Tuesday, August 5, 2014

ලංකාවේ පිළිකාව


මගේ මව මිය පරළොව ගියේ පිළිකා රෝගී තත්වයකිනි. ඇයට වැළඳී තිබූ පිළිකාව දැන හඳුනාගෙන මාස හතරක් ඇතුළත ඇගේ මරණය සිදුවිය. ඇය බේරාගැනීමට හෝ තව කල් ජීවත් කිරීමේ අරමුණින් දොස්තර මහත්වරු සහ වෛද්‍ය කාර්ය මණ්ඩල නොගත් වෙහෙසක් නැත. ඇයව අඩුතරමේ සැත්කම් අවස්තා පහකටවත් ලක් කල අතර ඒ කිසිවක් සාර්තක වූයේ නැත. ඇය මාස දෙකක පමණ කාලයක් කරාපිටිය, මාතර, තංගල්ල රෝහල් වල කල්ගත කලාය. ඇගේ සමස්ත රෝගී කාල සීමාව තුලම පිටතින් ඇයට ලබාගන්නට සිදු වූ ඔසු, සැත්කම් භාන්ඩ, සහ පරීක්ෂණ වාර්ථාදියට ගිය මුදල සැබැවින්ම රුපියල් ලක්ෂයකට අඩුය. ඊට වඩා වැඩි මුදලක්, වාහනයක් කුලියට ගෙන රෝගියා ප්‍රවාහනය කිරීමට අපේ පියාට වියදම් වන්නට ඇත.
මගේ මව රෝගී වීමේ සම්පූර්ණ සිද්දි දාමයම පරීක්ෂා කල විට ඇය කිසිදු ප්‍රතිකාරයක් නොකර තිබුනේ නම් එසේ වුවද මාස හතරක කාල සීමාවේදී ඇය මිය පරළොව යනු ඇත. අසාර්තක සැත්කම් වලට මුහුන දීමට අම්මාට සිදු වූ නිසා අවසාන කාල සීමාව ඇයට වේදනාකාරි ලෙස ගතකරන්නට සිදු විය. දොස්තර මහත්වරු හෝ රෝහල් කාර්යමන්ඩල රෝගීන්ට හිතුමනාපේ බෙහෙත් හේත් ආදිය නියම නොකරති. කවර හෝ විදියකින් රෝගියාට සැනසීම සහ කාලයක් ජීවත් වීමේ හැකියාව ලබාදීමට සියලු වෛද්‍ය කාර්යමණ්ඩල ක්‍රියාකරනවා ඇත යන්න පොදු මතය වේ.
දුර්ලභ අන්දමේ බඩවැල් අභ්‍යන්තර බිත්තිවල හටගන්නා පිළිකාවක් වූ ඒ පිළිකාව කරාපිටියේ වෛද්‍ය සිසුන්ට අධ්‍යනය කිරීමටද අම්මා ජීවත්ව සිටයදීම දින කිහිපයක කාලයක් ජේෂ්ඨ වෛද්‍යවරු විසින් ලබා දෙන ලදී.
අම්මා මාස දෙකක කාලයක් රජයේ රෝහලක රෝහල්ගතව සැත්කම් සහ පරික්ෂණයන්ට මුහුන දෙමින් සිටියාය. ඇයට ඒ වැනි ප්‍රතිකාර පුද්ගලික රෝහලකින් ලබාගත යුතු වූවානම් ඒ සඳහා රුපියල් මිලියන ගානක මුදල් කන්දරාවක් වියදම් වෙනු ඇත. දැන් ඇති නම පතල පුද්ගලික රෝහලක දිනක් ගතකලේ වුවද රුපියල් හතලිස් දාහක පනස් දාහක බිලක් එයි. ඒ අනුව බලන කල ලංකාවේ සෞඛය සේවාව නිසා මධ්‍යම පාන්තිකයින් වූ අපට රෝගයකදී සැනසීම ලැබෙයි.
අපේ කන්තෝරුවේද වෛද්‍යාධාර ක්‍රමයක් ඇත. කවර නම් වූ සුළු රෝගයකට රෝහල් ගත වුවද නවලෝක රෝහලේදී නම් අපේ කන්තෝරුවෙන් ලැබෙන සම්පූර්ණ මුදලටම බිල හදා එවීමට ඒ රෝහල කාරුණික වෙයි. දැන් මේ විදියේ වෛද්‍යාධාර විදි බොහෝ ආයතන වල ක්‍රියාත්මක වේ. ඒවායේදී පුද්ගලික රෝහලක ප්‍රතිකාර ලැබුයේ වී නම් විශාල බිල් සඳහා ඔවුන් මුදල් ගෙවනු ලබයි. බාහිර පෙනුම අනුව පුද්ගලික රෝහල් ඉදිරියෙන් සිටියත් අභ්‍යන්තර තත්වයන් නම් පුද්ගලික රෝහල්වලය කියා හොදක් නැතැයි මා දන්නා සමහර වෛද්‍ය වෘත්තිකයින්ම පිළිගනිති. ඉදිරියේ කවුන්ටරේ හිනාවෙන කෙල්ලෙක් සිටියාට...කාරුණික ඇටෙන්ඩන්ලා කදිමට ඇඳුම් ඇඳගෙන සිටියාට හරියට ප්‍රතිකාරයක් කෙරෙන්නේ නැතිනම් කවර නම් වූ සුවයක් රෝගයට ලැබෙන්නේදැ යි ගැටළුවක් සාමාන්‍ය වැසියන්ට පැනනගී.
