Tuesday, December 30, 2014

හම්බන්තොටත් ඉන්නවද මෛත්‍රිට දෙන උන්


ඔව්. රාජපක්ෂ වරුන්ගේ ඡන්ද බල ප්‍රෙද්ශය වූද මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සිය දේශපාලන දිවිය තුල ආසනය වූද හම්බන්තොට පළාත තුලද රාජපක්ෂ වරුන්ගේ ජනප්‍රියත්වය අඩුවෙමින් යන බව බොහෝ දෙනා පිලිගන්නේ නැත. ගාල්ලත් මාතරත් යන දකුනේ දිස්ත්‍රික්ක දෙකටම වඩා අඩු ඡන්ද ප්‍රතිශතයකින් මහින්ද රාජපක්ෂ හම්බන්තොට ජයග්‍රහනය කරාවි යැයි මගේ පුද්ගලික අදහස වෙයි. 
ගාල්ල මාතරට සාපේක්ෂව හම්බන්තොට ජනජීවිතය කටුකය. රට මැදට වන්නට ඇති කඳුකරයේ වැවෙන තේ රබර් සහ සුළු අපනයන බෝග වලින් අපහසුවකින් තොරව ආදායම ලැබීමත් වෙරළබඩ ජනයා කොළඹ රැකියාවන්හි නිරත වීමත් හොඳ අධ්‍යාපනයක් ලද පිරිස වැඩිවීමත් යන කාරනා නිසා ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලින් හම්බන්තොට රේඛීයවම වෙනස් වෙයි. ඡන්ද ප්‍රතිපල වලින්ද මේ වෙනස උදක්ම පැහැදිලි වෙයි. 

නූතන වාමාංශික අදහස් වල සරලම ලාංකික නියෝජනය වන්නේ ජනාත විමුක්ති පෙරමුණයි. එහි මුල්ම නැගිටීම සහ මෙතක් ලබා ඇති විශාලම ජයග්‍රහන අත්පත් කරගෙන ඇත්තේ හම්බන්තොට නම් වූ දිස්ත්‍රික්කය පදනම් කරගනිමිනි. එසේම කොන් කිරීමට සිතාදෝ හම්බන්තොට නම් වූ කර්කශ පළාතට දක්කන ලද සජිත් ප්‍රේමදාසයන්ද ඉතා ඉහල ජන පදනමකින් සවිමත් වන්නේ ද මහින්ද රාජපක්ෂයන්ගේ මැතිවරණ බල ප්‍රෙද්ශය තුලම වේ. 

බෙලිඅත්ත තංගල්ල සහ ඒ අවට පොල් වගාව යම්තාක් දුරට පැතිරුණත් ආහාර බෝග වගාව හම්බන්තොට ජනයාගේ ප්‍රධාන ආදායම් මාර්ගයක් වේ. සුළු පිරිසක් ධීවර ක්ෂේත්‍රෙය්ද රැකියා කරති. වම්බටු, තක්කාලි, කරිවිල, පතෝල, වැටුකොළු, බණ්ඩක්කා, වී ආදී බෝග රැසක් මේ හම්බන්තොට කර්කශ පොළොවේ හොඳින් වැඩේ. 

විරැකියාව 

ජනාධිපති තුමාත් සියළු රාජපක්ෂ දේශපාලකවරුත් යන යන තැන දුගී දුප්පත් මව්පියන් සහ මිනිසුන් දිගු ලියුම් කවර දිගුකරන දර්ශනය රූපවාහිනියෙන් ප්‍රවෘත්ති නරඹන ඔබ දැක ඇති. එසේ මිනිසුන් බොහෝවිට දිගුකරන්නේ සිය වැඩිවිය පැමිණි පුතාට හෝ දුවට රැකියාවක් දෙන ලෙස වූ ආයාචනයකි. නැතිනම් රැකියා අයදුම් පතකි. 

හම්බන්තොටට වරායක්ද ගුවන්තොටක්ද ඇති වූ නමුදු සැලකිය යුතු මට්ටමේ රැකියා උත්පාදනය වන මාර්ග ඇති වූයේ අඩුවෙනි. ආර් ප්‍රේමදාස මහතා විසින් ආරම්භ කරන්නට යෙදුන ඇඟලුම් කම්හල් කිහිපයක් තවමත් හම්බන්තොට ප්‍රෙද්ශයේ ක්‍රියාත්මකය. බෙලිඅත්ත, වාඩිගල, ලුනම ඉන් කිහිපයකි. ඒවායින් එවකට රැකියා පන්සියයක් එක් කරමාන්ත ශාලාවකින් ජනනය කරන ලදී. වරාය ගුවන්තොට හෝ වෙනත් යටිතල පහසුම් හි විශාල ආයෝජන වලින් තොරවම ආර් ප්‍රේමදාස ජනාධිපතිතුමා ඒ රැකියා ජනිත කිරීමේ සමර්ථකම පෑවේය. 

යටිතල පහසුකම් ලෙස සැලකිය හැකි, මංමාවත්, විදුලිය, දුරකථන ආදී බොහෝ සම්පත් දැන් වසර කිහිපයක සිට හම්බන්තොට ප්‍රෙද්ශයේ ඇතත් තවමත් තරුණ තරුණයින්ගේ රැකියා ගැටළුවට තිරසාර විසඳුමක් නැත. කර්මාන්ත ශාලාවක් දෙකක් ඇතිවුන මුත් ඒවායින් සමස්ථ රැකියා අපේක්ෂිත පිරිසෙන් කාලකට වත් රැකියා ලබාදීමට රජය අපොහොසත් වී තිබේ.

ආර්ථික වැඩපිලිවෙල

හම්බන්තොට වරායට ගොඩබෑමට නැව් නිතර එන බවත් ඒ එන නැව් වල වැඩකරන නාවිකයින්ට එලවලු විකිනීමෙන් හම්බන්තොට ජනයාගේ ආර්ථිකය සවිමත් වන බවත් නිල් බලකාය මගින් බෙදාහරින පත්‍රිකා වල තිබේ. හම්බන්තොටට නැව් පැමිනෙන්ට පටන් අරන් දැන් වසරකට වැඩිය. නමුත් එක වම්බොටු පන්සීයක් නාවිකයන්ට විකුනා මුදල් ගත්ත තැනක් වේදැයි සැක සහිතය. 

