Wednesday, January 14, 2015

කෂුද්‍ර වහලුනගේ කතා වස්තුව 1


කෂුද්‍ර වහලුනගේ කතා වස්තුව
කොන්ඩඤ්ඤ සිටානන් ගේ කාවේරි ව්‍යාපාරය වූ කලී මහත් වූ ධන සම්පත් තිබූ ව්‍යාපාරයෙකි. එහි මූල ගර්භය පැළලුප් නුවර පිහිටි අතර ඒ මූල ස්ථම්භයෝ පැළලුප් නුවර පිහිටි උසැති මහල් අතරින් එකක් විය. ඒ මූල ස්ථම්භයන්හි සිට බැලූ කල පැළලුප් නුවර සිරි මොනවට විදහා පෙන්වයි.
අස් රිය පෙළැකි. එක් තැනෙක පස් පියුමින් සැදි පොකුණකි. තවත් තැනෙක ඇතුන් හා කෙළන කුමාරයෝය. වැඩි විය පැමිණි සිටු පුත්‍රෙයෝත් කුමාරවරු කිපුනු ඇතුන් මෙල්ල කොට නිපුන වී ,ඊටත් වඩා හත් කෙළක් අන්ත වූ ස්ත්‍රී ජාතියේ කුමාරිකාවන් හා පෙම් කෙළින තැන් එනුවර විය. . මහළු වී ගිය ඇතැම් බමුණෙක් සිල් රක්නා පිණිස බණ භාවනා පිණිස කෙලක් නොපෙනන දඹදිව් තලයේ කෙතෙක් වනපෙත් තිබුනත් කුමාර කුමාරියන් පෙම් කෙළින උයන් අසබඩම බවුන් වඩන්ට තෝරා ගනිති. ඒ බැව් දන්නා ඇතැම් කුමාර කුමාරියෝ වනයට ගියත් මුන්යැ..ආශ්‍රමයට ගියත් මුන්යැ..රජගෙට ගියත් මුන්යැ.. කියා සිල් රකින බණ තලන බමුණෝ නම් ඇති වැඩෙකුත් නැත..නමුත්නැති තැනෙකුත් නැතැ,යි පිලිකෙව් කළහ. නමුත් බමුණන්ටද ගෑනුන්ගේ නරක ගුණත් උන්ගේ පිළිහි අඩු ලුහුඩු කනුත් පවුල් කන ගෑනු මිනිස්සුන්ගේ අඩු පාඩුත් හැර වෙන යමක් බණකට ගන්නට ආසාවක් නොමැත. එළොව බලන්නට සළු පොරවන් සිටියත් මෙළොව ඇති විසිතුරු රස ඇති ස්ත්‍රී මාංශ දෙසැම බලා උන්, ඒවාම පිළිකෙව් කරමින් එහෙත් බණ කියමින් කල් මරති.
කොන්ඩඤ්ඤ සිටානෝගේ මහත් මහල් ප්‍රාසාදය කාවේරි සිටි නම් විය. කාවේරි සිටි හි මහල්තලා හී සේවය කරන ලද ගෑනු මිනිස්සු ගනනින් සාර දහසෙකි. එයින් දහසක් ස්ථිර සේවකයෝයැ. ඉතිරිය කළමණාකරණ කූටෝපක්‍රමයක් හරහා අඩු පඩියට ගත් අවුට්සෝස නම් වූ පිළීවෙලකින් ආයතනගත වූ අයැමැ විය. ඒ කියන ලද අවුට්සෝස අයවළුන් බඳවාගන්නට ඇත්තේ කදිම ක්‍රමයෙකි.
