Friday, October 12, 2012

අපි ආරක්ෂිත විදි පාවිච්චි කරමු.


ඉන්ඩස්ට්‍රියල් සේෆ්ටි..

අද අපේ කන්තෝරුව අස්පරස් කරන්න තිබුන දවසක්..අපේ ආයතනයට වෙලා සේවය කරන පිට ආයතනයකට අයිති රුපියල් පන්සීයෙ දවස් වැටුපට දවසක් කුණු එක්ක නැහෙන මිනිස්සු ටිකක් අපේ ඔපිස් එකට ආවා.. ඒ මහත්වරු තමුන්ට හැකි පමණින් පිරිසිදු කිරීම් කලා.. මහත්වරු කියලා මම කියන්නෙ නෝන්ඩියට හෝ සමච්චලයට නෙමෙයි.. ඒ පිරිසිදු කිරීම්වල යෙදිලා ඉන්න පහල සමාජ ස්ථරයට අයත් බොහෝ දෙනා බොහොම හොඳ මානුෂිය ගුණාංග වලින් යුතු අය.. ඒ අය සමහර සුලු කාරණා අරභයා ඉතා දරුණු වචන වලින් ගහබැන ගන්නවා මම දුටුවත් ඒවා වැඩිකල් මොලයේ රඳවාගෙන පලිගන්නට ඔවුන් යන්නේ නෑ..

ඉතිං රුපියල් පන්සීයක් හයසීයක් වගේ අඩු පඩියකට අපේ කොම්පැනියක් පිරිසිදු කරන්නියන් ගන්නවා කියන්නෙ ලැජ්ජාවට කරුණක්.. ඒත් ඒ ලැජ්ජාව මට දැනුනට බොහෝ දෙනාට දැනෙන්නෙ නෑ.. ඒ මිනිස්සු යනකොට නාෙහ අඹරව අඹරව ඉන්ටයි.. නැත්තං අනේ පව් මෙයා කියලා කුනු ආතල් එකක් අරගන්නයි විතරයිෙ බොහෝ අය සමත් වෙන්නෙ..
අපේ කන්තෝරුව තියෙන්නෙ ටිකක් ඉහල මහලක. මේකෙ පිට වීදුරු පෙල අපිරිසුදු වෙලා තියෙනවා මම දැක්කා.. ඉතිං මම ඒ පිරිසිදු කරන කන්ඩායමේ අධීක්ෂක වරයෙක්ට මේ ගැන දැනුම් දුන්නා.. ඔහු එය වහාම සලකා බලා ස්වල්ප වේලාවකින් ඒ වීදුරු පෙළ පිසදැමීමට කස්ටියෙ යෙදෙව්වා.. වායුසමණ යන්ත්‍ර වල එලියේ සවිකරණ කොටස් වැඩිපුර සවිකර නොතිබූ තැන්වල ඉනිමඟක් තබාගෙන ලෙහෙසියෙන් වීදුරු පිසින්නට පුලුවන්.. ඒත් වැඩිපුර වායුසමණ යන්ත්‍ර පසුපස කොටස් තිබුන තැන්වල ඒ පිරිසිදු කරන අයට රැදෙන්ට අවශ්‍ය වාතාවරණය නෑ..

ඔවුන් පොඩ්ඩක් පය ලිස්සලා වැටුනානම් තට්ටු ගානකින් බිමට වැටෙනවා.. සෙෆ්ටි බූට්ස් තොප්පි, සහ අනෙකුත් උපාංග කට්ටල අපේ ආයතනයේම සෙෆ්ටි ඇන් හෙල්ත් කියන යුනිට් එකේ ආදර්ශ වලට ඇති.. ඒ ගැන පින්තූරත් තැන් තැන් වල ඇති. නමුත් මේ වැඩකරන පිට ආයතන වල සේවකයින්ට අවශ්‍ය මෙවලම් හෝ ආරක්ෂිත උපාංග කිසිවක් නැහැ.. ඔවුන් වැටුනොත් ඔවුන්ට වන්දියක් ලැබෙන්නෙත් නැතුව ඇති මොකද මේ මිනිස්සු දවස් පඩි කාරයො වෙන නිසා..

