Saturday, October 13, 2012

බිරියගේ තෑග්ග

 මේ මම අද එනකොට රෑ වෙයි.. අරක ගෙනත් තියෙනවා.... හොදෙයි... අද ටිකක් වැඩියෙං ගානක් හම්බවෙයි...වගේ....හෙට නිවාඩුත් එක්ක නේ...

සෙනසුරාදා හවස ඇමතුමක් ගෙන බිරියට පැවසු නමුත් එය ගෙනත ්තිබුනාදැයි බලන්නට සෙනසුරාදා දවස ප්‍රමාණවත් නොවීය.. ගෙදර එනවිට රෑ දෙගොඩහරියත් පහු වෙලාය. ඉරිදා පාන්දර ඕවා අහන්ට යෑම නොහොබිනාය..
අද තුන් දෙනාම උදෙන් නැගිටලාය. දෙක වසරේ හෝ තුන වසරේ වන ලොකු දුව පැමිණ ඇඳවටේ කැරකී ගොස් අම්මේ තාම නැගිටලා නැහැ යැයි කියාගෙන ගියාය. සමහර විට වසන්ති තේ වතුර හදන්නට මාව නැගිටලාදැයි සොයනවා ඇත..

අනික් වදක ජෝඩුව අද මඳක් නිදාගෙන සිටියොත් හොදය උන් දෙන්නා නිවුන්නු වුවත් කොල්ලෙක් සහ කෙල්ලෙකි. නමුත් උං දෙන්නා තරං වදදෙන පොඩි උන් නම් තවත් නැතුවා විය යුතුයැ. එහෙත් දෙන්නාම එකම වර ඉපදුන එක හොඳය. උංගේ අක්කාට සෙල්ලම් කරන්නට අය සොයන්නට ගෙවල් ගානේ යන්නට විය. නමුත් මේ ඩබල දන්නා කියන කාලයේ සිටම අනෙකාට ඇඟිල්ලෙන් අනිමින් හෝ සෙල්ලම් කරයි..
විටෙක රන්ඩුවකි. විටෙක දෙදෙනාම එකතු වී කුමක් හෝ ව්‍යාපෘතියකි. ඉරිදාට නිවාඩු දවසට බිරිය සහ ඇගේ අම්මා විවේක ගන්වා දරුවන් තිදෙනා ගැන බැලීම මගේ පිට පැවරෙයි. මම එය නොපිරිහෙලා ඉටුකරනවා යැයි කීවොත් එය වැරදිය. ළමුන් ළමුන්ගේ පාඩුවේ වෙනදාට වඩා සද්දෙ අඩුවෙං වැඩ කරන අතර පියසෝම උන් වැඩිපුර සද්ද ඇතිවිටෙක හෝ සද්ද නැතිම විටක උන් මක්කා කොරන්නේදැයි කියා ඔලුව දා බලයි.
.
දිනක් සද්ද අඩු විටෙක අවරුදු දෙක හමාර පසු කරමින් යන මුන් දෙන්නා කුමක් කරයිදැයි බලන විට කොල්ලා සාලෙ මැද උඩුබැලි අතට නොරොක් මූනක් හදාගෙන දොයිය. අනික් චූටි එක වතුර කුප්පියක් කොහෙන්ද හොයාගෙන ඉරටුවක් වැනි දෙයක් එහි දමා අනිකාට විදින්නට හදයි.. ඉතිං කොල්ලා එය දෙස බලා සිටි...
හාහා බලන්න එපා...ඌව වැඩි වෙනවා..අහක බලාගන්න.
යැයි කෙල්ලා කියයි.. ඉරටු කෑල්ල අතට තබා තද කරන විට කොල්ලා බොරුවට අඩමින් සිටියි.. මා සැඟවී මොවුන ්ෙදන්නාගේ සෙල්ලම බැලුවෙමි.. මේ දෙන්නා ඉස්පිරිතාලයට බෙහෙත් විදින්නට ගොස් ආ පසු එය සෙල්ලමට ගෙන දෙදෙනා බෙහෙත් විද ගනියි.. පොඩි කෙල්ල නේස් නෝනා වෙන්නම හදයි.. කොල්ලාද ලෙඩා හොද ලෙඩා වී පාඩුවේ ඉන්නෙ නැත.. දඟලයි..

