Wednesday, March 19, 2014

ඕලන්ද ජල මාර්ග (Dutch Canals)

ලෝකයේ ප්‍රවාහන මාධ්‍යයන් කිහිපයක්ම තිබෙනවා. අපි දන්නා ආකාරයට ගුවන්,නාවික සහ මාර්ග විදියට ඒවා වෙන් කරගන්න පුළුවනි. ගොඩබිම ප්‍රවාහන මාධ්‍යයක් විදියට භාවිත වෙන මාර්ග යළිත් දුම්රිය සහ මහාමාර්ග ලෙස වෙනස් වෙනවා. කේබල් කාර් උමං අධිවේගී මාර්ග ගුවන් පාලම් ආදි නොයෙකුත් විදියට අද දියුනු ලෝකයේ ප්‍රවාහන මාධයයන් වෙනස් වෙලා තිබෙනවා. නාවුක ගමන් මාර්ග කිව්වාම බොහෝවිට හිතේ මැවෙන්නෙ විශාල ගංගා සහ මුහුද මත කරන විශාල නැව් ගමනා ගමන කාර්යයන්. නමුත් ජල මාර්ග මහා මාර්ග විදියටත් පාවිච්චි කරන අවස්ථා තිබෙනවා.


මේ විදියට රටවල් හෝ මහද්වීප ඇතුලෙ තිබෙන ජල මාර්ග විදියට හඳුන්වන්න පුලුවනි ඇලවල්, වැව්, විශාල විල්, ගංගා ආදිය. මෙවායේ යන නැව්, බෝට්ටු, පාරු ආදිය තිබෙනවා. ලංකාව යුරෝපීය ජාතින් තුන් ගොල්ලක් යටත් කරගෙන සිටියා. එයින් දෙවනියට යටත් කරගත්තේ ඕලන්ද ජාතිකයින්. ඔවුන් අද හඳුන්වන්නෙ නෙදර්ලන්තය විදියට. ඉතිහාසයේ ඒ යුගයේදී නෙදර්ලන්තය ප්‍රබල රටක්ව පැවතුනා. නෙදර්ලන්ත ජාතිකයින් සහ ප්‍රංශ ජාතිකයින් රටවල් ඇතුලෙ අභ්‍යන්තර ජල මාර්ග ඇති කරන්නත් තිබෙන අභ්‍යන්තර ජල මාර්ග වල ගමනාගමන කටයුතු කරන්නත් හපන්නු වුනා.

ශ්‍රී ලංකාවෙ මුහුදුබඩ පලාත් ඕලන්ද ජාතිකයින්ගෙන් ඉංග්‍රීසි ජාතිකයින්ට අයිති වෙනවා එක්දාස් හත්සිය ගනන් වලදි. පෘතුගීසි ජාතිකයින් ඊට කලිං හිටියා. නමුත් ලංකාවෙ පහතරට මිනිසුන්ගේ ජන ජීවිතයට ,ජීවන රටාවන් වලට වඩාත්ම බලපෑමක් කලේ ඕලන්ද ජාතිකයින්. මේ ඕලන්ද ජාතිකයින් නිවාස තැනීම, වැවීම, ජල මාර්ග ඉදිකිරීම, ව්‍යාපාර කටයුතු කිරීම ආදියෙහි නිරත වෙලා සිටියා. ඒ නිසාම පසුකාලීනව අපේ සංස්කෘතියට සැලකිය යුතු දායකත්වයක් ඕලන්ද ජාතිකයින් ගෙන් ලැබුනා.

