Wednesday, March 26, 2014

ගෑනු දෙන්නෙක් උඩ (two ladies on air)

වදන් 2200කට ආසන්න මේ කතා වස්තුව කියවීමට විනාඩි දහයත් විස්සත් අතර කාලයක් ගත විය හැකිය. 

 කොටුව දුම්රිය ස්ථානයෙන් එළියට ආ ජයවතී අවට බැලීමට ප්‍රථම සිය මුහුන බලා එහි වැරදි තනා ගැන්මට දුම්රිය ස්ථානයේ කාන්තා විවේකාගාරයට ගියාය. ඇයගේ මතය අනුව ඇගේ දත් පෙළ වඩාත් ඉදිරියට පැමිණ ඇති බවක් පෙනෙයි. එය මුහුනට එක් කරන්නේ විශාල අඩුවක් බව ඇයට හැඟී ගොස් ඇත. මීට බොහෝ කලකට පෙර දත් පසුපසට කොට බැඳ දැමූ නමුත් යළිත් ඒවා ඉදිරියට ඇවිත් ඇතැයි ජයවතී සිතුවාය.

ජයවතී කන්ණාඩියෙන් බලන්නේ ඇගේ මුහුණ පමණකි. ඇයගේ මුහුනද ශොභාමත් වස්තුවක් වූ නමුදු ඈ දෙස බලන පිරිමියෙකුට ඇගේ සිරුරම හරව හරවා බැලිය හැකි අලංකාර වෙසක් කූඩුවක් පරිද්දෙන් වූයේය. මීට තුන් වසකට පෙර නම් ජයවතීගේ නාරී ශරීරය කොළ අලවා බුබුලු දල්වා ලූ අයස්කාන්ත වස්තුවක් මෙන් ශොභාමත් වූයේය. වසර තුනක් වියලි කලාපයේ උණුහුමට නතුව නිසි සැලකිලි ලැබූ සිරුරේ දැන් ඇත්තේ පෙර පැවති ශොභාවේ යම් ප්‍රමාණයක් පමණි. එහෙත් එයද දුටුවන් හරවා බලන තරම් වන දර්ශනයකි.

ඈට පෙර තිබූ තරම් ආකර්ශනයක් පුරුෂ පක්ෂය කෙරෙන් නොලැබෙන බව ඈ දැන සිටියාය. ඇගේ පැත්තෙන් ඇයට තිබූ එකම හේතුව වනාහී ඉදිරියට පනින්ට වෙර දරන ඇගේ ඉදිරිපස දත් දෙපලයි. කාලයක් තිස්සේ මානසික සහ පාරිසරික සාධක වලින් පෙලෙමින් පවතින ඇගේ ජීවිතය පවතින පීඩාකාරි මනසට ඔරොත්තු දෙන්නට නොහැකි තරම් දුක් වලට මුහුන දුන්නේය. එයින් දුක් කොටසක් මාංශ ලේ ධාතු හරහා ගොස් ඇති නිසා ඇය ගේ රූපයේ යම් අඩුවක් වී ඇතැයි ඇය මීට තුන් හතර වසකට පෙර දුටු අයෙකුට සිතෙන්නට පුලුවන.

කොටුව දුම්රිය ස්ථානයෙන් එළියට බට ඇය අසාගත් පරිදි බස් රියක් සොයාගෙන දන්තායතනය වෙත පියමනින්නට වූවාය. මෙවන් අවස්ථාවලදී පිහිට වන්නට කොල්ලෙකු සොයාගන්නට ඇයට අපහසුවක් නොවීය. රජරට පැත්තේ පත්වීම ගත් ඇයට රජරට සිට රුහුණට එන යන ගමන් වලදී හමුවන පිරිමි යහලුවන්ගෙන් කිසිදු අඩුවක් නොවීය. බලෙන් කතාවට ඇවිත් වතගොත අසාගෙන ඔවුන් කෙරෙහි සිත් අලවාගන්නට පිරිමි සමර්ථය. මුල් කාලයේදී නම් ජයවතී ඒ පුරුෂයින්ගේ චාටු වලට හසු වූයේය.

