Friday, April 18, 2014

ලංකාවෙන් පිටත සන්නිවේදනය International Connectivity Of Sri Lanka

සන්නිවේදනය (Communication) කියන්නෙ තොරතුරු හුවමාරුව වගේ අදහසක්. මුල්කාලෙ තොරතුරු හුවමාරු වුනේ යම් කිසි දෘෂ්‍යමය සහ ශ්‍රව්‍යමය සංඥාවලින්. ඒ කිව්වෙ අපිට පේන්නම ඇඳපු හෝ ලියපු අකුරු වලින්. පසුකාලීනව සෙල්ලිපි,මැටිපුවරු,පැපිරස් හරහා කඩදාසි යුගයට එනවා. කඩදාසි වල හෝ තල්පත් වල හෝ එවන් වූ පත්‍ර වල අකුරු ලියලා ඒ ලියපු සංඥාව තවත් තැනකට අරං ගිහින් කියවනවා. ඒක අවුරුදු සිය ගානක් තිස්සෙ පැවතුනා.

ලංකාව කියන්නෙ හතර අතින්ම මුහුදින් වටවුනු දූපතක්.මේ දූපතේ මිනිස්සු මුල් කාලීනව ආවොත් ආවා ගියොත් ගියා මිසක ඒ තරම් ජාත්‍යන්තර සම්බන්ධතා තිබුන් නැහැ. නමුත් පසුකාලීනව රජවරු දකුණු සහ උතුරු ඉන්දියානු රජවරු සමග සම්බන්ධතා පවත්වලා තිබෙනවා. ඒ වගේම රෝමය ග්‍රීසිය පැත්තෙ ඉඳලා චීනයට දිවෙන මුහුදු සේද මාවතේ මුල්කාලීන තොටුපලක් බවට ලංකාව පත් වෙලා තිබෙනවා. ලංකාවෙ හම්බන්තොට ත්‍රිකුනාමලය මන්නාරම පැති වලින් හමුවුන කාසි චීන මැටිබඳුන් ආදිය නිසා ඒ කාලෙත් ලිපි හෝ එවන් මාර්ගයකින් තොරතුරු හුවමාරු කරගන්න ඇති කියාල අපිට නිගමනය කරන්න පුලුවනි. හම්බන්තොට ගොඩවාය වරායෙ වරායේ අයබදු ආදිය පිළිබඳ පුරාණ සෙල්ලිපයක් පවා හමු වෙලා තිබෙනවා.



කුරුඳුවත්ත ටෙලිග්‍රාෆ් කන්තෝරුව

ලංකාව පෘතුගීසි,ලන්දේසි ඉංග්‍රීසි පාලනයට යටත් වෙනකොට ඉංගිරිසි ආන්ඩුවෙ මුල් කාලෙ වෙනකල් පැවතුනේ ලිපි මාර්ගික ගනුදෙනු විතරයි. ලංකාවෙන් පිටතට තොරතුරු ගෙනියන්නත් ලංකාව තුලට තොරතුරු එන්නත් අපේ රට හරහා යන එන නැව් මාර්ගයෙන් ආපු ලිපි ලේඛන උදව් වුනා. 1818 කැරැල්ල ගැන මහාචාර්ය තෙන්නකෝන් විමලානන්ද මහතා ලියලා තිබෙන උඩරට කැරැල්ල පොතේ එවකට බ්‍රිතාන්‍ය ආන්ඩුකාර රොබට් බ්‍රවුන්රිග් ලියපු ලිපි ලේඛන ආදිය තිබෙනවා. බ්‍රවුන්රිග් ඉන්දියාව, දකුනු ඉන්දියාව, මුරුසිය සහ එංගලන්තය සමග ලිපි හුවමාරු කරගන තියෙන්න ලංකාව හරහා ගියපු නැව් මාර්ගයෙන්.

විදුලිය සොයාගත්තාට පස්සෙ විදුලිය හරහා පණිවුඩ යවන්න හැකියාවක් ලැබුනා. ලෝකෙ මුල්ම විදුලි සංදේශ පණිවුඩය(Telecommunication Massage) යවන්නේ විලියම් කුක් සහ චාල්ස් විට්ස්ටෝන් (william cooke charles wheatstone) කියල දෙන්නෙක් 1837 අවුරුද්දෙදි. ලංකාවෙ සිලෝන් ටෙලිග්‍රාප් දොපාර්ථමේන්තුව(Ceylon Telegraph Department) 1857 හෙන්රි වෝඩ් ආන්ඩුකාරයාගේ පාලන කාලයේදී ඇතිකරනවා.

