Saturday, January 4, 2014

රජරට වකුගඩු සිහින 1 kidney dreams

ලංකාවේ රජරට ප්‍රෙද්ශයේ වකුගඩු රෝගයක් දැන් වසර කිහිපයක සිට ව්‍යාප්ත වෙමින් පවතී. අනුරාධපුර පොලොන්නරු ප්‍රෙද්ශයෙන් ආරම්භ වුන මේ වකුගඩු මාරයා දැන් කුරුණෑගල මාතලේ ආදි දිස්ත්‍රික්ක කරාද ව්‍යාප්ත වෙමින පවතී. මේ වකුගඩු රෝගය ඇතිවන්නේ ඇයිදැයි යන්න ගැන බොහෝ මතිමතාන්තර ඇති අතර ඒවා බොහොමයක් සනාථ නොකල මත වෙයි.

ආසනික් විස වීම නිසා වකුගඩු රෝගය ඇතිවන්නේ යැයි පතල මතයක් ඇති අතර ආසනික් විස වීමෙන්, දැනට බහුල ලෙස පැතිරී ඇති වකුගඩු රෝගය ඇතිවිමට පෙර වෙනත් රෝග ලක්ෂන ගනනාවක් ඇතිවෙන බව ප්‍රකට වෛද්‍ය මතය වෙයි. ආසනික් කැඩ්මියම් ආදී ලෝහ ජාති සිරුරට අහිතකර මුත් මේ ඇතිව තිබෙන වකුගඩු රෝගය ආසනික් නිසා ඇතිවූවකැයි කෙලින්ම පැවසිය නොහැක. ආසනික් ශරීරගත වූයේ නම් වකුගඩු අකර්මන්‍ය වෙමින් සෙමෙන් වැඩිවෙන මේ වකුගඩු රෝගයකට එහා ගිය ක්ෂණික තත්වයන් ඇතිවීමට ඉඩ ඇති බව දොස්තර මහත්වරුන්ගේ මතය වෙයි.

ක්ලෝරයිඩ්,ෆ්ලුවොරයිඩ් ආදී දේ ද, නිකල් කැඩ්මියම් වැනි ලෝහද උතුරුමැද පලාතේ පානීය ජලයෙ අනුමත ප්‍රමාණයට ඇති බවද ජලයේ ඇති කිවුල් ගතියද අනුමත ප්‍රමානයට වැඩි බවද සොයාගෙන ඇත. නමුත් මන්නාරම කල්පිටිය පැත්තේ ජනයා ද දිවයිනේ වෙනත් ප්‍රෙද්ශවල ජනයාද මේ කියන ලවණ ඇති ජලය පානය කරති ඔවුන්ට එතරම් වකුගඩු රෝගී අවධානමක් නැත. එබැවින් ඒ නිසා පානිය ජලයේ කිවුල් ගතිය සහ බැර ලෝහ වැඩිවීම නිසාම වකුගඩු රෝගය ඇති වෙනවා යැයි නිච්චියටම කියන්න හැකියාවක්ද නැත.

කෘමිනාශක වල්නාශක අධිකව යෙදීම නිසාද මිනිසුන්ගේ අයහපත් ආහාර රටා නිසාද මෙය ඇතිවිය හැකි බවට තවත් ප්‍රකට මතයකි. නමුත් කල්මුනේ අම්පාර පැත්තේ ගොවියාත් අම්බලන්තොට රිදියගම පැත්තේ ගොවියාත් අනුරාධපුර ගොවියාත් සැලකුවොත් ඔවුන් අතර යොදන කෘමිනාශක වල්නාශක ප්‍රමාණයේවත් ගෙවන ජීවනරටාවේවත් සැලකිය යුතු වෙනසක් නැත. කෘමිනාශක අධික ලෙස යෙදීම සිරුරට අහිතකර වුවත් ඒ නිසාම වකුගඩු ලෙඩ ඇති වේ යැයි නිගමනයකට එලඹිය නොහැක.

