Thursday, July 31, 2014

අක්ෂර සංගායනාවක් පවත්වනු


ශ්‍රී ලංකාවෙ වැජඹුණු ශ්‍රේෂ්ඨ පඬිරුවනක් වූ ද, ශ්‍රී සුමංගල ශබ්ධකෝෂයේ කර්තෘ වූ ද, ශ්‍රී ලංකා විද්‍යෝදය විශ්වවිද්‍යාලයේ (දැන් ශ්‍රී ජයවර්ධනපුර) උප කුලපතිව වැඩ සිටියා වූ ද වැලිවිටියේ ශ්‍රී සෝරත නාහිමියෝ 1956 දී මෙසේ වදාලහ

“............අනවශ්‍ය නීති රීති වැඩි වීම භාෂාවක් ඉගෙන ගන්නන්ට මහත් කරදරයකි; එමෙන්ම භාෂාවේ දියුණුවට බලවත් වූ ම බාධාවකි. භාෂා නීති පරමාර්ථ ධර්ම මෙන් හැමදා එක ලෙසින්ම නොසිටී; ක්‍රමයෙන් වෙනස් වෙයි. එසේ ස්වභාවයෙන් වෙනස් වන වෙනස බලාපොරොත්තුවෙන් නිහඬව සිටීම දැන් ලෝකය ගමන් කරන තත්වයට නොගැලපේ. එහෙයින් අපේ භාෂාවේ තිබෙන අත්‍යවශ්‍යක නොවන නීති රීති සියල්ල වහා ම අත් හැර දැැමීම භාෂාව දියුණු කිරීමට කැමති කාගේත් යුතුකමකි. වර්තමාන භාෂාවට නුවමනා අක්ෂර වර්ණ මාලාවේ තිබේ නම්, එය හැර දැමිය යුතු ය. එසේ ම අනවශ්‍ය ව්‍යාකරණ ක්‍රම තිබේ නම් අත් හළ යුතු ය.

අකුරු යනු ව්‍යක්ත (-ප්‍රකට) ශබ්ධයකින් වෙන් කළ හැකි කුඩා ශබ්ධ කැබලිය. ඒ ශබ්ධ කැබලි හැඳින්වීම සඳහා යෙදෙන ලකුණු ද අකුරු නමින්ම හඳුන්වනු ලැබේ. වර්තමාන සිංහල හෝඩියේ අනවශ්‍ය අකුරු තිබේදැයි පරීක්ෂා කර බලතොත් ණ, න යන දෙකින් එකක් ද ළ, ල දෙකින් එකක්ද අනවශ්‍ය බව කාටත් වැටහෙනු ඒකාන්ත යි. , න යන දෙකෙක් හෝඩියේ තිබෙතත් ඒ දෙකින් ම දැන් හැඳින්වෙන්නේ එකම ශබ්ධයකි. ඒ දෙකෙහි වෙනස ප්‍රකට වන සේ කියවන්නට සමර්ථයෙක් අද සිංහලයන් අතර නැත. , ල දෙක ද එසේම ය. පුරාතනයෙහි මේ අක්ශරයන්ගේ උඡ්චාරණ භේදය ප්‍රකටව පෙනුන හෙයින් මේ සඅයලු අක්ෂර රූපම පුරාතන භාෂාවට අවශ්‍ය විය. උච්චාරණයෙහි වෙනසක් දැන් දක්ණට නොලැබෙන මේ අක්ෂරයන් පුරාතන ක්‍රමය අනුව නිසි සේ යෙදීම අන්‍ය ජාතිකයන්ට තබා සිංහලයන්ට ද අතිශය දුෂ්කර ය. එහෙයින් මේ අක්ෂර යුග්ම දෙකින් එකක් පමණක් ව්‍යවහාරයට ගැනීමට ජන සම්මතයක් වහා ම ඇති කර ගත යුතු ය. මීට පටහැනි වන අතිපණ්ඩිතයන් ද සිටින බව අපි දනිමු. ඔවුන්ගේ මෝඝ තර්කයන් නො සැලකිය යුතු ය. හෝඩියෙන් අක්ෂර රූප දෙකක් වත් අඩුකර ලීම ටයිප් රයිටරය හා මොනෝ ටයිප් නම් සීඝ්‍ර මුද්‍රණ යන්ත්‍රය ද සෑදීමේ දී පහසුව පිණිස වෙයි.
මෙසේ අනවශ්‍ය අක්ෂර රූප ආදිය නැති කර ලීමෙන් භාෂාව වැනසී යතැයි බව විය යුතු නොවේ. සියම් රටේ දැන් ව්‍යවහාර කරන්නේ පැරණි සියම් හෝඩිය නො වේ. පැරණි සියම් හේඩියෙහි සිංහල හෝඩියේ මෙන් ම ඈ, , උ ආදි වෙන් වෙන් වූ ස්වර රූප තිබුනු නමුත් දැන් තිබෙන්නේ ඊට හාත්පසින්ම වෙනස් ක්‍රමයකිනි. දැන් සියම් හෝඩියේ ඉ යන්න අ යන්නට ඉස්පිල්ල යෙදීමෙන්ද, උ යන්න අ යන්නට පාපිල්ල යෙදීමෙන් ද, එ යන්න අ යන්නට මුලින් කොම්බුව ලිවීමෙන්ද හඳුන්වන බව සියම් අකුරෙන් මුද්‍රිත පාළී පොත් කියවන හැම දෙනා දන්නා කරුණකි. එයින් මුද්‍රණ කාර්යයන්ට මහත් පහසුවක් වී ය. භාෂාවට ස්වල්ප වූ ද හානියක් නො වීය. “
සෝරත නාහිමියන් දැන සිටියේ ටයිප් රයිටරය හා මොනෝ ටයිප් මුද්‍රණ යන්ත්‍රය පමණි. දැන් පරිඝනක තනා ඇත. පද සදනයක් (Word Processors) සාදා ඇත. එහෙයින් උන් වහන්සේගේ යෝජනාව සිය ගුණයක කාලෝචිත භාවයක් ඇතිකර ගනී. විද්වතුන්ගේ අවධානය මීට යොමු වේවා. එසේ යොමුවන තෙක් අන්‍ය යෝ බාන් කඩාගෙන නො දුවත්වා.

