Friday, May 15, 2015

බංකුවෙ ඉන්න බෑ මකුනො විදිනව..මේකද යහපාලනේ ?

මම ඉන්නෙ මහරගමට යාබද තැනක. හැමදාම කෝචචියෙ තමයි වැඩට එන්නෙ. අද එනකොට ඉස්ටේෂමේ ටිකට් කවුන්ටර් එක ළඟ පෙත්සමක් තියලා. ස්ටේෂමේ රෑට ලයිට් අඩුය. ලයිට් ටිකක් දාල දෙන්නය කියලා දුම්රිය සේවයේ ලොක්කන්ට ලියපු ලියමනකට කට්ටිය ගජරාමෙට අත්සන් කරනවා. මටත් අත්සන් කරන්න හිතුනා. ඒත් පහුගිය දවසක මහ වැස්සක් වෙලාවෙ දුම්රිය ස්ථානය යාබද හිටපු මට දුම්රිය ස්ථානයේ වේදිකාවේ නම් විදුලි ආලෝකය ප්‍රමාණවත් පරිදි තිබුනාය කියල මතක තිබුනා.

ඉස්ටේෂමට එන්න තියෙන මාර්ගය රාත්‍රිෙය්දි කළුවරයි. ඒ මාර්ගයේ නම් විදුලි ආලෝකයක් නැහැ. රෑට යනකොට නයෙක් පොළඟෙක් දෂ්ඨ කලත් සතා හොයාගන්න ටිකක් අමාරුයි.

138 පාරෙ මහරගම සිට කොටුවට යන්න බස් එකේ රුපියල් තිස්පහක් විතර ගන්නවා. නමුත් මහරගම කොටුව දුම්රිය ගාස්තුව රුපියල් විස්සයි. ඇත්තටම පෙත්සම අත්සන් කරන තැන කැටයක් තියලා අපේ දුම්රිය ස්ථානයෙන් දුම්රියට නගින මගීන් එක් අයෙක් රුපියල් සීයක් ගානෙ ඒ කැටේට දැම්මා නම් ලොකු මුදලක් එකතු වෙනවා. සමහර විට රුපියල් විසිදාහක් විතර එකතු වේවි. ඒකෙන් සී එෆ් එල් බලුබ් පහ හයක් අරං කණුවක් දෙකක් ලීවලින් හිටෝලා වෑර් අරං ලයිට් පහ හයක් දාගන්න එක හතරපස් දෙනෛක් පැය දෙක තුනක් මහන්සි වුනානම් කරගන්න පුලුවන් වැඩක්.

බස් එකේ රුපියල් හතලිහට විතර පැය දෙක තුනක් වැයකරලා යන ගමනම දුම්රිය රුපියල් පාලවට විස්සට පැය බාගෙන් අපිට යන්නට ලැබිලා තියෙන්නෙ දුම්රිය සේවය නිසා. ඒ වගේම දුම්රිය සේවය කියන්නෙ පාඩු ලබන එකක් ය කියලා අපි හැමෝම දන්නවා.

මේ මහරගම පැත්තේ දුම්රියේ එන මගීන් බොහොමයක් පුද්ගලික ආයතන වල වැඩකරන අය. එයින් ඇතැම් අය ත්‍රිවිලර් එකක හෝ කැබ් එකක හෝ කාර් රථයක ඇවිත් තමයි දුම්රියට ගොඩ වෙන්නෙ. එතකොට එහෙම එන අය දුම්රිය ගමනට වැඩිය ලොකු මුදලක් ගෙදර සිට දුම්රිය ස්ථානයට එන්නට වියදම් කරනවා.

සමහර විට රෑට ලයිට් බොහොම මදිය, දුම්රිය ස්ථානයට එන පාරට ලයිට් දාන්න කියලා සල්ලි එකතු කරන්න කැටයක් ඔතන තිව්වා නම් තුන් හතර දෙනෙක් රුපියල් පහක් දහයක් දාල මාරු වේවි. ඒත් හොද ඇඩ්වර්ටයිසමක් එක්ක ඇගට දැනෙන දැන්වීඹක් දැම්මා නම් හොද ගානක් ගන්න තිබුනා. ඒ වගේමයි ඔය අසබඩම තියෙනවා ඔරේන්ජ් කම්පැනිය. ඒකෙන් හරි මහගරම පැත්තෙ හොද ලයිට් කඩේකින් ඔය වැඩේ නොමිලෙම කරගන්නත් තිබුනා. ඕනි නම් එයාල ඇඩ් එකක් දෙකක් ගහවි..මේ සත්කාරය අපෙන් කියලා. අපිට පාන්යැ..? ඇඩ් එක තිබුනත් රෑට එලිය තියෙනවා නේ.