දිසාපාමොක් ආචාරින් ළඟ වර්ෂ ගනන් අකුරු කොට සියලු ශිල්ප හදාරා ඇතැයි පිළිගත් ඇතැම් පුරුෂයෝ සහ අංගනාවෝ එළියට බට කල පංසලේ සිටින ඇබිත්ත කොළුවා තරම් වත් රටේ තොටේ දැනුමක් නැත. දිසාපාමොකයා දෙන දෙයක් ගිල..ඌ කියන දෙයක් අසා පියා..තව දිසාපාමොකයා හා සමාන උන් සිටී නම් උන්ගෙන්ද බණ අසා මහත් බර පුස්කොළ වන පොත් කොට විභාග තොග ගනනින් සමර්ථ වුවද උන් එළියේ සමාජ ඇසුරේදී එතරම් කෙළි පාන්නට දක්ෂයෝ නොවෙති. එසේ හැකි වුන් ඇතත් ඒ සුවල්පයකි.
රාජ භාන්ඩාගාරයෙන් මසුරන් දිසාපාමොක් ආචාරින්ට ගෙවා මහත් මිල ගෙවා ඒ වටිනා පුරුෂයෝ සහ ගෑනු එළියට ගන්නා හෙයින් උන් වැනි උගත්හු මිල වැඩිය. උන් ඉල්ලන දේවල් වැඩිය. සාරදහසක් සිටින තැන මහා නිල තල වල සිටින ඇත්තෝ දහසක් නම් ඉතිරිය විය යුත්තේ සාමාන්‍ය පුද්ගලයෝයැ. නැතහොත් සුළු සේවකයෝයැ.
කොන්ඩඤ්ඤ මහ සිටා කූට මොළයක් ඇත්තෙකි. ඔහුගේ පරිවාරයේ සිටින උසස් නිල වල උන්ද ඔළු කිහිපයක් ඇති නාගයින් මෙන් හිස් කිහිපයකින්ම කල්පනා කරති. කොණ්ඩඥ්ඤයාගේ කාවේරි ව්‍යාපාරය මහත් බලවත් එකෙකි. අපේ දෝනියැන්දෑ..අපේ මල් බෑයන්ගේ දෝනියැන්දෑ..මා ගේ සොර අඹුවගේ පුත්‍රයා..මාගේ නෑනන්ඩියගේ එක්කුස උපන් වඳ පුංචි අම්මාගේ පුත්‍රෙයා් ආදී වූ නෑයින්ගෙන් අඩුවක් කොන්ඩඤ්ඤයාගේ සහ සම්බන්ධ බන්ධූන්ට නොවීය. එනම් කොන්ඩඤ්ඤයා ව්‍යාපාරික වශයෙන්ද දේශපාලනික වශයෙන්ද සමාජීය වශයෙන්ද දන්නා කියන බොහෝ දෙනා කොන්ඩඤ්ඤ ව්‍යාපාරවල අනුහස් දන්නේ සිය සනුහරේ එකෙක් ඒ මහා ආයතනැයට රිංගවන්ට වැර වෑයම් කොරති.

මෙසේ ඉල්ලන සියල්ලෝම මා ගේ යටතේ බන්දාගතොත් මා හට ව්‍යාපාර කරනු නොව කල හැක්කේ හිඟන දානයක් වැනි එකකි. එසේ එක එක මට්ටම්හි සිටින නෑදෑ පිරිවර සහ දන්නා කියන උන්ගේ උන් මා හට මෙ මහ ව්‍යාපාරයට එබ්බිය නොහැක්කේමය. එනැයින් මේ සඳහා නව යාන්ත්‍රණයක් සොයාගත යුතුයැ හේ තෙමේ සිය බිරියට සිරියහන් ගබඩාවේ දී කියන ලද්දේය. කොන්ඩඤ්ඤයාග් බිරිය වූ පද්මාවතී මනරම් ලෙස පෙනෙන එකියකැ. ඇයට වඩා හත් ගුණයක් ලක්ෂණ උන් අඩු කුලවල සිටියත් කුලවන්තියන්ට පමණක් ඇති වටිනා සළු...විලවුන්..රූපාලංකාරන ප්‍රෙයා්ගයන් ගෙන් වඩාත් ඔපවත් පද්මාවතියට එක් සැමියෙක් ගෙන් නම් සෑහිමකට පත් විය හැක්කේද? හැකියැයි සිතුනත් එසේ නොහැක්කේමය.අපේ වල් පාඨකයා සිතන පරිදිම ඇයට තවත් සොර මිනිසෙක් විය.

