Monday, October 24, 2016

Great Western තරණය

Great Western Railway Station යනු උඩරට දුම්රිය මාර්ගයේ හැටන් වලට පසු තලවකැලේ නානුඔය අතර පිහිටි කුඩා දුම්රිය ස්ථානයකි. ග්‍රේට් වෙස්ටර්න් දුම්රිය ස්ථානය මනරම් පරිසරයක පිහිටා ඇත. අවට වතුවල කුඩා ලැයිම් කිහිපයක් පමණක් ඇති පාලු භූමිභාගයක පිහිටි ග්‍රේට් වෙස්ටර්න් දුම්රිය පොල නිතරම පාහේ පාළු ස්වභාවයක් උසුලන අතර ශීතල සුලං සුව විදිමින් පොතක් පතක් කියවමින් ඇබ ගසාගෙන ගීතයක් අසමින් කාලය ගතකිරීමට කදිම ස්ථානයකි.
හැටන් තලවකැලේ සිට නානුඔය දක්වා යන විට මෙම දුම්රිය පොල ආසන්නයේදී වම්පසින් උස කදුවැටියක් පෙනේ.  එම කදුවැටියේ ඉහලම මුදුන ලංකාවේ 6 වන  උසම කන්ද වේ. එම කදුවැටියේ නම ග්‍රේට් වෙස්ටර්න් වෙයි. යටත්විජිත සමයේ වගාවට යොදාගත් මේ කදුකර බිම් එංගලන්ත ජාතිකයින් විසින් ඔවුන්ට සමීප නම් වලින් හදුන්වන්නට ඇත. මධ්‍ය කදුකරයේ එසේ ඉංග්‍රීසි නම් වලින් හදුන්වන පලාත් සහ කදුවැටි බොහොමයක්ම වෙති. 

කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පිටත් වූ අපි ලක්දසුන් අඩවියේ රෙකමදෝරු කර තිබූ මෝගන් අයියාගෙන් පාර අසාගන්නට පෙර සිටම තීරණය කොට තිබුනෙමු. දැන් නම් කාලයාගේ ඇවෑෙමන් මාර්ගය පැහැදිලි වුවත් නිසිආකාර නවාතැන් කෑම බීම, වතුර රැගෙන යෑම මෙන්ම වැසිකිලි පහසුකම් ආදියත් පැහැදිලිවම මෙම හුදකලා කදුවැටි අතර සොයාගන්නට අපහසුය. සැලකිය යුතු තරම් පහසු මිලකට අපිට අවශ්‍ය සියලුම සේවාවන් සතුටුදායක මට්ටමින්ම සපයන්නට මෝගන් මහතා සමත් විය. මෝගන්  - 077 079 1002
මෝගන් මහතා වනාහී ලොකු උගතෙකු නොවූවත් , අපට නිතර අසන දකින ප්‍රකට අන්තර්ජාලයීය චාරිකා මගපෙන්වන පුද්ගලයින්ට වඩා මහත්මා ගති වලින් යුක්ත අයෙකි. අපි පාන්දර 3.30ට දුම්රිය පොලට ළගාවන විට එක් ඇමතුමකින්ම මෝගන් මහතා අපිට පාර පෙන්වන්නට පෙර මගට පැමිණියේය. ඉන් පසු ඔහුෙග් කුඩා නිවසේ බ්ලැන්කට්ටු, කොට්ට පැදුරු සහිතව සැලකිය යුතු තරම් හොද මට්ටමකින් අපිට පෑ දෙක තුනක් නිදාගන්නට අවකාශ සලසා දුන්නේය. සීතල ආගන්තුක අපිට ගැහෙන සීතලේ ඔහුගේ බ්ලැන්කට් තුල නිදාගැනීමට ලැබීමම එවෙලේ මහත්වූ භාග්‍යක් ලෙස හැගුනි. එසේම මෝගන් මහතා විසින් ඔහුගේම නිවසේ පිලියෙල කරන ලද රසවත් කෑමවේල් තුනට සහ මගපෙන්වීම පිණිස සුළු මුදලක් අයකරනු ලැබූවත් ඔහුගේ  නිවසේ නවාතැන් ගැනීම, වැසිකිලි සහ නෑමට, තේවතුර කිරි තේ ලබාදීම ආදිය වෙනුවෙන් කිසිදු වැඩිපුර මුදලක් අය කලේ නැත. 