පානීය ජලයේ ඇති අහිතකර තත්වය සිතියම් ගත කල විට, ජලයේ අපිරිසිදු තත්වය සහිත සිතියම හා වකුගඩු රෝගීන් බහුලව සිටින පලාත් දැක්වෙන සිතියම අතර රේඛීය සම්බන්ධතාවයක් මෙතෙක් සොයාගෙන නැත.  ඉඳහිට එකෙක් දෙන්නෙක් හෝ සංවිධානයක් පොර වීම සඳහා අහුලාගත් හේතුවක් ඉදිරිපත් කරන නමුත් එය නිසි ලෙස ඔප්පු කර පෙන්වීමට ඔවුන් අසමත් වෙති.

මාගේ මිතුරු පොලොන්නරු ප්‍රෙද්ශයේ රාජකාරි කරන ලද දොස්තර මහත්මයෙකුගෙන් මේ ගැන විමසූ විට ඔහුගේ අදහස වූයේ බෝ නොවන රෝගයක් වන මේ රජරට වකුගඩු රෝගය වැනි රෝග වලට ස්ථිර වශයෙන්ම ප්‍රබල එක හේතුවක් දෙකක් දැක්වීමට අපහසු විය හැකි බවයි. සරල උදාහරණයක් ගතහොත් දැන් ධනවත් සමාජයෙන් දුප්පත් සමාජයටද සංක්‍රමනය වෙමින් පවතින, අධි රුධිර පීඩනය, දියවැඩියාව, හෘද රෝග ආදිය ඇතිවන්නේ කිනම් කරුණක් නිසාදැයි ස්ථීර එක හේතුවක් ලබාදෙන්නට හැකියාවක් නැත. හෘද රෝග වැඩිවන්නට හේතුන ගනනාවක් ඇත. ඒ අතර ප්‍රෙව්නික බලපෑමක්ද දැඩිව ඇත.

මේ දොස්තර මහත්මයා වැඩිදුරටත් කීවේ අනෙක් නැගෙනහිර පලාතේ  සහ දකුනේ මේ කෘෂීකාර්මික පසුබිමම ඇති ගොවීනට මේ රෝගය නොවැලදී උතුරු මැද පලාතේ රෝගීන්ට බහුලව වැළඳීමට ප්‍රෙව්නික සාධකයක් හෝ දැනට සොයාගෙන නොමැති භූගෝලිය සාධකයක් හේතු විය හැකි බවය. නමුත් දැනට කෘෂිකර්මාන්තයට යොදන කෘෂීරසායන ප්‍රමාණය වැඩි බව එතුමා පිළිගත්තේය. ලිංවලින් සහ වැව්වලින් ගන්නා ජලය නිසි ප්‍රතිකාරවලට ලක් නොකර කෙලින්ම බීමට ගැනීමෙන් වකුගඩු රෝග මෙන්ම වෙනත් රෝග තත්වයන් වැඩි විය හැකිබවක්ද එතුමා කියන ලදී.

දකුනු ඉන්දියාවේද මේ ආකාරයෙන් ජලයේ ඇති ෆ්ලුවොරයිඩ් ප්‍රමාණය වැඩි පළාත් තිබී ඇත. කාලාන්තරයක් තිස්සේ ඒ පළාත්වල ජනතාව ෆ්ලුවොරයිඩ වැඩිපුර අඩංගු ජලය පානය කර ඇත. පරම්පරා දෙක තුනක් යන විට ක්‍රමිකව අනික් පළාත්වලට සාපේක්ෂව ෆ්ලුවොරයිඩ වැඩි ජලය පානය කරන ලද ජනයාගේ නව පරම්පරාවේ දරුවන්ගේ බුද්ධි මට්ටම අඩු වී ඇති බව ඒ රටේ විද්‍යාඥ කන්ඩායමක් සොයාගෙන ඇත. දරුවා මව් කුස තුල සිටියදී අවශ්‍ය අයඩීන් අවශ්‍යතාවය නිසිපරිදි නොලැබීමට ෆ්ලෝරයිඩ් හේතු වේ. දරුවන්ගේ බුද්ධි වර්ධනයට අවශ්‍ය යැයි සැලකෙන අයඩින් රිසි පරිදි නොලැබීම නිසා දරුවන්ගේ බුද්ධි මට්ටම අඩුවිය හැකි බවට පරීක්ෂණය කරන ලද දොස්තර මහත්වරු සොයාගෙන ඇත. මේ කාරණාව මට කීවේ පෙර කී දොස්තර මහතාය. ලංකාවේ මේ ගැන නිසි පරීක්ෂණයන් සිදු වී නොමැති නමුත් උතුරු මැද පලාතේ පානීය ජලයේ ෆ්ලුවොරයිඩ වැඩි බව අනාදිමත් කලක සිට කියවෙන මන්ත්‍රයකි.