ගොවි ජනතාවගේත් සාමාන්‍ය ජනතාවගේත් විචාර බුද්ධිය ඉතාම පහල බාල මට්ටමට ඇද දමන මෙවැනි සංදර්ශනාත්මක දැන්වීම් තුලින් අපේ මහින්ද මහත්තයා ලෙස සලකාගෙන සිය ඡන්ද ලබාදීමට පෙල ගැසී සිටින ගොවි ජනතාවගේ ඡන්දද ඔහුට නැති වේ. වරායක් ඇති වූ පමනින් එලවලු පළතුරු ඉබේ පිටරට යන්නේ නැත. ඒ සදහා රජය විසින් යම් යම් දිරිමත් කිරීම් පුද්ගලික අංශයට සිදු කල යුතු අතර ඒ ආකාරයේ අපනයන වැඩපිලිවෙල සදහා ඇති බාධා ක්‍රමවත්ව හදාරා අවහිරතා ඉවත්කර ලිය යුතු වේ.

ඇසට පේන ගොඩනැගිලි පාරවල් හෝ වෙනත් වෙසක් කූඩු වැනි සංදර්ශනාත්මක දැන්වීම් හැර වෙනත් වැඩපිලිවෙලවල් හදුන්වා දී ගොවිජනතාව ශක්තිමත් කිරීමේ නියම වැඩපිලිවෙලක් මහින්ද රාජපක්ෂට නැත.

පසු සටහන

මා හට පෙනුන අයුරින් සහ ඇසුන අයුරින් හම්බන්තොට ජනතාවට අලංකාර ගොඩනැගිලි මංමාවත් සහ පොදු පහසුකම් විදුලිය ආදිය ලැබුනත් ඔවුනට නොවිසදී ඇති පද්ධතියේ ඇති දෝෂ ගනනාවක් ඇත. ඒවා සිමෙන්ති හෝ කොන්ක්‍රිට් වලින් විසදාලිය නොහැකි ඒවා වේ. නමුත් නාමල් රාජපක්ෂ සහ අනෙක් රාජපක්ෂ වරුන් කියනා අයුරින් යටිතල පහසුකම් සංවර්ධනය කල පසු ඒ හා සමානුපාතිකව අනෙක් අංශ ඉබේම දියුනු වේ. එය හරියට අපි කාරුවත් නැති තැනක ලස්සන සිල්ලර කඩයක් දමා පහසුකම් ඇති කල පසු ටික දවසකින් මිනිස්සු කාර් වලින් ඇවිත් බඩු ගනීවි යැයි සිතනවා වැනි වැඩකි. 

යටිතල පහසුකම් ඇති වූ පසු ආයෝජකයින් බුරුතු පිටින් ඇවිත් කර්මාන්ත ශාලා සහ ආයෝජන සිදුකර ඉන් පසු ඒ පළාත  හෝ රට දියුනු වේ යැයි ඇතැමකේ සිතති. එසේනම් මදක් හම්බන්තොට දෙස බලන්න. වරායක් ගුවන්තොටක් සහ පුළුල් මංමාවත් ක්‍රීඩාංගන ආදී අනේකවිධ යටිතල පහසුකම් වලින් හම්බන්තොට දැන් වසර දෙක තුනක සිටම ආඩ්‍ය වී ඇත. නමුත් තවමත් හම්බන්තොට මිනිසුන්ට ද රටේ අනෙක් පැතිවල මිනිසුන්ට සේම සංවර්ධනය යනු මිරිඟුවකි. යමක් ඈත පෙනේ. එය ලගාවේයැයි ඔවුන් කීවත් එය අප ජීවිත කාලය තුල ලගාවෙන ආකාරයක් නැත. එබැවින් අපි ඒ මවා පෙන්වන බොරු මිරිගුවෙන් දෑස මදකට හෝ ඉවත ගෙන අප අප දෙසම බැලිය යුතු කාලය එළැඹ ඇත.

Wednesday, December 24, 2014

ලිපේ සිට මඩවලට ඇති දුර

"ගෙම්බෙකුව වතුර භාජනයක දමා ලිපේ තියන්න. වතුර කෙමෙන් රත් වෙද්දී ගෙම්බා ඊට සරිලන පරිද්දෙන් තමාගේ ශරීර ගතිකය සකස් කරගනු ඇත. අවසානයේදී වතුර උතුරන මට්ටමට එන විට, තවදුරටත් ශාරීරිකව ඊට සකස් වීමේ හැකියාවක් ගෙම්බාට නැත. දැන් ගෙම්බා වතුර භාජනයෙන් එළියට පනින්ට බලයි. එහෙත්, එතෙක් වෙනස් වෙමින් පැවති වතුරේ ඌෂ්ණත්වයට හැඩ ගැසීම සඳහා දරණ ලද ප‍්‍රයත්නයේ විඩාව නිසා ඌට දැන් වතුරෙන් එළියට පැන ගන්නට හයියක් නැත. තව මොහොතකින් ඌ මියයයි.
දැන්, මේ ගෙම්බාගේ මරණය සිදුවුණේ කෙසේදැ යි කෙනෙකු ඇසුවොත් බොහෝ දෙනා දෙන පිළිතුර වන්නේ, උතුරන වතුරට පිළිස්සීමෙන් ඌ මියගිය බවයි. එහෙත් සැබෑව එය ද? නැත. ඌ මියගියේ, භාජනයෙන් එළියට පැනීමට තීරණය කළ යුතු සැබැ මොහොත උගෙන් මගහැරී ගිය බැවිනි.
ලංකාව අද ගමන් කරමින් සිටින්නේ ඉහත කී ගෙම්බාගේ නිමේෂයේ බව පැහැදිළි ය. එක්කෝ අප දැන්ම මෙතැනින් පැනගත යුතුය. නැත්නම්, සමාජයක් වශයෙන් ගෙම්බාගේ ආනිසංසයට යට විය යුතුය"
~ගාමිණී වියන්ගොඩ

ටැංකිවල ගෙම්බන් ඉවත්කරන හමුදා සෙබලු
 මේ ඉහත කතාව පටන් ගන්නේ ගෙම්බා වතුර භාජනයක බහා ලිප තැබීමෙනි. ඊට පෙර අප විසින් ගෙම්බෙකු අල්ලා ගත යුතුව ඇත. ගෙම්බකු අල්ලා ගෙන ගෙම්බා ලිපතබා පියන ඇර වතුර රත්වන අවස්ථාවේ ගෙම්බා එලියට පැන්නත් ඌට නිදහස ලැබීමට සහ ගෙම්බාගේ ජීවිතය පෙර පරිදි සුවෙන් ගෙවීමට ගෙම්බාට හැකිවේද? ගෙම්බා ප්‍රාර්ථනා කරන සැපය උදුන අසල තිබේද? 