මේ කොටස උපුටා ගත්තේ සුචරිත ගම්ලත් මහාචාර්ය තුමාගේ සුබස් මිණි ආර නම් වූ තීරු ලිපි එකතුවෙනි. එහි මහාචාර්ය තුමා විසින් ලියන ලද අර්ථවත් ලිපි රැසක් ආකර්ශනීය ආකාරයට ඉදිරිපත් කොට ඇත. මහාචාර්යවරු ලියන ලිපි සාමාන්‍යෙ වැසියන්ට නොතේරෙනවා යැ යි පොදු මතයක් ඇතත් මේ ලිපි එකතුවේදී ගම්ලත් මහාචාර්යතුමා මිනිස්සුන්ට වඩාත් තේරෙන ලෙස කරුණු ඉදිරිපත් කිරීමට අපමණ වෙහෙසක් ගෙන ඇත. සරලව ගතහොත් අද ලියවෙන සරල බ්ලොග් එකක ෆේස්බුක් පේජ් එකක ඇති බසට සමාන විදියක් මේ ලිපි වල ඇත.
පොත :- සුබස් මිණි ආර
කර්තෘ :- මහාචාර්ය සුචරිත ගම්ලත්
මිල :- රු 150/= (1997 ප්රථම මුද්රණය)
පිටු :- 139
ලිපි :- 92
ප්රකාශකයෝ :- ඇස් ගොඩගේ සහ සහෝදරයෝ
අංකය :- ISBN : 955-20-2453-6