ලංකාවෙ මහුදුබඩ පලාත් ලන්දේසින්ගේ පාලනයෙන් පසුව ඉංග්‍රීසින්ට දෙන්න වුනාට නෙදර්ලන්ත ජාතිකයින් ඉන්දුනීසියාව නිව් ගිනියාව ජාවා සුමාත්‍රා දූපත් වාගෙ ගිනිකොණදිග ආසියාවෙ රටවල් 1950 විතර වෙනකල් පාලනය කලා. ඕලන්ද ජාතිකයින් යටතේ තිබුන විශාල රාජ්‍යයක් තමයි ඉන්දුනීසියාව. අදත් නෙදර්ලන්තයේ ජනගහනයෙන් සියයට 2ක් ඉන්දූනීසියානු ජනතාව ඉන්නත් ඒක එක හේතුවක් වෙන්න ඇති. (නෙදර්ලන්ත, ඕලන්ද, ලන්දේසි යනුවෙන් හඳුන්වන්නේ එකම ජාතියකි)

ඉතිහාසයේ ලෝක යුද්ද සහ යුරෝපයේ ඒ ඒ වකවානු වල පැවති තත්වයන් නිසා නෙදර්ලන්තය කියන රටත් එයට අයිති බිමත් පසුකාලීනව වෙනස් වෙන්නට ඇති. අද නෙදර්ලන්තයේ වපසරිය වර්ග කිලෝමීටර 41,543ක් වෙනවා. ඒ රටේ අභ්‍යන්තර ප්‍රවාහනයට යොදා ගත හැකි විශාල නැව් යන්න පුලුවන් ජල මාර්ග වල දුර කිලෝමීටර 6,237ක් වෙනවා. බැලුවාම පේනවා ලංකාවට වඩා විශාලත්වයෙන් අඩුවුනාට ලංකාවෙ සමස්ථ දුම්රිය මාර්ග දුර වන කිලෝමීටර 1,449ටත් වඩා දිග නැව් යන්න පුලුවන් ඇල සහ ගංගා මාර්ග නෙදර්ලන්තයට තිබෙනවා. මේ ඇලවල් ඇවිල්ලා ටොන් පනහට වඩා බර කුඩා නැව් පවා යන්න පුලුවන් විශාල ඇල මාර්ග.

ලෝකයේ අභ්‍යන්තර නාවුක මාර්ග ලැයිස්තුව සංසන්දනය කලාම පිලිවෙලින් චීනය,රුසියාව, බ්‍රසීලය, වියට්නාමය,එක්සත් ජනපදය,කොලොම්බියාව, සහ ඉන්දුනීසියාව තිබෙනවා. ඉන්දුනීසියාව ජල මාර්ග වල දිග අනුව සැලකුවාම 7 වන ස්ථානයේ ඉන්නවා. මේ ලැයිස්තුවේ 22 වන ස්ථානයේ නෙදර්ලන්තය තිබෙනවා. ඒ අනුව ඕලන්දයට යටත් වෙලා තිබුන ඉන්දුනීසියානු රටේ විශාල වශයෙන් අභ්‍යන්තර නාවුක මාර්ග ඇතිකරන්න ඕලන්ද ජාතිකයින් ක්‍රියා කලා කියලා අපිට හිතන්න අවකාශ තිබෙනවා. ප්‍රංශ රටත් එහෙමයි. ප්‍රංශයෙත් නාවුක ගමනාගමනයට යොදාගන්න ඇල මාර්ග සහ විශාල ගංගා ආදිය තිබෙනවා.

ඕලන්ද යුගයේදී ලංකාව ඔවුන් යාපනය,කොළඹ සහ ගාල්ල වශෙයන් නගර තුනක් යටතේ පාලනය කලා. මේ කාලයේදී ඕලන්දක්කාරයෝ ලංකාවේ වැඩකරන්න ඒ අයගේ වෙනත් යටත් විජිත වලින් මිනිස්සු මෙහෙට ගෙනල්ල තියෙනවා. ඒ කිව්වෙ ඉන්දුනීසියාව,ජාවා දූපත්, දකුනු ඉන්දියාව, මියන්මාරය වගේ රටවලින් ලංකාවෙ සේවය කරන්න මිනිස්සු ගෙනල්ල තියෙනවා. ඕලන්ද ජාතිකයින් යටත් විජිතවලදී ස්වදේශිකයින් සමඟ විවාහ සම්බන්ධතා පැවැත්වීම පහත් ක්‍රියාවක් ලෙස දුටුවා. ඒ නිසා ඔවුන් බොහෝවිට කසාද බඳින්න ගෑනු ඒ රටින්ම රැගෙන එන්නට ඇති. ඕලන්ද ජාතිකයින් සහ යුරෝපයෙන් පැමිණි අය ඒ ඒ රටවලට ආයිත් යන්නට ඇති. එයින් ඉතාම සුළු පිරිසක් බර්ගර් කියලා අපිට නිදහස ලැබෙන කාලෙ වෙනකල් ඉතිරි වෙලා හිටියා. එතකොට වැඩට ගෙනාපු මිනිස්සු? එයාලට මොකද වුනේ? ආයිත් ඒ අය යන්න ඇතිද ඉන්න ඇතිද? ඒක සිතන එක පාඨකයාටම බාර දෙනවා.

