Saturday, August 31, 2013

බෙලිහුල් ඔය සිට නග්‍රාක් වලට (Belihuloya to Nagrak Division)

අපි බෙලිහුල් ඔය සිට ලෝකාන්තය හරහා පයිං ඇවිත් ඔහියට දවසකින් ආවා. ඒ ගැන පොඩි විස්තරයක් කලින් සඳහන් කලා. දැන් අපි ඒකෙ පිංතූර චාරිකාවක යන්නයි යන්නෙ. 

අපි ගිය දවසේ බෙලිහුල් ඔය සිට ලෝකාන්ත පැත්ත බලනාකොට කදු වල කිහිප තැනක් ගිනිගනිමින් පැවතුනා. මේ කඳු වල ගිනි වලට හේතුවෙන්නෙ තණකොළ සහ පයිනස් වගාවේ ගිනිගන්නා සුළු අපද්‍රව්‍ය කියලයි ගමේ අය කියන්නෙ. මිනිස්සු හිතාමතාම ගිනි තියෙනවා කියල තමයි අපි නැවතුන නවාතැන් පොලේ මහත්මයෙක් මේ ගැන අපිට කාරණා දැක්වුවෙ. ෆයිනස් කියන්නෙ මේ කඳු කර බිම්වල තියෙන සාරවත් පස නිසරු කරන කිසිම වැදගත් කමක් නැති ගසක් කියලා අපි දන්න කියන කාලෙ ඉදලා දන්නවා. නමුත් පයිනස් අයින් කරන එක ගැන කිසිම වැඩසටහනක් සාර්ථකව ක්‍රියාත්මක වෙලා නැති ගානක් තමයි අපිට කඳුකර පැතිවල පයිනස් වතු දැක්කාම පේන්නෙ. හිටවන්න සුද්දො වගයක් ආදාර දීපු නිසා අපේ අය තාමත් හිටවලා අවුරුදු ගානක් ගිහිනුත් සුද්දන්ට බැන බැන ඉන්නවා. 
බෙලිහුල් ඔය රෙස්ට් හවුස් එක ලගින් උඩට තියෙන පාරෙ කිලෝමීටර තුනක් විතර ගියාම මේන්න මේ හංදිය හමු වෙනවා. ඒ හන්දියෙන් අර පිරිසක් ඉන්න පැත්තට හැරිලා අපි වෙලක් මැදින් යන්න ඕනි. ඒ ගියාම තමයි ඉතිරි පාර අපිට හමු වන්නෙ. අපි මේ යන්නෙ මුලින්ම නන්පේරියල් වත්තට. පස්සෙ තමයි ඒක හරහා ලෝකාන්ත බලන්න යන්නෙ. 
අපි දකින මේ තැන ගොවියෙක් සහ ගෙවිලියක් උදෙන්ම වැඩ පටන් අරන් තිබුනා. මේ අය මෙතන බටු මිරිස් තක්කාලි වාගේ ගොඩ බෝග ජාති වගාකරලා තිබුනා කියලයි පෙනුනෙ. අපි මෙතන ඉදලත් තැනිතලා බිම වෙල මැදින් පහු කරලා ඉදිරියට යන්න ඕනි. මේ පැත්තෙ හමුවන මිනිසුන් බෙහෙවින් සුහදශීලි අය. කතාබහ කලාම බොහොම ගරුසරු ඇතිව උත්තර දෙනවා. 
මෙන්න මේ වගේ අඩිපාරකින් තමයි අපිට පයිනස් කැලේට ඇතුල්වෙන්න තියෙන්නෙ. මෙතන සොයාගන්න ටිකක් අමාරුයි. කිහිප දෙනකුගෙන්ම අහල තමයි උපි උඩට නගින්න ඕනි නියම තැන සොයාගත්තෙ. 
මේ කැලෑව මැදින් යන්න තියෙන්නෙ ටිකක් බෑවුම් සහිත බිමක් ඔස්සේ තමයි. ෆයිනස් කොළ උඩ ඇවිදිනකොට ලිස්සනවා. ගල්වැටි, ආදියත් හමු වෙනවා. ටිකක් ප්‍රෙව්සම හිතට අරං යන්න ඕනි හරියක් තමයි මේ පයිනස් කැලේ හරහා ගමන. 
එක යාලුවෙක් කටුවක් ඇනගෙන. ඉතිං අපිත් ඒ කටුවෙ පැත්තට සපෝට් එක දීගෙන පොඩි වෙලාවක් එතන නැවතුනා. මෙහම කිව්වට වතුර බොන්න ටිකක් රෙස්ට් කරන්න පාන් කන්න අපි තැන් තැන්වල නැවතුනා. නැවතිල ගල් උඩ ඉදන් කාල බීල ආයෙත් ගමන පටන් ගත්තා. 
මේ පේන කඳුවැටි කෑල්ල ගින්නට පෙර ලක්ෂණට නිල්පාටට තියෙන්න ඇති. දැන් ගින්නට කන්දෙ පලාතක් සම්පූර්ණයෙන්ම පිළිස්සිල ගිහින්. ගිනි අගුරු ගොඩක් වාගේ තමයි ඈතට පෙනුනෙ. මේ කන්ද වටේ දිය සෙවල බැදිච්චි වගේ කොළපාට තනකොල වලින් වටවුනු පින්තූර කලින් මේ පාරෙන් ගිහිපු අයට හමුවෙල තිබුනා. නමුත් අපිට ලැබුනෙ මේ ජාතියෙ පිලිස්සුනු කන්දක් තමයි. 
මේ පේන හරියට ආවෙ අපි කලින් කිව්ව පයිනස් කැලය පසු කරලා. මේ හරියෙ කුඩා පදුරු වගේ ඒවා තැන් තැන්වල තිබුනාට ඝන කැලෑවක් හෝ ඝනට පැතිරුනු පඳුරු නැහැ. මේ හරියත් කාලෙකට කලින් පිළිස්සිලා තිබුනා කියලා තමයි අපට පෙනුනෙ. මේ හැම වතාවෙම අපේ එක් පසකින් අපිට සමනල වැව ජලාශය දර්ශනය වුනා. 
මේම මේම උඩට ආවම අපිට පාර හොයාගන්න බැරි තැනක් ආවා. එතනින් එහාට පාර නැහැ. නමුත් අපි කන්දක් උඩට ඇවිත් වටපිට බැලුවාම කන්දේ කොනකින් ඈත තියෙනවා පෙනුනා වත්තක්. ඒ වත්ත ඇවිල්ල තේ වවපු වත්තක්. ඒ වත්ත නන්පේරියල් වත්තේ කොටසක් වෙන්න ඇති කියලා හිතලා අපි ඒ පැත්තට ගියා. වෙලාවට වැඩේ හරිගියා. මේ යාලුවා කරන්නෙ මොබයිල් සිග්නල් ඩිංගක් තියෙද කියාල හොයාල බලන එක. සිග්නල් ආදිය තිබුනා නම් මැප් එක ලෝඩ් වෙලා අපිට අර ගූගල මැප්ස් වලිං වැඩක් ගන්න පුලුවන් නේ. අපරාදෙ කියන්න බෑ මේ හරියෙ අඩිපාරවල් සමහරක් ගූගල් මැප් එකේ තිබුනා. ලෝඩ් වෙච්චි ටිකෙන් අපි සුළු ප්‍රෙයා්ජනයකුත් ගත්තා. 

පිරිසිදුයි කියලා හිතන්න පුලුවන් වතුර පාරක් ගලාගෙන ගිය දොළපාරකුත් ඒ ළගින්ම අපිට හමු වුනා. අපි වතුර පිරිසිදු වෙන්න ඇති කියලා හිතලා වතුර බිව්වා. නමුත් අපිට ටික දුරක් ඉහලට ඇවිදන් ගියාම තේරුනා අපි වතුර බිව්ව දියපාරට උඩින් ලැයිම් වතු හෙමත් තියෙනවා කියලා. ඒත් ඉතිං අපි බඩට ඒ වග නොතේරෙන්න ඇරලා නිකං උන්නා. ලක්ෂණට විනිවිද පේන විදියට ගලාගෙන ගියාට මේ කඳුකර දියපාරවල් හැම එකම වතුර බොන්න හොද නැතුව ඇති කියලා මට නම් හිතුනා. 
පැයක් හමාරක් විතර අපි අතරමං වෙලා එහෙ මෙහෙ ගිහින් යන්තම් දෙමල අයියා කෙනෙක්ගෙන් පාර අහගෙන නියම තැනට ආවා. මේ තමයි මේ සයිට් එකේ තියෙන එඑක ලෑන්ඩ් මාක් එකක්. 
මෙතනින් අපි ලෝකාන්ත පිවිසුම තියෙන පැත්තට යනකොට හමු වුනා පොඩි ලැයිමක්. ඒකෙ කඩයක් තියෙනවා කියලා මාක් එකක් තිබුනාට මොකද ඒක කන්දක් උඩ කඩයක් දාගන්න සිහින මවපු පුරාණ කපල් එකකගේ සිහිවටනයක් වාගේ පෙනුනෙ. මේ ලැයිමෙ හිටපු බල්ලා අපිට ඔරවගෙන හිටියා. ඔරවං හිටියට හෙන ස්වීට් බල්ලෙක් නේ? 
මේ ඉන්න අම්මාගෙන් ඇහුවා නිකමට එක පුංචි බබෙක්ගේ පිංතූරුවක්ගන්නද කියලා. එඒ පාර ඒක නොතේරුනද මන්දා අම්මාගිහිං අනික් පොඩි අයත් සෙට් කරගෙන ඇවිත් මේ විදියට ලස්සනට පිංතූරයට හිටියා. මගෙ කැමර් එක සමාරවෙලාවට ටික වෙලාවක් යනවා පොටෝ එක ඇතුලට දා ගන්න. ඒ නිසා හිනාව නම් පහු වෙලා ගිහින් මේ පොටෝව වදිනකොට. 
මේ තියෙන්නෙ මැනේජරයාගේ බංගලාව කියලා හදුන්වන තැන. මෙතන්ට පෝ වීල් වාහන කිහිපයකින් සෙනග ආවා. ඒ අය හමුදාවෙ කියලා අපිට ඇතුල බලන්න නම් ලැබෙන්න නැහැ කියලා සේවක මහතෙක් බොහොම කරුණාවෙන් අපිට පැහැදිලි කරලා දුන්නා. ඉන් පස්සෙ අපිට එතුමා පිට පාරෙන් ලෝකාන්තයට යන අඩිපාර පෙන්වලා දුන්නා..ඒ මහත්මයා එතැනදි අපිට බොහොම හොදට කතාකරලා අඩිපාර පෙන්වලා ඒකෙ බයවෙන්න යන්න කියලත් දැනමුතුකම් දුන්නා. බොහොම කෙටිවට මෙතන කිව්වට උදේ අටට විතර බෙලිහුල් ඔය ටවුමින් පටන් ගත්ත අපිට මෙතනට එනකොට හවස දෙක විතර වෙලා තිබුනා. 

