Sunday, December 1, 2013

පසල් තරංග 1

පාසැල පිහිටා ඇත්තේ වෙල්යාය අසබඩ බිම් තීරුවකි. වෙල්යාය මතම ඉදිවී පසුව පස් පිරවී දූපත් බවට පත්වූ බිම මත වූ කඩ කාමර කිහිපයකින් පසු කළුපාට තාර පාර පිහිටා ඇත.පාරෙන් මෙපිට පාසල පිහිටා ඇති අතර මේ පාසල පසුකර යන අයෙක්ට ජනාවාසයක්ද ඉන් මතු මහ කන්දද නගින්නට ලැබේ. මේ කඳු යායෙන් වටවූ මනරම් බිම ඇති පාසැලකට මා ඇතුලත් කරනු ලැබූයේ හම්බන්තොට කාෂ්ඨකයේ සිටි මා ඉගනීම කරා යොමු කරන අදහසින් විය හැක. බොහෝ දුරට නැතත් යම්තාක් දුරට එය සාර්ථක වන්නට ඇත.

පැරණි ගමේ සිටි මා සමඟ මොන්ටිසෝරි ගිය මිතුරන්ට මා වීරයෙක් තරමට උගත් අයෙක් විය හැක. එදා කටු මැටි ගසා පොල්ලතු සෙවිලි කල මා ගිය මොන්ටිසෝරියේ මා සමග ඉගනගත් අති මහත් බහුතරය අද වන විට ගොවියෝ සහ ගෙවිලියෝ විය හැක. සමහරු වසර හත අටක් ගාමන්ට් හෝ විදෙස් ගතවී නිවෙස් තනාගෙන දැන් දිවිය ගැටගසා ගන්නවා ඇත. ඔවුන්ට අනුව අධ්‍යාපනයෙන් කොළඹට විද්ද මා යනු පොරකි. නමුත් කොළඹ ආ පසු මට වඩා අවුරුදු පහ හයක් වයසින් අඩු ගැටයින් මට වඩා බොහෝ දුර ගොස් සිටිනු දිටිමි. එවිට මට ගමේ සිටියනං අඩු තරමේ ඇතිපදං ස්ත්‍රී සැපවත් ලැබෙනවා නොවැදැයි එකල සිතුනි.

මා පසුකල මොන්ටිසෝරි කාලයේ දිවිය අර්ධ ශුෂ්ක කලාපයේ වසරේ වැඩි කාලයක් බොන්න වතුර ටික සොයා බූලි බයිසිකල් පිටිපස තබාගෙන ඈත පිහිටි ලිංකරා ඇදෙන පිරිමින්ගෙන් සහ වතුර හිගකමින් උකුල්වලට කල තබාගෙන දුර දුවන ගැහැනුන්ගෙන් සමන්විත විය. නමුත් මට පාසැල් යන්නට ලැබුනේ පෙනෙන මානයෙ වතුර ඇති ලිං වලින් නාකියා ගන්නටද හැකි වූ තෙත් කලාපයට අයත් පරිසරයකය. කඳු වලින් වටවූ වෙල් යාය අසබඩ වූ මගේ ඒ පාසැල මට ගෙනදුන්නේ අලුත් මිහිරකි. එහි ශුෂ්ක පරිසරයේ පැවති එයට ආවේනික බොහෝ දොම්නස් තෙත් කලාපික පාසැල් පරිසරයේ නොමැති විය. එහෙත් තෙත් කලාපයට අයත් දුප්පත් මිනිස්සු වෙනමම ජාතියේ ප්‍රශ්ණ වලට මුහුන දුන්හ. කලක් ගතවන විට දුප්පත් කමට කලාපිය බේධයක් නොමැති බව මට කෙමෙන් කෙමෙන් වැටහෙන්නට විය.

කන්දට බස් එකක් වැටී තිබුනේ බොහෝ කලකට පෙරය. එය වලකන්ද ලෙස හැඳින්වුයේ ඇයි දැයි නොදනිමි. වලකන්දට යන කල වතුකොළ කන්ද නැමැති පොඩි කන්දක්ද තරණය කල යුතුය. මාගේ පාසැල වට තිබූ කඳු කිහිපයකටම ලස්සන නම් ලැබී තිබුනි. කොඩිහේන කන්ද, හීලකන්ද, නයිගල කන්ද, වලකන්ද, වතුකොළ කන්ද ආදිය මට මතක නම් කිහිපයකි. මෙයින් බස්රියක් පිරෙන්නට පාසැල් සිසුන් පැමිණෙන කන්ද වලකන්ද ලෙස හැඳින්වුනි. මේ බස් රිය ඒ ගම ජනයා ඒ කදුවල වසන ජනයා සමඟම බැඳී තිබුනි. මා පාසැල් යන අවධිය වන විටත් බොහෝ දෙනා පයිනුත් ගමන් පහසුව සලසා ගත් මුත් බස් රියේ ගමන් කිරීම ඔවුනට වඩාත් පහසු විය.