පහතරට පලාත් පාලනය කරපු ඕලන්ද ජාතිකයින් මෙහෙ කුරුඳු,පුවක් සහ එවැනි වෙළඳ වටිනාකමක් සහිත ද්‍රව්‍යයන් ප්‍රවාහනය කරන්නට මාධ්‍යයක් සොයන්නට වුනා. ඔවුන් ඒ සඳහා ඇල මාර්ග තැනීමට කටයුතු කලා. සමහර ජල මාවත් පෘතුගීසි කාලයේ පටන්ම තිබෙන්නට ඇති. ලෝ පතල බ්‍රිටැනිකා විශ්ව කෝෂයේ සඳහන් වන අන්දමට නම් මඩකලපුවේ සිට සමන්තුරේ දක්වාත් මාතර සිට වැලිගම දක්වාත් කොළඹ සිට බෙන්තොට දක්වාත් ඇල මාර්ග ඕලන්ද පාලන කාලය තුල ඉදිකොට තිබෙනවා. මාතර වගේම ගාල්ලෙත් ඕලන්ද ඇලක් තිබෙනවා. වැලිගමත් මම ඇලක් තියෙනවා දැකල තියෙනවා ටිකක් පලල එකක්. නමුත් මාතර සහ වැලිගම අතර එවන් ඇලක් අදවන විට දකින්න ටනැහැ. මාතර සිට රට ඇතුලට යන්නට අකුරැස්ස පාරට සමාන්තරව ඉසදින් ටවුම ඇලවේල්ල ආදි පැතිවලට යන පුරාණ ඇලක් තිබෙනවා. ගාල්ලෙත් ඒ වගේ ඇලක් තිබෙනවා. නමුත් මාතර සහ වැලිගම අතර ඇලක් පිළිබඳ තොරතුරක් වෙනත් තැනකින් සොයාගන්නට නැහැ.

ඊට අමතරව කොළඹ සිට බෙන්තොටට තිබුනාය කියන ඇල, මඩකලපු සමන්තුරය ඇල ආදියද ඇත්තටම තිබුනාද කියලා දන්නේ නැහැ. නමුත් බ්‍රිතාන්‍ය යුගයේ ලියවුනු නොයෙක් සටහන් වල කොළඹට දකුනට වන්නට රත්මලාන මොරටුව පානදුර පළාතේ එවකට තිබුන වගුරු බිම්වල තිබූ ජලය බස්සවා ඒ බිම් ප්‍ර යෝජනවත් පොල් වගාවට යොදාගන්න ලන්දේසින් කටයුතු කලා කියල සඳහන් වෙනවා. මේ අන්දමේ වගුරු බිම් වල ජලය බැස්සවීම, නව ඇල මාර්ග ඉදිකිරීම, ඉඩම් ගොඩ කිරීම ආදී කාර්යන්හි නිපුණ වාරි ඉන්ජිනේරුවන් ලන්දේසි පෙරදිග ඉන්දීය වෙළඳ සමාගම තුල රාජකාරි කොට තිබෙනවා.

