Showing posts with label Linux. Show all posts
Showing posts with label Linux. Show all posts

Thursday, October 24, 2013

උබන්ටු 13.10 ඒකත් කලිං වගේම අජූතද?

ලංකාවෙ පරිඝනක භාවිතා කරන අයගෙන් අති බහුතරය භාවිතා කරන්නෙ වින්ඩොස් හොර කොපි. මේ ලංකාවෙ සාමාන්‍ය පරිඝනක භාවිත කරන කෙනකුගේ පරිඝනකයකට නිකමට ඇතුලු වෙලා බැලුවොත් දකින්න තියෙන ඉතාම සාමාන්‍ය දෙයක් තමයි මැසිම භාවිත කරන කෙනාට වැඩිය මැසිමෙන් වැඩ ගන්නෙ වෙනත් පාර්ශව. මැසිමෙ සමස්ථ ධාරිතාවෙන් විශාලකොටසක් වෛරස් වලට හෝ වෛරස් ආරක්ෂන මෘදුකාංග වලට වැයවෙනවා. ඉතිරියත් ඉතිං මැල්වෙයාර් වලට සහ වෙනත් කේස් වලට වියදං වෙනවා. දාගෙන ඉන්නෙ ක්‍රැක් වර්ශන් එකක් නම් බොහෝවිට මෙහෙයුම් පද්ධතිය යාවත්කාලීන(update)නොවීමේ ගැටලුවක් මතු වෙනවා. 

උබුන්ටු වලට වෛරස්(virus) එන්නෙම නැද්ද?

ඒකට හේතු කීපයක් තිබෙනවා.එකක් තමයි ලිනක්ස් කොයි තරම් හොඳ වුන්ත ලොකු මාකටින් කැම්පේන් නැති නිසා මිනිස්සු අතර ජනප්රිය නැති එක සහ යූසර්ලා අඩු එක. යූසර්ලා අඩු ඕ ඇස් එකකට වෛරස් හදනවාට වඩා වාසියි ගොඩක් අය පාවිච්චි කරන වින්ඩොස් වගේ එකකට වෛරස් හදන එක.  කෝම උණත් මම ලිනක්ස් පාවිච්චි කරන්නෙ 2007 ඉඳන්. මේ වනතෙක් මගේ මැසිමකට දන්න කියන කාලෙක වෛරසයක් ඇටෑක් කරලා ස්ටක් වෙලා නැහැ. වෙනත් පොඩි පොඩි ඩ්‍රයිවර් කේස් අනම් මනම් ගියත් මැෂින් ස්ටක් වෙච්චි වාර ගාන නම් ඉතාම අඩුයි. 

උබුන්ටු 1310 මාස නවයයි නේද?

උබුන්ටු අලුත් දිගු කාලින සංස්කරණ විදියට උබුන්ටු 1404 නිකුත් කරන්න හිතාගෙන ඉන්නවාලු. ඒනිසා උබුන්ටු ලාගේ 1310 මෙහෙයුම් පද්ධතිය සඳහා යාවත්කාලීන කිරීම් කරන්නෙ මාස නවයක් විතරයි. කොහොම වුනත් ඊළඟ මෙහෙයුම් පද්ධතිය ආවම අපිට මාරුවෙන්න පුලුවන් නිසා ලොකු අවුලක් නම් මතු වෙන්නෙ නැහැ. මංගාව තියෙන ලැප්ටප් එක දුර්ලභ එකක්. ඒකෙ වෙනම පොඩි වීඩියෝ කාඩ් එකක් කාරිය තියෙනවා. ඒත් ඒ මැසිම උබුන්ටු 1310 එක්ක බබා වගේ වැඩ. තව ඉතිං අපේ බෝඩිමෙ තියනෙ හුවායි ඩොංගල් ජාති හතරක්ම යසට අලුත් උබුන්ටුවත් එක්ක වැඩ කරනවා.

ඔය අලුත්ම එකේ තියෙන වැඩකිඩ මොනවද?

මේකෙ කියලා මහා ලොකු වෙනසක් නම් වෙලා නැහැ. ඒත් ඉතිං හැමදාම වගේ පෙනුම වෙනස් වෙලා තියෙනවා. උබුන්ටු වල තියෙන එක වාසියක් වෙන විශාල ගනනක් මුහුනත් හෙවත් ඩෙක්ස්ටොප්(KDE,gnome,Xfce,LXDE) පාවිච්චි කරන්න පුලුවන් එක. අපිට අවශ්‍ය වෙලාවට අවශ්‍ය විදියට අපිට පෙනුම වෙනස් කරගන්න පුලුවනි. අඩු හාඩ්වෙයාර් වලට අවශ්‍ය විදියට අපිට උබුන්ටු ලබාගන්නත් පුලුවන් එක එක වර්ශන් වලින්. මේ අලුත්ම උබුන්ටු ජාතිය ඒ ආර් එම්. (ARM core)එනම් මොබයිල් පෝන් වලට සවිකරන ප්‍රොසෙසර සඳහාද සහයෝගය දක්වනවා කියලා සඳහන් වෙනවා. ඒ කිව්වෙ මා කලිං ලිව්ව රාස්බෙරි පයි වාගෙ එකකට මේ උබුන්ටු 1310 ලේසියෙන්ම සහයෝගය දක්වනවාලු. මේ පොඩි ඒ ආර් එම් ප්‍රොෙසසර වලට සපෝට් කරන එකත් අලුත් දෙයක් නෙමෙයි කියලයි යාලුවො නම් කියන්නෙ. කලිං උබුන්ටු වර්ශන් වලත් ඒ ආර් එම් වලට වෙනම වර්ශන් එකක් ඇවිත් තියෙනවා. 

උබුන්ටු හැමෝටම හොඳයිද?

ඇත්තටම උබුන්ටු කියන එක හරි පුලුල් පරාසයක්. උබුන්ටු වලට එක එක කොටස් ඇතුලත් කරලා දාන ඇප්ලිකේශන්ස් වෙනස් කරලා එක එක ජාතියෙ උබුන්ටු සංස්කරණ නිකුත් වෙනවා.
මීඩියා වැඩ හෙවත් වීඪියෝ පොටෝ එඩිටිං සහ පබ්ලිෂිං වැඩ වලට හරියන්න මීඩියා උබුන්ටු (media ubuntu)කියලා සංස්කරණයක් නිකතු වෙනවා. 
පොඩි ලමයින්ට සහ ලොකු ලමයින්ට වටින මෘදුකාංග රාශියක් එකතු කරලා එඩියු උබුන්ටු (edubuntu) කියලා තවත් අධ්‍යාපනික මෙහෙයුම් පද්ධතියක්එනවා. 
ඒ වගේම තවත් උබුන්ටු ඇසුරෙන් නිර්මාණය වුන ලිනක්ස් මින්ට්(Linux Mint) වගේ මෙහෙයුම් පද්ධතිත් ගනනාවක් තිබෙනවා. 
අපිට වින්ඩොස් සෙවන් දාන්න නම් මැෂිමකට අවශ්‍ය කරන හාඩ්වෙයාර් ප්‍රමාණයක් තියෙනවා. උදාහරන විදියට දැන් පෙන්ටියම් 4 වර්ගයේ පරිඝනකයට වින්ඩොස් 8 කිට්ටු කරලා අපිට වෙබ් බ්‍රව්සින් කරන්න, සහ වෙනත් වැඩ කීපයක් එකවර කරන්න අමාරුයි. නමුත් උබුන්ටු වල තියෙන අලුත්ම වර්ශන් එකවෙන 1310 වර්ශන් එකත් පරණ පරිඝනක වලට දාන්න පුලුවන් විදියට ලුබුන්ටු(Lubuntu) සහ එක්ස් උබුන්ටු(Xubuntu) කියලා වෙනමම සංස්කරන එනවා. 

අලුත්ම එක ගත්තම තියෙන ආතල් එක මොකද්ද?

අපි අලුත් කලිසමක් කමිසයක් ගන්නෙ පරණ එක අඳින්න බැරි හින්දම නෙමෙයි නේ. පොඩ්ඩක් ඉතිං වැඩකෑලි දාල සෝබනයක් දාන්නත් ඕනි නේ.මොකෝ අපි සාන්තුවරු නෙමෙයි නෙව හැමදාම හම්පඩ අඳින්න.  අපි ගොඩ දෙනෙක්ට අර දොස්තරලා කාර් මාරු කරනවා වගේ ලැප්ටප් හෝ ඩෙක්ස්ක්ටප් අවුරුද්දෙන් අවුරුද්ද මාරු කරන්නත් වැඩිය සල්ලිය බාගෙ නැහැ නෙව. අනික ඒ වගේ මාරුකරලා අපට කොරගන්න මහ බක්කකුත් නැහැ නේ. මේ අලුත් උබුන්ටු ඕ ඇස් එක දාල ටිකක් ඒකට හුරු වුනාම අපිට වින්ඩොස් 8 භාවිත කරන යාලුවන්ට පේන්න පොඩි වැඩ කිඩ ටිකක් දාන්න හැකි.ඒ වගේම අලුත් ඇඳුමක් බෝනික්කාට ඇන්දුවා වගේ අලුත් පෙනුමක් අලුත් හැඩයක් ඔබේ පරිඝනක වැඩවලට ළඟා කරගන්නත් උබුන්ටු අලුත් සංස්කරණය හේතු වාසනා වෙනවා. 

 ඇපල් හරි වින්ඩොස් හරි දාල වැඩ පෙන්වන්න ගියොත් එක්කො හොරකොපි දාගන් ඕනි නැත්නම් සල්ලි දීල ගන්න ඕනි. උබුන්ටු ලැබෙන්නෙ තනිකර නොමිලේ. ඒ නිසා අපිට කිසි වියදමක් මහන්සියක් නැතුව ගිගාබයිට් එකක් වියදම් කරලා උබුන්ටු වලට මාරු වෙන්න පුලුවනි. දැන් ලේට් නයිට් පැකේජ් තියෙන නිසා රුපියල් පනහට වුනත් ගිගා බයිට් එකක් අපිට ලබාගන්න හැකි වෙනවා. 

ඕ ඇස් තුන හතර දැම්මම මැසිම කේස් වෙයිද?

මේක ගැනුලමයිට වගේ එන ජාතියෙ දරුණු ගැටලුවක්. ඉස්සර කාලෙ ටීවි එක ගත්තම ගෙදරකට ඒක අල්ලන්නත් වෙලාවක් තියෙනවා. පිහදාල උඩින් රෙද්දක් දාල ලස්සනට තමයි අපි ඒක පාවිච්චි කරන්නෙ. තාමත් පරිඝනකය කියන එකත් සමාරු ඒ විදියට භාවිතා කරන්න උත්සාහ ගන්නවා. ලැප් එක ගත්තාම මාස ගානක් යනකල් ඒකෙ එන අර ගැස්සීම් වලට ඔරොත්තු දෙන විදියට පැක් කරන ටේප් කෑලි ගලවන් නැහැ. පැක් එකේ එන පොඩි ස්පන්චි කෑලි පවා සමාරු කාලයක් පාවිච්චි කරනව. කොටින්ම මගේ යාලුවෙක් ටච් පෑඩ් එකට උඩින් අලවලා එන ස්ටිකරේ පිටින් ලැප් එක ටච් පෑඩ් එකක් යනකල්ම පාවිච්චි කලා. 

නමුත් දැන් පරිඝනක බොහෝවිට හදලා තියෙන්නෙ ටිකක් සැර පාවිච්චියට ඔරොත්තු දෙන විදියට. ඕක බබෙක් වගේ රැකබලා ගන්න ඕනි නැහැ. කකුල උඩ තියාගෙන මඳ ගැස්සීමක් යටතේ වුනත් පාවිච්චියට ගන්න පුලුවන් මට්ටමට තමයි දැන් ලැප් හදන්නෙ. මේ ලැප් වල ට හෝ ඩෙක්ස්ටප් වලට මෙහෙයුම් පද්ධති දෙක තුනක් දැම්මාය කියලා ලොකු අල ගෙඩියක්වෙන්නෙ නැහැ. ඕනිම නම් ඔෆිස් වැඩවලට වින්ඩොස් කොපියක් දාගෙන ඉන්ටනෙට් එකට ලොග් වෙනවිට උබුන්ටු හරි ලිනක්ස් එකකට හරි මාරුවෙන්න පුලුවන්. ඉන්ටනෙට් බ්‍රවුසින් වලට ලිනක්ස් හොඳයි කියන්නෙ ලිනක්ස් වලදි වෙන වෙන අනවශ්‍ය ටූල් බාර්, සොෆ්ට්වයාර්, ආදිය ඇවිල්ලා පරිඝනකයට ඇතුල්වෙලා කෝලං කරන්න තියෙන අවස්ථාව බොහොම අඩු නිසා. 