අප අද මුහුන පා සිටින්නේ උනුවතුර මත සිටින ගෙම්බකු මුහුන පාන ලද ස්ථානකයැකැයි වියන්ගොඩ උන්නැහේ පවසයි. වියන්ගොඩද, රනිල් වික්‍රමසිංහද,සෝභිත හිමිද, චම්පික උපාසකද,හිටපු ජනපති චන්ද්‍රිකා නෝනාද, සරත් පොන්සේකා මහතාද අප මුහුනපා ඇත්තේ මහා විනාසයකට යැයි අපිට කියති. නමුත් එය සත්‍යක්ද? 

රට අසාර්ථක ව්‍යාපෘති මගින් පැලැස්තර මගින් උඩුදුවා ඇති සමයක ඒවා සමාජ අසාදාරන මගින් වැසිය හැකි සීමාවක් ඇත. පොදු මහජනතාවට ඇගිල්ලෙන් ඇන ගෙම්බන් උදාහරණයට ගෙන ,,සංඛ්‍යාෙල්ඛන වලින් ප්‍රස්ථාරගත කොට,, දූෂණය භීෂණය ඉදිරිපත් කොට ජනතාව අවධි කල යුතුයැයි රාජපක්ෂ රජය විවේචනය කරන ප්‍රධාන ධාරාව සිතයි. 
නමුත් අප එසේ කල යුතුද?එසේ කිරීම කෙතෙක් සාර්ථකද?

රටේ පොදු මහජනයා පවතින රජයට විරුද්ධව යන්නට ඇත්තේ සරල හේතුන් නොවේ. එ් සදහා සංකීර්ණ හේතු සමුදායක් ඇත. විධායක ජනාධිපති ක්‍රමයට එහා ගිය තමුන්ගේ පුද්ගලික අරමුණු වලින් යුතු රාමුගත හේතුවක් සෑමඡන්දයකටම පාහේ ඇත. නමුත් සියල්ලෝ ඒ පුද්ගලික අරමුණ සගවා පිටතට ඉතාමත් යහපත් පෙනුමක් පෙන්වති. 

මා මේ මැතිවරණයට විරුද්ධය. පවතින මැතිවරණයෙන් කවරකු යලි පත්වුවද ඇතිවන්නේ ප්‍රතිසංස්කරණ බිහිකල හැකි ප්‍රබල තත්වයක් නොවේ. හුදෙක් පවතින මජර ක්‍රමයටම තවත් පැලැස්තර සහ සහනාධාර පොම්ප කරන තවත් අජපල් ක්‍රමයකි.ඒ හැරත් පවතින රාජපක්ෂ ක්‍රමයේ සියලු අමණ කම් බහුතර ජනතාවගේ කදට බඩට තවමත් දැනී නැත. ඒ දැනෙන දිනය වන විට ආන්ඩුව මාරු වි තිබුනොත් ඒ වනවිට පවතින ආන්ඩුව ඒ සියලු දේවලට වග කිව යුතු වනවා ඇත.

සරලම උදාහරනයකට ගත හොත් කිසිදු ආදායමක් සෘජුව උපයන්නේ නැති රාජ්‍ය අංශයේ කන්තෝරුවලට පිරිස් ලක්ෂ ගනනින් බඳවා ගෙන ඇත. ඉදිරියේ මූළ්‍ය අර්බුධුයක් ඇති වුවොත් මේ පිරිසට වැටුප් ගෙවීම විශාල ගැටලුවකි. එකල්හී රජය එක්කෝ මේ පිරිස වන්දි දී ඉවත්කල යුතුය. නැතහොත් ඔවුන්ගේ වැටුප් ගෙවීම ප්‍රමාද කිරීම සිදුකල යුතුය. මෙසේ රජයේ සේවකයින්ට පඩි ගෙවීමට නොහැකි දිනය ඇතිවන්නේ මෛත්‍රි පාලනයක් යටතේ නම් එහිදී සියලු කුනුහරුප අහන්නේ ඒ පාලනය වේ. එවිට පවතින්නේ රජපස පාලනය නම් එවිට ඒ බැර රාජපස පාලනයට මැ යොමුවෙයි. 

රත්වුනු වතුරේ සිට ලිප උඩට පැන්න ගෙම්බා වතුරෙන් තැම්බීමට  වඩා ... ලිපට වැටුන කල වඩාත් ආතල් සහිත වේද? 

අප තරම් නොදියුනු රටවල සිනමා කාරයෝ නලුවෝ නිලියෝ සිනමාව ගැන කතාකරති..සිනමා කෘති ගැන කතාකරති. විදුලි ඉංජිනේරුවෝ විදුලි බලය ගැන කතාකරති, බලශක්තිය ගැන කතාකරති. භෞතික විද්‍යාඥයෝ ඒ විද්‍යාව ගැන අදහස් දෙති..පරීක්ෂණ කරති. සාහිත්‍යකරුවෝ සමාජයේ විශාල ඇස්වලට නොපෙනන සියුම් දෑ මනුෂ්‍ය සිත් වලට කාවදින්නට හැකි ලෙස ඉදිරිපත් කරන්නට උත්සාහ කරති, මාධ්‍යවේදීහු ප්‍රවෘත්ති ආදිය මහජනයාට ලබාදීමට දිවි දෙවනුව තබා ඉදිරිපත් වෙති. ඒ නොදියුනු රටවල සමාජයේ ඉහල තැන්වල  ඇත්තෝ තම රාජකාරින් මනාව ඉටුකර ඒ ගැන කතාකරති. ඉතාම සුළු පිරිසක් පමණක් දේශපාලනික මත දරා ඒ කෙරෙහි ඇදේ...