ලන්දේසි කාලයේ කරපු අද දක්වා තිබෙන ලංකාවේ අභ්‍යන්තර ජල මාර්ගයක් විදියට භාවිත කල හැකි මාර්ගයක් ලෙස පවතින්නේ හැමිල්ටන් ඇල. මේ හැමිල්ටන් ඇලට සමාන්තරව තවත් විශාල ඇලක්ද තිබිල තිබෙනවා. මෙය එකල 8වන පැරකුම්බා රජ කාලයේ පටන් තිබෙන්නට ඇති බවටත් මත පලවෙනවා. මේ හැමිල්ටන් ඇල සහ ඒ සමාන්තර මුතුරාජවෙල හරහා යන ඇලමාර්ග වලින් ලන්දේසින් මීගමුව පුත්තලම කල්පිටිය,මන්නාරම, පැත්තේ සිට බඩු භාන්ඩ කොළඹ කොටුවට ප්‍රවාහනය කරලා තිබෙනවා. ඒ සඳහාම විශේෂිත වූ බෝට්ටු විශේෂයක්ද ඔවුන් සතුව තිබිල තියෙනවා.

මේ හැමිල්ටන් ඇල පටන්ගන්නෙ කැළණි ගඟෙන් එහි කොටසක් මීගමු කලපුවෙන් ඉවර වෙනවා අද වනවිට මේ මීගමු කලපුව දක්වා කොටස ප්‍රතිසංස්කරණය වෙලා තිබෙනවා. මේ හැමිල්ටන් ඇල මීට කලින් ඉංග්‍රීසි ජාතිකයින් විසිනුත් ප්‍රතිසංස්කරණය වෙලා තිබෙනවා. මේ ඇල මුල්කාලයේ කිලෝමීටර 100ක් පමණ දිග එකක් වන්නට ඇතිබවට විශ්වාස කෙරෙනවා. කුලියාපිටිය පුත්තලම පැත්ත දක්වා විහිදුන මේ ඇලේ සක්‍රිය කොටස් අද දක්වාම දකින්න ටතිබෙනවා. ක්ලෝමීටර 40ක අධිවේගී මාර්ගයක් විවෘත කරන එක ජාතික උත්සවයක් බවට අද පත්වෙලා තියෙනවා. එදා මහ ඩෝසර්,යකඩ ඇත්තු,ටිපර් නැති කාලෙක කිලෝමීටර 100ක බෝට්ටු යන්න පුලුවන් ඇලක් හදපු ඒ කාලෙ ලන්දේසි කාරයො මොන විදියෙ උස්සව කන්දරාව තියන්න ඇත්ද ඒව විවෘත කරන්න.

අපේ ප්‍රාෙද්ශීය රජවරුන්, පෘතුගීසින් සහ පසුකලෙක ලන්දේසින් විසින් මේ කොළඹට උතුරින් නව ප්‍රවාහන ජල මාර්ග ඇතිකිරීමත් එක්ක ලොකු අවාසියක් සිද්ද වුනා. ඒ තමයි ඇල මාර්ග හරහා කරදිය ඇවිත් ඒවා නිසා මුතුරාජවෙල ආදි පැතිවල කුඹුරු පුරන් වෙච්චි එක. ඒ මෝඩ වැඩේ නිසාම හැමිල්ටන් ඇලට සමාන්තර පරණ ඇලක් මෝඩ ඇල කියලත් හඳුන්වනවා. මේ ඇලමාර්ග තනන්න ගෙනාපු ජාවා රටේ මිනිස්සු සම්බන්ධ කිසියම් කාරණාවක් නිසා ජා ඇල ඇතිවුනා කියලත් මතයක් තිබෙනවා.

ඒ කාලෙ කොළඹ සාන්ත බස්තියන් තොටුපල බොහොම කාර්යබහුල තැනක් වෙලා තියෙනවා. සාන්ත බස්තියන් තොට, වැල්ලවත්ත, දෙහිවල ඇලවල්, බේරෙ වැව, ලේක් හවුස් එක, දියවන්නා ඇලවල් ආදිය එදා සක්‍රිය ප්‍රවාහන මාධ්‍යයන් වෙන්නට ඇති. කොළඹ වටේ ඇවිදින කාට වුනත් පරණ ඇලවල් හැමතැනම දකින්නට තිබෙනවා. නොරිස් කැනල් පාර, බේරෙ වැවේ අතු ශාඛාවන් විවිධ ඇලමාර්ග නගරය හරහා තැන් තැන් වල විහිදිලා තිබෙන ආකාරයක් දකින්නට පුලුවනි. මේ ඇල මාර්ගයන් බොහොමයක් ලන්දේසී කාලයේදී බඩු ප්‍රවාහනය කරන්න නාවුක කටයුතු සඳහා යොදාගන්නට ඇති.

