Tuesday, September 19, 2017

වාසනාව බෙදන ඇය

කොළඹ තේ වතුර එකක් බොන්න තැනක් හොයාගන්න අමාරුයි. ඇරත් වතුර ටික පවා සල්ලි වලට.. ඒත් කහට ටිකක් උගුර යටින් ගියේ නැත්තං නිකං වරුගානක් කෑවෙ නෑ වගේ හැගීමක් එනවා. ඒ නිසාම පෙට්ටි කඩේට ඔලුව දැම්මා. කැමරාවත් අරං පෙට්ටි කඩේට යද්දි පෙට්ටි කඩේ බුවාල මහත්තයා මොනාද කියන්නේ කියල අහනො කැමරාව කියන්නේ මහ ලොකු උපාංගයක් කියල හිතාගෙන. කමක් නෑ..වෙඩිතියන්නේ නැති වුනාට තුවක්කුවක් තියෙන කෙනාට මිනිස්සු බයයි. කැමරාවටත් ඒ වගේ බයක් ඇති මහිතෙ. 

ටික වෙලාවක් යද්දි මම ඒ කඩේ ඇතුලේ.. කන්න තිබ්බ බිත්තර පාන් එකක් එක්ක තේවතුර එක ගහනවා.. මෙතන ටිකක් කලබල තැන. මිනිස්සු ගොඩයි. මේ මිනිස්සු අතර ඇත්තටම පිරිමි තමයි වැඩි. ඔය පිරිමි ගොඩවෙන පෙට්ටි කඩවලට ගෑනු ගොඩවෙනවා අඩුයි..ආවත් සෝකේස් එකෙන් සෝටිස් එකක් පෙන්වාල ඒක අරගෙන යනවා. ඒත් හිටිවනම ගෑනියෙක් ආව නේ තේ කඩේ ඇතුලට. 

පට්ට ලස්සන ඉටිකිරිස්දා කැල්ලක් හෝ දාර බඩුවක් වගේ කෙල හැලෙන එකක් නෙමෙයි. පෝය දවසක පාන්දර නැගිටල පාරේ යද්දි හම්බෙන උපාසකම්මා වගෙත් නෙමෙයි..කොහොමින් හරි ගෑනියෙක්..වයස 35ක්..බාගෙද ඊටත් අඩු ඇති. ඒත් අවුවේ කැරකිලා දූවිල්ලෙන් පදම් වෙච්ච් ඇගේ වයස වැඩියෙන් පේනවා ඇති. ඒ දාන් උන්නු තොප්පිය ටිකක් පරණයි. තොප්පිය සිරාවටම බස්සන්න ඇත්තේ අවුවට වෙන්න ඕනි. ඒක අවුවට අහුවෙලා ඩෙනිම් නිල් පාට හේදිලා ගිහින් වගේ.. තොප්පිය දාගෙන ගොඩවෙලා ගෑනි හතර අතේ කතාව. 

ඇත්තටම මේ ගෑනිගේ තියෙන විසේසත්වේ තමයි ගෑනි අන්ධයි.. ස්වීප් ටිකට් විකුනන එකියක්. මේ මනුස්සයා අන්ධ නිසා එයා දන්නේ නෑ මේ කඩේ තියෙන පසුබිම. කඩේ ඇතුලේ නැති එකෙක් නෑ..කොන්දොස්තර වරු, යන එන එකේක ඩයල්..සිගා එකක් ගහන්න ආපු උන්.. වර්ග අඩි ගානක බිමේ ඔහේ යාන්තම් බංකු කෑල්ලක හෝ ඇන්ද නැති ප්ලාස්ටික් ආසනේක වාඩිවෙලා තේ බොනවා.. සෝටිස් කනවා .. 

මේ අන්ධ ගෑනිට පේන් නෑ මේකැතුලේ තත්තේ.. බාගෙදා කෑම සුවදට එන්න ඇති. නැත්තං පේනවද දන්නෙත් නෑ. කියන්න බෑනේ..ටිකට් විකිනෙන්නේ අන්ධ වුනාම..කවුරුත් කැමති දුප්පතුන්ට උදව් වෙන්න වාසනාව අතගාන ගමන්.. එක සොට් එකෙන් කුරුල්ලො දෙන්නයි.ස්වීප් ටිකට් ඇදුනොත් මෙලොව ගොඩ..ටිකට් එක නොඇදුනොත් අන්ධ ගෑනිට පිහිට වුන නිසා එලොව ගොඩ. කමල් ලෑ අව්සස තැනට තමයි අවස්ස දේ හැදෙන්නේ. මේ ගෑනිත් එහෙමයි. 