නමුත් ආශ්චර්ය දේශයේ සියලු දෙනාම දේශපාලනයම කතා කරති. මෘදුකාංග ඉංජිනේරුවරුද,දත්දොස්තරලාද, හෙදියෝද, කවි කාරයෝද දේශපාලනයම කියවති. සියලු ක්ෂේත්‍රයන්හී බුද්ධිමතුන් සහ බලවතුන් එකතු වී දේශපාලනය නැමැති  රත්වන මුට්ටියට සාමාන්‍ය වැසියන් දමා එයින් ගොඩට එන්නට මාර්ග කියා දෙමින් විමුක්ති මාර්ගය පෙන්වන්නට හදති. සකල බුද්ධිමතුන්ගේ රාජකාරිය ගෙම්බන් සහිත මුට්ටි ලිපෙන් බෑම යැයි කෙනෙකුට සිතුනොත් එහිද වරදක් නැත. 

ආශ්චර්යට තවනම් දුර නැත. මේ පේන තෙක් මානයේය. අපිඑය එනතුරු සිටිමු.

Saturday, December 20, 2014

හපුතලේ හරහා නුවර එළියට

මටත් ටිප් කක් යන්න ඕන වුනා. නුවර එළියෙන් යාලුවෙක් එකතු වෙන්නං කියලා කිව්වා. මහරගමින් පාරට ඇවිත් කොටුවෙන් උදේ පාන්දර පහමාරට හයට විතර තියෙන බදුල්ල කෝච්චියෙන් නානුඔයට ගිහින් යන්න ඕනි කියල මුලින්ම හිතුවා. නමුත් නානුඔයට යනකොට දොළහමාර විතර වෙනව දවල්. ඒ නිසා වෙනත් පාරක් හිතුවා.

මං මහරගමින් නැග්ග බදුල්ල එක්ස්ප්‍රස් බස් එකක. බැස්ස හපුතලෙන් ඉන් පස්සෙ ගිහා නුවරෙළි.
මෙ තියෙන්නෙ කලුපහන හන්දිය. රත්නපුරේ පහුකරලා කදුකර පැත්තෙන් ඇතුලට යන කොට සුන්දර දසුන් බොහොමයි. සීතලත් මේ දවස්වල ටිකක් සැරටම තියේ.
ලස්සනට පාර හැදිල තියෙනවා මග නැගුම රටේම ක්‍රියාත්මක වෙන නිසා අපාසුවක් නැතුව යත හැකි ඕන තැනක. නමුත් ඉතිං කොයි විදියට හැදුවත් වංගු නෙව මේ පාරවල් වල. ඒ වංගු ගතිය නිසා බස් එකේ යනකොට ටිකක් ඇගට දැනෙන අපහසුව කෝච්චියෙ යනවාට වඩා වැඩියි.
හපුතලේට එනකොට දහයට කිට්ටුයි. කෝච්චිය දහයමාරට විතර තිබුනෙ. ඉතිං ස්ටේෂන් එකට යන පාරෙම තිබුනා මුස්ලිං හෝටලයක්. ජාතිය ආගම දන්නවයැ කටින් පහලට යන කෑමවල..ඉතිං මං ගොඩවුනා. පරාට කන්න කඩලකරිය, පරිප්පු හොදි, ලුනුමිරිස්,මස් හොදි කියන ජාති හතරම තිබුනා. පරාට හතරක්ම කෑවා.රුපියල් සීයයි ගාන. සාපේක්ෂව පට්ට ලාබයි.අනික පරාට උණුවටම තිබුනා. 
නානුඔයට ටිකට් එකක් අරං හපුතල ස්ටේෂමට ගොඩ උනා..
හපුතල ස්ටේෂම මල් වවල ලස්සට තිබුනා. හීතල දවසක් වගේම අහසේ වලාකුලු නැති දවසක් වුන නිසා හරිම සුන්දර විදියට පොටෝ ටික ගහගන්න ඇහැක් වුනා. 



 හපුතල ඉදලා නානුඔයට දිග කොට උමන් මාර්ග රැසක් තියෙනවා. ස්ටේෂන් සෙට් වෙන්නෙ තුනයි. නමුත් භූමි දර්ශනය සහ උමන් මාර්ග නම් බොහෝමයි. එකක් තිබුනා ඒක ඇතුලෙ මං හිතන්නෙ විනාඩියක් දෙකක් විතර කෝච්චිය ආවා. ඒතරං දිගයි. 
හපුතල ඉදලා නානුඔයට එද්දි ඉදල්ගස්හින්න, නානුඔය, ඔහිය, අඹේවෙල වගේ කදුකරයේ වැදගත් දුම්රිය ස්ථාන කිහිපයක්ම හමු වෙනවා. මේ ඒ වගේ දුම්රියස්ථානයක අනික් පැත්ත. 
 පහුගිය වතාවක අපි ඔහියට ඇවිත් ඒ මැදින් ගියා පයින්ම හෝටන් තැන්නට. ඒ වතාවෙදි අපි මේ ඔහිය ස්ටේෂමට එහා පැත්තෙ තියෙන කඩෙන් කෑවා. එතකොට සුද්දෙක් කුත් ඇවිත් උන්නා කඩෙන් කන්න. කතා බහ කලාම තේරුනේ ඌසල්ලි හයමින් තියෙන. ඒත් කටු කකා ඇවිදින්න ආස එකෙක් කියලා. මේ පිංතුරෙ ඉන්න පොඩි ගෑනු ලමයා එතකොට ටිකක් පොඩියි. මගේ මතකය නිවැරදි නං මේ පොඩි ගෑනු ලමයාගේ ලස්සන පිංතුර සහ වීඩියෝ ටිකක් සුද්දයි කැමරාවෙ ලස්සනට සටහන් වෙලා තිබුනා. මෙයා මොන්ටිසෝරි ඩාන්ස් එකක් දමල තිබුනා සුද්ද කොර වෙන්න
 කදුකර පලාත්වල තවමත් පැරණි වාහන වලට හොද තැනක් තියෙනවා. මේ වගේ වාහන වල වතු සහ ලැයිම් වල ජනතාව යනවා. ඒ අය සමහර විට ජීවිත කාලෙ තමුන්ගේ ප්‍රධානතම ප්‍රවාහන මාධ්‍ය විදියට පාවිච්චි කරනවා ඇත්තෙමේ වගේ ලොරි බාගයක්හෝ කැන්ටරයක පිටුපස්ස කොටසක් වෙන්න ඇති. 
කදුකරයේ සමහර නිම්න වලින් දුම්රිය යද්දි මිටර පනහ හැට උසපාලං තියෙනවා කෝච්චි පාර යන්න. ඒ වගේ තැන්වලින් පහල බලනකොට බයත් හිතෙනවා. 



