Monday, December 2, 2013

පසල් තරංග 2

පාසැලේ එවක ප්‍රාථමික අංශයේ සිටි අපි අතර තරංග කැපී පෙනෙන චරිතයක්ද විය. බොහෝ විට හිත හොඳ එකෙකු වූ තරංග තම යහලුවෙක් හොඳින් ගුටිකන විට පහරදෙන්නේ කෙතරම් ලොකු අයියා කෙනෙක් වුවද ඔහු මෝඩයා සේ අත දායි. ඒ නිසාම තරංග තමුන්ගේ ටීම් එකේ චන්ඩියෙකු සේ තබාගන්නට කැමති උන්ද බොහොමයක් විය. නමුත් තරංග ඒ කිසිවෙකුත් සමග පෑහෙන එකකු නොවේ. මේ වලිබර ගතිය නිසාම තරංගගේ කමිසයේ බොත්තම් කාදු ඉරී ගොස් කිහිප වරක්ම පිළිසකර කොට ඇත. ඔහුගේ මුහුනේ හෝ අත්වල සීරුම් කැළැල් ද විය. තරංගගේ කොන්ඩයද සිරගෙට නියම වූ එකෙක්ගේ මෙන් නිතර කොටට කපා තිබෙනු මට මතකය.

ඔහු ලියන කියන පාඩම් වැඩ වලටනම් දක්ෂයකු නොවින. ඔහු උපන්ගෙයි අදක්ෂයෙකැයි සලකා තිබුනි. කුමක් හෝ මල කරුමයකට එකල ප්‍රාථිමික පංතිවල ගුරුවරු අදහස් අතින් පසුගාමී අයවලුන් වූහ. ඔව්හු ළමුන් ඔවුන්ගේ පහසුව තකා වර්ග කොට තිබුනි. දක්ෂ අදක්ෂ,දඟ, අපිරිසිදු ආදී ලෙස ලමුන් වීය. ගමේ වැදගත් තැන්වල ,කඩවල් වල රජයේ සේවක දරුවෝ සහ ගුරුවරුන්ගේ දරුවන් විශේෂ අනුකම්පාවකට ලක් විය. උන්ගේ දෙමාපියන්ගේ බැලීම නිසා දෝ හෝ උන් උගැන්ම සහ ගෙදර වැඩ තරංගලාගේ වැඩට වඩා තත්වයෙන් උසස්ය.

නමුත් ගුරුවරුන්ට තරංග උවමනා වන වෙලාවල්ද තිබේ. එනම් වතු වැඩ සහ බාහිර වැඩයි. මල් වැවිල්ල වැට ගැසීම වත්ත සුද්ද කිරීම ආදී පන්තියෙන් බැහැරව එදා අපේ ඉස්කෝලෙ තිබූ බොහෝ වැඩවලදී තරංග යනු කාගෙන වැඩකරන කඩියෙකි. අපි නම් වැට ගහන්නැයි කිව් විට මුල් ඉන්න සැරට හිටවාලා ඉන් පසු ඒවා ඕනාවට එපාවට කලෝය. නමුත් තරංගට හැම ලීයම ශක්තිමත්ව හරක්ට පනින්න බැරිවෙන්න තියෙන්න ඕනා විය. අපේ පංති කාමර සමහරක දොරවල් හොරු කඩා තිබුනේය. ඒ දොරවල් වලට ඩෙස් හරක් කොට හරක් ඒම වැලැක්වීමට ඩෙස් උඩ ගසා තිබීම ආදියද තරංග මහත් උනන්දුවෙන් කළ රාජකාරි වේ. වැට ගහන්නට ගෙදරින් ඉනි කපං එන්නයැයි ගුරුතුමිය කී විට තරංග පසුදින ම ගොස් හොඳ වයිං ලී ටිකක් කපාගෙන පාන්දරින්ම ඒ ටික කරතියාගෙන කිලෝමීටර ගානක් දුර ගෙවා කන්ද බැසගෙන පාසැලට එයි. කෙල්ලෝ නම් සුට්ටං කෝටු කෑලි කපාගෙන නමට ඒවා රැගෙන එති. “තොපේ මේ කෝටු මක්කටෙයි බං ? මේවයිං ගහන්න ඇහැක්කෙ වැටවල් නෙවෙයි..මේවයිං ඇහැකි බල්ලො එලවන්න. අපේ සීය බල්ලො එලවන එකත් මීට ලොකුයි..“ තරංග කුඩා සිහින් කෝටු ගේන කෙල්ලොන්ට එසේ බනියි. “තොට වගේ කෝටු කපන්න මහ කැලයක් නැහැ අපිට. ඇහැක් ටික තමයි ගෙනාවෙ. උඹට වැඩන් නැහැනෙ කෝටුවල තරම.. ටීචනේ ගේන්න කිව්වෙ කෝටු.‘‘ ..කට සැර කෙල්ලක එසේ උත්තර දෙයි.. තරංගයා නිස්සද්ද වෙයි.