එ කල ඇගේ දුර ගමන අතරතුර ජයවතී හෝටල් කාමරයකට රැගෙන ගිය ඇතැමෙක් අමා සුවයක් විඳගන්නට එය අවස්ථාවක්කොට ගත්තේය. නමුත් තාවකාලික වූ ඒ විනෝද ජවනිකාවට පෙර චාටුයෙන් මුසා බසින් සහ බොරු ආලයෙන්ද ඔද වැටුන පුරුෂයෝ ශුක්‍ර ධාතුන් ඉවත් වූ සැනින් වෙනස් වන ඉක්මන ගැන ජයවතී කළකිරුණාය. ඔවුන් ශුක්‍රධාතුව පිටවූ තැන් පටන් වෙනස් වෙන්නට ගන්නේ ඉතාමත් වේගයෙනි. ආලය බැඳීම ඇය කෙරේ වන පැහැදීම ආදී වන සියලු චාටු කතාන්දර එක් සැනෙකින් වෙනස් වන අයුරු ගැන මුලදී ජයවතී පුදුමයට පත් වූවාය.

ජයවතීගේ නාරිලතා මලේ සුවය විඳින්නට සමත් වූ බොහෝ අය ජයවතීද ඔවුන්ගේ ව්‍යායාමයෙන් මහත් වූ සුවයක් විඳින්නට ඇති බවැ සිතූහ. නමුත් යාන්ත්‍රික වූ ඒ සංසිද්ධි අවසානයේ තමා බලාපොරොත්තු වූ රැකවරණය ආරක්ෂාව මුසු ප්‍රේමය හුදෙක් ව්‍යායාම පන්තියක් වීම ගැන ජයවතීගේ සිතේ වූයේ කනස්සල්ලකි. ඈ විශ්වාස කලේ ආලය එයින් මතු ගිය හින්දි සිනමාපටියක පරිදි දිග කතාවක් විය යුතු බවය.

දත් කූට්ටම පසුපසට කොට කම්බියක් දා ගැනීම මගින් දත් යුවල තනාගත හැකි බව ඇගේ මිතුරු හෙදියක් ඇයට කියා තිබුනි. ඉන් පසු මුලින් ඇය සායනයකට ගිය මුත් ළඟ දිනයකදී දත් කූට්ටම යලි සවිකර ගත නොහෙන බවත් ඒ සඳහා මාස තුනක් වත් යනු ඇති බවද දැනුම් දුන්නේය. මරදාන හන්දියේ බැස අමාරුවෙන් පාර සොයාගෙන ගිය ජයවතීට කොළඹ දන්තායතනයෙන්ද ගත හැකි වූ පිළිතුර ඒ සමාන එකක් විය. දැන්ම කරන් නැහැ. තා මාස තුනකින් එන්න. තව සති දෙකකින් ඇවිත් දිනයක් ගන්න. දන්තායතනයේම තැන් දෙක තුනකට බඩ ගෑමෙන් පසු ජයවතීට ලබාගත හැකි වූ පිළිතුරු ඒය.

දතක් ගැලවීමට පුද්ගලික අංශයෙන් නම් රුපියල් දෙතුන් දාහක් වියදම් වෙන වැඩකි. කෝ ඕවට සල්ලි? ජයවතී සිතුවාය. ඇය රැකියාවට ගියාට පසු නිවසේ වෙනස් කම් දෙකක් සිද්ධ විය. එකක් නම් කලක්රෝගාතුරව සිටි ඇගේ පියා මියපරලොව යෑමයි. අනික නම් ඇගේ අක්කා විවාහ ජිවිතයට ඇතුලත් වීමයි. ජයවතී කුඩාකල තනන්නට පටන් ගත් නිවස පියාට හමාර කරන්නට ලැබුනේද නැත. මේ කාරණා නිසා ඇයට රැකියාවට ගිය විගසම වගේ ණය මුදල් කිහිපයක් ලබා ගන්නට සිදු වූවාය. අවසානයේ දැන් ඇගේ අතට මාසිකව ලැබෙන මුදල රුපියල් හයදාහත් අට දාහත් අතර මුදලකි.

