Sunday, August 13, 2017

ස්මාට්ෆෝන් කැමරාවෙන් කදිම සේයාරූ ගනිමු

දුරකතන ඇමතුමක් ලබාගැනීම කියන මූලික අවශ්‍යතාවය පිණිස නිර්මාණය වුනු මූලික මොබයිල් ෆෝන් එක ස්මාට්ෆෝන්  වෙද්දි එකතුවනු කොටසක් තමා කැමරාව. මුල්කාලයේදී බලයෙන් අඩු හුදෙක් කුඩා සේයාරුවක් ගැනීමේ මූලික හැකියාව තිබුනත් අද වනවිට මැද මට්ටමේ ස්මාට්ෆෝන් සෑම එකකම පාහේ බලගතු කැමරාවක් අන්තර්ගත වෙනවා. කෂණිකව ඕනෑම තැනකදි මතක සටහනක් ලබාගන්නට පාවිච්චි කරන්න පුලුවන් ෆෝන් කැමරාවෙන් කොහොමද හොඳ ෂොට් එකක් ගන්නේ..මොනාද අපි ස්මාට්ෆෝන් එකකින් පොටෝවක් ගනිද්දි සැලකිලිමත් විය යුතු කරුණු.

 

වස්තුවට ඇති දුර සහ සූමින්..

ඔබ දැක ඇති දුර ඇති වස්තූන් ඡායාරූපයට හසුකරගන්නා දිගු ලෙන්ස සහිත එස් එල් ආර් (DSLR) කැමරා සහ ලෙන්ස්. එවන් කැමරාවලදී ඈත ඇති වස්තුන්, විශාලන කාච පද්ධතියකින් ලඟ ඇති වස්තූන් මෙන් කැමරාවට ප්‍රක්ශේපනය කරනු ලබනවා. එහෙත් කුඩා ස්මාට්ෆෝනයට එවැනි ඈත වස්තු හසුකරගන්න විශාලන කාච බලයක් නැහැ.  අප පොටෝවක් ගන්නා විට අදාල වස්තුවට තරමක් ආසන්නයෙන් සූම් නොකර එම ඡායාරූපය ලබාගන්නට හැකිනම් වඩාත් හොඳ තත්වයේ සේයාරුවක් ලබාගන්නට හැකියි.
පුද්ගල ඡායාරූප ගන්නා අවස්ථාවකදී නම් ස්මාට්ෆෝන තිරයෙන් පේන රාමුවට අනුව වඩාත් ආසන්නව සූම් නොකර ඡායාරූප ලබාගැනිමත්හොඳ පුරුද්දක්. බොහෝවිට ස්මාට්ෆෝන් එකකදී ඩිජිටල් සූම් යනු පිංතූරය විශාලනය කරගැනීම මගින් යොදාගන්නා ප්‍රයෝගයක්..එම අවස්ථාවේදී ඡායාරූපයේ තත්වය බාලවීමක්ද සිදු වෙනවා.
නවීන ඇපල්, සැම්සුන් සහ ඉහල මට්ටමේ ස්මාට්ෆෝන වල නම් දැන් දැන් මදක් දුර ඇති වස්තුන් වඩාත් හොඳින් හසුකරගන්නට කැමරා සිදුරු දෙකකින් පමණ ආලෝකය සහ දත්ත ලබාගැනීම සිදුවෙනවා. එසේ වුවත් වස්තුව ආසන්නයටම ගෙනගොස් සේයාරූ ගතහැකි අවස්ථාවක් නම් එසේ කිරීම කවර ස්මාට්ෆෝනයකදී වුව වඩාත් සුදුසුයි. ස්මාට්ෆෝනයේ මෙම විශේෂිතභාවය නිසාම මල්, ගහකොළ, ගෙදර දොර, ගෘහනිර්මාණ ශිල්ප, විශාල අවකාශයන් සහ සමීප පුද්ගල සේයාරූ ගැනීමට ස්මාට්ෆෝන කැමරාව වඩාත් සුදුසුයි. බොහෝ දිගුදුර සූම් කර වනෝද්‍යානයකදී සත්ව චර්යාවන් වැනි දේ හසුකරගන්නට නම්  ස්මාට්ෆෝනය යොදාගන්නට අපහසුයි. 

රාමුවට හසුකරගැනීම

ඡායාරූපයක් ලබාගන්නා විට අපි අරමුනු කරන යමක් තිබෙනවා. එනම් අපි ඡායාරූපයෙන් දැකගන්න ආස කරන යමක් තමයි අපි පොටෝ එකක් විදියට ෆෝන් එකට සේව් කරගන්න යන්නේ. එවිට එම වස්තුව මනා ලෙස රාමුවට හසුවන ලෙස ඡායාරූපය ලබාගැනීම වැදගත්. උදාහරණ ලෙස සමූහ ඡායාරූපයක් නම් ඒ අදාල සමූහයම සිටීද, ඔවුන් නිසි ලෙස පෙනෙයිද යන්න සැලකීම වැදගත්. සුරතල් සතුන් කුඩා සතුන් ඡායාරූපවලට නැගිමේදී එම සතුනගේ ඇස් මනාව දිස් වෙන පරිදි ඡායාරූප ලබාගැනීම හොඳ උපක්‍රමයක්.  පුද්ගල ඡායාරූපයක් නම් අවට ඇති බඩුමුට්ටු හෝ අනෙක් දේ නොව පුද්ගලයා ඉස්මතු වීම විය යුතු දෙයක්.
කුඩා දරුවෙකු බිම සෙල්ලම් කරන අවස්ථාවක් ඡායාරූපයට නගන්නේ නම් අපි සිටගෙන සිට කුඩා දරුවා බොහෝ ඈතින් සෙල්ලම් කරන දසුනක් ඡායාරූපගතකිරීම සාර්ථක වන්නේ නෑ. එවන් අවස්ථාවක දරුවාගේ සොඳුරු ඉරියව් නිසිපරිදි හසුකරගන්නට සේයාරූ ලබාගන්නා අයද ඒ මට්ටමේම සිට ඡායාරූප ගැනීම වඩාත් සුදුසුයි. ෆෝන් එක අල්ලන උස ෆෝන් එක මානන කෝණය අනුවද ඡායාරූප වල අගය වැඩි හෝ අඩුවීම සිදුවනවා.
ෆෝන් එකක එකවර ගබඩාකරගත හැකි පොටෝ ප්‍රමාණය අති විශාලයි. එම නිසා සේයාරූ ගැනීමේදී අපි ඇසින් දකින දේ සහ ෆෝන් එකට ඇත්තටම වදින දේ අතර තිබෙන වෙනස අවබෝධ කරගැනීමට නිතර පොටෝ ගැනීම සහ ඒවායේ අඩුපාඩු තමුන්ම බැලීමද හොඳ පුරුද්දක්.