මේ දිනවල නම් සති අන්තයේදී කුඩා කන්ඩායම් වලට ග්‍රේට් වෙස්ටර් තරණයට මග පෙන්වන මෝගන් මහතා සතියේ දිනවලදී දුම්රියේ වඩේ විකුනමින් සිය ජීවිකාව සරිකර ගනී. සිය පියා දුම්රිය සේවයේ කැපීපෙන මාර්ග කම්කරුවක බවපැවසූ මෝගන් මහතා දුම්රිය සේවාවට එකතු වීමට සෑහෙන කලක් තිස්සේ උත්සාහ කොට ඇත. සැබැවින්ම කදුකර පලාතේ දුම්රිය මගට ඉතාම ආසන්නව ජීවත් වන මෝගන් මහතා වැනි දුම්රියට සහ මගීන්ට ආදරේ අය එහි සේවයට පැමිණේ නම් එය මනාය. ඔවුන්ගේ බූදලයක අපි බලෙන් ගමන් කරනවා වැනිව මගීන් දෙස අප්‍රසන්නව බලන ඇතැම් දුම්රිය සේවකයින් නිසා දුම්රිය සේවාවම මගීන්ට එපා වන අවස්ථාද තිබේ. 

උදෙන්ම පිටත් වීම අපේ අරමුණ වුවත් වේල් දෙකකට කෑම පිළියෙල කරගෙන රැගෙන යෑමට සිදු වූ නිසා අප ගමන ආරම්භ කරන විට උදේ 08.30 පමණ වන්නට ඇත. 
කන්ද තරණය කිරීම පිණිස අපි ඇරඹීමට මත්තෙන් කන්දට පිවිසීමක් සොයාගන්නට දුම්රිය මග දිකේ කිලෝමීටර 2-3ක් ගමන් කල යුතුය. මේ එසේ ගමන් කරද්දි නැවත හමු වූ දුම්රිය ස්ථානයේ වූ මල් ටිකකි. 
මල් වවා කදිමෙට තිබෙන දුම්රිය ස්ථානය කුඩා මල් වත්තක් වැනිය. එහි වූ දුම්රිය සේවකයෝ විශේෂ වැරවෑයමකින් දුම්රිය ස්ථානය අලංකාරව පවත්වා ගනිති. 
දුම්රිය පාර දිගේ ගමන්කොට කන්දට පිවිසෙන්නට නම් යකඩ පාලමට ප්‍රථමයෙන් වම්පස කන්ද දෙසට ඇති දේවාලයට ඇති පරේ ගමන් කල යුතුය. මේ දුම්රිය මාර්ගයේ යකඩ පාලමේ සිට අවට පෙනෙන ආකාරයයි. 
දේවාලයට පසෙකින් ඇති පාර දිගේ ඉහලට ගමන් කල යුතු වූ අතර එම මාර්ගය බොහෝ තැන්වලදී දැඩි බෑවුම් සහිත එකක් විය. ඇතැම් තැන් වලදී එකිනෙකාට උදව් කරගනිමින් අවට වූ ගස් වැල් මුල් ගල් වල වාරුවෙන් යාන්තම් ඉහලට නැගුනෙමු. යකාගේ පඩිපෙල තරනයේදී තනිකර සෙරෙප්පු දෙකෙන්ම තරනය කල මුත් මේ ග්‍රේට් වෙස්ටර්න් නම් සපත්තු රහිතව නැගීම නම් තද අමාරු කාරියකි. එසේම ගෙවී ගොස් ඇති සපත්තු ඇතිව නැගීම ද දල බෑවුම නිසා අනතුරු දායක වැඩකි. 

අවට බොහෝ ලක්ෂන කදුකර වෘක්ෂලතා තිබුනි. මුල් කාලයේ මෙම ගේට් වෙස්ටන් කදුවැටියේ අපි තරණය කරන පැත්තේ ද බොහෝ දුර යනතෙක් තේ වගාකොට තිබී ඇත. දැන් නම් ඒ තේ වගාවන් වල් බිහි වී තිබේ. 

කදුකරයේ දර්ශණීය භූමි භාග රැසක්ම මේ ගමනේදි අපිට විටින් විට දර්ශනය විය. 

කුඩා සහ විශාල මල් රැසක්ම වූ අතර බොහෝ මල් වල කුඩා කණ මී වැනි මීමැසි විශේෂයක්ද විය. අපගේ කන්ඩායමේ 7ක් පමණ සිටි අතර අප සමග එක් වු තවත් කන්ඩායමක 5-6 දෙනෙක්ද අපි සමගම නගින්නට වූයේය. කිසිදු ගෑනු පරාණයක් රැගෙන ගියේ නැති නිසා ගස් වැල් කොල මල් ආදියේ පොටෝ වැඩිමනක් මෙවර සියල්ලන්ගේම ඡායාරූප ඇල්බම වල දකින්නට තිබේ. 