උදෑසන එන බස් රිය පාසැල පටන් ගන්නට පැය බාගයක් විතර කලින් පාසැල අසලට එයි. කන්දේ බස් එක නවත්වන තැන සිට පාසැලට ඇති මුළු දුර කිලෝමීටර 8කට වැඩි මිස අඩු නොවේ. උදෑසන මාතර පන්ති යන ළමෝ පයින්ම පැමින පංතිවලට ගියෝය.

තරංගට බස් එකේ යන්න සල්ලි තිබුනේ එහෙමත් දවසකය. ඔහු බස් යන පාරේ නොව වෙනත් කැලෑ පාරකින් පාසැල වෙත පැමිණෙයි. ඔහු අඳින පාසැල් ඇඳුම විශේෂ එකකි. සාමාන්‍ය යෙන් අප පංතියේ සිටින අනෙක් සිසුන්ට වඩා විශාල සිරුරක් තිබුන බැවින් තරංගට අපිට දෙන කලිසං රෙදි කෑල්ල මදි වන්නට ඇත. එම නිසා තරංග ඇන්දේ වෙනත් ජාතියක නිල්පාට කලිසමකි. තරංග පාසැල් ඇඳුමින් හැර මා ඔහු උඩුකය නිරුවතින් සෙල්ලම් කරන අවස්ථාවන්හිදි දැක ඇත. එසේ නැතිව ඔහු වෙනත් පාට ඇඳුම් ඇඳගත් දිනයක් නම් මගේ මතකයේ නැත. ඔහුගේ කමිසය සුදු එකක් වුවත් හොඳින් සෝදා නිතර නිල්දමා අඳින ෂර්ට් එක තරම් ඔහුගේ කමිසය පැහැපත් නොවීය.

පාසැල් එන යන අතරමග මෙන්ම වෙනත් වැඩකටයුතු වල යෙදෙද්දීත් කජු පුහුලන් ඇහිඳීම, අඹ කැඩීම, ගොරක ඇහිලීම ආදි රාජකාරි වල නිරත වීම නිසා තරංගගේ සෑම කමිසයක්ම රැගෙන දින කිහිපයකින් කහට පැල්ලම් කිහිපයකින් ඔපවත් වෙයි. තරංග ගස් නැඟීමට රුසියෙකි. ඔහු කොල්ලන් සමග අනුන්ගේ වතුවලට පැන කුරුම්බා බීම වැනි මැරෑටි වැඩ 4 වන වසරේදී පවා කළේය. අනුන්ගේ වත්තකට පැන කුරුම්බා බිව්ව හැටි අඹ කැඩු සැටි ඔහු පැමිණ විටෙක විස්තර කරයි.අපිට කුරුම්බා බීමටත් අඹ කැඩිමටත් එවකට අපේ වත්තේදීම අවස්ථා තිබුනත් ඈත දෙසින් එන වත්තේ අයිතිකාරයා එයිදැයි බලමින් අඹ කඩන කුරුම්බා බාන හැටි අහගන්නට තරංගගේ කතාවට කට ඇරගෙන අහගන සිටින්නට ආශා කලෙමු.

ඔහුගේ නිවස පිහිටා තිබෙන්නට ඇත්තේ කන්දේ කොහේ හෝ මුල්ලකය. ඔහුගේ පියා විශාල රක්ෂාවක් කල අයුරක් නොපෙනුනි. ඔහුට බාල තවත් නංගිලා මල්ලිලා කිහිප දෙනෙක්ම තරංගට විය. තරංග ගේ කිසිදු වැඩක කිසිම පිරිසිදු කමක් නම් නොවීය. පොත් පත් බෑගයක දාගෙන එන්නැයි කිව්වොත් ඒකට තරංගට පොත් බෑගයක් නැත. අපි විභාග දිනවල බෑගය නැතිව අතේ ෆයිල් එක විතරක් තියාගෙන ඉස්කෝලෙ යන්නේ බැගය නොමැති වීම ගැන කුඩා සතුටක්ද සිතේ දරාගනය. තරංග කොතෙක් පොත් තිබුනත් සියල්ල අත උඩ තබාගෙන එයි. ඒ පොත්වලට කවර නොමැතිවීම නිසාද පොත් පත් අතේ ගෙනයෑම නිසාද තරංගගේ පොත් පත් ඉක්මනින්ම සවුත්තු විය.