තමා මාසය අවසානයේ අතට ලබාගන්නා පඩිය සුළු සේවකයකු ලබා ගන්නා පඩියටත් අඩු යැයි ජයවතී සිතුවාය. ජයවතී දත ගලවන්ට ගොස් එන ගමන පිටකොටුවේ ඇවිදිමින් සෙරෙප්පු ඇඳුම් ආදිය සොයා බැලුවාය. ප්‍රදර්ශනාගාර වල බෝනික්කන්ට අන්දවා ඇති අලංකාර ඇඳුම් ගැන තවමත් තිස් වන වියටද තවත් සිව් වසරක් පමණ ගෙවිය යුතු වන ජයවතී ශෝකයෙන් බැලුවාය. ඇයට එකල පියා විසින් සාප්පු ගානේ ගොසින් ඇඳුම් අරන් දුන් ආකාරය මතක් වූවාය. එකල ඇගේ මල්ලීටත් අක්කාටත් වඩා පියානෝ සිය කුඩා දියණීයට ආලය කලාය. ජයවතී පවුලේ මද්දුමයා විය.

මේ පිටකොටු ඇඳුම් පලමු දිනයේ අලංකාරව තිබෙන මුත් කිහිප වරක් සේදිමෙන් මතු එහි මුල් රසය බොහෝ සෙයින් අඩුව කඩමාලු තත්වයට වැටේ. පැය බාගයක් පමණ රෙදි තෝරමින් සිටි ඇය ගන්නට කිසිවක් සිතාගන්නට නොහැකිව ලත වුනාය. ඇය ආශා කල ආකාරයේ කලිසමක් විකුන්නට වූ නමුදු එය එක්දාස් පන්සියක් තරම් මිලක් වීය.ජයවතීගේ රූපය ඈත සිට දුටුවන්ද ආකර්ශනය කරන මට්ටමක තිබුන රැකියාවට ගිය මුල් අවධීයේ ඇගේ සිතගත් පියන්ත විසින් මුල් කල ඇගේ ඇඳුම් ගැන සොයා බැලුවාය. ඇයට ඇය කැමැති දෑ ගෙනත් දෙන්නට උත්සාහ ගත්තේය. නමුත් කාලය විසින් සිය ජීවිතය වෙනත් කාරණාවලින් තෙරපන වේගයෙන්ම ප්‍රියන්තද ඇගේ සිත තවන්නට විය.

ජයවතීගේ පියාගේ මල ගෙදරටද ක්‍රියාකාරීව සහභාගී වූ පියන්ත ජයවතී හා විවාහ වෙතියි දැනුදු ජයවතීගේ ගමේ මිතුරියන් සහ නෑයන් සිතති. නමුත් ප්‍රියන්ත ජයවතීගෙන් විකර්ශනය වන්නට ගෙන දැන් සය මසක් පමණ ගොස් ඇත. ඉඳහිට සුවයක් ගන්නට චාටු බස් කියාගෙන ප්‍රියන්ත පැමිණෙන මුත් කටුක ජීවිතය පෙඟෙන්නට ඒ ලිංගික සතුට නම් වූ කුඩා වතුර පොදෙන් ලබාගත හැකි සහනය මායාවක් බව ජයවතී අවබෝද කරගෙන සිටියාය. එබැවින් ප්‍රියන්තට අවශ්‍ය විටක ලබාගත හැකි කඩේ විකුනන්ට තිබෙන තේ වතුර එකක් මට්ටමට පහලට වැටෙන්නට ජයවතී අකමැති විය. “පියන්ත මට ඔයාට වගේ ඉක්මනට වෙනස්වෙන්න බැහැ. ඔයා ඔය විදියට චාටු දාන්නෙ මොකටද කියල මට තේරෙනවා. මට දැන් ඔය චාටුව වැඩක් නැහැ. ඔයා වෙන ඕන කෙනෙක් එක්ක ඔය වැඩේ කරගන්න. මගේ අමනාපයක් නැහැ. “ මම ඔයා හිතන ජාතියෙ නෙමෙයි පියන්ත.