මා උතුරු මැද පළාතේ කැබිතිගොල්ලෑවේ පාසැල් වලට පොත් බෙදා දීමේ සද්කාර්යයකට පසුගිය දිනවල දායක වුනෙමි. එවිට මට වකුගඩු රෝගය ගැන අසන්න ටලැබුනි. ඉන් අනතුරුව ඒ ගැන තොරතුරු සොයා ගිය නමුත් ස්තීර හේතුවක් සොයාගන්නට නොහැකි විය. එයින් මතු මා නින්දට ගිය විට සිහින කිහිපයක් දකින ලදී. ඒ සමහරක් කිසිදා සත්‍ය නොවන ඒවා වන අතර සමාරක් ඒවා සත්‍ය විය හැකි වටපිටාවක්ද ඇත. මිනිස්සුන්ට පේන සිහින සදාචාරයට ආගමට ජාතියට හෝ රීතින් වලට අනුකූල නොවිය හැකි බැවින් වඩාත් සිල්වත් මේ සිහින බැලීමෙන් වලකින ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිමු.

සිහින 1

ඥාණසාර හිමිද, කවිකියන ඥානාලෝක හිමිද, බණ කියන ඥානානන්ද හිමිද එක් වේදිකාවක වකුගඩු රෝගය ගැන කතාකරන්නට පැමිණ තිබුනි. අපෙ හාමුදුරුවනේ කියා පිටුපස බැලූ ඥානසාර සාදු “මේ කල්මුනේ පැත්තෙ ඉන්න මුස්ලිම් මිනිස්සුන්ට මේ ලෙඩේ හැදිල නැහැ වැඩිය. අපේ සිංහල මිනිස්සුට තමයි හැදිල තියෙන්නෙ වැඩියෙන්. ඕක ඔය මුස්ලිම් අයගේ කුමන්ත්‍රණයක් කියල මම කියන් නැහැ. ඒ වුනාට ඔය කල්මුනේ පැත්තෙ තියෙන්නෙ අපේ සිංහල රජකාලෙ ඉදල සිංහල අපිට තියෙන ඉඩං. එදා වෙල්ලස්සෙ ඉංගිරිසින්ට විරුද්ධව කැරලි ගැහුවෙ ඔය දිගාමඩුල්ල පැත්ෙතන් තමයි.. දිගාමඩුල්ල පැත්තෙ ඉස්සර සද්ධාතිස්ස රජතුමා අස්වැද්දුව කියලත් වංශකතා වල සඳහන් වෙලා තියෙනවා. ඒ හොද ඉඩම් අද වෙන රටකින් ආපු හම්බ පරයින්ට අයිති වෙලා. අපිටත් ඉන්න බැරුව රාජධානිත් එක්කම අත් ඇරල ගිහිපු මේ පොලොන්නරුවෙ කාන්තාර කෑලි ටික අපිට අයිති වෙලා.. අපි මේක වෙනස් කරන්න ඕන..අපේ නැගෙනහිර පලාතේ තියෙන පිං බිම් ටික ආයිත් අරගන්න ඕනි..“ යැයි ඥානසාර හිමි දැඩි ස්වරයෙන් පැවසීය..