ඉතිං මේ අපහසුවෙන් ඉන්න තැන් වල වීදුරු පිසලන්න අමාරුයි කියලා ඒ පිරිසිදු කිරීම් අධීක්ෂනය කරන අධීක්ෂක මහතා මට දැනුම් දුන්නා.. ඒ කටයුත්ත ඒ කිව්වෙ වීදුරු එලියෙන් පිරිසුදු කිරීම අවශ්‍යම කටයුත්තක් නම් මීට වඩා උපකරන සහ ආරක්ෂිත දේවල් ඇවැසි බව ඒ තැනැත්තා මට දැනුම් දුන්නා.. මේ වැනි අවස්ථාවක ඒ අසරණ අධීක්ෂකයාගේ ඇඟට ගොඩ වී මට අවැසි වැෙඩ් කරගන්නට තිබුනා.. ඒත් මම “ඔයාලට බැරිනම් මම නෙමෙයි කවුරු කිව්වත් බෑ තමයි.. ඔයාලගේ ජීවිතය නැති වුනොත් අපිට ඒකට වගකියන්න බෑ.. අනික මොන මහත්තය කිව්වත් ඔයාල ඔය වගේ අවධානම් වැඩ බඩු නැතිව ආරක්ෂිත දේවල් නැතුව කරන්න යන්න එපා “ කියාල පොර වදන් දුන්නා.. මගේ දිහා බොහොම කෘතඥ විදියට බලාපු පිරිසුදු කරන්නන් දෙදෙනාත් ඒ අධීක්ෂකයාත් මාරු වෙලා ගියා..

සමහර විට වැඩේ ඇති අමාරුව කියලා මට බෝලෙ බස්සලා ඒ දෙතුං දෙනා මාරුවෙන්න ඇති. නමුත් මෙවන් තැනකින් වැරදිලා හෝ මේ මිනිස්සු ඇදගෙන වැටිලා මැරුනොත්..? කියන සිතුවිල්ල තමයි මට ඇතිවුනේ.. රුපියල් පන්සියට වැඩට එන මිනිස්සු ඇවිල්ලා ඒ තරම් දක්ෂ වැඩ පලක් තේරෙන බැලන්ස් එකට ඉන්න පුලුවං නිරෝගි මිනිස්සු නෙමෙයි.. සමහර අය පෙනුමෙනුත් මන්ද මානසික වගේ.. තවත් අය වයසක අය.. ඉතිං මේ මිනිස්සු එලිෙය ටිකක් අන්බැලනස් තැනක අවධානමක් අරගෙන වැඩකරනවා තියා ඇවිදිනකොටත් මට බයයි මේ යක්කු මොහොක හරි පැටලිලා වැටෙයිද කියලා.. 
 
දැන් දැන් සේෆ්ටි පැත්ත ගැන ඉදිකිරීම් සහ අනෙකුත් ක්ෂේත්‍ර වල හිතනවා වැඩියි.. ඒත් තාමත් කිසිම ආරක්ෂිත ආවරණ නැතුව වැඩකරන ඕනි තරම් පිරිස් අපිට දැකගන්න පුලුවනි.. අපි අඩුතරමෙ ආයතනික මට්ටමින් වැඩකරන කොටවත් මේ ආරක්ෂිත විධික්‍රම අනුගමනය කරලා වැඩකරන්න කියලා බල කරනවානම් හොඳයි කියලයි මට හිතෙන්නෙ.. 
 
හිඟන්නො එහෙම ඉන්නවා බස් වල කෝච්චි වල දැන් ගොඩක්.. ඒ සමහර අය කියන්නෙ පලංචියකින් වැටිලා මොකක් හරි කැඩුනා කියලා.. සමහර විට බොරු වෙන්නත් පුලුවන්.. ඒත් එහෙම දේවල් ඉදිකිරීම් අංශයේ තාමත් දුලබ වෙලා නැහැ.. කොයි තරං මිනිස්සුන්ට කියලා දුන්නත් සමහර අය මේවා පාවිච්චි කරන්න කැමති නෑ.. ඉතිං අපිට නියම ආරක්ෂක උපක්‍රම භාවිත කරනවානං අනාගතයේ අනාථවෙන සමාජයට බරක් වෙන සිඟාකන්නට යොමුවෙන සමාජ විරෝධින් වන පිරිස අඩුකරගන්නට පුලුවන් වේවි. කියලයි මට හිතෙන්නෙ..