පොටෝ තේරීම සහ එඩිට් කිරීම

මුහුන සහ සිරුර අනෙකාට හැඩට පෙන්වන්නට රූපලාවන්‍ය ශිල්පීය ක්‍රම පාවිච්චිය දැන් බොහෝම සරල දෙයක් වී හමාරයි.ඒ වගේම ස්මාට්ෆෝන් එකෙන් ගත් පොටෝවක් කපා ආලෝකය එකතු කොට හැඩ ගැන්වීමත් දැන් එතරම් ලොකු දෙයක් නෙමෙයි.
ස්මාට්ෆෝන් එකෙන් විශාල පොටෝ ප්‍රමාණයක් ගත හැකි නිසා ගන්නා ලද සෑම සියලු පොටෝ එකක්ම මුද්‍රනය කිරීම හෝ ෆේස්බුක් පල කිරීම  ඇතැමුන් සිදුකරනු ලබනවා. එහිදී එකම මාදිලියේ පොටෝ රැසක් එකම ස්ථානයේ තිබීම.. ආලෝක වැරදි සහ පෙනීසිටීම් වැරදි සහිත සේයාරූද එකතුවීම ඉබේම සිදුවෙන දෙයක්. සාමාන්‍යෙයන් වෘත්තිය මට්ටමේ නළු නිලියන් ගේ ජීවිතයේ ඔවුන් කරන කියන සෑම දෙයක්ම අන්තර්ජාලයේ තිබෙනවා සේ පෙනුනත් ඔවුන් ගන්නා ඡායාරූප සියල්ලම  අන්තර්ජාලයට මුදා හරින්නේ නෑ. හොඳ සේයාරූ තෝරා ඉන් පසු ඒවා වැඩිදියුනු කොට ඉන්සටග්‍රැම් හෝ ෆේස්බුක් වෙත මුදාහරින්නට ඇතැම් බොලිවුඩ් හොලිවුඩ් නළු නිලියනට වෙනමම කාර්යමණ්ඩල පවා සිටිනවා. ඒ අනුව නිසි පොටෝ තෝරාගැනිමත් ඒවා පොටෝ එඩිටින් මෘදුකාංග මගින් නැවත යම් වැරගැන්වීමකට ලක් කිරීමත් සිදුකර පොටෝ මුදාහරින්නේ නම් එවන් ස්මාට්ෆෝන් සේයාරූ ඉක්මනින් ජනප්‍රිය වේවි.

ආලෝකය සහ දිශාව

සේයාරුවක් ගැනීමට ආලෝකය අත්‍යාවශ්‍ය සාධකයක්. ආලෝකය අඩු වටපිටාවන් වලදී බොහෝ ස්මාට්ෆෝන හොඳ ඡායාරූප ලබාදෙන්නේ නෑ. එසේම ස්මාට්ෆෝනය සතුව කුඩා ෆ්ලෑෂ් එකක් තිබුනද දිවා කල හොඳ ආලෝකය ඇති තැනකදී මෙන් කදිම සේයාරූ ලබාදෙන්නට ඒ කුඩා ෆෝන් ෆ්ලෑෂ් ලයිට් එකට හැකියාවක් ඇත්තේ නැහැ.
දිවා කල වුව සෑම සියලු තැනටම එකලෙස හොඳින් ආලෝකය පතිත වන්නේ නෑ. ස්මාට්ෆෝනය වඩාත් එලිය වැටෙන ස්ථානයක තබාගෙන  කළුවර තැනක සිටින මිතුරන් පිරිසක් ඡායාරූපයට හසුකරගන්නට අපහසුයි. උද්‍යානයකදී මල් ගහ කොළ පොටෝ ගැන්මකදි වුව හෙවනැල්ල සහ ආලෝකය වැටෙන දිශාව බැලීම කල යුතු දෙයක්. එසේම ස්මාට්ෆෝනය සාක්කුවෙන් ඇදගත් සැනින්ම ලගම සිටින අයෙකුට එයින් දමා ගසනවා වැනි වේගයකින් කැමරාව ඔන්කර ඡායාරූප ගැනීම හොද පුරුද්දක් නෙමෙයි. එම ආලෝක තත්වයට සහ වස්තූනට වස්තු දුරට අනුකූලව සැකසුම් තනාගන්නට තත්පරයක දෙකක කුඩා කාලයක් ෆෝන් එකට අපි ලබාදිය යුතු වෙනවා. නූතන දියුනු ස්මාට්ෆෝන් වලනම් අපිට අවැසි පරිදි සැකසුම් වෙනස් කර ඡායාරූප ගැනීමටද හැකියාව ලැබි තිබෙනවා.

ස්මාට්ෆෝනයේ බලය

ලාංකික ප්‍රවීණ ඡායාරූප ශිල්පීන් රැසකගේ මුල් ගුරු වූ ලාල් හෑගොඩ මහතා පවා ස්මාට්ෆෝනයෙන් වුවද කදිම ඡායාරූප ගත හැකි යැයි කිහිපවරකදීම ප්‍රසිද්ධ දේශනවලදී  කියා තිබෙනවා. මතක සටහන් පමණක් නොව යම් කලාත්මක අගයකින් යුතු සේයාරූ ගැනීමටද ස්මාට්ෆෝන් එක පහසුවෙන්ම යොදාගත හැකි මෙවලමක්. හුරු කල අතෙකින් නිර්මාණශිලි මනසකින් භාවිත කල හැකිනම් ස්මාට්ෆෝනයේ කුඩා කැමරා සිදුර මතින්ද විශාල වටිනාකම් ඇති සේයාරූ මවාගන්නට ඔබටත් හැකියාව ලැබේවි.
මෙම ලිපිය ඊයේ දිනමිණ පුවත්පතේ වයර් අකුරු තීරයේ පළවිය. සයිබර් වාසීනට පිං පිණිස නැවත මෙහි පළකරන ලදී.

Tuesday, August 8, 2017

කාගෙත් සුවදුක් බැලූ ෆැක්ස් යන්තරේ

අන්තර්ජාලය ප්‍රචලිත වීමට මත්තෙන් 90 දශකයේදී සහ 2000 වර්ශ ආසන්නයේදී ලංකාවේ සෑම කුඩා උපනගරයක් ආසන්නයේම පාහේ කොමියුනිකේශන් නමින් හැඳින්වුනු කුඩා සන්නිවේදන මධ්‍යස්ථාන විය. ඒවායේ කළු සුදු ඡායා පිටපත් ගැනීම, දුරකථන ඇමතුම් ලබාගැනීම මෙන්ම බොහෝවිට ෆැක්ස් සේවාවද මහජනයාට විවෘත විය. අද මෙන් ලේඛනයක් තැනකින් තැනකට යැවීම සරල නොවූ එකල ජනයා සිංහල ලිපි ලේඛන තැන තැන යැවීම පිණිස ෆැක්ස් යන්ත්‍ර භාවිතා කලෝය.