දැන් පිටකොටුව පැත්තට එන කෙනෙක්ට පරණ සාන්ත බස්තියන් ඇලේ අවසාන කොටස දැක බලාගන්න හැකයාවක් ලැබිල තිබෙනවා. ඒ කාලෙ බොහොම ජයට මේ ජලමාර්ග තියෙන්න ඇති කියලා දැන් ඒවා දැක්කාම හිතෙනවා.

190,170 එනකොට දියවන්නාව හරියෙන් උදේට ඇතිවෙන වාහන තදබදය නිසා මිනිහෙක්ට උදේට රාජගිරියෙ ඉඳලා කොටුවට සැපත් වෙන්න පැයක් විතර ගතවෙනවා. ඒ වෙලාවෙ ටිකක් වේගෙන් පයින් ආවත් ලේසියෙන් කොළඹ කොටුවට එන්න පුලුවනි. ඒ අතින් බැලුවාම අපිට වඩා බොහොම ඉක්මනින් ලන්දේසි කාලෙ මිනිස්සු වැඩට යන්න එන්න ඇති. හැමදාම අලුත් අලුත් විශාල දේවල් හිතන අපේ රටේ බුද්ධිමතුන්ට උගතුන්ට පාලකයින්ට පොඩ්ඩක් පරණ සිතියම් පෙරලලා ඒ කාලෙ පාවිච්චි වුන ජල මාර්ග නැවත ඇතිකරන්න පුළුවන්ද ඒවා නැවත මාර්ග විදියට පිහිටුවන්න පුලුවන්ද කියලා හොයන එක ලොකු ව්‍යායාමයක් වේවි. ඒ වගේම දැනටම බොහොමයක් ජල මාර්ග තිබෙන නිසා නව පාලම් ඇතිකිරීම පුළුල් කිරීම වගේ පොඩි වැඩ කීපෙකින් පස්සෙ මේ ඇලවල් යළිත් පාවිච්චි කරන්න හැකියාවකුත් ඇති.

සාමාන්‍ය ලෝකයෙදි ඉංජිනේරු විද්‍යාව, වාණිජ විද්‍යාවන් ආදියෙදි ඉගෙනගන්නෙ අඩු සම්පත් ප්‍රමාණයකින් වඩාත් වැඩි ප්‍රතිපලයක් ලබාගන්න ආකාරය ගැන. නමුත් ලංකාවෙදි දැන් පාලකයො හිතන්නෙ වැඩි සම්පත් ප්‍රමාණයක් විනාස කරලා ඇහැට පේන ලොකු දේවල් කරන්නෙ කොහොමද කියන එක.

15 comments:

  1. එයාලට ඒව ආපහු ඇති කරන්න හිතුනොත් ඒ ජනතාව ගැන හිගල නෙවී.. කුට්ටිය හා ආර්තිත වාසි සලකල...
    මට මේ පෝස්ට් එකේ ටයිටලය දකිනකොටම මතක් වුනේ හැමිල්ටන් එක... ඒත් මෝඩ ඇල නං අහලම නෑ...
    ස්තූතියි... වටින විස්තරයක්

    ReplyDelete
    Replies
    1. මෝඩ ඇල කියන්නේ හැමිල්ටන් ඇලට

      Delete
  2. ලන්දේසිකාරයන්ගෙන් ලැබුණු තවත් වැදගත් දෙයක් තමා රෝම ලන්දේසි නීතිය

    ඇත්තටාම ජල මාර්ගවලින් කරන ප්‍රවාහනය බොහොම හොඳ අදහසක්. වාහන තදබදයට කදිම විසඳුමක්. ඒත් අධීවේගී මාර්ග, ගුවන් තොටුපොළවල් සහ සී ප්ලේන් ව්‍යාපෘති කරනවා ඇරෙන්න මේ ගැන අවදානය යිමුවුණු බවක් පෙනෙන්නේ නැහැ.