සමාජයක උගත් බුද්ධිමත් පිරිස තමුන්ගේ වේතන වැඩිකරගන්නට තමුන්ගේ සමාජ තත්වය උසස් කරගන්නට වෙහෙසෙනවා වගේම අනෙක් දුප්පත් ජනතාවගේ සහ අසරණ කටපාඩම් කරන්න දැනුම අඩු ජනතාවගේ ආරක්ෂාව සහ අනෙකුත් දේවල් ගැන හිතනවා නං හොඳයි කියලයි මම හිතන්නෙ.. අපි කොයි තරං පට්ට ගැහුවත් අමරිකාව ජපානය යුරෝප රටවල් වල මේ ආරක්ෂිත උපක්‍රම දැඩි ලෙස ක්‍රියාත්මකෙ වනවා.. බොහෝ විට නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙනගෙන කාර් එකක් අරගෙන ජොබ් එකත් ගොඩ දාගෙන තාප්පෙකින් වටවෙලා ලස්සන පොඩි මැදුරක් කාරිය හැදුනාම ඒ මිනිස්සුන්ට දුප්පත අය වත් ඒ ජීවිත වල තියෙන වටිනාකමවත් ඒ අයගේ ජිවිත සමහර අවස්ථාවල මුහුන දීල තියෙන යම් යම් මේ වගේ අනාරක්ෂිත ැති වත් පේන්නෙ නෑ.. සමහර විට අපේ රට වසර දෙදාස් පන්සීයක් පරණ බෞද්ධ සංස්කෘතියකින් පෝෂනය වෙලා උදේ හවා පන්සිල් ගන්න ජනතාවකින් යුක්ත නිසා එහෙම වෙනවා වෙන්නත් පුලුවන්..

8 comments:

  1. අන්තිම ජේදය හිතට ගොඩක් දැනුනා.

    ReplyDelete
  2. ඒ මිනිස්සු මාර පොහොසත් ඇති නේද ? දවසට 500 ගානේ හම්බවෙනකොට 2500 න් කාලා තව ඉතුරුත් කරනවා ඇතිනේ ?

    යහපත් සිතුවිල්ලක් ...!!

    ReplyDelete
  3. මසුරං. කියන්න වෙනත් දෙයක් නෑ. මගේ "කාරය" පොස්ට් එකෙන් කියන්න උත්සාහ කලෙත් ඔය ටිකමයි. ලින්ක් එක මෙතන දැම්මට සමා වෙන්න.

    http://awidda-paya.blogspot.com/2012/09/blog-post_29.html

    ReplyDelete
  4. //සමාජයක උගත් බුද්ධිමත් පිරිස තමුන්ගේ වේතන වැඩිකරගන්නට තමුන්ගේ සමාජ තත්වය උසස් කරගන්නට වෙහෙසෙනවා වගේම අනෙක් දුප්පත් ජනතාවගේ සහ අසරණ කටපාඩම් කරන්න දැනුම අඩු ජනතාවගේ ආරක්ෂාව සහ අනෙකුත් දේවල් ගැන හිතනවා නං හොඳයි කියලයි මම හිතන්නෙ//
    බොහොම තදටම හිතට වැදුනා.
    එන්න සමකය වටේ රවුමක් යන්න

    ReplyDelete
  5. වටින පෝස්ට් එකක්

    ReplyDelete
  6. ම‍ගේ යාලුවෙකුත් තට්ටු 15 කින් පහලට වැටිලා නැති වුණා... හේතුව වෙන මොකුත් නෙවෙයි... ආරක්ෂිත පටි හිස්වැසුම් මොකුත් නැතුව ඔය වගේ වැඩ කරලා...

    ReplyDelete
  7. ඇත්ත...හොඳ කතාවක්...අපේ ලංකාවෙ අයට මේ දේවල් ගැන තියෙන දැනුවත්භාවය හොඳටම මදි..මේ රටවල්වල පුංචි සයිට් එකකට උනත් සේෆ්ටි මැනේජස්ල ඉන්නවනෙ....සේෆ්ටි ෂූස්,හෙල්මට් නැතුව ඇතුල්වෙන්නවත් ඉඩදෙන්නෙ නෑ....අඩි හතරකට වඩා උඩක නැග්ගොත් සේෆටි බෙල්ට්ස් දාන්න ඕනෙ....සේෆ්ටි ඔෆිසර්ල සයිට් එක පුරා සංචාරය කරල රිපෝට් කරනව...

    ReplyDelete
  8. මේවට කමෙන්ට් එකක් වත් දාන්න එකෙක් නැහැ ...
    ඒත් ලේ දන් දෙන්න එන්න කිව්වොත් අම්බානක් ඉන්නවා පොෂ් වෙන්න උන්

    ReplyDelete