Sunday, July 27, 2014

භාරතීය ගණිකාවත එකළු කල මුස්ලිම්වරු

කිතු වසින් දහනව වන සියවසේදී ඉන්දියාවට කඩා වැදුනු මුස්ලිමුන් ගෙන ආ ශුද්ධ වූ විශ්වාසයන් එතෙක් වූ සමාජ පිළිගැනීම් වලට වෙනස් ආකාරයක බලපෑම් එල්ලවිණි. හින්දු ආගමික ග්‍රන්ථ මෙන් නොව ශුද්ධ වූ කුරාණය වෛශ්‍යා වෘත්තිය එහෙම පිටින්ම හෙළා දුටු සාමයික පිළිගැනිමකි. කුරාණයේ සුරා නම් ග්‍රන්ථයේ මෙසේ සඳහන්ය.

“නුඹලාගේ ස්ත්‍රීන්ගෙන් කිසිවෙකු වෛශ්‍යාකර්මයේ යෙදී අසුවිණිද නුඹලාගේම සාක්ෂි කරුවන්ගෙන් කරුණු සනාථ විනි නම් එකී ස්ත්‍රීන් ඔවුන්ගේම නිවෙස්හී මරණය විසින් නිදහස් කරනු ලබන තෙක් හෝ දෙවියන් වහන්සේගේ කැමැත්ත ඉටුවන තෙක් සිරකර තබව”

මුල් කාලීන ඉස්ලාමීය පිළිගැනීම්වල සිටම පරදාරය සහ වෛවාහක නොවන කාම සේවනයට තුඩු දුන් දඩුවම නම් බිත්තියකින් සිර කිරීමය.ඉන් අපේක්ෂා කලේ මරණය කැඳවීමයි. පසුකාලීනව මෙය අවිවාහක ස්ත්‍රින් නම් අවුරුද්දකට පිටුවහල් කිරීමත් කසපහර දීමත් ලෙස නවීකරණය කැරිණි. විවාහක ස්ත්‍රීන් ගල් ගසා මරා දමන ලදී. මෙම පුරුෂවාදී ආගම මෙබඳු වරදවලට දඩුවම් කිරීමේදී පිරිමි සහ ගැහැණුන් අතර වෙනස්ව කටයුතු කලේය. “මෙම වරදම පිරිමින් දෙදෙනකු කළහොත් ඔවුන් වරද නිවරදි කර ගැනීමට සූදානම් නම් දෙවියන් වහන්සේ‍ගේ සමාව ලැබීමට ඉඩ හළව” යැයි සුරා හී සඳහන්ය. මෙය විචාරයට ලක් කරන ෆර්නැන්ඩෝ හෙන්රිකස් පවසන්නේ පුරුෂ සම ලිංගික සේවනය පිළිබඳ යට කී නිර්දය පිළිගැනීම පසුකාලීන ඉන්දියාවේ මුස්ලිම් යුගයේ යම් අනියම් ප්‍රථිපල ජනිත කිරීමට හේතු වූ බවයි.

කුරානයට අනුව ගණිකාවන්ට හිමිවන තත්වය භයංකර ලෙස පහත්ය. වෙසඟනන් අලෙවි කරුවෙකු විවාහ විය යුත්තේ වෙසඟනක සමඟ හෝ ප්‍රථිමා වන්දනා කරන්නියක සමඟ බව ශුද්ධ වූ ග්‍රන්ථ වල සඳහන්ය. ගණිකාවක වෙසඟනන් අලෙවි කරුවෙකු සමඟ මිස වෙනකකු සමඟ විවාහ නොවිය යුතුය. එහෙත් ඒ විවාහ බන්ධනය පවා ආගමික විශ්වාසයනට පටහැනිය. මේ නිසා ඔවුන්ගේ ක්‍රියාවන්ට දැඩිව දඩුවම් කරනු ලබයි. ගණිකා නිවාසකරු සහ ගණිකාව යන දෙදෙනාටම කස පහර සියය බැගින් පමුනුවයි. මෙයින් පෙනී යන්නේ ගණිකා වෘත්තිය ඉස්ලාමීය විහ්වාසය විසින් ඉවසා දරා නොසිටි බවය. දහනව වන සියවසේ සිටි ඉංග්‍රීසි ප්‍රතිසංස්කරණවාදීන් මෙන්ම නබි නායක තුමන්ද පැවසූයේ යමකුට ගැලපෙන සහකාරීය සොයා ගැනීමට නොහැකි වීනම් දෙවියන්ගේ කැමැත්ත ඉටුවන තුරු බ්‍රහ්මචාරීව වසන ලෙසය. සුරා හී මෙසේ සඳහන්ය. “ ඔබගේ වහලියන් ඔවුන්ගේ විනීත බව රැකගැනීම ප්‍රාර්ථනා කරන්නේ නම් ඔවුන්ව පාපයට ගොදුරු නොකළ යුතුය”