යැයි ජයවතිය විසින් පියන්තට කිහිප වාරයක්ම කියන ලදී. මල්ලී ද ඉගෙන ගන්නා විදියක් පේන්නේ නැත. දවස අවසානයේ කොල්ලන් සමග බෝල ගැසීමත් රාත්තිරියේ චිත්‍රපට සහ කුනුහරුප නැරඹීමත් ඔහුගේ විනෝදාංශ වී ඇත. පාඩම් වැඩ කරන්නේ අම්මා විසින් මතක් කල විටෙක පමණි. පියාගේ වියෝවත් අක්කා ඈත පලාතකට නික්ම යාමෙනුත් පසු නිවසේ ඉතිරි වූයේ අම්මා සහ මල්ලී පමණී. මල්ලී කෙල්ලෙකු ගෙදර උස්සන් ඒවි යැයි දැඩි සැකයක් පවතින බව අම්මා නිතර කියයි. නිතර කතා කල පමණින් රෑට කෙල්ලන් සමග මල් කැඩූ පමණින් ඉස්සර මෙන් කෙල්ලන් ගෙදර එක්කරන් එන්නට හදන්නේ නැති වගක් අම්මා තේරුම් ගන්නේ නැත.

බාගෙදා නිවසද තනා ඇති බැවින් ඌ එකියක් කැන්දා ගෙන එන්නටද පුලුවන. කඩවසම් කාලවර්න උස මහත දේහයක් හිමි මල්ලි ඉගෙන ගෙන තැනකට යනවා නම් යැයි විටක ජයවතීට සිතුනාය. නමුත් ඌ ඉගෙන ගන්නා පාටක් නැත. ඊටත් වඩා ජයවතීට ඉවසුම් නැත්තේ පාරෙ යන සරුංගලයක් වැනි පොත්ත පමණක් සුදු සුදුමැලි පැහැ නැටිච්චියකට මල්ලී හසුවීමයි. “මොන ලස්සනක්ද බං ඒකිට තියෙන්නෙ.? මං දැක්ක ඕක වේල්ලෙ යනවා. මං හිතුවෙ හුළඟට ගහං යයි කියලා..“ හරි උඹෙ නෙවෙයි නේ මගේ කෑල්ල නේ. උඹ උඹෙ පියන්තය ගැන බලාගං මං මගෙ එකී ගැන ටික ටික හිතන්නං. එසේ අක්කා චෝදනා කරන බොහෝ විටක නිශ්ෂබ්ධව සිටින මල්ලී කලාතුරකින් අක්කාට රිදවන්නටද සිතුවාය.

තාත්තා දන්නා කියන මන්ත්‍රි තුමා සිටියේ රජරටය. තාත්තා ඔහුගේ ගජ මිතුරෙකි. තාත්තා මැරුන දිනයේ ඒ මන්ත්‍රියා රුපියල් විසිදහක්ම දුන්නේය. ඒ නිසා ඒ මන්ත්‍රි තුමා දුන් රැකියාව ජයවතීයට ලැබුනේ රජරටය. මන්ත්‍රියා ලෝකොත්තර කපටියෙකු වූ නමුදු වලත්තයෙකු නොවීම ගැන ජයවතීට වූයේ ගෞරවයකි. දෙතුන් වතාවක් මාරුව තනා ගැන්ම ගැන කතාකරන්නට ඔහු හමුවන්නට ජයවතී ගියාය. නමුත් ඔහු පැවසුවේ අන්තර් පලාත් මාරු හදාගෙන කට්ටිය මාරුවෙන බව ඔහුද දන්නා මුත් ඒවා කරගන්නේ කෙසේදැයි තමාද නොදන්නා බවකි. එහි යටි පෙළ අරුත වූයේ මේ යටින් අල්ලස් ක්‍රියාදාමයක් හෝ වෙනයම් ඉහල බලපෑමක් ආවොත් පමණක් මාරුව හදාගත හැකි බවකි.

තාත්තා ජීවත් වූවානම් ඇයට මාරුව හදාගන්ට හැකි වෙනු ඇත. ඇරත් මාසයකට වරක් දෙකක් ගෙදර ඇවිත් සතුටින් සිටින බව පේන්නට හිනැහෙමින් පාරෙ යන විට ගමේ උන් සිතන්නේ ඇය රජරට ඌෂ්ණයට කෙට්ටු වුනාට සරු ජීවිතයක් ගත කරන බවකි. එහෙත් ඇය ගමට මාරුවක් තනාගතහොත් ඇය ගෙවන කටුක ජීවිතය ගම ඉදිරියේ විරාජමාන වනු ඇත. නිසි රැකියාවක් නොමැතිව ආතක් පාතක් නැතිව සිට, හුදෙක් යටිබඩ ඉලක්කයට ,වස්තුව දේපල සහ මුදල දෙසට හැරවීමෙන් වාසනාව උදාකරගත් මිතුරියෝ ස්තිර රැකියාවැති ජයවතීට සිනාසෙනු ඇත. තමුන්ට සිනාසෙන්නට වස්තුවක් සොයන නෑයින්ට ඇගේ දුප්පත් කම තවත් නිමිත්තක් වනු ඇත. එබැවින් විදෙස් දිවියක් වැනි මේ දෙපලාත් දිවිය ඇයට ගෙනාවේ මඳ සහනයකි.