රක්ෂණ ආයතන වලින් ලැබෙන වෛද්‍යාධාර මුදල් සහ ආයතන වලින් ලැබෙන වෛද්‍යාධාර මුදල් රජයේ රෝහල් වල ප්‍රතිකාර ගත් විටදී රාජ්‍ය සෞඛ්‍ය සේවාවේ වියදමට බැර කරන්නට කුමක් හෝ ක්‍රමයක් තිබුනා නම් මනාය. එය රෝහල් වල දියුණුවට හේතු වනු ඇත. මෙය දැනට පවතින ක්‍රමය අනුව ක්‍රියාත්මක කිරීමට ප්‍රායෝගිකව අමාරුය. නමුත් එසේ ක්‍රමයක් ඇති වූයේ නම් එය රාජ්‍ය සෞඛ්‍ය සේවාව භාන්ඩාගාරය දෙසම බලා සිටීමේ උවමනාවෙන් මඳකට හෝ නැවතිය හැකිය. (රටක සෞඛ්‍ය ගැටළු විසඳීම යනු සිගරට් පැකට් එකක ලේබල් එක වෙනස ්කිරීම යැයි සිතා සිටින අයට නම් එවැන් දේ කල්පනා වෙන එකක් නැත..)
පසුගිය කාලයේ ප්‍රාෙද්ශීය රෝහලක ඇපෙන්ඩිසයිටිස් වලට ප්‍රතිකාර ගත් ඥාතියෙකු බැලීමට මා නිතර එහි ගියෙමි. ඒ ප්‍රාෙද්ශීය රෝහලට අවැසි බොහෝ දේ මිනිසුන් විසින්ම පරිත්‍යාග කොට තිබුනි. රූපවාහිනී. විදුලි පංකා, පුටු, ඇඳන්, කුණු බාල්දි, වැසිකිලි අළුත්වැඩියා ආදී කාර්යන් රැසක් රෝහලේ ප්‍රතිකාර ගත් අයම සංවිධානය වී හෝ පුද්ගලික ධනයෙන් ඉටුකර දී තිබුනි. අප අතරම සිටින ඇතැමෙක් පුද්ගලික රෝහලක සුළු රෝගයක් සුව වන්නට සිට ගෙවන ලක්ෂ ගානක මුදලින් අර විදියේ කුඩා රෝහල් වලට අවශ්‍ය කොතරම් දේවල් තනාදිය හැකිද? අපගේ රෝහල්වල නිතර දකින අඩුවක් වන රෝහල් වැසිකිලි පද්ධති මඳක් අළුත්වැඩියා කර දෙන්නට අපිට රුපියල් ලක්ෂයක දෙකක මුදලින් වුව හැකිය. මැරෙන්න යන හරක් නිදහස් කරගන්නවාට වඩා ජිවත්ව සිටින මිනිස්සුන්ගේ වේදනාව සමනය කරන රෝහලක අළුත්වැඩියාවක් කල හැකි නම් එය වැදගත් වන බව මගේ පුද්ගලික හැඟීම වෙයි.
මගේ මව අවසාන කාලයේ සිටි කරාපිටිය රෝහලේ පිළිකා වාට්ටුවේ බොහෝ දිනවල රෝගීන්ට කෑම බීම සහ තෑගි ලැබේ. කලක් එහි සිට මිය පරළොව ගිය ඥාතින් විසින් සිය ඥාතියා සිහිවීමට එසේ පරිත්‍යාගයන් කරති. ඒ අතින් විටකදී කවර අන්දමේ අවර ගතිගුණ තිබුනත් අප රට මිනිසුන් බොහොමයක් හදවතින් උතුම් පුද්ගලයෝයැයි පෙනේ.
පිළිකාව, රෝහල් වල තත්වය, වෛද්‍ය ආකල්ප, සේවා තත්වය ආදී දේ ගැන වික්ටර් අයිවන් විසින් දීර්ඝ ලිපියක් රාවයට ලියා ඇත. එයින් කොටසක් කීර්තිමත් වෛද්‍ය වරුන් ගැන ලියා තැබීමට ඔහු වෙන්කර ඇත. අපි දැන් ඒ කොටස කියවා බලමු.