ප්‍රේමය මිලදී ගැනීමට පෑ මෙම උමතු විරෝධයේ හේතු මුල විමසීම රසවත් විය හැක. ඉස්ලාම් දහම මුල් බැස ගැනීමට පෙර වූ විශ්වාස මොහම්මද්ගේ දේශනාවට පටහැනි වීම එක් කරුණකි. පූර්ව කලිකයන්ගේ විශ්වාස, ගස් ගල් වන්දනාව, ස්වභාවධර්මයා දේවත්වයෙන් පිදීම සහ සශ්‍රීකත්වය ආචාර විධියන් යනාදිය සංකලනය වූවක් විය. අලුත් ආගමට අනුව මිනිසාට සිය හැඟීම් ‍මෝචනය කරගැනීමට අවකාශ නොලැබිණි. ඔහුට බිරින්දන් හතර දෙනෙකුගෙන් සහ අනියම් බිරියගෙන් සැනසීමට සිදු විණි. අනෙක් සියලු ආශාවන් ස්වර්ගයේදී මෝචනය වීමට අවකාශ ලැබෙනු ඇත. ආගම් අතරින් මරණයෙන් පසු කාමාශාවන් සන්තර්පනය කර ගැනීමට ඉඩ ලැබෙන බව දේශිත එකම ආගම ඉස්ලාම් දහමයි. කුරානයේ දැක්වෙන නියමයන් මෙම ආරවුල පරාවර්තනය වීමක් ලෙස දැක්විය හැක.

කුරානයේ කුමක් සඳහන් වුවද ඉන්දියාව ජයගත්තවුන්ට හින්දු සමයේ කාම සන්තර්පනයට දී තිබූ අවකාශයට ගොදුරු වීමට වැඩිකලක් ගත නොවිණි. අවුරුදු හාරසියයකට පසු අත්වුනු තත්වය නම් මුස්ලිමුන් ස්ත්‍රින් කෙරේ ලොල්බව ප්‍රකාශ වීමය. ස්ත්‍රිය ඔවුන්ගේ එකම ලාබදායී සැනසීම විණි. ආගමික නීතියෙන් කර තිබූ නියමයන් කඩ නොකළ ඉහළ පැලැන්තිය, ගණිකාවන් සොයා යෑම වෙනුවෙනට අනියම් බිරියන් ඇසුරට පෙළඹිනි.

ඉහළ පැලැන්තියේ මුස්ලිම් අධිපතීහු සේවක කාරකාදීන් තබා ගැනීම් ඇතුළු සුඛෝපබෝගී ජීවිතය සඳහා සකල වස්තු සම්භාරයම පවා වැය කළහ. මින් වඩාත්ම වියදම් වූයේ අනියම් බිරියන් නඩත්තුවටය. ගැහැනුන් වැඩි ගණනක් නඩත්තු කිරීමට භාන්ඩාගාරයෙන් මුදල් දහස් ගණනින් මතු නොව ලක්ෂ ගණනින් වැය විනි. එහෙත් ඔවුන්ගේ අන්තඃපුර වල කොතෙක් ගැහැනුන් සිටියාද යත් ස්වාමියා සමඟ එක රැයක් ගෙවන්ට නොලැබුණ ස්ත්‍රීන්ද සුසුම් ලමින් පසුවී යැයි කියැවේ.

එක් අයකු වෙනුවෙන් ගැහැනුන් එසේ විහාල වශයෙන් කැපව සිටියදී සාමාන්‍ය මිනිසාට එබඳු අවස්ථාවක් හිමි නොවිණි. ගොල්කොන්ඩා නැමැති පැරණි ඉන්දීය රාජධානියේ 17 වන සියවස වන ගණිකා වෘත්තිය මහා පරිමාණයෙන් පැවති බව Indian Travels of Thevenot and Careri නම් ග්‍රන්ථයේ එස්. සෙන් නැමැති සංස්කාරකවරයා සඳහන් කරයි.