ඇය පිටකොටුව බස් නැවතුමෙන් බස් රියක නැගී වාඩි වුනාය. බස්රිය දුර යන එකක් වූවත් සෙනග ඉතා අඩු වූයෙන් කෙටි දුර මගීන්ද නංවා ගන්නා ලදී. තරුණයකු වාඩි වුනොත් මැනැවැයි සිතුවත් ඇගේ අසුනේ ඉතිරියට වග කීවේ අංකල් කෙනෙකි. ඔහු පානදුරෙන් බහින අයෙකි. නමුත් ඒ ටිකට මිනිහා යමක් කරගන්නට මෙන් නිදි කිරන්නට විය. මේ වැනි අවස්ථා රාශියකට මුහුන දී ඇති ජයවතී සිය අත් නිසි ලෙස ස්ථානගත කොට ඔහුගේ මායම් වලින් ගැලවෙන්ට තැනුවාය.

පානදුරට මෙහාදී යස වැඩක් විය. “පල වනචර බල්ල යන්න තොගේ ලබ්බ අතුල්ලන්න මගේ උරිස්ස ගන්නෙ. ඕක ගිහින් අතුල්ලපිය...බොලයි...ම්ම ගේ..යැයි කුනුහබ්බ රැසක් එක ගැහැනියෙකු සිටගෙන සිටි එකකුට කීවාය. ඉන් මතු ඇය ළඟ සිටි එකාටද? මේ මිනිහ නැග්ග වෙලේ ඉදල නිදි. ඒ මිදිවට වැටෙන්නෙත් මගෙ පැත්තටමයි. තොපේ වනචර නින්ද අපි නොදන්වයි ඕවා. “ ඇගේ හැකර කට ඉතාමත් අමිහිරි විය. බස් රියෙ සිටි කුඩා දරුවන් ඇතැමෙක් සතුටු සිතින් මුව අයා ඇය කොහිදැයි බලන්නට විය.

පානදුරෙන් ජයවතී සිටි අසුන හිස්ව තිබුන බැවින් ඇය පැමිණ එහි වාඩි වූවාය. ඉන් පසු සෙමෙන් ජයවතී හා කතාවට එන්නට විය. මං දැක්ක නංගිගෙ සීට්ටෙකෙ හිටපු නාකි වාහෙත් කරටම නිදා වැටෙන්න හැදුව නේ? සික් මුං වගේ වනචර ජාතියක්..මං කැතට කතාකරන් ඇති නේ? බස් සෙකම මගේ දිහා බලනකොට ලැජ්ජ හිතුන. ටික වෙලාවක් දොඩමලු වූ පසු ජයවතීට ඇය විස්තර කිව්වාය.

නංගි මං කලිං කිව්වෙ බොරු ඇත්තම කියන්නං. මං ඉන්නෙ කොළඹ මසාජ් සෙන්ටර් එකක. මට අවුල මේකයි. මුං සමහර උන්ට සල්ලි තියෙනවා. ඒත් ඇතිල්ලි ඇතිල්ලි යනවට එක රුපියල් පන්සියක් වත් දෙන් නහැ. නිකම්ම කෙලින්න එනවා. මටත් තව වැඩිදවසක් මෙහෙ ඉන්න බැහැ. මේ රස්සාව එපා වෙනවා. ජරා ඇඟවල් අතගාලම එපාවෙලා. උන් හිතනවා උන්ගේ ඇඟවල් අතගෑවම අපිටත් අමුතු චූන් එකක් යනවා කියලා. නාකි එවුං තමයි වැඩි.. සෙම පිරුනු නාකි ඇඟවල්.