මීට වසර දහයකට පහළොවකට පමණ ඉහතදී මියගිය දොස්තර ආටිගල අගමැතිවරුන්ගේද පසුව ජනාධිපති වරුන්ගේද වෛද්‍යවරයකු ලෙස ක‍්‍රියා කළේය. වෙනත් වෛද්‍යවරුන් රුපියල් 350ක් පමණ අය කරන කාලයේදී ඔහු චැනල් සේවයේ රෝග පරීක්ෂාවන් සඳහා අය කරන ලද්දේ එක් අයකු සඳහා රුපියල් 85ක් පමණය. මීට කලකට ඉහතදී මහරගම පිළිකා රෝහලේ ප‍්‍රධානියා ලෙස ක‍්‍රියා කළේ ලකී දිසානායක නමින් වෛද්‍යවරයෙකි. ඔහු සී.සී. දිසානායකගේ පුතාය. ඔහු චැනල් සේවයේ නොයෙදුණු අතර ජීවත් වූයේ වෘත්තියෙන් ලැබෙන වැටුපෙනි. ඔහුට පරණ මෝටර් රථයක් තිබුණද වැඩට ආවේ මෝටර් සයිකලයකිනි. ඔහු ජේවීපී දෙවැනි කැරැුල්ල කාලේ මට කීවේ කැරැුල්ලේ හොඳ නරක ගැන කීමේ හැකියාවක් තමන්ට නැතත් විජේවීර රෝහල් ගැන මීට වඩා සංවේදීව ක‍්‍රියාකළ යුතු බවය. රෝහල් වසන්නට නියෝග කරන ප‍්‍රතිපත්තියක් කවර මට්ටමකින්වත් යුක්තිසහගත කළ නොහැකි බව ඔහු කීවේය. ඔහු මහරගම පිළිකාරෝහලේ නේවාසිකව සිටි දුප්පත් රෝගීන්ට උදව් අවශ්‍ය අවස්ථාවලදී නිර්ලෝභීව උදව් කළේය. ඔහු තරම් පිළිකා රෝගීන්ගේ ගෞරවයට හේතුවූ වෙනත් වෛද්‍යවරයකු ගැන මා අසා නැත.
ඔහු මියගියේ දියේ ගිලීය. ඔහුගේ අවමංගල්‍යයට සහභාගි වූ අයගේ ප‍්‍රමාණය අතිවිශාලය. ඔවුන් අතර සියලූම දේශපාලන ප‍්‍රභූන් සමග නානා මාදිලියේ අය සිටියත් ඔවුන් අතර සිටි වැඩිම පිරිස ඔහුගෙ ප‍්‍රතිකාර ගනු ලැබූ ඔහුගේ සෙනෙහස හිමි කරගත් රෝගීන් ලෙස සැලකිය හැකිය. ඔහුගේ රාමු කළ ඡුායාරූපයක් මහරගම පිළිකා රෝහලේ එල්ලා තිබෙන බවත් සමහර පරණ රෝගීන්පිළිකා රෝහලට පැමිණි විට එම රූපයට වඳින ආකාරය ඉඳහිට දකින්නට ලැබෙන බවත් රෝහලේ කාර්ය මණ්ඩලයේ සේවකයකුගෙන් කිසියම් අවස්ථාවකදී මට අසන්නට ලැබුණු විට මා තුළඅමන්දානන්දයක් ඇතිවිය. අප ජීවත් වන මෙම රෝගී සමාජයට වැඩියෙන් අවශ්‍ය වී තිබෙනුයේ එවැනි ශ්‍රේෂ්ඨ මිනිසුන්ය.
- See more at: http://ravaya.lk/?p=3791#sthash.q2a6BbNs.dpuf
රාවය පුවත්පතේ ඒ දීර්ඝ විශේෂාංගය වික්ටර් අයිවන් විසින් මුහුන දුන් අත්දැකීම්ද සහිතව ලියා ඇත. එය ඉහත තිබූ ලිංකුවෙන් බලාගත හැක.
මුදල් වස්තුව යාන වාහන ආදී බොහෝ දේ අප මියෙන විට රැගෙන යන්නේ නැත. නමුත් ඇතැම් පුද්ගලයින් මිය ගියද කලක් යන තුරු ඔවුන්ගේ කිතුගොස පවතී. මිනිස්සු එවන් වැඩදායි අය සිහිකර හදවතින් ඔවුන් ගැන දුක්වෙති. එවැන් වූ නමක් තනාගැන්ම කවර නම් වූ මිලියනපතියෙක්ට වුව අමාරු කාරියකි. කොතෙක් මුදල් පස්සේ ගියද අවසානයේ කිසිවෙකු නොදන්නා විදියේ අවමගුලක් මුදල් කඳු ගසා ඇති මුදලටම ගිජු වූ බොහෝ දුර්ජනයින්ට හිමි වේ. එවන් වූ සල්ලි උඩම ජිවත් වූයෙක් මලාද ජීවත්වෙයිදැයි යන එක ගැන ඉතාම සමීපතමයෝ හැර කිසිවෙක් කලබල නොවේ.