ෆැක්ස් යන්ත්‍රයේ මූලික අංගය වූ කලී තැනකින් තවත් තැනකට කලු සුදු ඡායාරූපයක් සම්ප්‍රේෂණය කිරීමය. හඬ ප්‍රචාරණය කිරීමට ටෙලිෆෝනය තිබූ අතර ඉංග්‍රීසි බසින් වදන් තැනකින් තැනකට යැවීමට ප්‍රාථමික වුවද වඩාත් බහුල ලෙස භාවිතයට ගත් ටෙලෙක්ස් ටෙලිප්‍රින්ටර් නැමැති ක්‍රමවේද භාවිතා විය. අද කාලයේ වුවද පරිගනකයේ හෝ ස්මාට්ෆෝනයේ සිංහල බසින් යමක් ලියාගත නොවුන කල්හි ඇතැම් අය කොල කැබැල්ලක සිංහල අකුරු ලියා එය සේයාරුවක් ගෙන යැවීම හෝ එය සිංග්ලිෂ් බසින් යැවීම සිදුකරනු දැකිය හැකිය.
ෆැක්ස් යන්ත්‍රයේ උපත හෙවත් මුල්ම අදහස ගෙනහැර දක්වා ඇත්තේ ඇලෙක්සැන්ඩර් බේන් විසින් 1843 දීය. එනම් ටෙලිෆෝනය සොයාගන්නට වසර 30කට පෙර සිටය. එහෙත් ෆැක්ස් යන්ත්‍රය වඩාත් දියුනු තියුනු වී භාවිතයට පැමිණියේ 1970-80 දශකවලදීය.
ඉංග්‍රීසි අකුරු මෝස් කේත, ටෙලිග්‍රාෆ් හරහා එ අයුරින්ම යැවිය හැකි වුවද කෙමෙන් දියුනු වෙමින් පැවති ජපන් ජනයාට සිය අවශ්‍යතා සදහා ජපන් බස ඇතුලත් ලේඛන තැනකින් තැනකට යැවීමට ක්‍රමයක් දියුනු කරගන්නට උවමනා විය. ඔවුන් ඒ සඳහා ෆැක්ස් යන්ත්‍රය දියුනු කරන ලදී. ඊට අමතරව බැංකුකරණය සහ වාණිජ කටයුතු වර්ථමානයේ මෙන් වර්ශ 2000ට එපිටදී පරිගණක මගින් ජාලකරණයට ලක් වි තිබුනේ නැත. එබැවින් මුදල් ගනුදෙනු සහ විවිධ වානිජමය කාර්යයන්ට අවශ්‍ය අත්සන් සහ සහතික කිරීම් ලබාගැනීම පිණිස ෆැක්ස් යන්ත්‍රය එම යුගයේදී මහඟු උපකාරයක් කල යන්ත්‍රයක් විය.
නූතනයේදී ඩිජිටල් ක්‍රමයට වැඩිදියුනු කරන ලද ෆොටෝකොපි යන්ත්‍ර හරහාද ෆැක්ස් පනිවුඩ යැවීමේ පහසුව ලැබී තිබේ. සාමාන්‍ය ක්‍රමයට  ෆැක්ස් පණිවුඩය යැවෙන්නේ සාමාන්‍යය පැරණි ටෙලිෆෝන පද්ධතිවල අපගේ හඬ තැනකින් තැනකට යනවාක් වැනි වූ ඇනලොග් සංඥා මාර්ගයෙනි. එනම් යැවෙන තරංගය අනුව කඩදාසියේ මෙතැන හිස්ය මෙතැන සුදු විය යුතුයැ යන සංඥාව අනෙක් පසට සම්ප්‍රේෂණය කරනු ලැබේ.ඒ සංඥා වලට අනුකූලව ෆැක්ස් යන්ත්‍රයට යොදා ඇති විශේෂ තාපන කඩදාසි මගින් පිටපතක් ලබාදෙනු ලැබේ.
අන්තර්ජාලය නැමැති මහා තොරතුරු අතිරික්තය අද මෙන් ජනප්‍රිය නොවූ 20 වන සියවස තුලදී ප්‍රවෘත්ති ප්‍රචලිත වූ මූලික ක්‍රමයක් ලෙස පුවත්පත දැක්විය හැකිය. තාක්ෂණයේ කෙතෙරම් හැඩහුරුකම් පැමිණියද අද දක්වා නොනැසී පවතින පුවත්පත , තැනකින් තැනකට වේගයෙන් ඉලෙක්ට්‍රොනික ක්‍රමයකට ගෙන යා හැකිනම් ප්‍රවෘත්ති ආරංචි  ඉක්මනින් පාඨකයාට ලබාදිය හැකි යැයි එකල විදුලි සංදේශ නිපැයුම් කරුවෝ සිතූහ. ඒ ඔස්සේ ෆැක්ස් තාක්ෂණයෙන් පුවත් පත් යැවීමේ විධිවිධාන සැකසුනද එය එතරම් ප්‍රචලිත වූ ක්‍රමයක් නොවීය.
නවීන ඡායාපිටපත් පරිලෝකන යන්ත්‍ර මගින් ෆැක්ස් යැවීම දියුනු වීමට ප්‍රථම ෆැක්ස් වලට යෙදූයේ කඩදාසි රෝල්ය. ඒ කඩදාසි තාපය යෙදිමකින් ඉක්මනින්ම පිටපතක් ලබගැන්මේ හැකියාවකින් යුක්ත වේ. නූතනයේ අප රට බස් රිය ටිකට් යන්ත්‍රවල, ක්‍රෙඩිට් කාඩ් භාවිත යන්ත්‍රවල සහ ඇතැම් බිල් නිකුත් කරන ස්ථානවල ඇත්තේ මෙම සැනෙන් මුද්‍රනය වන තාපන කඩදාසි රෝල් ය.
ෆැක්ස් යන්ත්‍රෙය් අවාසි
ෆැක්ස් යනු සාම්ප්‍රදායික දුරකථන ජාලා හරහා ක්‍රියාකරන යෙදවුමකි. අද මෙන් සබදතාවය උවමනා වූ කල  වයිෆයි නැතහොත් මොබයිල් සිග්නල්..එහෙමත් නැත්නම් යාලුවෙක්ගේ වයිෆයි එකක් සම්බන්ධ කරගෙන පණිවුඩ යැවිමේ ජංගම ශක්‍යතාවයක් ෆැක්ස් යන්ත්‍රයට නැත.එයට නියමිත අවකාශයක් සහ ස්ථාවර සම්බන්ධතාවයක් තිබෙන අතර අප ෆැක්ස් යන්ත්‍රය අසලට ගොස් පනිවුඩය එය හරහා යැවිය යුතුය. මෙය පැරනි තැපෑලේ යම් හැඩහුරුකමක් ද ඇති ගුණයකි. එනම් අපි ලිපියක් තැපැල් කිරීමට තැපැල් පෙට්ටියට එය දැමිය යුතු අතර ලිපිය ලබාගැනීමට නම් අප හෝ නියෝජිතයෙකු තැපැල් බෙදන්නා පැමිණි විට නිවසේ සිටිය යුතුය.
සාමාන්‍ය ෆැක්ස් යන්ත්‍රයක් හරහා වරකට යැවිය හැකි හෝ ලබාගත හැකි වන්නේ එක් ලිපියක් පමණි.. නූතන ඊමේල් හුවමාරුවේදිත් පුරාතන ලිපි ගනුදෙනු වලදිත් සතර අතින් විවිධ දෙසින් එන ලිපි රැසක් එකවිට ලබාගැනිමේ හැකියාව තිබේ. එහෙත් සාමාන්‍ය ෆැක්ස් යන්ත්‍ර ලිපි කිහිපියක් එකවර මුද්‍රනය කරන්නට හෝ ලිපි කිහිපයක් එකවර යවන්නට හැකියාවක් නැති හැඩහුරුකම අනුව තරමක් තද ගති ඇති පැරැන්නෙකි.
ෆැක්ස් යන්ත්‍රයෙහි වාසි
ෆැක්ස් යනු ලිපි ලැබෙන ක්‍රමයකි. නූතනයේ නම් ඊමේල හරහා ලිපි ලැබෙන අතර පෙරකල තැපෑල හරහා ලිපි ලැබුනි. ඒ ක්‍රම දෙකේදීම ලැබෙන ලිපි එකවරම දැකගැනීමට හැකියාවක් නැත. ඊමේල් තාක්ෂණයේ වුවද විවිධාකාර ස්පෑම් සිහිකැඳවීම් ආදි මේල් සිය ගනනක් අතර පැමිණි වැදගත්මේල් පණිවුඩය තෝරාගත යුතුය. කාර්යාලයයක නම් ලිපි වුවද ලිපි ගොන්නක් ලැබෙන කල එකිනෙක තෝරා අපට අදාල ලිපිය තෝරාගැනීමට තරමක් කාලයක් ගත වේ. එහෙත් ෆැක්ස් යම්තැනකින් ඇමතුමක් මගින් දැනුම් දුනහොත් එවෙලේම එම අවශ්‍ය ලිපිය හෝ ලේඛනය අපිට මුද්‍රණය වන අවස්ථාවේදීම දැකගත හැකිය. සයිබර් අවකාශය තුල ඇතිවන විවිධ ආක්‍රමණශීලි වෛරස ආසාදන හේතුවෙන් ඇතිවිය හැකි සංකීර්ණ උවදුරු ෆැක්ස් යන්ත්‍රය නැමැති සරල උපකරණය තුල නැත. ඊමේල් හැක් වී, පාස්වරඩ් අමතක වී මේල් බොක්ස් පිරී ඉතිරී ගොස් හෝ අවැසි පණිවුඩය තෝරා කාලය බොහෝ සෙයින් කැප කරන විට අහා ..පැරණි ෆැක්ස් තිබුණි නම් කොතරම් වාසිදැයි සිතේ.