1858 දි උතුරු කොළඹ, මන්නාරම, තලෙයිමන්නාරම හරහා ඉන්දියාවේ රාමේශ්වරම් තොටුපලට මුහුදු කේබල් (Submarine Cable) එකක් ඇද්දා කියලා තොරතුරු සඳහන් වෙලා තියෙනවා. නමුත් ඒ ගැන වැඩි විස්තරයක් සඳහන් වෙන්නෙ නැහැ. මෙ කාලේ තොරතුරු හුවමාරුවට භාවිත කලේ ටෙලිග්‍රාෆ්(telegraph) කියන ප්‍රාථමික සන්නිවේදන ක්‍රමය. මේ කියන 1850 ආසන්න කාල වකවානුවේදී භාවිත වෙන්නට ඇත්තේ සැමුවෙල් මෝස්(samuel morse) විසින් සොයාගන්නා ලද මෝස් කෝඩ් කියන ක්‍රමය විය යුතුයි.

ලංකාවට එංගලන්තයෙන් ලැබුන මුල්ම ටෙලිග්‍රාෆ් පණිවුඩය ලැබෙන්නෙ 1865 මාර්තුවෙදි ඉන්දියාව හරහා. ඒ අවුරුද්දෙම අගෝස්තුවලදි ඇමරිකාවෙනුත් පණිවුඩයක් ලබාගන්න සිලෝන් ටෙලිග්‍රාෆ් එක සමත් වෙනවා.

1865 දිම ප්‍රංශයේ පැරිස් නුවරදී අන්තර්ජාතික විදුලිසංදේශ සංගමයේ (International Telecommunication Union) මූලික අඩිතාලම වුනු අන්තර්ජාතික ටෙලිග්‍රාෆ් සංගමය (International Telegraph Convention) ඇතිවෙනවා.

ජර්මානු ජාතික පිලිප් රෙස් (philipp reis) 1860දි සංගීත කොටසක් විදුලි කම්බියක් තුලින් ගෙනයාහැකි ආකාරය සොයාගන්නවා. ඔහුගේ ක්‍රමය 1920 දක්වා ජනප්‍රිය වෙලා තියෙනවා.

එලිශා ග්‍රේ(Elisha Gray) කියන විදුලි ඉංජිනේරුවා විසින් මුල්ම ටෙලිපෝනයේ අදහස ඉදිරිපත් කරලා තිබුනා 1876 දි ඇමරිකාවෙ ඉලිනොයිස්(illinois) ප්‍රාන්තනයේදී. නමුත් එලිශා ග්‍රේ ගේ ගොනුව පේටන්ට් කන්තෝරුවල මාස තුනක් තිස්සෙ හිරවෙලා තිබිලා. ඒ වෙනකොට ඒ අදහසම ඇලෙක්සැන්ඩර් ග්‍රැහැම් බෙල්(alexander graham bell) ඉදිරිපත් කරලා පේටන්ට් එක අරගෙන නිශ්පාදන නිපදවන්නත් පටන් අරගෙන ඉවරයි. ඇලෙක්සැන්ඩර් ග්‍රැහැම් බෙල් තමුන්ගේ පේටන්ට් එකට අවශ්‍ය ගොනු ඉදිරිපත් කරන්නෙ ඇමරිකාවෙ චිකාගෝ(Chicago) වල පේටන්ට් කන්තෝරුවකට. බෙල් සහ ග්‍රේනීතිමය ගැටළුවක් පැන නැගුනත් ඒ වෙනකොට පේටන් අරන් තිබුන ග්‍රැහැම් බෙල්ට තැන ලැබෙනවා. හැබැයි මේ දෙන්නා බොහොම දුර ස්ථාන දෙකකදි වෙන වෙනම පර්යේශන කරපු දෙන්නෙක්.