ගොවිතැන්..සංචාරකයින්.. අලංකාර භූමි දසුන්.. ආදිය පිරුනු පොටෝ ගොඩාරියක් වැදිල තිබුනා. නමුත් ඉතිං  ටිකක් දැම්මාම මැදැයි...

Saturday, December 13, 2014

ගොවි රජ්ජුරුවෝ

ලෝක ඉතිහාසය දිහා බැලුවාම සමහර රටවල් අනෙක් රටවල් වලට වඩා ඉක්මනින් දියුනු වුනා කියලා පේනවා.. තවත් රටවල හිටපු අය යුද්ධ ශක්තියෙන් අනික් ජාතින් වලට වඩා දියුනුවුනා. දියුනු වෙනකොට ජනතාවට අවශ්‍යතා වැඩි වෙනවා. ඒවා සපුරාගන්න බැරිවෙනකොට මිනිස්සු අලුත් ලෝකයක් සොයාගෙන යන්න පටන් ගන්නවා. 


ඒ නැතත් මිනිස්සු ඇවිල්ලා ආක්‍රමන වලට ප්‍රිය ජාතියක්. තවත්  ජාතියක මිනිස්සුන්ව යටත් කරගෙන සිටීම අභිමානයක් විදියට දකිනවා. කවර හේතුවක් නිසා හෝ යටත් විජිත පවත්වාගැනීම කියන කාරණාව විවිධාකාර ස්වරූප වලින් අද පවා ලෝකයේ තියෙනවා. 

අශෝක රජතුමාට කෙලින්ම නෑ කම් කියපු නමුත් නියම අග බිසවගේ දරුවන් නොවුන දෙදෙනෙක් ආගම පතුරුවන්න මිහිදු සහ සංඝමිත්තා ලෙස  ලංකාවට එනවා. ඇවිත් ධාර්මික තත්වයකට ලංකාව එදා පත් කරනවා. නමුත් ඒ තුල අශෝකගේ උපක්‍රමික යටත්විජිතවාදී ආකල්පයේ මුහුනුවරක් ගැබ් වෙලා තියෙනවා කියල මටහිතුනා...

යටත් විජිත යටත් කරගත්තාට හැම යටත්විජිතයක්ම ඒ බලවත් රටවලට වාසි දායක මට්ටමක තිබුනේනැහැ. උදාහරණ විදියට ආයිත් ලංකාවම ගත්තොතින්. සුද්දා 1815 දි ලංකාව යටත් කරගන්න කොට නිවර්ථන සරුසාර රටක් ලෙස ලංකාව පැවතුනාට ලංකාවෙ නිසි මාර්ග පද්ධතියක්..විනයක් ..නීතියක් ..තිබුනෙනැහැ. ඉතිං ඒවගේ රටක් පාලනයට අපහසුයි. ඒ නිසා ඒ අය නීති. මහාමාර්ග, ආදී දේවල් ලංකාවට හදුන්වා දෙනවා. 

බොහෝ යටත් විජිත යටත් කරගත්තායින් පස්සෙ ඒ යටත් විජිත වල හිටපු මිනිස්සුන්ගේ ජීවන රටාවන් උඩු යටිකුරු වෙනවා. කවදාවත් අර යටත් කරගන්නට මූලිකවුන පිරිසට තමුන්ගේ ඔරිජිනල් රටේ සංස්කෘතිය යටත් විජිත තුල ඒ ආකාරයටම ඇතිකරන්න හැකියාවක් නැහැ. නමුත් බොහෝදුරට ඒ යටත් කරගන්න අය තමුන්ගේ සංස්කෘති, ආගම, සිරිත් විරිත් ආදී දේයටත් විජිත වලට පොම්ප කරන්න උත්සාහ ගන්නවා. ඉතිං ඒ යටත් විජිත වල එතෙක් පැවති සිරිත්විරිත් සහ සංස්කෘතිය අර පිට සංස්කෘතියත් එක්ක එක්කාසු වෙලා අලුත්ම ජාතියෙ සංස්කෘතියක් හා ජන ජීවිතයක් ඒ යටත් විජිත වල ඇතිවෙනවා. 

ප්‍රබල රටක් තවත් ප්‍රදේශයක් හෝ රටක් යටත් කරගත්තාට පස්සෙ ඒ යටත් විජිතයේ සිටින මිනිස්සුන්ගේ ලිංගික සහ සමාජීය ජීවිත පරමාදර්ශ ආදියේ පවා වෙනස්කම් සිද්ද වෙනවා. කසාද බැදීම, ආගම ඇදහීම සම්බන්ධව තියෙන මතිමතාන්තරත් ඒ ආකාරයට කප්පාදු වෙලා නව ආකාරයකින් ලියලනවා.. 

දඩයම් කරමින් හෝ ගොවිතැන් කරමින් කාලය ගතකල එතනින් එහාට ජීවිතයක් අරමුණක් නැතිව ඔහේ ගිහිපු ජීවිත  විදෙස් ආක්‍රමන වලින් පස්සෙ දැඩි වෙනසකට පාත්‍ර වෙනවා. බාගෙදා සමහර ජීවිත විනාස වෙලා  අලුත් ක්‍රමයට පසට පෝර බවට පත් වෙනවා. සමහර ජීවිත අලුත් යටත්විජිත ක්‍රමයට බලය සපයමින් එයටඅනුගත වෙනවා. සමහරු මෙලෝ රහක් නැතුව අතීතය මත සිටිමින් නමුත් නව යටත්විජිත ලෝකයේ ජීවත් වෙමින් එයටම ගරහනවා.. 