නූතන සයිබර් අවකාශය තුල ඡායාරූපයක් තැනකින් තැනකට යැවීමට ඇති ක්‍රම සහ යෙදවුම් සංඛ්‍යාව ඉතා දීර්ඝ ලැයිස්තුවකි. එහෙත් 1980-2000 කාලය තුල ලිපියක් තවත් තැනකට සැනින් යැවිය හැකි අරුම පුදුම යන්ත්‍රයක් වී නම් ඒ ෆැක්ස් යන්ත්‍රයම විය. ලිපිය සිංහලද ඉංග්‍රීසිද? එය ලියා ඇති එකක්ද මුද්‍රනය කොට ඇති එකක්ද කටු සටහනක්ද නිවාස සැලසුමක්ද ආදී කිසිදු වෙනසකින් තොරව ෆැක්ස් යන්ත්‍රය අපසතු ලිපි ලේඛන සැලසුම් ආදිය තැනකින් තැනකට ගෙනගොස් දුන් මහාර්ඝ යන්ත්‍රයක් ම විය.
වර්ශ 2017ක් වූ අගෝස්තු මස 05වන සෙනසුරාදා දිනමිණ සති අන්තයේ 17 පිට වයර් අකුරු හි මෙලිපිය පළවිය.

Saturday, August 5, 2017

සප්ත කන්‍යා Saptha Kanya

 හැටන් වලින් සිරිපාදේ යද්දි සප්ත කන්‍යා කන්ද හමු වෙනවා.පසුගිය දිනක අපි ඒ සප්ත කන්‍යා කන්ද තරණය කරන්න උත්සාහයක් ගත්තා. ලක්ෂපාන දිය ඇල්ල බලන්න යන තැනින් තමයි වැඩේ පටන් ගන්නේ. පිංතුර ලොකුවෙලා පේනෝ පිංතුරය උඩ එබුවාම
 අපි ගියේ රාත්‍රී කදවුරු බැදන් ඉදලා උදේ බහින්න. පසුව කල අධ්‍යනයන වලින් පෙනීගියේ අපි නියම මුදුනට නැගලා නැහැ. ඒත් අපි මුදුන්දෙකක්වත් අල්ලන්නට ඇති. බහින දවස හරිම කටුක අත්දැකීමක් වුනා. අපි කඹ අරන් කූඩැල්ලන්ට තෙල්බේත් අරං ගියත් හිතූතරම් වැඩක්  වුනේ නෑ..තද බෑවුම සහ ටයිකෙන වරුසාව අපේ ගමන මහත් බියකරු එකක් බවට පත් කලා. පසෙකින් කූඩාරම්ක් සහ තව යාලුවෙකුගේ අතේ කඹයක්..මේ අපි දෙවන දවස හමාර කරලා බිමට ආපු අවස්ථාව.
 කන්දේ හැපුනමහ වනන්තරේ ඔව් ඔව්..ඒ ඩී සී අට හැපුනේ මෙතන තමයි. ඒ අනතුර වෙල තියෙන්නේ සප්ත කන්‍යා වල පස්වන කන්දේ..අපේ යාලුවෝ නම් සොහොන් ටික බලලා එන්න ගියා. සොහොන් කීවට මේවයේ වලලාල තියෙන්නේ මිනිස්සුන්ගේ කෑලි.. ප්ලේන් එකක් ගලක වැදුනම ඇතුලේ ඉන්න අයට මොකද වෙන්නේ කියලා ආයෙ අමුතුවෙන් විස්තර කරන්න ඕනි නෑනේ.
 වගා නානවා.. වගාට විතරක් නෙමෙයි අපි හැමෝටම ගමන අහක් වෙලා වතුර ඩිංගක් ඇගට හලාගන්න ලැබුන මේ අවස්ථාව නම් පංකාදුයි. කොහොමද ඇල්ල.. ලක්ෂපාන තමයි මේ..ඇබර්ඩින් වගේම තමයි පෙනුම. ඒත් ඇබර්ඩින් වලට වඩා මේකේ නාන පහසුකම සුපිරි..පූල් එකකට වඩා හොදට සනීපෙට නාත හැකි.
 ඔය ඉන්නේ මම. මේ වෙලාවේ නම් තද බඩගින්නේ .. අපි මගදි අනම් මනම් කෑවට බත් ඩිංගක් බඩට නැතුව ටිකක් අමාරුයි. ලක්ෂපාන ඇල්ලටත් බහින්න තියෙනවා මීටර පන්සියක් විතර පඩි..අනේඒ ටික බැහැගන්නත් බැරුව කද බඩමහත ජෝඩුවක් ආයෙම හැරිල උඩට නගිනවා දැක්ක.. කාල බීල මහත්වෙල ආඩම්බෙරේට බඩ ඉස්සරාට දාන් ගියාට මොකදමේ වගේ එකක් වත් බලාගන්න වාසනාවක් නෑනෙවඒ ඇස් ගෙඩි වලට. 
 අපි කලිං දවසේ උදේම ගියත් එදා උදෙත් ටිකක් වැස්ස. වැස්සට මල් කොල ඔක්කෝම ඇහැරිලා.ඔක්කොමත් හරි කූඩැල්ලෝ ඇහැරිලා බුරුතු පිටින් කකුලේ එල්ලුන එක තමයි ඉවසාන්ඩ බැරි.
 අපි ගියේ සෙනසුරාදා උදේ.. මේ පුංචි මනුස්සයෝ ත්‍රිබල කුඩ දාගෙන ක්ලාස් යනවා වෙන්න ඕනි.
 අපි ගිය දවසේ ලක්ෂඵාන ඇල්ල. එදා ලක්ෂපාන ඇල්ලේ වතුරත් දුඹුරුපාට වෙන්නට ඇති. පෙලක්වෙලාවට ඇල්ල සම්බන්ධ ජලවිදුලි ව්‍යාපෘතියේ වැඩක්ද නැත්තං වැස්ස නිසා දුඹුරුපාටද කියල හිතාගන්න බෑ..තනි නෙස්ටමෝල් පාට..ඒත් අපි නෑ දවසේ නම් වතුර කිරි ටොයිය වගේසෝක් එකට තිබුනා.
 මේ පාන්දර ගිනිගත්හේන ටවුමේ. යද්දී ගිනිගත්හේනේ බහින කොට පාන්දර 6 විතර වෙන්න ඇති. ඒවෙලත් මීටර දහයක් දුර පේන් නැති තරම් මීදුම. ඔය බස් නැවතුම ඇතුලේ. 
 ලක්ෂපාන ඇල්ලේ දුර ශොට් එකක්. නාකියාගන්න තියෙන පහසුව එක්ක බැලුවාම සුපිරි ඇල්ල. ගොඩක් ඇලිවල පහල නාන්න බැහැ.. මොකෝ ඉතිං සැඩපාර දැඩියි නේ..මේ ලෙවල් එකට වතුර තියෙද්දි නම් ලක්ෂපානෙන් යට නාත හැකි බොහොම ආරක්ෂාකාරීව.
 අපි කදවුරු බැන්දාට බත් උයන්න ගියෙ ්නෑ. අපි නගින්න යද්දි උදේ එකොලහ විතර වෙලා නිසා අපි තීරණය කලා කඩේ ඇන්ටිගෙන් බත් ටිකක් අරං යන්න. බත් පාර්සල් කරලා ගෙනිහින් මෙ ්විදියට හිනියට පරිප්පුවක් සෝයා ටිකක් හදාගෙන ඒ ටික එක්ක කෑවා.. බත් නම් මදි වුනා වගේ. විඩාවට බඩගිනි වැඩිවෙනවා නේ.
 ලක්ෂපාන ඇල්ල උඩ ඒ ඔය හරහා තිබෙන පාලම. මේ විසාල කනු දෙකෙන් කියන්නේ ඉස්සර තියෙන්න ඇත්තේ එල්ලෙන පාලමක් වෙන්නට ඕනි.
 මා කීවේ ඇල්ල පලමු දවසෙ ්ෙනස්ටමෝල් වගේ කියලා..මේඒක අගවන පිංතුරයක්.
 කෑම සපයා ගැනීම.පිරිසිදු වීම.. ගයිඩ් මහතෙකු හොයාගැනීම වගේම කෑම ටිකක් උයාගෙන යෑම වගේ අපේ ගමනේ මූලිකම අවශ්‍යතා රැසක් මේ හෝටලය මගින් අප කරගත්තා..ඇත්තටම අපිට කලින් දින රැ මෙතන්ට යන්න හැකි වුනානම් ලස්සනට නවතින්න පුලුවන් කාමරත් තියෙනවා මෙතන..නැවතිලා අහක්වෙල විවේකෙන් පාන්දරම නගින්න තිබුනා එහෙම වුනානම්.
 පාසි ගල උඩ..
 මීදුමට වැහිල ගිහින් සප්ත කන්‍යා.. එක වතාවක් ඇරිල තිබුනා..එවෙලේ පොන් එක ඇදගන්න පවා පණ නැතිතරම් මහන්සිය.
 මේඅපේ සෙට් එක සහ මග පෙන්වන නයිදේ.. මග පෙන්වන කෙනාටත් මග වැරදුනා. ගමන ගැන කියනවා නම් වැසි සමයක මුහුනදිය හැකි දරුණුම ආකාරයේ අත්දැකීම් රැසක් මේකෙන් ලැබුනා..කූඩැල්ලේ එල්ලෙන්නේ ලංකාවෙ ටීම් එකේ විකට් යනවා වගේ..එකෙක් ගැලවෙනකොටතව එකක්.. පෙලක් වෙලාවට ෆිල්ඩින් වලට ටීම ්එක බැස්සා වගේ සෙට් පිටින් එනවා.. තද ආනතිය හරියට මාර්ගක් නොමැති වීම..ඉසව්වක් සොයාගන්නට බැරිවීම..අනතුරුදායක බට කැලේ..වගේ ගොඩක්හේතු නිසා ගයිඩ් වරයෙකු නැතිව ගමන් කිරීම සාමාන්‍ය අයට නම ්කිසිසේත්ම රෙකමදෝරු කරන්න බෑ. 
 අවධානම කියන එක පවා කළමනාකරනය කරගැනීම මෙ වගේ ගමනකදි වැදගත්. ආහාර ද්‍රව්‍ය සපුරගෙන වතුර අරගෙන කූඩැල්ලන්ට බෙහෙත් ආදිය හදාගෙන නැතුව හිතු ගමන් කාලෙට සිරිපාදේ යනවා හෝටන් තැන්න යනවා වගේ ලේසියෙන්මේ වගේ චාරිකා යන්න මදක් ආමරුයි. 

