Sunday, January 19, 2014

සඳවතිය මගේ සිහිනේ

සඳවතිය මගේ සිහිනේ
ඝන කලුව මකා දැමුනේ
ඔබ රූපෙ නිසා ලඳුනේ
කියලාය මෙමට සිතුනේ

මනමාල බැලුම් කටකාර කියුම් ඔය ..සේල තොලින් වැසි සුසුදු සිනා කැන්.
මගේ මුවින් පිට නොවෙන වදන් .. ඇත මාව වෙලා සිර කරල තබන්

ආදර දෙව්දුව දුනුදිය දෙනුමට.. ඊතල විද ඈ වසගෙට ගන්නට
කෑදර කම නැති කර සැනසෙන්නට.. මාතර යනකොට අරගෙන යන්නට


සුට්ටක් ලෝඩ් වෙනකල් ඉදලා කවිය අහලාම යන්ට..

Saturday, January 18, 2014

චිත්ත සැත්කම (2)

1 කොටස
අදාල පිංතූරයක් නොවේ 
“ ඔන්නං හිරිවට්ටලත් කරත හැකි යැයි කියූ දොස්තරයාගේ අත මහ විසාල මන්නයකි. පංසලේ අන්දර වැට ගාන්ට කැපීමට ගන්නා විසාල වතු කතුර වැනි විසාල කතුරක් බේත් විදින නේස් නෝනා අත ඇත. සිවුරු වැනි කහපාට රෙදි කඩක් පසෙක ඇති අතර නිරුවත් මනුස්ස ශරීරයක බඩක් ඉස්පිරිතාල ඇඳක් මත ඇත. නේස් නොනෙක් අවිත් ඉන්ජෙක්සන් එකක් ගැසූ පසු මියගියාවන්ව අර ඇඳ මත වූ මනුස්ස සරීරයේ මදක් එසවී තිබුන අතක් කපා දැමූ කෙසෙල් කදක් මෙන් ඩොග් ගා පහත්විය. මන්නය ගත් දොස්තර තැන බඩ පලා ඉන් පසු "මෙන්න මේක කපන් ඕන" යැයි ලොකු මාලු කූරියකුගේ බඩක් වැනි කෑල්ලක් මනුස්ස බඩ ඇතුලෙන් ඇද ගත්තේ එල්ලෙන වැල් වැනි නහර වැල් සමඟය. කෝ කපන් නැද්ද අහන්නාක් මෙන් පණ ගැහෙන ඒ කෑල්ල උස්සාගෙන දොස්තර තැන සිටියේය. මහ කතුර අතදරා සිටි නර්ස් කෙනා සුටුස් සුටුස් ගා දෙකෙලවර කැපුවේය, එවිටම ලේ පාරක් චූස් ගා විදින්ට විය“

"හපෝ...මං කපන් එපෝ" යැයි. කියමින් හාමුදුරුවෝ නින්දෙන් අවදි විය. සද්දය මහ හයියෙන් ඇසී නැත. පියෙසා්ම අසල ඇඳක නිදිය. වාට්ටුවේ බොහෝ දෙනා නිදිය. තමුන්ගේ සිවුරු රෙදි මඳක් ඈත් වී දෙකකුල් ඉහල කොටස්ද මනාව අන් අයට පේන බවක් සාදුට වැටහුනි. නැවත සිවුරු සකස් කරගත් උන්නාන්සේ යම්තම් මතක තිබුන සිහිනයද, මේ වන විටත් ගැහෙමින් පවතිනවා යැයි සැක සිතූ උන්වහන්සේගේ පිත්තාශයද සිහියට ගන්නට වෑයම් කලේය. "විකාර හීනයක්, මොන මගුලක්ද මේ, " දොස්තර මහත්තය මන්නයක් අතේ තියං..වෙන්න බැහැ නේ. " යැයි සිහිනය බොරු මායාවැකැයි සිහියට ගන්නට ඥානසේකර හිමිනම වැර වෑයම් කලේය.

"උදෑහැනම පැමිණි දොස්තර මහත්තයාට.. අනේ මහත්තයො මං වයසක මනුස්සය. උපරේෂන් ඕන් නැහැ". ඔන්න බේත් පෙත්තක් තිබුනම ඇති. යැයි හාමුදුරුවෝ පින්සෙන්ඩු වන්නට විය.

ලොකු හාමුදුරුවෝ උපරේෂන් එකට බය විත්තිය දොස්තර මහත්තයාට පසක් විය.

“අපි හැමෝම ජාති ජරා මරණාදී ලෙඩට දුකට පත්වෙනෝ. ඒක වලක්වන් බැහැ. ඔන්න මොන උපරේෂන්ද? කමන් නැහැ. බෙහෙත් වලිනුත් ඇහැකියි කියල දොස්තර මහත්තය කිව්ව" හාමුදුරුවෝ බලන්නට එන උපාසක අයට හාමුදුරුවෝ උපදෙස් දෙන්නට විය. හාමුදුරුවන්ට උපදෙස් දිය හැකි මට්ටමේ සිටි අය යාන්තම් උපදෙස් දෙන්නට විය. ඒත් දැනෙන වෙනසක් නම් සිද්ද නොවීය.

දවල් වරුවේ සියාතු උන්නැහැද පැමිණ තිබුනි. උන්දැගේ රබර් කට එතරම් හොද නැති බව දන්නා ලොකු සාදු වැඩිය වරුනා කතාකරන්න ගියෙ නැත.

"ඉතිං හාමුදුරුවනේ ඔබවාන්සේ කියනවිදියට ඔය සරීරෙ අනිත්‍යනං පිත්තාසෙත් අනිත්‍යයයි නේ. ඔන්න ඔහෙ ඕක කපල දාන්න. මට නං පේන්න තියෙන විදියට ලොකු හාමුදුරුවො පිත්තාසෙට බයයි. නැත්තං වැඩක් නැති කෑල්ල කපල අහක් කරන් දෙන් එපාය." මේවන් සෝ බර අවස්ථාවලද හාමුදුරුවන්ගේ සිත රිදවන්නට සියාතු ලොක්කා ඒම ගැන අනෙක් උපාසක අයගේ විරෝධය ඔවුන්ගේ මුහුනින් පිලිබිබු වන්නට විය. "මේ සියාතු ඔහෙ ඉගෙනගෙන තියෙනව තමයි. ඒත් උන්නාන්සෙ ඒකට විරුද්ද වෙන්නෙ හේතු ඇතිව. ඔහෙට ඕන්නං ඔහෙගෙ පිත්තාසෙ කපාගන්න අපේ හාමුදුරුවො බේත් වලිං හොදකර ගනීවි. "යැයි පියසෝම සියාතුට විරුද්ධව යමක් කීවේය.

සාහිත්‍ය රසයේ යම් පමණක දැනුමක් තිබූ සියාතු උන්නැහේට  මේ ජීවිතවල රකින්නට දෙයක් නැතැයි නිතර බණමඩුවල දෙසුවත්,ඒ  පංසල් රකින්නට  බොහෝ පන්සල්හි මස් කටු දී ඇතිකරන ඇතිකරන වෘකයින් වැනි විශාල බල්ලන් මතකයට නැගුනි. ඔහු ආ සිනාව මුව තුලම සිරකරගෙන ඔහේ බලා සිට 

“අනේ මන්දා ලොකු හාමුදුරුවනේ. ඔබවාන්සෙ දන්නව නේ. මගෙ ලග වැඩිය කැටයං නැහැ. ඔබවාන්සෙ ඔපරේෂම කරනවට මං මනාපයි. දොස්තරගොල්ල වුනත් කියන්නෙ ඕක අයිං කරනවනං හොදයි කියල නේ. “ නැවතත් සියාතු කියන්න ට විය.

එහෙනං හාමුදුරුවනෙ අපිත් යන්නං කියමින් තව ටික වෙලාවක් කතා කරමින් සිටි පිරිස එක එකා හාමුදුරුවන්ට වඳිමින් විසිර යන්නට විය. මෙවර පියසෝම උන්නැහේද ගිය බැවින් සාත්තුවට සිටියේ පොඩි නමය. පොඩි නම දැන් පොඩිම නැති බව ලොකු හාමුදුරුවන්ට වැටහුනි. දාන මාන ගැන පංසලේ කටයුතු ගැන පොඩිනම දැන් සැලකිය යුතු වගකීමකින් කටයුතු කරයි.

නර්ස් නෝනා පැමිණ ලේ ගැනීමද බෙහෙත් දීමද ආදී කටයුතු වල කරුණාවෙන් නිරත වෙයි. ඒ එන හැමවිටම පොඩිනම නැගිට ගනී. නර්ස් නෝනා එනවිට අසුනින් නැගිටීම පියසෝම කලත් එය පොඩිනම විසින් කල යුතු දෙයක්ද නොකල යුතු දෙයක්දැයි ඥානසේකර ලොක ුසාදුට තීරණය කල නොහැකි විය. දේවාලේ දෙවියන් උතුම්ය. වවුලන්ගේ ගුහාවේදී වවුලන් උත්ම්යැ. ජලයේදී මාලුන් නම් පීනන සතුන් උතුම්යැ. මේ ඉස්පිරිතාලැයැ තුල සිටින නෙස් නෝනල සහ දොස්තර මහතුන් වඩාත් උතුම්යැයි සැලකු විට නම් පොඩි නම ගරු කිරීම පිණිස හෝ වෙනත් කරුණක් පිණිස නැගිටීම මහත් දෙයක් නොවෙතැයි ලොකු සාදු සිතන්නට විය.

නිතර යන එන ලෙඩුන් බලන නර්ස්, ඇටෙන්ඩන් නෝනාවරුන් හා කතාකරන විට හා ඔවුන්ග් නාරි දේහයන්හී විවිධ ඉරියව් දකින විට පොඩිනමගේ දෙනෙත් දීප්තියෙන් බබලනු ලොකු සාදු දිටීය. කිසිම අලුත් දෙයක් නැතැයි යන ඉතාම සාමාන්‍ය බැල්මෙන් බලා සියලු දේ නතුකර ගැන්මේ හැකියාව තවමත් පොඩිනම කෙරෙහි නැත. පොඩිනමගේ කෑදර බැල්මේ කැත කාලය විසින් නසාලනු ඇතැයි ලොකුනම සිතුවේය. තමා කුඩාකල දාන මාන වලට ගිය විට “පොඩිනම මින් මනතට ගෑනු ළමයි දන් බෙදන වෙලාවට පාත්තරේ දිහා විතරක් බලාගන ඉන්නව හොඳයි. උපාසකම්මල බිම බලාගෙන වඳිනකොට භාවනා කොරනකොට හාමුදුරුවන්ගේ ඇහැ වටේ පිටේ ටිකක් හැරවුනාට කාරියක් නං නැහැ." යැයි සිය ලොකු හාමුදුරුවන් වරක් දුන් උපදෙසක් ඥානසේකර හිමිට මතක් විය.

