Saturday, January 18, 2014

චිත්ත සැත්කම (1)

අදාල පිංතූරයක් නොවේ
මෙය විශේෂ වාට්ටුවක් වන හෙයින් මෙහි පිරිසිදුකම වැඩිය. මෙහි සේවය කරන සේවිකාවන් ප්‍රමාණයද සේවිකාවන්ගේ රූප සෝබාවද සාපේක්ෂව වැඩිය. ආන්ඩුවේ තැනක් වුවත් වැඩකරන ගැහැනුන් අනෙක් තැන්වලට වඩා කුළුනු ගුනෙන් යුතු වූ අයවලුන් වන බව ලොකු සාදු සිතුවේය. ඥානසේකර සාදු දැන් ඉස්පිරිතාල ගත වී සතියකි. උන්වහන්සේ දැන් හැටත් පැනලා අපවත්වන්නට පිය මනිමින් සිටින බව ගමේ ඇතැම් මිසදිටුවන්ගේ අදහසයි. පංසල් වත්තේ ආදායමත් පංසලේ ආදායමත් නිසා උන්වහන්සේ කිසිම කරදරයක් නැතිව ගමේ බොහෝ දුප්පතුන්ටත් වඩා සැපවත් ජීවිතයක් ගත කරන බැව් ගමේ ඇතැම් මිසදිටුවෝ කියූහ.

සති කිහිපයකට වරක් දෙකක් ඥාණසේකර සාදු අතුරුදන් වෙයි. එක්කෝ රට යයි. නැත්නම් වෙනත් විහාරයකට යන බැව් කියා නික්ම යයි. උන් වහන්සේ කොහි වඩිනවාදැයි පොඩි සාදුවත් හරියට දන්නේ නැත. රට යනවා නම් පොඩි නම දැනුවත් කරන මුත් ලංකාව තුල උන් වහන්සේ වඩින තැන් ගැන විවිධ කටකතා පැතිර තිබුනි. ඇතැම් පංසලට හිතැති අයෙක් හාමුදුරුවො කොළඹ වඩිනව ඇති ලොකු හාමුදුරුගොල්ල හම්බුවෙන්න. අපේ හාමුදුරුවො මේ හිටියට නිකම්ම නිකං හාමුදුරුවො නෙමෙයි නෙ. ඔය හිටපුගමන් හිතාගන්න බැයි තරං ලොකු මන්ත්‍රිල ඇමතිල පවා පංසලට ඇවිත් යන්නෙ.

''හාමුදුරුවො බාගෙදා නිස්කලංක තැනකට යනවැති භාවනා කරන්න. මේ ගමේ තියෙන කරච්චල් පරිසරෙයි උන්නාන්සෙට කතා හදන්න බලාගෙන ඉන්න හැත්තයි එක්ක ඇහැක බාවනා කරන්න. ලොකු ලොකු හාමුදුරුගොල්ල පංසලෙන් එලියට ගිහිං දුරබැහැර ආරාම වල භාවනා කරනව කියල මං පූජාවකට අනුරාධපුරේ ගිය වෙලේ සිල් මෑණිල කතාවෙනවා ඇහුන.'' ඒ හාමුදුරුවන්ට ගරු කරන ලෙඩ වූ අවස්ථාවේ හාමුදුරුවන්ට සුප් එකක්ද හදාගෙන බලන්නට පැමිණි උපාසකම්මා කෙනෙකුගේ අදහසයි.

"උන්නාන්සෙලාට මොන පස්නද බාං... අපිට වගේ පවුල් ඉඩ කඩං දරු මල්ලො පස්නද එහෙම නැත්තං කන්න බොන්න නැති පස්නද? මාසෙ දාන ටිකම බෙදාගන්න බැරුව ගම්මු කොච්චර පොරකනවද? ඔය හාමුදුරුවො කොහෙ හරි වට වන්දනාවක් දාල එනවැති. උන්නාන්සෙ උනත් මනුස්සයෙක්නේ. රට වටේම පංසල් තියෙන නිසා නවාතැන් පස්නත් නැහැ. මහ ලොකු වස්තුවක් උස්සගෙන යන්නත් නැහැ. අපි තමයි මේ චීත්ත අස්සට තියෙන කෑදරකම පිට අමාරුවෙ වැටුනෙ..අන්න නිදහස් ජීවිත..ඉරිසිය නොකර බොලා අපිත් ඔය වගේ නිදහසේ ගමනක් බිමනක් යන්න උස්සාහ කොරන්න ඕන.." ඒ තරමක් මැදිවිය පසුකරමින් සිටින උගත් අයෙකු වුවත් කිසිම උගත් විදියකට අදින පලදින වැඩේවත් නොකරන සියාතු උන්නැහේය. සියාතු උන්නැහේ කොළඹ කන්තෝරුවක මොකක්දෝ ලියන වැඩක් කරන මුත් ඔහු හැම සති අන්තයේම පැයක් දෙකක් ගමේ හන්දියේ කඩේ පත්තරේ අසල ගතකරයි.