සිංහල බස මිනිසුන් අඩුතරමේ මිලියන දාසයක් අදහස් හුවමාරු කරගන්නා ජීවමාන බසකි. එහි නව යෙදුම් එකතු වීමද පැරණි සමහර යෙදීම් අභාවයට යෑමද සිදු වේ.
ගලගොඩඅත්තේ ඥාණසාර ස්ථවිර විසින් පසුගිය කළෙක අබ සරණ යැයි අලුත් පදයක්ද හෙළ බසට එකතු කරන ලදී. විවිධ පුද්ගලයින් විසින් එය අර්ථ ශූන්‍ය වදනකැයි හෙළා දුටුවද ඒ වදන මගින් ජනතාව ප්‍රමෝදයට පත් වුනාහු ය. ඉන් පසු මේ තම්බි නසම් හැ යි පෙළගැසුනු ජනී ජනයෝ විවිධ ක්‍රියාකාරකම් හී නිරත වූහ. ඉදින් අබ සරණ නොතේරෙන නොවැදගත් වදනක් නම් එසේ ජනතාව ප්‍රකෝප වූයේ කිම? එසේ ඥාණසාර ස්ථවිර යොදන ලද අබ සරණ පදය මා දැනුවත් ආකාරයට යෙදෙනුයේ “ අනතුරු අඟවා තිබියදීත් යම් අවධානම් කටයුත්තක නිරත වීමේ දී ඒ පිළිබඳ වූ අපේ නොකැමැත්ත ප්‍රකාශ කරන“ තනි පදයක් ලෙසයි.

පෙර කළෙක 1956 තරම් ඈත කලෙක සෝරථ ස්ථවිර විසින් ටයිප් රයිටරයේ යතුරු යෙදීමට අපහසු තරම් විශාල අක්ෂර මාලාවක් සිංහලයේ පැවතීමත් එය සරල කිරීමේ වාසියත් පහදා ඇත. ඉන් පසුකලෙක 1995 පමන කාලයේ සුචරිත ගම්ලත් මහාචාර්ය විසින් පරිඝනකයේ මුල් අවධිය දැක අපේ බස පරිඝනක ගත කිරීමේදී බසේ ඇති සංකීර්ණ අක්ෂර මාලාව එලෙසම යෙදීමේ අපහසුව දැක එය සරල කල යුතු මනා යැයි අදහස් දක්වා ඇත. අද පැමිණ ඇත්තේ ජංගම දුරකථන, ටැබ්ලට් පරිඝනක, ආදී අතේ ගෙනියන මෙවලම් හි ද අපේ බස රිසි සේ මුසු විය යුතු කාලයයි. පෙර කී යුග දෙකටම වඩා ෆේස්බුක් ටුවිටර් ආදියෙහි අන්තර්ජාලයීය යෙදීම් ලෙසද අද විශාල වශයෙන් හෙල බස යෙදේ. එබැවින් සිංහල බසෙහි ඇති විශාල අකුරු ගණන අඩුකොට වඩාත් සරල ලෙස බස සැකසීම කාලෝචිත බැව් මගේ ද අදහස වෙයි.
අලුත් අලුත් දෑ නොතනන ජාතියට ලොවෙත් නොනගී.. ණයට කෑම බැරිවුන තැන ලගී ගයා පොර ගී.

11 comments:

  1. අක්ශර සංගායනාවක් කෙසේ වෙතත්, ඕනම ශිෂ්‍යත්වය කරපු ලමයෙක් දන්න මූලික ව්‍යාකරණ ටික වත් නොදන්න එකම බ්ලොග් ලියන්නා ඔයා.මා ගියේය, ඔවුන් යයි,මිනිසුන් කලේය.. හි..හි..හි. . තව පොත් ලියන්න කල්පනාව.

    ReplyDelete
    Replies
    1. අජිත් තිලකසේනගේ පොත් වල අකුරු යෙදීම් තියෙන්නෙ ඔහුටම ආවේණික ක්‍රමේකට..මම පොතක් ගැහුවොත් කවදා හරි උත්සාහ කරන්නෙ ඔය කියන ලබ්බෙ වියරණ නීති ටික නැතුව මේ තියෙන විදියටම ගහන්න..සමාරවිට ඔයාල වගේ දේවාල බත් ගිලපු බාසාව දේවත්වයෙන් සලකන අයට ගැලපෙන එකක් නැහැ..අැරත් මම පොත් ගහන්නෙ කාගෙන්වත් පස්සෙන් ගිහින් හොරට සම්මාන ගන්න නෙමෙයි.. ..කැමති මිනිස්සු බලයි..එච්චරයි..

      මෙතන හාමුදුරුවො සහ ගම්ලත් මහාචාර්ය තුමා කියන විදියට සිංහල ලිවීම සරල කලොත් ඒක පහ වසරෙ නෙමෙයි අකුරු ඉගනගන්න දවසෙ ඉදලාම හෝඩි පොතේ සිට ක්‍රමය වෙනස් වෙනවා.. එතකොට සමාර අකුරු නැතිම වෙනවා..