සිරිත් පරිදි බොන අඟල් කිහිපයක් උස පිටි ජෝගුවත් තේ බොනකොට තේ එක වෙනුවෙන් කනවා යැයි කියා ගිලදමනු ලබන ග්‍රැම් සියක දෙසියක බිස්කට් පැකට් එකත් පංසලේදී හැන්දෑවේ හතට හතහමාරට විතර ගිලදමන පොඩිනම නමය හමාර වෙනතෙක් ටීවි එකේ නාට්ටි බලමින් සිට නින්දට යයි. පොඩිනම නින්දට ගිය පසු පංසල උස්සාගෙන ගොස් වෙනතැනක තැබුවත් ලේසියෙන් අවධි නොවන අයෙක් බව ලොකු සාදු දනි.

අහල ගෙදරක විසු සොපිනෝනා නැමැති උපාසකම්මා ගේ ගෙදර දවල් සැමියා එනවිට ගෙදර වෙනත් මිනිහෙක් සිට දුවගොස් ඇත. කිසිත් නොකියා සැනෙකින් ගෙදරින් නික්මුනු සොපිනෝනාගේ සැමියා (ඔහුගේ නමද සැමී විය) හැන්දෑවේ අටහමාරට විතර බොන තැනින් අවුත් වැටි වැටී පැමිණ නවහමාරට විතර සොපිනෝනාගේ ගෙදරට පැමිණ ඇත. පැමිණ සොපිනෝනාට හොඳෙහැටි පහර ගසා ගෙදරින් එලියට දමා දොර වසාගෙන තෝ පල අරුත් එක්කම. පඳුරු *සාවි යැය් බනිමින් එලවා දමා ඇත. පංසලට බොහෝ ආසන්න නිසා සොපිනෝනා පංසලට පැමිණ නිදාගෙන උදෑසනම අවධි වී ගොස් ගෙදර එලිපත්තේ සිට දැන් මිනිහාට වෙරි අඩුවී ඇතැයි සිතා..

දැන්වත් මේක අරිනව ඕයි..මට මේ එලියෙ ඉන්න බැහැයි යැයි කෑ ගසා දොර අරවාගෙන ඇත. බීපු සැමීටත් වඩා සැපට නින්ද යන පොඩිනම මේ කිසිම දෙයක් හාංකවිසියක් වත් දන්නේ නැත. ලොකු හාමුදුරුවෝ එදින රෑ , සොපීගේ හැට්ටයකින් විසිවී තිබුන ආයකට්ටක් ලොකු හාමුදුරුවන්ගේ ශයනය අසල අසල වැටී තිබෙනු උදෑසනම දැක ඇත. පොඩි වහන්සෙ ඕක දැක්කොත් විනාසයයැ සිතා ඥාණසේකර හිමි වහා එය ඇහිඳ නොපෙනෙන තැනක දැමුවේය.

විමලා නම් හෙදිය මැදිවිය ඉක්මවූ කතකි. ඇය රෑ දොලහට දෙන බේත් වේල සහ රාත්‍රියට දීමට නියමිත බෙහෙත් සේලයින් ආදිය සපයමින් වාට්ටුව සිසාර නිතර නිතර එහෙ මෙහෙ යන්නට විය. ඒ සෑම විටම මුලින්ම ඇති හාමුදුරුවන්ගේ ලෙඩ ඇඳ අසලින් ගිය විමලාට හාමුදුරුවෝ අවධියෙන් සිටින බව පෙනුනි. විටෙක ඔහු පත්තරය බලයි. විටෙක සිවිලිමේ ඇති පංකාව දෙස බලමින් කල්පනා කරයි. රෑ එකට පමණ හැරමිටි සද්දයක් ඇසී මදක් නින්දේ සිටි විමලා අවධි වන්නට විය. ලොකු හාමුදුරුවෝ රෑ අවදි වී වාට්ටුව දිගේ ඇවිදගෙන යයි.

වෙනත ්විටක නම් සහායකයකු උන්වහනසේ සමග අනිවාර්යෙන් වැසිකිලියට යයි. නමුත් පොඩිනම නම් මේ වෙලේ අවධිවෙනු නැති බව දත් ලොකු හාමුදුරුවෝ හැකිපමණින් අපහසු කම් ටික මගහැර නැගිට වාට්ටුව දිගේ වැසිකිලිය දෙසට ඇවිද යන්නට විය. අවධි කරන්නට වෙන කිසිවෙක් අහල පහල පේන්නට නොමැති වූ බැවින් විමලා එකවර වික්ෂිප්ත විය. මුන්වහන්සේ වාට්ටුව මැද ඇද වැටුනොත් වන්නේ ලොකු සන්තෑසියකි. එවිට ලෙඩුන් ගැන නොබැලුවේ යැයි නර්ස්ලාගේ වැරදිම නිතර සොයන දොස්තර මහත්වරුන්ගෙන් බැනුම් අසන්ට වනු ඇත. ඇය සිතීම පසෙකලා. ලොකු හාමුදුරුවන් වෙත ගොස්. “කොහෙද ඔබවාන්සේ මේ යන්නෙ“ යැයි ඇසීය. දෙබස් කීපයක් හුවමාරු කරගත් පසු විමලා විසින් යන්තම් වත්තම් කරගත් ලොකුහාමුදුරුවෝ වැසිකිලිය කරා යන දර්ශනය යම් ලෙඩෙක් අවදියෙන් සිටියානම් දැකගන්නට පිලිවන් කම තිබුනි. නමුත් කටකතාවක් ඇතිවීමට සියලු අවකාශය නොතබා වාට්ටුවේ කැස්ස තිබුනු ඇතමෙක්ද කැස්ස නවත්වා මේ මහ පාන්දර ජාමේ ගොරවමින් නිදිය.

දෙදෙනා වාට්ටුව මැදින් යන තර හාමුදුරුවෝ කැසිකිලියට යන බව ඇයට කීවේය. කැසිකිලියේ දොර ළඟට ගිය ඥානසේකර හිමි විමලා එලියේ සිටියෙදී ගොස් අවශ්‍ය කාරණාව කරගෙන පැමිණියේය.  වාට්ටුව මැදින් ගොස් කෙළවර මඳක් හැරී ගිය තැන වැසිකිලි කැසැකිලි පිහිටා තිබුනි. එය වාට්ටුවට මඳක් ඈතට වන්නට පිහිටා තිබුන බැවින් එයින් හමන අමිහිරි දුර්ගන්ධ කිසිවක් වාට්ටුවට ආවේ නැත. 

 මට නින්ද යන් නැහැ අර ඇදේ.. අද නම් ඇහැ පියවුනේම නැහැ. මං මෙතන ටිකක් වාඩිවෙල ඉන්නං. යැයි පිරිසිදු කරන්නියන් හට වාඩිවීමට තිබූ අසල ඉස්පිරිතාල බංකු කෑල්ලක හාමුදුරුවෝ වාඩි විය. කරුණාබර හාමුදුරුවන්ගේ වචන පෙලත් ඔහු පත්ව ඇති තනිකම සහ පාලුව ගැනත් නැමුනු සිත් ඇති විමලාවෝද හාමුදුරුවෝ අසලින් වාඩි විය.

හාමුදුරුවන් පෙර දින රෑ දුටු නපුරු සීනය ගැන විමලාට කරුණු හෙලිකලේය. පොඩි ළමයෙකු මෙන් මේ ලොකු සාදු බයවීම ගැන පොඩි සිනහවක් විමලාට පැමිණියත් ඇය විසින් ඉතාම කරුණාවෙන් හාමුදුරුවන්ට කාරණා වටහා දෙන්නට විය. හාමුදුරුවන්ගේ අතුත් සීතල වෙලා මඳකින් විමලාගේ කටහඩ ඇසෙන්නට විය. චිකේ මෙයා  විතරයි වගේ බය. දැන් යන්, ඔය ඇති ..විමලා එසේ කියූ විමලා සාදු අසලින් නැගිටින්නට විය.

වත්තන් කරගත් සාදු වාට්ටුවටත් ඇඳටත් සෙමෙන් ඇතුලත් කෙරුනි. ඉන් පසු විමලා විසින් දුන් නිදි පෙත්තක අනුභාවයෙන් උන් වහන්සේ නින්දට වැටුනි. උදෑසන පැමිණි දොස්තර මහත්තයාට “ දැන් මම පිත්තාසෙට බය නැහැ. මගේ අකමැත්තක් නැහැ දොස්තර මහත්තයෝ. අපේ උපාසක කට්ටිය මට පැහැදිලි කරල දුන්න “ යැයි ලොකු සාදු කියන්නට විය."

"හරි දැන් රිපොට් එකත් ලැබිල තියෙන්නෙ හෙට උපරේෂන් කරන්න පුලුවන් වෙයි.. මං ඊයෙ රෑ හදිස්සියෙන් එනකොට මේ පොඩිසාදු හොඳට ගොරව ගොරව නිදි. ලොකු හාමුදුරුවො වැසිකිලි පැත්තට යන් ඇති කියල මං ආයිත් ගියා. මං හිතන්නෙ අනික් උපාසක මහත්තය උපරේසන් එකෙන් පස්සෙ සාත්තුවට ඉන්නව නං වඩාත් හොඳ වෙයි. දොස්තර මහත්තයා කියන්නට විය"

දොස්තර මහතා එසේ කියන විට හාමුදුරුවන්ගේ සිරුරේ පදාසයක්ම හිරිවැටීගෙන ගියේය. සමාරවිට හාමුදුරුවන්ගේ පිත්තාශයද හිරිවැටී යන්නට ඇත.

චිත්ත සැත්කම (1)

අදාල පිංතූරයක් නොවේ
මෙය විශේෂ වාට්ටුවක් වන හෙයින් මෙහි පිරිසිදුකම වැඩිය. මෙහි සේවය කරන සේවිකාවන් ප්‍රමාණයද සේවිකාවන්ගේ රූප සෝබාවද සාපේක්ෂව වැඩිය. ආන්ඩුවේ තැනක් වුවත් වැඩකරන ගැහැනුන් අනෙක් තැන්වලට වඩා කුළුනු ගුනෙන් යුතු වූ අයවලුන් වන බව ලොකු සාදු සිතුවේය. ඥානසේකර සාදු දැන් ඉස්පිරිතාල ගත වී සතියකි. උන්වහන්සේ දැන් හැටත් පැනලා අපවත්වන්නට පිය මනිමින් සිටින බව ගමේ ඇතැම් මිසදිටුවන්ගේ අදහසයි. පංසල් වත්තේ ආදායමත් පංසලේ ආදායමත් නිසා උන්වහන්සේ කිසිම කරදරයක් නැතිව ගමේ බොහෝ දුප්පතුන්ටත් වඩා සැපවත් ජීවිතයක් ගත කරන බැව් ගමේ ඇතැම් මිසදිටුවෝ කියූහ.

සති කිහිපයකට වරක් දෙකක් ඥාණසේකර සාදු අතුරුදන් වෙයි. එක්කෝ රට යයි. නැත්නම් වෙනත් විහාරයකට යන බැව් කියා නික්ම යයි. උන් වහන්සේ කොහි වඩිනවාදැයි පොඩි සාදුවත් හරියට දන්නේ නැත. රට යනවා නම් පොඩි නම දැනුවත් කරන මුත් ලංකාව තුල උන් වහන්සේ වඩින තැන් ගැන විවිධ කටකතා පැතිර තිබුනි. ඇතැම් පංසලට හිතැති අයෙක් හාමුදුරුවො කොළඹ වඩිනව ඇති ලොකු හාමුදුරුගොල්ල හම්බුවෙන්න. අපේ හාමුදුරුවො මේ හිටියට නිකම්ම නිකං හාමුදුරුවො නෙමෙයි නෙ. ඔය හිටපුගමන් හිතාගන්න බැයි තරං ලොකු මන්ත්‍රිල ඇමතිල පවා පංසලට ඇවිත් යන්නෙ.

