Friday, January 31, 2014

මළ මිනිසුන් මැද මියගිය දරුවෙක්

අදාල නැත
වර්ථමානය අයිති වෙන්නෙ ජීවත්වෙන මිනිස්සුන්ට නෙමෙයි මැරිච්ච මිනිස්සුන්ට. මේ කතාව කියන්නෙ පවතින ක්‍රමය ගැන විවේචනය කරන වාමාංශිකයින් වගේ අය. සමහර නිර්මාණකාරයිනුත් මේ කතාව කියනවා.

පසුගිය දවසක ආනන්ද විද්‍යාලෙ සිසු දරුවෙක් යකඩ රෝදයක මිට නිසා අනතුරට ලක්වෙලා මියගිහින් තිබුනා. දරුවන් එය සමග සෙල්ලම් කරන විට එක දරුවෙක් එයට අහුවෙලා අවාසනාවන්ත විදියට මියගිහින් තිබුනා. මේ දරුවා දැඩි ලෙස අනතුරට පත්වුනායින් පස්සෙ බාහිර තුවාල තිබිල නැහැ. විනාඩි තිස්පහක් පමණ විද්‍යාලයේ දී තෙල්බෛහත් ගාමින් ඉඳලා ඉන් පස්සෙ තමයි ළමයා රෝහලට ගෙනියල තියෙන්නෙ. රෝහලට දරුවා රැගෙන ගිහින් තියෙන්නෙත් පාසැලේ ශිෂ්‍ය නායකයින් දෙපලක් විසින් කියල තමයි මට නම් ආරංචි වුනේ. රෝහලට යන විට දරුවා මැරිලා.

අනතුර වුන හැටියෙම දරුවා රෝහල්ගත කලානම් දරුවගේ ජීවිතය ගලවගන්න තිබුනා කියලා තමයි දොස්තර මහත්වරු කියල තියෙන්නෙ. ආනන්ද විද්‍යාලය තියෙන තැන ඉඳල රිජ්වේ ආර්යා ළමා රෝහලට පයින් ගියත් යන්නෙ විනාඩි විස්සක් විතර. ඒ දරුවාගේ තනි පිංතූරයක් ආනන්ද විද්‍යාලයේ තාප්පයේ එල්ලා තිබුනා. බොහෝ වෙලාවට පාසැලේ කන්ඩායමක් හෝ දරුවෙක් සම්මාන දින්නම මේ තාප්පෙ වැදෙන පෝස්ටර් වලට විද්‍යාලයේ විදුහල් පති තුමා සහ ගුරුවරු ඇතුලත් වෙනවා. නමුත් මියගිය දරුවාගේ පින්තූරය නිකම්ම නිකන් සෝක ප්‍රකාශයක් එක්ක එල්ලිලා තිබුනා. ජයග්‍රහනයට අයිතිකාරයො ගොඩක් ඉන්න පුලුවන් වුනාට පරාජයට අයිතිකාරයො හොයාගන්න අමාරුයි.

“හදිසි අනතුරක් වෙලා තියෙන්නෙ. ඔය වගේ දේවල් ලෝකෙ ඕනම තැනක ඕන පාසැලක වෙන්න පුුලවන්. ඉතිං ඒක අවාසනාවට ආනන්ද විදුහලෙත් සිද්ද වුනා. ඔය දරුවට ප්‍රථමාදාර නොදී ඉස්පිරිතාලෙ ගෙනිච්ච නම් ඒකටත් චෝදනා කරාවි“කියල කට්ටියක් කියන්න පුලුවනි. ඔය වගේ පිළිතුරු ලංකාවෙදි සාමාන්‍යයි. මොකද මැරුනෙ එයාලයි දරුවෙක් නෙමෙයි නේ. එතකොට අවසාන කවච වලට යනකොට ඉලෙක්ට්‍රෝනවලට තියෙන ආකර්ශනය අඩුවෙනවා වගේ දරුවා ගැන සැබෑ වේදනාව දැනෙන් නැහැ. ඔය වගේ දේවල් ඕනි තැනක සිද්ද වෙන්න පුලුවන්. ඒක තමයි සරලම උත්තරේ.