Friday, August 30, 2013

බෙලිහුල්ඔයෙන් මහඑළියට (Horton Plains tour from Belihuloya)



හෝටන් තැන්නට යන්න පාරවල් දෙකක් තියෙනවා. එකක් ඔහිය ඉස්ටේෂම (Ohiya Railway Station)හරහා යන පාර. අනික නුවරඑළි පැත්තෙ ඉඳලා එන පාර. මම ගිහින් තියෙන්නෙ ඔහිය රේල්වේ නැවතුමේ ඉඳන් යන එක විතරයි. නුවරඑළි පට්ටිපොළ අඹේවෙල පැත්තෙන් එන පාර ඔහියට සාපේක්ෂව දුර වැඩියි කියලයි කියන්නෙ. මෙතන ඔහිය කියල කිව්වෙ ඔහිය දුම්රිය නැවතුම. 
 
ලැව් ගින්නෙන් දැවෙන කඳු කොටසක්
මේ අපි යන බෙලිහුල්ඔය හරහා යන පාර වැටිල තියෙන්නෙ නන්පේරියල් කියන වත්ත(Nonperial Estate) හරහා. වත්ත කිව්වාට මේ කඳු පැතිවල තියන වතු ඇවිල්ල අක්කර සිය ගානක් තියෙන වතු.ඒ එක වත්තකට කඳු වැටි හත අටක් අයත්වෙන වෙලාවලුත් තියෙනවා. මේ වත්තෙ නග්‍රාක් කියන කොටසේ (Nagrak Division) ඉහලින් තමයි හෝටන් තැන්නට(Horton plains Entrance)  පිවිසුම තියෙන්නෙ. හෝටන් තැන්නට පිවිසෙන තැනට යන්න අපිට බෙලිහුල් ඔය ඉඳලා කිලෝමීටර 10-12ක් නන්පේරියල් වත්තෙ නග්‍රාක් පිවිසුමට යන්න වෙනවා.
මීට කලිං බෙලිහුල්ඔය තියෙන සරසවියෙ (Sabaragamuwa University of Sri Lanka) යාලුවො කන්ඩායම් කිහිපයක් මේ ගමන ගිහිල්ලා විස්තර ඉන්ටනෙට් එකේ දාල තිබුනා. තව ඉතිං සංචාරක අඩවි වලත් විස්තර තියෙනවා. අපි තෝරගත්තෙ බෙලිහුල් ඔය ඉඳලා ඔහිය දක්වාම පයින් එන ඉතාම වෙහෙසකර ක්‍රමවේදයක්. 
 
බෙලිහුල්ඔයට ආවේනික නොවූ කලු පූසෙක්
අපිට මේ ඒ විදියට එන්න වුනේ බෙලිහුල් ඔය සිට නන්පේරියල් වලට තියෙන බස් එක නොමැතිවීම සහ බස් එක නවත්වන තැන ඉදලාත් ටිකක් දුර යනකල් වත්ත දිගේ හෝටන් තැන්න පිවිසුමට යන්න සිදුවීම. කොහොම නමුත් අපි උදේ හතට වැඩේ පටන් අරන් දවල් දෙක තුන වෙනකොට යන්තම් හෝටන් තැන්නේ නන්පේරියල් වත්ත පැත්තෙ පිවිසුමට ළඟා වුනා. 

බොහොමයක් දෙනා වත්තට වාහනේ ගිහින් එතන ඉදන් කැලෑ මූකලාන මැදින් යන්න තියෙන පාර තමයි තෝරාගන්නෙ. නමුත් අපි සාපේක්ෂව වෙනස්. අපිට කුඹුරු ලියදි, තක්කලි වගාවන්, එලවලු වගාවන්, තේ වතු, පයිනස් කැලේ, කඳුකර මුඩුබිම්, විශාල පියසි වැනි කඳු ආදිය සපිරි මුල සිට අග දක්වා සොබා දහම විඳගන්න ලොකු අවස්ථාවක් ලැබුනා. 
 
කුඹුරු ලියදි මැදින්.
අවසර ගැනීම
නිසි පරිදි අවසර ගන්නවා නම් අදාල පාර්ශව දෙකක් තිබෙනවා. එකක් තමයි නන්පේරියල් වතු පාලකයින්, අනික වනජීවි අධ්‍යක්ෂ ජනරාල් තුමා.  අපි මේ දෙගොල්ලාගෙන්ම අවසර ගත්තේ නැහැ. වතු අධිකාරි මහතුන් නම් මේ හෝටන් තැන්නෙ යන ගමනට එතරම්ම අකමැත්තක් නැහැ. වත්ත මැදින් ගියා කියල අවුලකුත් නැහැ. නමුත් වනජීවි එකේ නම් පොඩි කේස් ටිකක් තියෙනවාලු.
නිසි අවසරය ගන්න වනජීවි අධ්‍යක්ෂ ජනරාල් තුමාට ලිපියක් ලියන්න වෙනවා. ලියලා ඒකට උත්තරයක් ගන්න වෙනවා. අපිට ට්‍රිප් එක යන්න දවසක් දෙකක් වෙන්කරගන්න එකත් හරි අමාරු. එහෙව් එකේ බත්තරමුල්ලට ගිහින් වනජිවි අධ්‍යක්ෂ ජනරාල් තුමාට ලිපි ලියලා වාත වෙන්න වෙලාවක් වෙන් කරගන්න එක අමාරුයි කියල හිතුනා. 


ගමනාගමනය.
කොළඹ- අවිස්සාවේල්ල- රත්නපුර_ බලංගොඩ පහුකරන් හපුතල් බන්ඩාරවෙල හරහා බදුල්ල යන පාරෙ බලංගොඩට කිලෝමීටර 15ක් වාගේ දුරකින් තමයි බෙලිහුල් ඔය තියෙන්නෙ. බෙලිහුල් ඔය රෙස්ට් හවුස් එක ළඟ හෝ කඩමන්ඩියෙන් බැහැලා කෙනෙක්ගෙන් විස්තර ඇහුවම විස්තර දැනගත හැකි. අපි කලිං දවසේ හවස ගිහින් නවාතැනක නැවතිලා තමයි ගියේ. අපි නැවතුන නවාතැනේ නවාතැන් ගාස්තුව කෑලි හතරටම රුපියල් 2000යි. නවාතැනේ නම  ජංගල් රෙස්ට්. පහසුකම් හොඳයි. නාන්න වතුර, කන්න ඕනි නම් කෑම, සිසිල් පරිසරය හොඳට තියෙන පොට් එකක්. බෙලිහුල් ඔය රෙස්ට්හවුස් එක ළඟින්ම උඩට තියෙන පාරෙ තමයි පොට් එක තියෙන්නෙ. මම හිතන්නෙ මේ පිට පාරෙන් ලෝකාන්ත යනවා නම් කලිං දවසේ රාත්තිරි නවාතැනක නැවතිලා උදේම පිටත්වෙන එක තමයි යුතුම වැඩේ. 
 
නවාතැනේ කාඩ් එක
අපි බෙලිහුල් ඔය ඉඳලා නන්පේරියල් ගියේ අනුමත මහ පාරෙන් නෙමෙයි. වත්තෙ අය යන එන අඩිපාරක් වැටිල තිබුනා පයිනස් කැලයක් මැදින්. ඒකත් ආතල් ගමනක්. හරියට සර්වුඩ් වල රොබින්ලා වගේ අපි කූරු තියෙන ගස් ඇති කැලේ මැදින් ගියා. 

මේ ගමන පටන් ගත්තෙ බෙලිහුල් ඔයෙන් අවසාන වුනේ ඔහියෙන්.. හවස හතරෙන් පස්සෙ බන්ඩාරවෙල පැත්තට එක කෝච්චියක් තියෙනවා ඊට අමතරව කොටුවට යන නයිට් මේල් දුම්රිය ඔහියට එනවා රෑ 9 ට විතර. ඔහියෙන් එන එක තමයි ලේසි. හෝටන් තැන්නෙ පිවිසුමේ ඉඳලා ඔහියටත් කිලෝමිටර 8ක් වාගෙ තියෙනවා. අපි නම් ඒ දුරත් පයිංම තමයි ගියේ. ඕන් නම් කෙනෙක්ට ඒ ටික රථයක යන්නත් පුලුවනි. 
 