''හාමුදුරුවො බාගෙදා නිස්කලංක තැනකට යනවැති භාවනා කරන්න. මේ ගමේ තියෙන කරච්චල් පරිසරෙයි උන්නාන්සෙට කතා හදන්න බලාගෙන ඉන්න හැත්තයි එක්ක ඇහැක බාවනා කරන්න. ලොකු ලොකු හාමුදුරුගොල්ල පංසලෙන් එලියට ගිහිං දුරබැහැර ආරාම වල භාවනා කරනව කියල මං පූජාවකට අනුරාධපුරේ ගිය වෙලේ සිල් මෑණිල කතාවෙනවා ඇහුන.'' ඒ හාමුදුරුවන්ට ගරු කරන ලෙඩ වූ අවස්ථාවේ හාමුදුරුවන්ට සුප් එකක්ද හදාගෙන බලන්නට පැමිණි උපාසකම්මා කෙනෙකුගේ අදහසයි.

"උන්නාන්සෙලාට මොන පස්නද බාං... අපිට වගේ පවුල් ඉඩ කඩං දරු මල්ලො පස්නද එහෙම නැත්තං කන්න බොන්න නැති පස්නද? මාසෙ දාන ටිකම බෙදාගන්න බැරුව ගම්මු කොච්චර පොරකනවද? ඔය හාමුදුරුවො කොහෙ හරි වට වන්දනාවක් දාල එනවැති. උන්නාන්සෙ උනත් මනුස්සයෙක්නේ. රට වටේම පංසල් තියෙන නිසා නවාතැන් පස්නත් නැහැ. මහ ලොකු වස්තුවක් උස්සගෙන යන්නත් නැහැ. අපි තමයි මේ චීත්ත අස්සට තියෙන කෑදරකම පිට අමාරුවෙ වැටුනෙ..අන්න නිදහස් ජීවිත..ඉරිසිය නොකර බොලා අපිත් ඔය වගේ නිදහසේ ගමනක් බිමනක් යන්න උස්සාහ කොරන්න ඕන.." ඒ තරමක් මැදිවිය පසුකරමින් සිටින උගත් අයෙකු වුවත් කිසිම උගත් විදියකට අදින පලදින වැඩේවත් නොකරන සියාතු උන්නැහේය. සියාතු උන්නැහේ කොළඹ කන්තෝරුවක මොකක්දෝ ලියන වැඩක් කරන මුත් ඔහු හැම සති අන්තයේම පැයක් දෙකක් ගමේ හන්දියේ කඩේ පත්තරේ අසල ගතකරයි.

සියාතු උන්නැහේ ධර්ම සාකච්චා වලට එනවාට හාමුදුරුවෝ වැඩිය කැමති නැත. සියාතු අහන පස්න ධර්ම පොත්වලවත් නිතර කියවන පත්තරේ වත් නැත. ඒවාට උත්තර දෙන්නට වන්නේ ඔලුව වෙහෙසීමෙනි. වැඩිමනක් පස්න තිබේනම් මිනිස්සු ඉදිරියේ අහන්න නැතුව පුද්ගලිකව අසන මෙන් ලොකු සාදු සියාතුට වරක් දෙකක් කියා ඇත. දිනක් භාවනාව ගැන සාකච්චාවකදි එකවර නැගිටි සියාතු උන්නැහේ..කලිසමත් උස්සාගත්තේය. කලිසම උස්සාගැන්ම වනාහි ඇනෙන විහිලු සහගත පස්නයක ඇරඹුම යැයි ලොකු සාදුද සියාතුගේ ඇඩ් පුරුදු උපාසකම්මලාද සිතුවෝය. දහමට ලැදි ඇතැම් පෘතග්ජන උපාසකම්මකුගේ මුහුන පුළුටු වූයේ, මේ ගෝතය මොකක් අහයිද් දන් නැහැ කියලාය. හාමුදුරුවනේ..“ අපේ ඔපිස් එකේ කොල්ලෙක් ඉදල හිටල ගංජ කියන මත් ද්‍රව්‍යය පාවිච්චි කරනවා. මිනිහ කියනවා ඒකට ඇබ්බැහියක් නැහැය. ඒ වුනාට හිත සංසුන් කරගන්න ගංජ හොද බේතක්ය කියලා. ඉතිං හාමුදුරුවනේ වැරදි ක්‍රෙමන් හරි හිත සංසුන් වෙනවනං ලොකු දෙයක් නෙව. ඇත්තටම හාමුදුරුවනේ ගංජ පාවිච්චි කරල බැරිද භාවනාව කරගන්න ?"

සියාතු ඉදහිට මෝඩ පස්න ඇසුවත් මෙවන් තකතීරු පස්නයක් අසාවි යැයි ලොකු හාමුදුරුවෝ සීනෙන් වත් නොසිතූහ. සංසුන් මුහුන දක්වාගෙන සිටියද ලොකු සාදුට තරහ ආ බැවින් නළල තරමක් රැලි ගැන්වින. “සියාතු උන්නැහේ හරිම වැදගත් ගැටලුවක් ඇහුවා. ඇත්තටම උන්නැහැ නින්දෙ ඉඳල නැගිටල වෙන්නැති කියලත් මට නිකමට හිතුන. ඒත් ඉතිං කෝමිං හරි වැදගත් ගැටලු නේ එතුමට එන්නෙ? ධර්මෙ කියන්නෙ නිකං එක දෙයක් පුරුදු පුහුනු කිරීම විතරක් නෙමෙයි. ඔය විදියට ඉතිං මනුස්සයෙක් සිහි මුර්ජා කොරල තියෙන කොටත් යස අගේ ඇති බාවනාවක් ඇති වෙනවා නෙව. දහම කියන්නෙ දාන සීල භාවනා කියන තුන් වැදෑරුම් ආකාරයෙන්ම පුරුදු පුහුනු කරන්න ඕනි දෙයක්. කොයි තරම් භාවනාව කරලා උසස් වුනත් කොයි තරම් ධර්මයෙන් අගතැන් වුනත් සීලය නැත්නම් ඒ පුද්ගලයා නියම ධර්ම මාර්ගයේ ගිහින් නැහැ." මේ ආදි වශයෙන් හාමුදුරුවෝ දීර්ඝ පිළිතුරක් සියාතුට ලබා දුන්නේය. මේ අවස්ථාවේ ඒ පස්නය නොඅසා හිටින්ට තිබුනා නොවදැයි උපාසකම්මලා බොහෝ දෙනෙක්ට සිතුන මුත් සියාතු උන්නැහේ නම් එයින් සැලුන වගක් නොපෙනුනි.

"පිත්තාසෙ ඉතාම සුලු ශල්‍යකර්මයක් කරන්නවෙයි වගේ හාමුදුරුවනේ. බය වෙන්න දෙයක් නැහැ. අද කාලෙ ගොඩක් දියුනුයි මේ වගේ දෙවල්. පොඩි වෙලාවයි යන්නෙ. දවස් දෙකකින් විතර ආයි පංසලට වඩින්නත් පුලුවන් වෙයි. එහෙම නැත්තං ඉතිං බේත් වලිනුත් හොද කරන්න පුලුවන් වෙයි. ඒත් වඩාත්ම හොද ශල්‍යකර්මෙ තමයි." වාට්ටුවේ සාදු බලන්නට පැමිණි දොස්තර මහතෙකු කරුණාවෙන් කියාගෙන ගියේය. එතුමා හොද මනුෂ්‍යෙයක් බව සාදුට සිතුනි. අනවශ්‍ය ලොකු ගරුසරුවක් වරුණාවක් නැතුව ලෙඩ දුක හරියට කියා දුන්න බව උන්වහන්සේට සිතුනි. නමුත් උපරේෂමක් කරන්න තියනවා යැයි කීවිට සාදුගේ සිත චංචල විය.

"එතකොට මහත්තයො සිහි නැති කරනව ඇති නේ?" ලොකු සාදු පෙරළා දොස්තර මහතාගෙන් ඇසීය. 

ඔවු බොහෝවිට එක පැත්තක් විතරක් හිරිවට්ටල කරන්න පුලුවන් වෙයි. ඒක ඒ ගැන නම් දැම්ම කියන්න බැහැ තව ස්කෑන් රිපොට් එක ආවෙ නැහැනේ.

ඥානසේකර හාමුදුරුවෝ සිහිනැතිකර උපරේෂන් කල පසුව සිහිය ගන්නට බැරිව මියගිය අයකුගේ මතක බනකට ගිය අවස්ථාව සිහිකරගත්තේය. එහිදී අවසානයේ මිනිය අවසන් වරට පවුලේ අයට පෙන්වන අවස්ථාවේ දූ දරුවන් මිනිය බදාගෙන ඇඩූ ආකාරය මතක් විය. ඒ පවුලේ අය පංසලට ආ දිනක. "මේ දොස්තර වරු කියන්නෙ හාමුදුරුවනේ මහ පුදුම ජාතියක්. කිසිම වගකීමක් නැහැ. සම්පූර්නෙන් සිහි නැති නොකර හිරිවට්ටල කලානම් ජිවිතේ තියාගන් තිබුන කියල කීප දෙනෙක්ම කිව්ව. ඒත් ඉතිං දැන් කාට කියන්නද? කියලත් වැඩක්ය. තාත්ත එලොව ගිහින් නෙ." යැයි සොවින් බරව දොස්තර වරුන්ට මැසිවිලි නගන්ට විය. 

"හුම්. මොනව උනත් තාත්ත හිටපු කාලෙ කාටවත් වදයක් නැතුව උන්නු මනුස්සයෙක්නේ. ඒ නිසා මරණයෙන් පස්සෙ උන්දැට සැනසිම ලැබෙයි. අපි ඒව ගැන හිතල සැනසෙන්න ඕන" හාමුදුරුවෝ ඒ උපාසකමහතාගේ සිත සනසන්නට විය. 

දැන් හැත්තෑවකට කිට්ටු වයසක සිටින ලොකු සාදු තුවාලයකට බෙහෙත් දැමීමට පවා බිය අයෙකු බව පොඩිනම දනී. පොඩිනම පැමිණ ලොකු හාමුදුරුවෝ සනසන්ට විය. "හාන්දුරුවනෙ.. බයවෙන් දෙයක් නැහැ. ඕක මහ කෙලියක් නෙවෙයිලු. කපල අයින් කරාට කිසි දෙයක් වෙන් නැහැලු. මහ උපරේසමක් නං ලොකු ඉස්පිරිතාලකට යවනව නේ. පොඩි එකක් කියල තමයි නර්ස් නෝනලත් කියන්නෙ."

