Wednesday, August 26, 2015

මනාලියෙ සපත්තු පොලිස් කරන ළමයි

මනාලිකියන්නෙ ඉන්දියාවෙ හිමාචල් පැත්තෙ නගරයක්. ලංකාවෙ අය සැප ගන්න නුවරඑලි යනවා වගේ ඉන්දියාවෙ ඇත්තො යන  එන කදුකර ලක්ෂණ පලාත් තමයි කුල්ලු මනාලි. මේ පලාත හීතල කාලෙට හිමෙන් වැහෙනවා. මේ නගරයට අපි ගිය කාලෙ හිම වැටෙන තරම් සීතල නෑ. ඒත් ටිකක් කූළ් එක තිබුනා. මෙහෙ සීතල කාලෙට ත් අනික් කාලවලටත් එන සංචාරකයින් වැඩ ගොඩාරියක් තියෙනවා. අපි ගියේ වැහි කාලෙ. ඒ නිසා වතුර උඩ යන වෝටර් රාෆ්ටි්න් වගේ දේවල් නෑ..හිම නැති නිසා හිම උඩ ලිස්සන ඒවත් නෑ..

ඒ නිසා අපි පංසලක් දෙකක් බලලා පාක් එකකට ගිහින් රවුමක් දාල ආවා. මේ පහල තියෙන වීඩියෝවෙ පෙන්නුම් කරන්නෙ මනු පංසල.විශ්නු දෙයියො වදුරු අවතාරයක් අරගෙන මේ පැත්තෙ සැරිසැරුවා කියන මතයට අනුව නිර්මාණය කරපු දේවාලයක් තමයි මනු ටෙම්පල් එක. මේ විහාරස්තානය වදුරන්ගේ සම්බන්ධයක් තියෙන නිසාද මන්දා මේකට එන පොඩි ලමෝ සෙල්ලං කරන එකමයි වැඩේ. පහල වීඩියෝව මදක් බැලුවොත් මේ දේවාලය තුල ලමෝ කොයි තරං සතුටින් සෙල්ලං කොරනවද කියලා බලාගන්න පුලුවනි. වීඩියෝව අවසානයට තියෙන්නෙ අපෙ සැට් එකේ උන් දෙන්නෙක  දේවාල ඉස්සරහ හිගා කන මනරම් දර්ශනය.

නගරයේ ඉන්නවා එක එක ජාතියෙ වෙලෙන්දො. මේ මනාලි වල අර සැෆරොන් කියන කුලුබඩුව විකුනන උන් ගොඩාරියක් උන්නා. ඒ අතර මගේ සපත්තු පොලිස් කරන්න එක්කෙනෙක් ආවා. ඒ ගමන මගේ යාලුවගේ සපත්තුව පොලිශ් කරන්න තව උන්නැහේ කෙනෙක් ආවා. ඒදෙන්නා අතර පොඩි මත ගැටුමකුත් ගියා. ඒක පහල වීඩියෝව තියෙනවා.. මම ඇත්තටම පුද්ගලිකව ආසා නැහැ පොඩිලමයි මේ වගේ කටුක රැකියාවල් වල නිරත වෙනවාට. ඒත් ඉතිං ඒ දරුවන්ගේ කුසට යමක් ලැබෙනව ඇත්තෙත් මේ වගේ රැකියාවකින් ගන්න තුට්ටු දෙකෙන් වෙන්න ඇති.

  තා ඉතිං මනාලි වල බලන්න තිබුන ජාති ආදිය පහල පිංතුරු වල තියෙනවා. සීතල සැප ගන්න අපිට සුවිට්සර්ලන්තෙ යන්න සල්ලිය බාගෙ තියෙන්නෙ එහෙමත් කෙනෙකුට. ඒත් ඉන්දියාවෙ සීතල කාලෙට හිම මිදෙන මනාලි කුල්ලු ශිම්ල පැත්තෙ යන්න නම් තරමක මුදල් හදල් ගැවසෙන ඕනි කෙනෙකුට හැකියාව තියෙනවා. 










Tuesday, August 25, 2015

දිල්ලි මෙට්‍රො

දිල්ලියෙ තියෙනවා මෙට්‍රො රේල් පද්ධතියක්. නගරබද ප්‍රවාහන අවශ්‍යතාවන්ට මනාව ගැලපෙන විසදුමක් තමයි ඒ මෙට්‍රො රේල් පද්ධතිය. 