“මේ සිතේ ඇතිවෙන චෛතසික නිසා වකුගඩු වලටත් හානි වෙනවා කියල ඉන්දියාවෙදි යෝගියෙක් ආසන්නයේ ඉඳගෙන මා කියවූ ත්‍රිපිටකයේ කොටසක සඳහන් වෙලා තිබුනා. ඔය පිංවතුන් දන්නෙ නැතුව ඇති හිමාලයේ ඉන්න සමහර කෙලෙස් නසපු යෝගීන් වසර දහස් ගානක් තිස්සෙ කිසිම වකුගඩු රෝගයක් නැතුව ජීවත් වෙනවා. මේ අපේ සිතේ ඇතිවන නරක සිතුවිලි පාලනය කරලා අපිට යහපත් විදියට ජීවත් වෙන්න පුලුවන් නම් යහපත් සිතුවිලි වගා කරගන්න පුලුවන් නම් අපිට මෙ වකුගඩු රෝගය බොහොම ඉක්මනින්ම නවත්වා ගන්න පුලුවන් වේවි..“ යැයි ඥානානන්ද සාදු පැවසූ සේක.

රෝහිණී නදියේ ජල ගග ගැලුවා

ශාක්‍ය කෝලිය දෙපසට බෙදුනා..

සංසුන් ගමනින් වැඩ මහ නදියට..

යුද්ධය නැතිකොට සාමය දෙසුවා..



එවන් විකුම් කල අප සමිඳානන්

සිහි කර කර නිති ගුණ මුහුදානන්

පුදා මල් පහන් දීලා මහදන්

මිදෙමු අපිත් වකුගඩු රකුසාගෙන්.. මිදෙමු අපිත් වකුගඩු රකුසාගෙන්..

කවියට බොහෝ ලැදි ඥානාලෝක සාදු මහදන් දීමෙන්ද මල් පහන් පිදිමෙන්ද රත්නත්‍රෙය් ආශිර්වාද ලබාගැනිමින් වකුගඩු රකුසා පැරදිය හැකි බව මිහිරි නදින් දේශනා කලෝය.

වකුගඩු රෝගයට විසදුම් සෙවීම ගැන දුටු තවත් සීන රැසක් ඊලග පෝස්ටුවේ පල වේ.. 

23 comments:

  1. වගකීම් දරන උදවියත් රෑට පේන හීන දිහා බලලලු නේ තීරණ ගන්නේ....
    අනේ මන්ද අහිංසක මිනිස්සු!

    ReplyDelete
    Replies
    1. මිනිස්සුත් ඉන්නෙ හීනවලද මන්දා..කැබිතිගොල්ලෑව දිහා හැම ගමකම ඔය ලෙඩේ තීයෙනවා..
      ඒ පැත්තෙ මහාමාර්ග පද්ධතියනම් සැරටම සංවර්ධනය වෙනවා.. මං හිතන්නෙ මිනිස්සු වකුගඩු ලෙඩ තිබුනත් යන්න පාරයි ඉන්න රටයි දුන්න නිසා මැතිවරනෙකදි කතිරය නම් වරද්දන එකක් නැහැ..

      Delete
  2. මේ පිලිබඳ පර්යේෂණවලට පිටරටවලිනුත් කැමැත්ත දක්වලා තියෙනවා, (මාතර විශ්වවිද්‍යලෙත් හවුල් කරගෙන ). හොයලා බලන්ට වටිනා දෙයක්නේ. ලංකාවේ ආණ්ඩුවෙන් මොනවා හරි කෙරීගෙන යනවද අමිල?