කොන්ඩඤ්ඤයා මේ දිනවල මහත් අවුලෙක. හේ මහත් බලවත් ව්‍යාපාර රැසක් හිමි කෙනෙක් වන් හෙයින් දෙස්පලුවෝද, නිළධාරිද, කුමාරවරුද, නෑයෝද, මිතුරෝද සිය දරුවෝ හෝ සහෝදරයෝ කාවේරි ව්‍යාපාරයේ වැඩට ගන්නැයි කියති. උන්ට දැන් ගෑනුන් ගැන බලන්නටත් නැති තරම් කරදර ඇතැ වී ඇතැයි පද්මාවතිය සිය සොර සැමියා වූ අතපත්තු තෙමේ දැනුවත් කෙලේය.
කොන්ඩඤ්ඤයාගේ ළඟමැ සිට උගේ ගෑනියට සතියකට වරක් කටුව ගසන්නට සමර්ථ වූද, එය කොන්ඩඤ්ඤයාගෙන් සඟවා තබාගන්නට සමර්ථ වූද අතපත්තුවා නම් ලේසි පාසු යකෙක් නොවීය. ඌද උපාය උප්පරවැට්ටියන්හි කෙළ පැමිණි එකෙකි. උගේ ඇති යටි කූට්ටු කම් යම්තාක් දුරට කොන්ඩඤ්ඤයා දන්නේ වුවද කාවේරි නොව කවර නම් වූ සාර්ථක ව්‍යාපාරයකට වුව මුන් වැනි යටි උගුල් කාරයින්ගේ හොද පැත්ත වැදගත්යැ සලකා ඌ උගුල් කාරයින්ටද උගුල් අටවනු පිණිස සේවකයින් පරිපාලනයේ මහ තනතුරක් පිදීය.
අතපත්තුවා මූලිකව කොන්ඩඤ්ඤ අනුහසින් මින් දස වසරකට පෙරාතු මේ අවුට්සෝස නම ්වූ ක්‍රමයට සේවකයින්කාවේරි වලට බඳවාගති. සංදේශ උරයක් එක් තැනක සිට තවත් තැනකට ගෙනයන සංදේශ සහායක එකෙක් කාවේරි වලට කෙළින්ම බඳවා ගන්නේ වී නම් ඌ විභාග තුනකට මුහුන දී ඉන් දෙකක් සමර්ථව තවත් භාෂා හා යන්ත්‍රවල පළපුරුද්ද ආදී ශිල්ප ගනනාවකට මුහුන දිය යුතුය. නමුත් ඌ විශාල වැටුපක් ගෙන කහවනු දහස් ගනනක් ගත්තේ වුවද උගේ රාජකාරිය වන්නේ සන්දේශ උර එහා මෙහා ගෙනයෑමයැ. අතපත්තුවාද ඒ අංශයද සිතුවේ..
පෙටා පෙදෙස බඩු කර තබාගෙන අයින් අයින් යැයි තෙපලමින් ඉදිරියට ඇදෙන මළු ගෙනයන්නා මූන්ට වඩා කාර්යක්ෂමයැ. නමුදු පෙටා නුවර සිටින දළදඩු උන් මෙවන් ආයතන සේවයට ගත නොහැකි නිසා මූ වැනි සංදේශ සහායකයෝ වැනි උන් අවුට්සෝස ක්‍රමයට ගත යුතුයැ. උන් මහත් වූ සුදුසුකම් තානාන්තර විභෘග දිසාපාමොක් සහතික ආදිය නොමැති වුවාට කම් නැත.
අතපත්තුවා අතගහන්නට යෙදුන බොහෝ ස්ත්‍රි සමාගමයන්හි ඈත නෑයින්ට පවා කාවේරි අවුට්සෝස හි රක්ෂා ලැබුනි. දෙස්පලුවෝ, ගීතකාරයෝ, කලාව කෑමෙන්ම සිය බඩ මහත් කරගත් කලාමකුනෝ, කුමාරයෝ, බමුණෝ, බෑයෝ, නෑයෝ ආදි සියලු දැන හැදුනුම් කම් වලට කාවේරි අවුට්සෝස හි සේවකයින් බඳවාගති. ඔවුනට ලැබෙන මසුරන් පමණ තරමින් අඩුයැ. පළමු කොට කාවේරි සිටි හි ස්තිර සේවකයින්ට ගෙවූ මසුරන් තරමින් තුනෙන් එකකි මේ නව අවුට්සෝස සේවකයින්ට ලැබෙන්නේ.