ලිනක්ස් ගැන අපි කියනකොට සමාරු හිතනවා අඩේ මේ මුං මේ අයිටී කාපර්ලා උන්ගේ ලොකුව කියවන්න මේ හදන්නෙ කියලා. ඇත්තටම දැන් උබුන්ටු හෙම හරිම පහසුයි පාවිච්චි කරන්න. ගොඩක් ග්‍රැෆිකල් ටූල්ස් ඒ කිව්වෙ පිංතූරෙ ඔබන කෑලි එනවා. කොමාන්ඩ් ගහන්න නැත්තටම නැති තරම්. තවදුරටත් උබුන්ට හෝ ෆෙඩෝර හෝ ලිනක්ස් පාවිච්චි කරනව කියන්නෙ ලොකු කමට හේතුවක්නෙමෙයි. අනික මම ඇවිල්ල අයි ටී කාපර කෙනෙක් නෙමෙයි. අපේ මහන මැසින් හදන කාපර් කෙනෙක් වෙච්චි අයියා කෙනෙක් වෙන ලක්මාල් කන්දෙවිතාන උන්නැහෙත් ළගදි ලිනක්ස් වලට මාරු වෙලා තිබුනා. 

ලක්මාල් අයියත් අයි ටී ගැන මහ පරතෙරක් දන්න මහ ලොකු අයි ටී පප්පෙක් නෙමෙයි. නමුත් ගෙදර පාවිච්චියට වැඩක් කොරගන්න ලිනක්ස් ඕ ඇස් එකක් පාවිච්චි කරන්න දැන් එතුමා දන්නවා. ලිනක්ස් වලට ආස කරන අයටත් නැති අයටත් උබුන්ටු 1310 හොඳ ලස්සන ඕ ඇස් එකක්. නැති ඇපල්, ජනේල ගැන වාත වෙවී ඉන්න නැතුව ඔබත් ට්‍රයි කරලා බලන්න අලුත්ම උබුන්ටු 1310 (Ubuntu 13.10) .

Monday, October 7, 2013

රාස්බෙරි පයි

නීල් ආම්ස්ට්‍රෝන් හඳට යන රොකට් එකේ තිබුන පරිඝනකයේ ධාරිතාවයට වඩා අද භාවිත වෙන ස්මාට් වර්ගයේ ජංගම දුරකථනයක පවතින වේගය වැඩියි කියලා කොහෙදෝ තැනක තිබුනා. නීල් ආම්ස්ට්‍රොන් හඳට යන්නෙ 1969දි. ඊට කලිං ලෝක යුද්ධ දෙකක් සිද්ද වුනා. මෙයින් දෙවනි ලෝක යුද්ධයෙදි විවිධාකාර අවි ආයුධ සහ උපකරණ සහිත තාක්ෂණ රාශියක් ලෝකෙට එකතු වුනා. නමුත්දෙවනි ලෝක යුද්ධය තිබුනෙත් 1950 දි. ඒ වෙනකොට සන්නිවේදනය සහ තාක්ෂණය අද එක්ක සංසන්දනය කරනකොට තිබුනෙ බොහොම පහල අඩියක. එතකොට දෙවන ලෝක යුද්දෙදි තිබුන උපකරණ කොයි තරම් ප්‍රබල සහ විනාශකාරි වුවත් ඒවායේ බොහෝවිට තිබෙන්නට ඇත්තේ ඉලෙක්ට්‍රොනික උපාංග වලට වඩා යාන්ත්‍රික කොටස්.

800 මෙගාහර්ට්ස්(800Mhz) පරිඝනකයක් කියන්නෙ මීට වසර දහයකට එපිට තරමක් විශාල වේගයක් සහිත පරිඝනකයක්. නමුත් අද ලොකු ප්‍රොෙසසර ආවට පස්සෙ සහ නව වීඩියෝ මෙමරි සහ දෘඩාංග (Hardware) දියුණුවත් එක්ක දැන් දැන් අපි සංඛ්‍යාත්මකව ගිගා හට්ස්, ගිගා බයිට් වලින් පරිඝනක දෘඩාංග ගැන කතාකරන තැනට ඇවිත්. ඒ නිසාම අපි අවිඥාණිකවම අර අඩු වේග තියෙන ප්‍රොෙසසර සහ මතකයන් පිළිබඳ තැකීමක් කරන්නෙ නැහැ. නමුත් 800 මෙගාහර්ට්ස් පමණ වේගයක් කියන්නෙ සාමාන්‍යෙයන් විශාල යන්ත්‍ර සූත්‍ර ක්‍රියාත්මක කරන්න ලොකු වැඩක් කරන්න පුලුවන් මට්ටමේ හැකියාවක් තියෙන ප්‍රොෙසසරයක්. 

රාස්බෙරි පයි කියන්නෙ මොකද්ද?

රාස්බෙරි පයි කියන්නෙ පොඩි සයිස් එකේ පොඩි වැඩවලට ගන්න පුලුවන් පරිඝනක යන්ත්‍රයක්. පොඩි සයිස් සේකිට් කෑල්ලක් විදියට පෙනුනට මේකෙන් ගන්න පුලුවන් වැඩ කිඩ බෝමයි. මේ ජාතියේ පරිඝනක වලට දැන් කියන නම තමයි තනි පුවරුවේ පරිඝනක(Single Board Computer). තනි පුවරුවේ පරිඝනක වලින් ලාභම කාර්යක්ෂමතාවයෙන් වැඩිම වැඩි දෙනෙක් පාවිච්චි කරන එකක් තමයි රාස්බෙරි පයි(Raspberry Pi) කියලා හඳුන්වන්නෙ. මේ ජාතියේ තනි පුවරුවේ පරිඝනක දැන් දැන් ජනප්‍රිය වේගෙන එනවා. පරිඝනකයක් කිව්වාම ඉස්සර වගේ ලොකු ලොකු සයිස් එකේ හාඩ්වෙයාර් වලට යන්නෙ නැතුව පොඩි පොඩි වැඩට පොඩි පොඩි සේකිට් කෑලි අටෝගන්න පුලුවන් සරල තාක්ෂනයක් තමයි මේ තනි පුවරු පරිඝනක වල තියෙන්නෙ. 

 මේ තියෙන්නෙ රාස්බෙරි පයි කියන කෑල්ලෙ රූපරාමුවක්. මේ තියෙන විදියට මේ පරිඝනක ටිකක්දන්න කියන අයට නම් මේ කියන කෑලි බෑලි ටික හොඳටම වැටහෙනවා ඇති. මීට අමතර විස්තර ඕනි අය ඉන්නෝ නම් මෙතනින් විස්තර ටික ගත හැකි බබා වගේ.. 

මෙතනදි භාවිත කරන ප්‍රොෙසසර් එක ඇවිල්ලා ජංගම දුරකථන නිපදවන්න යොදාගන්න ජාතියෙ ප්‍රොෙසසර එකක්. ඒවායෙදි ප්‍රධාන වැඩකටයුතු වගේම වීඩියෝ හැසිරවිමත් එකම පුවරුවකින් කරන්න හැකියාව තිබෙනවා. 

 මේ සූටි පරිඝනක කොටසට පුලුවන් HD multimedia applications හයි ඩිෆිනිෂන් වීඩියෝ උනත් බලන්න. මම දැකපු ගෙදර තිබුනා අඟල් 42 ටීවි එකක් ඒකට මේ කෑල්ල ගහලා  අන්තර්ජාලයට සම්බන්ධ කරලා යූ ටියුබ් එකේ තියන  බෙන් ටෙන් කාටුන් එක පොඩි එකෙක්ට පෙන්වන්න ඒ ගෙදර හිටපු මාගේ යාලුවා සමර්ථ වුනා.

මේකෙ මිල හෙම.

මේක චීන කෑල්ලක් නම් නෙමෙයි. මේක ඇවිල්ල ඔරිමජිනල් එංගලන්ත බඩුවක්. එක්සත් රාජධානියෙ (United Kingdom) තමයි මේ කෑල්ල හදන්නෙ. මේ එක කෑල්ලක මිල අමරිකානු ඩොලර් 35ක් වෙන්නෙ. ($35). ඩොලර් තිස්පහ මෙහෙට එන නැව් ගාස්තු අනම් මනම් එක්ක බැලුවොත් රුපියල් 7000ක් විතර වෙයි. ඒ ගානට අපිට අද ස්මාට් පෝන්(Smart Phone) එකක් වත් ගන්න බැහැ. ඒ නිසා මගේ අදහස නම් ඒ ගානට මේ කුඩා පරිඝනකය බොහොම වටිනවා. 

මේකෙ ඇතුල යන ඕ ඇස් මොනවද? 

සිංහලයින් අතර පරණ කියමනක් තියෙනවා යකාගෙ  හැටියට තමයි විමානෙ කියලා. ඒ වාගේ අපිට මේ කෑල්ලෙන් ගන්න පුලුවන් වැඩ වල යම් කිසි සීමාවක් තිබෙනවා. මේකෙදි අපිට භාවිත කරන්න නම් එස් ඩී කාඩ් එකක් පාවිච්චි කරන්න වෙනවා මෙහෙයුම් පද්ධතිය දමා ගන්න.මේ එස් ඩී(SD Card)  කාඩ් එක 10 වෙනි පංතියේ(Class 10 memory Card)  හොඳ වර්ගයක එස් ඩී කාඩ් එකක් වෙනවා නම් වඩාත් හොඳයි. ගිගාබයිට් 4ක(4Gb or Over)  හෝ ඊට වැඩි එස් ඩී කාඩ් එකක් භාවිත කරන එක හොඳයි කියලයි අදාල වෙබ් අඩවියේ නම් තිබුනේ.  පරිඝනකයේ අවශ්‍ය සියලු දේ ඉක්මනින් ලෝඩ් වෙන්න හේතු වෙනවා මෙමරි කාඩ් එක හොඳ වේගයක් තියෙන එකක් වුනොත්. මේක ඇතුලෙ දුවන්නෙ ලිනක්ස් මූලික වෙච්චි මෘදුකාංගයක්. ඇන්ඩ්‍රොයිඩ් හදල තියෙන්නෙත් ලිනක්ස් මූලික කරලා. කුඩා ධාරිතාවක් තිබෙන තැන්වලදි ලිනක්ස් භාවිතා කිරීමෙන් වැඩි වාසි ලබාගන්න හැකියාවක් තිබෙනවා. 

කෙනෙක්ට එන්න පුලුවන් ඇයි මේකට ඇන්ඩ්‍රොයිඩ් දැ්ම්මෙ නැත්තෙ කියලා. ඇත්තටම මේ කෑල්ලෙ අරමුණ අපිට ගෙදර දොර වැඩ කරන්න පරිඝනක කෑල්ලක් හදාගන්න එක නෙමෙයි. මේ සූටි කෑල්ල පාවිච්චි කරලා නව නිපැයුම් නව උපාංග ආදිය තැනීම සහ අතරමැද කොටසක් ලෙස භාවිත කිරීම තමයි මේ කෑල්ල භාවිත කරන එකේ අරමුණ. ඒ වාගේ රාජකාරි වලදි අනාදිමත් කාලෙක ඉදලා ඔය වගේ වැඩ කිඩ රාශියක් එක්ක හොඳ සහයෝගෙන් වැඩ කරපු ලිනක්ස් මෙහෙයුම් පද්ධතිය යොදාගන්න එක වඩාත් වාසිදායක් වෙනවා. උදාහරණ විදියට යම් අයෙක්ට පයිතන්,ජාවා(Python, java) වගේ ක්‍රමලේඛන බසකින් යම් විධානයක් දෙන්න වුනොත් ලිනක්ස් තිබීම වඩාත් වාසිදායක වෙනවා. 

