Wednesday, October 9, 2013

ගතානුගතිකත්වය

පිංතූරය ලිපියට කිසිසේත්ම අදාල නැත.
අග්‍ර ශ්‍රාවක ධාතුන්වහන්සේ පිදීමට ලක්දිව හැම පෙදෙසකින් විශාල ජනකායක් කොළඹට පැමිණියෝය. මිනිසුන් ගව මස් කෑමෙන් වලක්වනු සඳහා පටන් ගන්නා ලද අහිංසා පෙරහැර පැවැත්වීම අනතුරුව ලක්දිව නගරයක් ගමක් පාසා ලැව්ගින්නක් සේ පැතිර ගියේය. බෞද්ධයින් පමණක් නොව අනික් ආගම් අදහන පොදු ජනයාද ගව මස් අනුභවයට විරුද්ධව පැතිරුණු උද්ඝෝෂණයට එක් වූහ. නගරසභාවලත් පළාත් පාලන මණ්ඩලවලත් සේවකයන්ගේ වැඩ නැවැත්වීම නගරයක් නගරයක් පාසා පැතිර ගියේ මීට අනතුරුවය. වැඩ නැවැත්වූ පළාත් පාලන මණ්ඩලවල සේවකයන් වැඩට යත්ම කොළඹ නගරයේ අනික් කර්මාන්ත ශාලාවල සේවකයන්ගේ වැඩ නැවැත්වීම් ද ලැව් ගින්නක් සේ පැතිරෙන්නට වී ය.

“ගව පෙරහැර පැවැත්වීම රට පුරා වඩාත් පැතිරුණේ අග්‍ර ශ්‍රාවක ධාතුන් වහන්සේ නිසා හටගත් ප්‍රබෝධයෙහි ප්‍රථිපලයක් වශයෙනි“ යි කියනු ලැබේ. “පළාත් පාලන මණ්ඩලවල සේවකයින්ගේ වැඩ නැවැත්වීම් ලැව් ගින්නක් සේ පැතිර ගියේ ගව පෙරහැර පැවැත්වීමෙන් ඇතිකරන ලද ප්‍රබෝධයෙහි ප්‍රථිපලයක් වශයෙනි“යි කිසිවෙකු කියනු මට ඇසන්නට නොලැබිණ.