Monday, August 4, 2014

බිඳුන ආදර සිත.. Broken Something


ඇඟපුරා දැවිල්ලක්
හදවතේ කැසිල්ලක්
නින්ද නැති සෙවිල්ලක්
අලුතින් මැ රෝගයක්
කොල්ලෙකුට ඇවිල්ලා..

ඇස් නටනු පේනවා
හොරෙන් ඇය බලනවා
ගස්සගෙන දුවනවා
ඉතිං ඌ බැඳෙනවා
තේරෙන්නෙ නෑ තවත්..

දුර ඉඳන් බැලූ කල
එන්ට යැයි කියාලා
අඩගසනවා එ මල…
බඹරා මතින් ආල
ඒ දෙසට ඇදෙනවා..

ළඟට කෝ දුර ඇපල්
පෙනේ යස අමු පැපොල්
ඇගේ මුව වී ඇඹුල්
සිනා නැති මුව කොපුල්
බඹරටත් හෙන අවුල්

කල් බලා සිටින්නට
බෑ තවත් රුපුන් හට
ඇඟට ගෙන මාර ඝට
ලං වුනා ඈ ළඟට
මොකක් වෙයිදෝ මන්ද

කොල්ලා :- මලක් ගැන අදාසක්
පිරී ගොස් හිත කොනක්
නෑ රැයක් දවාලක්
එකම එක හීනයක්
ඔයා ගැන ඇවිල්ලා

යුවතිය:- ඔය වාගෙ ලෙඩ ලකුණු
කාලෙකට පෙර දුන්න
ඒ ලෙඩා මා රැගෙන
සදාකල් ලෙඩ වෙන්න
බැඳී,රෝ සුව වෙන්න

වරකට එකයි මෙමට
ඒ සදා කාලෙටම
කියා ඕ ඌ වෙතට
වෙඳැගිල්ල මුදුව බට
උස්සලා පෙන්නුවා..

Sunday, August 3, 2014

නේපාලෙ නාය බිහාරෙ ගංවතුර

මේ දවස්වල මෝසම් වැස්ස. ලංකාවට වගේම මෝසම් වැස්ස ඉන්දියාව, බංග්ලාදේශය, නේපාලය, භූතානය ආදී රටවල් කිහිපයකටම බලපානවා. පසුගිය සෙනසුරාදා (2014 අගෝස්තු 2) නේපාලයේ සින්දිපල්චොක් දිස්ත්‍රික්කයේ ජූරේ කියන ගම්මානයේ නාය යෑමක් සිදුවුනා. දින කීපයක පටන් තිබෙන මොසම් වැසි තත්වය හේතුවෙන් තමයි නායයෑම ඇතිවුනේ.
මේ නාය යෑම හේතුවෙන් නේපාලයේ ඒ පළාතෙ මිනිස්සු 100කට වඩා පිරිසක් අතුරුදහන් වෙලා තිබෙනවා. ඒ වගේම නිවාස බර ගානකට හානි වෙලා. මේ නැතිවුන මිනිස්සු හොයන්න නේපාල හමුදාව තාමත් මහන්සි වෙනවා.
ගඟ අවහිර කරමින් සිදුවුන නේපාලි නාය
නාය යෑම සිද්ද වුනේ කොෂි කියන ගංගාව දෙසට.කිලෝමීටර 729ක අතුගංගාවක් වන කොෂි ගඟ බහින්නෙ ගංගා නම් ගඟට.  නිම්නයකින් ගලා යමින් තිබුන කොෂි ගංගාවට එකවර කෘතිම බාධකයක් එල්ල වුනා. ඇතිවෙල තිබෙන වර්ෂාව නිසා කොෂි ගඟත් දුඹුරු පාටට හැරිලා වතුර ‍ගොඩාක් ගෙනයමිනුයි තිබුනෙ.
කොෂි ගංගාව නේපාලයේ උස් කඳු මුදුන් වල සිට ඉන්දියාවෙ බිහාර් ප්‍රාන්තය දෙසට යන ගංගාවක්. මිනිස්සු මිලියන ගනනක් මේ ගංගාව නිසා සිය ජීවිතය ගෙනියනවා. නේපාලෙ පැත්තෙන් දැන් අර නායයෑම නිසා ලොකු පස් කුට්ටියක් වැටිලා ගංගාව අවහිර වෙලයි තිබුනෙ.
නේපාල පැත්තෙන් ගත්තොත් තව බොහෝ වෙලාවක් මෙහෙම විශාල පස් කන්දෙන් ගඟ යටවවෙල තිබුනොත් නේපාල පැත්තෙ විශාල නොසිතූ විරූ ගංවතුරක් ඇතිවෙන්න පුළුවන්.ඒ නිස නේපාල හමුදාව‍ මොකෝ කලේ පිපිරෙව්වා අර තාවකාලික පස් බැම්ම එකපාරටම
නේපාල නාය යාමේ තවත් පැතිකඩක්.
හරි දැන් නේපාල සීමාවෙන් දැන් වතුර කඩ බහින්න පටන් ගත්තා. නේපාල හමුදාව සැනසුනා. ඒත් ඉන්දියානු බිහාර පැත්තෙ ජනතාවට නොසිතූ විරූ අන්දමට මේ මහ වතුර කඳ බලපෑවා. ඒ මහා වතුර පාර බිහාර බලධාරින් හිතාගෙන හිටියටත් වැඩිය සැර සහ විශාල එකක් වුනා.
බිහාර් ප්‍රාන්තෙ මිනිස්සු 500කට එහා මැරිලා මිලියනක් විතර මිනිස්සුන්ට උන්හිටි තැන් අහිමිවෙලා. දැන් ඉන්දියාවෙ හමුදාව සහ බිහාර් පාලකයො කියනවා ඒ අයට නේපාලි හමුදාව කලිං කිව්වනං අර ගඟට වැටුන පස් කන්ද ටිකෙන් ටික අයින් කරලා වතුර ටික ටික බහින්න ඉඩ දෙනවා කියලා. නමුත් කලබලේට නේපලි හමුදාව මහ බැම්ම පුපරලා වැඩේ වෙල ඉවරයි.
අවතැන් වුන බිහාරෙ මිනිස්සු.
 නරේන්ද්‍ර මෝදි ඉන්දියානු අගමැති ඉන්දියානු බලධාරින්ට උපදෙස් දිල මහ ගංවතුර සහ නේපලි නායයෑමෙන් අවතැන් වුන ඉන්දියානු සහ නේපාල කියන දෙජාතියෙම මිනිස්සු ගැන ඉන්දියානු බළධාරින්ට සොයලා බලලා වැඩ කරන්න කියලා. හප්පද බොල ඒ මොකෝ ඒ. බැලූ බැල්මට වැරැද්ද නේපාල පැත්තෙ. ඒත් ඇයි එයා එහෙම නිවුනු ප්‍රකාශයක් කලේ.
ඉන්දියාවෙ මෝඩි මේ දවස්වල නේපාලෙ එක්ක පොඩි ගනුදෙනුවක් කරනවා. ඒත් වතුර ගැනම තමයි. නේපාලය සහ ඉන්දියාව අතර වතුර බෙදිල්ල ගැන පොඩි පොඩි ගැටුම් ඉදලාම ඇතිවෙනවා. ඉන්දියාව හරහා ගලන ප්‍රධාන ගංගා කිහිපයක්ම ගලන්නෙ නේපාලය දිහායින්.ගාගා නම් ගඟට විශාල ජල ප්‍රමාණයක් ලැබෙන්නෙ නේපාලය හරහා.
නේපාලය මුල්කරගෙන ගලන ගංගා ජලය ඉන්දියාවට වැදගත්. ජලය හිඟතාවයෙන් උතුරු ඉන්දියාවෙ දිල්ලි නගරය පවා අවධානමක් තත්වයක තමයි පවතින්නෙ. ඒ වගේම ජල විදුලිය නිපදවන්න සුදුසු කඳුවලින් වටවුනු ලොකු නිම්න වලින් ගලන ජල ධාරාවන් ගොඩක් නේපාලය සතුයි