ලෝකයේ දුරකථන පණිවුඩ ගෙනයා හැකි මුල්ම මුහුදු කේබලය 1891 දි එංගලන්තය සහ ප්‍රංශය අතර ඇතිවෙනවා. ලන්ඩනය සහ පැරිසිය අතර දුරකථන පණිවුඩ හුවමාරු කරගන්න මේ කේබලය හරහා හැකි වෙනවා. මීට කලිනුත් රටවල් අතර මුහුදින් කේබල ඇදලා තිබුනත් ඒවා හුදෙක් ටෙලෙක්ස්(Telex) නැමැති පණිවුඩ හුවමාරු වැඩකටයුතු වලට පමණයි භාවිතා කරන්න හැකි වුනේ.

ලංකාවෙ මුල්ම අන්තර්ජාතික දුරකථන පහසුකම සහිත මුහුදු කේබලය කොළඹ-තලෙයිමන්නාරම-පෝක් සමුද්‍ර සන්ධිය හරහා දනුෂ්කෝඩි මදුරාසිය(Colombo-Talaimannar-Palk Strait-Dhanushkodi – Madras) දක්වා 1935 මාර්තු 15 වැනිදා විවෘත වෙනවා. මේ වනවිට ලංකාවෙ සිලෝන් ටෙලිග්‍රාෆ් දෙපාර්ථමේන්තුව යම්තාක් මට්ටමකට දියුනු වෙලා තිබුනා. 1920 දි ලංකාවෙ දුරකථන සංඛ්‍යාව 2300කට අධික වූ බව පත පොතේ දැක්වෙනවා.

වයර් රහිත පසුබිමකදී විද්‍යුත් චුම්භක තරංග මාර්ගයෙන් ශබ්ධයක් තවත් තැනකට යවන්න පුලුවන් කියලා හොයාගත්තෙ ගුග්ලි එල්මෝ මාර්කෝනි(guglielmo Marconi). 1896 දි ඉතාලි ජාතික භෞතික විද්‍යාඥ මාර්කෝනි රේඩියෝවේ සහ රේඩියෝ සන්නිවේදනයේ මුල්ම අදහස සොයාගන්නා විට ඔහු වයස අවුරුදු 22ක තරුණයෙක්.

මාර්කෝනි විසින් පිහිටුවාගත් රේඩියෝ තාක්ෂණය සම්බන්ධ මාර්කෝනි ඉංජිනේරු සමාගමේ අධීක්ෂනය යටතේ,බොම්බාය සහ කොළඹ අතර මුල්ම පණිවුඩය 1912දි යවන්න ලංකාවෙ සිලෝන් ටෙලිග්‍රාෆ් කන්තෝරුව සමත් වෙනවා. මේ රේඩියෝ තාක්ෂනය මගින් නාවුක ගමනාගමනයටද අවශ්‍ය දත්ත සැපයීම සිදු කරනවා. ඒ අනුව ඒ වසරේදීම කොළඹ වරාය ආසන්න නැව් මගින් , වයර් රහිත රේඩියෝ තාක්ෂණය හරහා පණිවුඩ 2700ක් ලබාගන්නත් පණිවුඩ 870ක් නැව් වලට යවන්නත් ලංකාවෙ ටෙලිග්‍රාෆ් ඔෆිස් එක සමර්ථ වෙලා තියෙනවා.

1920දි මාර්කෝනි ඉංජිනේරු සමාගම වෑල්ව් ඇම්ප්ලිෆයර්(Valve Amp) පාවිච්චි කරලා රේඩියෝ තාක්ෂනයේ ප්‍රබලත්වය වැඩිදියුනු කරනවා. ඒ අනුව කොළඹ සිට සැතපුම් 1750ක් තරම් දුරක තිබුන නැවකින් නිකුත් කල සංඥා ලබාගන්නට පවා එකල කොළඹ පිහිටි රේඩියෝ මධ්‍යස්ථානය සමත් වෙලා තිබෙනවා.