 බට ගස් උඩින්..යටින් මැදින් යන්න තියෙනවා.. බහිනකොට තද වැස්සේ බට උගුලගෙන ඒවයේ එල්ලිලා බැහැගෙන ආවා.. සාමාන්‍යයෙන් අත්දැකීම කියනවා නම් මහගිරිදඹේ කියලා සිරිපාදේ තියෙන උසම තැන්වලටත් වඩා මේකේ ඈන්ගල් එක වැඩියි.. ඒ වගේ කිලෝමීටර 5-6ක් එක දිගට සෙට් වෙනවා..
 තේ වත්තක් හරහා ගිහින් තමයි වනයට පිවිසෙන්නට තියෙන්නේ.. මේ අන්තයෙන් තිබෙන්නේ එක පිවිසුමයි..තවත් පිවිසුමක් තිබෙන බව අන්තර්ජාලයේ තිබුනත් මේ අපේ ගයිඩ් උන්නැහේ ඒ ගැන දැනං උන්නේ නෑ.
 අතරමගදි කුඩා දිය කඩිත්තකට බට පිත්තක් ගහල ඔන්න ඔහොමයි අපි වතුර පුරෝගත්තේ.
 වැහි කලෙක මීදුම එක්ක මෙ ්වගේ ලිස්සන ගල් තලාවක නගින එක..මං හිතන්නේ අර ටීවි වල පෙන්වන සර්වයිව් ටීම් වලට පවා මේවනම් අමාරු වැඩ.
 ඈත කන්ද පෙනුන එක අවස්ථාවක්. ගොඩක් වෙලාවට කදු වැහිලා මීදුම ්වලින්. 
 මෙතනින් ඉහලට නැගීමත් අමාරුයි.. ගල් තලාව තෙමිල ලිස්සනවා ත් එක්ක ඒත් ඒකේ සයිඩ් එකෙන් උඩට නැගීමක් තිබුනේ. 
 ගිනි ඇවිලුවා වගේම අපි නිවලාත් දැම්මා. මෙ ්ගිනි අවුලුවන්න පවා තෙත කාලගුනය යම් බාදාවක් වුනා. ඒත්බට පතුරු ඇවිලෙනවා ලෙසට.. ඒ ඇවිලෙන බටපතුරු තමා ඔය.
 කූඩාරම් තිබුනාට නින්ද ගියෙ ්නෑ හරියට.. ඔය ඊලග දවසේ පාන්දර කට්ටිය බහින්න සෙට් වෙලා.