 ජල විදුලිය නිෂ්පාදනය කරලා දෙරට අතර විදුලිය බෙදාගන්නත් ජලය කළමනාකරණය කරගන්නත් මේ කට්ටිය එකතුවෙලා මේ දවස්වල කතා කරනවා. ඊයෙ මෝඩි ගිහින් නේපාලෙ කත්මන්ඩු අගනුවරට. පන්චෙස්වර් කියලා හඳුන්වන මේ හදන්න යන එක විදුලි බලාගාරයක අපේක්ෂිත ධාරිතාව මෙගාවොට් 6400ක්. මෙගාවොට් 6400ක් කියන්නෙ ලංකාවෙ සමස්ථ විදුලි අවශ්‍යතාවයටත් වඩා වැඩි අගයක්..
මෝඩි අගමැති තුමා යන්නට කලියෙන් ඉන්දියා විදේශ ඇමතිනි ශුෂ්මා ස්වරාජ් මැතිනිය සතියකට කලිං කත්මන්ඩු ගිහින් නේපාල කට්ටියකතාකරලා තිබුනා. නේපාල විපක්ෂය නම් කියන්නෙ මේ වැඩෙන් නේපාලෙ තියෙන වතුර ටික ඉන්දියාවට, නේපලි ආන්ඩුව විසින් විකුනනවා කියලා.
ව්‍යාපෘති සාකච්චා යන අතරමඟ සිද්දවුන නායයාම සහ බිහාරයේ විශාල ගංවතුර තත්වය ගැන මහා කරුණාවෙන් බලන්න මෝඩි අගමැති තුමා පෙළඹෙන්න ඇත්තෙ මේ වාරි ව්‍යාපෘති හරහා ඉන්දියාවට ලැබෙන්න යන විශාල විදුලිය සහ ජල ප්‍රතිලාභ ගැන හිතලා වෙන්න ඇති.
යෝජිත බලාගාර ඉදිකරන්න හදන තැන
නාය යෑමත් ගංවතුරත් නිසා මිනිස්සු දාස් ගානක් උන්හිටි තැන් අහිමිවෙලා සමහරු තාමත් අතුරුදන් වෙලා ඇති. මිනිස්සුන්ගේ පැත්තෙන් ගත්තොත් ලොකු විපතක්. ඉන්දියා‍වෙ බිහාර් පැත්තෙ මිනිස්සුන්ට නේපාලි කාරයොත් එක්ක මාලුකන්න තරහ ඇති. සාමාන්‍යයෙන් කොෂි ගංගාවෙ එන්න පුළුවන් උපරිම ජල කඳටත් වැඩිය මහ විශාල වතුර කඩක් අර බැම්ම පුපුරුවාදාපු නිසා මේ පැත්තට ඇවිල්ල කියලයි ඉන්දීය වාරි ඉංජිනේරු‍වරු කියන්නෙ.
මේ අවාසනාවන්ත නාය යෑමෙන් සහ ගංවතුරින් අනාථ වුන පවුල් ගාන දස දහස් ගානක්. ඒ අතරින් මේ කියන වාර්ථා මොනවා වුනත් මිනිස්සු දාහක් විතර ගානක් දෙපැත්තෙන්ම මිය පරළොව යන්නට ඇති

