Saturday, August 20, 2011

රස්නය අඩු ඉස්සර ජීවන කලාව


සීගිරිය
සිංහ ගල වතුර මල්,චිත්‍ර හැරුන විට සීගිරිය තුල ඇති විශිෂ්ඨතම දේ නම් උසස් ගෘහ නිර්මාණ ශිල්පයයි.එනම් මාලිග හා උයන් වතු නිර්මාණය කිරීමේ අද්වීතිය කුශලතාවයයි..සීගිරි  ගල මත මෙන්ම එහි පිහිටි භූමියද මනාව සැලසුම් කල නගරයකින් සහ විශිෂ්ඨ ගෘහ නිර්මාණ කලාවකින් යුක්ත විය..සීගිරියේ පැවති බොහෝ ගොඩනැගිලි නිසි වාත හුවමාරුවක් සහ උනුසුම පාලනයක් ඇතිවන පරිදි තනා ඇත..එහි එක් ගිම්හාන මාලිගයක එය සිසිල්ව තබා ගැනීමට ජල ගලායෑමේ ක්‍රමයක් තිබි ඇත..ඉහල මලුවේ සිංහාසනයක් අසබඩ නිර්මාණය කරන ලද දිය ඇල්ලකි...එය තුලින් හමා එන සිහිල් සුලංවලින් රජ සුවෙසේ සිටින්නට ඇත..සීගිරි ගල මතට පොලොවේ සිට වතුර ගෙන ආවයි ප්‍රකට මතයකි..එහෙත් ඒ ස්ථිර ලෙසටම සනාථ කිරීමට මෙතෙක් සාධක හමු වී නැත..බොහෝ පුරා විද්‍යාඥයින්ගේ මතය වන්නේ අක්කර ගණනක් තුල පොකුණු විශාල ගණණක් සහිත ගල උඩ පිහිටි පොකුණු වල ජලය වියලි කාලයට සෑහෙන්නට ඇත කියාය..එම පොකුණුවල ජලය විවිධ ක්‍රම මගින් විවිධ ස්ථානවලට බෙදාහැර ඇත..සීගිරි පහල මලුවේ ජල මල් කිහිපයක් අදටත් වැසි දිනවල ක්‍රියාත්මකය..උඩ මලුවේ සහ පහල මලුවේ තිබු ජල මල් එදවස නිසියුරින් වැසි අඩු කාලවලදී පවා ක්‍රියාත්මක වන්නට ඇති අතර එමගින් එම පෙදෙසේ ඇති ශුෂ්ක භාවය පහව යන්නට ඇත..

බිත්ති බැඳීමේ ක්‍රමවේදය
එකල බිත්ති සඳහා භාවිතා කලේ දැව,මැටි,කුඩුගල්,ගල් යනාදි දේවල්ය..රොබට් නොක්ස් ඇතුලු විදේශ ජාතිකයින් නුවර යුගය ගැන පවසන විට එකල ගැමි ගෙවල් තිබි ඇත්තේ වරිච්චි බිත්ති වලිනි..පොලොන්නරු අනුරාධපුර යුගයේ මෙන්ම දැනට අචුරුදු දෙතුන් සීයක් පැරණි ගොඩනැගිලි බිත්තියක් ගත්තත් සාමාන්‍යයෙන් බිත්තියක ඝනකම අඩියකට එකහමාරකට වැඩි මිස අඩු නොවේ..කුඩු ගල නොහොත් සාමාන්‍ය රතු පාෂාණ වලින් තැනු බිත්තියක් අඩි දෙකක් පමණ වූ බව කොළඹ ප්‍රදේශයේම පන්සලක් ප්‍රතිසංස්කරණය කිරීමට ගිය මට බලාගත හැකිවිය..මේ බිත්ති තාපය අවශෝෂනය කිරිමේ හැකියාව වර්ථමාන සිමෙන්ති සහ කොන්ක්‍රිට් බිත්ති වලට වඩා බෝ සෙයින් වැඩිය...මැටි බිත්ති ඇතුල සිටින විට පිට කෙතරම් උනුසුම් උවත් එයින් බොහෝ ප්‍රමානයක් අවශෝෂනය කිරීමෙන් අවසානයේය ඇතුලට තාපය එන්නේ..ගඩොල් බැඳීමටද මේ දැන් අපි භාවිතා කරන සිමෙන්ති මෙන්ම සිමෙන්තියක් එකලද භාවිත වන්නට ඇතැයි පොලොන්නරු යුගයේ තවමත් ඉතිරි වී ඇති ගොඩනැගිලි නටඹුන් අධ්‍යයනය කිරීමෙන් පෙනෙයි.