මේ මහරගම පාර ලොකු සෙනගක් ඉන්න මගීන්ට ට්‍රැෆික් වලින් තොරව කොටුව පැත්තට එන්න පහසු දුම්රිය මාර්ගයක්. මාතරට පැයෙන් යන්න පුලුවන් රටේ කොට්ටාවෙ ඉදලා කොටුවට පැයක් දෙකක් යනවා. ඒක ඉක්මන්ට යන්න කෝච්චි පාරක් හදලා අලුත් කෝච්චි දාල සරුවට යන්න ඒ සී හෙම සෙට් කරලා කොට්ටාව මහරගම ඉදලා කොටුව ට එන්න රුපියල් දෙසීයක ටිකට් එකක් නියම කලොත්? මිනිස්සු එන්නෙ නැද්ද?

ගොඩක් අය හිතාවි රුපියල් දෙසීයක් දීල මහරගම කොට්ටාවෙ ඉදලා කොටුවට මිනිස්සු ඒවිද කියලා. නමුත් මහරගම ඉදලා මාතරට යන්න පන්සීයක් වියදම් කරාවි කියලා මීට අවුරුදු පහ හයකට කලින් අපි හීනෙන්වත් හිතුවෙ නැහැ නෙව. ඒත් හයි වේ එක හැදිලා බස් වැටුනම වෙනදා නැති සෙනගක් ගාල්ල මාතර ආසාවෙන් යන්න ගත්තා හයිවේ ඒ සී බස් වලින්.

ඉන්දියානු දුම්රිය සේවයෙ ගාස්තු වල පහලම පන්තියේ ගාස්තු ටිකක් අපිට සමානයි. නමුත් ඉහල පන්තිවල මිල වැඩියි. කොටින්ම ඉන්දීය දුම්රිය සේවයේ තියෙන ෂටාබ්දි කියන අධිවේගී, වායුසමනය කල දුම්රිය ටිකට් එකක මිල ඒ පාරෙම යන සාමාන්‍ය මගී දුම්රියක ටිකට් එක වගේ හත් අට ගුණයක් වෙනවා.

කොළඹ මාතර රුහුනු කුමාරි කෝචිචියෙ තියෙන ලොකුම ක්ලාස් එක 2වන පන්තිය. ඒකෙ කිලෝමීටර 160ක ගමනටම ගාස්තුව රුපියල් 230ක්. දෙවනි පන්තියේ ආසන සුවහපහසුව හැර වෙන කිසිම පහසුකමක් නැහැ..මුහුද අයින්නෙන් ගියත් දෙවන පන්තියෙත් මිනිස්සු පිරුනාම තියෙන්න පුදුම දාඩියක්. ඕ කෝච්චියට හොද වායුසමන පෙට්ටියක් දාල රුපියල් පන්සීයක ටිකට් එකක් ගැහුවොත් යන්න මිනිස්සු අනිවාර්යෙන් ඉන්නවා. හයිවේ බස් අල්ලන්න කොටුවෙන් කොට්ටාවට යනවට වඩා ඒ සී එකේ රුපියල් පන්සියක් දීල ආතල් එකේ වැනි වැනි මාතර යන්න මිනිස්සු කැමති වෙයි.

මම කියන්න හැදුවෙ සරල දෙයක්. ඒ තමයි ලංකාවෙ දුම්රිය සේවෙ තාමත් ඉතාම ප්‍රාථමිකයි. ඒ වගේම නුවමනා විදියට ඒකෙ මිල ගනන් අඩුයි. මිනිස්සුන්ට අද කාලෙට ඔබින පහසුකම් තියෙන්නෙ එහෙමත් දුම්රියක විතරයි. අපි දුම්රියක යන්න බස් එකේ යනවාටත් වඩා ලොකු මිලක් ගෙවනවා නම්...ආන්න එතනදි අපිට ඕනි පහසුකම් දීපල්ලා කියලා ලියුං ලියන්න අයිතිය තියෙනවා. ඒත් පාඩුපිට බස් එකේ යන ගානටත් වැඩි අඩුවෙන් සේවය සපයන සේවයකින් තවත් සහන සහ සේවා ඉල්ලන එක අවුලක්.