Saturday, August 2, 2014

1950 දි ලංකාවෙ ප්‍රවාහනය Transport Conditions in Ceylon

එක්දාස් නවසිය පනහට කලිං ලංකාවෙ ප්‍රවාහනය සම්බන්ද පිංතුර ටිකක් හමුවුනා. අපි දැන් එකින් එක ඒවා බලමු.
මේ තියෙන්නෙ 1950 දි පිටකොටු ලොරි නැවතුම. රේල් පීලි විදියට පේන්නෙ ට්‍රෑම්ප් කාර් ගිහිපු පාර. ට්‍රෑම් කාර්සේවය කොළඹ කොටුවේ සිට තොටළඟටත් බොරැල්ලටත් තිබිලා තියෙනවා. පස්සෙ කාලෙක ට්‍රෑම්ප් කාර් සේවය නවත්වලා. දැන් වුනත් බොරැල්ලට එහෙම දවල් වෙලාවක බස් එකේ යන්න ගත වෙන වෙලාව එක්ක බැලුවාම ට්‍රෑම්ප් කාර් තිබුනනං සෝයි කියලා හිතෙනවා. 
මේ තියෙන්නෙත් පිටකොටුව බස් ටෑන්ඩ් එක කියලා තමයි පොතේ නම් තියෙන්නෙ. ඒත් මට නං තේරෙන් නැහැ මේ මොන ඉසව්වද කියලා. ඒ කාලෙ තිබුන බස් ආදිය බොහොම පොඩියි. ඔය යට තියෙන කරත්තෙ හරියෙ ත්‍රිවිල් එකක් වාගේ පේන්නෙ ත්‍රී විල් එකක් නෙමෙයි. ඒක කාර් එකක්. 
එදා 1950 දි බස් ඇන්ජින් රටින් ගෙනාව ඒවායේ අලුත් වැඩියාවන් සිදුවුනේ ලංකාවෙදි. එදාත් බස් වල ඇන්ජින් බෝර් කරන්න ආදිය තිබිලා තියෙනවා. කොහොම වුනත් එදා ලංකාවෙ බස් වල ඇන්ජිමයි චැසියයි පිටරටින් ගෙනාවම මෙහෙ අය බොඩි නම් ගහලා තියෙනවා. 
මේ ලංකාවෙ බොඩිය ගහපු බස් එකක්. එන්ජිම පිටරට වුනාට බොඩිය අපේ. මේ බස් නම් මම ඇස්දෙකට දැකලාම නැහැ. මම දන්න කියන කාලෙ අශෝක ලේලන්ඩ් බස්, ඕ ඇම් බස් ලංකාවෙ තිබුනා. නමුත් මේ ආකාරයේ බස් එකක් නම් තිබුන් නැහැ. 
බස්නාහිර උතුර ප්‍රදේශ බස් සමාගමට අයිති ජා ඇල බස් නැවතුමේ දර්ශනයක් තමයි මේ. ඒ කාලෙ බස් තිබුනෙ සමාගම් වලට. ඒ ඒ සමාගම් වලට ඒ ඒ පැත්ත බෙදාල දීල තිබුනා. ඒ නිසා යම් යම් අවස්ථාවල අන්තර් පලාත් හරහා ගමනාගමනයේ යෙදෙන මගින්ට අවාසියක්,අපහසුතාවයක් සිද්ද වුනාලු. සමාර බස් නැවතුම් වල නවත්වලා තියෙන්නෙ අදාල සමාගමේ බස විතරයි. අනෙක් පැත්තට යන බස් එකක් ගන්න අනෙක් සමාගමේ බස් නැවතුමට මිනිස්සු පයිං ඇවිදගෙන යන්න ඕනි. 

 මේ තියෙන්නෙ හැමිල්ටන් ඇල. ඒක ඒ කාලෙ යම්තාක් දුරට බඩු ප්‍රවාහනයට යොදාගෙන තියෙන්න ඇති. නමුත් මීට පසුකාලීනව ඇල බොහොම ජරාවාස වෙලා මේ ළගදි තමා ආයිත් ඕකෙන් මීගමු කලපු යන්න හැකි වුනේ.මේ වගේ මාර්ගයක් අතහැරලා අඩුතරමෙ සංචාරක වැඩකටවත් යොදා නොගෙන අතඇරලා දාන එකනම් අපරාධයක්. 

 වැල්ලවත්ත බස් නැවතුම තමයි මේ  දිස්වෙන්නෙ. තට්ටු දෙකේ බස්එකක් මේ පිංතූරෙන් පෙන්නුම් කරනවා. මිනිස්සුත් ගොඩක් ඉන්නවා පේනවා. ගෑනු කොටට හෙමත් ඇදන් ඉ්නනවා බලාගත හැකි ටිකක් සූම් කරලා බැලුවොත්. මේ වගේ තැනක් නම් මතකේ යාන්තං තියෙනවා. හැබැයි අරවාගේ පොල් ගස් පේන වැල්ලවත්තක් නම් අද නැහැ. හැමතැනම බිල්ඩින් නෙව. 
තට්ටු දෙකේ බස් එකක ඇතුළ තමයි මේ. තට්ටු දෙකේ බස්ලංකාවෙ තිබුනාට වැඩිය ජනප්‍රිය වුනේ නැහැ. දැනට නම් සංචාරක වැඩකට යොදාගන්න බස් එකක් දෙකක් තියෙනවා. කාලයක් ආරංචියක් තිබුනා ලංගම පුද්ගලීකරණය කරලා ලොුකු තට්ටු බස් මෙහෙට දානව කියල.ඒ්ත වැඩේ හරිගියෙ නැහැ. පහුගිය කාලෙ ගාලු පාරෙ නං එක දෙකක් දිව්වා. ටෙලිපෝන්, ලයිට් වයර්, නැමුනු ගස් ආදිය නිසා මේ තට්ටු බස් ලංකාවෙ දුවන එක ලෙේසි නැහැ. ඔන්න හයිවේ එකට වගේ නං හොඳ වෙයි. 
මේ පිංතූරෙත් පිටකොටු කියලා තමයි තියෙන්නෙ. මේකෙත් කොටට ඇඳපු ගෑනු එකක් ඉන්නවා. ඒ වගේම හොදට බැලුවොත් දකුණු පස අයිනෙ රික්සොවක පස්ස පැත්තත් පේන්න තියෙනවා. ඒ කාලෙ බස් තිබුනාට කරත්ත එහෙම ගොඩක් තිබිලා තියෙනවා. කරත්ත එංජිමට(ගොනාට)  තෙල් ගහන එක ලේසියි. වැඩි වියදමක් නැහැ. ඉස්සරහට තෙල් මිල ගොඩාරියක් වැඩිවුනාම අපිට ආයිත් කරත්ත එංජින් හොයාගෙන කැලේ යන්න වේවිද දන් නැහැ. 

