Thursday, January 23, 2014

ඇඹුල් අඹ

කොළඹ සිටින විට හමන දුම සහ දුහුවිලි මුසු වාතයට වඩා තණමල්විල පැත්තේ දුහුවිලි මුසු වාතය වඩාත් සෞම්‍යය. ඒ පැත්තේ ජීවිත කෙසේදැයි අධ්‍යනය කරන්නට මට අවකාශයක් නොවීය. මා රාජකාරි කටයුත්තක් සඳහා තණමල්විල දිහාවට ගොස් සිටියෙමි. ඒ ප්‍රෙද්ශයේ මගේ යාලුවෙක් වීය. තණමල්විල ඔහුගේ ගමයි.

මා සමග ගිය ලොකු මහත්වරුන්ට හොඳ මීකිරි කෑමට උවමනා විය. මාගේ මිතුරාට කිව් පසු ඔවුන් ළඟ හරක් නොමැති බැවින් කිරි නොමැති බව කිව්වේය. නමුත් වෙනත් මී හරකුන් සිටින තැනකින් කිරි මිලට ගෙන මුදවා දිය හැකි බවක් කීවේය. කිරි මුදවා දුන් පසු ලීටරයක් රුපියල් සීයක් පමණ විය හැකි බව මුලින්ම මාගේ මිතුරා මට දැන්වීය. මා ඒ කිරි ලීටර් හයක් මුදවන්නට කීවෙමි.

පසුදින මුදල්ද රැගෙන ලොකු මහත්වරු සමග කිරි බලන්නට ගියෙමු. කිරි මිදී නොතිබුනි. එවිට නිවසේ සිටියේ මාගේ මිතුරාගේ නැගනියයි. මා සමග ගිය මහත්වරු කිරි වල මිල අඩු කරන්නේ නැද්දැයි අර නංගීගෙන් ඇසුවෝය. ඉන් පසු මාද මහත්වරුන්ගේ පැත්ත ගන්නට ඇත. අවසානයේ ලීටර් හයට රුපියල් හාරසීයක් ගෙවා අපි ආවෙමු.

පසුව මගේ මිතුරාට හොඳටම තරහ ගොස්..“මචං නිකං ඕන්නං කියපං.මං උඹට ඕන තරං කිරි මුදෝල දෙන්නං. ඒත් එක එක ලොක්කු *ක්කු එක්ක තවත් එන්න එපා. උන්ට ඕන තැනකින් ගන්න කියපං“ යැයි කීවේය. ඔහු බනින විට මා කලිං පොරොන්දු වූ ගනන ගෙවීමට නොහැකි වීම ගැන සැබැවින්ම අවුලක් මට දැනුනි. ඒ මා රක්ෂාවට ගිය මුල් අවධිය නිසා එතරම් සමාජ දැනුමක්ද මට නොවීය.

කෙසේ හෝ මට මහත් සැර තැනකින් වැරදුනු බව මට මතක් විය. පසුව කිරි රැගෙන ආ මහත්වරු ඒ කිරි මිදෙමින් පවතිද්දී රැගෙන ආවත් ඒවා මනා රසයකින් යුක්තව අයිස් ක්‍රීම් වැනිව තිබුන බව කිව්වෝය. ඔවුන්ද හෙට්ටු කර අඩු මුදලක් දෙන්නට වීම ගැන කණගාටු විය.

ගොවීන්ට ලැබෙන මිල සම්බන්ධව කතාවෙන බොහෝ තැන්වලදී මට මේ සිදුවීම මතකයට එයි. මා සම්බන්ධව මා ඇසුරු කළ මිතුරා හොඳින්ම දන්නා නිසා එය මගේ වරදක් යැයි ඔහුද ඔහුගේ පවුලේ අයද සිහෙනන් වත් නොසිත්නට ඇත. නමුත් අදද මට ඒ වෙලාවේ කෙලින් තීරණයක් ගැනීමට නොහැකි වීම ගැන අදද ඇතිවන්නේ පසුතැවිල්ලකි. 


හෙට්ටු කිරීම සමහර අයගේ පුරුද්දකි. පිටකොටුවේ ඇවිදින අයෙක්ට එකම තත්වයේ බඩුව පවා විවිධ තැන්වල විවිධ මිල ගනන් වලට ඇති බව පෙනේ. නමුත් මා වඩාත් කැමති හෙට්ටු කලාට මිල සතයක්වත් අඩු නොකරන තොග වෙළදසැල් වලින් බඩු මිලදී ගැනීමටය. බොහෝවිට වෙනත් අඩුකරන තැන්වලට වඩා බඩු වල තත්වය හොද වෙන අතර මිලෙන්ද අඩුය. නමුත් එවැන් කඩවල් සාමාන්‍යෙයන් අපේ ඇස උඩට කඩාවැටෙන තරම් කිට්ටුවෙන් පිටකොටුවේ පේන්න නැති අතර සොයා බැලිය යුතුය. එවන් කඩයකට ගොස් අඩුකරන්න යැයි කීම විහිළුවකි. මන්ද එම බඩුවට ඇති අවම මිල බොහෝ විට එයම වන බැවිනි.