පාං දැලි එකතු කොට කළුලෑල්ල කළු කිරීම. ඩෙස් පුටු ඇණ ගසා හදාගැන්ම, වැට ගැසීම, වත්තේ තණකොල අයින් කිරීම. අතු කැපීම ආදි වැඩ ගොඩකට අපේ ඉස්කෝල වල එකල සේවකයෝ නොවීය.ඒවා කරගන්නේ අපිමය. විටක සමහර ගුරුවරුම පැමිණ අපිට ඒවා නිවැරදිව කරන හැටි කියාදෙති. උදැල්ල, පිහිය අල්ලන නිවැරදි ක්‍රම කැත්තෙන් කැපෙන්න නම් ගහන්න ඕන විදිය ආදිය අපේ ම යාලුවන්ගෙන්ද වැඩට සමත් ගුරුවරුන්ගෙන්ද අපි එකල ඉගෙනගතිමු.

තරංග ගේ මට්ටමේ අනික් සගයන්ට වඩා තරංගගේ තිබු එක් වෙනසක් නම් කොන්ඩය තෙත් වෙන්නට තෙල් ගාගෙන ඒමයි. ඉන් පසු ඔහු ඔලුව අත ගා පොත් ඇල්ලූ පසු පොත්වල අකුරු ලියන්නට බැරිය. ඒනිසා ඔහුගේ ලියන පොතේ අකුරු තියෙන්නේද තැන තැනය.

තරංගගේ කොන්ඩයට තෙල් වැඩියැයි එක ගුරුවරියක පැවසීය. තරංග ගේ කොන්ඩයට, ඇය සතුව තිබූ ලමුන්ට තලන කුඩා ‍කෝටුව ගෙනගොස්. “බලනව ලමයො..මේ කෝටුවෙත් තෙල් ගෑවෙන තරමට තෙල්..ගානකට ගාන් එනව. ගාන්න කිව්ව පලියට බෝතලේම ඔලුවෙ හලං එනව. පස්සෙ අතනයි මෙතනයි හැමතැනම තෙල්..“ යැයි ගුරුතුමිය මහා කරුණාවෙන් පැවසීය.