පයිනස් කැලේ තනි වූ පිරිස.
යාලුවෝ.
අපි ඔහිය දක්වා ආපු මුළු දුර ගණනය කලොත් කිලෝමීටර 27ක් වගේ අගයක් එනවා. දවසකට එච්චර දුරක් කඳු හෙල් හරහා යනවා කියන්නෙ ටිකක් ලොකු ගේමක්. පයිනස් කැලේ මැදින්, හොට්න් තැන්නෙ මිටි කැලෑව මැදින් යන එක මඳක් අමාරුයි. අනික දැඩි බෑවුම් පරිසරය තුල වැරදිලා හෝ වැසි තත්වයක් ඇති වුනොත් තත්වය සවුත්තු වෙනවා. ඒ නිසා ගමනට කම්මැලි ටිකක් මහත දෙහෙත මිතුරන් ආදිය සෙට් කරගන්නවා නම් ටිකක් පරිස්සම් වෙන එක හොඳයි. අනික් කාරණාව තමයි පාලනයක් සහිත මිතුරන් රැගෙන යෑම. 

මේ වගේ ගමනක් ගිහිපු මගේ යාලුවො කන්ඩායමක හිටපු යාලුවෙක් වතුර වලක් දැකලා එසැනින් පැනලා. පැන්න පාරට මිනිහාගේ මොකද්ද ඇටයක් පැනලා. ඒ පාර අනික් යාලුවට පොර වත්තන් කරගෙන එන්න සිද්ද වෙලා තියෙනවා.  ලෝකාන්තය වගේ තැනක වීරයින් වෙන්න යන අය එක්කරං යන එකත් අවධානම්. වීරකමට මෝඩකම එකතු වුනාම අවධානම  වැඩිවෙනවා. ඒ නිසා ඒ වගේ අය හලල යන්න පුලුවන් නම් පංකාදුයි. අපි එක්ක ගිය කන්ඩායම නම් කෙසග කේඩෑරි සෙට් එකක්. ඒ  වුනාට අපිට හොද අවබෝධයක් තිබුනා. අපිට ගමන අනිවාර්යෙන් ලෝකාන්තයෙන් ඉවරම කරන්න ඔනි කියලා ලොකු ඉලක්කයක් තිබුනෙත් නැහැ. අවුලක් ගියානම් ආයෙත් හැරුනා බෙලිහුල් ඔයටම ආවා. 
 
කූඩාරමක් ගහන්න හොද තැනක් වාගේ..
ඇඳුම් ආයිත්තම්.
බෙලිහුල් ඔය ඉඳලා අඩි පාරෙන් නන්පේරියල් වලට යනකොට සෙට් වෙනවා හරි ලස්සන පසුබිම් දර්ශන. ඒ තැන්වල කූඩාරමක් වුනත් ගහගෙන ඉන්න හැකියාව තියෙනවා කියල පෙනුනා. නමුත් වතුර ලබාගැනීම තමයි ගැටලුවක් වෙන්නෙ. හෝටන් තැන්නෙ යන ගොඩක් අය සීතලට අඳින ඇඳුම් වලින් සැරසිලා යනවා. නමුත් මගේ අදහස නම් හෝටන් තැන්න කියන්නෙ සැර සීතලක් තියෙන පළාතක් නෙමෙයි. මේ ගමන යනවනම් අර නන්පේරියල් සිට හෝටන් තැන්න දක්වා තියෙන කටු පඳුරු සහිත මිටි කැලෑව තරණය කරන්න හොඳ තද ඇඳුමක් තිබුනොත් හොඳයි. ඒ හරියෙ පඳුරු බොහොම ළඟින් තියෙන නිසා අත් පා සීරෙනවා බෝම ලේසියෙන්. 
 
කටු පඳුරු මිටි වනය මැදින් වූ ගමන
ගෙදර තියෙන අල්මාරියෙන් බාගයක් බෑග් එකක ඔබාගෙන ආවොත් ඉතිං ඒක උස්සන් යන්න වෙන්නෙත් ඔබටම තමයි. සාමාන්‍යයෙන් නවාතැන් පොලවල් වල පෙරවන්න සීට් හෙම දෙනවා. හරිනම් ඇඟ පිහිදාන්න තුවායක් හෙමත් දෙන එක හොඳ නවාතැනක ලක්ෂණයක්. ඒ වගේ නවාතැන් පොලක් සෙට් කරගෙන ඒවයි නවතින්න යනව නම් බෙස් සීට් තුවා ලොකු බ්ලැන්කට් උස්සං යන එක තේරුමක් නැහැ. මාත් අරං ගිය බර වැඩිවුනා. මොකද මට සිද්ද වුනා ට්‍රිප් දෙකක බඩු උස්සගෙන යන්න. නාකි වෙන්න කලිංයෙං අඩු තරමෙ ලංකාවෙ තැන් ටික හරි බලාගන්න එපායැ. 

වැරදිලා හරි ඉතිං පවුලක් වුනොත් ඉතිං දන්නවනේ. “තමුසෙ කොහේද මේ මෙච්චර වැඩ තියෙද්දි මීට කලිං දැක්කෙ නෑ වගේ ලොකාන්ත බලන්න යන්නෙ?  මේ ළමයි බලාගෙන ගෙදරට වෙලා ටීවි එක බලාගෙන ඉන්නවා පොඩි එකා වෙන්නෙ නැතුව “කියලා වයිප් කියාවි. ඒ නිසා ඊට කලිං යන දේවාලෙක යන්න ඕනි. 
 
කෑම කන මොහොතක්.
කෑම බීම.
සාමාන්‍යෙයන් මේ වගේ ගමනක් යනකොට අපි වගේ දැඩි අවධානමකින් නම් යන එකේ ලොකු භයානක කමක් තියෙනවා. පාං දෙකයි, වතුර බෝතලයයි. අපි හතර දෙනෙක් ගියා. තව චොක්ලට් දෙකයි, ජෑම් එකයි, සීනි සම්බෝල එකයි, වඩේ රුපියල් පනහකයි අපිත් එක්ක ගමන යන්න එකතු වුනා. කෑම නම් ටිකක් මදි ගතියකුත් දැනුනා. ආහ ්දැන් මතක් වුනේ කොටුවෙ ඩේවිඩ් ග්‍රෑම් සොප් එකේ සුදුලූනු බයිට් ග්‍රෑම් පන්සීයෙන් ග්‍රෑම් හාරසියක් විතර ඉවර වුනා ට්‍රිප් අතරතුරදි. බෙලිහුල් ඔයේදි කන්න කඩ දෙක තුනක් තියෙනවා. ඔහිය ඉස්ටේෂම ඉස්සරහ කඩෙන් කත හැකි අනික් පැත්තෙ. ඒ අතර තේ වතුර එකක් පොඩි කෑම ආදිය ගන්න කඩයක් සෙට් වෙන්නෙ හෝටන් තැන්න පිවිසුමේ තමයි. ඉස්සර වන්දනා ගමන් යනකොට අග්ගල හදාගෙන කැවිලි හදාගෙන තේ බෝත්ල් කර තියාගෙන තමයි යන්නෙ. නමුත් දැන් ඉතිං ලෝකෙ වෙනස් වෙලා. 

මං පුද්ගලිකව කාබනික බීම වලට මනාපයක් නැහැ. ඒ වගේ එක එක සුකුරුත්තං දියර ජාති වලට වඩා ඇල් වතුර ම ගෙනියන එක හොඳයි කියල මට හිතෙන්නෙ. ඇල් වතුරත් කෑන් ගනන් බූලි බැරල් ගනන් ඕනි නැහැ. දොලපාරවල්, ගෙවල්, ලැයිම්, නවාතැන් පොලවල් ආදියෙන් අපිට වතුර ආයෙත් ගන්න පුලුවනි හදිසියක් වුනොත්. 
 
මොන දේටත් කලිං පොටෝව අල්ලලා ඉන්න ඕනි.
බීම කිව්වම කස්ටියට එතනෝල් නිකොටින් වගේ ඒවත් මතක් වේවි.  මම නම් කියන්නෙ ලෝකෙ තියෙන හැම ආතල් එකම නිකොටින් වලිනුයි එතනෝල් වලිනුයි වහගන්න එපා. කඳු ඇවිදිනවා කියන්නෙ වෙනමම විනෝදයක්. ඒ විනෝදය විඳගන්න හොඳ සිහිය තියෙන්න ඕනි. මේ ගමනේ තියෙන දුෂ්කරතාවය වැඩි නිසා ගමන අවසාන කරන්න කලියෙන් අනුමත වෙන එකනම් කෝමවත් අනුමත කරන්න බැහැ. ඕ මත් ජාතිවලින් කික් එකක් එන්නෙ සුවල්ප කාලෙකට විතරයි.  පැය දහයක් තිස්සෙ පයිං යන්න තියෙන ගමනකට ඔය මත් ජාති කියන්නෙ බාධාවක් වේවි. අනික් කාරණාව තමයි වැරදිලා හෝ වනජීවි නිළධාරින්ට හෝ පොලිස් මහතුන්ට හසු වුනොත් සිද්ධිය බරපතලෙට යන්නත් ඔය එතනෝල් නිකොටින් ආදිය හේතු වේවි. 
 
ගෝන රැළක්
මං ගාව තිබුන සේප් ස්මාට් පෝං එකේ මැප් එක සුට්ටක් වැදගත් වුනා. හැබැයි මැප් එකට වඩා අපිට මිනිස්සුන්ගෙන් අහලා අපිම හිතලා ගහගතපු මනෝ මැප් එක වැඩකලා. මැප් නැති එකේ සීතල දැනෙන්නෙ අපිට සම්පූරනයෙන්ම පාර හොයාගන්න බැරුව අතරමං වුනානම් තමයි. නන්පේරියල් වලට ආසන්නයේ එක කොටසක කඳු මුදුන් වලදි පාර අපෙන් ඈතට ගියත්. ආයිත් වාසනාවට වගේ අපිට පාර හමුවුනා.