මේකෙන් ගන්න පුලුවන් වැඩ රාජකාරි මොනවද? 

මේ කෑල්ල භාවිතා කරලා අපිට පුලුවන් ලේසියෙන්ම නෙට්වර්ක් කේබලය( Ethernet Connector) හෝ වයිෆයි (Wi Fi) හරහා අන්තර්ජාලයට සම්බන්ධ වෙන්න. අන්තර්ජාලයෙ තියෙන යූ ටියුබ් සහ වෙනත් වීඩියෝ සහිත තැන්වල වීඩියෝ කිසිම ආයාසයකින් තොරවම ටීවී එකෙන් බලන්න අපිට මෙම උපකරණය හරහා පුලුවන් වෙනවා. HDMI කියන අවුට් එක වගේම අපේ ටීවි වල තියෙන කහපාට ජැක් එකකුත් මේ උපකරණයේ තියෙනවා. ඒ හරහා අපිට පුලුවන් පෙන් එකක තියෙන වීඩියෝ මයික්‍රො එස් ඩී එකක තියෙන වීඩියෝ ආදිය කෙලින්ම ටීවි එකෙන් බලන්න. 

මේ උපකරණයට වයි ෆයි ඩොංගලයක් සම්බන්ධ කරලා වයිෆයි සම්බන්ධතාවය ලබාගන්නත් හැකියාව තිබෙනවා. ඒ වගේම කී බෝඩ් මවුන් ආදිය සම්බන්ධ කරගන්න අවශ්‍ය යූ ඇස් බී  දෙකකුත් තිබෙනවා. 

මේ පොඩි උපාංගය පාවිච්චි කරලා ප්‍රෝග්‍රැම් ලියන්න ඒ වැඩසටහන් ආශ්‍රෙන් වැඩකරන එල් ඊඩී බල්බ් වැල්, විවිධ උපකරන පරිපථ කුඩා පරිඝනක ක්‍රීඩා ආදිය නිර්මාණය කරගන්න පුලුවන්. මේ කාලෙ ජනප්‍රිය වෙච්චි ඇන්ග්‍රි බර්ඩ් වගේ පොඩි ගේම්ස් වුනත් මේක ඇතුලෙදි අපිට සෙල්ලම් කරන් හැකියාව තිබෙනවා. 

සයිස් එක 

මේ උපකරණය අපිට තනි සබන් කැටේ දාන්න ගන්න සබන් පෙට්ටියක දාල වහන්න පුලුවන් තරමට පොඩි එකක්. 

මොන කජ්ජක්ද මේ..මේව මොකටද දැන් පෙන්ටියම් පෝ එකක් පන්දාහට ගත හැකි. 

මේ පොඩි සර්කිට් කෑල්ලෙ අරමුණ ඇවිල්ලා කුඩා ළමයින්ට සහ කුඩා වැඩවලට අවශ්‍ය ගණනමය හැකියාව සහිත උපකරණ හදන එක. ඒකටම හරියන මෙහෙයුම් පද්ධතියකින් තමයි මේක සවිමත් වෙලා තියෙන්නෙ. සාමාන්‍යෙයන් හිතන්න ඔබට අවශ්‍යයි පොඩි කාර් සෙට් එකක් හදාගන්න පෙන් එකෙන් සිංදු ප්ලේ වෙන එකක්. ඉතිං අර කිව්ව රාස්බෙරි කෑල්ලට බලය දීලා පෙන්ඩ්‍රයිව් එක සෙට් කරලා පොඩි ඈම්ප් එකක් හරහා ගිහින් හරි ලස්සනට අතේ ගෙනියන සයිස් එකේ ප්ලේයර් එකක් හදාගන්න පුලුවනි. අවශ්‍යනම් වයිෆයි රිමෝට් එකක් පොඩි ඩිස්ප්ලේ එකකුත් සෙට් කරගන්න හැකියාව තිබෙනවා. කොටින්ම වයිෆයි සෙට් කලා කියන්නෙ ඔබට රථයේ යනකොට ට්‍රැෆික් එකකදි ස්මාට් ෆෝන් එකෙන් වුනත් සිංදු මාරු කරගන්න හැකියාව ලැබෙනවා. 

හැබැයි මේ වැඩේ කියන තරම් ලේසි සහ සරල සුන්දර නැහැ. ටිකක් හිතන්න කොඩ් කෑලි හොයන්න ඒවා ගහන්න..හාඩ්වෙයාර් අමුනන්න ආදි දැනුම ටිකක් තියෙන්න ඕනි. ඒ වගේ වැඩ කෑලිගොඩකට මේ පොඩි කෑල්ල පාවිච්චි කරන්න හැකියාව තිබෙනවා. 

මේ උපාංගයේ තවත් ඕනිනම් යන්ත්‍ර සූත්තර හදන්නත් ගන්න පුලුවනි. පොඩි සෙංසරයක් හදලා ඒක පහුකරන මීයන් ගාන ගනින්න වගේ දේකට වුනත් මේක ගැලපෙනවා. ඉතිං මේ තරමට කිව්වම මේක සබන් පෙට්ටිය සයිස් නම් ඉතිං තව වාසි කස්ටියට මතක් වෙන්න ඕනි. 


මේක පොඩි බෝතලේකට නැත්තං වෙන හැංගෙන තැනකට පැක් කරලා පේන් නැතිවෙන්න පවර් ආදිය දීලා රෙකෝඩ් වෙන්න කැමරාවක් අටවලා පොඩි සයිස් හොරු අල්ලන ගැජට්ටුවක් වුන්ත හදාගත හැකි. 
කෑල්ල බොහොම පොඩි නිසාත් ගන්න බලය අඩු නිසාත් වැඩ ගොඩක් කරන්න හැකියාවක් තිබෙනවා. 

රාස්බෙරි පයි හදපු සමාගමේ ලොකු තැන් බී බීසි නාලිකාවට කියලා තිබුනෙ එයාලගේ අරමුණ පොඩි ළමයින්ට පරිඝනක සම්බන්ධ දැනුම දෙන එක කියලා. ඒක ඇත්තටම මහ ලොකු ඉදිරි දැක්මක්. මම නම් පොඩිකාලෙ වැඩිය ඉලෙක්ට්‍රොනික් ගැන උනන්දු එක්කෙනක් නෙමෙයි. නමුත් අපේ අයියා පුංචි කාලෙ මාලු ඇතිකලා. මහ ටැංකි පතයක් හදාගෙන ඒකෙ මාලු ඇතිකරලා ඒ මාලු විසාල වුනාම කඩවල් වලට විකුනලා ඒ සල්ලි වලින් පොර එල් ඊ ඩී බලුබ් වැල්, නයිට් රයිඩර් සර්කිට් ආදිය හැදුවා. 

ඔය සර්කිට් උණ තියෙන පුංචි එවුන් ජාතියක් ඉන්නවා. අපේ කාලෙ වගේම අදත් ඇති අපේ රටෙත්. ඒ වගේ එකෙක්ට පොඩියට  පැහැදිලි කරලා මේ ගැන කිව්වොත් එයා ඉන්ටනෙට් සර්ච් කරලා හරි වැඩ කිඩ ටිකක් හොයා ගනීවි. කොහොමත් අවුරුදු 12-18 වයසෙ පොඩි එකෙක්ට සම්පූර්ණයෙන් නිමවෙච්චි  කෑලි දෙනවාට වඩා දෙයක් හදාගන්න හැකියාව තියෙන කෑල්ල්ක දෙන එක වැදගත් කමක් තියෙනවා. 

රාස්බෙරි පයි කියන කෑල්ල කියන්නෙ බහුකාර්ය උපකරණයක්. මේකෙන් කරන් පුලුව්න වැඩ කිඩ ආදිය ගැන සහ ඒවා කරන කොට එන දොස් ආදිය ගැන අපිට මේ වගේ තැනක ලියලා කියන්න හැකියාවක් නැහැ. අලුත් අලුත් දෑ තනන්න කැමති අලුත් විදියට හිතන්න කැමති අයට රාස්බෙරි පයි වටින කෑල්ලක් වේවි.

Monday, June 17, 2013

සිංහල පේන ලාබ ඇන්ඩ්‍රොයිඩ් පෝන් එකක් Sinhala enabled cheap android smartphone

ඔන්න එකපාරක් ඉස්කෝලෙකට ආව අලුත් කොල්ලෙක්. දැන් අර පරණ උන් අර අලුත් එකාට රැග් කරන්න තමයි හදන්නෙ.. අරඅලුත් කොල්ලාත් ලොකු ටෝක්ස් දෙන්න ගියොත් නෑම වැඩිවෙන නිසා බොහොම අහිංසක ලුක් එකක් මූනට දාගෙන ඉන්නවා.. කොල්ලො සෙට් එක ආවා.. එතකොට මූ ගාව තිබුනා අලුත් පැන්සල් පෙට්ටියක්. මූ දැන් පෙට්ටියතත් ඩෙස් එක උඩ තියාගෙන ඉන්නවා..

දැන් අර සෙට් එක ඇවිත් වටවෙලා ඉන්නවා. පෙට්ටිය දැකපු එකෙක්.. මේ තමුසෙට අලුත් පෙට්ටියක් ලැබිල නේ? 
ඔවු අලුත් එකක් ගෙනත් දුන්න අම්ම...
එතකොට කෝ උඹේ පරණ පෙට්ටිය?
ඒක නංගිට දුන්නා..
එතකොට නංගිගෙ පෙට්ටිය....
නංගිගෙ පෙට්ටිය පන්තියෙ කොල්ලෙක් කඩලා..

ඒ කාලෙ ලොකු අවබෝධයක් තිබුනෙ නැතත් ඒක විහිලුවක් වගේ..එකෙක් දෙන්නෙක්ට හිනා ගියාම සෙට් එකම මහ හයියෙන් හිනා වුනා..උන් හිනා වුනාම..මේකෙ මොකක් හරි දෙයක් ඇති කියලා හිතාෙගන හිනාවෙලා මුං ටික පිට් කරගන් ඕනි කියලා හිතාපු අර අලුත් කොල්ලත් හක හක ගගා හිනා වුනා..

යකෝ තොගේ නංගිගේ පෙට්ටිය කොල්ලෙක් කඩල තියෙන සතුටටද තෝ හිනාවෙන්නෙ? උලමා.. එකෙක් සද්දෙන් ඇහුවා..

ඉතිං එතනින් උගේ හිනාව නැවතුනා..

මමත් අලුත් ඉස්මාට් පෝන් එකක් ගත්තා. එතකොට අනික් අයට එන අවුල තමයි කෝ අනික් පෝන් එක කියන එක.. අවසන් වරට තිබුනෙ හුවාවේ ලාගේ රුපියල් එක්දාස් පන්සියට මොබිටෙල් එකෙන් දෙන huawei පෝන් එක..ලාබ උලුදු වඩේ එකේ හිල් තියෙනවා කියන්න වගේ මේ බාන්ඩේ නම් එපා වුනා. පෝන් ටිකක් බස් එකේ තැලෙන කොට ඕප වෙනවා.. කෝල් කට් වෙනවා.. බැටරිය දවසයි. වගේ පොඩි පොඩි දෝස ගොඩක් පොන් එකත් එක්ක නොමිලේම ලැබුනා.

කලිං තිබුනා ඇල්කටෙල් එකක්..ඒක හොරුගත්තා. මං බොරැල්ල පැත්තෙ සැරිසරන අතරෙදි නැතිවෙලා. කම්පෙලෙන් එකක් දැම්මා. දැන් මාස හයක් විතර ඇති. තාම නැහැ උත්තරයක්. මං ඒකෙ අදහස අත ඇරලාදැම්මා.

මටත් හිතුනා ඉස්මාට් පෝන් එකක් ගන්න. ඔන්න එකක් මං ගත්තා
මේකෙ විස්තර මේන්න මෙතනින් බලාගත හැකි පෝන් එකේ නම නම් ඇවිල්ල ගැලක්සි ෆේම්..පිංතූරෙ දැක්කම පේනව ඇති නේ බාන්ඩෙ සැම්සුන් කියලා..

