Sunday, August 31, 2014

එදා සහ අද චාරිකාවත diversty of trip

සංචාරකයින් විනෝද වෙන තැනක්.
චාරිකා වලට සහභාගි වෙන්න දේශීය සංචාරකයින්ට තිබෙන අවස්ථාව,ආර්ථික සහ වෙනත් සාධක නිසා අඩුවෙල කියලා රාවයේ ලිපියක තිබුනා. මට ඒ අදහස් ටික දැක්කම හිනා ගියා. සමහර සුද්දො ලංකාවට ඇවිත් කඩපිල්වල ගස් යට බුදියගෙන රට වටේ කිසි ගානක් නැතුව සංචාරය කරලා ආයිත් පිටරට යන අවස්ථා මට හමුවෙලා තිබෙනවා. ලංකාවෙ බොහෝ අය ඔවුන් හඳුන්වන්නෙ පිටරට සල්ලි නැති සුද්දො කියලා. නමුත් සමාරවිට ඒ අයට සල්ලි තිබෙනවා වෙන්නත් පුලුවන්. ලංකාවෙ වගේ සල්ලි තිබෙන අය හැසිරෙන්න ඕනි මේ විදියට කියලා විදියක් ඒ හම සුදු අයට නැති නිසා එයාල කැමති විදියෙ කටු කාගෙන රටවල සංචාරය කරනවා වෙන්න පුළුවනි.

මේ ළඟදි අපේ ළඟම ඥාතියෙක් මිය පරළොව ගියා. ඒ මළගෙදර ගියාම සමහර අය අපේ අම්මාව මතක් කලා. අම්මා මියගිහින් වසර පහකට අධික කාලයක් ගත වෙලා තිබුනත් ඒ අයගේ මතක පොත්වල තාමත් අපේ අම්මා ජීවත් වෙලා ඉන්නවා.

“අපි ඉන්න අහට එන්න ඒ පැත්තෙ ඉඳල බස් දෙක තුනක එන්න ඕන නිසා ඒ දවස්වල කව්රුවත් අපේ ගෙවල් වල ආවෙ නැහැ. ඒත් නැන්ද දවසක් අපේ පුතාගේ උපන්දිනේට ගෙදර හොයාගෙන ආව. දැන් වගේ ෆෝන් පාවිච්චියක් නැහැ නෙ. මතකෙන් හොයාගෙන ඇවිත් තිබුන. ඇවිත් පොඩි එකාගෙ පොතකට දාගන්න කියලා රුපියල් පන්සියකුත් මගේ අතේ ගුලිකරල ගියා. නැන්ද ආවම ඉතිං දොලට ගිහින් නාල කියල විස්තර කතා කරල යන්නෙ අපේම අම්ම කෙනෙක් වගේ”

එතන නැන්දා කිව්වෙ අපෙ අම්මට. ඔය අපේ අම්මා ඉස්සර ගිහිපු ගමනක් ගැන අපේ අක්කා කෙනෙක් කියපු කතාවක්. අපේ අම්මා ඉස්සර මාසෙකට එකපාරක් හරි තාත්තලයි පැත්තෙ හරි අම්මලයි පැත්තෙ හරි නෑයො බලන්න යනවා. අලුත් නෑයො හමුවුනාම ඒ තැන්වලත් ගිහින් එනවා. හරියට ගමේ හැම මලගෙදරම ඔලුව දාන දේසපාලකයෙක් වගේ අපේ අම්මා අපේ මුළු නෑදෑ සනුහරේම හොඳින් අඳුනගෙන හිටියා. මගුලක් මරණයක්, දානයක් හෝ කිසියම් උත්සව අවස්ථාවක් ඇය මගහැරියෙ නැහැ. ඒ නිසාම අපේ පිය පාර්ශවයේ පවා බො‍හෝ නෑදෑ පිරිසක් ඔවුන්ගේම නෑයින්ට වඩා ‍අපේ අම්මාව දන්නවා.