ජයවතී ඇගේ කතාවට හුම් කීවා මිස කියන්ටන දෙයක් නැතිව සිටියාය. ඉතිං අක්කෙ ගෙවල් වලිං දන් නැද්ද? ටික වෙලාවක් නිශ්ෂබ්ධව සිට ජයවතී ඇසුවාය? අනේ මන්ද බං? ගෙවල් වල උන්ට මොනවද ඉතිං මං සල්ලි යවනව උන් වියදං කරනවා. මං ඉන්නෙ රට යන්න. සාත්තු සේවිකා විදියට රට යන්න පුලුවන් කියලා තියනෙවා දැක්ක. මං දැන් ගිහින් ටිකක් කතා බහ කරලයි තියෙන්නෙ වැඩේ ගැන.

ඔවුන්ගේ ගමන දිවා කල පැය පහ හයක ගමනක් වූවාය. ජයවතී ගමන එන්නට පිටත් වූයේ පාන්දර තුනේ සිටය. කොළඹට එන තුරු බස් රියේ නිදාගනෙ ආ ඇය දත් ගැලවීමට ගොස් සිට හෙම්බත් වූ නිසා ටිකක් නිදා ගත්තාය. නමුත් අවදි වන විට එවිට නින්දේ සිටි බස්රියේ පෙරදී වීරවරියක මෙන් සිටි කාන්තාව දැක ඇය ගැන අනුකම්පා කලාය.

දෙදෙනාම තේ බොන්ට නවත්වන විට බස් රියෙන් බැස ගන්නට විය.

පිස්සු නැතුව කන්න නංගි. මං මොකෝ වහ දාල දෙනවයි.? ඇගේ ඇවිටිල්ලටම ජයවතී බිත්තර රොටියක් සහ බනිසක් කෑවේය. අමරජයන්ති වැනි නමක් තිබූ අනෙක් ස්ත්‍රිය ඇයට අමරා යැයි කියන්නැයි ජයවතීට කීවාය. අමරක්කා විසින් බීමට කුඩා කිරිපැකැට්ටුවක්ද මගදි බඩගිනි වුවොත් කන්න යැයි බිස්කට් පැකැට්ටුවක්ද ගත්තාය. ගෙදර ගෙනියන්ට ගත් දොඩම් මල්ල ලිහා ජයවතී අමරක්කාට එයින් ගෙඩියක බිගි ගලවා කෑල්ලක් දුන්නාය.

අක්කෙ රට යන්න කීයක් විතර යනවයි? ඇය අමරක්කාද තමුන්ගේ පැත්තේ බව දැන ගමේ ව්‍යවහාරයට බැස්සාය.

පනහක් විතර තමයි යන්නෙ. ඒජන්සිය මාව හම්බෙන්න ආපු මිනිහෙකුගේ යාලුවෙක්. මිනිහ ටිප් එකත් එක්ක කාඩ් එකකුත් දුන්නා. ටික දවසක් ගිහින් මිනිහ කිව්ව රට යනව නම් තැනක් දන්නව කියලා. දැන් මට මෙහෙ ඇතිවෙල. අපෙ ගෙවල් වල උන්ට කොච්චර සැලකුවත් කෙලෙහි ගුනයක් නැහැ. උන් හිතන්නෙ මාව නිකං අර රත්තරං කුරුල්ල වගේ කියල. හැම මාසෙම ලොකු ගානක් ගෙදරට යවනව. උන් ඒවයි නය ගෙවල කාල බීල සැනසිල ඉන්නව.

මටත් අදහසක් නං තියෙනවා රට යන්න. ඒත් ඉතිං අනේ මන්ද. ජයවතී කියන්නට විය.

ඉන් පසු ඔවුනොවුන් රට තොට ගැන කතා කලෝය. කොන්ඩ මෝස්තර සහ ක්‍රීම් ගැන කතා කලෝය. ළඟදී කැඩුන විවාහයෙන් පසු ඒ නිළිය සම්බන්ධ වන්නේ කවුරුන් සමග විය හැකිදැයි බැරෑරුම්ව විග්‍රහ කලෝය.