Thursday, August 29, 2013

මං බැලුව දකුණ වරාය (colombo south harbor)

මමත් සල්ලි සල්ලි කියලා බලන්නෙ නැතුව පොඩි ට්‍රිප් එකක් ගියා පහුගිය දවස්වල කොළඹ අලුත් වරාය බලන්න. ආනේ අපේ ආන්ඩු විරෝධී අයට නම් ටිකක් රිදිල තිබුනා ඒ අලුත් වරාය කෑල්ල බලන්න මිනිස්සු ගිය එකට. ආහ් මෙන්න වැඩක්. අපි ගියෙ වරාය බලන්න අපි ගියෙ ආන්ඩුවට චන්දෙ දෙන්න නෙමෙයි නෙව. වරාය කියන එක මටනම් අමුතු ලෝකයක්. ලෝකයේ බොහොමයක් රටවල වරායවල් කියන්නෙ ඕපන් ස්පේස් එකක්. ඉතාලියෙ ඉන්න මගේ යාලුවෙක් පිංතූරයක් එවලා තිබුනා එයා වැඩට යන පාරෙ කොටසකට වරායක් හමු වෙනවා. නැව් නවත්වල තියෙනවා ලස්සනේට. ඒත් අපිට පහුගිය කාලෙ තිබුන ත්‍රස්ථවාදී කලබල ජාති නිසා වරායක් කියන්නෙ මැජික් එකක් වාගේ එකක් වුනා. ඉස්කෝලෙන් බස් එකක් පුරෝල ගෙනත් වරායට ගියොත් මිසක සාමාන්‍ය මිනිහෙක්ට වරායක් බලන්න අවස්ථාවක් ලැබුනෙ නැහැ. 

අපි හැමෝම ආසයි ලාබෙට ටිකක් නිදහස් තැනක සවාරි ගහන්න. ඒ වාගේ අලුත් තැනක් ලැබුනා මිනිස්සුන්ට කොළඹ දකුනු වරාය. මිනිස්සු ඒක බලන්න යෑම එතන ඉඳන් වරාය ගැන හොඳ කියන එක දිහා තුට්ටු දෙකේ දේශපාලන වෛරයකින් යුතුව බැලීම නරක වැඩක්. දුප්පත් මිනිහෙක්ට අද කාලෙ ලොකු සල්ලියක් වියදං කරලා දුර පලාතක සවාරියක් යන එක අමාරුයි. ඒ නිසා ඒ අය ලේසියෙන්ම දරු මල්ලෝ අම්මල තාත්තල නෑයො යාලුවො එක්ක වරාය බලන්න ඇවිත් තිබුනා. පොඩි ඈයොන්ගෙ ඉඳලා ලොකු අය දක්වා බොහොම උනන්දුවෙන් වරාය නැරඹුවා කියලා මට හිතුනා. 
 මේ තියෙන්නෙ පරණ වරායෙ පොඩි කොටසක්. මේ පසුබිමත් එක්ක බැලුවාම නිකං අර ටිකක් පරණ වීඩියෝ ගේම් එකක තියෙන පසුබිම වාගෙ පේන්නෙ. නවත්වල තියෙන බෝට්ටුව වගේ නැව කේබල් නැවක්. ඒ කියන්නෙ ලංකාව ඇතුලු මුහුදු කේබලවලින් සම්බන්ධවෙලා අන්තර්ජාලය සහ ජාලකටයුතු ක්‍රියාත්මක වෙන මුහුදු කේබ්ල කැඩුනම හෝ රෙපයාර් කරන්න ඕනි වුනාම මේ කේබල් නැව් කෑල්ල ඒ තැන්වලට ගිහිල්ලා වැඩේ කරල දානවා.
මේ තියෙන්නෙ කාල තුවක්කු. අපේ තුවක්කු ලෝකෙට කාල තුවක්කු කියල පෘතුගිසි කාරයා ගැන සිංදුවක් තියෙනවා. මේ කියන කොළඹ කොටුවට තමයි 1505 දි පෘෘතුගීසි කාරයා සැපත් වෙන්නෙ. නම මතක විදියට ලොරන්සු ද අල්මේදා. එයා ගොඩබැහැලා පාන් කකා වයින් බොනකොට මේ අව් අස්සෙ ඒ කාලෙ තිබුන පඳුරු අස්සෙ හැංගිලා අපේ වීර සිංහලයො බලාගෙන ඉන්න ඇති. ඒ බලලා අහක් වෙලා රජතුමාට ගිහින් කේලම කිව්වා ආන්න පාං කකා වයින් බොන පොරවල් ටිකක් කොළොම් තොටට සෙත්ත පෝච්චි වෙලා කියලා. මේ කාලෙ රජවරු කිහිපයක් ලංකාවෙ ඉන්න ඇති. මේ අය ගිහින් කේලම කිව්වෙ නුවර තියෙන රජවාසලට නෙමෙයි. කෝට්ටෙ තියෙන එකට වෙන්න ඕනි. ඉන් පස්සෙ තමයි පරංගියා කෝට්ටෙ යන්න ඇත්තෙ. 
ඉංග්‍රීසි කාලෙ කොළඹ කොටුවෙ තිබුන ලයිට් හවුස් එක තමයි මේක. ඒ කාලෙදි කොළඹ කොටුවෙ මායිමක් විදියට මෙතන තියෙන්න ඇති. නමුත් දැන් නම් මෙතන ඉඳලා මුහුදට ටිකක් දුරයි. ඉන් පස්සෙන් පහු කාලෙක ඩී ඇස් සේනානායක මහත්මයා රට කරපු නවසිය පනස් ගනන් වලදි තවත් ලයිට් හවුසියක් ඉදිවෙනවා කොළඹ කොටුවෙ. 
මේ තියෙන්නෙ ඒ ඩී ඇස් සේනානායක මහත්මයා අගමැති වෙච්චි කාලෙක වැඩ ඇමති තුමා වුන සර් ජෝන් කොතලාවල මහත්මයා ගේ මැදිහත්වීමෙන් හැදුන ප්‍රදීපාගාරය. මේ ප්‍රදීපාගාරය අසලටම මූද තිබිල තියෙනවා කොළඹ වරාය ලොකු කරන්න කලින්. දැන් නම් මේකත් වැඩ නැහැ වගේ තමයි පෙනුනෙ. අලුත් වරාය පුලුල් කරනකොට ලංකා සිතියමේ භූමි පෙදෙසෙට  තවත් වර්ග කිලෝමීටර කිහිපයක් එකතු වෙන්න ඇති. ඒ නිසා ඒ එකතුවුන නව භූමියේ කෙළවර නව ලයිට් හවුසියක් තියෙනවා කියලා තමයි මම පිංතූර වලින් දැක්කෙ. මම අලුත් වරාය ඇතුලට ගියේ නැහැ. ඒ නිසා පිංතූර නැහැ අලුත් ප්‍රදීපාගාරෙ.  අනුන්ගේ පිංතූර වලට කස්ටිය වෙබ් අවකාසෙ මරාගන්න නිසා මම දැන් දැන් ලංකාවෙ අය ගන්න පිංතූර බ්ලොග් එකේ දාන්නෙ අඩුවෙන්. 
මේ තියෙන්නෙ වරායෙ සෑය. ඒ ඇන් ඇස් කුලසිංහ කියන ලංකාවෙ හිටපු මහා මැවිසුරානෝ තමයි මේ සෑය කරවලා තියෙන්නෙ. එතුමානෝ ගේ යුගයේදී ලංකාවට එංගලන්තෙ සහ වෙනත් රටවලින් මගීන් ආවෙ නැවෙන්. ඒ විදියට නැවෙන් ආවම මේක බෞද්ධ රටය, මේකෙ බුද්ධාගම තියෙනවාය කියලා පෙන්වන්න ඕනිය කියලා ඒ කාලෙ අයට හිතිල තියෙනවා. ඒ නිසා වරායේ මුව විට මේ සෑ රජානෝ ස්ථාපනය කරලා තියෙනවා. අමතර වේදිකාවක් එක්ක මේ සෑය තියෙන්නෙ ඈතට දර්ශනය වෙන්න පහසුව පිණිස වෙන්න ඇති. නවසිය පනස් හැට ගනන්වලදි ලියවුන යුගාන්තය, කලියුගය වගේ මාර්ටින් වික්‍රමසිංහ ගේ නවකතා වල නැවෙන් එන පිරිස බලාගෙන ජැටියේ බලාසිටින ජවනිකා පෙන්නුම් කරලා තියෙනවා. 
මේ මෑත යුගය දක්වා මුහුදු රැල්ල ගෑවෙන නොගෑවෙන මානයක තිබුන මේ වරායේ සෑ රජානෝ දැන් නම් අලුත් වරාය නිසා මූදෙන් ටිකක් ඈත් වෙලා. 
අපේ නව කොළඹ නගර සැලසුම අනුව තාප්ප ආදිය ඉවත් කරලා ලස්සන කරනවා. තාප්ප වලිං වටකරන් ඉන්නවාට වඩා නිදහස් ගතියක් තාප්ප නැතුව බිල්ඩින් විතරක් තියෙනකොට මැවෙනවා. මේ තියෙන්නෙ සිංගප්පූරු පාරක් නෙමෙයි. කොළඹ කොටුවේ පාරක්. 
 මේ තියෙන්නෙ පරණ පාර්ලිමේන්තුව. දැන් මේකෙ තියෙන්නෙ ජනාධිපති ලේඛම් කාර්යාලය. මේක ඉස්සර හැඳින්නුවෙ රාජ්‍ය මන්ත්‍රන සභාව කියලා. දැන් තියෙන ලොකු පාර්ලිමේන්තුව හදන්න කලියෙන් කස්ටිය වාද විවාද ආදිය කරලා තියෙන්නෙ මෙතන. ඒ වාද විවාද ආදියෙ තීන්දු තීරණ ආදිය අවුල් ගියාම ජනතාව මේක ඉස්සරහා ගෝල් පේස් එකේදි විරෝධතා පල කලා කියලා පරණ පුවත්පත් වල සඳහන් වෙලා තියෙනවා. උද්ඝෝෂන කරන්න ලිප්ටන් වටරවුමට වඩා ගෝල් පේස් එක හොඳයි. හොඳට හුලං වදිනවත් එක්ක නේ. 
 කොළඹ වරාය බලන්න යන සෙනග දිහා බලාගෙන ඉන්න පුංචි යාලුවො දෙන්නෙක්. මේ යාලුවො හරිම දගයි. නමුත් මේ සුදු අම්මලා තාත්තිලා ලමයි දග කරනකොට ඒ එක්කම පස්සෙන් දුවන්නෙ නැහැ. උනුත් නගින්නෙ නැති තැනක් නැහැ. හැම තැනම රිංගනවා නගිනවා හැබැයි මේ සුදු බබාල හරිම බැලන්ස්. එයාල පඩිපෙලක් බැස්සත් බොහොම ස්ථාවරව ඒ වැඩේට සෙට් වෙනවා. අපේ පොඩි එකෙක් මේ වගේ තැනකට ආවම වැඩිපුරම අහන වචනෙ එපා. යන්න එපා, දුවන්න එපා, පනින් එපා, කෑ ගහන් එපා. අදි වශයෙන් එපා ගොඩායි. නමුත් පොඩ්ඩක් ඔරිජිනල් සුද්දෙක් පොඩි ළමයි හසුරුවන විදිය බලන්න. ළමයාටම ගොඩක් දේවල් අවබෝධ කරගන්න ඉඩකඩ ඔවුන් හදලා තියෙනවා. 
 මේ චූටි පුතා නම් දන්නෙ නැතිව ඇති මේ එයාලටත් ණය ගෙවන්න වෙන එයාලගේ කාලෙදිත් චීනෙට අයිතිය තියෙන ව්‍යාපෘතියක් කියලා. ඒත් පොඩි එකා වරාය බලන්න ඇවිත්. මාත් පොඩි කාලෙ කතරගම ගම්උදාව බලන්න ගිහින් තියෙනවා ජෝති පාල මැරෙනකොට සිංදුත් අහල තියෙනව මේ විදියට ගිහින්. 