නර්ස් නෝනලා ද බෙහෙත් දෙනවිටත් ලේ පරීක්ෂා කිරීමට ලේ ගන්නා විටත් පැමිණ ආදරෙන් හා ගෞරවයෙන් ලොකු සාදුට කතා කරයි. වාට්ටුවේ ලෙඩුන ්බලන්නට එන ගෑනුද හාමුදුරුවෝ බලන්නට පැමිනෙන උපාසකම්මලාද, වාට්ටුවේ සිටින වැඩකරන ඇටෙන්ඩන්,නර්ස්,දොස්තර නෝනල, පිරිසිදු කරන්නියන් ආදි බොහෝ කාන්තාවන් ලොකු සාදු දෙස ගෞරවයෙන් සහ කරුණාවෙන් බැලූහ. මහළු පෙනුමක් ඇති උන්වහන්සේ සිල්වත් ඇත්තෙකැයි බොහෝ කාන්තාවෝ නිගමනය කලෝය.

එක් වේලකට දන් දෙක තුනක් පැමිණීම විටෙක කරදරයක් විය. වාට්ටුවේම හදිසියේ කෑම නොලැබුන අයෙකුට ඒවා දෙන්නැයි ලොකු සාදු පියසෝමට කියා ඇත. පොඩි නම ඉදහිට සාත්තුවට හිටියද පියසෝම ළඟ තබාගන්නට ලොකු සාදු උනන්දු විය.

"පියසෝමට මතක ඇති අර අගිදහාමි මැරුන හැටි". රෑ අටට පමණ නින්ද යාගෙන එනවිට හාමුදුරුවෝ පියසෝමගෙන් අසයි.

"නැතුව හාමුදුරුවනේ පිළිකාවද්ද මොකද්ද ගෙඩියක් හැදුන සතියක් ඉස්පිරිතාලෙ හිටිය ඊළග සතියෙ මල ගේ. මැරෙන්න කලිං සතියක මට හම්බුනා පොල් අතු වගයක් අරං ඇලට යනව. ඒ වෙනකොටත් නිකං ඇදිල ගිහිල්ල ඇස් ගෙඩි ගිලිල තිබුනෙ. මං ඒත් ඇහුව, මොකෝ අගිදක්කෙ ඇදිල ගිහිං ලෙඩක්කද්ද? කියල. ලබන සුමානෙවත් බෙහෙත් ගන්න යන්නෝන කියල උන්දැ කිව්ව. කොච්චර වුනත් පෝයක් වරද්දන් නැතුව සිල් ගත්ත මනුස්සය නේ ? හාමුදුරුවනේ?" පියසෝම කියවාගෙන යන්නට විය. 

“හුම්.. උපරේසන් සාර්ථකයි කිව්වට ඉතිං ඔය ඕව කොරලත් මැරෙනෙක ඉවරයක් නැහැ. එක අතකින් වැඩිය කපන්න කොටන්න නැතුව ඔන්නොහෙ මැරිලම යන්න තියෙනවනං එකක්. කවද හිටියත් යන එක නෙව. “ ලොකුසාදු කියන්නට විය.

මෙවන් විටක පොඩි සාදු නම් ලොකු සාදුගේ වචන වලට එරෙහිව යමක් කියන මුත් පියසෝම හාමුදුරුවො ්කියන දේකට විරුද්දව යමක් කියන්නට වැඩිය උවමනාවක් ගත්තේ නැත. ඔහුට අනුව නිතර පත්තර කියවන, පොත් බලන, හාමුදුරුවෝ මොනවා උනත් පියසෝමට වඩා දෙයක් දනී.එ බැවින් හාමුදුරුවන් කියන දේ විටෙක වැරදි යැයි පෙනුනත් ඒ කතාව ඇතුලේ මොකක් හෝ නොපෙනෙන වැදගත් කමක් තිබිය හැක. පොඩිනම මේවා තේරුං නොගෙන එකෙටෙක කියන්ට යෑම පියසෝමට දිරවන්නක් නොවීය.

2 කොටස 

Friday, January 10, 2014

සාවියගේ මිදි


හිංචි පිංචි හාවිය
පැද්දි පැද්දි මග යද්දි
රංචු රංචු ඇස් ගෙඩි
ඈ ව පන්න ගන්න හදනවා

පෙත්තෙන් දෙපෙත්තෙන් පිබිදෙන
සිහින් සිනිඳු පියලි වලටත්
යදම් දමලා අයිතිකාරයො

පුංචි පුංචි ඇස්පෙති
සද්ද බද්ද නොකර
ඉස්සි ඉස්සි මේ පැත්ත
බලනවා කියා මට හිතෙනවා

කකුල් විකල් වනතෙක් බැඳ
විසල් කමල් රෙදි ඇඳ
වඳීවී බැඳේවී හස්තියෙක්
නොදන්නා දෙවියෙක්ට..

දන්න දා ඉඳන්
සින්න වී තිබුන ඒ මිදි
කන්න බෑ තිත්ත
පෙන්නුවාට ලස්සන

අන්න හස්තියාගේ සර්දාව
මෙන්න කෙල්ලගේ සුවාමිබක්තිය
එහෙමත් එකෙක් කියාවි
අයියෝ සල්ලී..

Tuesday, January 7, 2014

ඉස්පිරිතාලංකාරය (Governed Hospitals)

පහුගිය දවසක රාත්තිරි මම රෑට කාල හෙම අපේ ගෙදරට වෙලා සනීපෙන් නිදාගෙන හිටියා. ටිකක් රෑ දහයට විතර සැර ඔලුවෙ කැක්කුමක් අල්ලන්න ගත්තා. අවසානෙ මම පැනඩොල් දෙකක් හොයාගෙන බිව්වත් වැඩේ නවතින පාටක් නැහැ. නිදාගන්න කලියෙං මං මගේ ලැප්ටොප් පරිඝනකයෙන් වැඩක් කරමිනුයි හිටියෙ. ඒ වෙලාවෙදි ලැප්ටප් තිරය මත තිබුන අකුරු බොඳවෙලා තැන් මාරුවෙලා වගේ මැට්‍රික්ස් ගතියක් පේන්න ගත්තා. උදේ ඉඳලාම ෆිල්ම් බැලීම,වැල බැලීම,ඉන්ටනෙට් යෑම ආදී බාරදූර රාජකාරි කිහිපයකම මම ලැපත් එක්ක හිටියා. මං හිතුවා මේ වෙහෙස ගතිය ඒ නිසාෙ වෙන්න ඇති කියලා. 


නමුත් අර ඇස්වල සෙටිං මාරුවිල්ලත් එක්කම ඔලුවෙ කැක්කුම සැරටම එන්න පටන් ගත්තා. ඒපාර අල්ලපු ගෙදර ඉන්න අපේ අයියන්ඩියත් කාර් රාජයත් අවධිකරගෙන ළඟම ටවුමට යන්න පිටත් වුනා. එතකොට රෑ දොළහ එක විතර ඇති. හප්පා පුදුම වැඩක් නේ. රෑ වෙලා ඔක්කොම බේත් සාප්පු වහල. අපේ අයියා අඳුනන දොස්තර නෝනෙක් හිටියත් ඒ උන්දැත් ඔක්කොම පෝන් ක්‍රියා විරහිත කරගෙන දුම් දම දම නිදි මං හිතන්නෙ.

අපි පිං ඉස්පිරිතාලෙ නොහොත් දැන් මූලික රෝහලක් වෙච්චි අපේ රජයේ රෝහලට ගියා. ඒ යනකොටත් මට ටිකක් සැරට අමාරුයි. ඔලුව කකියනවා හතර අතේ.

ඒ වෙලාවට බේත් ගන්න එන අමාරු අය නවත්තගන්නවාය. අමාරු නැතිවුනත් වුනත් නවතින්න වෙනවාය කියලා කිව්වා. එතැන හිටිය ඇටෙන්ඩන්ට් සිකුරිටි කාන්ඩෙ දොස්තර නෝන කෙනෙක් කතාකරගෙන ආවා. එයා ටිකක් හීන්දෑරි පන්තියන කෙල්ලෙක් සයිස් දොස්තරියක් වුනා. ඒ වුනාට ටිකක් කරුණාවන්තයි. ලෙඩේ විස්තර ජාති අනම් මනම් අහල වාට්ටුවට ගත්තා.

වාට්ටුවට ගියාට මොකද නවතින්න අඩුතරමෙ බෙස්සීට් එකක් සරමක් වත් අරං ගියේ නැහැ. ඒ නිසා මට ඔලුවෙ කැක්කුම අස්සෙත් කෝමද බොල මේ ඉස්පිරිතාල ඇඳන් වල ඉන්නෙ කියල කම්පනා වුනා. මම ගියාම වාට්ටුවම හවුස් ෆුල්. ඔන්න හොඳ සේලයින් බෝතලයක් එල්ල ගනිපු කළු මරුමුස් පෙනුමක් තියෙන ඒත් අහිංසක හිනාවක් තියෙන කොල්ලෙක් ගාවට මාව පංගරාත්තු කලා. මිසී ඇවිල්ලා අර නිදි කොල්ලට අතින් ගහල නැගිට්ටුවාම අනේ ඒ ළමය පූස් පැටිය වගේ ඈතට වෙල මට ඉඩ දුන්න. මං ඉතිං නිදාගන්න උස්සාහ කලා.

ඔය අව් අස්සෙම ආව හාට් පේසන් කෙනෙක්. මිනිහ ඔපරේසන් එකක් කොරපු බුවෙක්ද කොහෙද. මං ඇවිත් විනාඩි හයකින් විතර පොරත් වාට්ටුවට ගෙනාවා. සීයෙක් බලාගන්න මනුස්යෙක් ඇඳක හොඳට ගොරෝ ගොරෝ නිදි. ඒ පාර ඒ මනුස්සයයි කරුමෙටද මන්ද අර පොර මාට්ටු වුනා ලෙඩෙක්නෙමෙය් කියලා. පාන්දර එකට මොන දානද? ඒත් ඉතිං අර හදවත් ලෙඩාට ඇඳ දෙන්න වුනා. හදවත් ලෙඩා ආව විතරයි දොස්තර නෝන කෙනෙක් ඇවිත් එයාව බැලුවා. හරිම අහිංසක පෙනුමක් තියෙන හා පැටික්කියක් වගේ දොස්තර නෝන කෙනෙක්. කෙසඟ ශරීරයක් ඈට තිබුනා. තළෙලු මුහුනට ඒ දිගැටි නාසය පොඩ්ඩක් විතර දිග වැඩි වගේ තිබුනා. ඇය හිනවෙනකොට නම් ඇය දොස්තර නෝනෙක් කියල කියන්නත් බැරි තරම් අමුතු ළපටි ගතියක් එනවා ඇගේ මූනට.

ඉතිං මං නෙව වාට්ටුවට ඉස්සෙල්ල ආවෙ. ඒත් මෙන්න දොස්තර නෝන ගිහින් අර හාට් පේසන් මිරිකනවා,බලනවා, ඔබනවා, තට්ටු කරනවා එක සෙල්ලමයි. මට ත් ඒ වෙලේ නම් ටිකක් සැරටම ඔලුව කැක්කුම තිබුන නිසා ටිකක් තරහත් ආව. වාට්ටුවට ආවට තාම බෙහෙත් කඳුලක් වත් නොදී දැන් විනාඩි පාළහක් විතර ගියා. කෝමහරි අර හදවත් රෝගියාට කරන්න ඕනි ඔක්කොම දේවල් ටික කරලා ඉවර වෙල ඔන්න මටත් ඔලුවෙ කැක්කුම පිටම නින්දත් යන්න ගියාට පස්සෙ මගේ නම කියල කතාකරනවා ඇහුනා. ඒ දොස්තර නෝන අපේ අයියත් එක්ක කියල තිබුනා හාට් පේෂන් ගැන කලින් බලල හිටියෙ එයාට පොඩි වෙලාවක් තුල වුනත් හදවත් රෝගියාට අනතුරක් වෙන්න සම්භාවිතාවය වැඩි නිසාය කියලා.

