Friday, December 13, 2013

සංගමයක නායකත්වය

අපි තනි තනිව වාසය කලාට අපිට පොදු වූ අරමුණු තිබෙනවා. ඒ වගේ පොදු අරමුණු වලට පිරිසක් එකතුවෙලා අපිට සංගමයක් පිහිටුවන්න පුලුවනි. මේ වගෙ මැරෙනවා කියන පොදු ධර්මතාවයට අනුකූලව පිහිටුවාගත් සංගමය තමයි මරණාධාර සමිතිය. උසස් අධ්‍යාපන ආයතනයක නම් සිසුන්ගේ පොදු අරමුණු වලට සප් එක දෙන්න ශිෂ්‍ය සංගමයක් පිහිටුවාගන්න පුළුවනි. ඒ වගේම විද්‍යාලයක ආදි සිසුන්ට පොදු අරමුනක් ිතබෙනවා තමුන් ගිය පාසැල ගැන. ඒ අරමුණ වෙනුවෙන් පිහිටවනු ලබන තැන තමයි ආදි සිසු සංගමය. තව ඉතිං ආයතනයක ඉන්න සේවකයින්ට පුළුවන් සේවක සංගමයක් පිහිටුවාගන්න. 

ආයතනික වෘත්තිය සමිති සහ විශ්ව විද්‍යාල වල ශිෂ්‍ය සංගම් වල ලාංකික අර්ථය සලකා බැලුවොත් හුදී බුද්ධිමත් මහජනයාට හිතෙන්නෙ ඒවායින් කරන්නෙ පුරාවිද්‍යාඥයින් විසින් කරන රාජකාරියක් කියලා. පුරාවිද්‍යාඥයෝ කියන්නෙ හැමතිස්සෙම නැතිවෙච්චි හෝ නැතිවෙන්න යන දේවල් හොයන එක. උදාහරන විදියට සේවකයො හැමදාම වෘත්තිය සමිති වලින් කරන්න උත්සාහ ගන්නෙ එයාල කියන විදියට  නැතිවෙලා ගිය හෝ යමින් පවතින සේවක අයිතින් සොයා යන එක. ලංකාවෙ ශිෂ්‍ය සංගම් සැලකුවොත් ඒ අය නැතිවෙලා යන නිදහස් අධ්‍යාපනය ගොඩගන්න හදනවා. ඒ වගේම නැතිවෙලා යන අධ්‍යාපන අයිතීන් පහසුකම් වගෙ දේවල් වෙනුවෙන් බළධාරින් එක්ක නිතර ගැටෙනවා. 

මේ ගැටුම් වල කිසි වරදක් නැහැ. ගැටලු වටා මිනිස්සු ඒකරාශී වුනේ නැත්තං බළධාරි බබාල හිතන්නෙ ඒ අයට ගැටලු නැහැ කියලා. ඒ නිසා ඒ තොත්ත බබාලගේ නිදි ගැට කැඩෙන්න වෘත්තිය සමිති සහ ශිෂ්‍ය සංගම් තියෙන්නෙ ඕනි. නමුත් හුදෙක් ඔය සමිති කියන රාමුවම තියෙන්නෙ අර පුරාවිද්‍යාඥයොන්ගේ රාජකාරිය විතරක් කරන්න නෙමෙයි. එතනින් එහාට ලොකු දේවල් කරන්න පුලුවන් සංගම් හරහා. 

තව දෙයක් මං මේ කියන්න යන කාරණා හරහා ලංකාවෙ සංගමයක හොද නායකයෙක් වෙන්න බැරිවෙයි. නමුත් මේ කොදෙව් ලෝකෙන් එපිට තැනකට යන්න ලැබුනොත් ඇත්තටම ඇත්තම නායකත්වයක් තිබෙන එක වැදගත් වේවි. උදාහරන විදියට ලංකාවෙදි අපිට සංගමයක් මැරෙනකල් අදින්න පුලුවන් පොදු සතුරෙක් සොයා ගත්තොත්. ඒ කිව්වෙ අපේ සංගමේට විරුද්ධ කාරයෙක් හොයාගෙන ඌට ගහන්න හැමදාම ප්ලෑන් කරනවා. ගහනවා ඒවා විසඳනවා. එතකොට නායකයින්ට සිය ජීවිත කාලෙම අර වලිය උඩ ජීවත් වෙලා නායකත්වය රැකගන්න පුලුවනි. නමුත් දියුනු පරිසර වලදි වලි පවත්වාගෙන යනවාට වඩා වලි වලට විසඳුම් හොයන්න සිද්ද වෙනවා.