 ලංකාවෙ උසම බිල්ඩිම තමයි මේ. ලෝක වෙළඳ මධ්‍යස්ථානය කියන්නෙ මේකට. මේකට කලිං උසම බිල්ඩිම වුනේ ලංකා බැංකුව. ඒකත් තියෙන්නෙ මේ ළඟමයි. මේ බිල්ඩින් දෙක ලස්සනයි. නමුත් ඇතුලෙ ටොයිලට් වල වතුර නැති එක විසාල ගැටලුවක් කියලා තමයි ගොඩක් යාලුවො කියන්නෙ. කන්නෙ බොන්නෙ බටහිර විදියට වුනාට අපි රෙන්නෙ සිංහල විදියට කියලා මේ බිල්ඩිම ප්ලෑන් කරපු අයට මීටර් වෙන්නෙ නැතුව ඇති. 
 
කාක්කො දෙන්නෙක්, පොරක් ,වේටර් වරයෙක් සහ හෝටලයක එලිමහන් තැනක්. ලස්සනයි නේ. 
මේ ඉන්නෙ ස්වීප් විකුනන අංකල් කෙනෙක්. ටිකක් වයසක මනුස්සයෙක්. එදා කස්ටිය මේ හරියෙට එක්රැස් වෙන නිසා එයා එතන්ට එන්න ඇති. තව අන්නාසි මාමෙකුත් හිටියා මේ අහල පහලම. මේ හරියෙන්ම පාරේ එහා පැත්තෙ හෝටලයක් සූම් කරලා තමයි අර ඉහල පිංතූරෙ හෝටලේ ඉඳන් පොතක් කියවන පොරගේ පිංතූරය ගත්තෙ. මෙතන ඉඳන් ටිකට් ගන්න දුප්පත් මිනිස්සු ප්‍රාර්ථනා කරනවා ඇත්තෙ අර හෝටලේ එලියට වෙලා හුලං වැදි වැදි නිස්කලංකෙ පොත් බල බල ඉන්න මනුස්සයාගේ ජීවිතය වෙන්න ඇති. 
මේ තියෙන්නෙ කාගිල්ස් බිල්ඩිම. මේ ජාතියෙම කාගිල්ස් බිල්ඩිමක් නුවරත් තියෙනවා. මම නුවර ගිය වෙලාවක ඒකෙ පඩියෙ තියෙන පිංතූරෙකුත් ගත්තා. බොහොම බර කාලෙකට ඉස්සරවෙල හදපු බලගතු බිල්ඩිමක්. මේ බිල්ඩින් එකේ රතුපාට ගාල තියෙන්නෙ ඇයි දන්නෙ නැහැ. කොහොම වුනත් කොටුවෙ තියෙන මේ බිල්ඩිම ඡායාරූප ගන්න පුළුවන් වෙල තියෙන්නෙ මේ ළඟදි. යුද්ද කාලෙ මේ හරියෙ කැමර් එකක් හරවන්නවත් දෙන්න නැතුව ඇති. 
මේ තියෙන්නෙ නුවර කාගිල්ස් එකේ දොර ගාව තියෙන සලකුණ. මේ වගේම එකක් කොටුවෙ එකෙත් ඇති. බලන්න ඕනි ඊලග දවසෙ ගියාම.

අපේ මාලු වාඩි චාරිකාව.tour of fishing huts

මේක මාලු වාඩියක් කිව්වට තියෙන්නෙ හැටන් මස්කෙළි පළාතෙ. ඉස්සර සුද්දගෙ කාලෙ සුද්දො හරි ආසයි නේ උන්ගේ රටේ විදියට මාලු බාන්න. ඔය විදියට මාලු බාන්න ඕනි නිසා හෝටන් තැන්නට පිටරට ට්‍රවුට් කියන මාලු ජාතිය ගෙනැත් දැම්මා කියලා කතාවකුත් තියෙනවා. සමහර විට හෝටන් තැන්න කියන එකට සුද්දගේ හිත ගොඩක්ම යන්න ඇත්තෙ ඒ හරියෙ තියෙන සෞම්‍ය කාලගුණය සහ පසුබිම ඒ රටවල තිබුන පසුබිමට සමාන හින්දා වෙන්න ඇති.