14 comments:

  1. යම්කිසි භාණ්ඩයක හෝ සේවාවක මිළ මෙපමණයි කියා ස්ථිරව කියනවානම් මම කැමතියි. මම කවදාවත් හෙට්ටු කිරීම නොකරමි. හැකිනම් ගන්නවා නැතිනම් නිකම් ඉන්නවා. හැබැයි මිළ අඩු තැන් තිබේදැයි සොයා බලනවා. නමුත් ප්‍රමිතිය ගැනත් සැළකිළිමත් වෙනවා. මා ජීවත්වන කුරුණෑගල නගරයේ, වාහන අමතර කොටස් මිලදී, ගැනීම එක්තරා කලාවක්. අපි හිතමු පැති කණ්නාඩියක් කියලා. එකම කණ්නාඩිය, එකම ප්‍රමිතියෙන්, රු 1500 ට වගේම රු 15000 ටත් මිලදී ගන්න පුළුවන්.

    ReplyDelete
  2. අමිලට හෘද සාක්ශියක් තියෙන බවපෙනේ.බලාගෙන

    ReplyDelete
  3. යකෝ ලීටර 6ට 600ක්?? හෙන ගහන්නෙපැයි.

    ReplyDelete
  4. ඇඹුල් අඹ ....වී ටික මිල වැඩි වෙනකොට රජයට බනිනවා. එතකොට ගොවියට ටිකක් හෝ ආදායමක් ලැබෙනවා. හැමදාම නිෂ්පාදකයා තැලෙනවා. අතරමැදියෝ වැජඹෙනවා.

    මේකම තමා රත්න ශ්‍රී ලිව්වේ
    වලිකුකුල්ලු ඇවිදින් මැණිකේ හේනට ඇවිදින් කියලා

    ReplyDelete
  5. ගොවියාගේ දහඩිය හූරන්නේ අතරමැදියා අයියා.. ඔය වෙළඳාම් කරන උන්ගෙන් නම් හෙට්ටු නෙමෙයි මට්ටු කරලා ගන්න අයියා..
    මාත් ගොවියෙක්ගේ පුත්‍රයෙක්.. අපි දෙක පනහට විකුණන එව්වාගෙන සුර සැප විඳින්නේ අනිත් උන්... ඒ ගැන දුකයි. ඒත් මොනවා කරන්නද..? විකුණා ගත්තේ නැත්නම් කුණු වෙලා යනවා නේ.. :D
    ගොවියෝ කියන්නේ ගිරේට අහු උන පුවක් ගෙඩි වගේ..

    ReplyDelete
  6. මාත් හරිම අඩුයි හෙට්ටු කරනවා ..විශේශෙන් ඔය වගෙ දේවල් මිලට ගනිද්දි

    ReplyDelete
  7. ඔය වගේ තැන් වලට ගිහින් හෙට්ටු කරන එක තේරුමක් නෑ ඇත්තටම..

    ReplyDelete
  8. ඒක වෙන්නේ හෙට්‍ටු කරන්න යන දෙපාර්ශවයේ හැකියාවන්,බල පරිමාවන් එක්ක.සමහරවිට මහත්තේලා කිරි ගන්නද ආවේ නැත්නම් බලන්නද ආවේ කියලා ගේමට කතාකරානම් එක්කෝ ඔයාලා කිරි ගන්නේ නෑ,නැත්නම් කියන ගානට අරං එනවා.අර කට්ටිය අසරණ විදිහට අඩුවට දීලා.www.amuthusithuwili.wordpress.com

    ReplyDelete
  9. හෙට්ටු කිරිල්ලනම් මටත් හරියන්නෙ නැති වැඩක්.ලාබතැන හොයාගන්න එක තමයි හොදම දේ.

    ReplyDelete
  10. අමිල හිතන්නේ නැද්ද ඕකේ අනිත් පැත්තත් වෙනවා කියලා. මම නම් සෘජුවම අත්දැකපු දේ තමයි ලංකාවේ බඩු මිල කියන්න භාහිර ස්වරූපයත් බලපානවා. අනිත් අය අඹ ගෙඩිය තැඹිළි ගෙඩිය අඩු වියදමකට ගනිද්දි හෙට්ටු නොකරන අපව වැඩි මුදලකට එකම භාන්ඩය විකුණනවා. ඒත් බැලන්ස් එකක් තිබ්බොත් අපි ඒකත් (වෙළෙන්දා දුප්පත් වගේ හිතුනොත් ) දීලා එනවා. එතකොට දැනෙන්නේ අමර හැඟීමක්. එහෙම බොහෝ අවස්ථාවල සිදුවීම බහුල නිසා අර මනුස්සයා තැඹිලි ගෙඩිය බොන්නත් තේ එකක් බොන්නත් යන්නේ සුපර් ලක්සරි ප්ලේස් එකකට. මොකද එතන එකම මිළ හා භාන්ඩයේ විශ්වාසනීයත්වයත් වැඩි නිසා.