මේ පින්තූර හොයාගත්තේ ට්‍රාන්ස්පොට් කොන්ඩිෂන් ඉන් සිලෝන් කියලා තියෙන පොතකින්. ඒ පොතේ තියෙනවා විස්තර ඒ කාලෙ බස් ප්‍රවාහනය ගැන. පොත ලියපු මහත්මයා ආන්ඩුවේ ඇරයුමක් අනුව ලංකාවේ බස් කර්මාන්තය ගැන නිර්දේශ ඉදිරිපත් කරපු අයෙක්. එතුමාගේ සමහර නිර්දේශයන් අද දක්වාම ක්‍රියාත්මක වෙලා නැහැ කියලා අපිට අද ලංකාවෙ බස් සේවෙ බැලුවාම පේනවා. 

පොත කියවන්න ආසය අයට මේ පිංතුර ටික බලලා වැඩේ ගොඩදාගත හැකි වෙයි.

Friday, August 1, 2014

budget smart Phone ලාබෙට, කදිම කලේලි අතබනු


මගෙ දැන් තියෙන කලේලි අතබනුව(Smart Phone) ඇන්ඩ්‍රොයිඩ් එකක්. ජෙලි බීන් තිබුනට ඒක හරිම ස්ලෝ ප්‍රොෙසස් තමයි රන් වෙන්නෙ. මගේ කලේලි අතබනුවේ ජාතිය Samsung Galaxy GT-S6810.
මම මීළඟට අතබනුවක් මිලදී ගන්නවා නම් වින්ඩෝස් අතබනුවකට යන්න හේතු ගොඩාරියක් තියෙනවා. තව කෙනෙක්ටත් වැදගත් වෙයි කියාල ඒවා ටිකක් ලියල තියන්න හිතුවා.

