෑලි බිල්ඩින් හදාගන්නව ඇති. නමුත් මෙතන කන්සෙප්ට් එකම වෙනස්.
      අලුත් වරාය ෆන්ක්ෂන් වෙනකොට පරණ වරායෙ චන්ද්‍රිකා බදු දීපු කොටසට වැඩ නැති වෙනවා කියල තමයි කතාව යන්නෙ. අලුත් කොටස හදනකොට පරණ කෑලි වහන්න වෙනවා නම්. අයියෝ සල්ලි හැර වෙන කුමක්ද කියන්න තියෙන්නෙ?
      පොඩ්ඩක් එස් ඒ ජී ටී(SAGT- South Asia Gateway Terminal) ඉන්න පොරක්ගෙන් අහල බලන්න ඒකෙ තත්වෙ..

      Delete
  9. නියම විස්තරයක් අමිල..

    ReplyDelete