සියාතු උන්නැහේ ධර්ම සාකච්චා වලට එනවාට හාමුදුරුවෝ වැඩිය කැමති නැත. සියාතු අහන පස්න ධර්ම පොත්වලවත් නිතර කියවන පත්තරේ වත් නැත. ඒවාට උත්තර දෙන්නට වන්නේ ඔලුව වෙහෙසීමෙනි. වැඩිමනක් පස්න තිබේනම් මිනිස්සු ඉදිරියේ අහන්න නැතුව පුද්ගලිකව අසන මෙන් ලොකු සාදු සියාතුට වරක් දෙකක් කියා ඇත. දිනක් භාවනාව ගැන සාකච්චාවකදි එකවර නැගිටි සියාතු උන්නැහේ..කලිසමත් උස්සාගත්තේය. කලිසම උස්සාගැන්ම වනාහි ඇනෙන විහිලු සහගත පස්නයක ඇරඹුම යැයි ලොකු සාදුද සියාතුගේ ඇඩ් පුරුදු උපාසකම්මලාද සිතුවෝය. දහමට ලැදි ඇතැම් පෘතග්ජන උපාසකම්මකුගේ මුහුන පුළුටු වූයේ, මේ ගෝතය මොකක් අහයිද් දන් නැහැ කියලාය. හාමුදුරුවනේ..“ අපේ ඔපිස් එකේ කොල්ලෙක් ඉදල හිටල ගංජ කියන මත් ද්‍රව්‍යය පාවිච්චි කරනවා. මිනිහ කියනවා ඒකට ඇබ්බැහියක් නැහැය. ඒ වුනාට හිත සංසුන් කරගන්න ගංජ හොද බේතක්ය කියලා. ඉතිං හාමුදුරුවනේ වැරදි ක්‍රෙමන් හරි හිත සංසුන් වෙනවනං ලොකු දෙයක් නෙව. ඇත්තටම හාමුදුරුවනේ ගංජ පාවිච්චි කරල බැරිද භාවනාව කරගන්න ?"

සියාතු ඉදහිට මෝඩ පස්න ඇසුවත් මෙවන් තකතීරු පස්නයක් අසාවි යැයි ලොකු හාමුදුරුවෝ සීනෙන් වත් නොසිතූහ. සංසුන් මුහුන දක්වාගෙන සිටියද ලොකු සාදුට තරහ ආ බැවින් නළල තරමක් රැලි ගැන්වින. “සියාතු උන්නැහේ හරිම වැදගත් ගැටලුවක් ඇහුවා. ඇත්තටම උන්නැහැ නින්දෙ ඉඳල නැගිටල වෙන්නැති කියලත් මට නිකමට හිතුන. ඒත් ඉතිං කෝමිං හරි වැදගත් ගැටලු නේ එතුමට එන්නෙ? ධර්මෙ කියන්නෙ නිකං එක දෙයක් පුරුදු පුහුනු කිරීම විතරක් නෙමෙයි. ඔය විදියට ඉතිං මනුස්සයෙක් සිහි මුර්ජා කොරල තියෙන කොටත් යස අගේ ඇති බාවනාවක් ඇති වෙනවා නෙව. දහම කියන්නෙ දාන සීල භාවනා කියන තුන් වැදෑරුම් ආකාරයෙන්ම පුරුදු පුහුනු කරන්න ඕනි දෙයක්. කොයි තරම් භාවනාව කරලා උසස් වුනත් කොයි තරම් ධර්මයෙන් අගතැන් වුනත් සීලය නැත්නම් ඒ පුද්ගලයා නියම ධර්ම මාර්ගයේ ගිහින් නැහැ." මේ ආදි වශයෙන් හාමුදුරුවෝ දීර්ඝ පිළිතුරක් සියාතුට ලබා දුන්නේය. මේ අවස්ථාවේ ඒ පස්නය නොඅසා හිටින්ට තිබුනා නොවදැයි උපාසකම්මලා බොහෝ දෙනෙක්ට සිතුන මුත් සියාතු උන්නැහේ නම් එයින් සැලුන වගක් නොපෙනුනි.