නිවාඩු දවසට මුන් තුන්දෙනා නැත්තං හරි පාලුය. එහෙත් හිටියාමත ්නැති වදයක් නැත. උංගේ අම්මා සමඟ නානවාට වඩා මාත් එක්ක නාන්න යන්න මුං තුන මනාපය. මා වැඩිය ඇහිල්ලක් බැලිල්ලක් නැතුව උන්ට රිසි සේ මද වෙලාවක ්වතුරේ නටන්නට දෙයි. අම්මා නං ගණනට වතුර බාල්දියෙන් වතුර ගනන් කර නාවයි. එහෙත් හැමදාම පොඩි උන්යැ නේ කියලා මං උන්ට රිසි සේ නාන්නට ටැප් එක ඇර බාල්දි ටික වටේ තියයි. ඉතිං ඇතිපදං විනාඩි පාලහක් විතර නෑවාට පසු මා ගොස් සබන් ගා යලිත් සෝදා තව ටිකක් නැටූ පසු උන්ගේ අකමැත්ත පිටම ඇඟ පිසදා ගෙට ගනිමි. එහෙත් ඒ නාපු ගතිය වැඩිවෙලා තියාගන්නට මේ තුන් කට්ටුව සමත් වන්නේ නැත.
අක්කාගේ පොත් වෙනමම තැනක තබා ඇත. නැත්තං පොඩි පන්ඩිතයන් දෙක ඒවා අරගෙන සෙල්ලිපි කොටන්නට යයි. පිහියක් ආවුදයක් වත් පේන තැනක නොතියන්නේ ඒවාද සෙල්ලමට අරගෙන යා හැකියැයි සිතලාය. වසන්ති ගේ මවට මොවුන් දෙදනාම කැමතිය. ඇය මොවුන්ට නොයේක් තරවටු කලත් කතාන්දර ආදිය ඇද පැද කියාදෙයි. කෙල්ලා නං කතාවලට ඒ තරං ආස නැති මුත් කොල්ලා කට ඇරගෙන ආච්චිගේ පච කතා අසා සිටියි.

මේ අසා සිටින මා සමහර විට කුස්සියට ගොස් වසන්තිට ඇහෙන සේ.. “ මේ ඔයාලැයි අම්මා දිවියෙ ලෝකෙ නං යන්නෙ නෑ අර කතා කියනකං.. ඒ උන්දැ කතා දහයක් කිව්වොත් දෙකෙං පංගුවක් ගොතපුව..” සිදුහත් කුමාරයයි කන්ථක අස්සයා බස් සෙකක් විතර ලොකුදැයි පොඩි එකා ඇහුවම. අම්මා කිව්වනේ නෑ පුතේ ඌ අලියෙක් විතර වෙන්න ඇති කියලා..
හරි හරි අපේ අම්ම හෙමවත් ලමයි දෙන්න ගාව ඉන්නවා.. කෝ ඔවැයිලයි තාත්තයි අම්මයි.. ගියාම නං පැටියෝ පණ රං කඳ කියනවා. ඒත් පලාතෙ එන්නෙ නෑ.. මේ පැත්තෙ. එහට වෙලා අනික් ලමයි බල බල ඉන්නවා..
වසන්තිට ඒ අවසරය අපේ අම්මාටත් තාත්තාටත් බැනීමට ප්‍රමාණවත්යැ..