මේ දිල්ලි මෙට්‍රො පද්ධතිය 

මේ කෝච්චි පාරවල් වල පාරවල් දෙකක් තියෙනවා..එක කෝච්චි පාරක යන්නෙ එක දිශාවකට යන කෝච්චි විතරයි. කෝච්චි කිව්වට ඇත්තටම මේවා මහා බරසාර කෝච්චිම නෙමෙයි..ලංකාවෙ දුවන පවර් සෙට් වගේ ටිකක් පෙනුම. නමුත් ඊට වඩා ලස්සනයි.මේ දුම්රිය දුවන්නෙ විදුලි බලයෙන්. දුම්රියට ඉහලින් දිවෙන විදුලි රැහැන් ස්පර්ශ කරමින් තමයි දුම්රියට අවශ්‍ය බලය ලබාගන්නෙ.
කෝචිචියෙ ඇතුල

මේ දිල්ලි නගරය හරහා බොෙහා් තැන්වලට විහිදිල තියෙන මෙට්‍රො දුම්රිය මාර්ගය  පෙලක් තැන්වලදි මහපාරට උඩින් තමයි යන්නෙ. පෙලක් තැන්වල පොලවට යටින් උමං අස්සෙන් මේ දුම්රිය මාර්ගය ගමන් ගන්නවා. දිල්ලි නගරය කියන්නෙ පැරණි නගරයක්. ඉතිං ඒ නගරය හරහා නව පාරක් ඉදිකරද්දි එක්කෝ ගුවනින් නැත්තං පොලව යටින් කරන්න ඕනි වෙනවා ඇති. නැත්ංතං ලොකු ප්‍රශ්න වලට මුහුන දෙන්න වෙනවා නෙ. 

මේ දිල්ලි මෙට්‍රො එකේ පාට පාටින් දක්වලා තියෙන්ෙන එක එකට වෙනස් මාර්ග. මේ පාට මාර්ගවල යන්නෙ ඒ අදාල කෝච්චිය විතරයි. උධාහරණ විදියට කහපාට පාරෙ යන කෝච්චිය නිල්පාට පාරෙ යන්නෙ නැහැ..යම් මගී කෙනෙක්ට ඕනි වුනොත් කහපාට පාරෙන් ඇවිල්ලා නිල්පාට පාරෙ තියෙන තැනකට යන්න ඒ උන්නැහේ කරන්න ඕනි රාජිව් චෝක් කියන දුම්රිය ස්ථානයෙන් බැහැලා නිල්පාට පාරෙ නියමිත දිශාවට අවශ්‍ය කෝච්චිය අල්ලගන්න එක. 
.ගුවන් පථයක යන දිල්ලි මෙට්‍රො දුම්රියක්
අපි දිල්ලියෙ නැවතිල උන්නෙ කැරොල් බාග් කියන හරියෙ. අපි එතනට ආවෙත් මෙට්‍රො එකක.මටයි යාලුවෙක්ටයි ඕනි වුනා සරෝජනී නගර් කියන රෙදිපිලි වෙලදසැලට යන්න. ස්ටේශමෙන් ගිහින් බැලුවාම සරෝජිනි නගර් වලට කෙලින්ම මෙට්‍රො එකක් නෑ..අලුත් එකක් තාම හදමින් පවතිනවා සරෝජිනි නගර් වලට යන්න. ඉතිං අපි සරෝජනී නගර් යන්න ලගම තියෙන අයි එන් ඒ කියන ස්ටේශමට යන්න ඕනි. අපි කලේ කැරොල් බාග් වල ඉදලා රාජිව් චෝක් කියන තැනට නිල්පාට ලයින් එකේ ආවා. ඇවිත් රාජිව් චෝක් වලදි කහපාට ලයින් එකට පඩිපේලියක් බැහැල යටට ගිහින් ඒ අයි ජී හරහා යන මෙට්‍රො එකකට ගොඩ වුනා.. 
රාජිව් චෝක් මෙට්‍රො දුම්රිය පොල
කෝචිචිය ඇතුලෙදි අපිට මේක ඊලගට නවත්තන තැන මාරුවෙන්න ඕනි තැන් ආදිය හින්දි ඉංගිරිසි බාසා දෙකෙන්ම විස්තර කරනවා. කෝච්චිය ඇතුලෙ ස්වයංක්‍රිය මැප් එකක් වගේම ඩිස්ප්ලේ එකකිනුත් නවත්තන තැන් ආදිය ගැන විස්තර සපයනවා. මේක ටිකක් සංකීර්ණ වැඩක්..පිටින් ගිහිපු අපිට විතරක් නෙමෙයි ඉන්දියන් කාරයින්ටත් මේක ටිකක් ගැටලු සහගතයි ඇතැම් වෙලාවට.. කීප දෙනෙක් අපෙනුත් විස්තර ඇහුවා.අපි ඉතිං විමසීම ්කවුන්ටරය ඒ ඇත්තන්ට පෙන්නුවා.