    ReplyDelete
    Replies
    1. මැඩම් මම දකින විදියට මේක සිස්ටම් පේලියර් එකක්..අපේ විස්වවිද්‍යාල සිසුන් ටිකකට හරි එකතුවෙල මේ ගැටලුව ටිකක් කරට අරගෙන අනික් රටෝල කොම්පැනි වල හෙම උපකාර ඇතුව මේකට හේතුව හොයන පරීක්ෂණ කරන්න පුලුවන් කම තියෙන්න එපාය... නමුත් මෙහෙ විශ්වවිද්‍යාල ගත සිසුන්ගේ ඒකායන අරමුණ වෙන්නෙ කෝමහරි සහතිකේ විතරයි.... රිසච් කරන්නෙ නමට විතරයි... (මේ ගැන විශ්වවිද්‍යාල කීපෙකින්ම දැනට පරීක්ෂන කරල තියෙනවා.. නමුත් තාම සාර්ථක හේතුවක් කියන්න කාටත් බැිරිවෙල..මොකද එක එක ටීම්ස් එක එක කාරණාවල් ඔප්පු කරගන්න දගලනවා මිසක් නිසි අධ්‍යනයක් කරන්නෙ නැහැ කියලයි මට නම් හිතෙන්නෙ..)

      Delete
    2. ඒක ඇත්ත. කිසිම research එකක් sustainable නෑ.

      Delete
    3. \\\\\\\\නමුත් මෙහෙ විශ්වවිද්‍යාල ගත සිසුන්ගේ ඒකායන අරමුණ වෙන්නෙ කෝමහරි සහතිකේ විතරයි.... රිසච් කරන්නෙ නමට විතරයි... \\\\\\\

      මේ ගැන නම් මොකද කියනවද ...!

      Delete
  3. අපෙ ගම් පැත්තෙ ගොඩක් මිනිස්සු මැරුනා තමාත් මැරෙනව වකුගඩු රෝගෙන්.

    ReplyDelete
  4. ඔය ෆිල්ටරුත් 45ක් විතර වෙනව ඉතින් හැමෝටම හයි කරගන්න බැ නේ.ඔෆ්z වල නම් හයි කරල තියනව

    ReplyDelete
    Replies
    1. නදී මම දැකපු විදියට සමාර යමක් කමක් තියෙන උදවිය පවා ෆිල්ටර් එකක් මිලදී ගන්න එක ගැන ඒතරම් හිතන පාටක් පේන්න නැහැ...එයාලට අනුව ඒක මහ බරක්.. නමුත් මම නම් හිතන්නෙ ගෙවන්න හරි ඕකක් ගන්න පුලුවන් නම් වටිනවා..මොකද පස්සෙ කාලෙක වකුගඩු ලෙඩ විතරක් නෙමෙ වෙනත් ලෙඩවල් උනත් හැදෙන්න ඉඩ තියෙනවා ඔය බීමට සුදුසු නැති බීම නිසා...

      Delete
    2. ෆිල්ටර් එක ගැන විස්තර ටිකක් කියන්න බලන්න ...

      Delete
  5. අපි සියල්ලෝම යෝගීන් වෙමු

    ReplyDelete
  6. අහිංසක මිනිසුන්ට තමා හැමදේම

    ReplyDelete
  7. මාත් තව අවුරුද්දක් විතර රජරට ඉන්ඩයි බලාපොරොත්තුව.වකුගඩු දෙකටත් කෙළවෙලා යයිද මන්දා.රිසර්ච් එකක් කරන්ඩත් හිතං ඉන්නවා.බලමුකෝ එන හැටියකට

    ReplyDelete
  8. ඔය ආසනික් සිද්ධිය එලියට ආවේත් මහාචාර්ය කෙනෙක්ට දෙවි කෙනෙක් හීනෙන් ඇවිත් කියලා කියලයි ආරංචිය ආවේ..
    හිකි හිකි.. හිකි.. කස්ටිය වකුගඩුවෙන් මල්ල තර කරගන්න හදනවා වගේ නෙහ්..

    ReplyDelete
    Replies
    1. මහාචාර්ය තුමා තව ටිකක් නිදි පෙති දීල හොද හීන ටිකක් පේන්න ඇරියනම් වැදගත් තොරතුරු රැසක් අපිට සොයාගන්න තිබුනා..