නම නොදන්නා කුඩා තුරුලතා රාශියක්ම කදුකර බිමේ යන අතරමග අපිට මුන ගැසුනි.. ඌරන් නම් යහමින් සිටින්නට ඇති බව තැන තැන සාරා තිබූ පස් කදුවලින් අපි නිගමනය කලෙමු. සුවිසල් ගෝනුන්ද තවමත් නිරුපද්‍රිතව මේ බිමේ සැරිසරන බව මෝගන් මහතා අපිට දැන්වීය. 


පැය තුනකට ආසන්න ගමනකින් පසු අපි යා හැකි මුදුනේ දර්ශණ තලයට පැමිණියෙමු. තද බෑවුමක් සහිත කුලක් මතට නැංග විට දුම්රිය ස්ථානය, දම්රිය මාර්ගය, ඈථ පිහිටි දිය ඇලි, විදුලි බලාගාර, මාර්ග ආදී විශාල පදාසයක භූමි දර්ශනයක් අපගේ නෙත් වලට හසුෙව්. දුම්රිය එකිනෙක මාරු වනතෙක් මද වේලාවක් සිටින්නට විය. නමුත් අවාසනාවට වාගේ දුම්රිය දෙක මාරුවන්නට ආසන්න වෙත්ම කාලකන්නි මීදුමක් පහත් වී එම දර්ශනයේ වැඩි කොටසක් අපේ නෙත් වලින් බොද කරන්නට විය. 

යට ඉතා කුඩාවට ඔබට පනුවෙක් වැනි යමක් පේනෝ ඇත. එය වනාහි දුම්රියයි. 
අපේ වාසනාවට මෙන් වැස්සක් ඇදහැලෙන්නට වූයේ අපි සම්පූර්ණයෙන්ම දුම්රිය මාර්ගය තෙක් බැස අවසාන වූ පසුය. ඊට පෙර වැස්ස ඇද වැටුනි නම් දල බෑවුම් වල මඩ සමග සටන් කොට කන්ද බැසීමට සිදු වන්නේ විශාල පරිශ්‍රමයකිනි. මැදදී වැස්සේ නම් එය අපගේ ගමනට එක් කරන්නේ තද අවධානමකි. තදින් වැසි තිබෙන දිනවල පලපුරුදු මෝගන් අය්යා පිරිස කන්ද මතට රැගෙන යෑම ප්‍රතික්ෂේප කරන්නේ එහි ඇති දැඩි අවධානම සලකා බලා විය යුතුය. 
යකඩ පාලමට මදක් එපිට දුම්රිය කාමර පේලි පිහිටි තැන කදිම පිහිල්ලක් තිබුනි. එයින් විශාල ජලකදක් පතිත වෙයි..අපි එයට ඔලුව අල්ලා හොදින් නාගෙන මෝගන් නිවස ට පැමිනෙන්නට දුම්රිය මාර්ගයේ සිටියදී ම තද වැස්සක් පතිත වන්නට විය. දුම්රිය ස්ථානයේද ස්වල්ප වේලාවක් සිට වැසිබර ගතිය හේතුවෙන් තව දුරටත් තැන තැන යෑම පලක් නැතිවිය හැකි හෙයින් පැය කිහිපයක් අල්ලාප සල්ලාපයේ යෙදී රාත්‍රී තැපැල් දුම්රියේම කොළඹට පැමිණියෙමු. 


ග්‍රේට් වෙස්ටන් වෙත තලවකැලේ හැටන්පාරෙන් පැමිණ ලගාවිය හැකි වුවත් උස කුඩා වාහනයකට හැර වෙනත් වාහනවලට ලගාවීම අපහසු විය හැක.දුම්රිය ඔස්සේ ග්‍රේට් වෙස්ටන් පැමිණීම වඩාත් ලෙහෙසි කාර්යයකි. 

5 comments:

  1. ලංකාවේ මම ආසම කොටස තමයි මේ හරිය

    ReplyDelete
    Replies
    1. ඔය හරියේ ෆ‍්‍රැන්ජිපානිලා ඉන්නවා අර භූමි කියන පොන්නයාගේ ගම. බලාගෙන යන්නේ. තමුසෙගෙ කුට්ටම ගලවලා පොන්නයෙක් කරලා එවයි.

      Delete
  2. නියමයි බං.. මටත් ආස හිතුනා අද දැකපු තවත් පින්තුරු වගයක් නිසා..

    https://www.facebook.com/viduranga.prasad?fref=ts#

    ReplyDelete
  3. ස්තූතියි විස්තරයට....

    ReplyDelete