මනාකොට හැඩ වැඩ ඇති දනවුවැසි ස්ත්‍රියකට නම් සොඳ අන්තංපුරයකට එකතු වන්නට ඇතිනම් මනාය. එසේ නොවී නම් කුමාර සිටු පුත්‍ර සහ වෛශ්‍යයින්ගේ මනදොල පිණිස ඔවුනගේ ඇගේ තෙල් තවරා තැලීමේ ආදී රක්ෂා ලේසියෙන්ම හැඩ වැඩ ඇති ස්ත්‍රින්ට සොයාගත හැක. එසේත් නැතිනම් වෙනත් දුර දේශාන්තර වල සත් සමුදුරෙන් එපිට තැන්හී කාන්තාරයන්හී පීරිසියක් වන තුරු ඇරාබීන් හී සල්මානු ගෙහිමියන්ට උදව් පදව් කල හැක. එයින් ගිය තැන ඒ ස්ත්‍රින්ට ලැබෙන සැපයෙක් නැත. ගෙහිමියන් සමග ලෝකාස්වාද රතියට අවස්ථාව ලැබුනේ නමුදු එයද තමා රුචි පුරුෂයකු හා සැපය විඳිනවා තරම් ආශ්වාදයක් වේද? ලැබෙන සොච්චමත් කෑම බීම ලෑම හෝ ඇදීම ලැබෙන නිසාම ඔවුහු ලැබෙන දුකක් සැපයක් ලෙස සලකා පීරිසියක් වන තුරු එහිම දුක් ගෙවති.
මහරජතුමාගේත් කුමාරවරුන්ගේත් ඔහුගේ සමාගමයෙහි සිටින රජු රිසි සියලු දෙනාගෙත් අදහස වූයේ පැළලුප් නුවරත් විසල් රටත් මහත් වූ යස ඉසුරින් ආඩ්‍ය වූ තැනැක් ලෙසයි. රජතුමාටත් පරිවාර රාජ කැමති පුත්‍ර නෑදෑ නිලධාරී ආදී බන්ධු ජනයාට රිසි වූ සම්පත් රිසි සේ ලැබුනනමුදු දුක්පත් ජනයෝ බොහෝ දුකින් කාලය ගත කලෝයැ.
ඇතැමෙක් පෙර කල කරුමයක් නිසා හෝ දුක්පත්ව සිය දුවනියට උගත් පුත්‍රයාට රක්ෂාවක් ලබාගනු රිසියෙන් රාජ මාන්‍ය මහාමාත්‍ය ආදින්ගේ කැසිකිලි වැසිකිලි පවා ශොදා පවිත්‍ර කොට රජ දක්නා හැකි තැන් වලටැ ගොසින් රජ බැහැදැක සිය දුක කියන්නට වාරයක් එත්දැයි බලා සිටින්නේ ....සාගින්නේ සිටින වලක වැටුන බලු කැනහිළුන් රැසක් ගොදුරක් එනතුරු උඩ බලාගෙන සිටින්නාක් මෙනි. නමුත් රාජවාහිනීන්හි මීට කල්ප භාගයකට පෙර කරන ලද මහා යුද්ධයක වරුණාවත් යුද්ධයට පෙර තිබූ අවි බිය, මරණ බිය, ත්‍රාසය වැනි භිතිකා පෙන්වා මනුෂ්‍යෙයෝ මුලා කරති. අද දින දවල්ට බුදින්නට යමක් සොයන සිඟන්නන් වැනි දුක්පත්ම ජනී ජනයා පවා ඒ අතීත යුද්ධයෙන් මුලාවට පත්ව රාජ මහා දන්සැල් වලින් බෙදන දෙයක් වීනම් එය මහත් භක්තියෙන් ගෙන රාජපක්ෂ වී සිටිති.