අපි ගමන ආරම්භ කලේ සිකුරාදා රෑ. සාමාන්‍යෙයන් රාත්තිරි ට්‍රිප් පටන් ගන්නෙ නැහැ. නමුත් අපි රෑටම යන්න තීරණය කලා. මුලින්ම අපි ටිකට්ස් වෙන් කරගත්තා දුම්රියේ. බදුලු දුම්රියේ රාත්‍රි තැපැල් එකේ තමයි අපි ගියේ. රාත්‍රි තැපැල් දුම්රියෙ 3 වන පංතියේ නිදන මැදිරි වල තමයි අපෙ කන්ඩායම ටිකට් බුක් කරගෙන තිබුනෙ. හොඳ වෙලාවට ටිකට් බුක් කරගෙන තිබුනෙ. නැත්තං දෙවන පංතියේ පවා හිටගෙන මිරිකිල තෙරපිල සෙනග.
ඉතිං කොටුවෙන් කෑලි හතරයි. ගම්පහින් තව කෑලි තුනකුයි වගේ සෙට්වුනා ගමනට. අපි කෝච්චියේ මගදි සිංදු කිව්වා. නිදන මැදිරිවල සිංදු කියන එක අනික් මගීන්ට බාධාවක්. ඒක අපිට හිටපු සේවක මහතා අවබෝධ කරලා දුන්නා. නමුත් එක ජෝඩුවකට ඇර අනික් අයට අපි සිංදු කියන එක වදයක් වෙලා තිබුනෙ නැහැ. අති බහුතර ඡන්දයෙන් අපේ සිංදු කීම උඩට ආපු නිසා අපි වැඩේ නැවැත්තුවෙ නැහැ. වවුලයේ ගෙදර ආවනං එල්ලිල ඉන්න ඕනි. ලංකාවෙ කෝච්චි දුවන්නෙ ලංකාවෙ. ඉතිං ඒක ඒ විදියට කුජීත විදියට තියාගන්න එක අපේ වගකීම.
සමාරවිට වෙන රටවල මගීන්ට බාදා වෙන විදියට කෑ ගහන්නෙ හු කියන්නෙ සහ විවිද දේවල් පානය කරන්නෙ නැතුව ඇති. ඒ ඉතිං බොලං ඒ රටවල නෙව. මේ අපේ රට. අපේ තියෙන සක්කිලි ගති ටික නැට්ට උස්සල පෙන්නල යන එක අපේ යුතුකම. ඒ නිසා අපි දන්න සිංදු කවි කතා විරිදු ගොඩක් කිව්වා. හැබැයි අසභ්‍ය ඒවා අපි කිව්වෙ නැහැ. මොකද පොඩි ලමයි හිටපු නිසා. ලක්ෂණ නංගිලා හෝ අක්කලා තුනක් හතරක් හිටියා. එයාලත් හොර පූසියො වගේ නිදි කිර කිර සිංදු අහ අහ හිටියා. එයාලට ආසාවක් තිබුනා අපිත් එක්ක ජොයින් වෙලා පොඩි ෆන් එකක් ගන්න. නමුත් ඉතිං දන්නෝ නේ ලංකාවෙ හැටි. පිට සෙට් එකක් එක්ක සෙට් වෙන්න තියා සමහර දෙමව්පියො තමුංගෙ දෝනියන්දැට ඒ දිහා බලන්නවත් දෙන්නෙ නැහැ. හරිම තද නීතියක් නෙව ගෑනු ළමෝට මෙහෙ තියෙන්නෙ.
සිරාවට මට මේ චාරිකා යන නොයෙක් වතාවල ලාංකිය ගෑනු ගැන දුක හිතෙනවා. හැමෝම නොවුනත් අති බහුතරය හිරවෙලා. බඳිනකං ගෙදරට රිපෝට් කරන්න ඕනි. බැන්දම මිනිහට පැය බාගෙන් බාගෙට සමහර විට අප්ඩේට්ස් දෙන්න ඕනි. බුදු හාමුදුරුවො පහල වෙච්චි සමාජයට කලිං තිබුන බමුණු සමාජයට වැඩියෙං තාම සුට්ටයි අපි දියුනු වෙල තියෙන්නෙ. ඩෙනිම් ඇඳල කොටට පලල අරුමෝසම් දාල ගියාට ආකල්පිය වශයෙන් පට්ට හිරවීමක හිරවෙලා ඉන්නෙ ලංකාවෙ ගෑනු.
අපි රෑ දෙකට දෙක හමාරට විතර හැටන් වලින් බැස්සා. කෝච්චිය ඇතුලෙ නැටුංගැයුංබයිලා සපිරි විනෝද සාගරයක හිටපු නිසා සීතලනොදැනුනාට දැන් දැන් ඇඟට සීතල සුළඟ වදිනවා. හැටන් තියා කොළඹ වුනත් රෑ දෙකට විතර පුදුම සීතලනේ තියෙන්නෙ. ඉතිං මේ අව් අස්සෙ අපි යොදාගෙන තිබුන විදියට අපි ඒ උදේ වෙනකල් පැය කීපය නවතින්න යොදාගෙන තිබුන තැනට ගියා. එතන්ට යන්ට කලියෙං ඒ තිබුන රෑ කඩේකින් රොටි කිහිපයක් බඩට දාගන්න අපි අමතක කලේ නැහැ.

ඉන් පස්සෙ කාල අහක් වෙලා අපි නිදාගන්න තිබුන තැනට ගිහින් නිදාගත්තා. නිදාගන්න අපි යොදාගත්ත තැන බිමට ලෑලි අල්ලල තිබුනෙ. එතන සීතල අඩුයි ඒ නිසා. අපි රොටි කෑව කඩෙන් අසා දැනගත් විදියට උදේ හයට නල්ලතන්නියට බස් එකක් තියෙනවා හැටන් වලින්. ඉතිං අපි උදේ හයට නැගිටින්න හිතාගෙන පොඩ්ඩක් මූන කට යන්තමට හෝදගෙන නවාතැනේ නිදාගත්තා.
හයට යන්න පහමාරට වත් නැගිටින පිවිතුරු අදහසින් නිදාගත්තට මොකෑ කාටවත් පහමාර හය වෙනකොට නැගිටුනේ නැහැ. මොකෙක් හරි අපි එක්ක ගිය ගෝතයෙක්ගේ පෝන් එක සද්දෙ වෙන්න ගත්තා ඔන්න හයට විතර. පුදුම කන්දොස්කිරියාවක්. අපි උදේ නැගිට්ටෙ ඌට දෙස් දෙවොල් තියාගෙන. නැගිටලා හොඳ ළමයි වගේ රෑට දත් පේන් නැති නිසා උදේට විතරක් දත් මදින අපි හොඳට දත් ටික මැදලා මූන සෝදගත්තා අයිස් වගේ වතුරින්.

දැන් ඉතිං බස් බැලිල්ල තමයි තියෙන්නෙ. මස්කෙළියට යන එක තමයි අපේ අරමුණ වුනේ. හැටන් වලින්ම වාහනයක් අරං යන්න අපි හිතුවත් මස්කෙළිය කියන්නෙත් සැළකිය යුතු ටවුමක් නිසා එතන්ටම ගිහින් බස් අපි එතන ඉදලා යන එක ගැන කල්පනා කරන්න ඕනි කියලා හිතුවා. ඉතිං මස් කෙළිය බස් නැවතුමට ආව විතරයි අපේ සමහර ජනී ජනයා අතර කසුකුසුවක් හටගත්තා උදේ කෑම ගැන. උදේ කෑම හතහමාරට විතර ගන්න ඕනිද මන්දා. ඒත් ඉතිං හැම මතේටම තැනක් තියෙන්න ඕනි හැම යාලුවම ‍ෙෆන්ඩෙක් කියලා සංගත් කියන්නෙ. ඒ නිසා ඔන්න අපි බස් එක පෙනි පෙනි පොඩි පෙට්ටි කඩයක් ඇතුලට රිංගුවා.

රිංගුවට මොකද ඒක අස්සෙ අපේ මලු ටික දැම්මම කඩේ වේටර් කොල්ල හැරෙන්නත් ඕනි අමාරුවෙන්. කෝම හරි රොටී සහ උලුඳු වඩේ වලිං අපි පාතරාසය සපුරා ගත්තා. පාතරාසය කියන්නෙ බ්‍රෙක් ෆස්ට් එකට මතක විදියට. කස්ටිය විනාඩි දෙක තුනෙන් කනවා කිව්වට කෑම අපට ලැබෙන්නත් විනාඩි දහයක් විතර ගියා. ඒ නිසා අර තිබුන බස් එක ගිහින් අපි කාල හමාර වෙනකොට.
මුලින්ම කාල ඉවරවෙලා කඩෙන් එලියට බැස්ස සහෝ දුවල ගිහින් බස් එකෙ නැගලා සීට් එකකත් වාඩි වෙලා. අනික් උන් කාල සල්ලි දීල දුවගෙන එනකල් බස් එක හිමිට අද්දනවා. ඉන් පස්සෙ කාල ඉවරවෙලා කඩේන එලියට බැස්ස බැස්ස එකා හෝ ගාල බස් එකට දුවනවා. දුවලා නැගගත්තා මස්කෙලි බස් එකේ. හප්පා මම වාඩිවුනේ විබාගෙට යන්නද කොහේද යන කෙලි නැට්ටියෙක් ගාව. පොඩි ගෑනු ලමයෙක්. අපිට ඉංගිරිසි වචනයක් දෙකක් තලාගන්න හැකි වුනාට අපේ රටේ දෙක වෙනි බස වෙච්චි දෙමල බැරි අකේ අරුමෙ තේරෙන්නෙ එතකොට.

ආ නංගි එක්සෑම් යනවද කියලවත් අහන්න දෙමල දැනගෙන ඉන්න එපායැ. ඒ නංගිත් අපරාදෙ කියන්න බැහැ හොඳ භක්තිමත් තැනැත්තියක්. කෝවිලක් දැක්කද පොඩ්ඩක් පස්ස උස්සලා ඔලුව නමාල පොඩි ගරුසරුවක් දානවා. ඒ නංගිලා ලොකු වෙලා හොඳ කෑලි බවට පත්වෙලා කොළඹ ඇවිත් ආයෙත් ගම්වලට යනකොටත් ඔය වගේ සිරිත් ගමට ආයේත අරං යනවා නම් හොඳයි. ගොඩ අයට ටිකක් ඈතට ගියාම මුල හරියෙ සීන්ස් සම්පුර්ණයෙන් අමතක වෙනවා.
අපි මස්කෙලියෙන් බැස්සා උදේ නවයට විතර. දැන් ඉතිං අපේ වැඩේ තමයි මරේ වත්තෙ ෆිෂින් හට්ස් වලට යන්න වාහනයක් හොයා ගන්න එක.අපි යන ෆිෂින් හට්ස් කියන තැන අපි වියලි ආහාර එලවලු අනම් මනම් හාල් ඇටේ සිට සීනි කැටේ දක්වා අරං යන්න ඕනි. අපෙ යාලුවො දෙන්නෙක් ඒවා මිලදී ගත්තා. අනික් පිරිස තැන් තැන්වල. ඒ අය යන්න වාහනයක් හෙව්වා. අපිට නල්ලතන්නිය බස් එකේ යන්නත් තිබුනා. නමුත් නල්ලතන්නි පාරෙ බැහැලා කිලෝමිටර් දහයක් පාලවක් විතර දුර තියෙනවා ෆිෂින් හට්ස් වලට.
මරේ වත්තට යන්න බස් එකකුත් තියෙනවා. ඒ බස් එක උදේ 11ට විතර තමයි යනව කියල තිබුනෙ. අපි ඉතිං පොඩි ඩිමෝ බට්ටා වගේ වාහන තමයි කතා කලේ. ලැබුන ආරංචි වල හැටියට සාමාන්‍යෙන් රළු භාවිතය සඳහා සැකසුනු වාහනයට ඇර ඒ පාරෙ යන්න බැහැ. ෆෝ වීල් වාහන හයර් කරන් යන්න තරම්ම අපි පෝසත් නෑනෙ. ඉතිං වාද විවාද වලින් පස්සෙ අපිට යන්න සහ එන්න රුපියල් හාරදහට ඩිමෝ බට්ටෙක් සෙට් කරගන් පුළුවන් වුනා. මේ හාරදාහ කිව්වට මේකෙ නියම ගාන පහක් හයක් විතර වෙනවා. මිනිහා කලිං ගාන කිව්ව මෝඩ කමට ගියා වගේ කියලා තමයි හිතුනෙ.