මට මතකයි මම පුංචි කාලෙ ගිහිපු ප්‍රාථමික ඉස්කෝලෙ හිටපු ඒ දවස්වල ගුරු මහත්වරු පාසැලේ වාරෙ ඉවර වෙල අලුතින් පාසැල පටන් ගන්න කලිං පොල් ගස් ටික හොදට සුද්ද කරනවා. මොකද ගෙඩියක් පොල් අත්තක් වැටුනොත් දරුවන්ට තුවාල වෙන්න පුලුවන් නිසා. ඒ වගේමයි අපි ඇවිදින තැනක යකඩ කෑල්ලක් හරහට වැටිල තිබුනත් ඒ ගුරු මහත්තුරු අයින් කරලා තමයි යන්නෙ.

නමුත් අද ලෝකෙ වෙනස් වෙලා. අර දරුවන් ලොකු පිටිය තලන රෝල එක්ක කරන සෙල්ලමේ අවධානම වෙන කවුරුත්ම දකින් නැතුව ඇතිද? ඒ දැකපු අයට ඒකෙ අනතුරක් නිකමටවත් හිතුනෙ නැද්ද? අනේ මන්දා.

මං ගිය ලොකු ඉස්කෝලෙ යාලුවෙක් ෆුට්බෝල් ටීම් එකත් එක්ක කෝච්චියෙන් කොළඹ ආවා. ඇවිත් යන ගමන එක සිසුවෙක් කෝච්චියෙන් එලියට කකුල දාල සෙල්ලමක් දාන්න ගිහින් පාලමක වැදිල මලා. ඒකෙදි පාසලෙන් කවුරුත් නියෝජිතයෙක් ගුරුවරයෙක් ඒ පාසැල් ෆුට්බෝල් ටීම් එක එක්ක ගිහින් තිබුනෙ නැහැ. ළමයි කැමති විදියට කෝච්චියෙ නට නට ඇවිත්. ඒ ළමයි දහය වසරෙ විතර. ඉතිං පාසැල පැත්තෙන් දුන්න උත්තරේ වුනේ දහය වසරෙ වගේ ලොකු ළමයි වුනාම වගකීමකින් වැඩ කරන්න ඕනි කියන එක.

කෝම වුනත් ඒ දක්ෂ ක්‍රීඩක දරුවා මලා. ඉන් පස්සෙවත් පාසැල් වල ක්‍රීඩා කන්ඩායම් තැන් තැන්වල එක්ක යනකොට ගුරුභවතෙක් යන්න ඕනි කියල නීතියක් ආවද ඒවා ක්‍රියාත්මක වෙනවද කියන්න මම දන්නෙ නැහැ. නමුත් ඒක ඒ ළමයි කන්ඩායමේ නොසැලකිල්ල නිසාම සිද්ද වුනා කියනවා මිසක එතන වරදක් පාසැල පැත්තෙ තිබුනා කියල පිලිගන්න අපේ පාසැල අවංක වුනේ නැහැ. එතනදි මම අවුරුදු ගානක ්ඉගනගත්ත පාසැල වුනත් වැරදි විදියට තමයි හැසිරුනේ.

දැන් ආයිත් මුලට. දරුවො තුන්හාරදාහක් ඉන්න පාසැලක දරුවෙක් තරම්ක අනතුරකට පත් වුනාම අභ්‍යන්තර තුවාල තිබේද කියාල බලන්න අනිවාර්යෙන් රෝහලකට යොමු කරන්න ක්‍රමවේදයක් තිබෙන්න ඕනි. ඒ සමාර ඒවා චක්‍රෙල්ඛ වලින් කරන්න බැහැ. ඒවා ගුරු භවතුන විදියට ජාන වලින්ම එන්න ඕනි දේවල් තිබෙනවා.

දැන් මැරිලා ඉවරයි. කවුරුත්ම වැරදි කාරයො නැහැ. නිකං රෝල තිබුනා. ලමයි සෙල්ලං කලා. ඒක අනතුරක් වෙලා ළමයෙක් මලා. තවත් ඔය වගේ මරණයක් ආවම ආයිත් පත්තර වල පිටු සරසන පිංතූර යාවි. අම්මලා කියන දුක් කතා යාවි. දරුවෙක් අනතුරට පත්වෙච්චි වෙලාවක සිසුන්ට බලාගන්න දීල මලා ටපස්සෙ බොරුවට ඇඩ් දාන ගුරුවරු ගැන කිසිම වැරැද්දක් නොලියවේවි. සාක්කි කියන්න වේවි කරදර වෙන්න වේවි කියල අනතුරට පත් වෙච්ච දරුවන් නොදැක්කා වගේ යන ගුරුවරු ගැනත් නොලියවේවි.