අන්ධයි ගෑනියෙක් ..ටිකට් විකුනනවා..දැන් පෙට්ටි කඩේකටත් ඇවිල්ල.. ආනේ ඊලගට තියෙන්න ඕනි මේ ගෑනි බෙහොම දුක්බර ලීලාවෙන් සෝටිස් එකක් ඉල්ලන කෑල්ලක් වෙන්න ඕනි නේද? 
. නැහැ එහෙම නෑ.. 
මේ කලුමල්ලි.? ගියපාර ආ වෙලාවක දුන්න අර බිත්තර මගුල එපා.. ඒකේ බිත්තරය්ක වත් දාන් නෑනේ.. මට මාලුපාන් එකක් දෙන්න.. අන්ධක්කා ඉල්ලුවා. 

දැන් බාපු රෝල්ස් තියෙනවා.. ඒ කඩේ තේ දාන එකා.. 

දැන් බෑව කිව්වේ ඉයේ බාපු එක ආයෙ දාල බෑවද? හේ හේ හේ.. 

අක්කටත් ඉතිං.අ.ායේ.. අපෙන් අහගන්න තමයි ආයේ ඊයේ බෑවද අහන්නේ? ඒ කලු මුදලාලි. 

හරි හරි එහෙනං දෙනවකෝ ඔය දැන් බාපු රෝල් එක.. ගොඩක් පිච්චෙනව නම් කොලේකුත් දෙන්න. 

ඇය දැන් කඩයටම එක්තරා නාටකයක් මෙනි. මෙවැනි පෙටටි කඩවල ඇති ගතිසිරිත් තිබේ. මේවායේ බොහෝවිට සෝකෙස් එකේ කෑම වර්ග දමා තිබේ. පැමිණෙන අය බනිස් අතගා බලා බනිස් ගනී.. වැඩිය අතගෑම බනිස් ගෙවියන්නට හේතු විය හැකි බැවින් පසුකලෙක බනිස් ඇල්ලීමට කොක්කක් ලැබුනි. එහෙත් බොහෝ දෙනා තවමත් බනිස් අල්ලා බලා බනිස් ගැනීමට යත්න දරයි. කෙසේ හෝ දැන් නම් මුදලාලියා සෝකෙස් එක උගේ පැත්ත හරවගෙන ඇත. ඒ නිසා බනිස ඕනි කෙනා බිත්තරද, මාලුද. ටී ද නිකංම බනිස්ද සීනි ද යන වගද වඩේ නම් සිදුර සහිත උලුදු වඩේද පරිප්පු වඩේද යන්න කිව යුතුව ඇත. එහෙත් තවමත් පැරණි කස්ටලා පැමිණ අත ඈත දුරට දිගුකොට සෝකෙස් එකෙන්ම බඩු ගනිති. 

කෙසේ වුවද කඩේ බඩු හෙවත් සෝටිස් ආදිය හෝ ඉදිආප්පු හෝ උදේට පාන් හෝ කවර නම්ම දෙයක් කඩෙට පැමිණෙන අය කෙලින්ම ඉල්ලයි..ඉන් පසු මුදලාලියා හෝ තේ ගහන එකා හෝ වෙන එකෙක් ඒක දෙයි. ඉන් පසු බුවා කයි.නැතොත් කෑම රැගෙන යයි.  මෙය කාර්යක්ෂම චක්‍රයකි. උදේ අවස්ථාවකදි නම් කැෂියර බුවා කතරගම දෙයියා සේය. හතර අතින් ඉතුරුවා දෙයි, මුදල් ගනී. බනිස් දෙයි, පාන් බාගයායි කිරි හොදි එකායි.. ඉදි අප්ප විස්සායි පරිප්පු එකයි පාර්සාල්.. උපාසක එලෝලු බත් එකයි.. ආදී වසයෙන් වට පිට සිටින උන්ටද කෑ ගැසීමද ඒ අතරවාරයේ කඩේ මුදලාලි අතින් සිදුවේ. මුදලාලි අණ කරන සැනින් පාර්සල් කවුන්ටරයේ සහ බෙදන තැන සිටින බුවා දඩ බඩ ගා මුල් සකසා හෝ කෑමට බඩු රැගෙන දෙයි.. 