 අපි සෙට් එක දොලහක්. සෙට් එක හැඩල් කරගන්න ටිප් එක හරියට රන් කරන්න තුවාන්, දිලීප ලොකු වැඩකොටසක් කලා. අදකාලේ අපි දන්නව නේ ගමනක් සෙට් කරගෙන යන එකත් ලොකු බිස්නස් එකක්.. විසේසයෙන් මේ වගේ සොබාදාහම් චාරිකා හොද මාකට් එකක්. ව්‍යාපාරික අදහසින් තොර වුනත් බාහොම ලස්සනට කෑම බීම, ගමනේ කූඩාරම්, වතුර නවාතැන්, සපයගෙන වැඩේ කරන්න තුවාන් දිලීප සහ අපේ ටීම් එකට හැකිවුනා.
 අද කාලේ ගමන් කිව්ව ගමන් මුලින්ම එන්නේ බෝතල නැත්තං කෑන්.. එත් මේ අපේ යාලුවෝ බෝතල කෑන් ගමනේදී පාවිච්චි කලේම නෑ..කන්දක් උඩට ගිහින් බොනවා වගේ නෙමෙයි බහින්න ගියාම.ඒ වගේම පරිසරයේ සුන්දරත්වය විදින්න යනවනම් එතනෝල් කියන්න මට අනුව බාධාවක්. 
 කොහොමද මීදුම ්පාර.. මෙ ්මීදුම පොටෝ ලස්සනයි..ඒත් මීදුම පොද වැස්ස සහ කූඩැල්ලෝ එක්ක ගමන නම් එපා වෙනවා.
මේ කට්ටිය රුහුණු විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ මල්ලිලා ටිකක්. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම හොද කොල්ලො ටිකක්.
මේ අපි නැවතුන තැනක්.. 
සප්ත කන්‍යා යන්න ලේසි නෑ..ඒක පාරක් තොටක් තියෙන තැනක්ෙ නමෙයි.. ගයිඩ් කෙනෙක්ව ගත්තා වුනත් ගයිඩා පාරවල් හරියට දන්නවාද කියලා හොදට අවබෝධයක් තියෙන්න ඕනි. මොකද අපේ ගයිඩ් කෙනාටත් දෙතුන් විඩක්ම පාරවල් වැරදුනා. තද රිස්ක් එකක්..රිස්ක් එකට ලෑස්ති වෙලා මිසක අනේ අපිටනම් ගානක්වත් නෑ කියල වීරයො වෙන්න නම් යන්න එපා..මොකද හැමදාම නැතිවුන අයව ගේන්න හෙලිකෝප්ටර දාවි කියලා අපිට හිතන්න ආමරුයි.

Saturday, July 29, 2017

දෙවන ලෝක යුද්ධයේදී ලංකාව සතුරාට යට නොවුනේ ඇයි


දෙවන ලෝක මහා සංග්‍රාමය අන්ත දෙකකින් ක්‍රියාත්මක වූ මහා සංග්‍රාමයක්. එක් පාර්ශවයකින් ජපානය සිය අධිරාජ්‍යය චීනය සහ අග්නිදිග ආසියාව දෙසට ව්‍යාප්ත කරන්නට උත්සාහ කරන අතර අනෙක් පසින් ජර්මනිය සිය ලෝක රාජ්‍යය යුරෝපය මූලික කොට ගෙන තනාගන්නට වෙහෙසුනා. දෙවන ලෝක යුද්ධය විසින් එවකට ලෝක ජනගහනයෙන් සියයට තුනක පමණ ජනතාවක් ලෝකයෙන් මුළුමනින්ම අතුගා දමන්නට සමත් වූ මහා ව්‍යසනයක් වුනා. 
 
1942 අප්‍රේල් මස 05 වැනිදා කොළඹ වරායට බෝම්බ දැමූ ජපනුන් HMS Cornwall සහ HMS Dorsetshire යන බ්‍රිතාන්‍ය විශාල නෞකා දෙක මුහුදුබත් කලා.  ඊට දින 4කට පසු ත්‍රීකුණාමලයට ප්‍රහාර එල්ල කල ඔවුන්,ගුවන්යාන ප්‍රවාහන විශාල යුධ නෞකාවක් වූ HMS Hermes සහ එහි සහායක නෞකා 4ක් ගිල්වා දමන්නට සමත් වුනා. වාර්ථාවන පරිදි මෙම නෞකාවල සිටි යුධ නාවුකයින් 728ක් ජීවිතක්ෂයට පත්කරන්නට මෙම ජපාන ප්‍රහාර මාලාව සමත් වී තිබෙනවා. 
ජපනුන් විසින් ගිල්වනු ලැබූ HMS Dorsetshire නෞකාව
 එවකට සිලෝන් නම් වූ ලංකාවේ මඩකලපුව ත්‍රීකුණාමලය සහ කොළඹ වරායන්හි නවතා තිබූ  නැව් වලටත් ඒ ආසන්න භූමියේ ස්ථාන කිහිපයකටත් මේ ප්‍රහාරවලින්  දැඩි ලෙස හානි සිදුවුනා. එම ජපාන ගුවන් ආක්‍රමණය සිදු වන්නේ ජපානය ඇමරිකාවේ පර්ල් වරායට බෝම්බ දැමීම හා සමරූපි ලෙසින්.  පර්ල් වරායට බෝම්බ බලකායේ මෙහෙයුම් ප්‍රධානී අදමිරාල් Chuichi Nagumo ඇතුළු එම කන්ඩායම මෙම ලංකාවේ වරායන්ට බෝම්බ හෙලීමට  දායක වී තිබුනා. ඔවුන් එම ගුවන් යානා ගුවන්ගත කරන්නේ  ජපාන පුහාරක ගුවන් යානා නංවන Akagi,Shokaku ආදී නෞකාවන් (Aircraft Carrier) මත සිටයි. එහිදී ත්‍රීකුණාමල සහ කොළඹ වරායේ නැංගුරම් ලා තිබූ සුවිසල් නැව් 5ක් මුහුදුබත් කරන්නට සහ විශාල හානියක් සිදුකරන්නට  එම ජපාන ගුවන් මෙහෙයුම සමත් වුනා. එවකට රේඩාර් වලින් සන්නනද්ධව ප්‍රහාරයකට සූදානමින් සිටියත් පලපුරුදු ජපන් ගුවන් කන්ඩායමට දැඩි අලාභයක් කරන්නට ලංකාවේ එවකට සිටි බ්‍රිතාන්‍ය හමුදා සමත් වී නැහැ. 

දුර ගැටළුව

ජපානය සහ ජර්මනිය යන දෙවන ලෝක යුද්ධයට මූලික වූ ප්‍රධාන පාර්ශව දෙකම ලංකාව සහ ඉන්දියානු සාගරයෙන් බොහෝ දුරස්ථ වූ රටවල් දෙකක්. ජර්මනිය විසින් අවස්ථා ගනනාවකදීම ඊජිප්තුවට ප්‍රහාර එල්ල කරනු ලැබුවත් ඔවුන්ට සූවස් ඇල යටත් කරගන්නට අවකාශ ලැබෙන්නේ නෑ. එම නිසා ජපාන හමුදාවට සහාය පිණිස ජර්මනියට සිය යාත්‍රා දියත් කිරීමේ අවශ්‍යතාවයක් තිබුනත් එය කල හැකි වුනේ අප්‍රිකාව වටා අමතර සති කිහිපයක් යාත්‍රා කිරිමෙන් පමණයි. 

ඉන්දියානු සාගරයට ජර්මානු යූ බෝට්ටු පැමිණි මාර්ගය
 ජලය මතදී යාත්‍රාවක් සේ ධාවනය කල හැකි සේම ජලය තුල කිමිදී සැඟව ප්‍රහාර එල්ල කිරීමේ හැකියාවන්ගෙන් යුත් ජර්මානුන් සතු යූ බෝට්ටු (U Boat) දෙවන ලෝක යුද්ධයේ මිත්‍ර පාක්ෂික නැව් සිය දහස් ගනණක් ගිල්වන්නට සමත් වූ  ජර්මනිය සතු ප්‍රබලතම යුධ උපක්‍රමයක් වුනා. මෙම ජර්මන් යූ බෝට්ටු කිහිපයක් ඉන්දියානු සාගරයේද ක්‍රියාත්මක වුනා. ජපානය ලංකාවට බෝම්බ දමා අවුරුදු 2කට ආසන්න කාලයේදී  1944 පෙබරවාරි 29 වැනිදා ජර්මානු යූ බෝට්ටුවක් වූ U-183 විසින් ගාලු වරායට කිලෝමීටර 740ක් නුදුරේදී Palma නම් ටොන් 5419ක බඩු සහිත වාණිජ නැව ගිල්වනු ලැබුවා. බ්‍රිතාන්‍ය පාර්ශවයේ එම නෞකවේ  නාවුකයින් දෙදෙනකු අහිමි වුවත් 42ක් වූ කපිතාන් ඇතුළු නාවුක පිරිස HMS Balta යාත්‍රාව මගින් බේරාගෙන මාර්තු 2 වැනිදා කොළඹ වරායට ඇරලවා තිබුනා. 
 