සිද්ධිය සිදු වුනේ මා සය වන වසරේ සිටියදීය. තරංගට තිබුනේ අභ්‍යාස පොත් දෙකකි. ඔහුට ඒ පොත් දෙකේ සියලුම විශයයන් ලිවීමට නොහැක. ඒ නිසා නිතර දෙවේලේ ඔහු ගුරුවරුන්ගෙන් බැනුම් අසයි. ඔහුට කුමක් හෝ හේතුවක් නිසා ලොකු අභාග්‍යක් උදාවන්නට ඇත. එහෙත් ඔහු ඒ කුමක්දැයි මටවත් කිව්වෙ නැත. මා ඔහුට මට ලිවීමට අම්මා වැඩිපුර අරං දී තිබුන පොතක් දුන්නෙමි. එය දීම යනු සත්‍ය වශයෙන්ම විශාල ගේමකි. අපේ අම්මාද පොත් පත් අරං දෙන්නේ නියමිත ප්‍රමාණයට පමණි. කෙසේ හෝ තරංගට තිබෙන අපාසුතාවය දැක මට ඔහුට පොතක් දිය යුතු යැයි සිතුනි. නමුත් එවක අපේ ගෙදර තත්වයද එතරම් හොඳ වූයේ නැත. පොත් පත් කෑම බීම සහ වෙනත් කිසිවක් මඟහැරුනේ නොමැති වුවද ඉගනගන්නා වයසේම දරුවන් 3න් දෙනෙකු සිටි නිවසේ මුදල් පාලනය සරල එකක් වන්නට නැත. මා ඒ පොත ඔහුට දුන්විට ඔහු ඒ පොත මැද පිටුව පෙරළා මුහුනට තබා එහි සුවඳ බැලුවේය.

මට තිබූ පොත් ජාතිය තරමක් උසස් එකක් විය. බාගෙදා වැඩ කල පසු ටීචර් හරි වැරදි බලා පොත් යලිත් බෙදන අවස්ථාවේදී මගෙ පොතත් තරංගට මා දී තිබූ පොතත් පැටලුන අවස්ථාවන්ද ිවය. නමුත් කොළයක් පෙරළූ විගස මට මගේ පොත හඳුනා ගන්නට හැකි විය. මා පොත්පත් කැත කරනවාට දැඩිව අකමැතිය. තරංගගෙ අපිරිසිදු කම් කෙතෙක් වුවත් ඔහු පොත් පත් අපිරිසිදු කරගැන්ම ගැන නම් මගේ කිසිදු මනාපයක් නොවීය. ඒ නිසා මා දුන් අභ්‍යාස පොතද මගේ පොත් මෙන් කවරයක් දමා ඉන් අනතුරුව ඔහුට දීමට වගබලා ගත්තෙමි.

ඉන් පසු දිනෙක මා ඔහුට ලිවීමට පෑනක්ද දුනිමි. එකල පෑනක් යනු විශාල දෙයක ්වුවත් බාගෙට ලියූ මගේ පෑනක් ඔහුට දී මම අලුතින් පෑනක් ගත්තෙමි. මේ පොත් පත් දීම පෑන් දීමට අමතරව ඔහුට වැරදෙන ගනන් කියාදීම මට තේරුන කොටස් තරංගට කියා දීම මා නිතරම තරංග වෙනුයෙන් ඉෂ්ඨ කලෙමි. කුමක් හෝ කරුණක් නිසා තරංග පෙර මෙන් කළහාකාරී බව අඩුකොට යම් සන්සුන් ගතියක් දක්වන්නටද විය. නමුත් මේ වෙනස්වීම ගුරුවරුන්ට එතරම් ගානක් නැත. ඔවුන්ට තරංගලා වැනි පහලම ලෑල්ලේ සිටින කොල්ලෝ හන්දියේ මාලු ලෑල්ලේ මැස්සො ඇහිරෙන්නට පැත්තක දමා ඇති කුනු මාලු බඩ කෑලි මෙනි. වටිනාකමක් නැත. වටිනාකමක් තිබුනත් සැලකිල්ලක් නැත.