    හැබැයි දැන් ගොඩක් ඇළ මාර්ග වගේ ඒවා පිරිසිදු කරන එක ඒවා ආශ්‍රිතව උද්‍යාන හදනවා වගේ ජාතිත් වෙන නිසා ඉදිරියේදී ජල මාර්ග ප්‍රවාහන කටයුතු ආරම්භ වෙයි කියලා හිතනවා

    ReplyDelete
    Replies
    1. "ලන්දේසිකාරයන්ගෙන් ලැබුණු තවත් වැදගත් දෙයක් තමා රෝම ලන්දේසි නීතිය "
      ඇයි කොකිස්? :-)

      කෑම ජාති ( Dutch සහ මෑලේ) හුගක් සහ සින්හල බාසාවට වචන විශාල ගණනක් ලෑබුන.

      Delete
    2. චීනෙට ඕන වුනොත් මෙහෙ ඇලවල් හදන්න ඕනි බෝට්ටු දාන්න ඕනි කියලා ඒකත් සිද්ද වේවි. චීනෙට ඕන නිසා මුහුදු ගොඩ වෙනවා, වරායවල් හැදෙනවා, ටවර් ඉදි වෙනවා ඉතිං අපි ඔය වගේ දෙයක් වෙන්න නම් ඒක චීනයේ අවශ්‍යතාවයක් වේවා කියල ප්‍රාර්ථනා කරන එක තමයි දැන් ඉතිරිවෙල තියෙන්නෙ.

      Delete
  3. වාහන තදබදය මගහරවන්න ඔය ල්ජලමාර්ග ප්‍රවාහනයක් කොළඹ ආශ්‍රිතව පටන්ගත්තා නේද? ඒවා ලත් තැනම ලොප් වෙලා.

    එක දෙයක් නම් විශ්වාසයි. ඕලන්දක්කාරයෝ, සුද්දෝ, අද අපි කරනවා වගේ ඉස්කෝල ළමයි ගිනි අව්වේ තියාගෙන, බස් වලින් මිනිස්සු ඇද ඇද විකාර උත්සව කරන්ඩ නැතුව ඇති ඔය ඇළමාර්ග විවෘත කිරීමේදී.

    ReplyDelete
    Replies
    1. ලන්දේසීන් පටන් ගත්ත සමහර දේවල් එයාලට ඉවරකරගන්න බැරිවුනා. නමුත් ඔවුන් හිටිය අවුරුදු 150ක කාලයක් ඇතුලත ඔවුන්ට අයිතිව තිබූ පලාත්වල සැලකිය යුතු වෙනසක් කරන්න ඔවුන් සමත් වෙලා තිබෙනවා.

      Delete
  4. කාලෙකට ඉස්සල්ලා මීගමුව-කොළබ බෝට්ටු සේවයක් පටන් ගන්න සැලසුම් කලා හැමිල්ටන් ඇල දිගේ,මොනා උනාද දන්නෙ නෑ,අමිල මා ඔය මුදට වැටෙන මෝය කට ලග කතෝලික පල්ලියක් තියනවා,,මීගමුවේ අය හැමිල්ටන් ඇල දිගේ බෝට්ටු වලින් ඔය පල්ලියට එනවා අදටත්..

    ReplyDelete
    Replies
    1. ගීතිකා කියමින් පාරු වලින් ඇල දිගේ කැරොල් බෝට්ටු ඒ කාලෙ ගිහින් තියනවා ලු.