සරලවම ගත්තොත් මේන්න මේ ටික තියෙනවා

Network/Bearer and Wireless Connectivity

  • GSM 3G, HSDPA / HSUPA
  • EDGE / GPRS Quad-band (850 / 900 / 1,800 / 1,900MHZ)
  • HSDPA 7.2, HSUPA 5.76 Mbps (900 / 2,100 MHz 3G Band)
  • Wi-Fi 802.11b/g/n (2.4Ghz)
  • Wi-Fi Direct available
  • GAP, GATT, A2DP, AVRCP, GAVDP, HFP, HID, HSP, MAP, OPP, PAN, PBAP, SPP
  • KIES support

Display

  • TFT
  • 262K
  • 3.5-inch
  • 320 x 480 (HVGA) pixels

Memory

  • 4GB Storage / 512MB RAM

OS

  • Android 4.1 (Jelly Bean)

Chipset

  • Single Core Application Processor
  • Cortex A9 1GHz Processor

Camera

  • 5 Megapixels Camera Resolution (Rear)
 මේක රුපියල් සල්ලි වලිං රුපියල් 20,000/=ක් වගේ ගානකට මට ගන්න පුලුවන් වුනා අරාබියෙ (UAE) ඉන්න යාලුවෙකුගේ මාර්ගයෙන්..මෙහෙ ටිකක් හෙව්වොත් රුපියල් විසි හතර දාහකට විතර ගත හැකි වෙයි.

මේ තියෙන්නෙ මේක ගැන යන දැන්විමක්..

මේ පෝන් එක ගැලක්සි වයි (Samsung galaxy Y) එකට වඩා හොඳයි..ඒ වගේම මේකෙ සිංහල අකුරු (Sinhala Unicode) බොහොම යසට පෝන් එක ගත්ත වෙලාවෙ ඉදල පේනවා..

ගොඩක් අයට තියෙන ගැටලුවක් තමයි සිංහල හොදට පේන අඩුවට තියෙන පෝන් එකක් කියන එක.. මීට වඩා අඩුවට ඩයලොග් එකේ පෝන් එකක් තියෙනවා ඇන්ඩොය්ඩ් නමුත් ඒක ඇවිල්ලා ඇන්ඩ්‍රොය්ඩ් වල පරණ වර්ෂන්( Android 2.3) එකක්. මේක නම්(GT-S6810)  මූලිකව ස්මාට් පෝන එකක් ඔනි කෙනෙක්ට කියාපු බඩුව.

මේක2013 අවුරුද්දෙ අප්‍රේල් වගේ ආපු එකක්. තාම හරියට කවරයක් වත් හෙයාගන්න නැහැ.මගේ යාලුවො ගොඩදෙනක් අලුත් පෝන් එක අල්ලලා ටච් කරලා කාරිය එහෙ මෙහ ඔබලා කිව්වා පෝන් එක ඒ ගාන්ට වැඩිත් එක්ක කියලා..

මම මේ වගේම ඇන්ඩ්‍රොය්ඩ් තියෙන සෝනි පෝන් බැලුවා. සෝනි වල සිංහල හරියට පේන්නෙ නැහැ. රස්සාව වෙනුවෙන් වත් ඉංගිරිසි හරියට ඉගනගත්තෙ නැති අපි පෝන් එක වෙනුවෙන් ඉංගිරිසි ඉගන ගනීයැ. ඔන්න ඔහෙ සිංහල පේන වාසිය නිසාම සැම්සුන් ගැලක්සි පවුලේ අය එක්ක බැදෙන්න හිතුවා. හැබැයි මට නම් ගෙවපු ගානෙ හැටියට පෝන් එක හොදට වටිනවා..
සිහින දැකපු ස්ක්‍රින් සොට් එක.


Thursday, October 25, 2012

ලැප්ටප් ගන්න අයට එන පස්න (laptop sri lanka faq)

අද කාලෙ ලැප්ටප්(laptop) එකක් කියන්නෙ පෝන් එකක් මට්ටමටම නැතත් ටිකක් කොමන්(common) වේගෙන යනවා.. ඉතිං ලැප්ටප් එකක් ගන්න කලිං බලන්න හිතන්න කස්ටියට ගොඩක් දේවල් තියෙනවා...ඒත් ලාබ තැනකින් මොකුත් නොහිතා එකක් අරං යන එකත් එච්චරම අවුලක් නෑ.. මොකද වැඩි පන්ඩිතකම් දාන්න ගියාම සමහර විට කිසි දෙයක් හරියන්නෙ නෑ.. 


 මේ ලැප් එකේ වේගය(speed) අඩුයි වගේ නේද?

ලැප්ටප් එකකත් ඩෙක්සටප්(desktop computer) එකකත් අතර පැහැදිලි වෙනසක් තියෙනවා. බොහොම කුඩා ප්‍රමාණයේ කෑලි ගොඩක් බොහොම පොඩි ඉඩක අහුරලා තමයි ලැප්ටප් පරිඝනක හදන්නෙ. නමුත් ඩෙක්ස්ටප් පරිඝනක වලට තරමක් විශාල ඉඩකඩක් භාවිත කල හැකියි. අවැසි සෑම කොටසක්ම කුඩාවට තැනීමට සිදුවීම සිසිලනය(cooling), බලය සැපයීම(power supply) ආදිය තරමක් හොඳින් ඩෙක්ස්ටප් වල සිද්ද වෙන නිසා සාමාන්‍යයෙන් ඩෙක්ස්ටප් එක ස්පීඩ් වැඩියි..

ලැප් ගන්න යුනිටියයි ලැප්ටප් එල් කේ එකයි නං චාටර්..

 සාමාන්‍යයෙන් ලෝකෙ ජනප්‍රිය බඩු බාන්ඩාදියට ඒ ඒ රටවලට ඒ ඒ අනුමත බෙදාහරින්නන් සහ විකුනන අය ඉන්නවා(Authorized dealers and resellers). ලැප්ටප් ජාති වලටත් හෙමයි. ඉතිං ඒ අනුව ඩෙල්(dell) වලට සොෆ්ට්ලොජික්(softlogic) එකත්, ටොෂීබා(toshiba) වලට ජෝන් කීල්ස් (john keels)එකත්, ඒසර් වලට මෙට්‍රොපොලිටන්(metroplitan) එකත්, ආදි වශයෙන් සමහර විට එකට වඩා ඉන්න නියෝජිතයො ඉන්නවා. එකම පරිඝනකය යුනිටි ප්ලාසා වලට වඩා ඒජන්ත වරුන්ගේ සියයට තිහකින් විතර වැඩියි. ඉතින් යුනිටි ප්ලාසා එකේ රුපිය්ල හැට දාහට තියෙන පරිඝනකය රුපියල් 85න් දාහකට විතර ගන්න පලුවනි ඒජන්ත වරුන්ගෙන්.. 

යුනිටි ප්ලාසා එක සම්බන්ධ තියෙන ලොකුම දෝෂාරෝපනය තමයි වගකීම් සහතික(worranty) සම්බන්ධ ප්‍රශ්ණය. ඒ වගේම ලැප්ටප් ඩොට් එල් කේ (laptop.lk)එකත් කස්ටිය චාටර් කියන්නෙ ඒක නිසා..ඒත් ළඟදි වගේ දාපු අයි ටී ගැලක්සි(IT Galaxy) කියන ෂොප් එක ලැප්ටප් එල් කේ අයගේ කියලා කස්ටිය පිලිගන්න කැමති නෑ වගේ..ලැප්ටප් එල්කේ එකට බෑ කියලා ගිහින් අයිටී ගැලක්සි එකෙන් ගන්නවා.. දෙකේම තියෙන්නෙ එකම තැනයි ලැප්ටප් දෙන්න යුනිටි ප්ලාසා එකේ.. 

මමනං හිතන්නෙ මම ලැප්ටප් කඩයක් දාලා මට 60ටවිතර ගනන ලැප් එක රුපියල් 85න් දාහට ආයෙත් දෙන්න පුලුවන් නම් මට කිසි කතාවක් නැතුව ගැරන්ටි දෙන්න පුලුවනි. මොකද ලැප් පහකින් එකක් ආයෙත් රිටන් වුනත් බිස්නස් එක පාඩු නෑනෙ.. 

අපේ කන්තෝරුවෙ තියෙන පොටෝකොපි යන්තරේ සර්විස් වැඩකටයුතු බාර වෙලා තියෙන්නෙ ඒ පොටෝකොපි මැසිමෙ ලංකාවෙ බෙදාහරින සමාගමට.. අපි අවුරුද්දකට සර්විස් එකට ඒ කිව්වෙ ඇවිල්ලා මොනාහරි අවුලක් ිතයෙද කියලා මාස තුන හතරකට වතාවක් ඇවිල්ල නිකං නිකං ඔලුව දාල යන එකට රුපියල් 13න් දාහක් වියදං කරනවා... ඒ වාගේම පොඩි කෑල්ලක් ගියත් අලි සයිස් බිල් එනවා..මං නිකමට දවසක් මේ ඔරිම ජිනල් පාට්ස් ගේන පැක් එකක් බැලුවා. ඒකෙ තිබුනා චීන නමක් චූටියට.  ඒ නම නෙට් එකේ ගහලා බැලුහම මේං අර ඔරිම ජිනල් කියාපු පොටෝකොපි මැසින් කෑලි හෝල් සේල් ගන්න පුලුවන් තැනක් තියෙනවා..කෑලි සීයක් ගන්නවා නං ඒ ස්පයා පාට්ස් රුපියල් 900ක් වගේ වෙන්නෙ එකකට යන වියදම ෂිපින් වලත් එක්කම...ඒත් අපේ අර ඩීලර් කම්පැනිය අර චීනෙන් ගෙනාපු කෑලි පූට්ටු කරලා රුපිය්ල 15ස් දාහ විසිදාහ බිල් දානවා...ඒවා කම්පැනියෙන් ම වෙනදේවල් නිසා අපිට අතදාන්න බෑ.. ඒත් මං ඩීලස්ල ගැන තිබුන අචල විස්වාසය නං එතනදි සසල වුනා..

අනික අපි මොන බයිලා ගැහුවත් ලෝකෙ හොඳ ලැප්ටප් කම්පැනි එක එක රටවලට එක එක කොළටි වලින් තමයි බඩු හදන්නෙ..අපේ රටේ ඩීලස්ලගෙන් ගත්තා කියලා ඒක ඒ මොඩල් එකේම එක්සත් රාජධානියෙ(united Kingdom), අමරිකාවෙ(USA), ඩුබයි(UAE) වල විකුනන මොඩල් එක නෙමෙයි. අපි ඉන්දියාව පකිසිථානය, බංගලාදේශය වගේ රටවලට වෙනමම කොළටි එකකින් ලෝ බජට් වලට ලැප්ටප් සහ අනෙකුත් උපාංග ගහනවා(laptop,Notebooks,pads,netbooks) ..කොටින්ම දැන් පොත් පත්පවා ඉන්දියානු මුද්‍රනය අඩුවට එනවා.ඒක නිසා අපි ඕතරයිස් ඩීලස්ලගෙන් ගත්තා කියලා ඒකෙ ලොකුම වෙනසක් නෑ.. සමහර විට ලංකාවට බඩු එන්නෙ එකම නැවේ එකම තැනින් වෙන්නත්(shipment) පුලුවනි. ඇත්තටම දකුනු ආසියාව කියන කලාපය සයිස් එකෙන් ටිකක් පොඩි වුනාට සමස්ථ ලෝක ජනගහනයෙන් 27%ක් වාසය කරන්නෙ දකුනු ආසියාවෙ..ඉතින් ඒක නිසා අපි හරි පොඩියි මෙහෙ මාකට්(market) එක ගැන කවුරුත් බලන්නෙ නෑ කියලා අපි ගැන පොඩියට හිතන්න බෑ..

සමහර වෙලාවට මේ රටවලට විශේෂ තත්වයන් වලට හරියන ලැප්ටප් ආදියත් හැදෙනවා වෙන්ට ඇති.
මොකද මෙහේ විකුනන්න තියෙන සමහර ලැප්ටප් වල විස්තර අමරිකන් සයිට් වල පවා නැහැ. ඒ මොඩල් නම්බර එහෙ නැහැ මෙ පැත්තෙ විතරයි තියෙන්නෙ.. 