අපේ රටේ හිටියා සේනක බිබිලේ කියලා මහත්මයෙක් මම දකින විදියට එතුමා ලෝක මට්ටමේ නායකයෙක්. මෑතදි මැරුන නෙල්සන් මැන්ඩෙලා එංගලන්තය හා සම්බන්ධ සමහර රාජ්‍යතාන්ත්‍රික ප්‍රශ්ණ වලට පවා උත්තර හොයන්න මැදිවෙලා තිබෙනවා. මැන්ඩෙලා කියන්නෙ දකුණු අප්‍රිකාවට පමණක් නෙවෙ ලෝකෙට ම නායකයෙක්. අපේ ක්‍රිකට් ක්‍රීඩාව ගත්තොත් එක් කාලෙක හිටිය රංජන් මඩුගල්ලෙ කියන ක්‍රිකට් ක්‍රීඩකයා දැන් මුලු ලෝකෙම නම පතල වෙච්චි තරඟ තීරක වරයෙක්. සංගක්කාර උන්නැහේ ලංකාවේ ටීම් එකේ නිකම්ම නිකන් නායකයෙක් නෙමෙයි දැ්න මුලු ලෝකෙම ඉහල පිලිගැන්මක් එයාට තිබෙනවා.

අපි දැන් බලමු සංගමයක් අටෝගත්ත නායකයෙක් කොරන්න ඕනි කාරණා කීපයක්. 

ගිරවු එලවීම. 
කුඹුරක සහ වගාවක ගිරවු කියන්නෙ අහසින් පාත්වෙලා බෝග ජාති අරං යන ජාතියක්. අහසින් පාත් වුනේ නැතත් හැමදේටම කෑ ගහන හැමවෙලේම කට ඇරගත්ත ගමන් අදහස් දක්වන්න බලං ඉන්න ගිරවු කියන්නෙ සංගමේකට වදයක්. අදහස් වැදගත් වුනත් වැඩිය කියවන්න ගත්තම නාස්ති වෙන්නෙ අනික් අයගේ කාලෙ. කොයි තරං වැදගත් අදහස් වුනත් තැන නොතැන නොබල ඔහේ කියවන මනුස්සයොන්ගේ අදහස් වලිං ඒ හැටි වැදගත් කමක් සංගම් වලට නැහැ. උදාහරණ විදියට මරණාදාර සමිතියෙ රැස්වීම වෙලාවේ අතිගරු ජනාධිපතිතුමාගේ යෝධ වැඩ ගැන කතා කරලා වැඩක් නැහැ. එතනදි කතා කරන්න ඕනි සමිතියෙ වැඩ රාජකාරි ගැන. 

ඔය වගේ ගිරවු ආවම අනික් අදහස් දක්වන්න ඉන්න අයත් බයවෙලා අදිමදි කරනවා අදහස් දක්වන්න. මොකද අර ගිරවුන්ට වගේ හොදට කතාකරන්න හැකියාවක් අනික් අයට  නැති නිසා. ගිරවු එලවන්න තියෙන එක හොඳ ක්‍රමයක් තමයි ගිරවුන්ට බර ගැට ගහන එක. ඒ කිව්වෙ දැන් අපි ශිෂ්‍ය සංගමයක වැඩක් කරන්න පටන් ගත්තම වැඩිපුරම අදහස් දක්වන කෙනාට අපි වැඩ කිහිපයක් බාරදෙනවා. ඒ වැඩ විතරක් නෙමෙයි වැඩ වලට අදාල කාලයකුත් ලබාදෙන්න ඕනි. ඒ වැඩ දෙනකොට එයා වැඩිපුර කතාකරන මාතෘකාවල වැඩ දෙන්න පුලුවන් නම් පංකාදුයි. 