ගොවි රජ්ජුරුවෝ කියන පොත කියෙව්වා. ඒකෙත් තියෙන්නෙ පෝලන්ත යටත් විජිත කතාවක්. ආගම, ලිංගික ජීවිතය, ආර්ථිකය කියන කාරණා යටත් විජිත කරණයේදී වෙනස් වෙන ආකාරය ගැන සාධාරන නමුත් ඉතාම ආකර්ශණිය ආකාරයට කියවීමක් කතුවරයා සහ පරිවර්ථකයා අපිට ලබාදෙනවා.. 

ලිංගිකමය ජවනිකා ගොඩක් තියෙනවා. වෙනස්ම ආකාරයේ පවුල් ජීවිත ගැන තියෙනවා. ආගමික නායකයින් ගැන තියෙනවා.. ගොවිතැනට මාරුවෙන ගෝත්‍රිකයින් ගැන තියෙනවා. මහා බරසාර දාර්ශනික මත පැත්තකින් තිව්වත් කතාවක් විදියට කියවලා රසවිදින්න හොද ජාතියෙ පොතක් තමයි ගොවි රජ්ජුරුවෝ.

පොතේ නම : ගොවි රජ්ජුරුවෝ
Original book : The king of the fields
Author : Isaac Bashevis Singer
පරිවර්ථනය : ගාමිණී වියන්ගොඩ
ප්‍රකාශනය : විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය
මිල :රු 260/= (1999- ප්‍රථම මුද්‍රනය) 
 ISBN-955-652-034-1

උඩින් ඇවිත් ගිනි නිවන්න බැරිද?

දැන් අවුුරුදු තුන හතරකට කලිං එලවලු වගා වලට වතුර යොදන්න වතුර මැසිමක් අපේ ගෙදර තිබුනා. ඒක ඩීසල් එකක් යකා වගේ වැඩ.. කිලෝමීටර දෙකතුනක් ඈතට වුනත් එ්කෙන් වතුර ගහන්න පුළුවනි. ඒකට වතුර ගහන්න නම් අගල් දෙකේ බට ඕන.ඒ බට ටික ටැට්ටෙරේ පටවං යනවා..අඩි විස්සක් විතර දිග බට පනහක් හැටක් විතර අපිගාව එතකොට තිබුනා.. 

නැත්තං අර අකුලන්න පලුවන් රෝල් කරලා ටැට්ටෙරේ බැදන් යන ජාතියෙ බට ගන්නත් ඇහැකි. ඒවා ගෙනිහිං එලලා මැසිම ස්ටාට් කරලා ඇලේ ඉදලා කිලෝමීටර දෙකක්තුල වතුර ගහන්න හැකියාව තියෙනෝ... පට්ට භාන්ඩෙ... තමයි ඒක.ඊට කලියෙං පාවිච්චි කරේ ටැට්ටෙරේටම සෙට් කරන වතුර මැසිමක්..ඒකෙදි අපි බට ටික පටවං අරං යන ලෑන් මාස්ටර් ඇංජිමම යොදාගන්නවා වතුර මැසිමක් විදියට..පොඩි බෙල්ට් මාරුවක්විතරය් කොරන්නතියෙන්නෙ..

ටිකක් හොදට ප්‍රැක්ටිස් වෙච්චි තුන් හතර දෙනෙක් ඉන්නෝ නම්..ඔය බට ටිකකිලෝමීටර දෙක තුනක් එලාගෙන ඇලට පුට් වෑල් එක දාලා මැසිම ඉස්ටාට් කොරලා වතුර ගහන්න පැය බාගයක් යන් නැහැ..

ලිං වලට මේ ජාතියෙ පුට් වෑල් හරියන්නැහැ..ඒකට වෙනම මෝටර සහ පුට් වෑල් තියෙනවා.. මං වැඩකොරන්න ආවම කොළඹ පාරවල් වල මෑන්හෝල් වලටවැඩට සෙට් වුනා. එතකොට අපිට සමහර මෑන්හෝල් වල වතුර අහක් කරන්න වෙනවා. එතකොට අර මෝටරේ වල ඇතුලට බස්සලා වලේ වතුර ටික පැය බාගෙකින් අහක් කරත හැකි. මේ වලක සාමාන්‍යයෙන්වතුර ඝණ මීටර සීයක් විතර තියෙනවා.. 

මේ ටික මට මතක් වුනේ පහුගිය දා සිද්දවුන ගුවන් අනතුරකින් පස්සෙ ඒ ගමේ මිනිස්සු තමුන්ට ඇහැක් විදියට ගින්න නිවන්න වතුර හොයාගන්න වින්ද දුක දැකලා.. ඒ අයට ලගපාත හොයාගන්න පුලුවන්හැම වතුර මූලාශ්‍රයම සොයාගත්තත් ප්‍රවාහනයටලොකු වෙලාවක්යනවා... අර වගේ වෙලාවක මං මුලින් කියාපු ලොකු මෝටරයකුයි බට සැට් එකකුයි තිබුනා නම් සෝක් එකට ලගපාත ලිදකින්, ඇලකින්, දොලකින්, ගගකින් වතුර අරං ඉක්මන්ට ගින්න නිවාගන්න හැකියාව තියෙනවා.. 

මෙතනදි අපේ පොඩි ටැට්ටරේ අපි පටවං වතුර ගහන්න සැට් කරගෙන ගිය බට සැට් එකයි..වතුර මැසින්ටිකයි..ඩිසල් හෝ පෙට්‍රල්..අපිට කෑම.බීම...සහ මිනිස්සු ටික හෙලිකොප්ටරේක පටවං ඒ ගින්දර ඇතිවෙච්චි තැනක බාන්න හැකි වුනානං විනාඩි විස්සක්විතර ඇතුලත ඒ බට ටික මැසින් ටික අමුනගෙන ඉක්මන්ට ගින්න නිවාගන්න තිබුනා. අඩුගානෙ ඇස් වලට පෙනි පෙනී පිච්චෙන මනුස්ස ජීවිත ටික හරි බේරගන්න තිබුනා.. 