උපාසක එලෝලු බත් එක යනු නියමම නිර්මාංශ එලෝලු බත් එකයි. එහි එන සම්බෝල වලට කරවල හාල්මැස්සෝ නැත. බත් එකට මාලු හොදි ටිකක් වත් නැ. එසේ නොවන එලෝලු බත් එකේ කරවල හාල්මැසෝස සහ බොහෝවිට මාලු හොදිද තිබේ. 

තේ වතුර වුවද හදන තැනට ගොස් රැගෙන බීම පෙට්ටි කඩේ සාමාන්‍ය සිරිතයි. එහෙත් අන්ධ අමරක්කා සියල්ල වෙනස් කරයි. ඇයට වෙනම පීරිසියක දා ඇය කියන සෝටිසය ගෙන ආ යුතුය. ඉන් පසු අමරක්කාට තේ එක ලගට ගෙනත් දිය යුතුය. එක් අතකින් ඇය අන්ධ වීමේ වරප්‍රසාදය මැනවින් භුක්ති විඳින්නීය. මුදලාලි සහ කඩේ වැඩට ඉන්න අයද ඇයට ඒ අන්ධ වීමෙ නිසා වූ වරප්‍රසාද අනුව ඇයට අවැසි ලෙස  සාත්තු සප්පායම් කරති.. 

කෝ ඉතිං කලු මල්ලියේ මේක එක උගුර ඇද්ද ගමන් ඉවර වුනානේ..මේ ටික බීල ඇතිය බං.. මට තව ප්ලේන්ටියක් දාහං කෝ.. මුලින් අමරක්කාට උවමනා වූයේ කිරිපැකට් එක්ක බොන්නය. එහෙත් ඇය අදින ස්පීඩ් එකට කිරි පැකට් එක විනාඩියක් යන්නටත් මත්තෙන් බටහේ කෙළවර වාතය ඇතුල්වෙන්නට පටන් ගත්තේය.ඇය ට එය මදි වූ නිසා ප්ලේන්ටියක්ද උවමනා විය. 

ඇගේ කතාවද උස් හඩිනි..එසේම ස්වරයේ යම් රාජකීය අණදෙන ස්වභාවයක්ද ගැබ්ව තිබේ. 

මොකො අමරක්කේ බිස්න්ස එහෙම..යනවයි? 

අලෙ මන්ද බං.. ඔහෙ ඉතිං.දන්නෝනේ.. උඹලට යන දවසමයි මටත් යන්නේ.. බිස්නස් ඉතිං මිනිස්සු ටිකක් ගවසෙන දවසට වැඩියි..නැති දවසට යාන්තං දවස සේප්.. 

මට ඇගේ පිංතුරයක් ගන්නට උවමනා විය . කඩේට කලිං කිහිප වතාවක් පැමිණ ඇති හෙයින් මා තේ දමන කොල්ලා ටිකක් දනී.. මල්ලියා..මේ අක්කගේ පිංතුරයක් ගත්තොත් අවුලක් යයිද? 

පෝඩ්ඩක් ඉ්න්න මාතියා මං අහන්ඩ.. 

අමරක්කේ මේ පොටෝ මහත්තයෙක් ඇවිල්ල පොටෝ එකක් ගන්නද අහනව අමරක්කගේ.. 

මොකටද මගෙ පොටෝ? කොහෙන්ද පත්තර කාරයෙද්ද? නැත්තං සෙල්ලං කැමර් කාරයෙක්ද? 

නෑ අක්කේ මං මේ පොටෝ ගහන කෙනෙක්..විනෝදෙටත් නෙවෙයි.. පත්තරේටත් නෙවෙයි... මම කීවෙමි. 

හා හා.. තාම පොඩි වයස ඉතිං කොලුකමට හොද දෙවල් ඕවා.. ගන්නෙකයි ඇත්තේ හැබැයි ඉතිං මං හරියට මේකැප් දාල ආවෙ නෑ ඉතිං.. මේකප් දාන්න ඕනි නෙ පොටෝ ගන්න.. ඇය කියන්නට විය..ඇගේ උස් හඩ නිසා කඩේම සිනා පැතිරෙන්නට විය. එතැන නාට්ටියක්මෙනි.. 

ඇත්තට අමරක්ක කොහොමද මේකප් ගැන දන්නේ..මොකප් දාල පොටෝ ගහන එක ගැන දන්නේ.. ? ඒ කලු මුදලාලිගේ පස්නයකි.. 