අපි ගිහින් දාල ඊළඟ දවසෙ ආයිත් අපිව එක්කරං එන්න ගියොත් ගාන ඩබල්. ඒ නිසා අපි අපිත් එක්ක ඒ ගිය රියදුරු අරුන්ව නවත්වගන්න අපි කැමති වුනා. අරුන් කියන්නෙත් එල කොල්ලෙක්. අපිට පොඩි භාෂා අවුලක් තිබුනට අපිට සෙට් වුනා මිනිහා සුටුස් ගාල. සිරාවටම මම හිතන්නෙ අපේ ආන්ඩු කරන උන් හිතාමතාම තමයි අපිට දෙමල බාසාවත් අරුන්ලාට සිංහල බාසාවත් ඒ තරම් බරක් දාල උගන්වන්නෙ නැත්තෙ. එහෙම අපි ඔක්කොම එකිනකා අදහස් හුවමාරු කරගන්න මට්ටමට දියුනු වුනානම් අපි ඔක්කොන්ටම තේරෙනවා අපිට මේ දේසපාලන,නිළධාරි පාලකයෝ හැමදාම අනික් ජාතියෙ එවුන් හතුරෝය කියලා පෙන්නලාඑකම ජාතියෙ බෝල බස්සනවා කියලා.
අපි නල්ලතන්නියට එනකල් වැඩි අමාරුවක් නැතුව ආව. ඩිමෝ බට්ට කිව්වට ඒකෙ පැදුරු කීපයක් දාගෙන බිම ලැගගෙන තමයි අපි වත්තට ගියෙ ආවෙ. හරිම දුෂ්කර තත්වයක්. නල්ලතන්නියෙන් මරේ වත්තට වාහනේ දැම්ම විතරයි එතෙක් තිබුන ගැස්සිල්ල දෙගුණ තෙගුණ වුනා. වත්ත අයිති වෙන්නෙ වතු අධිකාරිවරයාට. වතු අධිකාරිවරයාට අයිති වත්තෙ පාරවල් හදන්න ඕනි ඒ අධිකාරිතුමා. ඒ නිසා මහින්ද චින්තනයෙන් මග නැගපු,ගම නැගපු පාරවල් තිබුනෙ නැහැ වත්ත ඇතුලෙ. ඒත් සමහර තැන්වල කොන්ක්‍රිට් කරලා තිබුන පාර.

වතු අධිකාරි තුමාට ෆිෂින් හට්ස් වලට යන්න විතරක් පාර හදන එක පාඩුයි. අනික් ඉතිං ප්‍රවාහන අවශ්‍යතාවලට ලොකු පරණ වෑන්,ඩිමෝ බට්ටා සහ මහටැක්ටර යොදාගන්නවා ඇති. වත්තක් කියන්නෙ වත්ත ඇතුලෙ මිනිස්සුන්ගේ ලෝකය. අපි කොයි තරම් ධර්ම කතා දේශනා ආදිය ඇහුවත් මේ වතු ජනයාගේ ගැටලුවලදි වතු ඇතුලෙ වැඩකරන මිනිස්සු කියන්නෙත් අපිට වගේම මානව අයිතින් තියන මිනිස්සු කියාල පිලිගන්න අපි කැමති නැහැ. දැන් දැන් නිවුස් වල එක එක වතුවල සිදුවන විෂමාචාර ගැන වාර්ථා යනවා. මම හිතන විදියට මාධ්‍ය වලින් ඔය සිද්ධියක් දෙකක් උඩ දැම්මට ලංකාවෙ බොහොමයක් විසල් වතුවල වැඩකරන මිනිස්සු නොයෙකුත් දුක් ගැහැට විඳිනවා හරියට ඒබ්‍රහම් ලිංකන්ට කලින් ඇමරිකාවෙ හිටිය වහල්ලු වගේ.

අපි වත්ත දිගේ ලැයිම් පහුකරගෙන ෆිෂින් හට් වලට යනකොට පිටිපස්සෙ ඔහේ ලැගලා හිටපු අපේ අස්ථි පංඡරය ඇඹරිලා ගිහින් වගේ දැනුනා. අපි බැස්සම වත්තෙ සුපිරින්ඩන්ට් වගෙ කොල්ලෙකුයි තව උයන යාලුවයි අපිට එකතු වුනා. අපි තමයි එදා ඒ හට්ස් හතරෙම හිටපු එකම සෙට් එක. ඒ කිව්වෙ වෙන කන්ඩායම් හිටියෙ නැහැ. සිරිපාදෙ කාලෙට නම් කස්ටිය එනවා කියලා උයන යාලුවා කිව්වා. උයන යාලුවා කියන එක වටින්නෙ නැහැ. නමුත් අවාසනාවට මට උයන්න හිටපු අයියගේ නම මතක නැහැ. ඒ ගැන සොරි වෙන්න ඕනි.

Tuesday, August 27, 2013

මරේ වත්ත මාලු වාඩිය සවාරිය.Mare Estate Fishing Hut at Maskeliya





මරේ වත්ත තියෙන්නෙ නල්ලතන්නියට යන පාරෙ. නල්ලතන්නිය කියන්නෙ හැටන් පාරෙන් සිරිපා යන පිවිසුම. මස්කෙළියෙ ඉඳන් කිලෝමීටර 13ක් විතර තිබෙනවා නල්ලතන්නියට. හැටන් වල ඉඳන් කිලෝමීටර 30ක් විතර තියෙනවා. ඉතිං නල්ලතන්නියෙ ඉඳන් ෆිෂින් හට් කියන නවාතැනට කිලෝමීටර දහයක් පාලවක් වගේ තියෙනවා. කොහොම වුනත් සිරිපා සමයෙදි මේ මරේ වත්ත සහ ෆිෂින් හට්ස් වලට කිට්ටුම ප්‍රධාන නගරය තමයි මස්කෙළිය. කන බොන හැම දේම ගන්න පුළුවන් හොඳට සිග්නල් තියෙන ටවුම තමයි මස්කෙළිය. නල්ලතන්නියත් ජනාකීර්ණ ටවුමක් සිරිපා සමේදි. නමුත් අවාරෙට නල්ලතන්නිය පාලුයි.
මාඋස්සාකැලේ ජලාශය වටේ ගිහින් තමයි අපි නල්ලතන්නියට යන්නෙ මස්කෙළියෙ ඉඳන්. මේ මාඋස්සාකැලේ ජලාශය හදනකොට ඒකට ගිහිපු පිරිසක් නල්ලතන්නියෙන් සිරිපා වලට තියෙන කෙටි පාර හොයාගත්තා කියලා මම වෙබ් අඩවියකින් කියෙව්වා. සමහර විට ඇත්ත වෙන්න ඇති. සිරිපා යන සිරාම පාරවල් වෙලා තියෙන්නෙ රත්නපුර, කුරුවිට එරත්න වගේ පාරවල්. රජ කාලෙ රජගොල්ල ගිහින් තියෙන්නෙ මේ රත්නපුර පැත්තෙ පිවිසුම් වලින්. නටඹුන් සෙල්ලිපි ආදිය සහ ඔරිමජිනල් ඉදිකටුපාන, අහස් ගව්ව, ලිහිණිහෙල, සීත ගඟුල තියෙන්නෙත් රත්නපුර පැත්තෙන් එන පිවිසුමේ. පසුකාලීනව හැටන් පාර ලේසි නිසා ඒ පැත්තෙන් සිරිපා කරුණාකරන්න බැතිමතුන් වැඩිපුර පෙළඹෙන්න ඇති. ලේසියට ගියාට ස්වභාව සෞන්දර්ය සහ වන අසිරිය අතින් හැටන් ප්‍රධාන පිවිසුම වන නල්ලතන්නියට වඩා අනික් මාර්ග වලිව් සිරිපා ගමන වඩා පියකරුයි.

ෆිෂින් හට්ස් කියන්නෙ සිරීපාදෙ හැටන් මාර්ගෙ කිට්ටුව තියෙන නවාතැන් පොලක්. සීතල, වනසතුන්, වනඅසිරිය සහ දිය ඇලි සපිරි බිමක සොඳුරු දිනක් දෙකක් ගෙවාගන්න පුළුවන් තැනක් තමයි ෆිෂින් හට්ස් කියන්නෙ. ෆිෂින් හට්ස් වල ගානනම් ටිකක් සැරයි වගේ. දහ දෙනකුට රුපියල් දහ දාහක් වගේ යනවා එක රැයකට. සමහර විට මීට වඩා රුපියල් දෙදාහක් විතර අඩුවෙන්නත් පුළුවනි.

නල්ලතන්නියෙන් හැරිලා කිලෝමීටර 15ක් විතර මරේ වත්ත කියන විසාල තේවත්ත මැදින් තමයි මේ නවාතැන් පොළවල් වලට යන්න තියෙන්නෙ. මරේ වත්ත කියන විසාල තේ වතු යාය විසාල කඳු යායක් පුරා පැතිරිලා තියෙනවා. කොටස් ගානකින් සමන්විත මෙම වතුයායේම එක්තරා කොටසක කෙළවරේ තමයි ෆිෂින් හට්ස් තියෙන්නෙ. කොහොම වුනත් නල්ලතන්නියෙන් හැරිලා යන්න තියෙන පාරනම් අජපල්. වලවල්, ගල්ගෙඩි ගැටි පිරිච්ච මේ මාර්ගයේ සාමාන්‍ය කාර් රථයකට බස් රථයකට යන්න බැහැ. ඩිමෝ බට්ටා හෝ හොඳ ෆෝ වීල් වාහනයක් තියෙනවා නම් හොඳයි වැඩේට. ටිකක් උස වෑන් එකක් වුනත් ඒ තරම්ම අවුලක් නැහැ.