කෙලින්ම චාරිකා කියලා නම් කරන්න බැරිවුනත් මේක ඒ කාලෙ අපිට අත්දකින්න ලැබුන චාරිකා ක්‍රමයක් තමයි නෑයො බලන්න යෑම. අපේ අම්මට සහෝදර සහෝදරියො හතකුත් තාත්තට සහෝදර සහෝදරියො හතකුත් වශයේන අපිට කෙලින්ම නැන්දල,මාමල,........අම්මල, .......තාත්තල, වෙන අය දාහතර දෙනෙක් හිටියා. ඒ අයගෙත් තව දරු ‍මල්ලො හෙම හැදිලා තිබුන නිසා නෑ ගෙවල් ගනනින් විස්සක් තිහක් තියෙන්න ඇති ඒ දවස්වල. දැන්නං මුලු නෑදෑයන්ගේම ලැයිස්තුව බැලුවොත් ගෙවල් හැත්තෑවක් අසූවක් ඇති දරු මුනුබුරෝ එක්කම. ඉස්සර ගෙදරකට ගියාම ඒ ගෙදර ඇත්තො පුදුම සතුටකට පත්වෙනවා. එයාල අපිට එයාලට පුළුවන් උපරිම අයුරින් සංග්‍රහ කරනවා. වටේ පිටේ තව නෑයො හෙම ඉන්නවා නම් අපිව බලලා යන්න එනවා. අපි පුංචි දවස්වල නං අළුත් නංගිලා මල්ලිලා අයියලා අක්කලා අපිට හමු වෙනවා. අපි ඒ අය එක්ක සෙල්ලම් කරනවා. ඒක හරිම විනෝද අවස්ථාවක්.

අපේ ගෙවල් දිහා වතුර වැඩිය නැහැ. ටැප් ලයින් එකක් කාරිය තිබුනට කිඳිලා නාන්න මහ වතුර කඩක් නැහැ. පොඩි පොකුණු සයිස් වැවක් තිබුනාට ඒකෙ අඩියක් ගහන්න බැරි තරමට ඇටිකිච්චොයි, ගෙම්බොයි, ඉස්ගෙඩියි හිටියා. කොහේ හරි නෑයො බලන්න ගියාම ඒ අය නාන ළිඳ, ඇළ, වැව වගේ සීතල වතුර ඇතිපදං තියෙන තැනක් කියන්නෙ අපිට ලොකු සනීපයක් දැනෙන තැනක්. ඒ වගේ වෙලාවට අර සීතල වතුර තියෙන නාන ළිඳ උගුලන් ගිහින් අපේ ගෙදර හිටවගන් තියෙනං හොඳයි කියලත් හිතෙනවා.

අපිට ඉතිං වතුරෙ බැහැලා හොඳට නාකියා ගන්න සුවිමින් පූල් වගේ තිබුන මහ ඇලවල් කාරියත් සමහර නෑ ගෙවල් අසල තිබුනා. එහේ ගියාම පැයක් දෙකක් අපි ඇගේ තියෙන කාස්ටකේ යන්න නාකියා ගන්නවා.

මේ සමහර නෑදෑ ගෙවල් වල ගියාම කෑම බීම වලින් අඩුවක් නොවුනට ඉන්න හිටින්න නං එහෙමට තැනක් නැහැ. අනූවෙ දශකයේ මුල් කාලෙ අපේ ගෙදර මම ඇතුලු කිහි‍ප දෙනෙක්ම නිදාගත්තෙ බිම. ඒ නෑ ගෙදරක ගියත් නිදාගන්න බිමම තමයි. පැදුර විතරයි වෙනස්. පැදුරෙන් බිමට වැටුනයි කියලා මහ වෙනසක් නැහැ නෙව. සැපට නින්ද යනවා.

ඔය කාලෙ පුංචි අම්මා එකපාරක් මායි අයියයි චාරිකාවක් එක්කරං ගියා අටමස්ථාන වඳින්න. හම්බේ ඒ චෛත්‍යවල උස. මං ඒ දවස්වල පුංචි කෙනෙක් නිසාද මන්දා ඒ චෛත්‍ය මනුස්සයෙක් හැදුව ඒවා කියලා හිතාගන් බැරිවුනා. ගෝඨයිම්බර යෝදයා ගල් කණු කිහිල්ලෙ ගහං ඇවිත් හිටවල තියෙනව කිව්වම, ගෝඨයිම්බර ගැන මගේ මනසේ මැවුනෙ මහා විසාල චිත්‍රයක්. ඒ ගිහින් අපි නිදාගන්නෙ විශ්‍රාම ශාලාවල. ඒවයි මදුරු කොයිල් හෙම පත්තු කරාට මදුරුවොන්ගෙන් නම් අඩුවක් නැහැ. දැන් තියෙන ගෙස්ට් හවුසි ආදියෙ වගේ ඒවයි පිරුවට දාල කැඩිච්ච මෙට්ට වහල තියෙන ඇඳන් ආදිය නැහැ. හැමෝම පත්තර, ඉටිකොළ, පැදුරු දාගෙන මහ සාලාවක් අරගෙන නිදාගන්නවා.මහ බස් එකක යන න‍ෙඩ්කට වුනත් එක මහ සාලාවක් ඇති නිදාගන්න.