අතපත්තු අවුට්සෝස හි ද සේවකයින් බඳවාගන කාවේරි ව්‍යාපාරයන්හි අනුයුක්ත කරන ලදුව සාර්ථකව අවුට්සෝසයෝද, මහා ඇත්තෝද එකම පායෙක එකම රාජකාරියෙක නමුත් වෙනස් වූ කහවනු ප්‍රමාණයන් පිණිසැ වැඩ කරති. අතපත්තු අවුට්සෝස හි අතපත්තුවා නම් දිය යටින් ගින්දර වැටුනු ස්ත්‍රියක් ගෙනයන්නට තරම් වූ සවිමත් එකෙකි. එබැවින් ඌ මේ අලුත තැනූ කොම්පැනි කැටයෙන් කාවේරි වලට යවන සේවකයින්ගේ පඩි කොටසක් ඩැහැගත්තේ බදු කොටසක් ඩැහැගන්නා වැනි වූ සාධාරන විධීයෙකිනි.
කොන්ඩඤ්ඤයන්ද අතපත්තුවාගේ මේ සුළු දූෂණය දුටුවේ වුවද, අතපත්තුවා සතු රාජපක්ෂ වූ හෙයින් අැති බලයත්, කොන්ඩඤ්ඤයාට ඇති ව්‍යාපාරික ඥානය අනුව අතපත්තුවා මගින් එන සේවා කාරයෙකුට ගෙවිය යුතු මසුරන් පමණ සැලකිය යුතු ලෙසම අඩු වූ නිසාත්, මසුරන් අඩු වූවාට උනගේ සේවය අඩු නොවූ නියාවත් නිසා කොන්ඩඤ්ඤයෝ අතපත්තුවාගේ ගති ඉවසීය. එසේ ඉවසීම හැර අතපත්තුවා තලන්නට ගියා නම් ඇතැම් විට කාවේරිත් නැති වී කොන්ඩඤ්ඤයාගේ පරාණය පවා නැතිවන්ට ප්‍රස්ථාවක් තිබෙන්නට විය.
වසර පහක් ගිය තැන අතපත්තු අවුට්සෝස මගින් කාවේරි වෙත සේවය පුදන සේවක උන් සිතන්නේ..අප අර කෙරුම්කාරයින්ගේ හසුන් වලින් රැකියාවට ආමු. අපිට ලැබෙන මසුරන් මදියැ. එළියේ ගියතැන අපිට රැකියාවක් සොයාගැන්මට අපාසු වුව අපිට මේ රැකියාවට ලැබිය යුතු මසුරන් ටික මූ නොදෙයි. මහ කාවේරි ප්‍රධාන කොන්ඩඤ්ඤයා දෙන්නේද අනික් ස්තීර උන්ට වඩා බෝ සෙයින් අඩු සොච්චමකි. එයින්ද ටිකක් අතපත්තුවාද කයි. මේ සොච්චමින් අපි කවර නම් වූ කලෙක බී ඇම් ඩබ් බෙන්ස් ආදී සෛන්ධව අස් වාහනයක් තබා පැන්ඩා මරුති ආදී වූ කොටළු බූරුවෙකු වත් ගනුම්ද? නිදහසේ ලෝකාස්වාද රතියේ යෙදෙන්නට මහා මාලිගයක් පායක් නැතත් අසුවල් කාර්ය දරුවන්ගෙන් ඈත්ව කොරගන්නට අපිට කාමරයක් මේ මසුරන් ටිකෙන් ලද හැකිද? ඈත පර දේශයන්හි යස ඉසුරු බලන්ට තබා අපේ නෑදෑ යාළු මිත්‍රයින් සමග සීත පළාතක් බලාගන්නට සවාරියක් වත් යන්ට මේ කුඩා මසුරන් සොච්චමින් හැකිද?
