Sunday, December 22, 2013

අලිංගික සුනාමිය. (1,2)

1

සංවේගයට පත් සියලුම පිංවතුනි. අපේ ශාන්තිනායකයන් පවසා ඇති අන්දමට මේ අපි විසින් සියලුම පුද සත්කාර දීල බොහොම හොඳින් නඩත්තු කරන ශරීරය කියන්නෙ කුනු ගොඩක්. මේ කුණුගොඩ සැබෑ කුණුගොඩක් කියලා අපිට පේන්නෙ නැහැ. නමුත් අද මේ විපතෙන් ඉතිරි වෙල ඉන්න පිංවත් අය හිතන්න ඕනි අපිත් ඒ මියගිය අයත් ඉන්නෙ එකම සසරක. එක පොඩි නැවතුමක විතරයි. ඒ නිසා මේ ප්‍රියයන්ගෙන් වෙන්වීම නිසා අපිට දැන් ඇතිවෙලා තියෙන දුක මඳක් තුනී කරගන්න ඕනි ධර්මානුකූලව සිතලා.

හාමුදුරුවෝ එක් මිනියක් අසල සිට මතක බණ කියයි. හාමුදුරුවෝ හති වැටිලා වගේය. එකම ධර්ම දේශනය කිහිප කිහිප වාරයක් කීමට සිදුව ඇත. උදෑසන දහවල් බේධයක් නැතුව දානෙ වේල පවා බිස්කට් පැකට් එකකින් සප්පායම් කොටගෙන මතක බණ කීම මිනීවලට සෙතක් අත් කර දීමැකැයි හාමුදුරුවෝ සිතයි. මේ විපත නිසා නැති වී ගිය බොහෝ දේ නිසා ස්වාමින් වහන්සේට ඇති වූ දුක විපතින් ජීවත්ව සිටි අයට පිහිට වීමත්, මිය ගිය අයට සෙත් පැමිණවීමත් නිසා මඳකට දුරු වී ගොසිනි.

ගෑනු නම් පිටින් සිරි නරඹන්නට එන පිරිසට විස්තර කියති. වතුර කඩ එන වෙලාවේ වතුර ඇසින් වත් නුදුටු ගෑනු වතුරේ උස අසන උන්ට අභිනයෙන් ඉස්සී වතුර කඩ ගිය තැන් ලකුණු කර පෙන්වති. සමහර ගෑනු නම් සැබැවින්ම වතුර සමඟ පොර බැදුවෝය. ව්‍යායාමයක් නොදී කඳද බඩද මනාව ඉතිරී යන්නට ඉඩ දී බලාසිටි කාන්තාවන්ට වඩා කෙසඟ වැඩ පල කල කාන්තාවෝ විපතින් ගැලවී ගත්හ. දේපල මිනිසුන් නැතිවී ඇති නිසා ගැහැනු සමහරෙක් සැබැවින්ම දුක්වෙයි. සිය පුතා දුව, හෝ සැමියා ගැන නිසි ආරංචියක නැති අම්මලා එන පිරිසට විස්තර කීමට පැන එන්නේ නැත. ඔවුන් බොහොමයක් නිවෙස් වලට වී ගෙනගොස් දෙන බත් පතද එපා යැයි කියමින් කඳුලු සලති.

පිරිමි බොහෝ දෙනෙක් බොහෝ වැඩ කරති. පිරිසක් මිනී සොයති. පිරිසක් බඩු මුට්ටු සොයති. තවත් අය මිනි වලවල් කපති. ඒ අතර කෑම ඉවීම පිටින් එන ආදාර බෙදාගැන්ම ආදියෙහිද කට්ටියක් නිරත වෙති. මිනි වලවල් කපන ඈයෝ දහඩිය මුගුරු දමමින් නිහඩවම ඒ කටයුතු කරති. ඒ දහඩියට මිලක් නොලැබෙන මුත් හදවත් හරහා හමා ගිය වතුර කඩ උහුලා ගත නොහී මියගිය උන් ගැන වූ දුක උදලු පහරවල් වල බොල් හඩින් යටප්ත වෙනු ඇතැයි උන් සිතූහ.

2

සති තුනකට පෙර..

අයිස් පැක්ටරියේ චමින්ද වෙනදා වගේම ෆැක්ටරිය අතුගා වැඩකරන අයට තේවතුර සදා කේතලයට දැම්මේය. චමින්ද කෙසග පුද්ගලයෙකි. ඔහුට විශාල බර වැඩ කල නොහැකි යැයි ඔහුත් අවට අයත් සිතති. නමුත් චමින්ද අයිස් පැක්ටරියේදී බර වැඩ නොකලාට ගෙදරදී දර පැලීම ගස් නැගීම ආදිය කරනවා දකිනවා යැයි ෆැක්ටරියේ ඈයෝ කියති. සුමනසිරි මහත්තයා ඒවා නෑසු කන්ව සිටී.