අපිට ලංකාවෙදි ලැබෙන වැටුප් තත්වය අනුව කලේලි අතබනුවකට(Smart Phone) වියදම් කරන්න ලැබෙන වැය සාමාන්‍යෙයන් රුපියල් 15,000-40,000ත් අතර අගයක් ගන්නවා. මේ ගානට ගන්න පුලුවන් නියම මෙහෙයුම් පද්ධතියක් (Genuine OS) තියෙන දෘඩාංග(Hardware) සහ මෘදුකාංග(Software) සමරූපි කරලා හදපු එකම කලේලි අතබනු තියෙන්නෙ නොකියා ලූමියා ලගේ..ඇන්ඩ්‍රොයිඩ් ලගේ සුපිරිම අතබනුව විදියට සලකන්නෙ නෙක්සස් කියන එක. සැම්සුන්, සෝනි, එච් ටී සී, හුවාවේ, ඉසට් ටී ඊ, මයික්‍රොමැක්ස් ආදි එකී මෙකී නොකී ගොඩක් සමාගම් ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතියට අතබනු හදනවා. ඒ සියලු අතබනු එක්ක ඇන්ඩ්‍රොයිඩ් හරියටම ගැලපීමක් වෙන්නෙ නැහැලු.
නොකියා ලූමියා හදල තියෙන්නෙ ඒ විදියට සමපාත වෙන විදියට. ඇපල් වුනත් අපිට ජපානෙන් පන්නපු ඇපල් අයි අතබනුවක් අරගෙන රුපියල් හතලිස් දාහක් විතර යනකොට අඟුල ඇරලා (Unlock) ප්‍රදර්ශන කාමය (Show-Off) පිණිස පාවිච්චි කරන්න පුලුවනි. නියම ඇපල් අයි අතබනුවක (Taste of Real iphoene) රස හොරෙන් අඟුලු හරින ලද අයි අතබනු පාවිච්චි කරනකොට නැහැ කියලා තමයි ගොඩක් අය කියන්නෙ.
නොකියා වල තියෙන තව දෙයක් තමයි දැනට තියෙන ජංගම මෙහෙයුම් පද්ධති වල තියෙන බහුකාර්ය (multitasking) හැකියාව හොඳටම තියෙන දුරකථන මෙහෙයුම් පද්ධතිය (mobile OS) විදියට දැන් සලකන්නෙ වින්ඩෝස් පෝන් (Windows Phone 8.1) කියන මෙහෙයුම් පද්ධතිය.මේ බහුකාර්ය හැකියාව කියලා කියන්නෙ වැඩ කිහිපයක් එක වර කරන එක. ස්කයිප් ඇමතුමක්(Skype Call) අතර සාමාන්‍ය ඇමතුමක් ආවොත් හරි, එහෙම නැත්තං හඬ පටිගත කරන(Voice Recording) අවස්ථාවකදි දුරකථන ඇමතුමක් එනකොට හරි, වෙන වගේ වැඩ දෙකතුනක් එකවිට සෙට් වෙනකොට අඩුබලයෙන් යුතු (Low Spec Android Phone) ඇන්ඩ්රොයිඩ් අතබනු පොඩ්ඩක් පිස්සු කෙලින ගතියක් තියෙනවා. වගේම පසුබිම් වැඩකිඩ (Background Task) වැඩි වෙලාවල් වලදි අඩුබල ඇන්ඩ්රොයිඩ් අතබනු වල පට්ට සෙමින් වැඩ කරන ආකාරයක්(incredibly Slow) පෙන්නුම් කරන විදියකුත් තියෙනවා.
නොකියා ලූමියා මූලික මට්ටමේ අතබනු වල තාවකාලික මතක අගය මෙගාබයිට්ටු (RAM 512mb) 512 තිබුනාට ඒක ලෙසට බෙදාගෙන කියාගෙන කරගෙන වැඩ තුනහතරක් එකපාර කරගන්න හැකියාව නොකියා ලුමියා වලට තියෙනවා කියලා තමයි භාවිත කරන අය දෙතුන් දෙනෙක්ම කිව්වෙ. ඇන්ඩ්රොයිඩ් අයිස් ක්රිම් සැන්විච් (Android 4.0) වලින් එහාට ගිහිපු ජංගම මෙහෙයුම් පද්ධති බොහෝ වෙලාවට තාවකාලික මතක 512 වගේ අගයන් වලදි සෙමෙන් ධාවනය වන (Slow) ගතියක් පෙන්නුම් කරනවා. නමුත් වින්ඩොස් මොබයිල් එහෙම නැහැ. බබා වගේ අගේට වැඩ කරනවා.
වින්ඩෝස් වල අලුත්ම වින්ඩොස් පෝන් 8.1 යාවත්කාලීනයේදී (Update) පෙනුම සහ නව යෙදවුම් වගේම මෘදුකාංග දෘඩාංග එක්ක ගනුදෙනු කරන්න වෙන මූලික මට්ටමේ යෙදවුම් බොහොමයක් අලුත්වැඩියා වෙලා කියලා තමයි අන්තර්ජාලයේ තිබුනෙ. ඒ නිසා බැටරි බලය සාපේක්ෂව වැඩිපුර වෙලාවක් භාවිත කරන්න හැකියාවක් ලැබිලා තියෙලු.
ලංකාවෙ දුරකථන වෙළඳපොල, පරිඝනක වෙළඳපොල තරම්ම වේගයෙන් යාවත්කාලීන වෙන්නෙ නැහැ. කුඩා අතේ යන පරිඝනක (laptop, tabs) වගේ ඒව නම් පිටරටවල නිකුත් කරන දවස්වලම ලංකාවට එන ගතියක් තියෙනවා. කලේලි අතබනු (Smartphones) ජනප්‍රිය වීම වගේ වේගෙන් වෙන් නැහැ. ගැලක්සි එස් ටූ (Samsung Galaxy S2) කියන අතබනුව තාමත් අපේ අය අතර වෙළඳපොලේ ජනප්‍රියයි. සැම්සුන ගැලක්සිලාම ඉන් පස්සෙ අතබනු ගොඩාරියක් නිකුත් කලා. නමුත් අපේ රටේ කලේලි අතබනු පාවිච්චි කරන අය අලුත් අතබනුවක් විදියට අවුරුදු දෙකකට විතර කලිං නිකුත් වෙලා අතරමගදි නව යාවත්කාලීන එක් වුන ගැලක්සි ඇස් ටූ, සෝනි එක්ස්පීරියා එල් පාවිච්චි කරනවා. එක අතකින් ඒකෙ වැරැද්දකුත් නැහැ. කොයි තරං යාවත්කාලීන එකතු වෙලා අලුත් වුනත් අපේ රටේ කලේලි අතබනු පාවිච්චි කරන අය ඒකෙන් කරන්නෙ සීමිත වැඩ කොටසක්. එතනදි ඒ වැඩටිකට හරියන්න අඩුගානට වඩාත් ස්ථායී ජනප්‍රිය ෆෝන් එකක් මිලදී ගන්න එක වාසිදායකයි. වැඩිපුර භාවිත වෙන අතබනුවක් කැඩුනම හදන්නත් ලේසියි. ගොඩක් තැන්වල කෑලි තියෙනවා සහ හැමෝම අතේ තියෙන අතබනු ජාතියෙ එකක් ඔපරේෂන් කරන්න කලේලි අතබනු ගලවලා හදන ඕනි ගස් වෙදෙක් දන්නවා.
අවසාන වශයෙන් නොකියා ලූමියා වල තාවකාලික මතකය සාපේක්ෂව අඩුවුනාට කැමර් එක පොඩි අගයක් වුනාට ඒක තරමක් දුරට රළු භාවිතා කරන්න පුලුවන් (පට්ට ගහන්න හැකි) පහසු මිලෙන් අඩු කදිම කලේලි අතබනුවක් කියලා කියන්න පුලුවනි.