පහසුකම්.

නිදාගන්න සුවපහසු කාමර තියෙනවා. නාන්න වතුර ටික ළඟ තියෙන දොලේ නිල් කැටේට වගේ තියෙනවා. ටොයිලට් පහසුකම් තියෙනවා. නමුත් විදුලි බලය නම් නැහැ. විදුලි බලය ලඟටම ඇවිල්ල තිබුනත් වතු අධිකාරිවරු කැමති නැහැලු මෙතන්ට විදුලිය ගන්න. අපි එක්ක කතා කල කෝකි අයියා කිව්වෙ එයානම් ලයිට් එනවාට ආසයි කියලා. නමුත් ලයිට් ආවම මේ ෆිෂින් හට්ස් වල තියෙන ස්වාභාවික ගතිය නැතිවෙල යාවි කියලා මට හිතුනා. කුඩා ලමයි එහෙමආවත් සීතලයි කියලා උනුවතුර නාගන්න විදියක් නැහැ. මේ විදියටම ඉන්න වෙනවා.

ඇඳන් හදල තියෙන්නෙ ලීයෙන්. කොළඹ වගේ පැත්තක දේසගුනේට හුරුවුන අය යනවා නම් ජැකට්, බ්ලැන්කට්, බෙඩ්සීට් ආදිය අරං යනවා නම් ඒක සරීර සනීපෙට හොඳයි.

සුද්දො ඉන්න රටවල සෘණ අගයන්ටත් සීතල යනවාලු. උන්ට නම් මේවා ගානක් නැතුව ඇති. ඒත් අපිට නම් මේක මැජික්. මොකද කෝක් බෝතලේ පිටින් පැයක් දෙකක් දොලේ දාල තිබ්බහම සීත පෙට්ටියෙ දාල තිබුනා වගේ කෝක් එක සීතල වෙලා. ඒ තරම් සීතල. වතුරට බහින්න බැහැ දවල් වෙනකල් ගල් වෙන්න අයිස් දියවෙච්චි වගේ සීතල. අපි අරං ගිය මස් කුකුලා පැය හතරක් විතර වෙනකල්ම ගල් වෙලාම තිබුනා. කෑම ජාති වුනත් ඉක්මන්ට නරක් වෙනවා අඩුයි ඒ සීතලට.

බලන්න තියෙන දේවල්.

මේකනම් හරිම වෙනස් වෙන සුලු දෙයක්. සමාරු ලෝකාන්තෙ බලන්න හෝටන් තැන්නෙ කිලෝමීටර් ගානක් පයින් ගිහිං කකුල් කැඩෙනකල් ඇවිදලා ඇවිත් වාහනේ ළඟට වෙල කකුල් අතගගා කියනව අයියෝ අපි මේ මොකද මෙච්චර අමාරුවෙන් පල්ලමක් බලන්න ගියෙ කියලා. හෝටන් තැන්නෙ තියෙන විශේෂ භූමි දර්ශන, විශේෂ ආකාරයේ වෘක්ෂලතා බෑවුම් ආකාර මනරම් දර්ශන එයාලට දැනිල නැහැ. ඇවිද්ද එකේ අමාරුව විතරක් කකුල් දෙකට දැනිලා.

සමහර විට ගැස්සි ගැස්සි පැය එකහමාරක්දෙකක් මරේ වත්ත ඔස්සේ ගිහින් ෆිෂින් හට්ස් බලන්න ආවම සමහ ර අයට හිතෙයි. අයියෝ මොකද්ද මේ විකාරෙ මීට වඩා හොඳ නැද්ද කොළඹ ඒසී කාමරයක් මිල අඩු තැනකින් බුක් කරගෙන බෝතල් ටික සෙට් කරගෙන කස්ටියම බිව්වනම් කියලා. ඒත් කොළඹ ඒ සී කාමරෙයි මේවගේ ස්වාභාවික වායුසමන තැනකයි තියෙන තත්වය පස්ට වෙනස්. ඒකෙ වෙනස දැනෙන්නෙ නැත්තං ඉතිං සොරිම තමයි.

සත්තු
ඉත්තෑවො, ගෝන්නු, කොටි මීමින්නො වගේ විසාල සත්තු වගේම අකාර ගනනාවක සර්පයින්, පක්සීන් මකුළුවන්,සමනලයින් ආදි සමනල අඩවියේ ඉන්න බොහොමයක් සත්තු මේ අපි බලන්න ගිය කැලෑ පෙදෙසේ ඉන්න ඇති. නමුත් අපේ ඇස ගැටුනේ කුරුල්ලො කිහිප දෙනෙක් විතරයි. ඒ වගේ එක එක සත්තු ජාති ඉන්නව කියලා බෝඩ් නම් ගහල තිබුනා. අපේ හට් එකේ ඉවුම් කටයුතු කරපු අයියත් දැකල තිබුනා එදා රෑ ගෝනෙක්. නමුත් අපි දැක්කෙ නැහැ නෙව. ගෝන දැක්ක වෙලාවෙ අයියට අපිට මිස් කෝල් එකක් වත් දෙන්න තිබුනා කියලා අපිට හිතුනා. ඒත් පස්සෙ කල්පනා වුනා ඒකටවත් මොබයිල් සිග්නල් නැහැ කියලා.


වතුර සහ දිය ඇලි.

මේ ළඟින් ගලා යන දිය පාරට නමක් තියෙන්න ඇති. නමුත් අපි දන්නෙ නැහැ නම මොකද්ද කියලා. ඒ දිය පාර දිගේ අපේ හට්ස් තියෙන තැන ඉඳලා කිලෝමීටර දෙකක් විතර උඩහට ගියාම තියෙනවා මීටර දහයක පාලවක විතර ලස්සන දිය ඇල්ලක්. දිය ඇල්ල ළඟ හරිම හීතලයි. වතුර වැටිලා හිරිගඩු පිපෙනවා. දිය ඇල්ලට යන්න විශේෂ පාරක් නැහැ. මේ දොලපාර හෝ ඔය දිගේ ගලින් ගලට පැනලා තමයි ඉහලට යන්න තියෙන්නෙ. ඒකත් මහ පුදුමාකාර අත්දැකීමක් වුනා. එක ගමනක් වැටෙන්න ගිහින් මගේ කැමරාවත් සෙත්ත පෝච්චි වෙනවා තව ටිකෙන්. යන්තම් කැමරාවට වතුර ටිකක් ඉහුනා. නමුත් ඇතුලට වතුර ගිහින් තිබුනෙ නැහැ.

සිරීපාදෙ.

මෙතන ඉඳලා සිරිපාදෙට පැයදෙකක් වගේ ගමනක්ලු තියෙන්නෙ. මේ ෆිෂින් හට්ස් තියෙන තැනට එපිටින් සිරිපා දේ හැටන් පාරේ මහගිරිදඹේ කිට්ටුවට වැටෙන සෝට් කට් එකක් තියෙලු. සමහර කාල වල සිරිපාදෙ බාර නායක ස්වාමින් වහන්සේලා සහ ලොකු ලොකු උදවිය මේ පාරෙන් සිරිපා යනවාලු. ඒ වගේම සිරිපා කාලෙට සිරිපා වලට තියෙන අඩු දුර නිසා ෆිෂින් හට්ස් වලට හොඳ කාලයක් උදාවෙනවා කියලත් අපිත් එක්ක කතා කරපු කුක් අයියා කිව්වා. සිරිපාදෙ මහගිරිදඹේට පහලින් හෙලිකොප්ටර් අංගනයක් හදන්න යන කතාවක් තිබුනා නේ. මං රත්නපුර පැත්තෙන් සිරිපා බැස්ස වෙලේ එහේ කඩවල් හිටපු අය කිව්වෙ ඒ පැත්තෙ තමයි හෙලිකොප්ටර අංගනය හදන්න ගියෙ කියලා. නමුත් මේ පැත්තෙ ඒ කිව්වෙ හැටන් පැත්තෙ අය කියනවා මේ වත්ත කිස්ටුව තියෙලු මහ තැනිතලා බිමක්. ආන්න එතන ඔය කියන හෙලිකොට්ටර අංගනේ හදන්න යනවා කියලත් ඒක බලන්න සහ සැලසුම් කරලා පාරවල් හදන්න මහත්තුරු ඇවිත් කතා කලා කියලත් අපේ කුක් තුමා කිව්වා. කුකා කිව්වට ඕවා ඉතිං කුකාගේ නයාද දන් නැහැ.

තරුණ පිරිසට විනෝද වෙන්න ස්වභාව සෞන්දර්යය විඳින්න හොඳ තැනක් තමයි මස්කෙලිය ෆිෂින් හට්ස් කියන්නෙ. ඉතිං කැමති කෙනෙක්ට ෆිෂින් හට්ස් ගැන විස්තර අන්තර්ජාලයෙන්ම සොයාගත හැකි ගූගල් සෙවුමක් මගින්.

නූතන පටාචාරාවත

විසිතුරු බඩුව ඇය කිසිවිට නැහැ සැලුනේ.. බියකරු වනය බිය නැහැ ඇය වෙත දැනුනේ.. සිය සැමි නැතිය එන මග දරු අහිමි වුනේ.. නැති විය සිහිය ...