      Delete
    2. ව්‍යාරණ වෙනයි අක්ෂර වෙනයි මහාචාර්යතුමනි

      Delete
    3. ඇය, ඔහු, ඔවුන්, සත්තු, හාමුදුරුවෝ, ජනාධිපතිතුමා ආදී ඔය ඕනම එකක් හෝ ගොඩක් ගියාය කියලා දැම්මහම ඒකෙන් ඇගවෙන්න ගහින් ඉවරයි කියන එකම තමයි.. වාක්‍යයේ කාලයට හෝ අදහසට අබ මල් රේණුවක වෙනසක් වෙන්නෙ නැහැ..සිංහල ඉංගිරිසියට හරවල ගූගල් දාන්න මේ දවස්වල කට්ටිය මහන්සි වෙනවා..ඒ වගේ අවස්ථාවක මේ වගේ වියරණ නීතියක් නිසා වාක්‍ය සිය දාස් ගානක් අළුතින් එකතු කරලා හදන්න වෙනවා..ඒ ලියන ක්‍රමලේඛන ආදිය තවත් සංකීර්ණ වෙනවා.. අර විිදියට කාලය පමණක් වඩාත් ඉස්මතු වෙන විදියට වියරණ නීති රීති තිබුනා නම් භාෂාව යෙදීම මීට වඩා ලේසියි පහසුයි.. එ් වියරණ නීතිය වෙනස් වුනා කියලා අපි කියන අදහස අනෙකාට අවබෝධ වීමේ කිසිම ගැටළුවක් තියනෙවා කියලා මට නම් පේන්නෙ නැහැ..

      Delete
    4. සෝරත හාමුදුරුවො කියල තියෙන්නෙ අනවශ්‍ය ව්‍යාකරණ අත්හැරීම මිසක ව්‍යාකරණ මරන එක නොවෙයි අමිල.ඔයා සෝරත හාමුදුරුවො ලියල තියන එකෙත් අක්ෂර වින්‍යාසය වරද්දලනේ.ඒ හාමුදුරුවො "ශබ්ධ"කියල ලිව්වා කියල මම කවදාවත් හිතන්නෙ නෑ.අවධානම්, සෝරථ ඔය මම දැකපු අක්ෂර වින්‍යාස වැරදි කීපයක්.වියරණ බිඳිනවා නම් එය කළ යුත්තේ හොඳින්ම වියරණ දන්නා අයයි.එහෙම නැතිව වියරණ නොදන්නාකම නිසා එයට පහර දීම නොකළ යුතුයි.හොඳම දේ මානය අත හැරලා වියරණ ඉගෙනීමයි.වියරණ බිඳින්න ඊට පස්සෙ පුළුවනි.
      අමිල ලියන ලස්සන කතා අවලස්සන වෙන්නෙ ඔබේ අක්ෂර වින්‍යාස වැරදිත් ව්‍යාකරණ වැරදිත් නිසා බව නම් නොකියාම බැරිය.

      Delete
    5. ඔන්න හණමිටි කාරයෙක් ආවා.

      Delete
    6. බාසාවෙ වැඩක් නති බහුබූත නීති වෙනස් වෙන්න ඕන තමයි. ඒත් හැලපේ කියන එකට එකඟයි. සෝරත හිමිත් තිලකසේනත් තමන් කරන්නෙ මොකක්ද කියලා දැනං හිටියා. නැතුව සිංහලත් බාගෙට දැනගෙන තමන්ට බැරි දේ වෙනුවෙන් බාසාව වෙනස් කළේ නෑ.

      // ඇය, ඔහු, ඔවුන්, සත්තු, හාමුදුරුවෝ, ජනාධිපතිතුමා ආදී ඔය ඕනම එකක් හෝ ගොඩක් ගියාය කියලා දැම්මහම ඒකෙන් ඇගවෙන්න ගහින් ඉවරයි කියන එකම තමයි//

      අද මෙහෙම කියන බහුතරයක් අය්යලා ඉංග්‍රීසි බාසාවෙ තියන අවුල් ව්‍යාකරන (I am / he is / you are ) වරද්දන්න මෙච්චර නිර්භීත නෑ.