ධාතුන් වහන්සේ පිදීම උතුම් පින් කමකි. ගව මස් කෑමෙන් වැලකීමද උතුම් වතකි. කම්කරුවන් වැඩ නැවැත්වීම උතුම් ක්‍රියාවක් ලෙස දකින්නේ දැන් තිබෙන ආර්ථික ක්‍රමය උඩු යටිකුරු කොට පෙරළෙනු දකින ආශාවෙන් ක්‍රියාකරන දේශපාලනඥයන්ද කම්කරුවන් ද පමණි. මේ පිබිදීම වනාහී අදහස් ද පරමාර්ථ ද විසින් අහසට පොළොව මෙන් දුරු වුවද එක් අංගයකින් සමාන වන බව නොකිව යුතුද? ඒ අංගය හැඳින්විය හැක්කේ ගතානුගතිකත්වය යන වචනයෙනි. ගතානුගතිකත්වය නිසා පැතිරෙන සියලු පිබිදීම් එකක් වන්නේ “ඝන සංඥාව“ නොහොත් රැලට එක්වීමේ ආශාව විසින් පමණි. මා මෙයින් අදහස් කරන්නේ ගවමස් කෑමෙන් වැළකීම ගතානුගතික ක්‍රියාවක් කොට දැක්වීමට නොවේ. පුද්ගලයකු සිතා මතා ගව මස් කෑමෙන් වළකිතොත් එය ගතානුගතික ක්‍රියාවක් නොවේ. එය කාගේත් ගෞරවයට භාජන විය යුතු ආත්ම සංයමයකි. ආත්ම සංයමය නැමැති හිණෙහි පළමු වන පෙත්ත ආහාරය නිසා හටගන්නා ගිජුකම මැඩීම යැය් කීවේ අහිංසාවාදියකු වූ ලියෝ ටෝල්ස්ටෝයි විසිනි. සිතාමතා මස් කෑමෙන් හෝ සුරුට්ටු සිගරට් බීමෙන් වළකින තැනැත්තා විසින් නොවළකින තැනැත්තාගෙන් ගරු බුහුමන් ලැබිය යුත්තෙකි. කුමක් නිසාද? පළමුවැන්නා එකම එක ආශාවක් වුවද මැඩ ගැනීමෙන් ආත්ම සංයමය පුරන්නෙකු වන බැවිනි. අනිකා තමාගේ ආශාවන් මැඩගැනීමට එවැනි වෑයමක් නොකරන්නෙකි.
ගව පෙරහැර පවත්වනු බලා අන්‍ය යෝද ඊට එක්වෙති. “ ඔක්කොම යනවා නෙව.වරෙල්ලා අපිත් නොගිහින් කොහොම? “ යි සිතමින් හෝ කියමින් හෝ අන්‍ය යෝද පෙරහැරට එක්වෙති. ගව පෙරහැර පවත්වන්නන් ගේ ප්‍රබෝධයත් හත් අට දෙනෙකු වැඩ නවත්වන විට අන්‍යන් ඊට එක්වීම නිසා පැතිරෙන ප්‍රබෝධයත් එක් අතකින් එකක්ම යයි මා කීවේ යට කියන චෛතසික ධර්ම සැලකීමෙනි. ආගමික උත්සවයක් නිසා හෝ ව්‍රතයක් නිසා හෝ ආර්ථික ප්‍රශ්නයක් නිසා හෝ හටගෙන පැතිරෙන ගතානුගතික ප්‍රබෝධය,මිනිසුන් සාධු චරිත ඇතියන් හෝ ශික්ෂිතයන් හෝ කිරීමට එතරම් වහල් වන්නක් නොවේ. ගතානුගතිකත්වය නිසා පිබිදුණු පොදු ජනයා ඇතැම් විට ශූර මිනිසුන් අතට හසු වූ කල වහලුන් වැන්නෝය.

ගතානුගතිකත්වයෙන් පුබුදනු ලැබූ ජනකායක් ප්‍රයෝජනවත් වනුයේ පැසිස්ට් ‍ආණ්ඩුවකට මිස ජනසම්මත ආණ්ඩුවකට නොවේ. පුද්ගලයන් වශයෙන් සිතාමතා ක්‍රියාකිරීමේ වරය හිට්ලර් ජර්මන් ජනයා අතරින් නැති කළේ ය. කොමියුනිස්ට් ආණ්ඩුවකට ද මුල අවස්ථාවේ ගතානුගතිකව සිතන ජනකායක් වුවමනා ය. එවැනි ජනකායකගේ උදවු නැතිව පැරණි ආර්ථික ක්‍රමය උඩු යටිකුරු කොට පෙරළිය නොහැකි බැවිනි.

අග්‍ර ශ්‍රාවක ධාතුන් වහන්සේ පිදීමට විශාල ජනකායක් පැමිණීමත්, අහිංසා පෙරහැර පැවැත්වීමත්, ගව මස් කෑමෙන් වලකින්නන් වැඩිවීමත් අප රට බෞද්ධයන් පිබිදී ප්‍රතිපත්ති පූජාව සඳහා නැඟීමේ සලකුණු ලෙස සලකා බොහෝ දෙන සන්තෝෂ වෙති. පහත දැක්වෙන කරුණ ඔවුන්ගේ සැලකිල්ලට භාජන විය යුත්තකි යි හැඟේ.