උදාහරණයක් විදියට අපි හිතමු සංගීත සැංදෑවක් තියන්න ශිෂ්‍ය සංගමේ කතා කලාම එක් අයෙක් කියනවා අපි ඩී ජේ එකක් තියන්න නැතුව ආටිස්ලා ගෙනල්ලා සුබාවිත සැදෑවක් තියෙමු කියලා. ඒත් එක්කම තව අයෙක් කියනවා ප්‍රොෙපසනල් ඩී ජේ එකක් කරමු කියලා. මේ දෙන්නාම හොද අදහස් දක්වන දෙන්නෙක්. ටික වෙලාවක් ගියාම දෙපැත්ත බෙදිලා කියෝනවා මේක ඉවරවෙන පාටක් නැහැ. එතකොට නායකයෙක් කරන්න ඕනි දේ තමයි. හරි ඔය සුබාවිත කෙනා ගිහින් සුබාවිත ගායකයො, බෑන්ඩ් එක, හෝල් එක, ඕගනයිසර්ලා ඔය ඔක්කොටම යන කොස්ට් එක බලාගෙන ඊලග දවසෙ මීටිමට රිපෝට් එකක් අරන් එන්න ඕනි. ඔය ඩී ජේ කරන කෙනා ගිහින් ඊළග දවසෙ එනකොට ලංකාවෙ ඉන්න හොදම ඩීජේල සහ එයාලගේ ෂෝ එකකට යන ගනන අරගෙන එන්න ඕනි. අපිට ටිකට් එකක් රුපියල් දාහට එහා විකුනගන්න අමාරුයි කැම්පස් එක ඇතුලෙ. ඒ නිසා අපිට වඩාත් ලාභදායි වැඩසටහනකට යන එක වැඩිය හොද වෙයි. අපි ඊළග දවසෙ ගනන් මිමි එක්කම කතා කරමු. 

ඔය ගන්නෙ පලවෙනි මීටිම නම් ඔය කතාකරපු දෙන්නගෙන් දෙන්නම රිපෝට් එදාට අරං එන්න නැතිවෙන්න තියෙන හැකියාව බොහොම වැඩියි. ඒ රිපෝට් දෙක ආවොත් තෝරගත්ත වැඩේ ලොකු වගකීමක් අර වැඩිපුර කතාකරපු කෙනාට වැටෙන්නත් ඕනි. කෙනෙක්ට හිතෙන්න පුලුවන් මේක මර්ධනය කිරීමක් කියලා. නමුත් කතාකරනවා කියන එක තුල විතරක් නායකයො බිහි වෙන්නෙ නැහැ. එයාලට වැඩ කරන්න හැකියාව තිබෙන්න ඕනි. ටික දවසක් යනකොට කතාකරන පොර විසින් කරන වැඩ දෙක තුනක් අල වෙනකොට ළමයි අවබෝධ කරගන්නවා මේ යකා රියල් ගිරවෙක් කියලා. නැත්තං මෙලෝ තැනක ක්‍රියාත්මක වෙන්නෙ නැති තියරි පොත් බලලා ඇවිත් දේශන තියලා...ළමයින්ට මේ වගේ ගිරවු ඇණ වෙන්න තියෙන අවස්ථාව වැඩියි. හැබැයි කතා කරන්න වගේම වැඩට බැස්සමත් මිනිහා දක්ෂනම් පොරට ඒකට හිමි නිසි ගෞරවය ලබා දෙන්නත් ඕනි.

වෙලාව බැලීම. 

මේ කියන්නෙ කාල රාමුවක් සැකසීම වගේ වැඩක්. හිතන්න ඔන්න අපි මරණාධාර සමිතියට අලුත් දවුලක් මිලදී ගන්න දැන් සබාවාර කීපයකදීම කතා කලා. හැමදාම කතා කරනවා විතරයි වැඩේ වෙන පාටක් නැහ. ඒ නිසා තෙපානිස් ගුරුන්නාන්සේ එක්ක හොඳ දවුල් තියෙන තැනක් බලලා ඊළඟ පෝයට පංසලට එනකොට දවුල් වල ගනන් හිලවු ටික සමිතියට හරි නැත්තං ලොකු හාමුදුරුවන්ට දීල තියන්න කියලා සමිතියේ සබාපති තුමාට කියන්න පුලුවනි. ඒ වගේමයි ලොකු වැඩක් නම්. ඒ කිව්වෙ ඔන්න මරණාධාර සමිතියට පේනවා මරණයකදි පිටිින් ඇවිත් තම්මැට්ටම් දවුල් ගහන්න ලොකු ගානක් ගන්නවා කියලා. ඒකට අපේ ගමේ මිනිස්සුන්ට ලොකු ගානක් යනවා මරණයක් වෙලාවට. ඒ නිසා හොඳ ගමේම ඉන්න කොල්ලො කුරුට්ටො කීපදෛනක්ට ගුරුන්නාන්සෙ ලව්ව දවුල් තම්මැට්ටම් ගහන්න පුරුදු කොරන්න කියල කස්ටිය කතා වුනා. 