දැන් අනික් ඩබලත් මේ ළඟ සෙල්ලං කරනවා පෙනේ.. කලකට ඉහත ගෙනත් දුන් දැන් කැඩිලා මස් වී ඇති සෙල්ලම් දුම්රිය මැදිරියක් ගෙන කොල්ලා.. අපි මේක නිල් පාට ගාමු නේ නංගි.. අක්කයි පාට පෙට්ටියෙං අර ගමු.. යැයි කියයි. නංගී නෑ අපි සත ුපාට ගාමුතතත රතු පාට ලස්සනයි..අනිත් එක කෝච්චි රතු පාටයි නේ..
නැහැ නංගි දැක්කෙ නෑ නෙ අලුත් කෝච්චි නිල් පාටයි.. රතු පාට නැහැ..මුං දෙන්නා මේ වාද කරමින් සිට තව ටිකකින් ලොක්කිගේ පාට පෙට්ටියේ පාට කූරු ටික ගෙන පරණ කෝච්චියේ උලනු ඇත..
ආ මොකද අද උදේම කෝච්චි පෙට්ටි අරගෙන..කියා මා නැගිට දෙදෙනාම වඩා ගත්තෙමි. ඉන්පසු ඔවුන් දෙදෙනා රැගෙන ගෙයි ඉදිරිපස පඩියෙ වෙත ගොස් කකුල් දෙක මත තබා ගතිමි..
චාච්චෙ කෝච්චි සතු පාට නේද? ඒ අසන්නේ දුවනියය..
සමහර කෝච්චි රතු පාටයි දුව..
ඒ වුනාට තාත්තෙ අලූත්ම ඒවා නිල් පාටයි.. අපි ගියපාර මාමලයි ගෙද...ර යද්දි දැක්කෙ..ඒ චූටි කොල්ලාය..
හරි පුතේ හරි නිල්පාට කෝච්චි ත් තියෙනවා..

ඒ උනාට මේ සෙල්ලං කෝච්චිය කලු පාටයි නේ...පුතා ලොකු පස්නයක් අසනවා මෙන් විශ්මයෙන් අසයි.. මේ දෙන්නාම එකතු වී හදන්නේ කෝච්චිය පාට කරවා ගන්නට විය යුතුය. කෝච්චිය දැන් කැඩිල නේ පුතේ.. අපි පස්සෙ බලමු..

කෝ මං ගෙනාව රටකජු ටික කෑවද? යැයි මා ඇසිය..
පුතා පැන ඔව් ඒ ටික මදි තාත්තෙ යයි කීය.. වසන්ති විසින් රටකජු සියල්ල දෙන්නාට දී නැත්තේ බඩේ අමාරුව හැදේවි යැයි සිතලාය..
ඒ උනාට මං රටකජු කෑවෙ නෑ වගේ තාත්තෙ...කොල්ලා කට ඇලකර කියයි..
මට එය තේරුනේ නැත. ඉතිං පුතා උදේ කෑව කිව්වෙ?
කෑව තමයි...ඒත් තාත්තෙ ආච්චි නං බඩ අල්ලලා කාපු තැන කීනවා නේ...

ආ මේ තියෙන්නෙ උදේ කාපු කජු ටික කියලා මා කොල්ලාගේ පොඩි බඩ අල්ලා කීවෙමි..තාත්තෙ මගෙත් කියලා කෙල්ලා එවර ඇඹරෙයි...
කුඩා එකීගෙත් බඩ අල්ලා මේන් මෙතන තියෙන්නෙ කියලා කිව් විට...තාත්තෙ මෙයා ගොඩක් කෑව..මටදුන්නෙ ටිකයි කියා සිනාසෙමින් ආඩපාලි කියයි...

ඔවුන් දෙදෙනා සුරතල් කරන විට ලොකු දුව කිරි තේ එක අරං ආවාය.. අක්කි මට ගෙනාවෙ නෑද තේ?
ඇයි මල්ලි තේ බොනවද?
නෑ අපි හිටියෙත් තාත්ත එක්ක නේ..අපිටත් තේ ගේන් එපැයි අක්කා..

මෙන්න වැඩක්..ඕන්නං ගිහිං අම්මගෙන් ඉල්ල ගන්නවා..කෝලං දෙක .... අර බඩු ටික ඇදලා උදේ පාන්දර පෙට්ටිය තිබුන ඔක්කොම සෙල්ලං බඩු ඇදලා එක පාර..