ආයි ගන්නවයි මොකෝ..ඔන්න ඔහෙ ගන් එකේ හොද වී ජී ඒ තියෙන හොදම එකක් ගන්න ඕනි..හොඳ ලෝන් එකක් දාල හරි...

 .අපි ලැප්ටප් එකක් ගන්නෙ ඇයි සහ අපි ලැප්ටප් එකෙන් කොරන්න යන වැඩ රාජකාරි මොනවාද කියන එක අපි කලින් පොඩි ලැයිස්තුවක් හදාගන්නවා නං හොඳයි. ඒ අනුව වීඩියෝ සකස් කිරීම(video editing), විවිධාකාර පොටෝෂොප්(image editing), ඩ්‍රොවින් ඇඳීම(Cad works) ආදි වැඩ කරනවා නං හොඳ මට්ටමේ වීඪියෝ ධාරිතාවක් සහිත කම්පියුටරයක් ගත්තාට කමක් නෑ. නමුත් අපි වෘත්තිය වශයෙන් ඒ රාජකාරි කරනවානං ඒවාට ඩෙක්ස්ටප් එකක් ගන්න එක හොඳයි...ගේම් වලට වුනත් ලැප් වලට වඩා ඒ මට්ටමේ ඩෙක්ස්ටප් එකක් උචිතයි.. අපි සාමාන්‍ය වීඩියෝ බලන්නනට, ඔෆිස් පැකේජිය(MS Office) වැඩ කරගන්නට, පොඩිපහේ කාඩ් සෙල්ලමක් කරගන්නට වගේ පොඩි වැඩ වලට නං ඉතිං ඇටම් ප්‍රොසෙසර් එක තියෙන ලැප් එකක් වුනත් අවුලක් නෑ. දැන් වෙළඳ පොලේ තියෙනවා 1.6ගිගාහර්ට්ස් ඒ එම් ඩි ප්‍රොසෙසරය තියෙන ලැප්(samsung & Hp). ඒවා ඒ තරං අවුලක් නැතුව ඇති කියලයි මට හිතෙන්නෙ.. මොකද ඒක උඩ රැම් එක වැඩි නිසා සෙවන් ඕ ඇස් එක ගාන්ට දුවනවා. 

ඕ ඇස් එක ?

සිංගප්පුරුවෙ තායිලන්තෙ ලැප් ටොප් හදනවා ඔපරේටින් සිස්ටම්(OS) එක නැතුව. සමහර ඒවාට ලිනක්ස්(linux) දානවා. සමහර ඒවාට වින්ඩොස් 7(windows 7) මෙහෙයුම් පද්ධතිය දානවා. ඇත්තටම අපි ජෙනුයින් වින්ඩෝස්(Genuine OS) සෙවන්ම එක ගත්තොත් පොඩි අවුලක් එනවා. ඒ තමයි අපිට වෙනත් ක්‍රැක් කරපු සොෆ්ට්වෙයාර්(pirate software) දාගන්න බැරි එක. උදාහරණයක් විදියට අපිට පොටෝෂොප්(photoshop) ඕනි වුනාම අපි ඒක රුපියල් 30ස් දාහක් දීලා කඩෙන් ගන්නෙ නෑනෙ.. ඒක අපි නෙට් එකෙන් හොරාට හොයලා හරි නැත්තං යාලුවෙක්ගෙන් අරං හරි ඇතුලට දමා ගන්නවා. ඉතිං අලුත්ම ඔරිම ජිනල් වින්ඩොස් 7 තිබ්බොත් එතනදි පොඩි ප්‍රශ්ණයක් එනවා.. වෙනත් මෘදුකාංග ස්ථාපනය කරද්දි.. ඒ වගේමය ිෙගාඩක් අය හිතං ඉන්නවා වින්ඩොස් ඕ ඇස් එකට ඔෆිස්(MS office) පැකේජය නිකම්ම ලැබෙනවා කියලා. එහෙම එකකුත් නෑ. හරිනං අපි ලැප්ටප් එක ගන්න යනවා වගේම හෝ ඊට වඩා වැඩි මුදලක් යනවා අපේ ලැප් එකක අපි ඔබාගෙන ඉන්න මෘදුකාංග සහ ගේම්ස් නියමාකාරයෙන් ස්ථානපය කරන්න ගියොත්..

ගෙවන්න ගන්නවාද ගෙවෙන්න අරිනවාද?

අපේ රටේ ගොඩක් අය එකපාර රුපියල් ලස්සයක් වියදං කරලා ලැපක් ගන්න පුලුවං අය නෙමෙයි. ඒත් දියුනු රටවල එක මාසෙ පඩියෙං පොඩි කාර් එකක් හොදම ලැප් එකක් ගත හැකි බොහෝ දෙනෙකුට..ඉතිං මේ ලැප්ටප් ගෙවන්න දෙන වැඩේ නිසා මාස් පඩි ගන්න අය තුන් හාරදාහයිනේ ඕන් ඔහෙ කියලා ලැප් එක ගන්නවා.. එත් ගෙවිලා ඉවර වුනාම තව අමතර රුපියල් විසිදාහක් විතර වෙලා.. අත්පිට මුදලට ලිමිටඩ් වොරන්ටියක් එක්කම ඒ ලැප් එක යුනිටියෙන් ගත හැකි අර ගෙවලා ඉවරවෙන ගාන වගේ බාගෙක මිලට..  

අවසානය..

මමනං විස්වාස කරන්නෙ අපි යම් කිසි මොඩලයක්(model) නෙට් එකේ බලලා ඒක හෙව්වොත් ලංකාවෙ(sri lanka) තියෙන්නෙ ඒ නම්බර් තියෙන එකක් විතරයි...ඒ ඔරිජිනල්(original) එක හොයන්න නෑ.. අපිට පිටරටින් ලැප් ගෙන්වගන්න පුලුවන් නම් හොදයි..ඒත් අපිට ඉතිං කෝ ඒම චාන්ස් කියලා ගොඩ දෙනෙක් හිතලා ලංකාවෙන්ම ගන්නවා..අනික වොරන්ටිත් ලේසි නේ.. කොහොම වුනත් ලංකාවෙ අනං මනං බයිලා ගැහුවාට තාම පිටරටින් පෝන්(phone) එකක් ගෙන්වගන්න ලැප් එකක් ගෙන්වගන්න අමාරුයි... ඒකට දහසක් නීති රෙගුලාසි. මේ විකාර වැඩ අයින් වෙලා අපිට කෙලින්ම සිංගප්පූරුවෙන් තායිලන්තෙන් සල්ලි දීල ඕඩර කරලා ඉන් පස්සෙ අපේ තැපෑලෙන් විශ්වාසවන්තව බඩුව ගෙදරටම ගෙනත් දෙනවා නං... නැව් ගාස්තු තැපැල් ගාස්තු අනං මනං සහ රජයේ බදු වලට තව රුපියල් පන් හය දාහක් ගියාත් කමක් නැහැ..

ඒත් එහෙම කෙරෙන්න හරියන මොනවා හරි දේවල් ටිකක් මෙහෙ තාම හැදිලා නෑ.. දවස් බාගයක් නාස්ති කරගෙන බස් එකේ දාඩිය දාගෙන නැත්තං පාක් කරගන්න තැනක් නැතුව රස්තියාදු වෙවී බඩු හොයනවාට වැඩිය.. අද සල්ලි කෙඩිට් කාඩ් එකෙන් ගෙව්වම හෙට උදේට වාහනේකින් ඇවිත් වත්ත ඇතුලට ලැප් එක විසික් කරලා හෝන් එකක් ගහලා යනවා නං මං කැමතියි.. මොකද ලැප් වල තියෙන ඔය මයික්‍රො සයිස් කෑලි මට අල්ලල අතගාල බලල හරි හොදට ඇස් ඇරලා බලලා හරි  ඇනලයිස් කරන්න බෑ.. අනික පොඩ්ඩක් ඔය ඕ ඇස් එක දාල අතගාන්න දුන්නයි කියලා ඒ විනාඩියට ලැප් එකේ බලන්න පුලුවං කෙංගෙඩියකුත් නෑ.. 

Saturday, June 9, 2012

ලිනක්ස් දාල හා ගන්න එපා (Linux barriers)

ගෙදර මැසිමට ලිනක්ස්(Linux) එපා..
ලිනක්ස් කියන්නෙ මහ ලොකු සිස්ටම් වලට ඕනි මහ එපාකරපු එන්වයරන්මන්ට් එකක් තියෙන කුජීත ඕ එස් එකක්..කියල තමයි කස්ටිය හිතාන ඉන්නෙ. එහෙම කාලයක් තියෙන් ඇති.. ඒත් දැං එහෙම නෑ. ලිනක්ස් යූසර් ෆෙන්ඩ්ලි වෙලා..ගෙදර ආච්චිටත් තේරෙන්න දැං ලිනක්ස් එනවා. කස්ටිය දන්නවා ඇති ඇන්ඩ්‍රොයිඩ් ගැන. ඇන්ඩ්‍රොයිඩ් (Android) මොබයිල් ඕ එස් එක බේස් වෙලා තියෙන්නෙ ලිනක්ස් වල කියලා කතාවක් තියෙනවා...ලිනක්ස් කියන්නෙ බේස් කෝඩ් එකක්. ඒක උඩ දුවන ගොඩක් මෙහෙයුම් පද්ධති තියෙනවා, උබන්ටු(Ubuntu), ෆෙඩෝරා(fedora), ලිනක්ස් මින්ට්(Linux Mint), මැන්ඩ්‍රිවා(Mandriva), ඕපන් සූස්(Open Suse), කියන්නෙ ඒ තියෙන අටෝරාශියක් ලිනක්ස් සංස්කරණ(Distro) වලිං ටිකක් ජනප්‍රිය වෙච්චි වර්ෂන් දෙක තුනක්..


නිකං දුන්නට අපිට වින්ඩෝස් තරං කික් එකක් නෑනෙ ඔය කියන ලිනක්ස්.
නිකමට හිතන්න ඕන්න ඔයාලට පිටරට ඉන්න කෙනෙක් හරි නැත්තං හොඳම යාලුවෙක් හරි හොඳ වැඩකෑලි තියෙන ඇන්ඩ්‍රොයිඩ් පෝන් එකක් දෙනවා. ඒ වෙනකොට ඔයා ඇන්ඩ්‍රොයිඩ් පෝන් එකක් අල්ලල වත් නෑ.. ඒ උනාට ඔයා එපා කියනවද නෑනෙ. මොකද පෝන් ඕ එස් එකක් අපිට ලේසියෙන්ම අල්ල ගන්න පුලුවන් නිසා. දැන් අපි එමු ලිනක්ස් වලට..ලංකාවෙ වගේම ගොඩක් රටවල පොඩි ලමය කාලෙ කම්පියුටර් එක දකින්නෙම වින්ඩොස් විදියට. වින්ඩොස් සහ කම්පියුටර කියන්නෙ දෙකක් නෙමෙයි එකක් කියන තරමටම අපිට වින්ඩොස් වලට අලවල තියෙනවා. ඉතිං ඒ අස්සෙ ලිනක්ස් හරි මොකක් හරි වෙන ඔපරේටිං සිස්ටම් එකක් කිව්ව ගමං අපි හිතන්නෙ ඒක මහ වැඩක් නැති දෙයක් කියලා. ඒත් අපි නිකමට හිතුවොත් අපිට අලුත් භාන්ඩයක් ගෙනාවම ගෙදරට ඒක දවස් ගානකිං හුරුවෙන්නෙ කෝමද?? අලුත් පෝන් එකක් දවස් ගානකින් අත පත ගාල හුරුවෙන්නෙ කෝමද කියන ආකාරයටම අපිට පුලුවනි ලිනක්ස්  වලට හුරුවෙන්න.. හැබැයි ඉතිං ලිනක්ස් කියල කිසිම දෙයක් බුග් ගාල අපි හිතන කොට අතට ගෙනත් දෙන්නෙ නෑ. ඒ සඳහා කැපවීමක් අවශ්‍යයි සුලුවෙන් හරි. ඒත් කැපවෙලා ඉගෙන ගත්තොත් ඒ හරහා තියෙන වාසි නං ගොඩායි...