මහ ලොකු බවුසර්, ගිනි නිවන රථ ආදිය තිබුනාට ,ඔය පෙරිය සයිස් වාහනයක් කොළඹ නගර සීමාෙවන් එලියට ගන්නගියත් ලොකු වෙලාවක්යනවා.. ඒ නිසා අර වගේ ස්ටෑන්ඩ්බයි හෙලිකොෆ්ටර් එකක් සහ මිනිස්සු ටිකක් හිටියනං වැඩෛ් ගොඩදාගන්න තිබුනා ලේසියෙන්ම..

මම අහලා තිබුනා කතාවක් ඩෙන්සිල් කොබ්බෑකඩුව මහත්තයා මැරුන විදිය ගැන. එතුමා රත්මලානෙ ඉදලා ජාතික රෝහලට ගේන්න පාරේ වාහන තදේ නිසා ගොඩක් වෙලායනවා.. ඒ වෙලාවෙ ස්පිරිතාලෙක උඩට හෙලිකොප්ටරේ බාල කොබ්බෑකඩුව මහත්තයා ඉස්පිරිතාලෙන්ම බාගන්න හැකියාවක්තිබුනා නම් එතුමා ජීවත්කරන්න හැකියාවක් තිබුනා කියල කස්ටිය කතාවෙනවා.. නමුත් පස්සෙ කාලෙකවත් ලංකාවෙ හොස්පිටැල් හදන කොටඒ විදියෙ හෙලිකොප්ටර බාන්න තැනක් ඉතුරුකරන්න අපේ රටේ ඇත්තො හිතුවද? අඩු තරමෙ මහා ඉස්පිරිතාල හදද්දි වත්....

මිනිස්සු මලාම වටිනකම වැඩිවෙනවා.බැනර් කවි සිංදු ලිපි ඇතිවෙනවා. නමුත් ලංකා ඉතිහාසෙට සිද්ද වෙන අනුවේදනීය සිදුවීම් වලින්  අපේ අය පාඩමක් ඉගනගන්න ආකාරයක් පෙන්නුම් කරන්නෙ නැහැ.. හිතන්න අපේ රටේ ලොකු රාජපක්ෂ වරයෙක් ගිය හෙලිකොප්ටරයක් හදිසි ගින්නක් නිසා පහත් කරන්නවුනා කියලා...ඒ වගේ වෙලාවක වත් ඒ සදහා හදිසියේ ක්‍රියාත්මක වෙන්න ගිනි නිවන හෙලිකොප්ටරයක් ඉක්මනින්ම පිටත් කරන්න අංශයක් තියේද? ඒ තිබුනත් එයාලට ඇත්තටම ඒවගේ දෙයක් ඉක්මනින්නම විසදගන්න හැකියාවක් තියේද කියලා මටපොඩි සැකයකුත් එනවා..

Thursday, December 11, 2014

රෙද්ද මාරු කරලම බලමු නේ

අප සිතන පතන දේවල් ඒ ආකාරයටමැ සිදුවන්නේ නම් එය මෙලොව නම් විය නොහැකි යැයි පුරාණ පඩිවරුන්ගේ අදහස වන්නට ඇත. හඹායන දෙයක් අප ලබාගත්තාට පසු එහි අගයක් නැතැයි අපිට විද්‍යමාන වේ. ඉලක්කයට ලගා වූ පසු ඊටත් වඩා විශාල ඉලක්කයක් අප වෙත පහල වේ. 

බඩුවක් හෝ සේවාවක් හෝ වෙනත් කිසියම් දෙයක නැති ගතිගුණ ඇතැයි ද ඒ භාවිත කල විට බොහෝ බොහෝ වාසි ඇතැයිද පෙන්වා බඩු විකුනන්නෝ බඩු විකුනති. දැන් ඒ සදහා ඇඩ්වර්ටයිසින් යන විෂය භාවිත කරති.
මේ ධනය මූලික වූ දියුනු වෙමින් පවතින අපේ රටේ බොහෝ දෙනා බඩු හෝ වෙනත් වස්තූන් පිටුපස පිස්සු බල්ලන් වැනිව දිව යති. 