"පිත්තාසෙ ඉතාම සුලු ශල්‍යකර්මයක් කරන්නවෙයි වගේ හාමුදුරුවනේ. බය වෙන්න දෙයක් නැහැ. අද කාලෙ ගොඩක් දියුනුයි මේ වගේ දෙවල්. පොඩි වෙලාවයි යන්නෙ. දවස් දෙකකින් විතර ආයි පංසලට වඩින්නත් පුලුවන් වෙයි. එහෙම නැත්තං ඉතිං බේත් වලිනුත් හොද කරන්න පුලුවන් වෙයි. ඒත් වඩාත්ම හොද ශල්‍යකර්මෙ තමයි." වාට්ටුවේ සාදු බලන්නට පැමිණි දොස්තර මහතෙකු කරුණාවෙන් කියාගෙන ගියේය. එතුමා හොද මනුෂ්‍යෙයක් බව සාදුට සිතුනි. අනවශ්‍ය ලොකු ගරුසරුවක් වරුණාවක් නැතුව ලෙඩ දුක හරියට කියා දුන්න බව උන්වහන්සේට සිතුනි. නමුත් උපරේෂමක් කරන්න තියනවා යැයි කීවිට සාදුගේ සිත චංචල විය.

"එතකොට මහත්තයො සිහි නැති කරනව ඇති නේ?" ලොකු සාදු පෙරළා දොස්තර මහතාගෙන් ඇසීය. 

ඔවු බොහෝවිට එක පැත්තක් විතරක් හිරිවට්ටල කරන්න පුලුවන් වෙයි. ඒක ඒ ගැන නම් දැම්ම කියන්න බැහැ තව ස්කෑන් රිපොට් එක ආවෙ නැහැනේ.

ඥානසේකර හාමුදුරුවෝ සිහිනැතිකර උපරේෂන් කල පසුව සිහිය ගන්නට බැරිව මියගිය අයකුගේ මතක බනකට ගිය අවස්ථාව සිහිකරගත්තේය. එහිදී අවසානයේ මිනිය අවසන් වරට පවුලේ අයට පෙන්වන අවස්ථාවේ දූ දරුවන් මිනිය බදාගෙන ඇඩූ ආකාරය මතක් විය. ඒ පවුලේ අය පංසලට ආ දිනක. "මේ දොස්තර වරු කියන්නෙ හාමුදුරුවනේ මහ පුදුම ජාතියක්. කිසිම වගකීමක් නැහැ. සම්පූර්නෙන් සිහි නැති නොකර හිරිවට්ටල කලානම් ජිවිතේ තියාගන් තිබුන කියල කීප දෙනෙක්ම කිව්ව. ඒත් ඉතිං දැන් කාට කියන්නද? කියලත් වැඩක්ය. තාත්ත එලොව ගිහින් නෙ." යැයි සොවින් බරව දොස්තර වරුන්ට මැසිවිලි නගන්ට විය. 

"හුම්. මොනව උනත් තාත්ත හිටපු කාලෙ කාටවත් වදයක් නැතුව උන්නු මනුස්සයෙක්නේ. ඒ නිසා මරණයෙන් පස්සෙ උන්දැට සැනසිම ලැබෙයි. අපි ඒව ගැන හිතල සැනසෙන්න ඕන" හාමුදුරුවෝ ඒ උපාසකමහතාගේ සිත සනසන්නට විය. 

දැන් හැත්තෑවකට කිට්ටු වයසක සිටින ලොකු සාදු තුවාලයකට බෙහෙත් දැමීමට පවා බිය අයෙකු බව පොඩිනම දනී. පොඩිනම පැමිණ ලොකු හාමුදුරුවෝ සනසන්ට විය. "හාන්දුරුවනෙ.. බයවෙන් දෙයක් නැහැ. ඕක මහ කෙලියක් නෙවෙයිලු. කපල අයින් කරාට කිසි දෙයක් වෙන් නැහැලු. මහ උපරේසමක් නං ලොකු ඉස්පිරිතාලකට යවනව නේ. පොඩි එකක් කියල තමයි නර්ස් නෝනලත් කියන්නෙ."