ඒ දොස්තර නෝනා මහත්මයා ටිකක් අපේ වයසෙ හෝ ඊට අඩු වයසක වෙන්න ඕන. ඒ නිසාද මන්දා ඇගේ තනි නොතනියට අඩුතරමෙ අර පෙට්ටියක දාල ඔසවන් යන පෙසර් මීටරේ වත් අරං යන්න කාරුවත් ආවෙ නැහැ. ඒ දොස්තර නෝනම ඔක්කොම අඩුම කුඩුම ටික අරං ඇවිත් ඇඳ ගාවින් ඒවා තියාගෙන ලෙඩ ගැන ඇහුවා. දොස්තර නෝනා මහත්මිය බොහොම කරුණාවෙන් ප්‍රශ්ණ රාශියක් අහලා මට තියෙන්නෙ මිග්‍රේන් බව කිව්වා.

මීට කලින් මිග්‍රේන් තිබිල තියෙනවද? ඒ කොයි කාලෙදිද ආදි වශයෙන් අහනවා. මං දැන් දන්නෙ නැහැ මිග්‍රෙන්(ඉරුවාරදය) කියන්නෙ මොකද්ද කියල. ඒත් ඉතිං ටිකකින් තේරුනා මේ ඇවිල්ල මේ වගේ ලෙඩක් කලිං හැදිල තියෙද කියලා තමයි අහන්න කියලා. ඒ පාර ඉතිං මීට අවුරුදු දෙකකට කලිං හැදිල තිබුන ඔලුව කැක්කුම මතක් වෙල ඒක ගැන විස්තර කියාගෙන ගියා.

කෝමහරි මම ඊළග දවසෙ දහවල් 11 වෙනකොට නිදහස ලැබුවා. ඒ වෙනකොට මාව දොස්තර නෝනල දෙන්නෙකුයි මහත්වරු දෙන්නෙකුයි බලලා තිබුනා. ඒ වගේම නර්ස් නෝනල ඇටෙන්ඩන්ලාත් බෙහෙත් ලගටම ගෙනත් දිල වතුරත් ගෙනල්ල දුන්නා.

ඒ එක දොස්තර මහත්මයෙක් කන්සල්ටන් කියන ජාතියෙ ලොකු දොස්තර මහත්තයෙක්. ඒ මහත්තය එනකොට මහරජතුමා එනවා වගේ මේට්‍රන්ලද, නර්ස්ලද, පොඩි දොස්තරලද, තව ඉන්න හැට හුට හමාරක් පරිවාර සෙනගද,අනෙක් අයද ඔක්කොම වටපිටේ එනවා. ඒ වටපිටේ සෙනග දහයක් විතර පිරිවරා ආවට මොකද දොස්තර මහත්මය හරිම හොදයි. මනුස්ස විදියට කතාකරනවා. ලොකු හදිස්සියක් නැහැ. වටේ ඉ්නන ඉගනගන්න දොස්තර අයටත් ලෙඩා ගැන කියල දෙනවා. මගේ ටිකට් කැපුවා . ඒ වෙනකොට ලෙඩ හොඳ වෙලා. ආයිත් ලග ලග කරදර විදියට හිසේ ඇම්ම ආවෙ නැතොත් දිගට බේත් කරන එක තේරුමක් නැහැ කිව්වා.

අනික් ආපු දොස්තර මහත්මයත් උදෙන් ඇවිල්ල බැලුව ඔක්කොම ලෙඩ්ඩු. ඒ බුවානම් හැන්ඩියා. නිකං සිපස් දෙකක් දාල ඩෙනිමයි ටී ෂර්ට් එකයි ඇඳන් එන්නෙ වාට්ටුවට. මිනිහ සීයලට ඇහෙන්න මහ හයියෙන් කතා කරනවා. මිනිහ හොඳයි හොඳ විනෝදෙන් දොස්තර රාජකාරිය කරනවා.

මං හිටපු එකේ හිටිය ටිකක් වයසක මුත්තෙක් ඔන්න මිනිහ දැන් පාන්දර මුත්‍රා දාන්නයි යන්නෙ. ඒ සීයට තිබුන ලෙඩේ අනුව මුත්‍රා මනින්න ඕන. මුත්‍රා මනින කෝප්පය මිලි ලිටර් පන්සීයක් අල්ලන විනිවිද පේන ප්ලාස්ටික් කෝප්පයක්. ඒ සීයා හිටපු ඇඳ ටිකක් උස්සලයි තිබුනෙ. ඒ පැත්තෙන්ම තමයි වාට්ටුවට නර්ස් නෝනල දොස්තර මහත්තුරු ආදිය එන්නෙත්.

මේ වාට්ටුව වැඩි දවස්ගානක් ලෙඩ්ඩු තියාගන්න තැනක් නෙමෙයි. අනෙක් වාට්ටුවලට යොමුකරන තෙක් අමාරු ලෙඩ්ඩු තියාගන්න විශේෂ ඒකකයක්. ඉතිං ලෙඩ්ඩුන්ගේ නම් මතක නැහැ මිසීළට. මිසීල මොකක් හරි දෙන්න ඕන වුනාම හයියෙන් නම කියනවා.

දැන් අර කලින් සීයා ළඟ හිටපු සාත්තුකාරයා සීයාගේ සරම උස්සලා කෑල්ල යාන්තං පාද ගෙන සීය ඇඳේ කොනටම කරලා “ආ දැන් දාන්න“ කිව්වා. ඔය කියනකොටම කාරුහරි වෙන සීය කෙනෙක්ගේ නමක් කියලා අර කොළපාට ඇඳපු සේවිකාව කෑ ගැහුවා ‘‘පිටෝරිස් කවුද?“ කියලා. පිටෝරිසා දොයි. මිනිහගේ සාත්තු කාරයත් කොහෙද මකබෑ වෙල. ඉතිං දෙතුං වතාවක් මිසි නම කියල සද්ද කල නිසා වාට්ටුවම අර පැත්ත බැලුවා.

ඒ බලනකොට අර සීය හෝ ගාල කෝප්පෙ පිරෙන්න චූ පාර අල්ලනවා. ඔන්න දැන් කෝප්පෙන් බාගයක් විතර පිරිල. සීය ලෙඩ කාරය වුනාට මොකෑ ටැප් එක ඇරිය වගෙ මුත්‍රා පාර තදින් විදිනවා. දැන් කෝප්පෙ මට්ටමින් තුන් කාලක් විතරට ආවා. අර නම් කලබලය නිසා ඔලුව හරොගත්ත අය දැන් ඔක්කොම බලං ඉන්නෙ අර සීයගේ ලා ෆැන්ටා පාට මුත්‍රා කෝප්පෙ උතුරයිද කියන මහා සැකයෙන්. දැන් නම් කතාකරන්න ආපු සේවිකාවත් දකිනවා කස්ටිය ඔක්කොම එක දිහාවක් බලනවා.ඒ පාර එයත් හොරැහින් බලන්න ගත්තා. දැන් ඔක්කොන්ම හිතන්න කෝප්පෙ මදිවෙල මුත්‍රා කොප්පෙ මේ පාන්දර කිරි ඉතිරෙව්වා වගේ වාට්ටුව අයිනෙ උතුරලා යයි කියලා. නමුත් සීය වැඩකාරයා. හරියට පිරෙන්න මිලිමීටර් දෙකක් විතර තියෙද්දි චූ පාර නැවතුනා.

දැන් වාට්ටුවටම ලොකු සැනසීමක්. අර නුරුස්සන බනින මෝඩ් එකෙන් ආපු මිසීගේ මෝඩ් එකත් පොඩ්ඩක් වෙනස් වුනා මේ අමුතු ජවනිකාව දැකලා.

මේ වාට්ටුවෙ කෑම දෙන් නැහැ. ඒ නිසා කෑම ගන්න කැන්ටින් යන්න ඕන.හැම වෙලාවෙම නර්ස්ල, ඇටෙන්ඩන්ල, දොස්තර නෝනල ඒ මදිවට බලන්න එන අයගෙන් වාට්ටුව පිරිල. මට පස්සෙ ඇඳක් ලැබුන නිසා වාඩිවෙල බලං ඉන්නකොට දර්ශන ගොඩක් පේනව. ඔය අස්සෙ උදේට කන එකත් මතක නැතිවෙනව තව පොඩ්ඩෙන්. වාට්ටුවෙ කෝල්ගන්න එපාකියල තිබුනත් මම අයියගෙන් ආපු කෝල් එකට ආන්සර කලා. අයිය කෑම ගැන ඇහුවම තමයි මටත් උදේට කන්න මතක් වුනේ. මම කිව්ව කැන්ටිමෙන් ගන්නම් කියල.

අල්ලපු ඇදේ උන්නෙ හාමුදුරු නමක්. මගෙ වාසනාවට කාන්ඩ තුනක් ඇවිත් තිබුන හාමුදුරුවන්ව බලන්න. ඉතිං දාන තුනක්. සහායක ඩැනී කෑවත් තව පාර්සලයක් ඉතුරුයි. ඒ දෙතුන් දෙනාම ඉදිආප්ප ආප්ප වගෙ ඒව ගෙනත් තිබුනෙ. මටත් කෑම හාමුදුරුවන්ගෙන් ලැබුන.ඒත් ඉඳිආප්ප ආප්ප විතරයි නෝ හොදි. හොදි ටිකක් ගන්න තිබුන පිඟානක් තිබුන නම්. ඔය වෙලාවෙම අල්ලපු ඇදේ ලෙඩාට හිටපු තරුණ මහත්මයත් කන්න ගත්තා. එයත් ඉඳිආප්ප. එයා ලෙඩෙක් උනාට ඉඳිආප්ප පාලහ විනාඩි හතරෙන් ඉවරයි.

හොදි ටිකක් පැකට් එකේ ඉතුරු වෙල විසික් කරන්නයි හැදුවෙ. මං කරුණාබර හිනාවක් දාල හොදි ටික ඉල්ලගෙන හාමුදුරුවන්ගෙ උදේ දානෙත් එක්ක කෑවා. නරක නැහැ කෑම ටික. පිඟානකුත් නැතුව අර පොඩි ටේබල් කබඩ් කෑල්ල උඩ තියන් කෑවෙ.