ඒ තුන්දෙනාට සාලෙ සෙල්ලං කරන්න අැරලා මං ගියෙ කුස්සියට වසන්ති මොකෑ කරන්නෙ කියලා බලන්න සහ අර මං කිව්ව බඩුව ගෙනල්ලද කියලා බලන්නය..
මේ ආවට කමක් නෑ හවස් වෙනකල් පැකට් එකනං ලැබෙන් නෑ.. පොඩි උන්ටත් ගඳ දැනෙයි ඔය දහජරාවෙ.. මා දැන් රාත්‍රි වෙනතෙක් වැඩ කරන නිසා වෙනදා වගේ කුසුම ඇන්ටිගේ පොට් එකට යන්නට බැරිය. රෑ වෙන දිනෙක පවුලට කෝල් එකක් දී පැකට් එකක් ගෙන්නා ගනිමි. බීම හොඳ නැති බවත් සරීරය දිරන බවත් වසන්තිත් මාත් දනී. එහෙත් කසියා කාලක් වත් නැතුව ඇඟට පුදුමාකාර තෙහෙට්ටුවක් නිදාගන්නා විට දැනේ..
අහල පහල සිටින හයිකාරයින් සමඟ වලියට යන නිසා මේ ක්‍රමය හඳුන්වාදුන්නේද වසන්තිය. එහෙ මෙහෙ ගිහින් ගෝරි දාගෙන ඔය අතන මෙතන තලා ගන ආවම කොහොමෙයි වැඩට යන්නෙ. මං ගැන ඕන් නෑ මේ පුංචි එවුං ගැන හිතනවා.. බොන්නම ඕනි නං මං කුසුම අක්ක ගෙන් පැකට් එකක් ගෙනත් තියන්නම්.. මගුල..

දැං අට අවුරුද්දක් තිස්සෙ තමුසෙට කියනවා මොකෝ කිව්ව කියල හැදෙන එකක්ය.. ඕක මහ වැඩක් නෙමෙයි...කුසුමක්ක කඩදාසි බෑග් එකක දාල දෙයි..අරං ඇවිත් හංගල තියෙන එකනේ..අනික එතකොට තමුසෙ වැඩිය බොන එකකුත් නෑ..

දැං අරවත් ගනං යවන්න වෙනවලු ආන්ඩුවෙන් දැන් අරක්කු මිල නිසා මේවත් වැඩි වෙනව වගේ...

වසන්ති කියාගෙන ගියාය.. මා එයට පිළිතුරු දිය යුතු වුවත් කට නලියාගෙන ආවත්. ලොක්කාගෙන් ආන්ඩුවෙන් ගාන වැඩිවුනත් මගේ වසන්තිගේ ආන්ඩුවෙන් මට බොන්නට ලැබෙන්නේ හවස බව සිහිි වී සිත නෝක්කඩු වූ නිසා බීම හැරදා ආයෙත් පොඩි තුන ඉන්නා තැන් බලා නික්මුනි..

10 comments:

  1. ලෝකෙ ඉන්න හොඳම ස්වාමියෙක්ට ලෝකෙ ඉන්න හොඳම බිරිඳ ලැබිල ද?

    ReplyDelete
  2. අනේ මෙහෙම පවුල් ජීවුත රත්තරං නෙව.. ඉතින් කසිය පොඩ්ඩක් ගැහුවහම මක්ක වෙනවද

    ReplyDelete
  3. කොයිතරම් වාසනාවන්ත සැමියෙක්ද? හ්ම්ම්ම්....

    ReplyDelete
  4. ආදර්ශමත් පවුල් සංස්ථාවක් :)

    ReplyDelete
  5. හ්ම්ම් හ්ම්ම්.

    ReplyDelete
  6. පොඩි එවුන්ගේ ලෝකය කොයිතරම් ලස්සනද ඒ වගේම තමා මමත් ළමයි බලාගන්නේ මේ ක්‍රෙමේටම තමා බොහොම ලස්සනයි කතාව

    ReplyDelete
  7. වසන්තිත් පැකට් 1ක් ගත්තද නැද්ද දන්නෙ නෑ. මරු බිරිඳක්.

    ReplyDelete
  8. හීන ලෝකෙක ඉඳන් කියෙව්වේ. ලස්සන කතාවක්.

    ReplyDelete
  9. දාඩිය මහන්සියෙන් හම්බ කරන මනුස්සයෙකුට හම්බෙන සොච්චමෙන් කඩේ ණය පොත පියෙව්වට පස්සේ කසිප්පු ඩිංගක්වත් බොන්ඩ කීයක් හරි ඉතුරු වෙනවානං ලොකු දෙයක්

    ReplyDelete