මේ කෝච්චි වල යන්න මොන පාට ලයින් එකේ ගියත් ලැබෙන්නෙ එක ටෝකන් එකක් විතරයි. ටෝකන් එක අපි දුම්රියට නගින්න බලාපොරොත්තු වෙන ඉස්ටේශමෙන් මිලදී ගන්න ඕනි. කෝච්චි ප්ලැට් පෝම් එකට යනකොට ටිකට් බලන්න කාකි මහත්තුරු නැහැ. අර ටෝකන් එක මැසිමට ඇල්ලුවම ෆිල්ම් වගේ හුකැස් ගාල දොරක් ඇරෙනවා..එතකොට සුටුස් ගාල පැනගන්න ඕනි ඇතුලට.. නිතර මේ දුම්රිය වල යන අයට කාඩ් එකක් ගන්න පුලුවනි. ඒක අරගෙන රී චාජ් කරගත්තම ඕනි වටයක් ගහල කාඩ් එක ඇල්ලුවම ගානක් කැපිල ඔටෝමැටිකලි අපිට ලේසියෙන්ම ගමන් පාසුව සලස්සගන්න හැකි වෙනවා.. එතකොට මාසෙකට පාරක් දෙකක් රී චාජ් පෝලිමෙ විතරයි ඉන්න ඕනි.
 
මෙට්‍රො දුම්රියක් සහ පොලිස් කාරයෙක්

මේ දුම්රිය ස්ථාන බොහෝ ඒවා තියෙන්නෙ පොලවට උඩින්.. සමහර ඒවා පොලව යටම තියෙනවා. දිල්ලි මෙට්‍රො වල නීති තදයි..කෙලගහන්න බෑ දඩ ගහනවා.. ඇතුලට යද්දි මොන මහත්තය ගියත් බෑග් මැසිමකට දාල චෙක් කරනවා.. සාපේක්ශව පරණ දිල්ලියට වඩා මේ මෙට්‍රො එක වෙනම නගරයක් වගේ.. 

මේ මෙට්‍රො කෝච්චි වල තියෙන්නෙ මාර වේගවත් සිග්නලින් සිස්ටම් එකක් වෙන්න ඕනි. උදේ මිනිස්සු ගොඩක් ඉන්න වෙලාවට විනාඩි දෙකෙන් දෙකට කෝච්චි එනවා..මේ කෝච්චි වල හිටගෙන තමයි ගොඩක් කට්ටිය යන්නෙ. ඇතුල තනිකර වායුසමනය කරලයි තියෙන්නෙ. දොරවල් වැහුනට පස්සෙ තමයි කෝච්චිය යන්න පටන් ගන්නෙ. 

යන දිශාවට තියෙන පලමුවෙනි පෙට්ටිය වෙන්කරල තියෙන්නෙ ගෑනුන්ට. ඔන්න අපි ඉතිං පලවෙනි වතාවල් වලදි ආහ් මේ දිල්ලි ගෑනුන්ගෙන් කැත එකියෙක් නෑනෙ හොයාගන්න ආදී කතා කියමින් ලස්සන බලාගෙන කාන්තාවො වැඩිපුර ඉන්න මුල් හරියෙ ෆ්ලැට්ෆෝම් එකේ  හිටියා..පස්සෙ බැලින්නං එතන ඇවිල්ල නවත්තන පෙට්ටිය ගෑනුන්ට විතරයි කියල ඉංගිරිසියෙන් ගහල තියෙනවා. ඉතිං අපිට ගෑනු ගොඩක් දිහා බල බල යන්න හිටිය අදහස අතෑරලා පස්සෙ පෙට්ටියකට නගින්න සිද්ද වෙනවා.