නර්ස් නෝනලා ද බෙහෙත් දෙනවිටත් ලේ පරීක්ෂා කිරීමට ලේ ගන්නා විටත් පැමිණ ආදරෙන් හා ගෞරවයෙන් ලොකු සාදුට කතා කරයි. වාට්ටුවේ ලෙඩුන ්බලන්නට එන ගෑනුද හාමුදුරුවෝ බලන්නට පැමිනෙන උපාසකම්මලාද, වාට්ටුවේ සිටින වැඩකරන ඇටෙන්ඩන්,නර්ස්,දොස්තර නෝනල, පිරිසිදු කරන්නියන් ආදි බොහෝ කාන්තාවන් ලොකු සාදු දෙස ගෞරවයෙන් සහ කරුණාවෙන් බැලූහ. මහළු පෙනුමක් ඇති උන්වහන්සේ සිල්වත් ඇත්තෙකැයි බොහෝ කාන්තාවෝ නිගමනය කලෝය.

එක් වේලකට දන් දෙක තුනක් පැමිණීම විටෙක කරදරයක් විය. වාට්ටුවේම හදිසියේ කෑම නොලැබුන අයෙකුට ඒවා දෙන්නැයි ලොකු සාදු පියසෝමට කියා ඇත. පොඩි නම ඉදහිට සාත්තුවට හිටියද පියසෝම ළඟ තබාගන්නට ලොකු සාදු උනන්දු විය.

"පියසෝමට මතක ඇති අර අගිදහාමි මැරුන හැටි". රෑ අටට පමණ නින්ද යාගෙන එනවිට හාමුදුරුවෝ පියසෝමගෙන් අසයි.

"නැතුව හාමුදුරුවනේ පිළිකාවද්ද මොකද්ද ගෙඩියක් හැදුන සතියක් ඉස්පිරිතාලෙ හිටිය ඊළග සතියෙ මල ගේ. මැරෙන්න කලිං සතියක මට හම්බුනා පොල් අතු වගයක් අරං ඇලට යනව. ඒ වෙනකොටත් නිකං ඇදිල ගිහිල්ල ඇස් ගෙඩි ගිලිල තිබුනෙ. මං ඒත් ඇහුව, මොකෝ අගිදක්කෙ ඇදිල ගිහිං ලෙඩක්කද්ද? කියල. ලබන සුමානෙවත් බෙහෙත් ගන්න යන්නෝන කියල උන්දැ කිව්ව. කොච්චර වුනත් පෝයක් වරද්දන් නැතුව සිල් ගත්ත මනුස්සය නේ ? හාමුදුරුවනේ?" පියසෝම කියවාගෙන යන්නට විය. 

“හුම්.. උපරේසන් සාර්ථකයි කිව්වට ඉතිං ඔය ඕව කොරලත් මැරෙනෙක ඉවරයක් නැහැ. එක අතකින් වැඩිය කපන්න කොටන්න නැතුව ඔන්නොහෙ මැරිලම යන්න තියෙනවනං එකක්. කවද හිටියත් යන එක නෙව. “ ලොකුසාදු කියන්නට විය.

මෙවන් විටක පොඩි සාදු නම් ලොකු සාදුගේ වචන වලට එරෙහිව යමක් කියන මුත් පියසෝම හාමුදුරුවො ්කියන දේකට විරුද්දව යමක් කියන්නට වැඩිය උවමනාවක් ගත්තේ නැත. ඔහුට අනුව නිතර පත්තර කියවන, පොත් බලන, හාමුදුරුවෝ මොනවා උනත් පියසෝමට වඩා දෙයක් දනී.එ බැවින් හාමුදුරුවන් කියන දේ විටෙක වැරදි යැයි පෙනුනත් ඒ කතාව ඇතුලේ මොකක් හෝ නොපෙනෙන වැදගත් කමක් තිබිය හැක. පොඩිනම මේවා තේරුං නොගෙන එකෙටෙක කියන්ට යෑම පියසෝමට දිරවන්නක් නොවීය.

2 කොටස 

2 comments:

  1. සියාතු යන නම ගැලපෙන්නේ නැත.

    ReplyDelete
    Replies
    1. පල පොන්නයා

      Delete