පිංබිමේ පිං ඇති මිනිස්සු ඉස්සර හිටියා. දැන් ඒ සමාර උන්ට පිං වැඩිවෙලා පිංපියෝ විතරක් ඉතිරිවෙලා. ඒ නිසා කිසිම දේකට පුදුම වෙන්න දෙයක් නැහැ.

11 comments:

  1. අපේ සමාජයෙම තියන වරදක් අමිල,යම් අනතුරක් උනාම ඒ වෙලේ කල යුත්තේ මොනාද කියන එක නොදන්න කම,සරල ප්‍රතමාධාරයක්වත් දෙන්න දන්නෙ නෑ,බාම්,තෙල් අතුල්ල අතුල්ල තියන් ඉන්න බලන්නෙ,ලෙඩාව හැකි ඉක්මනින් රෝහලකට ගෙනියන්න කිසි කෙනෙක් උනන්දු වෙන්නෙ නෑ,මිනිස්සුන්ගේ ප්‍රායෝගික දැනුම නැති තරම්,,,ආපදා කළමනාකරනය වගේ විශයන් උගන්නන්න කාලෙ හරි.

    ReplyDelete
    Replies
    1. ප්‍රධාන පෙලේ ක්‍රීඩාවන් කිහිපයකටම ජනප්‍රිය වුන පාසලක ඔය දේවල් නොදන්න අය ඉන්නවාය කියලා හිතන්න අමාරුයි. නමුත ්වෙලා තියෙන්නෙ ඒවා පහල මට්ටමට ක්‍රියාත්මක වෙන්න ක්‍රමවේද නැතිකම. ඊටත් වඩා මිනිස්සු අධි යාන්ත්‍රික වෙච්චි නිසා අනුන් වෙනුවෙන් විනාඩියක් කැප කරන්න තියෙන කම්මැලිකම.

      Delete
  2. අර කිව්වා වගේ ආනන්දේ ඉඳන් ළමා රෝහලට පයින් යන්න පුළුවන් දුර . මහා රෝහලේ හදිසි අනතුරු අංශයට ඊටත් ලඟයි. හද්ද මුකලන් ගමක මේක වුනා නම් තේරුම් ගන්න තිබුණ. ඒ වුනත් මහා දවාලේ මරදාන නගරයේ මෙහෙම දෙයක් වුනහම ????කාගේ හරි ළමයෙක් වුනත් විහිලුවට වැටුනත් අම්ම තාත්ත කෙනෙක්ගේ පපුව උණු වෙනවා.

    ReplyDelete
    Replies
    1. කටු කම්බි පවා ඉහලින් සවි කරපු මිනිස්සු දෙන්නෙක් විතර උස තාප්පෙකින් වට වෙච්චි තැනකට ළමුන් ඇතුලත් කරන්න දෙමාපියො විශාල වෙහෙසක් ගන්නවා. නමුත් ඒ දේවාල වගේ මිනිස්සු වඳින පුදන තැනුත් සවුත්තු වුනාම මොනවා කරන්නද?

      Delete
  3. ආනන්දෙ වගේ ඉස්කෝලෙක, ළමයෙකුට නිසිලෙස ප්‍රථමාධාර දීමේ, සහ රෝහල් ගතකිරීමේ ක්‍රමවේදයක් නැහැ කියලා අහන්න ලැබීම පුදුමයක්. දරුවාට බාහිර තුවාල තිබිලා නැත්නම්, යම් තරමක අවාසනාවන්ත සිද්ධියක් කියලා කියන්නත් පුළුවන්. මම නම් හිතන්නේ හදිසි අවස්ථා වලට මුහුණ දීමේ ක්‍රමවේද සකස් කිරීමෙන් පමණයි මේ වගේ සිද්ධි වලට සාර්ථක විසඳුමක් සොයාගත හැක්කේ. මිනිස්සු ක්‍රියාත්මක නොවෙන එක හේතුවක් තමයි සිදුවීමකදී තමන්ගේ වගකීම මොකද්ද කියන එක අපැහැදිලි වීම. දරුවන්ගේ ආරක්ෂාව පිළිබඳ වගකීමක් ගන්නවාට වඩා 'අනවශ්‍ය දේවල්' වලට පැටලී නොසිටීමට බොහෝ දෙනා උත්සාහ ගන්නවා.