හයිද්‍රාබාද් හි ගොල්කොන්ඩාවල ගණිකා වෘත්තිය මනා සැලසුමක් යටතේ ක්‍රියාත්මක විය. සැබැවින්ම කුරාණයේ සඳහන් වූ බ්‍රහ්මචාරීය පිළිවෙත නිශ්ඵල ඉගැන්විමක් වූවා නිසැකය. මේ සියවසේම ඉන්දියාවට පැමිණි ප්‍රංශ ජාතික දේශ සංචාරකයකු වු බැරන් ටැවනියර් මුස්ලිම් පාලනය යටතේ ගණිකා වෘත්තිය පැවති ආකාරය පිළිබඳ පැහැදිලි කදිම චිත්‍රයක් ඉදිරිපත් කරයි.

“නගරයේත් නගරයෙන් පිටතත් ගණිකා වෘත්තියේ නියැලී ගැහැනු බොහෝ වූහ. දාරෝගා නමින් හැඳින්වුනු පොලිස් ප්‍රධානියාගේ ලේඛන අනුව එම ප්‍රමාණය 20,000කට වැඩිය. ඔවුන් බොහෝ අය රජුට කප්පම් ගෙව්වේ නැත. එහෙත් සීමිත පිරිසක් හැම සිකුරාදාවකම ස්වකීය සංගීතකරුවන් සමඟ රාජාංගනය ඉදිරියේ රැස් වූහ. රජු පැමිණ සිටියේ නම් ඔව්හු නැටුම් පාති. රජතුමා නැති අවස්ථාවල නපුංසකයින් පැමිණ ඉවත්ව යන ලෙස සංඥාවක් කරයි.

ලියාපදිංචි කිරීම මගින් ගණිකාව යම් පාලනයකට නතු කර තිබිණි. එය යුරෝපයේ වරින් වර භාවිත කළ ක්‍රමයට සමානය. වෙනසකට වූයේ මුස්ලිම්වරුන් ගණිකාවන්ට ඔවුන්ගේ ශුද්ධ දිනය වූ සිකුරාදාට රජු ඉදිරියේ නැටුම් පානා මෙන් අණ කිරීමය. ගොල්කොන්ඩා හී ගනිකාවක තාරී නැතහොත් රා යනුවෙන් හැඳින්වූ සුරා විකිණීමෙහිද හවුල් වූහ.

වෛශ්‍යා ස්ත්‍රීහු ඔවුන්ගේ කුඩා පැල්පත් බඳු වූ කුඩා නිවාස දොරකඩට සන්ධ්‍යා කාලය එළඹෙන්නා හාම පැමිණෙති. අඳුර වැටෙන විට සංඥාවක් ලෙසින් කුඩා ඉටිපන්දමක් හෝ දල්වන ලද ලාම්පුවක් පත්තු වෙයි. රා විකුණන තැබැරුම් විවෘත වන්නේ එවිටය. අලෙවි වන මේ රා ජාවාරමෙන් රජුට විශාල බද්දක් ලැබේ. වෛශ්‍ය ස්ත්‍රින්ට රා තැබෑරුම අභියසම හැසිරීමට ඉඩකඩ ලැබීමේ හේතුව මූලික වශයෙන් එයයි. රා අලෙවිය වැඩිවීමේ හේතුව මේ ගණිකාවන්ය. එම නිසා රා තැබෑරුම් කිට්ටුවෙන්ම පදිංචි වීමට ගණිකාවන්ට අවසර සලසා දී ඇත. කුරානයේ සඳහන් මත්පැන් තහනම ඵලදායී ස්වරූපයෙන් ‍බිඳී ගිය බවක් එයින් පෙනී යයි.