ඉන්දියානු සාගරයේ සහ පැසිෆික් සාගරයේ ජපාන හමුදාවට සහාය පිණිස ජර්මානුවන් විසින් එවනු ලැබූ යූ බෝට්ටු ඇණිය Gruppe Monsun ලෙසින් හඳුන්වනු ලැබීය. පෙර කීවාක් මෙන් ඊජිප්තු කලාපය ජර්මානු ආක්‍රමනයට නතු නොවූ බැවින් සූවස් ඇලේ වාසිය ගත නොහැකි වූ මෙම ජර්මානු යූ බෝට්ටු  වලට ඉන්දියානු සාගරයට පිවිසෙන්නට සිදු වන්නේ අප්‍රිකාව වටා යාත්‍රා කිරීමෙනි. ඒ අතරමගදී මැඩගස්කරය ආසන්නයේදී ඒවාට මිත්‍ර පාර්ශවයෙන් ප්‍රබල ප්‍රතිරෝධයක් එල්ල වුවද මැඩගස්කරය පසුකොට ශ්‍රී ලංකාව ආසන්නයෙන් ගොස්  එම ජර්මානු යූ බෝට්ටු 1943 ජුනි ජූලි මාසවලදී සුමාත්‍රා ජාවා දූපත් ආසන්න ජපාන හමුදාවලට සිය සහයෝගය ලබා දී තිබේ. 

1942 මාර්තු 8 වැනිදා සියම හෙවත් වර්ථමාන බුරුමයේ රැංගූන් ද මාර්තු 9 වැනිදා සුමාත්‍රාවද ජපානය අත්පත් කරගන්නා ලදී. සිංගප්පූරුව මැලේසියාව ආදී සමස්ථ අග්නිදිග ආසියාවේම විශාල කොටසක බලය 1942 මැදභාගය වනවිට සතුව තිබුනේ ජපානය වෙතය.  එහෙත් ලංකාව සහ ඉන්දියාවට ඉන්දුනීසියානු සුමාත්‍රාවේ සිට කිලෝමීටර 2000ක  දුරක් ගෙවා ආ යුතුය. ලංකාවට නැගෙනහිර දෙසින් වූ අන්දමන් නිකොබාර් දූපත්ද ජපානය විසින් 1942 සිට 1945 දක්වා වසර තුනකට අධික කාලයක් සිය ආධිපත්‍යයේ තබාගන්නා ලදී.

 එහෙත් ජපනුන් විසින් ඉන්දියානු සාගරයේ නාවුක බලය මඩිනු පිණිස කොළඹ වරාය ත්‍රිකුණාමලය ආදී ස්ථානවලට සහ බ්‍රිතාන්‍ය නැව් වලට ප්‍රහාර එල්ල කලා විනා ලංකාව අල්වාගන්නට විශාල ලෙස සැලසුමක් තිබූ බවක් නොපෙනේ. එහෙත් යම් ලෙසකින් ජර්මානු සහ ජපාන අන්තයන් දෙක එකතුවීමේ සැලසුම ඉන්දියානු සාගරයේදී සාර්ථක වූයේ නම් ඇතැම් විට ලංකාවට එයින් යම් බලපෑමක් එල්ල වන්නට ඉඩ තිබුනි.

ඉන්දියානු උපමහද්වීපයේ බලය

ලංකාව 1815ට ප්‍රථම සම්පූර්ණයෙන්ම වෙනත් ජාතියකට යටත් වී නොමැති මුත් ක්‍රි.ව 1500ට ප්‍රථම උතුරු පලාතේ කොටස්ද ඉන් පසු යුරෝපීය ජාතිකයින් විසින් වෙරළබඩ කලාපයේ කොටස්ද පාලනය කරන ලදී. ලංකාවෙන් කොටස් අල්වාගෙන සිටි කාලිංග මාඝ, දකුනු ඉන්දීය ආක්‍රමණිකයන්,  පෘතුගීසි, ලන්දේසි සහ සම්පුර්ණයෙන්ම යටත් කරගත් බ්‍රිතාන්‍යයන් සැලකූ කල එක් පොදු ලක්ෂණයක් තිබේ. එනම් ඔවුන් අඩුතරමේ දකුණු ඉන්දියාවේ කොටසක හෝ බලය සහතික කොට ගෙන ඉන් පසු ලංකාවේද බලය නතු කරගෙන තිබේ. පෘතුගීසි ලන්දේසි යුගයේදී ඉන්දියාවේ කේරළය සහ ගෝව ඔවුන්ගේ ප්‍රධාන වෙළඳ මධ්‍යස්ථානයක් විය. ඒ අනුව ඉන්දීය උපමහද්වීපයේ පහල කොටසක හෝ බලය ලංකාව යටත් කරගන්නා කවර  ජාතියකට වඩාත් වැදගත් සාධකයක් වේ.  
ලෝ යුධ සමයේ ගිලුනු අහස්යාත්රාවක් ගොඩට අදින ලාංකික පිරිසක්
1818 උඩරට මහ කැරැල්ල ගැන වූ ඉංග්‍රීසි ආණ්ඩුවේ ලිපි ලේඛන පිරික්සීමේදීද යම් ලෙසකින් උඩරට කැරැල්ලක් සාර්ථක වුවද ඉන් පසු කලෙක ඉන්දියාවේ සිට පැමිණෙන ඉංග්‍රීසි හමුදා විසින් නැවත කැරළිකරුවන්ගේ බලය අභියෝගයට ලක් කිරීමේ දැඩි අවධානමක් තිබූ බැව් පැහැදිලිව නිගමනය කල හැකිය. 

ජපානය විසින් බුරුමයේ මායිමද පසුකොට ඉන්දියාවේ ඇසෑම් කෙළවර දක්වා බලය ව්‍යාප්ත කරගත් මුත් ඉන්දියාව ඔවුන් සතු කරගන්නට ජපනාට නොහැකි විය. එම කාලයේදී නොබෙදුනු ඉන්දියානු මහා උපමහද්වීපයම බ්‍රිතාන්‍ය සතුව තිබූ සුවිසාල යටත්විජිතයකි. ඉන්දියානු ජාතික කොන්ග්‍රසයේ පතාක යෝධයෙකු වූ සුභාෂ් චන්ද්‍රා බෝෂ් බුරුම අන්තයේ ජපාන හමුදා වෙත සහාය දැක්වුවද එහි බලපෑම සිතූ තරම්ම දැඩි වූයේ නැත. ඉන්දියානු උප මහද්වීපය විශාල බලයක් සහිත බ්‍රිතාන්‍යයට නතුව තිබියදී ජපානය විසින් ඉන් පහල තිබෙන ලංකා දිවයින යටත් කරගෙන පවත්වාගෙන යෑම සැබැවින්ම විශාල අභියෝගයකි.

බ්රිතාන්යෙය් බලය

එවකට හිරු නොබසින අධිරාජ්‍යය ලෙස විරුදාවලිය ලත් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ පැවැත්මට දෙවන ලෝක යුද්ධය විශාල අභියෝගයක් වූ නමුත් එම යටත් විජිත වැසියන්ගේ දේශපාලන නිදහසට එය වෙස්වලාගත් ආශිර්වාදයක් විය. බ්‍රිතාන්‍ය මෙන්ම නෙදර්ලන්ත, ප්‍රංශ යටත්විජිත රැසකට දෙවන ලෝක යුද්ධයෙන් පසු දේශපාලන නිදහස ලැබෙන්නට විය. 