මේ ළඟදි යාලුවෙක් කියලා තිබුනා එයාල ට්‍රිප් ගියාම අනුරාදපුරේ ගස් යට නිදාගෙන ඒ ගල් කෑලි එකතුකරගෙන ඒවයි තියාගෙන උයාගෙන පිහාගෙන කාල එනවා කියලා. මේ වගේ දේවල් අපේ සමහර අය දකින්නෙ මහ ප්‍රාථමික වැඩ, පරිසරය දූෂනය කරන ක්‍රම විදියට. ඒත් මටනම් ඒකෙ මහා ලොකු විනාසයක් පේන් නැහැ. සිරිපාදෙ ගිහිපු දෙතුන් වතාවෙම ඒ වගේ නඩවලට උයන් කන්න තැන් පාර දෙපැත්තෙ හදලා තියෙනවා දැක්කා. ඒ තැන්වලට පොඩි ගානක් වියදම විදියට ගන්නවා. පරිසරේට චුට්ටක් හානි වුනාට උයාන පිහාන කනවා ඇර දුප්පත් මනුස්සයොන්ට කඩවල් වලින් කකා චාරිකා යන්න හැකියාවක් නැහැ කියලා අපි තේරුං ගන්න ඕනි.

ඒ දවස්වල අපි පොඩි ළමයි වුනත් දැන් හැදෙන බොහොමයක් ලමයිට වඩා ඇට්ටරයි. ඕන තැනක නිදාගන්න, ඕනි වතුරක් බොන්න, එකේක කඩෝල, තියෙන දහජරාව කාරුහරි නිකං අරං දෙනවනං ගිලින්න බොහොම දක්සයි. එහෙම වුනා කියලා අපිට දැන් ළමයිට වගේ ලෙඩරෝග රාසියක් තිබුන් නැහැ. මාසෙකට දෙකකට වතාවක් හෙම්බා හැදුනත් දෙතුන් දවස්ක හොටු පෙරාගෙන ඉදලා උනක් හැදුනොත් ඇර බේතක් නොගෙනම ඒවා සනීප වෙනවා.

මගේ නෑදෑයින් බොහොම දෙනෙක්ට දැන් ඉස්සරට වඩා සාරයි. මට මතකයි එක ගෙදරකට ගියාම ඒ ගෙදර කටුමැටි බිත්ති වැහෙන්න කිරිපිටි වර්ගයක බැනර් පෝස්ටර් වලින් බිත්තිය වහලා තිබුනා. ඒත් ළඟදි එහෙ ගියාම ඒ පරණ ගෙදර පේන්න තිබුන් නැහැ. රට මොන අතට ගියත් අපේ නෑයොන්ට නම් ඒ තරං නරකක් වෙල තියෙනවා කියල පේන්න නැහැ. ගෙවල් දොරවල් හදාගෙන අඩුතරමෙ ත්‍රිවිල් එක්ක බයික් එකක් තරමෙ වාහන අරගෙන බොහොමයක් අය සතුටින් ඉන්නවා ඇති කියලා හිතනවා. සමහර කාන්ඩෙ නම් එදා ඉඳල අද දක්වාම බැලුවොත් ඇත්තං රටමයි. රට කිව්වට මහ යුරෝප රටෝල නෙමෙයි. අරාබියෙ. මට අයියා වෙන එක්කෙනක් හෝ දෙන්නෙක් විතරක් ඕස්ට්‍රේලියාවෙ ඉන්නවා. තා දෙන්නෙක් කොරියා‍වෙ.