මේ වර වෙසක් පෝය දවසෙහි පානදුරේ දොස්තරකුගේ ගෙදර ආයාකම කළ තරුණියක් තවත් ගැහැනුන් දෙදෙනකු සමඟ රන්කොත් විහාරයට ගොස් වැඳපුදා වෙසක් සැරසිලි බැලීමට ගියාය. පානදුරේ දිස්ත්‍රික් උසාවිය අසල සිය ගනන් ජනයා රැස්ව සිටි තැනට ගිය ඔවුහු කැරොල් කංඩායමක් බැලූහ. සාහසිකයෝ දෙදෙනෙක් ඇවිත් අර තරුණ ආයාව ඇදගෙන ගියෝය. ඈ විලාප නඟන්ට වූයෙන් ඇගේ එක් යෙහෙළියක් දිවගොස් ඈ අඳුනන මහතකුට තම යෙහෙලිය බේරාගන්ට ය යි ආයාචනා කළාය.

“ගොහින් උඹේ මහත්තයාට කියාපන්“ යි ඔහු කීය. සිය ගණන් ජනයා බලා සිටියදී ඒ සාහසිකයෝ තරුණිය ඇදගෙන ගියෝය. මොවුන් ට විරුද්ධව පවරන ලද නඩුව විභාග කළ ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරතුමා ජූරියේ තීරණය අනුව ඔවුන් දෙදෙනාම වැරදි කරුවන් කොට දොළොස් අවුරුද්ද බැගින් සිරගෙට යැව්වේය.

මා මේ ප්‍රවෘත්තිය කීයේ මෙවැන් වල්කම් කරන මිනිසුන් ඉන්නේ අපේ රටේ පමණක්ය යන මෝඩ හැඟීමෙන් නොවේ. ගතානුගතිව සිතන්ටත් ක්‍රියාකරන්ටත් මිනිසුන් ලක්ෂයක් පුරුදු කිරීම උතුම්ය යන හැඟීමෙන් මෙහෙයනු ලැබීමෙනි. බුද්ධ ජන්මොත්සවය දවසෙහි, වෙසක් පහනින් ඒකාලෝක කරනු ලැබූ වීදියක රැස්ව උන් සිය ගණන් ජනයා බලා සිටියදී තරුණිය හඬව හඬවා නුදුරු වත්තකට ඇදගෙන ගිය සාහසික දෙදෙනකුට සාහසික අපරාධයක් ඒ තරුණියට කළ හැකි වූයේ කුමක් නිසා ද? ගතානුගතිකව සිතීමට මිස නුවණින් ක්‍රියාකිරීමට පුහුණු වුණු එකකුදු අර ජනකාය අතර නොසිටි නිසා ද? “ඝන සංඥාව“ නොහොත් විශාල ජනකායක් රැස්වුණු තැනක පහළ වන ගතානුගතික හැඟීම ගැන යන්තම් සිතිය හැකි එකම එක බියසුල්ලෙක් පවා වෙසක් සැරසිලි නැරඹූවන් අතර සිටියා නම් ඔහු “වරෙල්ලා“ යි කියමින් අඩි දෙකක්වත් ඉස්සරහට තබනු ඇත. එවිට අන් සියල්ලෝම “වරෙව් “ කියමින් ඔහු පස්සේ දුවති. ගතානුගතිකත්වය නිසා වියරු වුණු ඔවුන්ගෙන් සාහසිකයෝ නිසි දඬුවම් ලබති. ඇතැම් විටක ඔවුන්ට පණ බේරාගෙන එතැනින් යන්ට පවා නොලැබිය හැකි ය.

ගතානුගතිකතිකව සිතන්ට පුරුදු වුණු ඒ පිරිසෙහි ඇතැමෙකු “අපේ පාඩුවේ අපි ඉඳිමු“ යි සිතන්ට ඇත. “ඒකිත් නරක එකියක වෙන්න ඇති“ යි තවත් එකකු සිතන්ට ඇත. “ කලින් හාදකමක් නොතිබුනා නම් අඬගහන්න ඒවිය“ යැ යි තවත් එකකු සිතන්ට ඇත. “ හොඳ එකියක් නම් ආයා වැඩට එනවයැ“ යි තවත් එකෙක් හෝ එකියක් සිතීය.