අක්ක දන් නැත්ද දත් බඳින තැනක්.. මගේ දත් ටික පස්සට කරල ප්ලේට් එකක් දාගන් ඕනි. ඒත ඉතිං ලොකු ගානක් යයි නේ. ජයවතී තමා පාන්දරින් නැගිට කොළඹ පැමිණ දන්තායතනයට ගිය කතාවත් එයින් දිනයක් ගන්නා විට දත් ටික තවත් ඉදිරියට පැමිණ ඇය මානව හිස්කබලක් මෙන් කැතට පේන්නට පටන් ගනු ඇති බවත් අමරාට කිව්වාය.

ඔයාගෙ දත් ගොඩක් කැත නැහැ. පොඩ්ඩක් පස්සට කරගත්තොත් හොද වෙයි. අපේ මසාජ් ක්ලිනික් එකට කලිං ආව දොස්තරෙක්. මං මිනිහගෙන් අහල බලන්නම්. මාත් ඉදල හිටල ලෙඩක් දුකක් ගැන අහගන්නෙ මිනිහගෙන්. ගෑනියෙකුටත් වඩා ලැජ්ජ කාරයෙක්. මං නොම්බරේ දෙන්නං ඕන්නං කතා කරල බලන්න. මිනිහට හරියට කිචි. මසාජ් එකට ආවම ඇඹරෙනව. මං ඉතිං පොරට කිචි තියෙන තැන්වලින්ම අල්ලන්න යනකොට පොර උඩයනව ටොයිං ගාල.

මෙන්න නොම්බරේ..ලියාගෙන කතා කරල බලන්න. මං දුන්න කියන්නත් ඕන නැහැ. ටිකක් ඇදල පැදල කතා කලාම පොර නම්ම ගත හැකි වෙයි.

ඉතිං අක්කගේ නම්බරෙත් දෙන්න. කෝකටත් වැදගත් වෙයිනේ. මාත් රට යන්න හිතං ඉන්නවා.

ජයවතීට අමරා හා කතා කිරීම විනෝද ක්‍රියාවක් විය. අමරාගේ කතාවල පිරිමි පහත් කර කතා කරන විලාශයක් නිබඳවම තිබේ. එයට ජයවතී ප්‍රිය කලාය. ඊට අමතරව අමරාට මෙන් ජයවතීටද රට යෑම උණ පහල වන්නට විය. ජයවතීගේ අම්මා මුලින් දැඩි විරෝධයක් දැක්වුවත් පසුව කෙමෙන් ජයවතීගේ සිතට අවනත වන්නට වූවාය.

දැනට මං ගාව වත්තේ පොල් අතු විකුනල,වත්ත පිටියෙ දේවල් වල සල්ලි වලිං බේරගත්ත තාත්තයි මාලෙ තියෙනවා. මං අමාරුවෙන් බේර ගත්තෙ. අක්කගෙනුත් ගානක් ඉල්ල ගත්ත මේක බේරගන්න. එහෙනං උඹ ඒක උගස් තියල ඔය රට කෙරුවාව කොරගනිං. මේ වගේ ඉස්තිර රස්සාවක් බොට ආයි කපේට ලැබෙන එකක් නැහැ. ඒත් ඉතිං උඹට මේ ගෙවල් දොරවල් මරණ, මගුල් වලට වියදං කරල දැන් ලැබෙන්නෙ කීයද? ඒ ගානින් උඹට තව අවුරදු ගානකට ගොඩයෑමක් නැහැ.

මට පේන විදියට දැන් උඹට අර මරණෙ දවස්වල ළඟ ඉදන් මුර කරපු පියන්තයත් නැහැ වගේ. ඕව එහෙම තමයි.ගෙදර ආපු ජාමෙක මේක අරං පලයං. තාත්තයි මාලෙ. උන්දැ දන්න කාලෙ ඉඳල කරේ දාං උන්න එක. කමන් නැහැ. උඹ රට ගිහිං සල්ලි ටිකක් එවුවම ආයි බේරගත හැකි.

ජයවතී හඬන්නට වූවාය. මසක දෙකක ඇවෑමෙන් තිස් පස් වන වියට ආසන්න වෙමින් සිටි ගැහැනියක සහ විසි හත් වන වියට ආසන්න වෙමින් සිටි තරුණියක කටුනායක ගුවන්තොටේ කඳුලු සලමින් නෑයින්ට සමු දෙමින් සිටියෝය. රටින් පිටව ගුවන් යානය ඉහලට ඔසවා උඩුගුවනට යන විට ඔවුන් දෙදනාම සැහැල්ලු සුසුම් හෙලුවෝය. සිංහ කොඩියේ සිංහයා ගෙන් තමුන් ගැලවුන බවක් සිතුන බව අමරා කිව්වාය. ජයවතීට ඒ හරුපය තේරුනේ නැත. නමුත් ටික වෙලාවකින් ජයවතීට සිංහබාහු හි නිය පිරුන සිංහයා මතක් විය.