“චමින්දය බොලාට වෙලාවට තේ වතුර ටික හදල දෙනව, මෙතන අතුපතුගාගෙන හොදට තියාගන්නවා. තව ඉතිං වතුර ටැංකි ටිකට ගානට වතුර පුරෝනව. ටැංකි සුද්ද කරනව. ඒ මැදෑ බං. උඹල උඹලැයි වැඩ කොරපල්ල. අනික් උන්ගෙ ලබ්බවල් හොයන් නැතුව.“ චමින්ද ගැන චෝදනා ඉදිරිපත් වන හැමවිටම සුමනසිරි මහත්මයා අනික් උන්ට එසේ කීවේය. අනික් උන්ට දවසට එක්දාස් එකසීයක් ගෙවනවිට චමින්දට හම්බුවෙන්නේ රුපියල් හයසීයකි.

රුපියල් හයසීය වැඩිකරන්නැයි කිසි විටක චමින්ද ඉල්ලා නැත. අනික් උන්ට පඩිය පනහකින් සීයකින් වැඩිකරන හැමවිටම චමින්දට ද රුපියල් පනහක් සීයක් සුමනසිරි මහත්තයා වැඩි කරයි. පඩි වැඩිකරන්න යැයි ඉල්ලීම් කිරීම ගැන චමින්දට වූයේ උදාසීන ආකල්පයකි. ඔහුද පඩි වැඩිවෙනවට ආශාය. නමුත් ඔය වැඩියෙන් ඉල්ලන්න ගිහින් තියෙන එකත් නැතිවුනොත්.. කියලා චමින්ද හිතුවේය.

“මහත්තය. මගෙ මාස් පඩියෙන් අඩුකොරගන්න මට රුපියල් පන්දහක් ණයට දෙන්න ඇහැකිය? “ දින ගනනාවක් හොරගල් ඇහිලිමෙන් පසුව චමින්ද විසින් සුමනසිරි මහත්තයාගෙන් ණයක් ඉල්ලන ලදී. උඹට මොකටද පන්දහක්.. ? සුමනසිරි ඇසීය..

නැහැ සුමනසිරි මහත්තය.අපෙ ගෑනි කියනෝ ටීවි එකක් ඕනෙ කියල. මං ලග පන්දහක් තියෙනෝ. ගෑනි ගාවත් තුන්දහක් තියෙනෝ. ගෙවන්න ගත්තම ටීවි එක ටික දවසකින් ඇවිල්ල උස්සං යාවි කියල ගෑනි කියනව. ඒක නිස සල්ලි ඔක්කොම දීල ටිකක් පරණ එකක්වත් ගන්න කියල හැදුවෙ.

අදනං ටිකක් අමාරුයි බං. හෙට ලෝඩ් දෙකක් විතර තියෙනවා දෙන්න. හෙට බලමු. මේ දවස්වල බෝට්ටුත් අඩුයි නේ. සුමනසිරි මහතා කීවේය.

හා..යැයි ඔලුව පද්දා චමින්ද පැද්දෙමින් ඈතට යන්ට ගියේය. කිසිදු බාදා කිරීමකින් හෝ සුසුමකින් හෝ තොරව කරබාගෙන යන චමින්ද දුටු විට සුමනසිරි මහත්තයාට දුක හිතුනි.

මේ ඒයි.. සුමනසිරි මහත්තයා තේ වතුර එක අතට අරගෙන බිරිඳට කතා කලේය.

අන්න අර අපේ චමින්දයයි ගෑනි කියනවලු උන්ගේ ගෙදෙට්ටත් ටිවි එකක් ගේන්න කියල. ඒ මිනිහ පන්දහක් ඉල්ලනව ටීවි එකක් ගන්න ආයි දෙන්නං කියල..සුමනසිරි මහතා කියයි..

ඔව් ඉතිං ඔහෙ වෙස්සන්තර වෙන්න යනෝනෙ. දෙනෝ දෙනෝ.. ගන්නම ඇහැක් වේවි සල්ලි. ඔය ගෑනි අර ඇන්ට එක්ක කීප වතාවක් ම අහුවෙල තිබුනෙ. වැටකෙයි ගාල් අස්සෙ.. ඔය ඉන්න ලමයත් චමින්දයගේ වගක් නැහැ නේ. ඔහෙටත් ඉතිං ගෑනියෙක් කිව්වොත් ඉතිං..සුමනසිරි මහතාගේ බිරිය බනින්ට විය..

අපෝ මේ ගෑනිට කිව්වට වැඩිය හොදයි.. කියා සුමනසිරි සිතලා නිකං උන්නේය.

පසුදින ෆැක්ටරියට ගොස් විජයසිරි සාප්පුවට කෝල් කොට ටිවි එකක මිල අසා රුපියල් දාහතර දහක් වෙන බව දැනගත්තේය. සුමනසිරි විජයසිරි හා මිතුරු හෙයින් චමින්දයා ටිවි එකක් ගන්න ආවොත් ටික්ක සලකලා දෙන්නැයිද කීවේය.

ඒ අවසන්ව චමින්දට කතා කලේය. දැන් උඹගාව ඔක්කොම තියෙන්නෙ අටයි නේ බං. උඹට මං පහක් දුන්නත් උඹට ටීවි එක ගන්න සල්ලි මදි. ඉඳා මෙතන හතක් තියෙනවා. විජේසිරි ගෙන් ගන්නව නං මං කිව්ව කියපං..කීයක් හරි අඩුකරාවි.