ධාතුන් වහන්සේ විසින් ද අහිංසා පෙරහැර විසින් ද ප්‍රතිපත්ති පූජාවට පුබුදන ලද අර ජනකාය වෙසක් පහනින් එලිය කොට සවනක් රැසින් බැබලෙන කොඩි වැලෙන් සෙවණ කරණු ලැබූ වීදියකට බැස්ස සාහසිකයන් දෙදෙනෙකු තරුණියක ඇදගෙන යනු බල බලා නිසොල්මන් වූයේ කුමක් නිසාද? යට කියන ලද ගතානුගතික සිතුවිලි විසින් ඔවුන් අකර්මන්‍ය කරන ලද හෙයිනි යි නොකිව යුතුද?

එවැනි අවස්ථාවල දී මිනිසුන් නිසොල්මන් වන්නේ ඔවුන් ඔවුන් තුල සංවේගයක් උදහසක් හට නොගන්නා නිසා නොවේ. බියසුලුකමත් ගතානුගතිකව සිතීමත් එකකු ඉදිරියට යන තෙක් අනිකා බලා සිටීමත් යන කරුණු නිසාය. ප්‍රස්ථාවට උචිත සේ ක්‍රියා කරන්නෝ එවේලේම ආදීනව සිතන්නෝ ය. ඊට නිදසුනක් වශයෙන් තවත් පුවතක් කීමට කැමැත්තෙමි.

මීට අවුරුදු ගණනකට පෙර, තම දුවත් ආර්යාවත් සමඟ මොටෝරියේ ගිය කාන්තාවක ගාල්ලත් බලපිටියත් අතර තැනකදී සාහසිකයන් රැළක් විසින් නවත්වනු ලැබුවාය. කිතුල් පොලු ආදිය අතින් ගත් ඔවුහු රියදුරාට රිය පදවන්නට නොදුන්හ. කාන්තාවන්ට ද ඉවත්ව යන්ට නොදුන් හ. ගෑනුත් තිදෙනකු සාහසිකයන්ට හසුව සිටිනු එතනින් ගමන් කළ කවුරුත් දුටහ. මොටෝරියවලින් ගිය ඈයෝත් බස්රිය වලින් ගිය ඈයෝත් විපතට හසුවූවන් දුටහ. එහෙත් ගතානුගතිකව නොසිතුවේ එතැන පසුකොට ගිය මොටෝ බයිසිකල් කාරයෙකි. ඔහු සුද්දෙකි. ඔහු බයිසිකලය නවතා කාන්තාවන්ට උදව්වට ගියේ ය. ඔහු යලිත් බයිසිකලයෙහි නැඟී කෙලින්ම ගියේ පොලිසියටය. ඔහු පොලිස්කාරයෙකුත් සමඟ ආපසු පැමිණියේය. සාහසිකයෝ පොලිස් කාරයා ට ද තර්ජන කරමින් වඩාත් සාහසික වෙස් ගත්හ. සැණෙකින් සුද්දා ද පිස්තෝලය අතට ගැනීමෙන් සාහසික වේශයක් ගත්තේය. සාහසිකයන් මෙල්ල වූයේ ඊට පසු ය. කාන්තාවන් එතැනින් නික්ම ගිය පසු සුද්දා තම බයිසිකලයේ නැගී යන්ට ගියේය.

මේ පුවත නිසා මතුවන්නේ බියසුලුකුම පිළිබඳ ප්‍රශ්ණයක් නොවේ. ගතානුගතිකව සිතීමත් ප්‍රස්තානෝචිතව සිතීමත්, පිළිබඳ ප්‍රශ්නයක් යයි හැඟේ. විපතට පත් කාන්තාවන් පසුකොට කර බාගෙන ගිය සියල්ලෝම ගතානුගතිකව සිතන්ට පුරුදු වූවෝ ය. අර සුද්දා ප්‍රස්ථාවට උචිත පරිදි අදීනව සිතන්ට පුරුදු වූවෙකි. වෙනස එපමණකි.