      Delete
    2. දැනටත් ඔයිට කිට්ටුවෙන් යන සීන් එකක් තියනව. ඒ තමයි කිඳිගොඩ පල්ලියේ මංගල්ලෙ. දඩුගම් ඔයේ පහල හරියට වෙන්න තියන කිඳිගොඩ පල්ලියේ මංගල්ලෙට කට්ටිය එන්නෙ සහ සුරුවම වඩම්මන්නෙ බෝට්ටුවලින්. බලන්න ලස්සන දර්ශනයක් ඒක. මේ හේතුව නිසා කිඳිගොඩ පල්ලියේ මංගල්ලෙ හැමෝම හදුන්වන්නෙ බෝට්ටු මංගල්ලෙ කියල

      Delete
  5. //ඒ මෝඩ වැඩේ නිසාම හැමිල්ටන් ඇලට සමාන්තර පරණ ඇලක් මෝඩ ඇල කියලත් හඳුන්වනවා. මේ ඇලමාර්ග තනන්න ගෙනාපු ජාවා රටේ මිනිස්සු සම්බන්ධ කිසියම් කාරණාවක් නිසා ජා ඇල ඇතිවුනා කියලත් මතයක් තිබෙනවා. //

    හැමිල්ටන් ඇල පැත්තකින් මීගමු කලපුවට සම්බන්දනිසා වඩදිය දවස්වලදි ඇල හරහා මුතුරාජවෙලට කරදිය ඇතුල්වෙලා මුතුරාජවෙල කියන මහ විසාල වෙල්යායම පුරන් වෙනව. ඒක නිසා හැමිල්ටන් ඇලටම තමයි මෝඩ ඇල කියන්නෙත්.
    පුරන් වෙච්ච මුතුරාජවෙලෙන් යම් කොටසක් හෝ බේරගන්න ඕනෙ නිසා සුද්දො ජා වහලුන් ලවා අත්තනගලු ඔයේ ඉදල ඇලක් කපනව මුතුරාජවෙලට. ඒක තමයි ජා ඇල.
    ජා ඇල නිසා මුතුරාජවෙල ඉහල කොටසේ (මීගමු පාරෙන් රට ඇතුලට වෙන්න) කුඹුරුටික බේරගන්න පුලුවන් වෙනව. මාකවිට පැත්තෙ එහෙම තියෙන්නෙ ඒ විදියට බේරගත්ත කුඹුරු.
    පස්සෙ කාලෙක මේ ජා ඇල කියන නම ඒ ඇල ආශ්‍රිතව ගොඩනැගුන ලොකුම ගමේ නම බවට සීමා වෙනව

    සාන්ත බස්තියම ඇල කීවාම . . . අදටත් සාන්ත බස්තියන් ඇලේ සොරොවුව විතරක් ඒ කාලෙ අයිටම් වලින් බලාගන්න බතිරි වෙලා තියනව ටෙක්නිකල් හන්දියෙන් උසාවිය පැත්තට යද්දි

    ReplyDelete
    Replies
    1. සිංහල රජ කාලෙ ඔය මුතුරාජවෙල ලොකු වෙලක් තිබුනා. ඉන් පස්සෙ ඒ වෙල හරහා තිබුන ඇලවල් බඩු ප්‍රවාහනයට යොදා ගත්තා. පසුකාලීනව පෘතුගීසින් සහ ලන්දේසීන් විසින් මේ ඇලවල් විශාල කරලා ගැඹුරු කරලා විශාල වශයෙන් භාන්ඩ ප්‍රවාහනයට යොදාගත්තා. ඕලන්ද ඇල නමින් හැඳින්වෙන තරමක් විශාලව ගූගල් මැප් එකේ මීගමු කලපුවට ආසන්නයෙන් අධිවේගී මාර්ගයට සමාන්තරව තියෙන්නෙ ඒ ඇල. ඒක තමයි ඕලන්ද කාරයො සහ පෘතුගීසින් හදපු ඇල.

      පැහැදිලිවම මෙතන කැළණි ගඟ සහ මීගමු කලපුව යාවෙන මීගමු පාරට සමාන්තර ඇලවල් දෙකක් තිබෙනවා. එකක් ඉංග්‍රීසින් පසුකාලිනව හදපු හැමිල්ටන් ඇල. අනික් එක ලන්දේසින් සහ පෘතුගීසින් කලින් හදපු ඇල. මෙයින් වඩාත්ම පරන එක මුතුරාජවෙල හරහා යන ඕලන්ද ඇල.