අයෙක් ගෑනු පිටුපස දුවති. විවිධ අන්දමේ ගෑනුන් කිහිප දෙනෙක් සමග රමනයේ යෙදීම මහත් වූ සැපයක් ලෙස පිරිමි බහුතරයක් සලකන්නට හුරු වී ඇත. කෘතිමව පුම්බාගත් ඔසවා ගත් මස්  සහ රූපකායන් පිරිමින්ට පෙන්වීම තුලින් ගෑනුද වක්‍රාකාරයෙන් ලිංගික උත්තේජනයන්ට පිරිමින්ට ඉඩ හසර විවර කර දෙති. ඒ මත්තේ යන පිරිමි සහ ගැහැනු ටික කලකින් ඔවුනගේ මනදොල සපුරා ගනිති. මෙය වර්ථමානයේ බෝවෙන ලෙඩක් වැනිව පැතිරේ.
එක් පිරිමියෙක් එක් ගැහැනියෙක් මැ පතාගෙන ඔහු සමගම වාසය කොට මියයෑමට සිතීම පැරණි මෝස්තරයක් වන තරමට දැන් සමාජයේ ලිංගික ආකර්ෂනය විකෘති වෙමින් තියනවා යැයි නාකි අය කියති. එහි රුදුරු බවක්ද ගැබ්වුන මතයකි.  ලෝකයේ ඇති සෑම ස්ත්‍රී ලිංගයක්ම එක සමාන නොවුවත් ඒවා වෙනස් වූ පමණින් භෞතිකව සහ සිතට දැනෙන වෙනසේ ආශ්වාදය විඳිමින් අපි ඒවාට කාලය සහ අපගේ හැකියාවන් නාස්ති කරගන අවසානයේ ලබන උපරිම විනෝදය කුමක්ද? මද ගැස්සීමකින් විනාඩි දහයකින් සියල්ල යථා තත්වයට පත් වේ.
නමුත් සමාජය මගින් වැඩි ගැහැනුන් ගානක් සමග ලිංගිකව හැසිරෙන පුද්ගලයෝ යම් කිසි පොරවල් හෝ ගෞරව බහුමාන සහිත පුද්ගලයෝ යැයි සලකති. ප්‍රසිද්ධියේ එවැන්නෝ හෙලා දැක්කත් ඔවුන් මහා විනෝදයක් ලබතැයි බහුතර පිරිස පුද්ගලිකවම සිතති.
මිනිසුන්ගේ ආසාවන්ට සීමාවක් පරක් තෙරක් නොමැති නම් ඒ මිනිසුන්ට අවශ්‍ය දේවල් සියල්ල සැපයීමට සමාජය පාලනය කරන අයට හැකිද? මා නම් සිතන්නේ කෙතෙක් දියුනු රටක වුවද මිනිසුන්ගේ ආසාවන්ට වක්‍රාකාර බැමි ආදිය ඇතිවන්නේ නැතිනම් ඒ සමාජය මහා වියරු සමාජයක් බවට පත්වේ. ඔස්ත්‍රේලියා රට වසන අයට එක්තරා සීමාවකින් එපිට වස්තුව ධනය රැස්කරගතහොත් උන්ට බදු ලෙස විශාල මුදලක් රජයට නැවත ගෙවන්නට සිදු වේ. ඔහු කෙතෙක් දුක්මහන්සියෙන් අමාරුවෙන් මුදල් හරි හම්බ කලද එසේ මාන්සි වී ධනය සෙවීම බදු නොගෙවීමට නිදහසට කරුණක් නොවේ.
ඒ නිසා ඒ රටවල ඇත්තෝ සිය ආසාවන්ට යම් කිසි සීමාවක් තබාගන්නවා ඇත. මොකද කියනවා නම් සල්ලි ගොඩාරියක් වියදම් නොකර එකරැස් කොලොත් ආන්ඩුවට නිස්කරනේ බදු  මුදල් වියදං වෙන නිසාය.
මා දන්නා කතා දෙකකි. එකක් මදක් ලස්සන වැදගත් තැනක රැකියාවක් කරන ලද යුවතියක් යෝජනාවකින් විවාහ ප්‍රාප්ත වේ. ඇය රැකියාව කරනවාට අකමැති ඒ ස්වාමි පුරුෂයා ඇයට රැකියාව නොකොට ගෙදර නවතින්නට කියයි. මද කලකින් නිවසේ වියදම සහ නව නිවසක් ඉදිකරන්නට වීම නිසා පවුලේ වියදම බැලන්ස් කරගන්නට ඔවුන් අසමත් වේ. ඔවුන්ට ඉන් පසු දරුවෙකුද උපදී. සැමියා රට යයි. ඉන් පසු වසර එකකට හෝ දෙකකට වරක් ලංකාවට පැමිනෙන සැමියා ඒ සෑම විටම එක් ළමයෙකු බැගින් ඇයට ලබා දෙයි. එසේ ළමයි ලබාදෙන්නේ රූමත් බිරිය නිකරුනේ සිටියොත් රූමත් බිරිය පිටයාවි යැයි උගේ සිතේ ඇතිවෙන කුම්මැහි කමට වේ. දැන් ඒ රූමත් යුවතිය ළමයි හතර දෙනෙකුගේ මවකි.
දැන් බිරිය ඉස්සර තරම් ලස්සන නැත. දැන් අර මිනිහා තාම රටය. ඌ දැන් ගෙදරට කතා කරනවා අඩුය. ඒ මිනිහා ට වෙන ගෑණියෙක් සිටිනවා යැයිද? ඒ නිසා අර දරුවන් හතර දෙනාට සහ පවුලට කන්න දෙන්න විදියක් නැතුව අර බිරිය දැන් රැකියා සොයයි. අහෝ... !! අර මුලින් ස්ත්‍රියට තිබූ රැකියාව අහිමි නොකර සැමියාද ඔහුගේ රැකියාව කරගෙන මහා මාලිග තනන්නට සහ ඉරිසියාව හේතුවෙන් පැටවු ගහන්නට නොගිහින් සාමෙන් සිටියානම් එය අද වනවිට එය කදිම පවුලකි...

තවත් එසේ විවාහප්‍රාප්ත යුවලකද දරුවා ඉපදීමේන පසු සැමිතොමෝ රට පනී. එහිදී ඔවුන් කරන්නේ නිවසට වාහනයක් ගැනීමයි.වාහනයත් වෙනත් වියදමුත් වැඩි වූ කල දුවාගන්නට බැරි ජීවන  එන්ජිම කටාර් කරා සංක්‍රමනය වීය. දැන් ඔවුහු කසාද බැද ඉතා දුරු රටවල එකිනෙකාගෙන් ඈත්ව වාසය කරති.

අපේ ආසාවන් අසීමිත වන කල අපේ ඒ සියලු ආසාවන් සහ අවශ්‍යතාවයන් සපුරාලන්නට පාලකයින්ට හැකිද? අමු සිංහලෙන් ඇහුවොත්, සියලුම පවුල්වලට නිවාස, සියලු මිනිසුන්ට කාර්, සියලු ජනතාවට වැදගත් රැකියා, ආදී දේ සැබැවින්ම ආන්ඩුවකට සපුරා ලිය හැකිද? තට්ටුවක නිවසක් ඇති අයට තට්ටු දෙකේ නිවාස, මරුතියක් ඇති කාර් හිමියන්ට  හයිබ්‍රිඩ්...කම්කරු රැකියා කරන අයට සුපවයිසර් හෝ විධායක රැකියා, ආන්ඩුවකට හෝ පාලක ධාරාවකට හැකිද? හැකිනම් ඒ කෙසේද?

පුද්ගලික ලාබ ප්‍රයෝජන අපේක්ෂාවෙන් අති බහුතර ජනතාවක් සිය ඡන්දය පුද කරන විට කවර නම් වූ සමර්ථයෙකුට ඒ මිනිස්සුන්ගේ පුද්ගලික අරමුණු සියල්ල සාක්ශාත් කල හැකි වේද? ඒ නිසා අපි රෙද්ද වත් මාරු කරල බලමු. හරියයිද කියලා.

නූතන පටාචාරාවත

විසිතුරු බඩුව ඇය කිසිවිට නැහැ සැලුනේ.. බියකරු වනය බිය නැහැ ඇය වෙත දැනුනේ.. සිය සැමි නැතිය එන මග දරු අහිමි වුනේ.. නැති විය සිහිය ...