බ්‍රිතාන්‍ය ජාතික කේබල් ඇන් වයර්ලස් කම්පැනි කියලා සමාගමක් මගින් 1941දි ලංකාවට තිබෙන අන්තර්ජාතික විදුලි සංදේශ හැකියාව වැඩිකරන්නට කටයුතු කරනවා. එවකට පැවති 2වන ලෝක යුද්ධයේදී ලංකාවත් මූලික යුධ මධ්‍යස්ථානයක් වෙන්න ඇති. ඒ නිසා මේ අන්තර්ජාතික සම්බන්ධතා වැඩිදියුනු වීම යුධමය භාවිත සඳහාද යෙදවුනා කියල තමයි ප්‍රකට මතය තියෙන්නෙ. ඒ අනුව කොළඹ සහ ලන්ඩන්,ඔසාකා,රැන්ගූන්,ෂැංහයි,සිංගප්පූරුව,මෙල්බෝන් වගේ නගර අතර වයර් රහිත අන්තර්ජාතික දුරකථන සම්බන්ධතා ඇතිකරගන්න ක්‍රියාත්මක වෙලා තිබෙනවා. බොහෝ දුර බැහැර නගර අතර ඇති වූ වයර් රහිත අන්තර්ජාතික දුරකථන සම්බන්ධතා ඒ වන විට බොහෝවිට ටෙලිග්‍රාෆ් ටෙලෙක්ස් ආදී පණිවුඩ වලට මූලික තැන දුන්නා.

මෙ මාර්කෝනි ඉංජිනේරු සමාගම හරහා ලංකාවට ගුවන් විදුලි පහසුකම සලසාගන්නත් ලංකාන්ඩුව 1923දි ක්‍රියා කරනවා. ඒ අනුව එවකට ලංකාවේ ආන්ඩුකාර බ්‍රිතාන්‍ය ජාතික සර් විලියම් මැනින් මැතිතුමාගේ කතාව 1924 ජුනි මස 27 වනදා 2.30ට මුලු ලංකාවටම සම්ප්‍රේෂනය කරන්නට හැකියාව ලැබෙනවා. 1932 අවුරුද්දෙදි බී බී සී සේවාවේ වැඩසටහන් ලංකාව හරහා සම්ප්‍රේෂණය කරන්න කොළඹ ගුවන්විදුලි සේවාව සමත් වෙනවා.

1948 නිදහසින් පස්සෙ ලංකාන්ඩුව අන්තර්ජාතික විදුලි සංදේශ ක්ෂේත්‍රය වැඩිදියුනු කරන්න ඕනි කියලා හිතල තියනවා. ඒ අනුව සර් ඔලිවර් ගුණතිලක ලංකාන්ඩුකාර තුමා බ්‍රිතාන්‍ය මහ රජයට කරුණු දැක්වීමෙන් අනතුරුව එවකට රුපියල් වලින් මිලියන 2.6ක් අන්තර්ජාතික සන්නිවේදන කටයුතු වැඩිදියුනු කරන්නට වෙන්කරගෙන තිබෙනවා.

අන්තර්ජාතික සන්නිවේදනයට අදාල නැති වුනත් දේශීය වශයෙන් 1960දි ලංකාවෙ ටෙලිග්‍රාෆ් කන්තෝරුව මහත් අසීරුතාවයකට මුහුනදෙනවා තඹ කේබල් සම්බන්ධයෙන්.දැන් වගේම ඒ දවස්වලත් තඹ කියන්නෙ වටින ලෝහයක්. තඹ කේබල් හොරු කපනවා. මේක නවත්වන්න විදියක් නැතිම වෙනවා. පස්සෙ නොවටිනා ලෝහ වැඩි ප්‍රමාණයකට තඹ මිශ්‍ර කරපු අලුත් කේබල් වර්ගයක් අදින්න ටෙලිකොම් දෙපාර්ථමේන්තුව කටයුතු කරනවා. ඇමරිකාවෙන් ආනයනය කරපු ඒ අලුත් කේබල් ජාතිය දැම්මට පස්සෙ කේබල් කපාල තඹ හොරකමේ ගිහිපුදේශීය හොරු අනාත වෙන්න ඇති.