ලිනක්ස් වල අඩු තරමෙ සිංදුවක් අහන්න වීඩියො ඒකක ප්ලේ කරගන් පුලුවන්ද බෑනෙ..
උබන්ටු සහ ෆෙඩෝරා කියන ජනප්‍රිය සංස්කරණ වල අමෙරිකාව කැනඩාව සහ යුරෝපා රටවල් වෙනුවෙන් නිකුත්කරන සංස්කරණ වල කොඩෙක්ස් (codec), එහෙම නැත්තං අපි කියන එම් පි ඊජී(mpeg) එම් පී ත්‍රි(mp3) වගේ ෆයිල් රන් කරන්න අවශ්‍ය වෙන මෘදුකාංග කොටස්(codec) ස්ථාපනය කරල එවන්නෙ නෑ. මොකද ඒ දියුනු රටවල ඒක නීතිමය තත්වයක් නිසා කරග්න අපාසු නිසා. ඉතිං මේ තත්වය යටතේ අපිට මෙහෙ එන ගොඩක් උබන්ටු වගේ ලිනක්ස් වල ප්ලේයර් එකේ සිංදු සහ වීඩියො ධාවනය වන්නේ නෑ. ඒ වගේ වෙලාවට අපිට වී එල් සී(vlc player) කියන මෘදුකාංග කොටස ස්තාපනය කරගත්තනං ගොඩ. එතකොට අර අපිට ප්ලේ කරගන් අමාරු වුන ඔක්කොම දේවල් ප්ලේ කරගත හැකි හරියට වින්ඩෝස් වල වගේම. වී එල් සී සයිට් එකට ගියොත් ඒකෙන් ගන්න පුලුවනි වී එල් සී කෝමද එක එක ඕ එස් එකට ඉන්ස්ටෝල් කරන්න ඕනි කියන ආකාරය..
ඒ උනාට ඔය මගුල් වල සොෆ්ට්වෙයා එකක් දානව කියන්නෙ පුදුම වහක් කන්න ඕනි වැඩක්..
අපෙ ලාංකික බහුතරය භාවිතා කරන්නෙ තවමත් වින්ඩොස් නිවැරදි සංස්කරණ නෙමෙයි. ඒ කියන්නෙ වින්ඩොස් හොරකොපි තමයි අපි භාවිත කරන්නෙ. ඒ වලදි අපි හිතනවා අපිට ඕනිම ලෝකෙ තියන ඩොට් ඊ එක්ස් ඊ(.exe) ෆයිල් එකක් මැසිමට දාන්න පුලුවං ඩබල් ක්ලික් කරලා කියලා. ඒත් සාමාන්‍යන් ඒක නෙමයි නිවැරදි ක්‍රමය වෙන්නෙ. අපිට පුලුවන් ඒ ඕ එස් එකත් එක්ක වැඩකරන්න පුලුවනි උපාංග සහිත මෘදුකාංග තෝරගන්න ඕනි ..හරියට ඇර ෆොන් වලට අපිට ඇඩ් කරන්න අනං මනං විජට් තියෙන්නෙ, ඇන්ඩ්‍රොයිඩ් වල හෙම ආන් ඒ වාගෙ...ගොඩක් ලිනක්ස් මෙහෙයුම් පද්ධතිවල සොෆ්ට්වෙයාර් සෙන්ටර්(Software Centre) කියලා එකක් තියෙනවා.ඒ සොෆ්ට්වෙයාර් එකේ තියෙන ටෙක්ස්ට් බොක්ස් එකේ අපිට ඕනි වැඩෙ ලියල ටයිප් කලාම අදාල මෘදුකාංග ලිස්ට් එකක් එනවා. ඒවයෙ විස්තර කියෝල බලල අපිට පුලුවනි ඒ මෘදුකාංගය ගැන අයිඩියා එකක් ගන්න....ඒත් වඩාත්ම ලේසි වැඩේ තමයි ටර්මිනල් එකෙං මෘදුකාංග දාන එක..ඒකෙදි කරන්න තියෙන්නෙ කන්ට්‍රොල් + ටී(Ctrl+t) අකුර ඔබල එන ටර්මිනල් එකේ කමාන්ඩ් ලයින් එකෙං සොෆ්ට්වෙයාර් ඉන්ස්ටෝල් කරන එක.. ඒ ටර්මිනල් එකෙ ගහන්න ඕනි කමාන්ඩ් අපිට ඉන්ටර්නෙට් එකෙං ලේසියෙං හොයාගන්න පුලුවනි..ඒක අමාරු දෙයක් නං නෙමෙයි... ..


වින්ඩෝස් වල වැඩකරන සොෆ්ට්වෙයා වැඩකරන්නෙ නෑනෙ...
ඒකනං එක්තරා ගැටලුවක් තමයි. ඒත් ගොඩක් වැඩවලට අවැසි වෙනත් විකල්ප මෘදුකාංග(Application Software) ලිනක්ස් වල තියෙනවා. සාමාන්‍යන් වෙබ් බ්‍රව්සර, පිකාසා පොටෝ එඩිටර්,වී එල් සී ප්ලේයර්,ස්කයිප්,ජී ටෝක්ස් වාගේ මෘදුකාංග ඔය ලිනක්ස් ඕ එස් වලත් වැඩකරන ආකාරයට සංස්කරණ නිකුත්කරලා තියනවා. තවත් සමරූපි මෘදුකාංග භාවිත කරන්නත් පුලුවං..උදාහරණ විදියට පොටෝෂොප් වෙනුවට ගිම්ප්...ඔෆිස් වෙනුවට ලිබ්‍රෙ ඔෆිස් යනාදි වශයෙන් අපිට විකල්ප මෘදුකාංග තෝරා ගන්නට පුලුවනි.මේ විකල්ප මෘදුකාංග වලට බයවෙන්න කාරි නෑ. ඒවත් අර අපි වින්ඩොස් වල වැඩකරන ඒව වගේමයි.ඒ ඕප්ෂන්ස්ම තියනවා. හැබැයි ගොඩ වෙලාවට ලිනක්ස් වල එන සොෆ්ට්වෙයා අර වින්ඩොස් ඒව තරං රූපයෙන් ලස්සනනෑ.වීඩියෝ එඩිටිං, ඕඩියෝ එඩිටිං, මික්සින් ගේම්ස් වගේ විශාල පරාසයක මෘදුකාංග දහස් ගානක් මේ ලිනක්ස් වල එනවා...මං ළඟදි දැක්ක විදියට දැන් දැන් එන වීඩියෝ ගේම් පවා ලිනක්ස් වලටත් සරිලන විදියට නිපදවා තිබෙනවා.. ජනප්‍රිය මෘදුකාංග උදාහරණ විදියට පොටෝසොප් වගේ ඒව ලිනක්ස් වලට එන්නැති එක එක්තරා ගැටලුවක් තමයි. සමහර වාණිජ වශයෙන් භාවිත කරන සොෆ්ට්වෙයා අපිට වයින් කියන ඇප්ලිකේෂන් එක හරහා දාන්න පුලුවන් උනත් ඒවා වින්ඩෝස් වල තරං සුපිරියට වැඩ කරන්නෙ නෑ... කෝකටත් සමාර වාණිජ වශයෙන් භාවිත මෘදුකාංග වෙනස් වෙන ස්පීඩ් එක සහ ඒවායේ මිල ගනන් දැක්කම නං නිකං තියෙන ලිනක්ස් වල සීමිත ඉඩ අපේ වැඩකටයුතු වලට වැඩිත් එක්ක කියල හිතෙන වෙලාවලුත් තියෙනවා..

 ඔය කිව්වට ලිනක්ස් පාවිච්චි කරන්නෙ පොඩි දෙනයි..අපිට අහගන්නවත් කවුරුවත් නෑ..
 සාමාන්‍යන් ලංකාවෙ ලිනක්ස් භාවිත කරන්නන් ගාන අඩුයි. කැම්පස් වල ඉද්දි ලිනක්ස් වලිං කෝඩිං ලියන්නත් අනං මනං මහා ලොකු වැඩ පුරුදු උන්ත පස්සෙ කස්ටිය ආයෙම වින්ඩොස් වලට මාරුවෙනවා. නැත්තං බිල් ගේට්ටුව තරහ වෙයි කියල බයටද දන්නෙ නෑ..ඒත් එහෙම වෙනවා. ඒත් අපි ලෝක මට්ටමින් ගත්තොත් සාමාන්‍යන් සමස්ථ කොම්පියුටර භාවිත කරන්නන් ගෙන් සීයට පහක් විතරම ලිනක්ස් භාවිතා කරනවා. ඒ නිසා අපිට ගැටලුවක් ඇවිල්ල මේ ඉන්ටනෙට් එකෙ ගැහුවම ඒකට ඕනි විසඳුම් සුටුස් ගාල හොයා ගන්න පුලුවනි. සමාරවිට අපිට තියෙන පස්නෙ කලිං අයට ඇවිත් නැත්තං ඒක අපිට පුලුවනි ෆෝරම් එකකට දන්වන්න. එතනින් අපිට කවුරු හෝ ලෝකෙ කොහේ හෝ සිටින කෙනෙක් විසඳුම කියාවි. හැබැයි ඉතිං මේකට ඉංගිරිසි නං සුට්ටක් ඕනි වෙනවා. ඉංගිරිසි මහා ලොකුවට දැනගන්න නං ඕනි නෑ. යාංතං වචන ටිකක් ලියල දැම්මහම ගොඩක් වෙලාවට ඒ අය තේරුං ගන්න වෙලාවල් තියෙනවා. කෝමත් අපි දන්න ඉංගිරිසි සුට්ටෙං ලංකාව ඇතුලෙදි ගන්න පුලුවං වැඩ වලට වඩා පිටරටදි වැඩ ගන්න පුලුවනි. මොකද වැරැදුන ගමං හොහ් හාහ් ගාල හිනාවන්න සුද්දො ලෑස්ති නැති නිසා..

හාඩ්වෙයාර් ඩ්‍රයිවර් නෑනෙ...
ගොඩක් ගෘහස්ථ භාවිතයට හදන බඩු හදන්නෙ මයික්‍රොසොෆ්ට් ජනප්‍රිය මෙහෙයුම් පද්ධතිවලට ගැලපෙන විදියට. ඒ නිසා සමහර මදර් බෝඩ්, සවුන්ඩ් කාඩ්, වීඩියෝ කාඩ්,විතරක් නෙමෙ මොඩම්, ඩොංගල්, ප්‍රින්ටර් වාෙග බාහිර උපාංග වලත් ඩ්‍රයිවර්ස් නැත්තං ඒ කොටස් වැඩකරන්න අවැසි මූලික මෘදුකාංග කොටස් ලිනක්ස්වල නැතිවෙන්න පුලුවනි. නමුත් කලකට පෙර තිබුනාට වඩා දැන් තත්වය සතුටු දායකයි.දැං අපි ගන්න අලුත් පෝන් එකක් කෙලින්ම ලිනක්ස්ඕ එස්  තියෙන මැසිමකට ප්ලග් කලත් ඒකෙ තියෙන මෙමරිය කැම් එක වැඩකරනවා.ඒ වගේම වීඩියෝ කාඩ් වලටත් දැංදැං ලිනක්ස් ඩ්‍රයිවර් සොෆ්ට්වෙයා එනවා. නැත්තං ඉන්ටනෙට් එකෙංම ගත හැකි. ඒත් සමාරවිට ඔබ භාවිතා කරන හාඩ්වෙයාර් වල ඩ්‍රයිවර් නැතුව යන්න අවධානමක් නැතුවාම නෙමෙයි.ඒ වාගෙ වෙලාවට කරන්න ඕනි ලිනක්ස් වෙනත් සංස්කරණයක් භාවිත කිරීම. සමාරවිට උබන්ටු වල ඩ්‍රයිවර් නැති වැඩකරන්නෙ නැති කෑලි ෆෙඩෝරා වල වැඩකරනවා. ඒ දෙකේම නැති ඒව සූස් වල වැඩ කරනවා. ඒ වගේ වෙන්න පුලුවනි..