අපට යට කී විස්තරය සපනය ටැවනියර් සෘජු නොවන අකාරයකින් දේවස්ථාන ගණිකාවන් පිළිබඳව සඳහන් කර ඇත. කොම්බේ හි සිට සැතපම් තුනක් දුරින් අග්‍රා වලට සමීපයේ වූ දාගැබක් පිදීමට බොහෝ ඉන්දීය ගණිකාවෝ පැමිණෙති. මෙම දාගැබෙහි බොහෝ නිරුවත් පින්තූර දක්නට ඇත. මේ අතර රහස් තැන් නොවැසුණ ඇපලෝ දෙවිඳුන්ගේ වැනි විශාල රූපයක්ද වේ. මහළු ගණිකාවෝ මුදල් එකතුකර වහලියන් මිලට ගෙන ඔවුනට අනුරාගී ගී සින්දු සහ ඔවුන්ගේ අපකීර්තිමත් වෘත්තිය ප්‍රයෝග උගන්වති. ඔවුන් එකොලොස්වන වියට පත වූ කල යටකී දාගැබ වෙත කැඳවාගෙන යන්නේ ඉන් තමාගේ වාසනාව පෑදේය යන මහත් වූ විශ්වාසයකිනි. මේ කාලයේ යුරෝපයේ සහ ට්‍රැවනියර්ගේ ප්‍රංශයේ පවා පැවතියේ සදාචාර වාදී වාතාවරණයක් නිසා යුරෝපීයයන්ට මේ තරම් ගණිකා ස්ත්‍රීන් දක්ණට නොළැබිණැයි සිතිය හැක.

අග්‍රාහිදී මෙම කටයුතු මනාව සැලසුම් කැරිණි. එහි ගණිකාවන් සඳහා ඇරුණ විශේෂ පෙදෙසක්ද විය. පීටර් මුන්ඩි නැමැති ඉංග්‍රීසි ජාතික දේශ සංචාරකයාගේ විස්තර අනුව අග්‍රා නුවර සනධ්‍යාවන්හි ගණිකාවන් සඳහා කේවල් කරන ආකාරයන් බහුලව දක්නට ලැබි ඇත. සියලුම‍ දේශ ගවේශකයින් පිළිගන්නා කරුනක් නම් අතීතයේදී මෙන්ම මුස්ලිම් මෝගල් අධිරාජ්‍යය තුළ පවා ඉන්දියාව මනාව සංවිධානාත්මක වූ ගණිකා වෘත්තියක් පැවති දේශයක් වූ බවයි. මහාභාරතය ඉදිරියේ කුරානය ඇද වැටුන බව සමහර රචකයෝ පවසති.

මුස්ලිමුන් අතර පුරුෂ සමලිංගික සේවනය තදින් ඇබ්බැහි වී තිබිණි. මේ නිසා පුරුෂයින් අතර සිදුවන වැරදි සම්බන්ධයෙන් ආගමික ග්‍රන්ථ වඩා ලිහිල් ආකල්පයක් දැරූ බවද පෙනී යයි. එයට හේතු වූයේ කාන්තාර පෙදෙස්වල දීර්ඝකාලයක් ගෙවා දැමීමට පුරුෂයින්ට සිදු වීම නිසා විය හැක. රදලයින් තමාගේ සේවය පිණිස ඉතා යොවුන් අන්තාවේසාකයින් බඳවා ගැනීම සිරිතක් වී තිබිණි. මුනිවරු පවා ශුද්ධ වූ ප්‍රේමයට මුවා වී මේ අශුද්ධ ආශාවන් සන්තර්පණය කර ගත්හ. සමහර අවස්ථාවල මේ අන්තේවාසිකයින් තමන්ගේ ස්වාමින් යට කී ආශාවන්ට ඉඩ දීමට විරුද්ධ වූ අවස්ථාවන් වාර්තා ගත වී ඇත. එබඳු එක් යොවුනක දඩයමේ ගිය අවස්ථාවේ තම ස්වාමියාට තුවාල සිදු කල පුවතක් ටැවර්නියර් වාර්තා කරයි.

ලෛංගික ක්‍රියා ජාලයෙහි ඉහත කී චාරිත්‍ර පැවතියේ වුවද සාම්ප්‍රදායික වූ වෛශ්‍යා කර්මයක් මුස්ලිම් පාලනය තුල දැඩිව පැවතිණි. මින් අදහස් කරන්නේ පොදු ගණිකාවන් සොයා යාමට පිරිමින් උත්සුක වූ බව නොවේ. ලන්දේසින්ගේ නැගෙනහිර ඉන්දීය වෙළඳ සමාගමේ සේවය කළ ඇන්තනී ෂෝරර් නැමැත් අයගේ වාර්තා වලින් එබඳු සබඳතා ස්ඵුට කෙරේ. ඔහු‍ගේ වාර්ථා අදාල වන්නේ 17වන සියවසට වන අතර පැරණි රාජධානියක් වූ ගොල්කොන්ඩාවේ මසුලිපාටම් නගරය ආශ්‍රිත කරගනී.