ඉතිං ඕක කතාවට බොහොම හොද වැඩක් වුනාට ඉතිං ගුරුන්නාන්සෙට තියෙන වැඩත් එක්ක උන්දැට ඕකට වෙලාවක් තියෙද දන් නැහැ. එතකොට එක්කෙනෙක් කිව්ව ඉස්කෝලෙ අලුත් නැටුං ගුරුතුමා හොද මිනිහෙක් වගේය. මිනිහගෙනුත් වැඩක් ගන්න හැකිය කියලා. ඉතිං ඒ වගේ වෙලාවක ගුරුතුමා එක්ක කතා කරලා වැඩේ සති දෙකක්  ඇතුලත වත් පටන් ගන්න තීරණයක් ගන්න ඕනි. ඒ වගේම අර අලුත හදන කන්ඩායමට බඩු ආදිය තියෙද කියලත් හොයන්න ඕනි. හැබැයි අර හැම වැඩේටම කරන්න නියමිත කාලයක් දාගන්න එක වැදගත්. 

වෙලාවට වැඩ කරන එක මරණාධාර සමිතියට වඩා සංකීර්ණයි වෙනත් සංගම් වලදි. උදාහරණ විදියට අපි ශිෂ්‍ය සංගමයක් ගතහොත් සිසුන්ට හැමදාම නාට්ටි,අලුත් දේශණ, ක්‍රීඩා උත්සව, කලා උලෙලවල් කරන්න බැහැ. ඒවාට කාලයක් තිබෙනවා. ඒ කාලෙට ඒවා නිසි පරිදි සංවිධානය කරගන්න නම් වැඩ කරන එයට අනිවාර්යෙන්ම ටාගට් දවසක් කියන්න වෙනවා. 

මේ සංගම් වලදි ඇජෙන්ඩා එකක් හදාගන්න එකත් ඒක අනුව කතාබහ කරගන්න එකත් වැදගත්. න්‍යාය පත්‍රය අනුවම වැඩකරන්න බැරිවුනත් අනවශ්‍ය පරිදි සමහර කාරණා ගැන කයි ගහන්නත් සමහර කාරණා ගැන අවශ්‍යම දේවල් මගහැරෙන්නත් තියෙන අවස්ථාව අඩු වෙනවා න්‍යාය පත්‍රයක් තිබෙන කොට. 

විශේෂඥ උපදෙස් ගැනීම. 

මේ කියන්නෙ ඇවිල්ලා අපි දන්නෙ නැති කාරණා සහ අපිට සීමිත දැනුමක් තියෙන කාරණා ආදිය ගැන කතාකරන කොට අපේ දැනුමෙ දිගින් විතරක් උත්තර හොයන්න යන්නෙ නැතුව අපි ඒ ගැන දන්න දැනමුත්තන් ගෙන් උපදෙස් ගන්න ඕන. මට කවි කියන්න පුළුවන් නිසා අපේ ආයතනයක තිබුන අවුරුදු උත්සවයක ජනකවි කියන්න මාව තෝරාගත්තා. මේකබොහොම සරල දෙයක්. කොලේක ලියාගත්තා මයික් එක ගත්තා කිව්වා. 

නමුත් මට ලොකු ගැටලුවක් තිබුනා අවුරුදු උත්සවේ අපි ගායනා වගේ ඇද ඇද ජනකවි කිව්වාම ඒ අවස්ථාව ඇත්තටම බලන අයට බෝරින් වෙනව නේද කියලා. බලන අයට ඕක බෝරිං නොවෙන්න ජනකවිත් එක්කම පොඩි ප්‍රාසාංගික අවස්ථාවකුත් කරන්න ඕනි කියලා අපේ යාලුවො සෙට් එක හිතුවා. ඒ වගේම අපිත් එක්ක හිටපු කෙල්ලො කීප දෙනෙකුත් වැඩේට කැමති වුනා. හැබැයි ඉතිං අපි නැටුං, නාට්‍ය විෂය ගැන ඒ තරං දන්නෙ නැහැ. 

එතකොට යාලුවෙක් කිව්වා අපි කෙලින්ම ගිහින් සෞන්දර්ය විශ්ව විද්‍යාෙලත් එක්ක කතාකරලා පොඩි උදව්වක් ගන්න බලමු කියලා. ඇත්තටම අපි සෞන්දර්ය විශ්ව විද්‍යාෙලට ගියා. ඒකෙදි කෝලිත භානු කියන සර් අපිට උදව් කරන්න ඉදිරිපත් වුනා. ඒකෙ හිටපු දේශකවරියො දෙන්නෙක් තමුන්ගේ වියදමින් අපේ ආයතනයට ඇවිත් අපිට ජනකවි සහ ඒකෙ ප්‍රාසාංගික අංග පුහුනු කලා. ඒ වෙලාවෙ අපේ අයත් අපේ ආයතනික මට්ටමින් ඒ වැඩේට අවශ්‍ය ලේඛනාදිය සකසා ගන වැඩේ බොහොම ලස්සනට කලා. 