මේ ඉස්පිරිතාල වල ජීවිත ගැන මගෙ තියෙන අත්දැකීම් ගොඩායි. මං ගොඩාක්ම ආසයි පුද්ගලික රෝහල් වලට වඩා ආන්ඩුවෙ ඉස්පිරිතාල වලට. ඒ ආන්ඩුවෙ ඉස්පිරිතාල වල තියෙන රළු ගතියත් ඒ ඉස්පිරිතාලෙම එක අංගයක්. දුප්පත් නූගත් මිනිස්සු වගේම පෝසත් උගත් අයත් ඔය වගේ තැන්වල ප්‍රතිකාර ගනිමින් ඉන්නවා. ඒ වගේ තැන්වල බුරුල පෙන්වලා අර තාපසාරාමෙ ගිරව් මොඩල් එක රඟපාන්න ගියොත් අර දුප්පත් නූගත් මිනිස්සු කන්ට්‍රොල් කරන්න බැරිවෙනවා වගේම පෝසත් උගත් අය කරේ යන්නත් එනවා. ඒ නිසා ඒ ආන්ඩුවෙ ඉස්පිරිතාල වල තියෙන රළු බාවිතාවේ ලොකු වරදක් දකින්නත් බැහැ.

මං ඉපදුන දවසෙ ඉඳලා ආන්ඩුවෙ ඉස්පිරිතාල වලින් කොරගනිපු දේවල් ටික පුද්ගලික රෝහල් හරහා කරගන්න ගියානම් දශලක්ෂ ගානක සල්ලි වියදම් වෙනවා. අපි වගෙ පහල මධ්‍යම පාන්තිකයින්ට එය දරාගන්න පුලුවන් ගානක් නෙමෙයි. කොයිතරං පොඩි පොඩි වගේම ලොකු ලොකු පුද්ගලික ඉස්පිරිතාල තිබුනත් ඉතිං දරුණු ලෙඩකට හදිසි අනතුරකට අපේ ආණ්ඩුවෙ ඉස්පිරිතාලෙම තමයි සුදුසු. තරමක් බරපතල රෝගයකදි ආන්ඩුවෙ ඉස්පිරිතාලෙන් ලැබෙන පුහුනු ශ්‍රමය, පුහුනු කාර්යමන්ඩලය, විවිධ ජාතියේ වෘත්තිකයින්ගේ එකතුව, අත්දැකීම් ලත් වෛද්‍යවරු, නිසි අධීක්ෂණය, තත්ව පාලනය ආදී ගොඩක් දේවල් සම්බන්ධයෙන් මටනම් අපේ රටේ පුද්ගලික රෝහල් වලට වඩා රජයේ රෝහල් විශ්වාසදායකයි.

මේ දවස්වල ඩෙංගු හැමතැනම. ඩෙංගු වලදිත් මට අහන්න දකින්න ලැබුනු මා හොඳින්ම දන්න කොළඹ ප්‍රසිද්ධම පුද්ගලික රෝහල් සම්බන්ධ අමිහිරි කතාන්දර ගොඩාරියක් තිබෙනවා. ඔබේ සමාජ තත්වය ලොකුකම පස්සෙ තියාගන්න පුලුවන් ඉස්සෙල්ල වටින්නේ ජීවිතේ ඒ නිසා ඩෙංගු කියල සැකයක් තියෙන ලෙඩෙක්, උණ රෝගියෙක් අරගෙන පුද්ගලික රෝහල් වල සුකිරි බටිල්ලන් සොයාගෙන යන්න එපා. වහාම ආන්ඩුවෙ ඉස්පිරිතාලෙකටම යන්න.