නවදිල්ලි ප්‍රධාන දුම්රිය ස්ථානවලටත්  බස් නැවතුම් වලටත් උදේ පාන්දර මහා සේනාවක් එකතු වෙනවා. කාර්යාල වල වැඩ කරන අය සහ නොයෙකුත් කටයුතු වලට නගරයට ආපු මහ විසාල ලක්ශ ගානක සේනාවක් එකතු වෙනවා. මේ එන සෙනග ඔක්කොම මහ පාරෙ කාර් වලට හරි ත්‍රිවිල් වලට හරි පැටෙව්ව නම් හෝ බස් වලට ගාල් කලානම් ඒත් විසාල ට්‍රැෆික් එකක් ඇතිවෙනවා. නමුත් මේ විනාඩි දෙකකට වරක් යන මෙට්‍රො නිසා විශාල සෙනගක් නවදිල්ලි ටවුන් එක වටේ තැන් තැන් වලට සැලකිය යුතු වේගයකින් බෙදා හරිනවා.. 

දිල්ලි මෙට්‍රො එකක් දැන් දිල්ලි ගුවන්තොටුපලටත් තියෙනවා.. ඒ වගේම ප්‍රධාන දුම්රිය ස්ථාන හතර පහටම ආසන්නයේ මෙට්‍රො දුම්රිය ස්ථානයන් පිහිටා  තියෙනවා. 

ඉන්දියාව කිව්වම සහ ඉන්දියන් රේල් වේ කිව්වම මිනිස්සු අහන්නෙ ගූ ගොඩවල් දැක්කෙ නැද්ද? ලැජ්ජ නැති මිනිස්සු පාරෙ ජරා කරනවා දැක්කෙ නැද්ද? කොල්ලො හෙලුවෙන් දුවනව පනිනව දැක්කෙන නැද්ද? හරි අපිරිසිදුයි නේද ? වගේ කතාන්දර. ඉතිං කාරුහරි ඔය දඹදිව ටුවර් එකක් යන අතරෙවත් දිල්ලි මෙට්‍රො එකක එක විනාඩි දහයක් ගිහින් බලන්න. අර ගූ ගොඩවල් , ප්‍රසිද්ධියේ චූදාන පොරවල්, හෙලුවෙන් දුවන කොල්ලො රැලවල් අස්සෙත් අමුතු විදිහෙ , ලංකාවට වඩා බොහොම දියුනු ලෝකයක් තියෙනවා කියලා ඔබලාට පෙනේවි.

Sunday, August 2, 2015

එදා මත්තල අද ගූගල් ලූන් (MRIA vs Google Loon)

සුද්දො ආපු මුල්ම කාලෙ ඉදන් ලංකාව සූරාකෑව.. මුල් කාලෙදි ලංකාවෙ දේවල් හූරගත්තට උන්ට ගෙනියන්න හරියට විදියක් තිබුනෙ නෑ..අන්දරේගෙ කාලෙ වගේ ගැල්පිට පටෝල කැල මැදින් වෙල් කදු මතින් තමයි අමාරුවෙන් බඩු මුට්ටු අරං ආවෙ. වියදම වගේම බඩු වල තියෙන කොලිටි එකත් අඩුවෙනවා. ඒ නිසා අපේ මාතෘභූමිය සූරාකන්න ආපු සුද්දා සූරපු ඉක්මන්ටම කන්න ක්‍රමවේද හොයාගත්තා. එයින් එක ක්‍රමයක් තමයි දුම්රිය මාර්ග. දුම්රිය මාර්ග වලින් වතු වලට අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර බඩු මුට්ටු පෝර වගේ දේවල් ගෙනගියා. ඉන් පස්සෙ වතුවල නිපදවුනු තේ පොල් රබර් කොළඹට ගෙනාවා.. 

ඔය විදියට මාතෘභූමිය හූරං කන්න හදාපු කෝච්චි පාරවල් වලිං පස්සෙ කාලෙක මිනිස්සු ගමනාගමන පහසුව හදාගත්තා. අදටත් බස් එකට වඩා කලිං නුවරට යන කෝච්චියෙ නුවර යන්න ගොඩක් අය කැමතියි. කොටින්ම පස්සෙ කාලෙක ජාතික සටනට උරදීපු මිගෙට්ටුවත්තේ ගුණානන්ද වගේ හිමිවරු නුවර ඇත්තො දැනුවත් කරන්න ගියෙත් සුද්ද රට හූරගෙන ඉක්මන්ට කන්න හදාගනිපු රේල්ලුවෙ. ඒ වගේම රටේ දුර පලාත්වලට ඕනි අධයාපනික, තාක්ශණික වගේම බෙහෙත් හේත් දොස්තර මහත්තුරු ප්‍රවාහනය කලෙත් ඔය අපිව හූරං කන්න ආපු රේල් පීලි උඩින්ම තමයි.. 