මා ගිය පාසැලේ දක්ෂ ලමෝ මෙලෝ රහක් නැති ළමෝ සහ මැරෑටි ලමෝ ලෙස වර්ග තුනක් සිටියෝය. තරංග යනු සැබැවින්ම මෙලෝ රහක් නැති මා වැනි අයෙකි. නමුත් ඔහු සතු දුප්පත් කම නිසා තරංග මැරෑටියෙක් ලෙස ගුරුවරුද ගුරු බාලයෝද සිතා සිටියෝය. ගුරු බාලයෝ යනු පන්තියේ මුල් පෙළ සිටිමින් ගුරුවරුන්ගේ සුවච කීකරු ගෝලයන් වූ බත් බැලයන් කිප දෙනාටය. මේ බත් බැලයක් වැඩක් ඇතත් නැතත් ගුරුවරුන්ට පක්ෂය. පාසැලේ වලියක් ගිය එක් අවස්ථාවක මාගේ මිතුරකුට ගලක් ගැසීමේ උවමනාවක් මට ඇතිවිය. එහිදී ඒ මිතුරා විවේකයේදී ටීචර්ලා කයි ගසමින් සිටින පන්ති කාමරයකට ගොස් ටීචර්ලා සිටින දෙසට වැදී ඒ අසලම රැදෙන්නට විය. මට පස්ටෙටම මල පැන්නේ මූ ට ගල ගසාගන්නට බැරි වුනාටත් වඩා මූ ටීචර්ලා අසල සිට ඉඳහිට පංතියට එබෙන මට දිව ඇද විහිලු කරන්නට වූ නිසාය. දැන් මට ඌට ගලින් ගසන්නටම උවමනාය. මා සිතීම පසුවට කල් දමා උළු කැට කැබැල්ලක් දමා ගැසීමි.

ඒ ආනුභාවයෙන් මට පැය කිහිපයක් වැලි සහිත බිමේ දණගසාගෙන සිටින්නට සිද්ද විය. මා විසික් කල උළු කැට කැබැල්ල එක් ගුරුතුමියකුගේ කොහේ හෝ තැනක වැදී ඇත. එහිදී සතුරකු වුවත් එකම සෙට් එකේ අපතපාලයන් වූ මා ගේ ගල් පහර එල්ල වූ එකා වචනයක් වත් මා ගැන කියා තිබුනේ නැත. නමුත් ටීචර්ලාට ආවඩන බත් බැලයෝ ටික ටීචර්ලාට කේලම් කියා තිබුනි. කෝටුවකින් පාරවල් හත අටක් කා මාද මගේ මිතුරාද එකවිට දණ ගසාගෙන සිටියෙමි. මට චෝදනාව ගල් ගැසීමය. අනෙක් එකාට චෝදනාව මා වරද කරනු දැකලත් කට වහගෙන සිටීමය. ඒ අතර කෙල්ලෝ කිහිප දෙනෙක් තොපිට හොඳ වැඩේ යැයි කියන්නාක් මෙන් නිතර වෙනදාටත් වඩා එතනින් යති එති. කෙල්ලෝ නම් එකලද කෙලින් දෙයක් නොකියන වටෙන් සිට එකවර හුකුස් ගාන මහ කුජීත ජාතියකි.

6 comments:

  1. හිකිස්.... මොකද බන් මේ ඔක්කොටම බනින්නේ

    ReplyDelete
  2. තෙත් කළාපයේ දී නොලැබෙන ස්ත්‍රී සැපක් වියලි කළාපයේ දී ලබන්නේ කෙසේද?

    ReplyDelete
    Replies
    1. සමලිංගික පොරක් අහන ප්‍රශ්නයක්ද මේ? වියලි කලාපෙ තමා සැප වැඩි

      Delete
    2. //වියලි කලාපෙ තමා සැප වැඩි//

      :-)

      Delete
    3. වික්‍රමසිංහ තෙත් කලාපික කතුවරයෙක් වන අතර නවගත්තේගම අයිති වියලි කලාපයට වේ..වික්‍රමසිංහගේ කතාවල ඇති සෙක්ස් සීන්ස් වලට වඩා නවගත්තේගමගේ රචනා තුල ඇති සෙක්ස් සීන්ස් වැඩිය. මා සිතන්නේ එය එසේ වී ඇත්තේ නවගත්තේගමයා වියලි කලාපයට අයති බුවෙක් නිසා බවය.

      Delete
  3. අඩේ සිරාවට මටත් එහෙම වෙලා තියෙනව... ඉන්ටෙර්වල් එක වෙලාවෙ දං කඩන්න කැලේ රිං ගල වැඩේ ගැස්සුනා.... මුළු පංතියම දනගහගෙන ඉස්සරහ ලේන්සු උඩ දං ගෙඩි තියල ගණන් කර කර ඉන්න කිවුව.... අනේ හපොයි....

    ReplyDelete