Monday, January 6, 2014

වකුගඩු සිහින 2 kidney dreams

සිහින 2
මේ උවදුරෙන් බැට කන ජනතාව ගැන ළය උණූ වූ විශ්ව විද්‍යාල කථිකාචාර්ය උතුමෙක් වීය. හේ තෙමේ උනන්දුවෙන් ඒගැන කතා කරනු ඇසූ සරසවි සිසු පිරිසක් එතුමානෝ වටා ඒකරාශී වූහ. පස් පරීක්ෂා කිරීමට යන්ත්‍ර සූත්‍ර තැනීම සිතියම් ගත කිරීම ආදී ශිල්පයන්හී කෙල පැමිනි අයවලුන් මොරටුව නම් සරසවියේ විසූහ. ඔවුන්ගෙන් මේ පිරිස සහයෝගයක් ඉල්ලූ අතර ඔවුන් ඒ සඳහා සිය කාලය හා ස්‍රමය කැපකිරීමට ඉතසිතින් කැමති වූහ. ප්‍රාෙයා්ගික ක්ෂේත්‍රයන්හි වඩාත් ඇලුනු කාර්මික දේ පිළිබඳ නිපුනයින් වූ ඇන්ඩී ටී සිසුන් නම් ඩිප්ලෝමාකාරයින්ද මහ ඉනිජිනේරුකාරයින්ද යන දෙපාර්ශවයම සහයෝගයෙන් කටයුතු කරනු පෙනුනි.
 මේ වකුගඩු ගැටලුව හුදෙක් ජල ගැටලුවක් නොවේය.එය මනුෂ්‍ය ශරීය හා ජෛවීය විද්‍යාවන් හා බැඳී පවතී. ජෛවීය විද්‍යාවන් ගැන චිර ප්‍රසිද්ධ පේරාදෙණි සරසවි යේ සිසුන්ද ආචාරියෝද මේ සිසු කන්ඩායමක් වකුගඩු රෝගයට විසඳුම් හොයනු දැක එයට එකතු වන්නට තීරණය කලෝය. කලක පටන් තිබු තරහ මරහ අමතක කර සම සෞඛ්‍ය සිසුන්ද ඔවුන්ට එකතු විය.  ඔවුන් අන්තර්ජාලය මගින් විදෙස් විශ්ව විද්‍යාල පරීක්ෂණ නිරීක්ෂන දැනුම ලබාගත්තෝය. ඔවුන් විසින් විදෙස් විස්ව විද්‍යාල අධ්‍යන කන්ඩායම් විසින් හුදෙක් මානුෂිය පදනම මත සහායට ගන්නා ලදී. අධ්‍යන කටයුතු කරන අතරම ඔවුන්ගේ සම්පූර්ණ වීර්යය මේ වකුගඩු ගැටලුව ගැන පර්යේෂන කරන්නට යෙදවිනි.
ජයවර්ධනපුර කැළනිය ආදී කළමනාකරන සිසුවෝ ඇතමෙක් උතුරුමැද  වයඹ පැතිවල ජනතාව සම්බන්ධ සමීක්ෂන කිරීම් රාජකාරි වල නිරත විය ඔවුනෙගේ ආචාරියෝද එයට දායක වුනි. විශ්ව විද්‍යාල ගනනාවක සිසුන්ද ආචාර්යවරුන්ද ගෙනයන හුදකලා සටනින් දේශපාලන වාසියක් ගත හැකැයි සිතූ ආන්ඩුව ඔවුන්ට ආධාර උපකාර කිරීමට සැරසුනෝය.
සිසුන් විවිධ පර්යේෂනයන්හි යෙදී වකුගඩු රෝගවලට සමාජිය විසඳුම් මෙන්ම විද්‍යාත්මක විසඳුම්ද ඉදිරිපත් කිරීමට උත්සුකු විය. ලංකාවේ නිදහස් අද්‍යාපනයෙන් පිටරට ගොස් සෙවය කරන අයද සිය හෘද සාක්ෂිය අනුව හැසිරෙන්නට ඕනාය සිතා මේ පිරිසට හැකි පමණ සහයෝගය දැක්වුවෝය. මේ සියලු දේ වෙද්දී වෛද්‍ය සිසුන් පමණක් මෙයට කරගැසීම මදි යැයි බොහෝ වෛද්‍යවරු සිතූහ. වඩාත් ජනතාව සමග ගැටී අත්දැකීම් සහිත බැවින් වෛද්‍යවරු සිය අත්දැකීම් මේ පරීක්ෂන ජාලයට ලබාදීමට කටයුතු කලෝය. ඇතැම් ප්‍රකට වෛද්‍යවරයෙක් සිය චැනල් සේවාව වෙනත් මිතුරකුට පවරා මේ වකුගඩු ලෙඩට බේත් සොයන පරීක්ෂණ කන්ඩායම් වල සහායට ගියෝය. සමහර පුද්ගලික වෛද්‍ය සේවාවන් වල අයිතිකරුවන් කෙතෙක් පින්සේන්ඩු වුවද සමාර දොස්තර මහත්වරු මේ වකුගඩු ලෙඩට බේතක් සොයාගෙන මිස අපි නැවත චැනල් වලට හැරෙන්නේ නැතැයි දැඩිව සිතා පරීක්ෂණ කාර්යන් වල නිරත විය.
ලංකාවේ ව්‍යාපාරිකයින්ද මෙතෙක් ගෙනගිය හුදෙක් මුදල් පසුපස දිවීම මදකට නවතා මේ පරීක්ෂණ කරන අයට නන් අයුරින් උපකාර කලෝය. විදෙස්ගත වී දැනුම ලබාගත යුතුම වූ කාර්යන්ට අවශ්‍ය අනුග්‍රහ සත්කාර පවා අවශය අයට ලැබෙන්නට විය.
විශාල ශ්‍රමයක් සහ දැනුමක් යොදා මාස ගානක් පරීක්ෂණ කලද පුවත්පත් වාර්ථා කරුවන් සතුටු කල හැකි මට්ටමේ ඉන්ද්‍රජාලික දිව්‍ය ඔසුවක් සොයාගත නෙහැකි වූ නමුත් ඔවුන් ජනතාවට අහිතකර කෘෂි රසායන භාවිතයපානිය ජලය ප්‍රතිකාර වලින් තොරව භාවිතයලාංකික ගොවීන්ගේ ලෙඩ වලට ඔරොත්තු දීමේ හැකියාව ආදී දේ ගැන මෙතෙක් නොතිබූ විශාල දත්ත තොගයක් ඒකරාශි කරගන්නා ලදී.
මේ තාක් ලබාගත් සංඛ්‍යාෙල්කන දත්ත  දත්ත,සිතියම් ගත දත්ත,ප්‍රෙව්නික සාධකඉතිහාසක කරුණුජලයෙ ්තත්ව ආදී විශාල විචල්‍යන් ගනනාවක දත්ත හැසිරවීම මිනිස් දෑත් වලින් වත් කුඩා පරිඝනකාදියෙන් කිරීමවත් කාලෝචිත නොවීය. ඒ ගැන වටහාගත් පරිඝනක ක්ෂේත්‍රෙය් ප්‍රවීනයන් මේ සඳහා දියුනු රටවල භාවිත වන සුපිරි පරිඝනකවල සහාය ලබාගන්නටද තීරණය කලෝය.
අවසානයේ වසරක දෙකක දීර්ඝ කාලීන පරීක්ෂණ නිරීක්ෂණ නිගමන අනුව රජරට වකුගඩු රෝගයට සාර්ථක විසඳුම් ලැයිස්තුවක් සහ නිසියාකාර ඔසු සොයාගන්නා ලදී.
සිහින 3
අනුර කුමාරද, දීප්ති කුමාරදකුමාර ගුනරත්නද ආදී පිරිස අධිරාජ්‍යවාදී ධනවාදයේ නවතම ස්වරූපය ගැන වකුගඩු රෝගය ව්‍යාප්තවන පැතිවල ජනතාව දැනුවත් කලෝය. ඉතිහාසයේ අන්කවරදාටත් වඩා අද ඇති වී ඇති කෘමිනාශකබෙහෙත්,පොහොර ආදී දේ වෙළඳපොලට යටත් වී ඇති බවත් කිසිදු පදනමකින් තොරව බෙහෙත් හේත්දකෘමිනාශකද පෝරද භාවිතයට වෙළඳපොල මගින් ගොවියා පොලඹවමින් පවතින බවත් අනුර කුමාර විසින් පවසන ලදී.
ධනවාදය නැමැති සංකල්පය තුල සාධාරනය යන වචනයේ අයිතිය වෙලෙන්දන් සතු වන බවත් මාක්ස් හේගල් විසින් අනුදත් සමාජවාදී සමාජයක් තුල වෙළඳපොලේ බලය අවම වී ගොවියාට අලුත් පශ්චාත්නූතනවාදී සමාජයක් ගොඩනැගෙන බවත් දීප්තිගේ මතවාද කාරයෝ කියන ලදී.
ඔවුන් කියූ බොහෝ දේ ගොවියන්ට නොතේරුන මුත් සුවල්ප පිරිසක් විසින් තමුන් යන ඉරිදා පොලට වඩා ගොඩාක් ලොකු වෙළඳ පොල නැමැති එකක් ඇති බවත් එය හොද නැති ජරා එකක් බවත් අවබෝධ කරගන්නා ලදී. මෙසේ අවබෝධ කොටගත් අය අනික් අයටත් සිය දැනුම මට්ටමින් මේ වෙළඳ පොල ගැන කියාදෙන ලදී. ඒ හරහා මහා පෙරළියක් සිදු වූයේ නැතත් ඉතාම සුලු පිරිසක් හෝ වෙළඳ දැන්වීම් යනු පරම සත්‍ය යැයි යන ගොවීන් අතර තිබූ මතයට හානියක් කරන්නට සමත් විය.
සිහින 4
පුද්ගලික ආයතන මගින් වෙනත් රටවල භාවිත වන ජල ප්‍රතිකාරක විදි ජනතාව අතර ව්‍යාප්ත කිරීමට කටයුතු කලෝය. රුපියල් 40,000ක් පමණ මිල වූ එම ජලය පිරිසිදු කරන මැෂින් කොතරම් සැරට මාකට් කරලා තිබුනේද කිවහොත් ඇතැම් ගමක රූපවාහිනියක්ජංගම දුරකථනයක් නොමැති දුප්පත් නිවෙස්වල ජනයා ඉලැක්ට්‍රික් වතුර පිල්ටර් පහසු ගෙවීමේ ක්‍රමයට මිලදී ගෙන තිබුනි. කන්නෙන් කන්නෙට ගෙවීමට හැකි ආකාරයට පහසු ගෙවීමේ ක්‍රම ආයතන මගින් හඳුන්වා දුන් නිසා බොහෝ නිවෙසියන්ට වතුර පිරිසිදු කරන මැෂින් මිලදී ගත හැකි විය.
මේ අතර පිල්ටර් මිලදී ගැන්මට මුදල් නොමැති ඇතැම් පවුල ්වලට පිටරට සිටින ලාංකික පිරිස්වල දායකත්වය ලැබුනි. රාජ්‍ය නොවන සංවිධාන මගින්ද ෆිල්ටර් විශාල තොගයක් වකුගඩු රෝග පවතින පැතිවල බෙදා හරින ලදී. දේශපාලන පක්ෂ වලින් චන්ද ගන්නට දත කට මැදන් සිටින අයද රෙදි බෙදාදීමදරුවන්ට සපත්තු දීම චීත්ත සාරි බෙදාදීමට වඩා වටිනාකමක් ෆිල්ටර් වලට ලැබී ඇති බව දැන ෆිල්ටරයක් දෙකක් ගමකට බෙදා දී සිය සිනා මූන පත්තරේ දාගන්නට සමත් විය. ෆිල්ටර් බෙදීම් නැමැති තීරුවක්ද සමාර පත්තරවලට එකතු වී තිබුනි.
සිහින 5
මේ පිළිබඳ දේශපාලන වේදිකා කිහිපයක සිදුවූ කතා කිහිපයක් මා යූ ටියුබයෙන් බල බලා සිටියෙමි.
නිලි පොන්සේකා සහ හමුදා පොන්සේකා මේ වකුගඩු ගැටලුව ගැන අදහස ්දක්වා තිබුනි. “ එදා සිනමා නිර්මාණ වලට මම මේ වෙල් වල දුවපැනල තියෙනවා ඒත් අද මේ වෙල්වල වගාකරන මිනිස්සුන්ගෙ වකුගඩු සවුත්තු වෙලා.. මේකට අපේ අතිගරු.. තුමා වගකියන්න ඕනි කියල කට්ටිය කියනවා. නමුත් මම හිතන්නෙ එතුමා මේ ජනතාවට තිබුන ලොකුම කරදරේ වුන ත්‍රස්ථවාදී කරදරේ නතර කරල දුන්නා. ලෝකෙට පරද්දන්න බැරි කොටියා පරද්දපු අපේ අතිගරු... තුමා ඒ පස්නෙ විසඳුවා වගේම මේ වකුගඩු පස්නෙත් විසඳලා දේවි..“ නිලිපොන්සේකා එසේ කියූවේය..
අපේ හමුදාව යුද්ද කරනකොට මේ ජනතාව ගොඩක් උදව් කලා. අද මේ ඒකාධිපති රෙජීමය ජනතාවගේ වකුගඩු රෝගෙත් විකුනගෙන කනවා. දූෂනේ වංචාව වැඩිවෙල. අපි බලයට පත්වෙන දවසක මේ වකුගඩු රෝගෙට නිසි විසදුම් ගේනව. අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනව මේ වකුගඩු රෝගෙට වගකියන්න ඕන මිනිමරු ආන්ඩුව පන්නල අපි එක්ක එකතු වෙලා අනාගෙත් සාර්ථක කරගන්න කියලා“ හමුදා පොන්සේකාගේ ඒ කතාවටද ලොකු විසිල් සහ අත්පුඩියක් ලැබී තිබුනි.
එදා මම 2002දි දෙනකොට වකුගඩු රෝගින් පන්දහක් විතර හිටියෙ. අද ඒක පනස්දහක් වෙල තියෙනව. තිස් අවුරුදු යුද්දෙන් මේ පැත්තෙ නැතිවෙච්ච ඔක්කොම ග්‍රාමරක්ෂක කට්ටිය ගානටත් වඩා වකුගඩු රෝගෙන් දැනට මැරිච්ච පිරිස වැඩිවෙල තියෙනව. මං පත්තරෙ දැක්ක වකුගඩු රෝගෙන් අපේ ගම්වල සහෝදර ජනතාව දොලොස්දාහක් තරං විසාල පිරිසකගේ ජීවිත නැතිවෙල තියෙනව. මේ වෙලාවෙදි මේ තරං පිරිසක් වකුගඩු රෝගෙන් මැරෙනකොට ආන්ඩුව කියයි වකුගඩුත් ත්‍රස්ථවාදියෙක් කියල. (ඒ කතාවට දැඩි අත්පොලසන් නාදයක් ලැබේ එයින් පිකප් වෙන කථිකයා) මං මෙ ජනතාවට කියන්න කැමතියි..ඉදිරියෙ එන එස්සත් ජාතික පස්ස රජයක් යටතෙ වකුගඩු නැතිවෙන අපේ නංගිල මල්ලිලට දකුනු ඉන්දියාවෙන් හරි වකුගඩු ගෙනත් දෙනව. .. වැදගත් සංඛ්‍යාත්මක දත්ත සහිතව ආන්ඩුවෙ වැරදි නිවැරදිව කියන ලද විපක්ෂ නායක කතාවේ මුල හරියේ කිසිවක් රාජ්‍ය මාධ්‍ය වල පලවූයේ නැති අතර ඔහු අවසානයේ පිකප් වී කියන ලද අපේ ජනතාවට ඉන්දියාවෙන් වකුගඩු ගෙනත් දෙනවා යැයි කියූ කොටස පමණක් රාජ්‍ය මාධ්‍යවල හොඳින්ම පල විය. රජයට කැමති නාලිකාවල දොස්තරවරුදසාමාන්‍ය ජනතාවද ඉන්දියාවෙන් වකුගඩු ගෙන්නීමේ කතාව මහත් ගොන් කතාවකැයි කියන ලදී. දේශපාලක විචාරකයෝද සම්පූර්ණ කතාවේ මේ අවසාන කොටස පමණක් ගෙන පට්ට ගසන්නට විය.

Saturday, January 4, 2014

රජරට වකුගඩු සිහින 1 kidney dreams

ලංකාවේ රජරට ප්‍රෙද්ශයේ වකුගඩු රෝගයක් දැන් වසර කිහිපයක සිට ව්‍යාප්ත වෙමින් පවතී. අනුරාධපුර පොලොන්නරු ප්‍රෙද්ශයෙන් ආරම්භ වුන මේ වකුගඩු මාරයා දැන් කුරුණෑගල මාතලේ ආදි දිස්ත්‍රික්ක කරාද ව්‍යාප්ත වෙමින පවතී. මේ වකුගඩු රෝගය ඇතිවන්නේ ඇයිදැයි යන්න ගැන බොහෝ මතිමතාන්තර ඇති අතර ඒවා බොහොමයක් සනාථ නොකල මත වෙයි.

ආසනික් විස වීම නිසා වකුගඩු රෝගය ඇතිවන්නේ යැයි පතල මතයක් ඇති අතර ආසනික් විස වීමෙන්, දැනට බහුල ලෙස පැතිරී ඇති වකුගඩු රෝගය ඇතිවිමට පෙර වෙනත් රෝග ලක්ෂන ගනනාවක් ඇතිවෙන බව ප්‍රකට වෛද්‍ය මතය වෙයි. ආසනික් කැඩ්මියම් ආදී ලෝහ ජාති සිරුරට අහිතකර මුත් මේ ඇතිව තිබෙන වකුගඩු රෝගය ආසනික් නිසා ඇතිවූවකැයි කෙලින්ම පැවසිය නොහැක. ආසනික් ශරීරගත වූයේ නම් වකුගඩු අකර්මන්‍ය වෙමින් සෙමෙන් වැඩිවෙන මේ වකුගඩු රෝගයකට එහා ගිය ක්ෂණික තත්වයන් ඇතිවීමට ඉඩ ඇති බව දොස්තර මහත්වරුන්ගේ මතය වෙයි.

ක්ලෝරයිඩ්,ෆ්ලුවොරයිඩ් ආදී දේ ද, නිකල් කැඩ්මියම් වැනි ලෝහද උතුරුමැද පලාතේ පානීය ජලයෙ අනුමත ප්‍රමාණයට ඇති බවද ජලයේ ඇති කිවුල් ගතියද අනුමත ප්‍රමානයට වැඩි බවද සොයාගෙන ඇත. නමුත් මන්නාරම කල්පිටිය පැත්තේ ජනයා ද දිවයිනේ වෙනත් ප්‍රෙද්ශවල ජනයාද මේ කියන ලවණ ඇති ජලය පානය කරති ඔවුන්ට එතරම් වකුගඩු රෝගී අවධානමක් නැත. එබැවින් ඒ නිසා පානිය ජලයේ කිවුල් ගතිය සහ බැර ලෝහ වැඩිවීම නිසාම වකුගඩු රෝගය ඇති වෙනවා යැයි නිච්චියටම කියන්න හැකියාවක්ද නැත.