සංවර්ධනය ඇති වීමට නම් මිනිස්සුන්ගේ ආදායම වැඩි විය යුතුය. මිනිසුන්ට අතේ ඇති මුදල් වැඩිවන විට ඒ හා සමානව සමාජයේ සංවර්ධන දර්ශක වල වැඩිවීමක් පෙන්නුම් කරයි. මැදපෙරදිග මුස්ලින් කලාපය හැරුන විට ලෝකයේ බොහෝ රටවල ජනතාව සංවර්ධනය  වීමට සාපේක්ශව සමාජීය අතින් මෙන්ම මානව ශිෂ්ඨාචාරයේ දියුනු ගතිගුණ වලින්ද ඉහලට ගියෝය. 

20 වන සියවසේ සංවර්ධනය ලගා කරගැනීමට නම් විදුලිය සහ මංමාවත් යන මූලික පහසුකම් වැඩිදියුනු කල යුතු විය. නමුත් අද ඒ හා සමානවම අන්තර්ජාල පහසුකම්ද වැඩිදියුනු කල යුතුව තිබේ. මහාමාර්ග දුම්රිය මාර්ග මුහුදු මාර්ග ගුවන් මාර්ග වලින් බඩු බාහිරාදිය හුවමාරු වනවා සේම ආලෝකයේ වේගයෙන් දත්ත හුවමාරු කරගැනීමදට ඇති හැකියාවද අද කාලේ භූමියක් සංවර්ධනය කිරීමට අත්‍යාවශ්‍ය වේ.

රේඩියෝ තරංග වල සීමා

ප්‍රකාශ තන්තු (Optical Fibre) සොයාගැනීමත් ප්‍රකාශ තන්තු හරහා දත්ත සම්ප්‍රේශනය (Data transmission) කිරීමට හැකි වීමත් තාක්ශනයේ අද්වීතිය සොයාගැනීමකි. රේඩියෝ සංඥා ආදිය සොයාගෙන බොහෝ කාලයක් ගත වුවත් රේඩියෝ සංඥා වලින් විශාල ප්‍රමාණයේ දත්ත කිලෝමීටර ගනනාවක් දුරට එහා මෙහා ගෙනයෑමේ විශාල සීමා තිබුනි. අද පවා මොබයිල් කුළුනකින් දත්ත ලබාගත හැකි සීමාවක් තිබේ. බොහෝවිට ලංකාවේදී නම් මොබයිල් ටවර් එකේ සිට කිලෝමීටර 3කට එහා දුරදී 4ජී (4G LTE)  සිග්නල් හරියාකාරව වැඩ කරන්නේ නැත.


යම් ආකාරයකින් විශාල දත්ත ප්‍රමාණයක් කිලෝමීටර 50කට වැඩි දුරක් විශාල හානියකින් තොරව ගෙනියන්නට රේඩියෝ තරංග සමත් වූවානම්  විශාල මුදලක් වියදම් කොට පාරවල් දිගේ පොලව හාරමින් සහ කණු සිටුවමින් ඔප්ටිකල් කේබල් ඇදීමට අවශ්‍යතාවක් නැත. එසේනම් එක් නගරයක පිහිටුවන ටවර් එකකින් මුලු නගරයේම අනෙක් ටවර් (telecommunication tower) වලට අන්තර්ජාල පහසුව ලබාදීමට හැකියාවක් ලැබෙනු ඇත.

බැක් බෝන් (Backbone Network) එකේ වැදගත්කම

ලංකාවට අන්ත්ර්ජාලය ලැබෙන ප්‍රධාන මාවත නම් මුහුදු කේබල (Submarine Cable)  වේ. මුහුදු කේබල මගින් ලංකාවත් පිටස්තර ලෝකයත් අන්තර්ජාලයට බැද තබා ගනී. දැන් ලංකාවේ 4ජී ලබාදෙන බොහෝ දුරකථන කුළුනුවලට ඔප්ටිකල් ෆයිබර් කේබල් ඇද තිබේ. මන්ද 4ජී හරහා තත්පරයට මෙගාබයිට් 50-60 (Mbps) වේගයෙන් දත්ත ලබාදීමට ටවර් එකේ සම්බන්ධතාවය ශක්තිමත් විය යුතු නිසාය. උදාහරණ විදියට සරලව ගත්තොත් අපිට ගමකට වතුර දෙන්නට අවශ්‍ය නම් ගෙවල් වලට බට එලීම මෙන්ම ඒ බට හරහා එන්නට වතුර මූලාශ්‍රයක් සෙයාාගත යුතුය. ගෙවල් වලින් වතුර භාවිත කරන ප්‍රමාණය වැඩිවෙත්ම වතුර මූලාශ්‍ර හරහා එන සැපයුමද  වැඩි විය යුතුය. 