මෙසේ පඩි මදි නිසා මැසිවිලි කිය කියා නොසිට යමක් කළ යුතුයැයි එකතු වූ උන්ට නිසි දැක්මෙක් තිබිය හැකිද? විවේක බුද්ධියෙන් විමසා මඳක් පුරාණ ග්‍රන්ථ යන්හි ඇති ධර්මතා සැලකුවේ වුවද එක් එක් බලවතුන්ගේ එක් එක් අනුහස් වලින්ද එක් එක් ජාතියේ සුදුසකම් පූර්ණත්වය මතද එක් එක් තනතුරු වලට බඳවාගත් පිරිසක් එක විදියකට සිතන්ට පෙළැඹීමක් මෙලොව දී නම් සිදු විය නොහැක. එක් රැකියාවකට ස්ථරයකට එක් ආකාරයේ සුදුසුකම් සැලකීමක් නොවී යම්තම් සේවය පමණක් ඒ ලබා ෙදන අඩු පඩියට කිරා මැණ බලා උගෙන් තවත් සේවයන් ගත හැකිනම් එයද මිරිකා ගන්ට තරම් යාන්ත්‍රන විදි ආදිය සකසා ඇති ක්‍රෙමයක පැවැත්මට මේ වැනි විවිධ වර්ණ වූ තත්වයැ ගැලපෙන්නේමැ විය.
ඉදින් කාලයක් ගිය තැන රාජ අනුහස මහ රාජ පුටුවේ සිට පහළට අඩුවන්ට පටන් ගත්තේ දෙවියන් රජතුමා හැර වෙනත් රාජ කෙනෙකුන් වෙත ඇදුන නිසාදැයි කිසිවෙක්ටත් වටහා ගන්නට නොහැකි විය. දෙවියන් මාරුවන වේගයට රාජ බලය කවර කුමාරයෙක් අත පත්වේදැ යි වටහා ගත නොහැකි කාලයක් උදාවිය. මහා රාජ බලවත්ව ඇතත් ග්‍රහ පිහිටීම් අනුවත් කාල වේලාව අනුවත් නව කුමාරයෙක් පත්විය හැකි නව මානයක් සැම දෙසෙකම පෙනෙන්ට විය.
ඒ අතැර මහ රාජතුමාද සියලු සේවකයින්ගේ මනාපය මත දේව අනුහස ලැබෙන බව සක්සුදක් සේ පැහැදිලි වන් කල සේවක කැමැති බව තහවුරු කරගනු වස් රාජ සේවයට අමුණා ඇති දින ගනන් සම්පූර්ණ කල උන් සියල්ල රාජ සේවයට ගත යුතුයැයි අදහසක් කිව්වාහුය. රාජ සේවයේ අමුණා ඇති වුන් මෙන්ම රාජ නොවන සිටු ව්‍යාපාරහි වැඩකරන උන්ද එසේ කොල යුතුනම් හොදයැයි නොකියා කියන අදහසක්ද රජ තුමානන් වහන්සේ විසින් වදාරන ලදුව මහා රාජ චින්තන පොතේ පඩිවරුන් විසින් කළු අකුරෙන්ම ඒවා ලියන ලද්දේද විය.
රාජ්‍යයට බලය සපයන මහා බල කඳවුරුක වූ එවන් අවුට්සෝස සේවකයින් රැසක් එකවර ගත යුතුයැ රජතුමා කීවේය. රජතුමාගේ බොහෝ අදහස් පොත් වල ලියැවුනි. සන්දේශ වලද කියවුනි. නමුදු රජතුමානන් ගේ කිසිදු අදහසෙක් ක්‍රියාවට නංවන විධියක් පේන තෙක් මානයේ නොවීය. රජතුමාගේ අදහස් පොත අවුරුදු ගනනාවක් පරණය. එහි අදහස් ඇතැමක පුස් අල්ලා සෙවල බැඳී ඇත. විටෙක රජතුමා නැවත ඒ සෙවලද පුස්ද දූවිලිද පිසලා නැවත ඒ අදහස මතුකරගෙන ඇමැත්තන් හෝ රාජ වල්ලභයින් ලවා කියවති. නැතිනම් තුමූම යළිත් ඒ අදහසම කියති. ඉන් මනත සතියක් මාසයක් දින ගනනක් යන තුරු රාජ සන්දේශවලද, රාජවාහිනි වලද, රාජ අනුහස ඇති සෑම තොරතුරු තුඩු වලැදැ අර රජතුමාගේම පුරාණ මල කෑ අදහස යළිත් යළිත් ලියවෙති, කියවෙති, එය වර්ණා කරති.