මේ ලිපිය මාර්ටින් වික්‍රමසිංහ මහතානන් ගේ ඇත්ත යුත්ත නැමැති කෘතියෙන් උපුටා ගන්නා ලදී. මේ පොත මුලින්ම මුද්‍රනය වී ඇත්තේ 1955 දීය.

ISBN 955-8415-30-8
මිල රු 180/=

පිටු 164යි.

10 comments:

  1. හරකෙක් ඉන්න පින්තූරයක් දාලා තියෙන්නේ ඇයි.

    මම යහපත් ඇනෝ .

    ReplyDelete
  2. තූ විතරක්... මම මැද හරියට කියවද්දිම දාන්න කමෙන්ට් එකක් හිතාගත්තා උඹ දැන් ලියන්නේ මාර්ටින් වික්‍රමසිංහ වගේමයි කියලා...

    ReplyDelete
    Replies
    1. නවසිය පනහෙ ලියපු මේ ආටිකල් එකේ තියෙන කරුනු අදට ගැලපෙනවා යසට..
      අනික ඒ කාලෙ පත්තර වල මේ වගේ ලිපි ගියා කියන්නෙත් කොයි තරම් නම් දෙයක්ද?

      Delete
    2. අදට නොගැලපෙන දෙයනම් මෙහි ඇති 'ආයා' යන වචනයයි.

      අද ආයලා ඉන්නේ ඉඳහිට ඇසෙන පරණ බයිලාවක පමණි.

      Delete
    3. //තූ විතරක්... මම මැද හරියට කියවද්දිම දාන්න කමෙන්ට් එකක් හිතාගත්තා උඹ දැන් ලියන්නේ මාර්ටින් වික්‍රමසිංහ වගේමයි කියලා...//

      මටත් ඔය සන්තෑසියමයි බීටලේ උනේ

      Delete
  3. හැමදාම වගේ හොඳ පෝස්ට් එකක්.

    ReplyDelete
    Replies
    1. hik hik.sahanta thiyala arinawa wage dennama..:)

      Delete
    2. පිස්සුද මෙයා..මාලන් මට එහෙම කරන්නේ නැහැ... :)

      Delete
  4. අමිලගේ ලිවිල්ලට වඩා වෙනස් බවක් දැනුණා

    ReplyDelete
  5. මම තමයි අන්තර්ජාලයේ එකම චණ්ඩියා. මගෙන් අවසර ලබා නොගෙන එකම එක මී මින්නෙකුටත් මී මිනින්නියකටවත් මම අන්තර්ජාලයේ බ්ලොග් කිරීමට ඉඩ නොදෙමි. අන්තර්ජාලයේ බ්ලොග් එකක් කිරීමට මගෙන් අවසර ලබා ගැනීමට නම් පිරිමියෙකුට කප්පම් වශයෙන් මම නියම කරන මූල්ය වටිනාකම ද ගැහැණියකට නම් මම නියම කරන ස්ථානයක දී වෙලාවකදී මා සමඟ ලිංගිකව හැසිරීමට යොමුවීමට ද අනිවාර්යෙන්ම යටත් වීමට සිදු වේ. මීට එරෙහි වන ඕනෑම අයෙකුට කිසිදු පුද්ගල හෝ සමාජ තරාතිරමක් නොබලා ඉතාමත් නිර්දය ලෙස කිසිදු අනුකම්පාවක් නොමැති ලෙස මුළු මහත් අන්තර්ජාලය පුරාම මඩ ගැසීමට චරිත ඝාතනය කිරීමට මා විසින් ක්රිනයා කරනු ලැබේ. කැමති නම් මාත් එක්ක හැප්පිලා අන්තර්ජාලය පුරාම මඩ නාගන්න අවස්ථාවක් ලබා දන්න මම සූදානම්. ඇවිල්ලා බලන්න මම කරන මඩ බ්ලොග්වලට. යෞවනයා, විශ්ව දිට්ඨි හා පුංචි කුමාරිහාමි යන බ්ලොග් වලට ඇවිල්ලා බලන්න.

    ReplyDelete