    ReplyDelete
    Replies
    1. මම හිතන්නෙ ඔතනදි බලපානවා ලංකාව තුලදි පවතින මනුස්සකමින් දූෂණය වුන දේශපාලනය කියන දේ. ලංකාවෙ වරදක් කලා කියල මනුස්සයෙක් අස් කරන්නෙ වැඩ තහනම් කරන්නෙ ඉතාම කලාතුරකින්. ඒ කෙනා වැරැද්දක් කලත් මනුස්සකමට, හිතවත්කමට,තමුන්ගෙකමට,ගරුත්වය පිට ඒ තැනැත්තා ආරක්ෂා කරනවා. වැරදි ලෙස ක්‍රියාත්මක වීම වගේම ක්‍රියාත්මක විය යුතු අවස්ථාවලදී ක්‍රියාත්මක නොවීමත් එකලෙස වැරදියි. නමුත් පවතින ක්‍රමය ඇතුලෙ මම ඉතාම කළාතුරකින් තමයි දකින්නෙ නිසි විනය ක්‍රියාමාර්ගයකින් පසුව මිනිහෙක් තනතුරින් ඇදලා පහලට දාන අවස්ථාවන්.

      Delete
  4. වන්දි ඉල්ලලා ඉස්කෝලේටයි, දෙපාර්තමේන්තුවටයි නඩු දාන්නේ නැද්ද?

    උසාවියෙන් නි‍යෝග කරයි. කොරොනර් ගේ නි‍ර්දේශ මොනවාද?

    ReplyDelete
    Replies
    1. ජස්ටින් බීබර් ඇමරිකාවෙ දඬුවම් ලැබුවට ලංකාවෙදි ඒ වගේ දේවල් වෙන්නෙ නැහැ.
      කොහොමත් ඒ දෙමාපියො මියගිය දරුවාගේ වේදනාව නිසා ආයෙත් නඩුවකට යන එකක් නැහැ. මම පුද්ගලිකව හිතන්නෙ ආනන්ද විද්‍යාලය වගේ එකකට එරෙහිව නඩුවක් කියන්නෙ අපරාදෙ සල්ලි සහ කාලය නාස්ති කරගැනීමක් විතරයි.

      Delete
  5. පාසැල් තුල සිසුන් බරපතල අනතුරුවලට ලක්වීම දිගින් දිගටම අහන්න සිදුවෙලා. අනතුරකින් පසු ගතයුතු ක්‍රියා මාර්ග ගැන දැණුවත්වීම් නැහැ වගේ. ඉස්සර නගරයේ පාසල්වල හෙදියන් ගෙන් සමන්විත කුඩා ඒකකයක් තිබුනා.

    ReplyDelete
  6. දැන් අපේ රටේ මිනිස්සුන්ගේ සාමුහික වගකීම කියන දෙය ටිකින් ටික අතුරුදහන් වෙලා යනවා කියල මේ සිද්ධියෙනුත් මේ වගේ ම දැක්ක තවත් සිද්ධි වලිනුත් බොහොම පැහැදිලිව පේන්න තියෙනවා. මොන දේ සිද්ධ උනත් " මගේ නෙමේ " " මට නෙමේ" "අරය තමයි කිව්වේ " වගේ වගකීමක් නැති කතා හැම තැනම. විසඳුමක් නම් පෙන තෙක් මානයකවත් නැහැ වගේ.

    ReplyDelete
  7. මම හිතන්නේ මෙහෙම දේවල් වෙන්නේ අපිට අනෙකා ගැන හිතන්න උවමනාවක් නැතිකමින්. ඒත් අධ්‍යාපන ආයතනයක විතරක් නෙමෙයි ආනන්දේ වගේ ස්කෝලෙක මේවගේ නොසැලකිලිමත් දේවල් වෙනවා නම් මොන කතාද?

    ReplyDelete

නූතන පටාචාරාවත

විසිතුරු බඩුව ඇය කිසිවිට නැහැ සැලුනේ.. බියකරු වනය බිය නැහැ ඇය වෙත දැනුනේ.. සිය සැමි නැතිය එන මග දරු අහිමි වුනේ.. නැති විය සිහිය ...