කෘමිනාශක වල්නාශක අධිකව යෙදීම නිසාද මිනිසුන්ගේ අයහපත් ආහාර රටා නිසාද මෙය ඇතිවිය හැකි බවට තවත් ප්‍රකට මතයකි. නමුත් කල්මුනේ අම්පාර පැත්තේ ගොවියාත් අම්බලන්තොට රිදියගම පැත්තේ ගොවියාත් අනුරාධපුර ගොවියාත් සැලකුවොත් ඔවුන් අතර යොදන කෘමිනාශක වල්නාශක ප්‍රමාණයේවත් ගෙවන ජීවනරටාවේවත් සැලකිය යුතු වෙනසක් නැත. කෘමිනාශක අධික ලෙස යෙදීම සිරුරට අහිතකර වුවත් ඒ නිසාම වකුගඩු ලෙඩ ඇති වේ යැයි නිගමනයකට එලඹිය නොහැක.

පානීය ජලයේ ඇති අහිතකර තත්වය සිතියම් ගත කල විට, ජලයේ අපිරිසිදු තත්වය සහිත සිතියම හා වකුගඩු රෝගීන් බහුලව සිටින පලාත් දැක්වෙන සිතියම අතර රේඛීය සම්බන්ධතාවයක් මෙතෙක් සොයාගෙන නැත.  ඉඳහිට එකෙක් දෙන්නෙක් හෝ සංවිධානයක් පොර වීම සඳහා අහුලාගත් හේතුවක් ඉදිරිපත් කරන නමුත් එය නිසි ලෙස ඔප්පු කර පෙන්වීමට ඔවුන් අසමත් වෙති.

මාගේ මිතුරු පොලොන්නරු ප්‍රෙද්ශයේ රාජකාරි කරන ලද දොස්තර මහත්මයෙකුගෙන් මේ ගැන විමසූ විට ඔහුගේ අදහස වූයේ බෝ නොවන රෝගයක් වන මේ රජරට වකුගඩු රෝගය වැනි රෝග වලට ස්ථිර වශයෙන්ම ප්‍රබල එක හේතුවක් දෙකක් දැක්වීමට අපහසු විය හැකි බවයි. සරල උදාහරණයක් ගතහොත් දැන් ධනවත් සමාජයෙන් දුප්පත් සමාජයටද සංක්‍රමනය වෙමින් පවතින, අධි රුධිර පීඩනය, දියවැඩියාව, හෘද රෝග ආදිය ඇතිවන්නේ කිනම් කරුණක් නිසාදැයි ස්ථීර එක හේතුවක් ලබාදෙන්නට හැකියාවක් නැත. හෘද රෝග වැඩිවන්නට හේතුන ගනනාවක් ඇත. ඒ අතර ප්‍රෙව්නික බලපෑමක්ද දැඩිව ඇත.

මේ දොස්තර මහත්මයා වැඩිදුරටත් කීවේ අනෙක් නැගෙනහිර පලාතේ  සහ දකුනේ මේ කෘෂීකාර්මික පසුබිමම ඇති ගොවීනට මේ රෝගය නොවැලදී උතුරු මැද පලාතේ රෝගීන්ට බහුලව වැළඳීමට ප්‍රෙව්නික සාධකයක් හෝ දැනට සොයාගෙන නොමැති භූගෝලිය සාධකයක් හේතු විය හැකි බවය. නමුත් දැනට කෘෂිකර්මාන්තයට යොදන කෘෂීරසායන ප්‍රමාණය වැඩි බව එතුමා පිළිගත්තේය. ලිංවලින් සහ වැව්වලින් ගන්නා ජලය නිසි ප්‍රතිකාරවලට ලක් නොකර කෙලින්ම බීමට ගැනීමෙන් වකුගඩු රෝග මෙන්ම වෙනත් රෝග තත්වයන් වැඩි විය හැකිබවක්ද එතුමා කියන ලදී.

දකුනු ඉන්දියාවේද මේ ආකාරයෙන් ජලයේ ඇති ෆ්ලුවොරයිඩ් ප්‍රමාණය වැඩි පළාත් තිබී ඇත. කාලාන්තරයක් තිස්සේ ඒ පළාත්වල ජනතාව ෆ්ලුවොරයිඩ වැඩිපුර අඩංගු ජලය පානය කර ඇත. පරම්පරා දෙක තුනක් යන විට ක්‍රමිකව අනික් පළාත්වලට සාපේක්ෂව ෆ්ලුවොරයිඩ වැඩි ජලය පානය කරන ලද ජනයාගේ නව පරම්පරාවේ දරුවන්ගේ බුද්ධි මට්ටම අඩු වී ඇති බව ඒ රටේ විද්‍යාඥ කන්ඩායමක් සොයාගෙන ඇත. දරුවා මව් කුස තුල සිටියදී අවශ්‍ය අයඩීන් අවශ්‍යතාවය නිසිපරිදි නොලැබීමට ෆ්ලෝරයිඩ් හේතු වේ. දරුවන්ගේ බුද්ධි වර්ධනයට අවශ්‍ය යැයි සැලකෙන අයඩින් රිසි පරිදි නොලැබීම නිසා දරුවන්ගේ බුද්ධි මට්ටම අඩුවිය හැකි බවට පරීක්ෂණය කරන ලද දොස්තර මහත්වරු සොයාගෙන ඇත. මේ කාරණාව මට කීවේ පෙර කී දොස්තර මහතාය. ලංකාවේ මේ ගැන නිසි පරීක්ෂණයන් සිදු වී නොමැති නමුත් උතුරු මැද පලාතේ පානීය ජලයේ ෆ්ලුවොරයිඩ වැඩි බව අනාදිමත් කලක සිට කියවෙන මන්ත්‍රයකි.

මා උතුරු මැද පළාතේ කැබිතිගොල්ලෑවේ පාසැල් වලට පොත් බෙදා දීමේ සද්කාර්යයකට පසුගිය දිනවල දායක වුනෙමි. එවිට මට වකුගඩු රෝගය ගැන අසන්න ටලැබුනි. ඉන් අනතුරුව ඒ ගැන තොරතුරු සොයා ගිය නමුත් ස්තීර හේතුවක් සොයාගන්නට නොහැකි විය. එයින් මතු මා නින්දට ගිය විට සිහින කිහිපයක් දකින ලදී. ඒ සමහරක් කිසිදා සත්‍ය නොවන ඒවා වන අතර සමාරක් ඒවා සත්‍ය විය හැකි වටපිටාවක්ද ඇත. මිනිස්සුන්ට පේන සිහින සදාචාරයට ආගමට ජාතියට හෝ රීතින් වලට අනුකූල නොවිය හැකි බැවින් වඩාත් සිල්වත් මේ සිහින බැලීමෙන් වලකින ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිමු.

සිහින 1

ඥාණසාර හිමිද, කවිකියන ඥානාලෝක හිමිද, බණ කියන ඥානානන්ද හිමිද එක් වේදිකාවක වකුගඩු රෝගය ගැන කතාකරන්නට පැමිණ තිබුනි. අපෙ හාමුදුරුවනේ කියා පිටුපස බැලූ ඥානසාර සාදු “මේ කල්මුනේ පැත්තෙ ඉන්න මුස්ලිම් මිනිස්සුන්ට මේ ලෙඩේ හැදිල නැහැ වැඩිය. අපේ සිංහල මිනිස්සුට තමයි හැදිල තියෙන්නෙ වැඩියෙන්. ඕක ඔය මුස්ලිම් අයගේ කුමන්ත්‍රණයක් කියල මම කියන් නැහැ. ඒ වුනාට ඔය කල්මුනේ පැත්තෙ තියෙන්නෙ අපේ සිංහල රජකාලෙ ඉදල සිංහල අපිට තියෙන ඉඩං. එදා වෙල්ලස්සෙ ඉංගිරිසින්ට විරුද්ධව කැරලි ගැහුවෙ ඔය දිගාමඩුල්ල පැත්ෙතන් තමයි.. දිගාමඩුල්ල පැත්තෙ ඉස්සර සද්ධාතිස්ස රජතුමා අස්වැද්දුව කියලත් වංශකතා වල සඳහන් වෙලා තියෙනවා. ඒ හොද ඉඩම් අද වෙන රටකින් ආපු හම්බ පරයින්ට අයිති වෙලා. අපිටත් ඉන්න බැරුව රාජධානිත් එක්කම අත් ඇරල ගිහිපු මේ පොලොන්නරුවෙ කාන්තාර කෑලි ටික අපිට අයිති වෙලා.. අපි මේක වෙනස් කරන්න ඕන..අපේ නැගෙනහිර පලාතේ තියෙන පිං බිම් ටික ආයිත් අරගන්න ඕනි..“ යැයි ඥානසාර හිමි දැඩි ස්වරයෙන් පැවසීය..

“මේ සිතේ ඇතිවෙන චෛතසික නිසා වකුගඩු වලටත් හානි වෙනවා කියල ඉන්දියාවෙදි යෝගියෙක් ආසන්නයේ ඉඳගෙන මා කියවූ ත්‍රිපිටකයේ කොටසක සඳහන් වෙලා තිබුනා. ඔය පිංවතුන් දන්නෙ නැතුව ඇති හිමාලයේ ඉන්න සමහර කෙලෙස් නසපු යෝගීන් වසර දහස් ගානක් තිස්සෙ කිසිම වකුගඩු රෝගයක් නැතුව ජීවත් වෙනවා. මේ අපේ සිතේ ඇතිවන නරක සිතුවිලි පාලනය කරලා අපිට යහපත් විදියට ජීවත් වෙන්න පුලුවන් නම් යහපත් සිතුවිලි වගා කරගන්න පුලුවන් නම් අපිට මෙ වකුගඩු රෝගය බොහොම ඉක්මනින්ම නවත්වා ගන්න පුලුවන් වේවි..“ යැයි ඥානානන්ද සාදු පැවසූ සේක.

රෝහිණී නදියේ ජල ගග ගැලුවා

ශාක්‍ය කෝලිය දෙපසට බෙදුනා..

සංසුන් ගමනින් වැඩ මහ නදියට..

යුද්ධය නැතිකොට සාමය දෙසුවා..



එවන් විකුම් කල අප සමිඳානන්

සිහි කර කර නිති ගුණ මුහුදානන්

පුදා මල් පහන් දීලා මහදන්

මිදෙමු අපිත් වකුගඩු රකුසාගෙන්.. මිදෙමු අපිත් වකුගඩු රකුසාගෙන්..

කවියට බොහෝ ලැදි ඥානාලෝක සාදු මහදන් දීමෙන්ද මල් පහන් පිදිමෙන්ද රත්නත්‍රෙය් ආශිර්වාද ලබාගැනිමින් වකුගඩු රකුසා පැරදිය හැකි බව මිහිරි නදින් දේශනා කලෝය.

වකුගඩු රෝගයට විසදුම් සෙවීම ගැන දුටු තවත් සීන රැසක් ඊලග පෝස්ටුවේ පල වේ..