සෙවිලි කිරීම...
රදල හා පූජනීය ස්ථාන සඳහා උලු සහ දැවද..සාමාන්‍ය නිවාස සඳහා පොල් අතු සහ මානා වැනි දේද එකල සෙවිලි කරන ලදී..රුහුණු විශ්ව විද්‍යාලයය නිර්මාණය කල ජෙෆ්රි බාවා මහතා එහි සෑම දෙයක්ම සෙවිලි කිරීම සඳහා යොදාගෙන ඇත්තේ සිංහල උලු වෙයි..ඒවාද ඝනකම් තට්ටුවක් වනසේ උලු කැට 4-5ක් පමණ එක මත එක සිටින සේ තබා ඇත.සාමාන්‍යයෙන් වෙරළබඩ කලාපයක පිහිටා ඇති රුහුණු විශ්ව විද්‍යාලයයේ කිනම් ස්ථානයක් වුව කෘතිම වායුසමන පද්ධති රහිතවම මනා සිසිලකින් යුක්ත වීමට එතුමන්ගේ වහල නිර්මාණය දායක වී ඇත..එකල පන්සල් සහ රදල නිවාස සඳහා භාවිතා කරල ලද උලු විශේෂද එසේමය..ළඟින් පිහිටුවන ලද රීප්ප සහ පරාල මත එකිනෙක එකමත එක තට්ටු කිපයක් සිටින පරිදි උලු අතුරා තිබීම සාමාන්‍ය ක්‍රමය විය..නුවර ප්‍රදේශයේ ඇති ගොඩනැගිලි වල භාවිත වන්නේ හතරැස් උලු විශේෂයකි..
සාමාන්‍ය ජනයාට අයිති කටුමැටි ගෙවල් හෙවිලි කරන ලද්දේ ඉලුක් මානා වැනි තණ වර්ගවලින් හෝ වෙරලබඩ කලාපේ නම් පොල් අතු වලිනි..පොල් අතු යොදාගත්තද පොල් අතු 2කට වැඩි ප්‍රමාණයක ගණකමක් සාමාන්‍යනේ වහලක පවත්වා ගනී..මානාද සෙවිලි කරන විට විශාල ඝනකම් කුට්ටි ලෙසයොදා ගනී.පිදුරු සෙවිලි කිරීම එකල ජනප්‍රිය වන්නට ඇත්තේ එකල පිහිටි ගොයම් ගස් විශාල උසකින් යුක්ත වීම විය හැක.. දැන් මෙන් කොටට කොටේ ගොයම් දැකීමක් එකල නොවූ බව පැරැන්නෝ කියති..එසේම එකල තිබුන සමහර ගොයම් වල අස්වැන්න දැනට වඩා අඩුබවත් ගොයම් ගස් පීදීමට මාස 6කටත් වඩා කල් ගත වන බවත්..එසේ වුවත් ඒ ලබාගන්නා වී වලින් තැනෙන බත ඉදෙනවිටද මනා සුවඳකින් යුතු බවත් පැරණි අය කියයි..එහෙත් අද ඒ වී භාවිතය කාලය සමඟ ඈතට ගොස් ඇත..
කෙසේ වතුදු එකල කුමණ ක්‍රමය භාවිත කලද දැනට මෙන් මිලිමීටර ගණනක ඝනකම සහිත වහලවල් නොවීය..එකල තිබූ බොහොමයක් උලු වහලවල් පවා සෙන්ටිමීර 15ක් පමණ ඝනකමට තිබී ඇත..ඒ මගින් ඉහල වහලට ලැබෙන තාපය ඇතුලට සංක්‍රාමණය වීම අඩු නිසා ඇතුලේ අයට දිවා කල පවා සුවසේ ඉන්නට පුලුවන..මැටි උලු තට්ටු කීපයක්ද දැව විශාල ප්‍රමාණයක්ද සමන්විත වහල දැරාගැනීමේ ශක්තිය බිත්තිවලට තිබෙන්නට ඇත..