      // දැන් පරිඝනක තනා ඇත. පද සදනයක් (Word Processors) සාදා ඇත. එහෙයින් උන් වහන්සේගේ යෝජනාව සිය ගුණයක කාලෝචිත භාවයක් ඇතිකර ගනී.//

      මහාචාර්ය උනත් නොදන්න ලබ්බවල් කතා කරන්න ගියාම මෙහෙම ගොන් පාට් කියනවා. හැම අකුරටම අච්චුවක් ඕන වුනු ටයිප් රයිටර් ගල් යුගයෙ අකුරු කපන්න ඕන කමක් තිබුනට පරිගණක (පරිඝනක නෙවෙයි) යුගයෙදි මැෂින් එකට උවමනා විදියට මිනිස්සු වැඩ කරන්න ඕන නෑ. අද "ක්ෂ ත්ව ක්ර" ඕන නම් එහෙමයි "ක්‍ෂ ත්‍ව ක්‍ර" ඕන නම් එහෙමයි. ටෙක්ස්ට් ප්‍රෝසෙසර් එකකට, ස්පෙලිං චෙකර් එකකට වුනත් පුලුවන් මේ අකුරු සංයෝග දෙකෙන්ම කියවෙන්නෙ එකයි කියලා තේරුම් ගන්න.

      Delete
    7. අඩෝ, තොට ගූගල් දාන්න ලේසි වෙන්න අම්මගෙ රෙද්ද ගලවන්නෙයි කිව්වොත් තෝ එකත් කරනවද?ගූගල් දාන්න නෙමෙයි යකෝ ,ඉස්සෙල්ලා බස රැකෙන්න ඕන.අද ඊයෙ ආපු ගූගල් වලට හරියන්න මෙතරම් කලක් පැවත ආපු තමන්ගේ බසේ රුව ගුණ නසනවාද? තෝ ව්‍යාකරණ නොදන්න බව අපි ඔක්කොම දන්නවා.පහේ ශිෂ්‍යත්වය කරන පොඩි එවුනුත් මූලික ව්‍යාකරණ ටික හරියට දන්නවා.ඒක ඉගනගනිං.ට්වීටර්,ගූගල්,බ්ලොග් කොරන්න කලිං.නොදකිං තොපි වගේ හාල්පාරුවො.

      Delete
  2. සංගායනා බොරු වැඩ.
    පරිනාමවාදයේ තියෙන ස්වභාවික වරණය ජීවමාන භාෂාවකට අදාලයි.
    අනවශය අකුරු සහ ව්‍යාකරණ ඉබේම නැතිවගොස් අත්‍යාවශය ටික ඉතිරි වේවි

    ReplyDelete
    Replies
    1. මේකට එකඟයි!

      බාසාවක් වෙනස් වෙනවා ඒක නවත්තන්න බෑ අඬල දොඩල වැඩකුත් නෑ. නමුත් මේ එන්ජිනියරිං වැඩ අවශ්‍ය වෙන්නෙ බොහොම කලාතුරකින්. ඒවට බොහෝවිට ගේන තාක්‍ෂණික හේතුත් අදාල නැති ඒවා.

      Delete
  3. @ halapakade //වියරණ බිඳිනවා නම් එය කළ යුත්තේ හොඳින්ම වියරණ දන්නා අයයි.එහෙම නැතිව වියරණ නොදන්නාකම නිසා එයට පහර දීම නොකළ යුතුයි.හොඳම දේ මානය අත හැරලා වියරණ ඉගෙනීමයි.වියරණ බිඳින්න ඊට පස්සෙ පුළුවනි.
    අමිල ලියන ලස්සන කතා අවලස්සන වෙන්නෙ ඔබේ අක්ෂර වින්‍යාස වැරදිත් ව්‍යාකරණ වැරදිත් නිසා බව නම් නොකියාම බැරිය.//මට හැමදාම කීමට සිතුන, එහෙත් කීමට නිසි වචන ගලපා ගත නොහැකි වූදෙය ඔබ කියා තිබෙයි.හැලප කඩේ, ඔබට ස්තුතියි

    ReplyDelete

නූතන පටාචාරාවත

විසිතුරු බඩුව ඇය කිසිවිට නැහැ සැලුනේ.. බියකරු වනය බිය නැහැ ඇය වෙත දැනුනේ.. සිය සැමි නැතිය එන මග දරු අහිමි වුනේ.. නැති විය සිහිය ...