මල බද්ධය තැනුන කල බෙට්ට දාගත නොහී වරු ගනන් වැසිකිලි කට මත පස්ස තබාගෙන තටමන ඇත්තෝ බඩයන බේත් බලයෙන් එක්වරම සිය මළ කදම්භය වැසිකිලි පෝච්චිය සිසාරා විහිදුවන්නේ යම් සේද අතපත්තු අවුට්සෝස මගින් කාවේරි ව්‍යාපාර මත අමුණන ලද සියලු සේවකයෝ එක් දිනක පෙළහැර දැක්වූයෝය. ඔවුහු සියල්ලෝම ගොස් බමුණෙකු හමුවීය.
ඇතැමෙක් කිවූ පරිදි ඔවුහු හමු වී ැඅත්තේ මීලග රාජ පුටුවට එන්නට වරම් ඇති රාජ කුමරයාන කෙනෙකුගේ අතවැසි බමුණෙකි. බොහෝ බමුණෝ ඒ විරාජමාන වූ මහා රාජොත්තමයන් වහන්සේගේ ගුණම ගයන්නෝ වූහ. ඔවුහු සිහෙනෙනුදු රජතුමා කල්ප භාගයකට පෙර කරන ලද යුද්ධයේ රිදී රේඛාවන් දුටුහ. රජතුමානන් ගේ පය ලන වසුරු පවා උන්ට අනුව මහත්ඵල මහානිශංස ලබාදෙන වස්තුන් මෙන් විය. එවැන්නන් ගෙන් ධර්ම අසා හෙම්බත් වූ අතපත්තු අවුට්සෝස සේවකයෝ වෙනත් මගක් ගත් බමුණෙක් හමු වී උපදෙස් ගත්හ.
සියලු අවුට්සෝස අතපත්තු සේවකයෝ දිනක් වැඩ වරා භාවනා කරන ලදහ. අලුත් මන්ත්‍රයක් තන්ත්‍රයක් ආධාරයෙන් වේගයෙන් භාවනාවේ යෙදුන අතපත්තු සෙව් කැල වැඩ වරා භාවනාවේ දෙවැනි දවසේ මධ්‍යහ්නය වන විට බොහෝ දෙනාට මීටර සියය් වුව උස යා හැකිද ගොස් අහසේ කාන්දමකින් ඇලවූ යකඩයක් මෙන් සිටගන සිටිය හැකි වූද අනුභාව ලැබීය.
අතපත්තුවාද කාවේරි ව්‍යාපාරයේ මහතැන්ද කැළඹුනු මුත්. උන් ගියාට ආයේ නෑවිත් ඉන්නෙ නැහැ. ඔය භාවනා ඔක්කෝම කාම නිමිත්තක් එනැතුරු පමණයි. එබැවින් අපි කාම නිමිති මොවුනට දක්වම්හෝ යැයි සිතීයැ. එවිටම ඒ කරන ලද ඉරට්ටේ සංඛ්‍යාවක කන් මන්ත්‍රය දිවැසින් දුට එක් සේවකයෙක් සිය සේවක කැල සිසාරා සිතින් පණිවුඩයක් යැව්වේයැ.