හැබැයි දැන් ඉස්සර වගේ නෑයො අතර ඇයි හොඳයියක් වැඩිය නැහැ. හැමෝටම ඒ කාලෙට වඩා ටිකක් සල්ලිය බාගෙ වස්තුව ලැබුනට ඒ වා ලැබෙන්න ලැබෙන්න එයාල ගෙවල් වල තාප්ප ගහගෙන තට්ටු ගෙවල් හදාගෙන හුදකලා වෙන තත්වයක් පේනවා. ඒ විදියට වස්තුව ලැබෙනවාට සාපේක්ෂව ඒ නෑයින්ගේ තියෙන මෘදු ලාමක ගතිසොබාව ක්‍රමයෙන් අඩුවෙලා රලු පරළු ගති සිරිත් වැඩිවෙලා තියෙනවා කියාල මට පෙනී යනවා.

ඉස්සර වගේ නෑ ගෙවල් වල යෑම් ආදිය අඩුවෙලා ගිහින්. ඒ විදියට නෑදෑ යො බලන්න යන එක සිරිත ටිකෙන් ටික දැන් අභාවයට යනවදෝ කියලාත් හිතෙනවා. සල්ලිය බාගෙ ලැබීමත් එක්ක යම් කිසි සමාජ තත්වයක් අපිට ආරෝපනය වෙනවා. ඉස්සර උසස් අජ්ජාපනය හදාරන කාලෙ යාලුවො එක්ක අනුරාදපුරේ ගිහින් පංසලක රාත්තිරි ගතකරලා හාමුදුරුවො ටිකක් ටෝක් කරලා කීයක් හරි හාමුදුරුවන්ට දීල මාරුවෙලා ට්‍රිප් ගිහිල්ල එන විදිය දැන් වෙනස් වෙලා. අපි දැන් ට්‍රිප් යන්න ඉස්සෙල්ල සති ගානකට කලිං ඉදල නවතින තැන්, අරක්කු ගන්න තැන්, බලන තැන්, යන වාහනේ, වාහනේ සැප පාසුව, ආදිය ප්ලෑන් කොරන මට්ටමට ඇවිත්.

මේ විදියට රට අභ්‍යන්තරයේ විවිධ ස්ථානවලට ගිහින් ඒ තැන් විඳගෙන එන දේශීය සංචරන විදිය සංකීර්න කරගෙන තියෙන්නෙ කවුද? අපිම නෙව. හොඳ සැප කාමරේක නැවතිල පොඩි වෑන් කටුවක සනීපෙට වාඩිවෙල දැන් යන ට්‍රිප් එකක දවසක වියදම රුපියල් තුන් හාරදහක් වෙනවා. ඉතිං ඒ විදියෙ දවස් තුනහතරක් චාරිකාවක් යන්න සල්ලි මදිවුනාම අපි ආයිත් “මේ බඩකඩුත්තු ආන්ඩුව නිස අතේ සල්ලි නැහැ ට්‍රිප් එකක් ය්නනත් කියලා.” පාලකයින්ට බනිනවා.

මම හිතන්නෙ නම් අපේ රටේ ආන්ඩුව හොඳ වෙලා අපේ මාසික ආදායම වැඩි වුනොත් අපිට ට්‍රිප් එකක් යන්න යන වියහියදම තවත් වැඩිවෙනවා. එහෙම අපි සල්ලි කාරයො වුනාම ඔන්න අපිට, ගෑනිට, ළමයිට, යාලුවොන්ට නිවාඩු දවස් වෙන්කරගන්න ඕන, අපේ කාර් එකේ වෑන් එකේ අපිම පැට්‍රොල් ගහගන්න ඕන. නවතින්න ගෑනිට දරුවොන්ට ඇටෑස් බාත්රූං තියෙන තැන් ඕන. බලන තැන් පොටෝ ගහන්න හොම්බ දිග කැමර් ඕන.ට්‍රිප් එකට අඳින්න පළඳින්න හොඳ ඉස්තරං ඇඩ්වෙන්චර ඇඳුම් ආයිත්තම් ඕන. බාගෙදා ටිප් ඕගනයිසරයෙක් ඉවන්ට් මැනේජර කෙනෙකුත් ඕන. සල්ලි ගොඩක් ලැබෙන කල්,රට සාමකාමී වෙනකල්,මේ රටේ සාමය ඉස්ථාපිත වෙලා නීතිය ඉස්ට වෙනකල් කෙපර බබා ඉන්නවා කියන්නෙ මේ ආත්මෙට ටිපක් යන්න වෙන්නෙ නම් නැහැ.