ඈ කලු මල්ලියේ අපිත් මේ පාරෙ ්උන්නට අපිටත් මගුල් තුලා එනවා..උත්සව එනවා..ඒවට යද්දි අපේ ඉතිං කෙල්ලෝ ටික මාව කුලප්පු කරලා මට කියලා පිටෝටුවෙන් සුකුරුත්තං ගෙන්න ගන්නවා.. මෙහෙ ලාබයි ලු නේ.. මටත් ඉතිං උලලා කියනවා. මං නිකං ප්‍රින්සස් වගේ ලු..අනේ උන්ගේ බොරු වෙන්නැති..ඒ ගමන ඒවා උලල උන්ට මා එක්ක පොටෝ ගහන්නත් ඕනි..හරෝනවා..මූන හරෝනවා ගහනවා..මට ඉතිං සටස් සුටුස් සද්දේ විතරයි ඇහෙන්නේ.. උන් ටික්කින් ඒව බලල හිනාවෙනවා..

අමරක්ක හිතන්නේ පොටෝ එක මොන වගේ ඇතිද? කලු මුදලාලි අසයි.. 

කලුමල්ලියා අහල තියෙනවාද ගොලුවාගේ හීනේ ගැන..ගොලුවගෙන් හින ගැන අහල වැඩන් නැනේ බං..මං කොහොමද මට නොපෙන්න ඇස් දෙකෙන් පොටෝ  ගැන කියන්නේ..? ඒකෙන් මේකෙන් තා පරක්කු වෙනො..කෝ මල්ලියා ගන්නවනං අරගන් එකයි ඇත්තේ.. මං මේම හිටියම හරිද ? ඇය කඩයේ කවුන්ටර දොර දෙස හැරුනේ මා සිටියේ ඒ දෙස යැය ිසිතු නිසා විය යුතුය. 

හරි හරි.. මා කීවේය.. මා ඇගේ පිංතුර කිහිපයක් ගතිමි. දුම්දමන තේ කඩය.. සෝකේස් එක.. රැවුල සහිත කලුමුදලාලි. කලක් හෝදන ලද සර්ටයෙන් සැරසුනු තේ දාන කොල්ලා.. ඒ මරු පිංතුර ටිකකි.. 

මල්ලි ඕ පොටෝ හොද නං මටත් කොපියක් ගෙනත් තෝන හොදෙයි.. මං ඉතිං අලාබේ දෙන්නං..මා කඩයෙන් පිටවන විට පොටෝ මල්ලි පොඩ්ඩක් එන්න යැයි ඈ මට කනට කර කීවාය.. මට දාස් ගනන් දෙන්න බෑ..රුපියල් තුන්හාරසියක් දෙතැකි.. මෙතන හොද නැත්තං හොද තැනක පොටෝ ගමු.. මොකො අපේ ඉන්න නැට්ටියො ටිකට පෙන්වන්න ඕනි මල්ලියේ මගේ පොටෝ .

ඉතිං අමරක්කා අමරක්කා කරනනේ උදව්වක් නේ..සල්ලි ඕනි නෑ.. අමරක්කාගේ පොටෝ දෙක තුනක් මම ගෙනත් දෙන්නම්..හැබැයි අමරක්කේ ඉතිං වෙඩින් වල වගේ ගොඩාක් ලස්සන නෑ..
 ඒත් පොටෝ වටිනවා.. මා කීවෙමි. 

ගොඩක් ලස්සන ටිකක් ලස්සන නැත ිලස්සන ඔය මොකවත් මං දන් නෑනේ.. මට ඕනි අපේ කෙලි නැට්ටො ටික මං අල්ලං කෝලං කරනකොටයි අපේ ගෙදර අයටයි ..මෙන්න මගෙ පොටෝ ය කියල පෙන්නන්.. න නේ.. ඇය කිවාය.. 

මං කලක් තිස්සේ හෙව්ව පොටො කාරයෙක්.. මට ඉතිං ස්ටුඩි යන්නත් බෑ..මොකො ඉතිං මිනිස්සු බලනො නෙ මොකො මේ කියල.. 

හරි අක්කේ මං ගෙනත් දෙන්නං එහෙනං.. මා එතැනින් මාරු වීමි. 

6 comments:

  1. ගිහින් දෙන්ට එපැයි එකක්

    ReplyDelete
  2. ඉතිං කෝ බං අරගත්තු අමරක්කාගේ පොටෝ කෑල්ල? ඒක මේකේ එල්ලුවා නම් නේද කතාව ලස්සන වෙන්නේ.

    ReplyDelete
  3. හැබෑටම ඒක ඇත්ත කතාවක්ද කොහොමද photos කෝ photos හෙහ්

    ReplyDelete
  4. Mata nan kisi agak mulak therune ne

    ReplyDelete