දැන් මහා කාවේරි සිටි මහළ වටේට ගුවන්ගැබ ධ්‍යානබලයෙන් අහසේ වැඩ සිටින සේවකයෝ රැසකි. අතපත්තු අවුට්සෝස සමාගමැ උන් භාවනා කර ධ්‍යාන ලබාගෙන ඒ ගුවන්ගැබ සිට සිය විරෝධතාවය දක්වති. එතැනින් යන එන උන් කාවේරි සිටි ව්‍යාපාරයේ අදනම් අමුත්තැකි. කිසියම් වූ තොරතුරක් රාත්‍රිෙයහි දැකගත හැකි වෙතැයි රූ වාහිනි සහ සන්දේශ වලින් මේ ගැන වැඩිදුර විස්තර දැනගනුම් යැයි සිතා එතැනින් අහස වට කොට සිටින කාවේරි සි හි සේවා නියුතු සත්‍යග්‍රහ කරන අතපත්තු අවුට්සෝස සේවකයින් දෙස බල බලා යති.
සියලු වාහිනී නාලිකාවන්හිද, සංදේශ පත්‍රයන්හිද ලියන්නෝද කියවන්නෝද ඒවායේ කීචී බීචි ගාන උන්ද මේ දසුන බලා ඒවා රපෝර්තු කරන්නට පැමිණි මුත් කාවේරි අධිපති තුමාට වූ බලය ඉදිරියේ දණ නමන්නට විය. කාවේරී සිටි ව්‍යාපාර වල දැන්වීම් රැසෙකි. ඒවාවිවිධාකාර නාලිකා ඔස්සේ ජනයාට යැවෙති. එක් නාලිකාවක කුඩා දැන්වීමකට කාවේරි සිටි මගින්විසල් මුදලෙක් මාධ්‍ය වෙත නිකුතු කරති. ඉතින් මේ දැන්වීම් ටික මේ වාහිනී වලටත් සන්දේශ කරුවන්ටත් මහත් සම්පතකි. ඉදින් ඒ දැන්වීම් ටික ලැබෙන මග නැතිකරගෙන සේවකයින් වෙනුයෙන් ඔවුන්ගේ සත්‍යග්‍රහ වෙනුයෙන් ප්‍රවෘත්ති පලල කරන්නට තරම් සමත් කිසිදු ප්‍රචාරන කාර තැනක් සමර්ථ නොවීය. කිසිදු ප්‍රචාරන විධි ක්‍රමයකින් මේ මහා අවස්ථාව ජනතාවට ගියේ නැත. එතැන කාවේරි සිටි පසුකරන අය පමණක් මේ දසුන දකින්නේමය. නමුදු කිසිදු විස්තරයක් කිසිවෙක් නොදනිති.
එනයින් ධ්‍යානයෙන් අගතැන් වුවද බුද්ධියෙන් මද වූ අතපත්තු අවුට්සෝස සේවකයෝ බිමට බැස විවිධ දැන්වීම් ඉල්ලීම් පපුවේද කකුල්හිද ලා ගෙන මිනිසුන්ට පේන්නට ඉන්නට වන්හ. නමුත් මේ ගැන හාංකවිසියක් නොදන්නා වූද තමුනගේ බඩට වැටෙන මාද්දිය වලින් ඔබ්බන්නට තනන විසිතුරු දෙහි ඇලෙන ජනී ජනයෝ මේ කුමණ විගඩමක්දැයිද? මේ නම් කාවේරියාගේම ව්‍යාපාර වර්ධන වැඩක් විය යුතුයැ සිතා එකලැ ධ්‍යාන ලාභීහු එකලැ දුරුලභ නොවූ හෙයින් මිනිසුන් එය මහත්කොට සලකන්නට ගියේ නැත.

දෙවනි කොටස හෙට..
මුලු කතාවම මෙතන

3 comments:

  1. භාෂාවනම් අංක ඒකයි.... කතාවක් ඒහෙමම තමයි.

    ReplyDelete
    Replies
    1. මේක මූ ලියලා නෙමෙයි. උපුටාගෙන.ඒ ලියාපු එකා භාශාව දන්නා එකෙක් තමයි.

      Delete

නූතන පටාචාරාවත

විසිතුරු බඩුව ඇය කිසිවිට නැහැ සැලුනේ.. බියකරු වනය බිය නැහැ ඇය වෙත දැනුනේ.. සිය සැමි නැතිය එන මග දරු අහිමි වුනේ.. නැති විය සිහිය ...