මේ තියෙන වින්ඩෝස් මගුල නැතුව නොදන්න ඕව කරල මොකටෙයි..හදට යන්නෙයි??
සාමාන්‍යන් අපි පාවිච්චි කරන වින් සෙවන් ඔරිජිනල් මෙහෙයුම් පද්ධතියක් රුපියල් හත් දාහක් විතර වෙනවා. ඒ වගේම අපිට නිතරම ඕනි වෙන වර්ඩ් තියෙන ඔෆිස් පැක් එක මයික්‍රොසොෆ්ට් ඔෆිස් එක රුපියල් විසිදාහක් වෙනවා. ඉතිං ඔය ගානින් ලංකාවෙ හොඳ කන්ඩිෂන් වල තියෙන සෙකන්ඩ් හෑන්ඩ් මැෂිමක් ගත හැකි. එහෙව් එකේ වින්ඩොස් හොරට දාගෙන ක්‍රැක් කරපු සොෆ්ට්වෙයා ටිකක් ඔබාගන් එක තමා අපේ අය කරන්නෙ ගොඩක් වෙලාවට. ඒ වගේ වෙලාවක අපිට ඕනි ගොඩක් දේවල් ලයිෂන් පිට කිසිම වෛරසයකින් තොරව දාගන්න පුලුවන් ලිනක්ස් එක්ක වැඩ කරද්දි.. තව දෙයක් තමයි අපි කියන විදියට අපි කියාගන්න විදියට අපි බෞද්ධ රටක්..අපිට අවුරුදු දාස් ගානක පස්ට ඉතිහාසයක් තියෙනවා. ඒ වගේම අපිට කුමන්ත්‍රණ කරන්න අමෙරිකන් යුරෝපියන්ස්ල බලං ඉන්නවා. ඉතිං මං කියන්නෙ එහෙනං ඇයි අපි හොරාට හොරාට අමෙරිකන් මයික්‍රොසොෆ්ට් පාවිච්චි කරන්නෙ..ලංකාවෙ ගොඩක් අය මුස්ලිම් අයගෙ යුනිටියෙන් ගතපු කම්පියුටරේ අමරිකාවෙන් සල්ලි නොදී හොරාට මෘදුකාංග දාගෙන..මාක් සකර්බරග් හදාපු මූනු පොතේ නොහොත් පේස්බුක් එකේ ගිහිං දේශීය දේවල් ගැන අපේ දේවල් ගැන අධිරාජ්‍යවාදය ගැන කතා කරනවා... ඒක නිකං අපි හෙලුවෙං ඉඳන් ආං අරයාට ලොකු එකක් තියෙනවා ඒ නිසා එයා අපිට කුමන්ත්‍රණ කරනවා වගේ ගොං පාට් එකක් මට පේන විදියට නම්...
  • වෛරස් සහ වෙනත් අනර්ථකාරි මෘදුකාංග ධාවනය නොවීම.
  • සීමිත හාඩ්වෙයාර් පසුබිමක් යටතේ වුව විසල් කාර්යක්ෂමතාවයක් ලබාගත හැකිවීම.
  • .බොහෝ සාමාන්‍යන් භාවිතා කරන මෘදුකාංග සහ ලිනක්ස් සංස්කරණ නොමිලේම ලැබීම..
  • යම් යම් කොටස් සංස්කරණය කරගත හැකි වීම..
  • මෘදුකාංග සොරකම් කිරීමෙන් වැලකීමට හැකිවීම..
වගේ කාරණා වලිං ලිනක්ස් මෙහෙයුම් පද්ධති ඉදිරියෙන්ම ඉන්නවා. ඒත් ඉතිං අපි ඕනිම හොද දෙයක් අපෙ කරගන්න නම් යම් කැපකිරීමක් පොඩි අධ්‍යයනයක් කරන්න වෙනවා. ඒක ලිනක්ස් වලටත් හෙමයි.

Wednesday, November 30, 2011

පැරණි පරිඝනකයට මෙහෙයුම් පද්ධතියක් තේරීම OS for old PC

ඇයි එක්ස් පී(Windows XP) හරි නැද්ද?

මයික්‍රොසොෆ්ට් එක්ස් පී යනු බොහෝ කලක් කප් ගසාගෙන සිටි දැනටත් ලංකාවේ බොහොමයක් පරිඝනක වල ඇති ජනප්‍රිය වටිනා උපාංග වලින් සමන්විත මෙහෙයුම් පද්ධතියකි(Operating system)..නමුත් අවාසනාවට දැන් දැන් එන නව මෘදුකාංග නව භාවිත මෘදුකාංග සහ නව උපාංග බොහොමයක් එක්ස් පී වලට සහාය දක්වන්නේ නැත..දැන් දැන් එන කැමරා ප්‍රින්ටර් ආදිය පවා දැන් එක්ස් පීවලට ඩ්‍රයිවර්ස්(drivers) ලබා නොදෙයි..අනෙක් කරුණ නම් වෙබ් භාවිත(web applications) වලදී ඇතිවෙන අධික වෛරස් ආසාදන අවධානමයි.එක්ස් පීවලට අනෙක් නව වින්ඩෝස් වලට වඩා ලේසියනේ වෛරස ආසාදනය(virus effect) විය හැක..දැන් එක්ස් පී යනු තවදුරටත් මයික්‍රොසොෆ්ට් සමාගම මගින යාවත්කාලීන(Update) නොකරනු ලබන මෙහෙයුම් පද්ධතියක් වන නිසා වෛරස ආරක්ෂන මෘදුකාංග(Anti virus or Internet security) ස්ථාපනය කලත් සමහර අවස්ථාවලදී අසාර්ථ ක වෙන සම්භාවිතාවය වැඩිය..

 ඇය සෙවන්(Windows 7) දාත හැකි වෙයි නේ
සෙවන් හොඳය නමුත් සෙවන් වලටත් අපි අමුතුවෙන් වෛරස් ගාඩ් ආදිය දැමිය යුතුය..අපි මේ කතාකරන්නේ නවතම පරිඝනක ගැන නොවේය පරණ පරිඝනක ගැනය..පරණ පරිඝනක(Old PC) වලට මෙසේ සෙවන් දැමීමේදී රැම් මතකය මදි වීමේ ගැටලුව එයි..අනික් කරුණ නම් සෙවන් නම් මෙහෙයුම් පද්ධතියේ අඩුමිල සංස්කරණයක් පවා රුපියල් පන් හයදාහක් වීමයි..දැන් වෙළඳපොලේ ඇති තත්වමත නව පරිඝනකයක් මිලදී ගැන්ම පවා රුපියල් පන් හයදාහකින් කල හැක..එබැවින් මුදල් යහමින් නැති කෙනකු නම් මේ සඳහා මුදල් ගෙවීම යනු අවාසියකි.එසේම කෙසේ උවත් සෙවන් අමාරුවෙන් මැසිමට රිංගා ගත්තත් යම් යම් වැඩ කරගැන්මේදී ගැටලු මතුවිය හැක..

ඇපල් දාගන්න බැරිවෙයිද?
හොඳ ඇපල්(apple) සාමාන්‍යනේ ලංකාෙව් නාරං අඹ වලට වඩා තරමක් ගනන්ය..මෘදුකාංග සහ අනෙක් දේබැලුවත් ඇපල් ගනන්ය..එසේම භාවිතයට ඇවැසි හාඩ්වෙයාර් උපාංග ප්‍රමාණයද(hardware requirement) ඇපල් වල වැඩිය එනම් පී පෝ (pentium 4) වැනි මැසිමක මුල් කාලයේ ආ උපාංගවලට නව ඇපල් කිට්ටු කරගැන්ම අවාසිය..මන්ද මැසිම ධාවනය වීමටම විශාල ප්‍රමාණයේ හාඩ්වෙයාර් ප්‍රමාණයක් භාවිත කරන හෙයින් වෙන වැඩක් කරගන්නට ඉතිරියක් නොවන බැවිනි..

ඉතින් විකල්පය මොකද්ද කියල ඔයාලට දැන් තේරෙනව ඇති නේ... ආයෙම මම ලිනක්ස්(linux) වල තියෙන වාසි විස්තර කරන්න ඇවැසි නෑ මේන් මෙතනට. ගිහින් බලාගන්න පුලුවන් ලිනක්ස් වල වැඩ කිඩ..පත්තරේක ගිය ලිපියකට පිළිතුරු විදියට ලියපු මේ ලිපියට කිසිදු ප්‍රතිචාරයක් දක්වන්න ඒ රාවය පත්තරේ සමත් උනේ නෑ කියලත් මම කියන්න කැමතිය් මේ වෙලාවෙ..

අඩු හාඩ්වෙයාර් ඇති පරිඝනක සඳහා සුදුසු ලිනක්ස් වර්ග කවරේද?

මෙහෙමයි ලිනක්ස් කිව්වම ඒක සාගරේ වගේ එයින් ෆෙඩෝර,උබන්තු,සූස්,මැන්ඩ්‍රිවා කියන්නෙ කීපයක් විතරයි තව බෝම ගානක් තියෙනව අපිට ලේසියනේම භාවිත කරන්න පුලුවන් වෙන ලිනක්ස් වර්ග..
මේ ලිනක්ස් උනත් දැන් දැන් තැනෙන්නෙ නවීන පරිඝනක වලට ඇවැසි වෙන විදියෙ නවීන ක්‍රමවේද වලට ගැලපෙන අයුරින් එතකොට අර රැම් වී ජී ඒ වගේ දේවල් වැඩිපුර භාවිත වෙන නිසා නවතම උබන්ටු සහ ෆෙඩොර සංස්කරණ වල සාමාන්‍ය ස්වරූපයම පරණ පෙන්ටියම් පරිඝනක සඳහා සුදුසු වෙන්නෙ නෑ..පෙන්ටියම් ෆෝ වර්ගයේ පරිඝනක වල මුල් කාලීන ඒවට නම් මේ ෆෙඩෝර වගේ එකක් දමන්ට ටිකක් අමාරුයි මොකද එයාල ඒ පරිඝනකයට මේ මෙහෙයුම් පද්ධතිය ඇතුලත් කරන්න ඉල්ලන අවම තාවකාලික මතකයම(RAM) එක ගිගාබයිට්ටුවකට(1Gb) වඩා වැඩිවෙන නිසා..

පරණ පරිඝනක සහ කුඩා පරිඝනක වලට ගැලපෙන ලිනක්ස්...

සාමාන්‍යයෙන් අපිට පපී ලිනක්ස් මැන්ඩ්‍රිවා වගේ පොඩි සයිස් ඕඑස් එකක් දාල බූට් කරල යන්න පුලුවන් ඒත් පපී ලිනක්ස් මුලු මෙහෙයුම් පද්ධතියම රැම් මතකය මත දුවන තරමට ම බරින් අඩු උනත් නවතම ඇප්ලිකේෂන්ස් ගොඩක් අඩුයිමේ පපී ලිනක්ස්(puppy Linux) වල..අනික් එකතමා පපී වැනි ඉතා කුඩා මට්ටමෙ(small Linux) ලිනක්ස් බෙදාහැරීමවලදි(distros) ඒවාට නව භාවිත මෘදුකාංග ඇතුලත් කිරීමට ඇති අපහසුව..මේ මෙහෙයුම් පද්ධති එක්කම එන සීමිත මට්ටමේ මෘදුකාංග කීපයක් ඇරුනම නව මෘදුකාංග ඇතුලත් කරගැන්ම ඇතිතෙන්ම අපාසුයිමේ පපී පෙන්ඩ්‍රයිව් ලිනක්ස් වගේ පොඩි ලිනක්ස්මෙහෙයුම් පද්ධතිවල..තවත් දෙයක් තමා මේ ලිනක්ස් පරිඝනකයේ දෟඩ තැටියට ස්ථාපනය කරගත්(hard drive installation) නොහැකිවීම..පෙන් එකක් සහ සීඩි එකකින් බූට් වෙන පරිදි සකස් කල හැකි උවත් අපිට අවැසි ලෙස වෙනස් කම් කරගෙන එය දෟඩ තැටියේ ස්ථාපනය කිරීමනම් මේ පපී ලිනක්ස් වල අමාරු වෙන දෙයක්..