      ඉන් පසු කාලෙක හැමිල්ටන් ඇල බොහෝදුර ලන්දේසින් විසින් පටන් අරගෙන තිබුනත් ඒක ඉවර කරන්නෙ ඉංග්‍රීසි ජාතිකයින් විසින්. ලන්දේසින් විසින් මුලින් තිබුන ඕලන්ද ඇල ඇතිකිරීමත් එක්කම කුඹුරු පුරන් වීමේ දෝෂය පැමිණියා. ඔවුනුත් නොයෙක් වාරික්‍රම යෙදුව්ත් ඔවුන්ට මේ කුඹුරු යථා තත්වයට ගේන්න බැරිවෙනවා පසුව 1802 දි ඉදි වූ හැමිල්ටන් ඇල සහ මේ පැරණි ඕලන්ද ඇල අතර සම්බන්ධ ඇලවල් 22ක් ඇති වෙනවා. බොහෝවිට බාධා රහිත කෙලින් මාර්ගයක් ලෙසත් මුලින් කී කරදිය රට තුලට පැමිණීම වලක්වන උපායක් ලෙසත් හැමිල්ටන් ඇල තැනූ බවට මත තියෙනවා.

      නමුත් හැමිල්ටන් ඇල හදලා තවත් වැඩ කිඩ දැම්ම්ත සම්පූර්ණ මුතුරාජවෙලම යථා තත්වයට ගේන්න ඉංග්‍රීසින්ට බැරි වෙනවා. ලන්දේසි/පෘතුගීසි කාරයින් කපපු මුල් ඇල මගින් කරදිය ඇවිත් පුරන් වුන නිසා ඒක මෝඩ ඇල ලෙස හඳුන්වනවා ඇති. නමුත් පසුකාලීනව හැමිල්ටන් ඇල තැනීමෙනුත් කුඹුරු සියල්ලම බේරගන්න බැරිවුන නිසාත් යළිත් ඒකටත් මොඩ ඇල කියනවා වෙන්න පුලුවනි.

      Delete
  6. //සාමාන්‍ය ලෝකයෙදි ඉංජිනේරු විද්‍යාව, වාණිජ විද්‍යාවන් ආදියෙදි ඉගෙනගන්නෙ අඩු සම්පත් ප්‍රමාණයකින් වඩාත් වැඩි ප්‍රතිපලයක් ලබාගන්න ආකාරය ගැන. නමුත් ලංකාවෙදි දැන් පාලකයො හිතන්නෙ වැඩි සම්පත් ප්‍රමාණයක් විනාස කරලා ඇහැට පේන ලොකු දේවල් කරන්නෙ කොහොමද කියන එක.//
    ඇත්ත කතාව..

    ReplyDelete
  7. පට්ට පෝස්ටුව සහෝ. මම හිතං හිටියේ මෝඩ ඇළ කියන්නේ හැමිල්ටන් ඇළට කියල.
    මොනා උනත් අග ලියපු වාක්‍යය නම් හරියටම හරි. හොඳ බෝට්ටු ටිකක් දැම්මනම් අපි උනත් කැමති නේ බෝට්ටුවෙන් වැඩට එන්න. අම්මපා නගර අලංකරණ ලේකම්ට ඕක අමතක උන හැටි..

    ReplyDelete
  8. ඉතිහාසය ඉගෙන ගන්න ඕන!. උගන්වන්නත් ඕන ! බව ඔබ මෙන්ම මෙහි අදහස් පළ කරන විද්වත් පිරිසගෙන් ලැබෙන වටිනා පණිවුඩයයි.

    ReplyDelete

නූතන පටාචාරාවත

විසිතුරු බඩුව ඇය කිසිවිට නැහැ සැලුනේ.. බියකරු වනය බිය නැහැ ඇය වෙත දැනුනේ.. සිය සැමි නැතිය එන මග දරු අහිමි වුනේ.. නැති විය සිහිය ...