වා කවුලු...
රත්වූ වාතය සැහැල්ලුය. එබැවින් උනුසුම් වාතය ඉහලත් සිසිල් වාතය පහලත් වන පරිදි නිවෙසක අභ්‍යන්තර වායු තත්වය පවතී..ඉහලින් වා කවුලු තැබීමෙන් රත් වූ වාතය ඉවත් වීමත් ඒ සමඟ නැවුම් වාතය නිවසට පහල පිහිටි කවුලු මගින් හෝ ජනෙල් දොරවල් තුලින් පැමිණීම නිවසේ වායු සංසරණයට මනා පිටිවහලකි..මීට අවරුදු 60-70කට ඉහල නිමකල සාමාන්‍ය නිවාසවල ඉහල මුදුන් බිත්තියේ මහ සිදුරක් විය..අපි එකල සිතාගන සිටියේ එය අලංකාරය පිණිස වූ එකක් බවය..එහෙත් කල් යනවිට එය ඇත්තේ නිවසේ ඉහල වහල සමීපයේ ඇති වායුව පිටතට යොමුකිරීමට බැව් අවබෝධ වූයේය..විශාල ඉස්තෝප්පුව,,ඉඩකඩ සහිත ආලින්දය..මැද මිදුල් කොරිඩෝර,,.කුඩා කාමර..අඩු කාමර ගනනක් සහිත වීම ආදි ලක්ෂන වලින් සපිරි පැරණි නිවාස වල ඉහලින් කවුලු තැබීමේ මෙන්ම පහලින්ද ජනේල සහ කුඩා වා කවුලු තැබීමේ ක්‍රමවේදයක් විය..එතුලින් පහලින් එන වායුව ඉහලට ගොස් සිසිලන පද්ධතියක් ලෙස ක්‍රියාත්මක විය...

දොර ජනේල නිර්මාණය කිරීම..
එකල ඉහල පැලැන්තියේ නිවෙස් වල ජනේල නිර්මාණය කරනවිට විශේෂ වහලයක් ජනේල සඳහාද විය අඩුතරමේ කුඩා ප්‍රමාණයේ තට්ටුවක්වත් ජනේලයට ඉහලින් විය..ඒ තුලින් දිවා කල හිරු රැස් ගේ තුලට නොඇවිත් සිසිල් සුළං පමණකි ගේ තුලට එන්නේ..දොර ජනෙල් විශෘල දැව කඳන්වලින් නිර්මිත ඒ වා විය..ලෝහ හා වීදුරු භාවිතය තිබුනේ අඩු වශෙයෙනි..එහෙත් අදට වඩා එකල නිවෙස් තුල අභ්‍යන්තර ආලෝකය මඳ විය..එනිසා ආලෝකය පතනය කරගැනීමටත් විවිධාකාරයේ ක්‍රම එකල භාවිත කරන ලදී..