 බරින් අඩු එහෙත් කල්පවතින ස්ථාවර භාවිතයට සුදුසු ලිනක්ස්...(light weight Linux)
මේ ගැන කතාකරනවිට බර අඩු ඩෙක්ස්ටොප් එඩිෂන්ස් ගානකින් මේ ලිනක්ස් එනව..
මේ එල් එක්ස් ඩී ඊ(LXDE) කියන නමින් හඳුන්වන ඩෙක්ස්ටප් හෙවත් තිර තාක්ෂණය එන්නෙ බොහොම අඩු තත්ව සහ බලයක් යටතේ විශාල වැඩ සුමටව කරගැන්මේ ව්‍යාපෘතියක් ලෙසයි..ඒ හරහා නිකුත්වුන අඩු බල අඩු හාඩ්වෙයාර් භාවිත මෙහෙයුම් පද්ධති කීපයක් ම තිබෙනවා.මේවා අපිට අර උබන්ටු වින්සෙවන්,එක්ස් පී වගේම හාඩ් එකේ ඉන්ස්ටෝල් කරගෙන නිරන්තර අප්ඩේට් කරගෙන නිතර එන නව තාක්ෂනයත් එක්ක සමගාමීව යන්න පුලුවන් විදියට වැඩ කරනව..උදාහරණ ගත්තොත් දැන් මේ අවුරුද්දට ෆයර්ෆොක්ස් සහ ක්‍රෝම් බ්‍රව්සර කීප වතාවක් නව සංස්කරණ එළිදැක්වුවා..මේ සංස්කරණ ස්ථාපනය කරගන්න තරම් යාවත් කාලීන නොවන මෙහෙයුම් පද්ධතියක සිටින කෙනෙක්ට වෙබ් අවකාශ හරහා ලැබෙන සමහර සම්පත් ලබාගැන්මේ නොහැකියාවක් ඇතිවන්නට පිලිවනි..ඒ වගේමයි ඕඩියෝ වීඩියො පැත්ත ගත්තත් දැන් අර ඉස්සර ෆෝමැට් නෙමෙය සපෝට් කරන්නෙ පරණ කොම්පියුටර්ස් වලට කන්වර්ට් කර කර දඟලනවට වඩා ඒවට මේ වගේ නව දේට නම්‍යශීලි මෙහෙයුම් පද්ධතියක් ස්ථානපය කරගැන්ම වටිනවා..
ලිනක්ස් මින්ට් එල් එක්ස්ඩී ඩෙක්ස්ටප් එකක්(1.8GHz,384Ram,30HDD)

1. ලිනක්ස් මින්ට් එල් එක් ස් ඩී(linux mint LXDE)
ලිනක්ස් මින්ට් කියන්නෙ උබන්ටු වලම සමාන්තර වගේ එන සංස්කරණයක් ඒ වුනත් උබන්ටු තරම්වත් තද නැති ඉතාම පහසු විදියෙ වැඩකෑලි සහ ලස්සන පසුබිමක් තියෙන මෙහෙයුම් පද්ධතියක් තමා ලිනක්ස් මින්ට් මේ අඩුබර සංස්කරණය..මේ හරහා මේ මෘදුකාංගය ස්තාපනය කරගන්නා ඔබට නිකම්ම වගේ සොට්වෙයාර් ගානක් ලැබෙනව ඇවැසිනම් ඔපන් ඔෆිස් වී එල් සී වගෙ ඒව දාගන්නත් පුලුවනි..මෘදුකාංග ස්ථාපනය පහසු කරගන්න සොෆ්ට්වෙයාර් සෙන්ටර් එකකුත් තියෙන නිසා හරිම ලේසියි..

2.ලුබන්ටු සහ එක්ස් උබන්ටු..(Lubuntu or Xubuntu)
මේ ලුබන්ටු කියන්නෙත් එක්ස් උබන්ටු(Ubuntu) කියන්නෙත් උබන්ටු කොම්පැනියටම අනුබද්ධව අඩුබර පරිඝනක සඳහා සංස්කරණ නිකුත්කරන තැන් දෙකක් මේ හරහාත් උබන්ටු වලට සමාන්තරවම ඒ බොහොමයක් මෘදුකාංග වලට සපෝට් කරන මට්ටමක් සහිත දිෙනන් දින යාවත්කාලීන ලිනක්ස් මෙහෙයුම් පද්ධතියක් ඔබට ලබාගන්න පුලුවනි.

3.ෆෙඩෝර එල් එක්ස් ඩී ස්පින්ස්..(Fedora LXDE spins)
ෆෙඩෝර වලට විශාල රැම් මතකයක් සාමාන්‍යන් අවැසියි..නමුත් මේ එල් එක්ස් ඩී ස්පින් එක ඉතා අඩු මට්ටම්වලදී කිසි ගේමක් නැතුව වැඩ කරනව කියල තමා මේ ෆෙඩෝර අය කියන්නෙ..

ලිනක්ස් කියන්නෙ වෙනමම ඕ එස් එකක් ඒකට හුරුවෙනව කියන්නෙත් ටිකක් අමාරු වැඩක්ම තමා..ඒත් පොඩ්ඩක් හිතන්න ඔයාල ඇන්ඩ්‍රොයිඩ් ඕ එස් තියෙන ෆෝන් වලට මාරුවෙනව තව ස්මාට් ෆෝන් එකක් ආවොත් කිසි ගේමක් නෑ ඒකටත් සෙට් වෙනව..හැමදාම හොර කොපි හොර ක්‍රම පස්සෙම දුවන්නෙ නැතුව තමුන්ගෙ මැසිමට නවතම නීත්‍යානුකූල මෙහෙයුම් පද්ධතියක් දාගන්න උත්සාහ කරන එක වැදගත් අඩු තරමෙ වෛරස් නිසා නාස්තිෙවන ඔබේ වටිනා කාලය හරි ගොඩක් ඉතිරි කරගත හැකිවෙයි මේ ලිනක්ස් වලට ඔබ පුරුදු උනොත්..
ලිනක්ස් වලට ගේම්ස් සපෝට් නෑ තමයි..ඒත් ලිනක්ස් වලත් තියෙන ලස්සන ගේම්ස් ටිකක් තියෙනව..කස්ටියට පුලුවන් ටිකක් ඒව ට්‍රයි කරල බලන්න..
හැමදාම පුරුදු සොෆ්ට් වෙයාර් අස්සෙම රිංගල ඉන්නෙ නැතුව පාටිෂන් එකකට හරි ලිනක්ස් දාගෙන උත්සාහ කරනවනම් අපිට තනියම හරි අමෙරිකාවට කියන්න පුලුවන් අපි හොරු නෙමෙයි යකෝ..අපි මේ ලිනක්ස් භාවිතා කරන අය කියල..ලිනක්ස් කේතයේ නිර්මාතෘ ආසියාතිකයෙක්..අමෙරිකාව යුරෝපය හරහා විහිදුනු මිලියන ගණනක ලිනක්ස් ලෝලින් ඔබට ගැටලුවක් ආ පසු එය නිරාකරණය කරගන්න පෙලගැසී ඉන්නවා..ඒ ගැටලු ඒ අදාල බග්ස් රිපෝට් කරන තැන්වලට හරි නැත්තං ෆෝරම් වලට හරි දන්න කැඩිච්ච ඉංගිරිස් වලින් ගැහුවම ඒ අය අපිට තේරෙන සරල ඉංගිරිස් වලින් උත්තර එවනව.ලංකාවෙ සමාරු කතාකරන අමු ඉංගිරිස් තරන් ඔය පිටරට සමාර අයගෙ ඉංග්‍රීසි අමාරු නෑ.

Sunday, August 28, 2011

ඩුප්ලිකේට් ෆයිල් හොයන හැටි..(duplicate file finder) Linux

වැදගත්කම
අපිට ගොඩක් වෙලාවට ප්‍රශ්ණයක් වෙනව ඩුප්ලිකේට් ෆයිල් තබාගැනීම අපේ දෘඩ තැටිය තුල.උදාහරණ විදියට විටින් විට විශාල ප්‍රමාණයෙන් අපි ලබාගන්නා සංගීත ගොනු හැසිරවීමේදී එකම ෆයිල් එක තැන් කීපයක විවිධ නම් වලින් තිබීම කරදරයක්..ඒ වගේම ඒක අපේ දෘඩ තැටියේ ධාරිතාවය අපතේ හරින්න මූලික වෙනව..මේ වගේ අවස්ථාවල භාවිතා කරන්න කුඩා මෘදුකාංග කැබැල්ලක් තිබෙනව ලිනක්ස් වලදි..ඒක තමා එෆ් ස්ලින්ට් කියන්නෙ...(FSlint)


ගන්න ප්‍රයෝජන....
අපි විසින් දෘඩ තැටියේ ස්ථාපනය කරගනු ලබන හෝ ස්ථාපනය කිරීම පිණිස තබාගන්නා ගොනු සැකසීමත් මේ මෘදුකාංගය හරහා කරගන්න පුලුවනි....විවිධාකරයේ පාටිෂන් ගනනාවක විවිධ ස්ථානවල ඇති ඩිරෙක්ටරි සහ අනෙකුත් ගොනු ඉතා පහසුවෙන් හඳුනාගන්න පුලුවනි මේ හරහා...

රූපයේ දැක්වෙන විදියට මේ මෘදුකාංගය හරහා අපිට පුලුවනි මේ ආකාරයට මෘදුකාංගය හරහා ඩුප්ලිකේට් ෆයිල්ස් එහෙම නැතිනම් එකම ෆයිල් එක තැන් කීපෙක තියෙනකොට අපිට අඳුන ගන්න..ඒ තියෙන ස්ථානය අපිට ඒ ඩුප්ලිකේට් ෆයිල් එක ඉදිරියෙන්ම පෙන්නුම් කරනව..අපිට අවැසි කොපි එක තබාගෙන අනික් ෆයිල් එක ඩිලීට් කරගන්න මේ හරහා අපිට පුලුවන් වෙනව...


ස්ථාපනය කරගන්නා ආකාරය...
 මේ මෘදුකාංග කැබැල්ල සඳහා අපිට වැයවෙන්නෙ මෙගාබයිට් එකක්ටත් අඩු ප්‍රමාණයක් දෘඩ තැටිය තුල.පහත රූපයේ දැක්වෙන විදියට Application>>Accessories>>terminal එකට යන්න ඔන මුලින්ම...
දැං ඒක එබුවම එනව නිකම් ටයිප් කරන්න විතරක් තියෙන ස්ක්‍රින් එකක්..
ඒ ස්ක්‍රින් එක ඇතුලෙ කලින්ම අපි ඉන්නෙ ඇඩ්මින් බවට සහතික කරන්න වෙනව ඒකට අපි
sudo -s
කියන කමාන්ඩ් එක ගහනව උබන්ටු සහ ඩේබියන් මූලිකවුන ලිනක්ස් සංස්කරනවලටමේ මෘදුකාංගය ස්ථාපනය කරගන්න වෙලාවට..

ඉන් පස්සෙ 
 apt-get install fslint
කියන එක ටයිප් කරල එන්ටර් කී එක එබුවම වැඩේ ගොඩ...
දැං ඉතින් පහත පරිදි අපිට පුලුවනි  මේ මෘදුකාංගය තිබෙන තැනට යන්න....



මේ සොෆ්ටිවෙයාර් එක දාගන්න පුලුවන් ලිනක්ස් සංස්කරණ මොනවාද..

ඒකනම් හරිම ලොකු පරාසයකි ..ෆෙඩෝර සූස් වගේ ඒවත් ඩේ බියන් වලත් මේ මෘදුකාංගය ස්ථාපනය කරගන්න පුලුවන් සොෆ්ට්වෙයාර් මැනේජර් හරහාද මේ මෘදුකාංගය කිසි ප්‍රශ්ණයකින් තොරවම ස්තාපනය කරගන්න පුලුවනි..

තව වැඩිදුර විස්තර ඇවැසිනම් මේ ලින්ක් එක හරහා ගන්න පුලුවනි. 
මට හමු උනා මේ පිළිබඳ කියවෙන වීඩියෝ එකකුත් ඇත්තටම වීඩියෝ එකෙන් බලාගන්න පුලුවනි කෝමද මේ මෘදුකාංගය එක්ක වැඩකරන්නෙ ඒක ස්ථාපනය කරගන්නෙ කියල....