    ReplyDelete
    Replies
    1. හෙට්ටු කිරීම කියන්නෙ හරි සංකීර්ණ සංකල්පයක්..
      ඔය ගැන ඉතාම සරල උදාහරණයක් දෙන්නම්..පකිස්තානෙ හැදිල පෙට්ටිවල ලක්ෂණට අහුරලා ශීතකරණවල දාල නැව් වලිං මෙහෙ ඇවිත් අපේ අතට ඇපල් ගෙඩියක් රුපියල් හතලිහකට එනවා...
      නමුත් පොලොන්නරුවෙදි රුපියල් පහකට මිලදී ගන්න අඹයක් කොළඹදි කිසිම තත්ව පාලනයක් ක්‍රමවේදයක් නැතිවම හොදට තැලිච්ච ගෙඩියක් කාබයිඩ් ගෑස් වලින් නෑවිලා අපිට රුපියල් හැට හැත්තෑවකට ගන්න ලැබෙනවා..එක අතකින් ලංකාවෙ ඇපල් දොඩං හැදුනෙ නැත ිඑක ගැන අපි සතුටු වෙන්න ඕනි..හැදුන නම් අපිට කොළඹ කඩවලින් ගන්න ඇඹුල් අඹ කන විදියටම පැහුනෙ නැති හරියට ඉදුන් නැති හැම පැත්තෙන්ම තැලුන ඇපල් දොඩම් රුපියල් දෙතුන් සීයට අරගෙන කන්න වේවි...
      කොහේද වරද කියාල මටත් නිච්චියක් නැහැ..නමුත් කොළඹ අපිට ඇඹුල් අඹ කන්න වෙල තියෙන්නෙ අඹ ඉදෙන්නෙ නැති නිසා නෙමෙයි...ඉදෙනකල් ඉන්නෙ නැතුව කඩල ගෙනත් කාබයිඩ් ගහල වැඩිගාන්ට හොදයි කියල දෙන නිසා..

      Delete
  11. අහිංසක මිනිස්සු කොහෙත් තැලෙනවා.

    ReplyDelete
  12. මම ලංකාවේ බොහෝ පළාත් වල ගිහින් තියෙනවා. අමිල කියනවා වගේ බොහෝ අය ඉන්නවා පුරුද්දක් විදියට හෙට්ටු කරන. මම ඇතුළු මගේ බොහොමයක් යාළුවො ගම් පළාත් වලදී හෙට්ටු කරන්නේ නෑ. හැබැයි අසාධාරණයි කියලා දැක්කොත් නොගෙන ඉන්නවා. මගේ යාලුවෙක් ඉන්නවා අතින් තව ගානක් දීලාත් එන. මේ මිනිස්සු හැමදාම පොලොව එක්ක ඔට්ටු වෙන මිනිස්සු. කොළඹ ඉන්න ජාතියේ නෑ. හොඳ නැත්නම් විකුනන්නෙත් නෑ.

    ReplyDelete
  13. කිරි හට්ටියක් මුදවීමට මි කිරි මිලි ලීටර් 750යි ඕන කරන්නෙ. කිරිවල මිල කිරි වලට වැය වන මුදලරුපියල් 37.50යි හට්ටියට රුපියල් 8ක් එකතු කලාම 150 ට ගොවියා මිල කරන කිරි හට්ටියේ ලාභ පරතරය කොපමණද කියල හිතා ගන්න පුලුවන්නෙ.
    ඉස්සර වාගේ නෙමෙයි දැන් කාලේ විවිධ නිෂ්පාදන වලින් ගමට මුදල් ගලා ගෙන යනවා. ඒක හොඳ දෙයක් තමයි. නමුත් කරුමය මේ එක්කම ගමේ බේබදුකම ඉහවහා ගිහින්.ඒ නිසා ඒ මුදල් වලින් වැඩි හරියක් නවතින්නේ තැබෑරුම් වල තමයි.

    ReplyDelete

නූතන පටාචාරාවත

විසිතුරු බඩුව ඇය කිසිවිට නැහැ සැලුනේ.. බියකරු වනය බිය නැහැ ඇය වෙත දැනුනේ.. සිය සැමි නැතිය එන මග දරු අහිමි වුනේ.. නැති විය සිහිය ...