ජීවිතය හා නිවාස සැලසුම...
එකල මිතුරකු අසල්වැසියෙකු හෝ නෑයෙකු පැමිනිවිට අදමෙන් නිවෙස තුලට පැමිණිමක් නොවීය..එලිපිට ඇති පිල හෝ ඉස්තෝප්පුව ඔවුන්ට සෙවන විය..පොත පතක් වෙතොත් එය ඉස්තෝප්පුවේම විය..පැමිණි අයත් නිවෙසේ අයත් ඉස්තෝප්පුව හෝ පිල මත සිට කතා බහ කිරීම කරති..සමහරවිට නිවසේ වැඩිහිටියන් ලමුන් නිවෙස තුලට යන්නේ නිදාගැනීමට බත් කෑමට ආදි දේට පමනී..ළමුන් නම් එකල අද මෙන් නිවෙස තුල සෙවීමට නොහැකි විය..ළමුන් එක්කෝ පිළ මත සිට කුඩා පංච දැමීම් ආදි ක්‍රිඩා කෙරෙති නැතිනම් මිදුලේ සිට කොටුපැනිම්..වලකජ්ජු ගැසීම ආදි දේකරති..අඩුවශයෙන් පොල්පිත්තකින් ගොනෙක් සෑදීම..ගොක්කොල වලින් වැඩ කෑලි දැමීම..මැටි ගෙනවුත් මැටි නාගෙන සෙල්ලම් කිරීම..මිදුලේ ළමුන්ට තිබු භාරදූර වැඩකටයුතුය..ගොයිතැන් වැඩක් ඇති කාලෙට පාසැල තිබුනත් ලමුන් එන්නේ ටික දෙනාය..කුඩා එකාගේ සිට නාඹර වයෙසේ එකා දක්වා සියලු දෙනා ගොවිබිමේ වැඩය..ක්‍රමාණුකූලව ජලය ලැබෙන වර්ථමාන ගොවිබිම් මෙන් නොවු හේන් සහ වැසිදිය කුඹුරු බහුලව තිබු එකල වැස්සෙන් තෙත්වෙන පොලව යලි වියලීමට පෙර කුඩා එකා පවා වැඩකර ගොයිතැන් කල යුතුය..අස්වැනු නෙලීමත් එසේමය..එලවලු ගොවියෙක් නම් හෙට පොලට ගෙනයෑමට එලවලු අද සවසම කඩා එකතු කර සකසා තිබිය යුතුය..
මේ විස්තර වලින් මා පෙන්වූයේ එකල නිවෙස් හෝ ගෙවල් භාවිත කලේ හුදෙක් රෑට නිදාගැනීමට අවැසි තැනකුත් වැස්සට නොතමී සිටීමට තැනකුත් වශයෙන් පමණි..එලිමහනට තුන් පැත්තකින් විවෘත වූ පිල හෝ ඉස්තෝප්පුව බිත්ත වල අවහිරයකින් තොරව ස්වාභාවික ලොවට නිතැතින්ම විවෘත වූවකි..

සෙවන සාදාගැනීම..
නිවෙසක් වටේ ගස්කොලන් පැවතීම එකල සාමාන්‍ය විය..අඹගස් දෙක තුනක් සියඹලා ගසක් දෙකක්..කොස් ගසක් බොහෝවිට වියලි කලාපික නිවෙස් අසබඩ විය..විශාල ගස් ඇති මිදුල උදෑසන අතුගෑමට අපහසු වුවත් සෙල්ලම් කිරීමට නම් අගනා භුමියකි..කුඹුරු වැඩ නැති කාලෙට සෙල්ලම් කිරීමට අප කුඹුරු ඉඩම් භාවිතා කරත් ඒ හවසට හෝ සැන්දෑ වෙලාවටය..අනෙක් වෙලාවට තරමක විශෘල වත්තක් ඒ සඳහා යොදාගනී..දැන් නම් නිවෙසක් තැනීමට ප්‍රථම වත්ත සම්පූරණයෙන් සුද්ද කර රැවුල බෑ මුඩු මූනක් ලෙස සකස් කර ගනී..නමුත් එකල ගේ වටේම විශාල ගස් තිබීමත් පාන්දර නැගිට ඒවායෙන් වැටෙන කොල අතුගෑමත් අපගේ නිවෙස්වල ඇත්තන්ගේ රාජකාරියක් විය..
දැනටත් නිවෙස් තැනුවාට ඇතුලේ ඉන්ට බැරි තරම් රස්නයක් ඇති වීමට නිවෙස් වාතාශ්‍රය නොසලකා සැලසුම් කිරීම මෙන්ම දැඩි හිරැ රැසින් නිවෙස රැකගැනීමට ගස් කොලන් නොමැති වීමද බලපා ඇත...