ඒකෙ රියසල් එකත් බොහොම ලස්සනට තිබුනා. ටීචර්ලා අපිට අලුත් ජනකවි වගේම ඒවාට අනුව මූන සහ අතපය සොලවන සැටි කියලා දුන්නා. ඒ වැඩේට සමාර ළමයි ලෙක්චර් කට් කරගෙන ආවා. නමුත් අවාසනාවට අවුරුදු උත්සවේ දවසෙ වලියක් ගිය නිසා අපේ ඉවන්ට් එක තියන්න බැරි වුනා. නමුත් නිකාං අඩනවා වගේ ජනකවි කියාගෙන යන්න නැතුව අමුතු ගතියකින් ඒක කියන විදිය අපේ ගෑල්ලමයි සෙට් එකට ඒ ටීචර්ලා කියලා දුන්නා. 

මේ අදට ඇති වගේ. තව දවසක මම සංගම්වල ඉද්දි කොරාපු පොඩි පොඩි වැඩ රාජකාරි ටිකක් කියන්නත් හිතේ තියෙනවා. ඒ වගේම වරද්දගත්ත තැනුත් කියන්න හිතේ තියෙනවා. මේවා ගොඩක් අයට පොරෝජන නැති වේවි. ඒත් ලියල තිබුනම පස්සෙ කාලෙක මටම හරි ආයිත් බලත හැකි නෙව.

11 comments:

  1. දැන් ඉන්න වැඩි හරියක් මැති ඇමතිවරැත් ඔය කියන ජාතියේ ගිරවු තමයි.

    ReplyDelete
  2. හෙහෙ හෙහෙ සංගම් වල නායකයෝ අයි බන් හැමදාම උන්න හදන්නේ . . .

    ReplyDelete
  3. සංගම් වල වෙන්නෙම ගිරව් චකෝ බකෝ ගාන කොට කවුරුවත් නොදන්න කීපදෙනෙක් ඔයි අස්සෙ ඉඳන් සංගමේ වැඩ ටික ඇදලා ගොඩ දාන එක තමයි..

    ReplyDelete
  4. මේකනම් printout අරන් තියාගන්න වටිනවා අවශ්‍ය වේලාවල් වලට එලියට දාන්න

    ReplyDelete
  5. හොදට අත්දැකිම් තියෙනව වගෙ

    ReplyDelete
  6. ඉතාමත් හොද අර්ථ දැක්වීමක්... ඔබ හොඳ නායකත්වයේ ලක්ෂණ මැනවින් පෙන්නුම් කර තිබෙනවා මේ අවස්ථාවේ දී. මට මෙන්ම කාටත් එක සේ වැදගත් ලිපියක්.

    ReplyDelete
  7. //ඔබ හොඳ නායකත්වයේ ලක්ෂණ මැනවින් පෙන්නුම් කර තිබෙනවා //

    අමිලගේ ලිපි කියවද්දි මට මේදේ කලිනුත් හිතිලා තියෙනවා...:)

    ReplyDelete
  8. බොහොම වටින කරුණු ටිකක්. මැලේ රාළ කිව්වත් වගේ මේකනම් print කරලා තියගන්නම වටිනවා.මටත් ඔය වගේ ගිරව් හම්බ වෙලා තියෙනවා. උන් කොච්චර කෑ ගැහුවත් හැමදාම වැඩ කරන කීප දෙනා ම තමයි ඕන වෙලාවක පිහිටට එන්නේ.

    ReplyDelete
  9. ප්‍රයෝගික වැඩ පිලිවෙලක් කරගන්න හොඳ අත්වැලක්. ෆුල් ටෝකින් ......නෝ වර්කින්ග් අයට හොඳ උපදෙස්!!!!

    ReplyDelete

නූතන පටාචාරාවත

විසිතුරු බඩුව ඇය කිසිවිට නැහැ සැලුනේ.. බියකරු වනය බිය නැහැ ඇය වෙත දැනුනේ.. සිය සැමි නැතිය එන මග දරු අහිමි වුනේ.. නැති විය සිහිය ...