පවතින නාගරික ජීවන රටාවත් එක්ක අපි හැමෝටම වගේ මහා යන්ත්‍රයක සුළු කොටසක් වගේ හැමදාම එකම විදියෙ දවසකට උරුම කම් කියන්න සිද්ද වෙලා. මිනිස්සු විදියට අපේ සරීරෙට,මනසට පොඩි වෙනසක් ලබාදෙන්න පොඩි හෝ ලොකු රවුමක් දාන එක කවර තරාතිරමක වයසක කෙනෙකුගේ වුනත් සෞඛ්‍යයට ධන බලපෑමක් එල්ල කරාවි.

13 comments:

  1. සයිලන්ට් සිඟර්September 1, 2014 at 7:57 AM

    "ලංකාවෙ බොහෝ අය ඔවුන් හඳුන්වන්නෙ පිටරට සල්ලි නැති සුද්දො කියලා"

    ඇත්තකුත් තියනව එත් ඔය කාණ්ඩයේ බැක්පැකින් කියන ක්‍රමයට කැමති අයත් ඉන්නව. ඒ අය කන්වෙන්ෂනල් ටුවරිස්ට් ලට වඩා අඩු වියදමකින් වැඩි අත්දැකීම් ප්‍රමාණයක් බලාපොරොත්තු වෙන අය. ඒ වගේම ඒ ගොල්ලෝ ට්‍රැවලින් එක්ස්පිරියන්ස් එක ගොඩක් ගැඹුරින් අත්දකින්න කැමති අය. මෙයාල ඔය කියන "සල්ලි නැති සුද්දෝ" වෙන්න පුළුවන් එත් ඒ මිනිස්සු නිසා ලෝකල් බිස්නස් වලට හොඳ කලදසාවක් උදාවෙලා තියනව. මේ දේවල් මම කියන්නේ මගේ අත්දැකීම් වලින්. ඔය බක්පැකර්ස්ල එක්ක කතා කලහම ගොඩ දෙනෙක් මුලින්ම කියන්නේ සාමාන්‍ය එක සතියක විතර "එක්සොටික් අයිලන්ඩ් කන්ට්‍රි/කොස්ටල් ටුවර්" කියල ප්‍රිමියම් පැකේජ් එකකට වියදම් කරන මුදලින් ඒ ගොල්ලෝ මාසයක් පුරාවට ඇත්තටම ලංකාව පුරාම ඇවිදලා කරන්න තියන ඇක්ටිවිටිස් ඔක්කොම වගේ කරලා ලොකු අත්දැකීම් ගොඩක්, සතුටක් ලබනවා කියල. ඔතනදි මේ අය ඔය සල්ලි නැති සුද්දෝද? නැත්නම් නව තාලයක සුද්දෝද කියන ගැටළුව එනවා.

    ලංකාවේ අපිත් ඉස්සර හොටෙල් වල නැවතුනේ නැහැ නෙ. අපි පුංචිම කාලෙත් කොහේ හරි ගෙයක් කුලියට අරන් අම්මල නැන්දලා උයල පිහල කාල තමා ට්‍රිප් ගියේ. හැබැයි ඒ කාලේ පෝයටත් අඩුම තරමෙ ගෙදර අය බෙල්ලන්විල, කැළණි වගේ පන්සලකට ගිහින් තව කොහේ හරි ගිහිනුත් තමා එන්නෙ. දැන් අපේ තරුණ කාලේ එහෙම නැහැ. ට්‍රිප් එකක් යන්න මාස දෙකක් තුනක් පෙරුම් පුරන්න ඕනේ. එහෙම කරලත් කට්ටිය මගහැරෙනව.