ජල භාවිතය..
නූතනයේ ජලය අපට බාවිත කරන්ට වී ඇත්තේ කටුක ලෙස රත්වූ ජලය ලෙසිනි..දිවා කල රස්නය යන්නට වතුර ඩිංගක් නා ගන්නට කියා අප නානකාමරයට ගියවිට කරාමයේ එන සාමාන්‍ය ජලය සාමාන්‍ය උෂ්ණත්වයටත් වැඩි අගයක් ගනී..මානසික ප්‍රශ්ණයක් නිසාද නැතිනම් වෙනත් ඇත්තම ගැටලුවක් නිසාද නොදන්නා මුත් දැන් අපි නාන නල ජලයේ එදා තිබූ හෝ අද ඈත සිංහරාජයේ දොලපාරක තිබෙන නැවුම් ගතියක් නැත..නෑවත් නිකම් බාගෙට නෑවා වැනි ගතියකි එන්නේ...එකල සමහර ගම්වල නාන්න යනවා යනු පැය දෙක තුනක ගමනකි..ගෑනු රෙදි පොට්ටනි ගහගෙන ඇල දොලවල් හෝ ජලාශ සොයා යති..පැන්න ගමන් වැවෙන් නෑමේ පහසුකම තිබුනේ සීමිත පිරිසකට පමණි..අනෙක් අය දුර ගෙවා නෑමට ලිං,වැව් දොල පාරවල් සොයා ගත යුතුය..වැව් ජලය උඩ ස්ථර උනුසුම්ය නමුත් පහල ගැඹුරු තලවල ජලය සිසිල්ය..අද ඇති කාර්මික අපජලය සහ අහිතකර කෘෂී රසායන තත්ව නිසා දොල පාරවල් වල පවා නෑමට මිනිසුන් යොමුවෙනවා අඩුය..දැන් දැන් වැව්වල කිඳී නෑම ඇස්වලට කන්වලට සුදුසු නොවන බවටත් ඒවායේ පවතින් අහිකර රසායන මට්ටම් නිසා නෑමටවත් එම ජලය නොරිසි බවටත් දොස්තර වරු පවසති.

මැටි බිත්ති සිමෙන්ති වීම,,පොල්අතු තහඩු වීම,,වතුර ගෙදරට ඒම,,අපි පිලේ සිට නිවෙස තුලට යෑම කෙනෙක් නවීන සංවර්ධනය ලෙස සලකයි ..එහෙත් අපි ඒ සිසිල් වාතය, ජලය, අවකාශය දන් දී ලබා ගත්තේ කුමක්ද යන්න අද අපි බොහෝදෙනා මුවින් නොබනින එහෙත් ඉඳහිටවත් මතක් වෙන ප්‍රශ්ණයකි.

7 comments:

  1. කතා ටිකනං මල් මසුරං...

    ReplyDelete
  2. ස්තූතිය්...මම පොටෝ ටිකකුත් දාන්න පරන ගෙවල් ටිකක් හෙව්ව ගූගල් එකේ තිබුන පිංතූර ඒ තරං ගැලපුනේ නෑ...

    ReplyDelete
  3. නියමයි.
    ස්වභාව ධර්මයෙන් ඈත් වීම තමයි හැම විනාශයකටම හේතුව.
    ස්වභාව ධර්මයෙන් ඈත් වී‍මේ තරඟයට කියන නමක් තමයි දියුණුව.

    ReplyDelete
  4. අගනා ලිපියක්..
    මාව නම් කූල් ඩවුන් වුණා..

    ReplyDelete
  5. අද නම් වෙලා තියෙන්නේ නවීන තාක්ෂණය සමඟ වටිනා පැරණි සංකල්ප මුහු කර ගැනීමේ තියෙන දුර්වල කමක්, සමහර විසල් ගෙවල් වලට දවලුත් ලයිට් දාගෙන ඉන්න වෙලා තියෙන තරමට ආලෝක කලමනාකරණයක්වත් නැතුවනේ ගෙවල් හදලා තියෙන්නේ..

    ReplyDelete
  6. නියමයි

    ReplyDelete