චමින්ද සල්ලි අතට ගත්තේය. මහත්තය එහෙනං පඩියෙං අඩුකොරල දාන්න හොදෙයි. එකපාර කපන් එපා..

හරි හරි පන්ඩිතකං නැතුව පලයං..අඩුකොරන එක මං කොරගන්නං..

මේ රුපියල් හත්දාහ දිනකට අතගාන දස දහස් ගානක මුදල් එක්ක බැලුවිට පොඩි ගානකි. බෝට්ටු දෙකක්ද අයිස් පැක්ටරියක්ද තව ඉඩකඩම්ද ඇති සුමනසිරි මහත්තයා වැඩිකලක් අයිස් පැක්ටරියේ සිටියද ඉතිරි වෙළහෙලදාම්ද හොදින් නඩත්තු කරන අයෙකි. චමින්ද විශ්වාසවන්ත සේවකයෙකු වන නිසා ඔහුට මුදල් දීමට සුමනසිරි දෙවරක් හිතුවේ නැත. නමුත් මේ ගාන පඩියෙන් කපාගන්නේ නැහැයි කීවොත් හෙට අනික් උන්දපෝලිමේ සල්ලි ඉල්ලං එනු ඇති නිසා මුදල් දුන්නත් සුමනසිරි මහත්තයා චමින්දට බුරුලක් නම් පෙන්නුවේ නැත. 

7 comments:

  1. /* මං ලග පන්දහක් තියෙනෝ. ගෑනි ගාවත් තුන්දහක් තියෙනෝ. */

    මෙහෙම යෙදුමක් (තියනෝ) තියෙන්නේ මාතර පැත්තේ ද?

    ReplyDelete
    Replies
    1. මාතර වුනත් සමාරවෙලාවට පැති අනුව බස වෙනස් වෙනවා..
      මේ තියනෝ කෑල්ල සො සි හෙම පාවිච්චි කරනවා මං දැකල තියෙනවා..

      Delete
    2. මගේ යෙහෙලියක් උන්නා ගාල්ලේ එයත් "ණෝ" කෑල්ල අග්ගිස්සට එකතු කරනවා

      Delete
  2. මේ ණය දීමේ කතාවයි අර සුනාමියයි එකට සම්බන්ධ වෙයිද තව ඉදිරියේදී?

    මටත් සුනාමිය ගැන තිබෙන්නේ දැඩි අඳුරු මතකයක්. මහේ සහෝදරයත් ඔහුගේ පුතාත් සුනාමියෙන් මියගියා. මම ඒ පුතාට නොයෙක් තෑගිබෝග දී තිබුනත් කවදාවත් ඇඳුමක් තෑගී දී තිබුනේ නැහැ. ඔහුගේ මිනියට අන්දපු ඇඳුම මගේ වියදමි මිලදීගෙන් අන්දවන්න වුනා.

    ReplyDelete
    Replies
    1. සුනාමිය දුකද නැද්ද කියල ඇහුවොත් මට නං සිරාවටම උත්තරයක් නැහැ....සුනාමිය නිසා ඒකාකාරි ජීවිත වලට මහ අමුතු ගන්ධබ්බ කාලයක් ආවා....ඒක මහ අමුතු අත්දැකීමක්..

      Delete
  3. ජීවිතයේ අදහාගන්ට බැරි උණු සිද්ධි අතරින් එකක්. තාම මතකයි ලොකු ගොඩනැගිලි මූදු රැල්ලට ගහගෙන යනහැටි ටීවී එක ඉස්සරහා ඉඳන් බලන් හිටපු හැටි. ඒ වෙලාවේ කිසි දෙයක් හිතාගන්ටත් බැරි තරම්. හැතැප්ම දාස් ගනනකට එහා ඉඳන් අපිට එහෙම දැනුනානම්, ඒ මොහොතට මුහුණු දුන්නු අයට කොහොම දැනෙන්ට අතිද? ඒ අයගේ හිත් අපිට කවදාවත් තේරුම් ගන්ට බැරිවේවි. අමිල කියනවා වගේ මිනිස්සුන්ට තියෙන්ට ඇති එක්තරා කාලයක් ඒ නිසා ඇතිවෙච්ච.

    කාලයත් එක්ක හැමදේකම දුක තුනීවෙලා ගියත් මතකය කියන එක නැතිවෙන්නේ නෑනේ. හාමුදුරුවන්ගේ බණ ටික අපූරුයි. අමිලගේ නිර්මාණයක්ද? නැත්නම් ඇත්තට අහපු බණක්ද?

    ReplyDelete
  4. මෙතන 'අලිංගික සුනාමිය' කියන එකෙන් අදහස් කලේ මොකක්ද?

    ReplyDelete

නූතන පටාචාරාවත

විසිතුරු බඩුව ඇය කිසිවිට නැහැ සැලුනේ.. බියකරු වනය බිය නැහැ ඇය වෙත දැනුනේ.. සිය සැමි නැතිය එන මග දරු අහිමි වුනේ.. නැති විය සිහිය ...