දසතින් හමන චන්ඩ මාරුතය එක් රුවලකින් නැවතිය නොහැකි වූවා සේ එක් දිනයක තරංග මගේ මිතුරු තනතුරෙන් ඈතට ගසාගෙන යන්නට තීරණය කර සිටියේය. ඔහු විශාල වියරණ වලින් තොරවම “ මචං මං මහණ වෙන්න යනවා. ගොඩක් උන් හිනාවෙන කොට උඹ මට හිනාවුනේ නැහැ. උඹ මට පොත් පෑන් දුන්නා. ටීචර්ලා කියල දුන්නට වැඩිය උඹ කිව්වම දෙයක් තේරෙනව. ඒත් බං අපේ අම්මයි තාත්තයි මට පංසලක් හොයල තියෙන්නෙ. කොළඹ පැත්තෙ එකක්. මං යනෝ බං. ඒත් කවදා හරි උඹ හම්බුනොත් මං ඕන උදව්වක් කොරනව. සත්තයි. “ දැඩි ස්වරයකින් මං යනවා යැයි පටං ගත්තද ඔහු වාක්‍ය අවසාන කරනවිට වචන සැලෙන්නට විය. ඔහුගේ දෑසින් කඳුලු වැටෙන්නට විය.

වෙන උන් ළඟ තියාගන්නට අකමැති තරංග මගේ ඩෙස්ක් එක ළඟ ඩෙස්ක් එකේ සිටීම මට ගැටලුවක් නැතිවිය. එසේම තරංග මට සිටි අනෙක් යාලුවන් සේම යාලුවෙක්ද විය. සමාරවිට මා ශුෂ්ක පරිසරයේ සිටිද්දී මා ද තරංගගේ මට්ටමේ සිටි අයෙක් නිසා වෙන්නට ඇත. මටත් ඔහු යනවා යැයි කි විට ඔහු මෙසේ හැමතැනින්ම දුප්පත් කම නිසා අවමන් විඳිමින් සිටිනවාට වඩා යන එක හොඳ යැයි සිතුනි. එහෙත් මහණ වන්නට යන එක ගැන මට එතරම් පැහැදිලි අදහසක් එදා තිබුනේ නැත. මහන වන්නට පෙර වසර එක දෙකක් පංසලේ සිට පුරුදු විය යුතුයැයිද රාවයක් තිබුනි.

තරංග මහන වෙන්නට ගියා යනු පාසලේ හැමටම විශාල විහිළුවක් විය. ගමනේ, කතාවේ පමණක් නොව ඔහුගේ හැසිරීමේ පවා කිසිදු අවස්ථාවක සංවරකමක් නොතිබුනු තරංග චීවරයක් දරා සිටින අයුරු මට මනසින් මවාගන්නටත් බැරි වූ චිත්‍රයකි. මට කලින්ම කියා දින කීපයකින් පාසලේ අනික් අය තරංග යන බව දැනගත්තේය. පාසලෙන් නික්මුනු ඔහු සිල් රැක්කාද? සිවුරු හැරියාද මා දන්නේ නැත.

රූප පෙට්ටියේ පුවත් පත්වල අන්තර්ජාලයේ මහත අසංවර පෙනුමැති හැඩි දැඩි සාදුලා සංවරව බණ දෙසන විට මට නිබඳවම තරංග මතක් වේ. සියලු ගිහි සැප අතැර මාලිගා, ගැහැනු, වස්තුව හැරදා පැමිණි සිද්ධාර්ථ පසු කලෙක සත්‍ය වටහාගෙන ලෝකයට සත්‍ය පෙන්වා දුනි. අතු පැළක සිට දුප්පත් කමින් මිරිකී සිටි තරංග සත්‍ය ලෝකයට එකතු වෙන්නට බැරි නිසා වෙනමම සත්‍යක් සොයාගෙන ගියේය.

Sunday, December 1, 2013

පසල් තරංග 1

පාසැල පිහිටා ඇත්තේ වෙල්යාය අසබඩ බිම් තීරුවකි. වෙල්යාය මතම ඉදිවී පසුව පස් පිරවී දූපත් බවට පත්වූ බිම මත වූ කඩ කාමර කිහිපයකින් පසු කළුපාට තාර පාර පිහිටා ඇත.පාරෙන් මෙපිට පාසල පිහිටා ඇති අතර මේ පාසල පසුකර යන අයෙක්ට ජනාවාසයක්ද ඉන් මතු මහ කන්දද නගින්නට ලැබේ. මේ කඳු යායෙන් වටවූ මනරම් බිම ඇති පාසැලකට මා ඇතුලත් කරනු ලැබූයේ හම්බන්තොට කාෂ්ඨකයේ සිටි මා ඉගනීම කරා යොමු කරන අදහසින් විය හැක. බොහෝ දුරට නැතත් යම්තාක් දුරට එය සාර්ථක වන්නට ඇත.