ඒ වැනිව සිතුවොත් ඒක අයෙකුට මෙගා බිටු 50ක වේගයෙන් මිනිස්සු 50ක් එක කුළුනක් හා සම්බන්ධ වී ඇති අවස්ථාවකදී ඒ කුළුනට ඒ 50 දෙනාටම අවශ්‍ය සැපයුම සතුටුදායකව ලබා දෙන්න නම් අනිවාර්යෙන් ටවර් එකට විශාල ඩේට රේට් එකකින් දත්ත පැමිණිය යුතුය.

ගූගල් ලූන් (Google Loon)

ගූගල් ලූන් ගැන ඉංගිරිසියෙන් ගූගල් හැර වෙනත් සර්ච් එන්ජිමක් භාවිත කොට සොයා බලන අයට වැදගත් තොරතුරු රැසක් සොයාගන්ට ලැබෙනු ඇත. මේ බැලුන වල වැඩිම ආයුකාලය දින සීයකි. නමුත් ලෝකයේ ගගන විද්‍යාඥයින්ගේ අදහස අනුවත් දැනට බැලුන භාවිත කරන කාලගුණ අංශ සහ සිතියම් අංශ සහ නාසා ආයතන වැනි ප්‍රායෝගික යෙදීම් තුලත් ලූන් ව්‍යාපෘතියට යොදාගන්නා වැනි සුවිසාල බැලූන දින 100ක් අහසේ තබාගන්නට හැකියාවක් නොමැති බව වාර්ථා වේ. නියමු ව්‍යාපෘතිය ලෙස නවසීලන්තයේ සිදු කල ලූන් ව්‍යාපෘතියේදී පවුල් 50කට අන්තර්ජාලය ලබා දී ඇති අතර එ් සබදතා වල සාමාන්‍ය වේගය තත්පරයට මෙගාබයිට් 10-12ක් අතර වූ බව සදහන් වේ. මෙහිදී කිහිප වතාවක්ම බැලූන උඩයවන්නට ගූගල් සමාගමට සිදුව ඇති අතර එහිදීද පවුල් 50ට අන්තර්ජාලය ලබා දීමට ගූගල් සමාගමට එකවර බැලූන 30ක් භාවිත කරන්නට සිදුවී තිබේ. නියමු ව්‍යාපෘතියේදී එක් බැලුනයක් උඩ යැවීමට ගූගල් සමාගම පලමු අවස්ථාවේදී 67ත් වතාවක් උත්සාහ කල බවක්ද සදහන් වේ.

ලංකාවෙ ඉන්ටනෙට් දෙන්න බැරි පලාත් තියෙද?

ලංකාව තුල යාල වනෝද්‍යානය උතුරු නැගෙනහිර සීමිත කොටසක් හැරුන කොට කිලෝමීටර 50ක විශ්කම්භය ඇති සීමාව තුල දුරකථන කුළුනක් හෝ ඔප්ටිකල් ෆයිබර් සම්බන්ධතාවයක් නොමැති පලාතක් සොයාගන්ට අපහසුය. ටෙලිකොම් සමාගම විසින් වැඩිමනක් ප්‍රසිද්ධ නොකලාට ලංකාවේ නගර උපනගර සහ ඇතැම්විට කුඩා ගම්මාන වලට ටෙලිකොම් ආයතනයේ ඔප්ටිකල් සම්බන්ධතා දැනටමත් යෙදී ඇත. 

ටෙලිකොම් සමාගමට ඇති විභවය අනුව විදුලි බලය ලබාගත හැකි ක්‍රමයක් තිබේනම් ෆයිබර් කේබලයක් ඇදගෙන යා හැකි මාර්ගයක් තිබේනම් ඕනෑම කැලෑ ගමකට සිතාගන්නටත් බැරි වේගයකින් අන්තර්ජාල පහසුව ලබාදීමේ හැකියාව ටෙලිකොම්(SLT) සමාගමට තිබේ.
යාල මෙන්ම වස්ගමුව වැනි වනාන්තර වල තිබෙන ඇතැම් සංචාරක වාසස්ථාන වලට පවා ටෙලිකොම් සමාගමින් ඔප්ටිකල් ෆයිබර් හරහා සම්බන්ධතාවය ලබා දී තිබේ. පසුගිය කාලයේ කල්පිටිය ප්‍රෙද්ශයේ පවතින දූපත් වලටද සංචාරක අවශ්‍යතා අනුව ටෙලිකොම් සමාගමට අන්තර්ජාලය ලබාදීමේ ව්‍යාපෘතියක් දියත් වූ බවක් මට ආරංචි වුනි. 