      Delete
  9. ඉතාම දුක්ඛිත තත්වයක්....අනික පේරාදෙණිය/මහනුවර රොහල් වල විතරයි ඔය රෝගයට ප්‍රතිකාර/ඔපරේෂන් කරන්නෙ. දුප්පත් මිනිස්සු...අනේ මන්ද..!

    ReplyDelete
  10. ඔකට විසදුම් දෙකක් තියෙනව කියලයි මම නම් හිතන්නෙ..එක තාවකාලිකව හරි ඔය වතුරෙ තියෙන මොකක් හො සන්යොගය ඉවත් කිරීම..එක කරන්න වෙන්නෙ ආර්.ඔ ප්ලාන්ට් එකකින් විතරයි.. දෙක දීර්ග කාලීනව එම සාදකය ඉවත් කිරීම. එක කලාට පස්සෙ ඔය දෙක ඔන කාලයක් අරන් කරපල්ල..

    ReplyDelete
  11. හොඳ වගේම කාලීන ලිපියක්. මම පත්තරේ දැක්කා, පර්යේෂණ වලට මුදල් වෙන්කලා කියල කඹ ඇදිල්ලකුත්. කස්ටියක් කියනවා " අපි ඔක්කොම පර්යේෂණ කරලා , හේතුව හොයාගෙන තියෙද්දි, මෙන්න ආයෙත් මහජන මුදල් තව කස්ටියකට දෙන්න යනෝ" කියලා.

    මේ මගේ ඉන්දියන් මිතුරෙක් කී කතාවක්, ඉන්දියාවෙ "කෙමිකල් බෙල්ට්" නමින් හැඳින්වෙන හරියෙ, මිනිස්සුන්ටත් ,ඔය වගේ නානාප්‍රකාර ලෙඩ තියනවාලු. තුන් හාරසීයක් මලාට, ආණ්ඩුවට තියා අනික් මිනිස්සුන්ටවත් ගානක් නෑලු. මිනිස් ජීවිතවල වටිනාකම, සමාජ තත්ත්වය අනුව තීරණය වෙන සමාජයක මෙහෙම වෙන එක පුදුම වෙන්න දේකුත් නෑ. අන්තිමට වෙන්නෙ,මේ තත්ත්වය සමාජ සාමාන්‍යක් බවට පත් වීමයි

    ReplyDelete
  12. මගේ පුද්ගලික මතයනම් අදාල ප්‍රදේශවල පාරිසරික තත්වය වේගයෙන් වෙනස්වෙනවා, අනික් ප්‍රදේශවලට සාපේක්ෂව මේ වෙනස්වීමේ ශීඝ්‍රතාව වර්ධනය වීමත් එක්ක ජල මූලාශ්‍රවල, ජල කේන්ද්‍රස්ථානවල, ජල ගබඩාවලදී මේ රෝගමූලවන රසායනික සංයෝග ස්වාභාවිකව වැඩීමක් වනවා ඇති. තවමත් අතීසාරයට අමුඩ ගසනවා මිස විධිමත් වැඩපිළිවෙලක් මේ වෙනුවෙන් ක්‍රියාත්මක වෙලා නෑ මිත්‍රයා

    ReplyDelete
  13. හීනෙට ලැයික්. දිනපතා හීන පෙනේවා!

    ReplyDelete
  14. කිසිම රිසර්ච් එකක් නැතිව මට නං හිතෙන්නේ මේක භූගත ජලය නිසා සිදුවෙන්නක් බවයි.

    ReplyDelete
  15. අමිල...... වකුගඩු රෝගය කොතරම් බරපතල ලෙස ව්‍යාප්ත වෙලාද කියනවා නම්, දැන් මිනිස්සු කියන්නේ "අරයට වකුගඩු හැදිලා" කියලාලු. අසරණ මිනිස්සු.

    සිහින තුනනම් මසුරං.

    ReplyDelete