පැරණි ගමේ සිටි මා සමඟ මොන්ටිසෝරි ගිය මිතුරන්ට මා වීරයෙක් තරමට උගත් අයෙක් විය හැක. එදා කටු මැටි ගසා පොල්ලතු සෙවිලි කල මා ගිය මොන්ටිසෝරියේ මා සමග ඉගනගත් අති මහත් බහුතරය අද වන විට ගොවියෝ සහ ගෙවිලියෝ විය හැක. සමහරු වසර හත අටක් ගාමන්ට් හෝ විදෙස් ගතවී නිවෙස් තනාගෙන දැන් දිවිය ගැටගසා ගන්නවා ඇත. ඔවුන්ට අනුව අධ්‍යාපනයෙන් කොළඹට විද්ද මා යනු පොරකි. නමුත් කොළඹ ආ පසු මට වඩා අවුරුදු පහ හයක් වයසින් අඩු ගැටයින් මට වඩා බොහෝ දුර ගොස් සිටිනු දිටිමි. එවිට මට ගමේ සිටියනං අඩු තරමේ ඇතිපදං ස්ත්‍රී සැපවත් ලැබෙනවා නොවැදැයි එකල සිතුනි.

මා පසුකල මොන්ටිසෝරි කාලයේ දිවිය අර්ධ ශුෂ්ක කලාපයේ වසරේ වැඩි කාලයක් බොන්න වතුර ටික සොයා බූලි බයිසිකල් පිටිපස තබාගෙන ඈත පිහිටි ලිංකරා ඇදෙන පිරිමින්ගෙන් සහ වතුර හිගකමින් උකුල්වලට කල තබාගෙන දුර දුවන ගැහැනුන්ගෙන් සමන්විත විය. නමුත් මට පාසැල් යන්නට ලැබුනේ පෙනෙන මානයෙ වතුර ඇති ලිං වලින් නාකියා ගන්නටද හැකි වූ තෙත් කලාපයට අයත් පරිසරයකය. කඳු වලින් වටවූ වෙල් යාය අසබඩ වූ මගේ ඒ පාසැල මට ගෙනදුන්නේ අලුත් මිහිරකි. එහි ශුෂ්ක පරිසරයේ පැවති එයට ආවේනික බොහෝ දොම්නස් තෙත් කලාපික පාසැල් පරිසරයේ නොමැති විය. එහෙත් තෙත් කලාපයට අයත් දුප්පත් මිනිස්සු වෙනමම ජාතියේ ප්‍රශ්ණ වලට මුහුන දුන්හ. කලක් ගතවන විට දුප්පත් කමට කලාපිය බේධයක් නොමැති බව මට කෙමෙන් කෙමෙන් වැටහෙන්නට විය.

කන්දට බස් එකක් වැටී තිබුනේ බොහෝ කලකට පෙරය. එය වලකන්ද ලෙස හැඳින්වුයේ ඇයි දැයි නොදනිමි. වලකන්දට යන කල වතුකොළ කන්ද නැමැති පොඩි කන්දක්ද තරණය කල යුතුය. මාගේ පාසැල වට තිබූ කඳු කිහිපයකටම ලස්සන නම් ලැබී තිබුනි. කොඩිහේන කන්ද, හීලකන්ද, නයිගල කන්ද, වලකන්ද, වතුකොළ කන්ද ආදිය මට මතක නම් කිහිපයකි. මෙයින් බස්රියක් පිරෙන්නට පාසැල් සිසුන් පැමිණෙන කන්ද වලකන්ද ලෙස හැඳින්වුනි. මේ බස් රිය ඒ ගම ජනයා ඒ කදුවල වසන ජනයා සමඟම බැඳී තිබුනි. මා පාසැල් යන අවධිය වන විටත් බොහෝ දෙනා පයිනුත් ගමන් පහසුව සලසා ගත් මුත් බස් රියේ ගමන් කිරීම ඔවුනට වඩාත් පහසු විය.