    දැන් නෑදෑයෝ බලන්න යාමත් අඩුවෙලා මම හිතන්නේ. දැන් බොහෝවිට යහළුවෝ ටිකක් හෝ ඔෆිස් එකේ ට්‍රිප් ඇරුනම නෑදෑ හත්මුතු පරම්පරාව ගමන් බිමන් යනවා අඩුයි. නෑදෑ ආශ්‍රයත් අඩුවෙලා. කොටින්ම කිව්වොත් අල්ලපු ගෙදර එක්කවත් කථා කරන්නේ හරිම අඩුවෙන්. මමත් එහෙමයි. හැබැයි එකට හේතුවක් තියනව. ඔය අල්ලපු ගෙදර එක්ක කථා කරන්න ගියොත් කියන්නේ අරයගෙ සායයි මෙයාගේ චිත්තයයි ගැන. තව පුලුවන්නම් හොඳ හුලුඅත්තකුත් පත්තුකරලා දෙයි ගෙදර උන්දැ ගැන.


    මමනම් අන්තිමට දකින්නේ ඔයදෙවල් අද බහුලව දකින්න ලැබෙන ප්‍රදර්ශනකාමය සහ අධිපරිබෝජනකාමී ජීවන රටාව නිසා ඇතිවුන දේවල්. ඕකට විසඳුම විදිහට දකින්නේ බුදුන්වහන්සේ දේශනා කල මැද පිළිවෙතයි.

    ReplyDelete
  2. පට්ට කතාව මචෝ අන්තිම ජේදේට ඉස්සෙල්ලා එක නම් සත්‍යයේ උපරිමයි ...... :P

    ReplyDelete
  3. අයෙ කියන්න තියන දෙ කෙලින්ම කියල තියනව . මොනවා නැතිඋනත් පට්ට කතාව .

    ReplyDelete
  4. හිතට දැනෙන ලියවිල්ලක්,මුල්ම කොමෙන්ටුවත් එහෙමයි

    ReplyDelete
  5. යට ඉඳන් දෙවැනි චෙදේ නම් සහතික ඇත්ත , නමුනුකුල කන්ද මුදුනට ගියත් හොයන්නේ ටයිල් කරපු ඇමරිකන් ස්ටෑන්ඩඩ් ෆිටින්ග්ස් අල්ලපු බාත්රූම්ස්

    ReplyDelete
  6. අජිත් පැරකුම් වගේ මරුටියක් ගත්තනම් ඉවරයිනෙ..... තමන්ගෙ ආදායමට හරියන්න තෙල් ගහගෙන ට්‍රිප් යනවා.... සමාජවාදෙත් ආරක්ෂා වෙනවා....

    ReplyDelete
  7. සැප වාහනයක ගිහින් හෝටල්වල නවතින ට්‍රිප් එකකින් ලැබෙන විනෝදයට වැඩි විනෝදයක් කොල්ලෝ සෙට් එකත් එක්ක එකතුවෙලා පාපැදියෙන් ගිය ගමන්වල තියෙනවා මටනම්

    ReplyDelete
  8. ඇත්තමයි අමිලයෝ අතේ එහෙමට සල්ලියක් නැතුව ස්ටේෂන්වල බස්හොල්ට් වල නිදාගන අවුරුදු දහනමයක් විතරකාලේ දවස් හයක් ඇද්දා , එහෙම රස ගමනක් මමනං ගිහිල්ලා නැ , කිව්වට විස්වාස කරහං එහෙමට වියදමක් ගියෙත් නැ

    රාගමට ඇවිත් ගල් බෝතලයකට බයිසන් එකක් කලවන් කරගන කොත්තු තුනක් කන්ඩත් සල්ලි ඉතුරු උනා , අන්න ට්‍රීප්

    ReplyDelete
  9. උඹ කිරක් මචං. අපි අතීතෙට අරං යන උඹ කිරක්

    ReplyDelete
  10. හම්මේ ඇත්ත කතාව අප්පා.... යන්න ඕන ට්‍රිපක්!!!!

    ReplyDelete
  11. ඉස්සර ලංකාව කියන්නෙ දිළිඳු රටක්, දැන් මැදි ධනවත් රටක්. ඒ ඒ බනිස් වලට ඒ ඒ කෙසෙල්

    ReplyDelete

නූතන පටාචාරාවත

විසිතුරු බඩුව ඇය කිසිවිට නැහැ සැලුනේ.. බියකරු වනය බිය නැහැ ඇය වෙත දැනුනේ.. සිය සැමි නැතිය එන මග දරු අහිමි වුනේ.. නැති විය සිහිය ...