13 comments:

  1. අද්‍යතන සමාජයේ පැතිකඩක් මොනවට විග්‍රහ කෙරෙන සංවේදී කෙටිකතාවක් වශයෙන් ඉහලින්ම අගය කරනවා. කුමන දේශපාලන ප්‍රපංචයන් යටතේ වුවද ගැහැණිය සූරාකෑමට ලක්වීමේ වෙනසක් දකින්නට නොලැබෙන බව ගම්‍යවීම මේ කතාවේ අතිශයින් වැදගත් ලක්ෂණයක් ලෙස නිරූපණය වෙනවා.

    ReplyDelete
    Replies
    1. විචාරකගේ අදහසට එකග වෙමි

      Delete
  2. සිංහයගෙන් බේරිල ගියාට, අයෙ එන්නෙ සිංහ තුරුලට නොවැ. එදාට ගෙදර උන්ටත් අමතක වෙයි ජයවතී එවපු සල්ලි වලින් ජීවත් වෙච්ච විත්තිය..

    ReplyDelete
  3. හාමතේ මැරිලා ගියත් එක එක තැන් වලට ආත්ම ගරුත්වේ පාවා දෙන්න නාකයි.. මෝඩ ගැනු.

    ReplyDelete
    Replies
    1. ඔය වගේ අරං යන අය "මම මේ නංගිගේ ආත්ම ගරුත්වය පොඩ්ඩක් පාව ගන්න යන්න හදන්නෙ" කියලා යන්නෙ නැහැ..ඊට වඩා ඒ කතාව සංකිර්ණයි.

      Delete
    2. සමහර ගෑනුන්ට එන ප්‍රශ්න ඉස්සරහ ඔය කියන මගුල පාවාදෙනව ඇර වෙන කරන්න දෙයක් නෑ
      පියවි ලෝකයට බැහැල ටිකක් වටපිට බැලුව නං තේරෙයි ඒ ගෑනු හැමෝම ඒක කරන්නෙ ආසාවට නෙමේ කියල සහ මෝඩකම නිසා නෙමේ කියල

      Delete
  4. මිනිත්තු හතහමාරක් ගියා කියවන්න. ඒ ගැන දුකක් නෑ.

    ReplyDelete
    Replies
    1. PADAYAK YANNATH EETA WEDI WELA YANAWA.

      Delete
  5. හ්ම්ම්ම්....පැති කීපයක්ම ආවරණය කර ලියවිල.
    >> සිංහ කොඩියේ සිංහයා ගෙන් තමුන් ගැලවුන බවක් සිතුන බව අමරා කිව්වාය.<<........
    එහෙම කියල තාවකාලිකව සතුටු වුවද.... කබුරන්න යන්නෙ සිංහ කොඩිය සෙවනේ යෙහෙන් වැජඹෙන අයට කියල තේරුම් යන්න කලක් ගත වෙනව.

    ReplyDelete
  6. රට ගිහාම ඔක්කොම ප්‍රශ්න ඉවරයි කියලා හිතාගෙන ඉන්නේ ගොඩක් අය

    ReplyDelete
  7. පිරිමින්ගෙ සූත්තර නොදන්නවුන්ට මා හැගි කෙටිකතාවකි.

    ReplyDelete
  8. විනාඩි ගණන බලන්න බැරි වුනා. සමාජයේ පැතිකඩක තත්වය කතාකරන හොඳ කතාවක්

    ReplyDelete
  9. kathawak.................................................?

    ReplyDelete

නූතන පටාචාරාවත

විසිතුරු බඩුව ඇය කිසිවිට නැහැ සැලුනේ.. බියකරු වනය බිය නැහැ ඇය වෙත දැනුනේ.. සිය සැමි නැතිය එන මග දරු අහිමි වුනේ.. නැති විය සිහිය ...