වෙන රටවල මෙන් විදුලිය ගමන් කරන මාර්ගයේම ෆයිබර් රැහැන් ඇදීමට ක්‍රමවේදයක් සකස් කල හැකිනම් විදුලිය ලබාදී ඇති බොහෝ ගම්මාන වලට අන්තර්ජාල පහසුකම් ලබාදීම ටෙලිකොම් සමාගමට වියදම් අඩු ක්‍රමවේදයක් වෙනු ඇත. නමුත් එවැනි එක් එක් පද්ධති අතර යහපත් සම්බන්ධතාවයන් වර්ධනය කරනවාට වඩා බැලුන් උඩ යැවීම ලේසිවැඩක් ලෙස රජය කල්පනා කරනවාවිය යුතුය. 

ඉතිං හැම එකම එකයි අපිට හැමදාම ඉන්ටනෙට් නෑ..

ඇමරිකාවේද අන්තර්ජාල වේග සම්බන්ධයෙනුත් ටෙලිකොම් සමාගම් සම්බන්ධයෙනුත් ඇති මහජන මතය ඉතා හොද එකක් නොවේ. මහා බ්‍රිතාන්‍යෙය් පවා ඈත ගම්මාන වලට අන්තර්ජාලය ලබාදීමට රජය කරන මැදිහත්වීම මදි බවට මහජනතාව චෝදනා කර තිබෙනු මා අන්තර්ජාලයේ දුටුවෙමි. 

ලංකාව යනු සත්‍ය වශයෙන්ම කුමක්ද? ස්ථිර මූලික ආදායම් මාර්ගයක් නැති විදේශගත ශ්‍රමිකයිනුත් ප්‍රාථමික නිශ්පාදන වන තේ පොල් රබර් සහ ගාමන්ට් වැනි දේවලිනුත් ආර්ථිකය සදා ගන්නා තුන්වැනි ලෝකයේ රටකි. මෙරට තුල විහිදුනු විශාල කර්මාන්ත ශාලා ඇත්තේ අඩුවෙනි. එසේම සංචාරක කර්මාන්තයේ පවා මාලදිවයින මට්ටමට වත් විශාල දියුනුවක් අප රට විසින් අත් කරගන නැත.


එමනිසා ලාංකික  ටෙලිකොම් සමාගම් වලට ආදායම් සෙවිය යුතු වන්නේ පාරිභෝගිකයින්ට අන්තර්ජාලය සැපයීමෙන්ම පමණි. වෙනත් දියුනු රටවල කර්මාන්ත ශාලා වලට..සංචාරක ව්‍යාපාරයට..විවිධ වෙනත් දියුනු ව්‍යාපාරික සම්බන්ධතා වලට මහා පරිමාණ වශයෙන් ජාල සම්බන්ධතා භාවිතා කරයි. ඒ ආකාරයෙන් ලංකාවේ ටෙලිකොම් සමාගම් වලටද මහා පරිමාණ පාරිභෝගිකයින් වැඩි වශයෙන් සිටියේ නම් අන්තර්ජාලයේ තත්වයත්.. මිලත් මීට වඩා බොහෝ සතුටුදායක වන්නට ඉඩ තිබුනි. 

සන්සන්දනය කිරීමේදී අනෙකුත් සෑම ක්ෂේත්‍රයකදීම අසල්වැසි දකුනු ආසියානු රටවල් යොදාගන්නා අපි ටෙලිකොම් තාක්ශනයේදී ඈත කොරියාව මැලේසියාව සිංගප්පූරුව උදාහරණවලට ගනී. ඒ රටවල ආර්ථික දියුනුවට ටෙලිකොම් ක්ෂේත්‍ර දියුනුව වැදගත් වූවා සේම ඒ දියුනු ආර්ථිකය නිසාම ඔවුනට විශාල වේගයකින් ටෙලිකොම් පද්ධති නව්‍යකරණය කිරීමේ හැකියාව ලැබී තිබේ. 