ගුවන්විදුලි සම්ප්‍රේෂණය මහාමාන්‍ය ඩී ඇස් සේනානයක මහතාගේ නිදහස් දින කතාව, 2වන එලිසබෙත් (චාල්ස් කුමරුගේ මව් රැජින) විවාහ මංගලෝත්සව විස්තරය සහ 1948 ඔලිම්පික් උළෙල විකාශය කරන්න 1948 වසරේදි ගුවන්විදුලි සංස්ථාව ක්‍රියා කරලා තිබෙනවා. මේ වෙනකොට ට්‍රාන්සිස්ටරය කියන අරුම පුදුම උපාංගය ලෝපතල වෙලා නැහැ. ඒනිසා මහා සයිස් වෑල්ව් රේඩියෝ ට්‍රාන්ස්මිටර් සහ රිසිවර් තමයි බොහෝවිට තිබුනෙ. මේ නිසා රේඩියෝව යනු ඒ කාලෙ ඇඳ,මේස රාක්ක අල්මාරි වගේ බර මෙන්ම ලේසියෙන් එහා මෙහා ගෙනියන්න පුලුවන් කෑල්ලක් නෙවෙයි.

ඔය (1950) කාලෙ රේඩියෝ සම්ප්‍රේෂණය සිද්ද වුනාට රේඩියෝ රිසිවර සංඛ්‍යාව සීමිත වන්නට ඇති. ඒ නිදහස ලැබුන කාලෙදිම අපේ රටේ එවක හිටපු ලොකැතැන් අලුත් ව්‍යාපෘතියක් හඳුන්වා දෙනවා අන්තර්ජාතික දැනුම ගමට ගෙනියන්න. ඒ හරහා රට වටා 1,000කට අධික ගම්බද ස්ථානවල නව රේඩියෝ රිසීවර ස්ථාපනය කලා. දූපතක් වුන ලංකාව අවට ලෝකයේ කවරාකාර දේ සිද්ද වෙනවාද කියලා ලංකාවේ ඈත ගම් වල ජනතාවට දැනගන්න ඒ හරහා අවස්ථාව ලැබුනා

8 comments:

  1. නියම පෝස්ටුවක්..
    සේව්කරල තියාගන්න වටිනවා...

    ජය වේවා!!!

    ReplyDelete
  2. හොඳ විස්තරයක්.

    50 ගණන් හැට ගනන් වල වගෙ කාලෙ අපේ ගමෙත් එක ගෙදරක තිබුනලු රේඩියෝ එකක්. ගමටම එච්චරයි.
    පහුගිය කාලෙ අන්තර්ජාලය සම්බන්ධ කරන කේබල් එකක නැංගුරමක් පැටලිලා මොකක්ද ජංජාලයකුත් වෙලා තිබුනෙ.

    ReplyDelete
    Replies
    1. ඒ ජාත්‍යන්තර මුහදු කේබල. ඒවා ඇතිවෙන්නෙ 1985න් පස්සෙ.

      Delete
  3. ස්තුති තොරුතුරුවලට !

    ReplyDelete
  4. ඇඬෙනවා.. මෙච්චර දහදුක් විඳලද අද ලංකාව මේ තත්වෙට ඇවිත් තියෙන්නේ සතුටුයි සතුටුයි. කොළඹ ටෙලිග්‍රාප් කාර්යාලය දැනටමත් වැඩ ද.. අපිට බලන්න පුළුවන් එකක් ද?

    ReplyDelete
    Replies
    1. දැන් ශ්‍රී ලංකා ටෙලිකොම් මූලස්ථානය තියෙන්නෙ එතන. දැන් ඒක මොඩර්න් වෙලා.පරණ බඩු නැහැ..පරණ දේවල් තියෙන කෞතුකාගාරයක් වගේ එකක් ටෙලිකොම් එකට මම දන්න තරමින ්නැහැ...

      Delete
  5. බොහොම වැදගත් වටිනා ලිපියක්.

    බොහොම ස්තුතියි...

    ReplyDelete
  6. හොද ලිපියක්, අද මේ තියන තැනට එක පාරින් ආවේ නැති විත්තිය මතක් කරලා දෙනවා කියවද්දී.තාක්ශනේ අරුමේ...

    ReplyDelete

නූතන පටාචාරාවත

විසිතුරු බඩුව ඇය කිසිවිට නැහැ සැලුනේ.. බියකරු වනය බිය නැහැ ඇය වෙත දැනුනේ.. සිය සැමි නැතිය එන මග දරු අහිමි වුනේ.. නැති විය සිහිය ...