එකල විවාහය දැඩිව ගරු කටයුතු ලෙස සැලකන ලදී. විශේෂයෙන්ම හින්දු ආගමේ ඉතා දැඩි විය. මුස්ලිමුන් බිරියන් හතර දෙනෙකු තබා ගනිද්දී හින්දුන්ට හිමිකර ගත හැකි වූයේ බිරියන් දෙදෙනෙකු පමණකි. අමතරව නඩත්තු කළ හැකි නම් වහලියන් ඕනා තරම් තබාගත හැක. හින්දූන් මෙම තත්වයෙන් නොසෑහී ගණිකාවන් සොයා ගිය බව අන්තනි ෂොරර් කියයි. එහෙත් මුස්ලිම් හු තමන්ගේ වැඩිවිය පත් අවිවාහක පුතුන් වෙනුවෙන් වහලියක මිලදී ගනිති. මේ නිසා ඔවුන් නිතර ගණිකාවන් වෙතට යෑමෙන් වළකා ගත හැකි විය. එමගින් වහල් කතුන්ට උපදින දරුවන් සුජාත දරුවන් සේ සැලකිණි.

ස්වකීය පුතුන්ගේ ලිංගික ප්‍රයෝජනය සඳහා වහලියක මිලට ගත නොහැකි වූ මුස්ලිම් හු රටේ පවත්නා චාරිත්‍ර වාරිත්‍ර අනුව කටයුතු කිරීමට තම පුතුන්ට ඉඩ හළහ.ෂෝරර්ගේ නිසැක කල්පනාව වූයේ බිරියන් වැඩිගණනක් සිටීමෙන් ගණිකා සේවනය අඩු වන බවය. එහේත අවාසනාවකට මෙන් මෙය එසේම නොවිණි. හින්දූන්ට හිමි බිරියන් ගණන පිළිබඳ යහපත් ලන්දේසි ජාතිකයාට වැරදී තිබුනි. සැබැවින්ම එය තීරණය වූයේ කුලය අනුවය. බ්‍රාහ්මණ වංශිකයන්ට බිරියන් හතර දෙනෙකු ලබා ගත හැකි විය. ක්ෂත්‍රියයනට තිදෙනෙකි. වෛශ්‍යයන්ට බිරියන් දෙදෙනෙක් හිමිකරගත හැකිව තිබියදී ශුද්‍රයන්ට එක් බිරියක් පමණක් බලාගැනීම සිදු විය. ඒ අනුව පත් කුල වල අය ඒක භාර්යා සේවනය වෙත තල්ලු කර දමන ලදී. එහෙත් පහත් කුලවල වූ ඒක භාර්යා පිළිවෙත ‍හින්දු වෛශ්ය කර්මය නිෂ්පත්තියට හේතු වී යැයි තර්ක කිරීම අනතුරුදායකය. බහු භාර්යා සේවනය පැවති සමාජවල පවා ක්‍රමාණුකූල වෛශ්‍ය කර්මයන් පැවති බවට නිදසුන් කොතෙකුත් තිබේ.

මෙතෙක් අප ගවේශනය කල කරුණු අනුව ගොඩනැගෙන තර්කය නම් ඉන්දියාවේ ගනිකා වෘත්තිය දුරාතීතයේ සිටම පැවති බවය. මුස්ලිම්වරුන් ගණිකාව දූෂිතවූ සත්වයෙකැයි යන ආකල්පය දරාගත් ආගමක් ඇතැතිව ඉන්දියාව ආක්‍රමනය කලේ වුවද ඔව්හුද මේ බිමේ පැවති පහසු සතුට ලැබීමේ විධි ක්‍රමයට යටත් වූහ. සමහරවිට ඔවුන් වඩාත් ඉදිරියට යමින් එහි ක්‍රමාණුකූල බවක් ඇති කලා විය හැක. මෙබඳු ක්‍රමාණුකූල කිරීම් වඩාත් කැපී පෙනුන අවධියක් වූයේ මෝගල් අධිරාජයකු වූ අක්බාර්ගේ කාලයයි. එම යුගයේදී ගණිකාවන්ට රාජ්‍යයේ වෙනම පෙදෙසක් වෙන් කර දි තිබිණි. ගණිකාවන් බවට පත්වන වුන් ලියාපදිංචි කිරීමට දාරෝ නමින් හැඳින්වුනු අදිකාරී වරයකු පත් කර තිබිණි.