ලෝකයේ හොඳම ජාල පහසුකම් ඇත්තේ යුරෝපයේ වත් ඇමරිකාවේ වත් නොවේ. ඒ කොරියාවේය. දකුනු කොරියාව දැනට මීලග පරම්පරාවේ අන්තර්ජාල ගැන යහමින් පරීක්ශන කරමින් යන රටකි. එවන් රටකට එසේ පරීක්ශණාත්මක හැකියාවන් තුලින් තව තවත් බොහෝ දේවල් සොයාගන්නට ඉඩකඩ ඇති අතර ඒ පර්යේශනවල ප්‍රතිපල මුදල් බවට පරිවර්ථනය කරගන්නට ඔවුනට යම් කාලයකදී හැකි වෙනු ඇත.


ඇයි ගූගල් ලූන් ආවෙ එහෙනං 

ගූගල් සමාගම වර්ථමානයේදී නිකුත් කරපු ගූගල් බස්, ගූගල් ප්ලස්, ගූගල් ග්ලාස්, ගූගල් කාර් වගේ නිශ්පාදන හිතුව තරම් හිට් වුනේ නෑ..ඒ වගේම ගූගල් ෆයිබර් වුනත් හිතුව තරං ලාබ ලැබුවෙ නෑ.. ගූගල් වුනත් දෙවියන් වහන්සේ වගේ දෙයක් නෙමෙයි..එයාලටත් වරදින්න පුලුවන්. එහෙම වැරදුන එක තැනක් තමයි ලූන් කියන්නෙ. ඒ විදියට වැරදුන දෙයක් නිසා තමයි එයාලට කස්ටමර්ලා 50කට අන්තර්ජාලය දෙන්න බැලුන් 30ක් යවන්න වෙන්නෙ . අනික ඒ එක බැලුමක් අහස උඩ තියෙන්නෙ දින 100 කට අඩු කාලයක්.   

ගූගල් ලූන් ඔෆීෂියල් පිටුෙව තියන විදියට ලූන් කියන්න අන්තර්ජාලය ලබා දීමට භූමියේ බාධාවන් තියෙන තැන්වලට හිතසුව පිණිස ඉන්ටනෙට් ලබාදෙන්න ආපු ක්‍රමයක් තමයි ගුගල් ලූම්.. 

මේ වගේ ලොකු සමාගම් අපි වගේ රටවල් වලට මොකුත්ම නිකං දෙයි කියලා හිතන්න බෑ..මේ ගිවිසුම් මොනවා වුනත් මේ විදියට අන්තර්ජාලය දෙන්න සම්පූර්ණ ව්‍යාපෘති වියදමින් සියයට 10ක් වුනත් අපිට අනුව විශාල මුදලක් වේවි. මේ ව්‍යාපෘතිය නවසීලන්තයේ පයිලට් ව්‍යාපෘතියක් (Pilot Project) විතරයි..එතනින් අවුරුදු දෙකක් ගිහිල්ලත් වෙන තැනක මහාපරිමාණ ව්‍යාපෘතියක් බවට පත් වුනේ නෑ.. 


ලංකාව භූගෝලීය පිහිටීම අනුව සරලවම ෆයිබර් කේබල් වලින් ලංකාවම කවර් කරන්න පුලුවන් රටක්. රජයට අවශ්‍ය ගමට අන්තර්ජාලය ලාබෙට් දෙන්න නම් ඒකට ගොඩක් දේවල් කරන්න පුලුවනි. ඒත් රජයට ඕනි කලිං අය කලා වගේ තමුන්ගේ මැතිවරණ බල ප්‍රදේශයට..ක්‍රීඩාංගන, සම්මන්ත්‍රණ ශාලා, වරාය, ගුවන්තොටුපල වගේ හැම දෙයක්ම ගෙන්නගෙන ඡන්ද දිනාගන්න නම්...? එහෙමනං ගූගල් ලූන් කියන්නෙ ඇහැට පේන ලොකු ප්‍රොජෙක්ට් එකක්..ඉන්ටනෙට් කෙසේ වෙතත් ඔය බැලුං උඩ අරින එක හරි ලස්සන වැඩක් වේවි. ඒ වගේම මැතිවරණ බල ප්‍රදේශ කිහිපයක් දුරට යනතෙක් ඈතට මේ බැලුන් අපිට අහසේ ලස්සනට තියෙනවා පෙනේවි..