උදෑසන එන බස් රිය පාසැල පටන් ගන්නට පැය බාගයක් විතර කලින් පාසැල අසලට එයි. කන්දේ බස් එක නවත්වන තැන සිට පාසැලට ඇති මුළු දුර කිලෝමීටර 8කට වැඩි මිස අඩු නොවේ. උදෑසන මාතර පන්ති යන ළමෝ පයින්ම පැමින පංතිවලට ගියෝය.

තරංගට බස් එකේ යන්න සල්ලි තිබුනේ එහෙමත් දවසකය. ඔහු බස් යන පාරේ නොව වෙනත් කැලෑ පාරකින් පාසැල වෙත පැමිණෙයි. ඔහු අඳින පාසැල් ඇඳුම විශේෂ එකකි. සාමාන්‍ය යෙන් අප පංතියේ සිටින අනෙක් සිසුන්ට වඩා විශාල සිරුරක් තිබුන බැවින් තරංගට අපිට දෙන කලිසං රෙදි කෑල්ල මදි වන්නට ඇත. එම නිසා තරංග ඇන්දේ වෙනත් ජාතියක නිල්පාට කලිසමකි. තරංග පාසැල් ඇඳුමින් හැර මා ඔහු උඩුකය නිරුවතින් සෙල්ලම් කරන අවස්ථාවන්හිදි දැක ඇත. එසේ නැතිව ඔහු වෙනත් පාට ඇඳුම් ඇඳගත් දිනයක් නම් මගේ මතකයේ නැත. ඔහුගේ කමිසය සුදු එකක් වුවත් හොඳින් සෝදා නිතර නිල්දමා අඳින ෂර්ට් එක තරම් ඔහුගේ කමිසය පැහැපත් නොවීය.

පාසැල් එන යන අතරමග මෙන්ම වෙනත් වැඩකටයුතු වල යෙදෙද්දීත් කජු පුහුලන් ඇහිඳීම, අඹ කැඩීම, ගොරක ඇහිලීම ආදි රාජකාරි වල නිරත වීම නිසා තරංගගේ සෑම කමිසයක්ම රැගෙන දින කිහිපයකින් කහට පැල්ලම් කිහිපයකින් ඔපවත් වෙයි. තරංග ගස් නැඟීමට රුසියෙකි. ඔහු කොල්ලන් සමග අනුන්ගේ වතුවලට පැන කුරුම්බා බීම වැනි මැරෑටි වැඩ 4 වන වසරේදී පවා කළේය. අනුන්ගේ වත්තකට පැන කුරුම්බා බිව්ව හැටි අඹ කැඩු සැටි ඔහු පැමිණ විටෙක විස්තර කරයි.අපිට කුරුම්බා බීමටත් අඹ කැඩිමටත් එවකට අපේ වත්තේදීම අවස්ථා තිබුනත් ඈත දෙසින් එන වත්තේ අයිතිකාරයා එයිදැයි බලමින් අඹ කඩන කුරුම්බා බාන හැටි අහගන්නට තරංගගේ කතාවට කට ඇරගෙන අහගන සිටින්නට ආශා කලෙමු.