මුස්ලිම් පාලකයින් සිටි කල්හී ඉන්දියාවේ ගණිකාවෘත්තියේ ඉහත වතගොත මා සොයාගත්තේ සමන් වික්‍රමාරච්චිගේ සාපලත් ගැහැණිය යන කෘතියෙනි. එහි ඉන්දියාව, චීනය, ග්‍රීසිය, ආදී රටවල ගණිකාව සහ පීඩාවට පත් වූ කාන්තාව ගැන කරුණු කාරනා මේ පොතෙහි අන්තර්ගතය. ගණිකාව ගේ සමාජීය පරිණාමනය ඉතිහාසය තුලදී කෙසේ නම් විකසනය වී දැයි යන මහා කාරණාව ගැන සැලකිය යුතු තොරතුරු ප්‍රමාණයක් මේ පොතෙහි අන්තර්ගතය.

පොටෝ ගත්තේ මෙතැනිනි. http://blog.uduak.org/2011/12/temples-of-love/


පොතේ නම :- සාපලත් ගැහැණිය
කතුවරයා :- සමන් වික්‍රමාරච්චි
ප්‍රකාශය :- විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය
පිටු - 99
මිල :- රු 110/= (1999-ප්‍රථම මුද්‍රනය)
අංකය :- ISBN 955-652-019-8

6 comments:

  1. බොහෝම ස්තුතියි අරන් කියවන්න ඕන පොතක්

    ReplyDelete
  2. එක දිගට කියවිය හැකි ඉතාමත් වැදගත් ලිපියක්

    ReplyDelete
  3. මෝගල් බලපෑම ඉන්දියානු භූමියේ සිදුවුණ මහා විප්ලවයක් නේද? පොත ගැන තොරතුරු දුන්නාට බොහොම ස්තුතියි.

    ReplyDelete
  4. ඔත්තුවට තුති..එසේම මේ වගේ වටින විස්තරයකටත්...
    ජයවේවා

    ReplyDelete
  5. කුරානය 4:24. විවාහවූ ස්ත්‍රීන් ඔබට තහනම් වුවත්, ඔබගේ දකුණු අතට අයිති (යුද්ධයකදී අත් අඩංගුවට ගත් හා වහල් ගැහැණුන්) විවාහකයන් වුවත් ඔවුන් සමඟ ලිංඟිකව හැසිරීම තහනම් නොවේ.

    ReplyDelete
  6. කුරානය: 33.50. ඕ මුහම්මද්! අප ඔබට දෑවැදි දී සරණ කර ගත් භාර්යාවන් නිත්‍යානුකූල කර ඇත්තෙමු; එමෙන්ම ඔබේ දකුණු අතට අයිති යුද්ධයෙන් ගත් සිරකාරියන්ගෙන් අල්ලා දෙවියන් ඔබට දුන් අයද; ඔබගේ මවගේ මෙන්ම පියාගේ නැන්දනියන් හා කුඩාම්මා වරුන්ගේ දියණියන්ද (ඔබ සමඟ මක්කා නගරයෙන් සංක්‍රමනය වූ); ඕනෑම විස්වාසවන්ත ස්ත්‍රීයක් ඈ ඔබට පුදන්නී නම් හා ඔබ ඈ හා සරණ යන්නේ ද;- මේ අවසරය ඔබට පමණි, අනෙක් මුස්ලිම්වරු කිසිවකුට නොවේ; අනෙක් මුස්ලිම්වරුන්ට, ඔවුන්ට නියමිත ප්‍රමාණය (4 ක්) වූ භාර්යාවන්ද ඔවුන්ගේ දකුණු අතට අයිති සිරකාරියන් ද වලංගු බව අප දනිමු;- මේ ඔබලාට අපහසුවක් ඇතිනොවීම සඳහාය. අල්ලා ඉතා කරුණාවන්තයාය. ඉතාමත් සමාව දෙන්නාය

    ReplyDelete

නූතන පටාචාරාවත

විසිතුරු බඩුව ඇය කිසිවිට නැහැ සැලුනේ.. බියකරු වනය බිය නැහැ ඇය වෙත දැනුනේ.. සිය සැමි නැතිය එන මග දරු අහිමි වුනේ.. නැති විය සිහිය ...