ඇඩොල්ෆ් හිට්ලර් ප්‍රමුඛ ජර්මානු අධිරාජ්‍ය පිණිස සටන් වැදි ඇණිය විසින් බ්‍රිතාන්‍ය ඇමරිකා සහ යුරෝප නාවුක බලය කෙරෙහි දැඩි බලපෑමක් එල්ල කරනු ලැබීය. සමස්ථ ලෝකයේ සැපයුම් ජාල වෙළඳ ජාල උඩු යටිකුරු කරන්නට මෙම හිට්ලර්ගේ හමුදාවනට අවකාශ ලැබුනි. යටත් විජිත රැසක හිමිකාරිත්වයෙන් මිහිපිට දෙවියන් බඳු සැප මාලිගවල සිටි එවකට එංගලන්ත ජාතිකයන්ට සිය අහර කිස පිණිස ගෙවතු වැඩ කරන්නට නැවත වගාබිමට බහින්නට දෙවන ලෝක යුද්ධය විසින් පාර කපන ලදී. 

ජර්මානු හිට්ලර්ගේ යුධ පිවිසුමේදී සෝවියට් දේශ්‍ය ආක්‍රමනය කරනවාට වඩා දුරින් ආසන්න වූ ප්‍රංශය සහ මහා බ්‍රිතාන්‍යය යටත් කරගන්නට සම්පූර්ණ බලය හිට්ලර් විසින් යෙදවූයේ නැත්තේ මන්දැයි ඇතැම් ඉතිහාසඥයින් විසින් ප්‍රශ්ණකරන ගැටළුවකි. එවකට ආහාර ගැටළුවකට මුහුනපා සිටි ජර්මනිය සිය ආහාර අවශ්‍යතා වෙනුවෙන් සෝවියට් දේශයේ වගාබිම් හරහා සිය යුධ මෙහෙයුම් කරන්නට ඇති බව ඒ ගැන ඇති එක් ප්‍රබල මතයකි.
 ජර්මානු ගුවන් බෝම්බ වලින් ගිනිගෙන දැවෙන ලන්ඩනය
1940 සැප්තැම්බර් 07 වැනිදා බ්‍රිතාන්‍යය දෙසට පැමිණෙන ජර්මානු යානා 1000කි.  අහසේ දකින මහා කුරුළු රෑනක් සේ ජර්මානු බෝම්බ රැගත් යානා බ්‍රිතාන්‍ය වෙත ආහ. පැමිණ ලන්ඩනය ඇතුළු සියලු බ්‍රිතාන්‍ය ප්‍රබල නගර සියල්ලම සුනු විසුනු වී යන පරිදි බෝම්බ හෙලනු ලැබීය. ඊළඟට එලැඹි රාත්‍රීන් 76ක් පුරාවට දිනපතාම ලන්ඩනයට සහ මහා බ්‍රිතාන්‍යෙය් සෑම නගරයකටම ජර්මානු බෝම්බ පතිත විය. එහෙත් එයින් බ්‍රිතාන්‍යය මට්ටු කරන්නට ජර්මානුන්ට නොහැකි විය.වර්ශාවක් මෙන් පතිත වූ මෙම බෝම්බ වලින් පිපිර ගිය නොගිය බෝම්බ සොයාගැනීම් ඉතාම මෑතක් වනතුරුත් ලන්ඩන් නගරයෙන් වාර්ථා වෙමින් තිබුනි.  ජර්මානුවන් සතුව තිබූ යූ බෝට්ටු මගින් මෙට්‍රික් ටොන් ලක්ෂ ගණනක බ්‍රිතාන්‍ය වෙත වූ ආහාර සහ සැපයුම් නැව් පිටින් ගිල්වනු ලැබීය. අහර සලාකයකින් යාන්තම් සප්පායම් වෙමින් රාත්‍රියට බෝම්බ බියෙන් ගැහෙමින් එකල ලන්ඩන් වැසියන් ගෙවූ කරුම දිවිය ලෝක යුද්ධයේ තවත් එක් පැතිකඩක් විය. 
 
යම් ලෙසකින් එවකට අපද අයිතිව සිටි බ්‍රිතාන්‍ය අධිරාජ්‍යෙය් හදවත බඳු මහා බ්‍රිතාන්‍යය ජර්මනිය සතු වීනම් එවකට සිලෝන් දිවයින වූ ලංකාවද ඉබේම ජර්මානු යටත් විජිතයක් වනු ඇත. ජර්මානු යුද්ධයෙන් ජයගත්තේ ඇමරිකාව බ්‍රිතාන්‍ය ප්‍රමුඛ මිත්‍ර සන්ධානය නිසා බ්‍රිතාන්‍යය ජර්මනියට යටත් වීම කිසිසේත්ම නොවිය හැකි ඉතාම අභව්‍ය දෙයක් ලෙස යුද්ධයෙන් ජයගත් පාර්ශවය විසින් අතිශයෝක්තියෙන් ලියූ බොහෝ වාර්ථා වල දැක්වේ. එහෙත් යුද්ධයේ මුල් කාලයේදී ජර්මනිය සහ ජපානය යනු  විරුද්ධ මිත්‍ර පාර්ශව සිතූ තරම්ම  සරල වූ පෙරමුණක් වූයේ නැති බැව් ඔවුන් සිදුකල විනාශයන් පිරිස්ක්සීමේදී පෙනී යයි. 
 බ්‍රිතාන්‍ය හමුදාවට සෙබලුන් බඳවාගන්නා දැන්වීමක්
 ලාංකික දේශපාලන පසුබිම
 
1940-42 වනවිට ලාංකික ස්වදේශිකයින්ට බලය යම්තාක් ලබාදී මෘදු පාලනයකට බ්‍රිතාන්‍ය රජය කැමති වෙමින් තිබුනි.  ජපානය විසින් නතුකරගත් ඉන්දුනීසියානු දිවයින් සිංගප්පූරුව මලයාව, පිලිපීනය, වියට්නාම සහ චීන ජාතිකයින්ට බොහෝ තැන්වලදී  ජපනුන් සලකා තිබුනේ ඉතාම කෘෘරතර ලෙසයි. ජේ ආර් ජයවර්ධන මහතා පසුකලෙක පවසා තිබූ පරිදි ඔවුන් ජපානයට ලංකාව නතු වී නම් කුමක් කරන්නේද යන්න ජාතික දේශපාලකයින් ලෙස රහසිගත සාකච්චා වල පවා නිරත වී තිබුනා. ජර්මනියට හෝ ජපානයට ලංකාව නතු නොවීම , ඔවුනට යටත් වූ රටවල් වල එකල ඉරණම දෙස බැලීමේදී අපගේ එකල විසූ ආච්චිලා සීයලා ලැබූ වාසනාවකි . බලකාමයෙන් මත් වූ  රණකාමින් යනු වර්ථමාන ඉතා දියුණු ගති සිරිත් ඇති ජර්මානුවන් හෝ ජපනුන් නම් නොවෙයි. 

දෙවන ලෝක යුද්ධයේදී අපි අයින් වෙලා තිබුනේ ඇය ිකියන කාරණාවට අවශ්‍ය සැලකිය යුතු කාරණා කිහිපයක් ඔබට මෙයින් ලැබෙන්නට ඇති. ඔබටත් ඒ ගැන අදහස් තිබේ නම්  හුවමාරු කරගන්න අමතක කරන්නට එපා.