එක පැත්තකින් ලංකාවෙ දුම්රිය සේවය කියන එකේ ඉන්න පුබ්බඩ වාහෙලා ටික එලෝලා, ඕක සුද්ද කරලා දුම්රිය සේවෙ ගැන පම්පෝරි පැත්තක දාල මගීන් ගැන හිතන සේවයක් ඇතිවෙන්න ඕනි. අනික් පැත්තෙන් මගීනුත් ස්ටේෂන් එකේ තින්ත ගෑම, බංකු වල මකුනන් එලවීම, ඉස්ටේෂන් එකේ කැඩුන බලුබ් දැමීම, වගේ සුලු රාජකාරි වලදි පොඩ්ඩක් එකතුවෙලා මේ තමුන්ගේ දේ නෙවද? කියලා හිතලා වැඩකරන්න හුරුවෙන්න ඕනි. අඩුවට කන උළුඳුවඩේ එකේ හිල ලොකුයි කියලා කෑ ගහන එක එක පිරිසකට අයිතිවාසිකම් ඉල්ලමක් වෙන්න පුලුවනි. නමුත් ඒක තව පැත්තකින් උපහාසයට කාරණාවක්.

10 comments:

  1. නමුත් මේකනෙ මල්ලි වැඩේ. අපි ඔය විදියට කරයි. නමුත් ලොක්කො ඔය ගානත් අය වැයෙන් පාස් කොරගෙන ඒකටත් විදියි. ඉහල තැන් වෙනස් නොකර ලංකාවේ ඔය මොකවත් හරියන්නෙ නෑ

    ReplyDelete
    Replies
    1. ඉහල තැනට බනිනඑක හරිම ලේසියි.. නමුත් අපිට ලයිට් එක ඕනි නම් ඒක දාගන්න තිබුනා ඔය ලයිට් කඩේකට කියලා ඇඩ් එකකුත් එක්ක ලයිට් ටික සෙට් කරගත්ත නම්.. අපි ඉල්ලුවා නොයිල්ලුවා වැඩේ කෙරුනා නොකෙරුනා කොටින්ම කෝච්චි ගියා නොගියා..ඔය ලොක්කොන්ගේ ඉන්කම් එක සතයකින් වත් අඩු වෙයිද? නෑනෙ..

      Delete
  2. දුම්රිය සේවය තාම දුව්නේ සුද්දා දසක ගානකට කලින් දාපු නීති වලින්..

    ReplyDelete
  3. දැන් හෙඩිමේ හැටියට කොයි බන්කුවේද මකුණෝ ඉන්නේ කියපන්කො හරියට අපිටත් යහපාලනෙට බනින්න

    ReplyDelete
  4. මෝඩ කතාවක්.
    කෝච්චි ඉස්ටේෂම කියන්නේ ගමේ පන්සල වගේ තැනක් නොවෙයි.

    ReplyDelete
    Replies
    1. දැන් ගොඩක් පන්සල් වල කරන්නෙත් මුදලට සේවය සැපයීමක් නිසා ලොකු වෙනසක් න්නැහැ

      Delete
    2. ඉකොනොමි ක්ලාස් ටිකට් ගත්තාම තේ වතුර වලට කෑම ට අනික් සේවාවන්ට අපි විසින් ගෙවන්න වෙනවා නේද?

      Delete
  5. මෙහෙමයි දුම්රිය සේවය අනිවාර්යෙන් දියුණු විය යුතුයි මාර්ග වැඩිවිය යුතුයි කොළඹ ඉඳලා ගාල්ලට හියිවේ හැදුවට වඩා අඩු වියදමකින් පැය භාගෙන් ගාල්ලට යන්න අධිවේගී දුම්රිය මගක් හදන්න පුළුවන්

    ReplyDelete
    Replies
    1. කොළඹ මිනිස්සු සුවපහසුවෙන් ගාල්ලට යවන එක සහ බඩුබාහිරාදිය පහසුවෙන් ගාල්ලට යවන එක ආන්ඩුවට ඕනි වුනානම් හයි ඉස්පීඩ් රේල් පාරක් හදන්න තිබුනා..නමුත් එයාලට ඕනි වුෙන් වාහනෙන් බහින් නැතුව ගාල්ලට යන්න වෙන්න ඇති..

      Delete
  6. මල්ලි ඔයා ගෙදරදී කන වඩේ එකේ හිල ලොකුද

    ReplyDelete