ඔහුගේ නිවස පිහිටා තිබෙන්නට ඇත්තේ කන්දේ කොහේ හෝ මුල්ලකය. ඔහුගේ පියා විශාල රක්ෂාවක් කල අයුරක් නොපෙනුනි. ඔහුට බාල තවත් නංගිලා මල්ලිලා කිහිප දෙනෙක්ම තරංගට විය. තරංග ගේ කිසිදු වැඩක කිසිම පිරිසිදු කමක් නම් නොවීය. පොත් පත් බෑගයක දාගෙන එන්නැයි කිව්වොත් ඒකට තරංගට පොත් බෑගයක් නැත. අපි විභාග දිනවල බෑගය නැතිව අතේ ෆයිල් එක විතරක් තියාගෙන ඉස්කෝලෙ යන්නේ බැගය නොමැති වීම ගැන කුඩා සතුටක්ද සිතේ දරාගනය. තරංග කොතෙක් පොත් තිබුනත් සියල්ල අත උඩ තබාගෙන එයි. ඒ පොත්වලට කවර නොමැතිවීම නිසාද පොත් පත් අතේ ගෙනයෑම නිසාද තරංගගේ පොත් පත් ඉක්මනින්ම සවුත්තු විය.

මා ගිය පාසැලේ දක්ෂ ලමෝ මෙලෝ රහක් නැති ළමෝ සහ මැරෑටි ලමෝ ලෙස වර්ග තුනක් සිටියෝය. තරංග යනු සැබැවින්ම මෙලෝ රහක් නැති මා වැනි අයෙකි. නමුත් ඔහු සතු දුප්පත් කම නිසා තරංග මැරෑටියෙක් ලෙස ගුරුවරුද ගුරු බාලයෝද සිතා සිටියෝය. ගුරු බාලයෝ යනු පන්තියේ මුල් පෙළ සිටිමින් ගුරුවරුන්ගේ සුවච කීකරු ගෝලයන් වූ බත් බැලයන් කිප දෙනාටය. මේ බත් බැලයක් වැඩක් ඇතත් නැතත් ගුරුවරුන්ට පක්ෂය. පාසැලේ වලියක් ගිය එක් අවස්ථාවක මාගේ මිතුරකුට ගලක් ගැසීමේ උවමනාවක් මට ඇතිවිය. එහිදී ඒ මිතුරා විවේකයේදී ටීචර්ලා කයි ගසමින් සිටින පන්ති කාමරයකට ගොස් ටීචර්ලා සිටින දෙසට වැදී ඒ අසලම රැදෙන්නට විය. මට පස්ටෙටම මල පැන්නේ මූ ට ගල ගසාගන්නට බැරි වුනාටත් වඩා මූ ටීචර්ලා අසල සිට ඉඳහිට පංතියට එබෙන මට දිව ඇද විහිලු කරන්නට වූ නිසාය. දැන් මට ඌට ගලින් ගසන්නටම උවමනාය. මා සිතීම පසුවට කල් දමා උළු කැට කැබැල්ලක් දමා ගැසීමි.

ඒ ආනුභාවයෙන් මට පැය කිහිපයක් වැලි සහිත බිමේ දණගසාගෙන සිටින්නට සිද්ද විය. මා විසික් කල උළු කැට කැබැල්ල එක් ගුරුතුමියකුගේ කොහේ හෝ තැනක වැදී ඇත. එහිදී සතුරකු වුවත් එකම සෙට් එකේ අපතපාලයන් වූ මා ගේ ගල් පහර එල්ල වූ එකා වචනයක් වත් මා ගැන කියා තිබුනේ නැත. නමුත් ටීචර්ලාට ආවඩන බත් බැලයෝ ටික ටීචර්ලාට කේලම් කියා තිබුනි. කෝටුවකින් පාරවල් හත අටක් කා මාද මගේ මිතුරාද එකවිට දණ ගසාගෙන සිටියෙමි. මට චෝදනාව ගල් ගැසීමය. අනෙක් එකාට චෝදනාව මා වරද කරනු දැකලත් කට වහගෙන සිටීමය. ඒ අතර කෙල්ලෝ කිහිප දෙනෙක් තොපිට හොඳ වැඩේ යැයි කියන්නාක් මෙන් නිතර වෙනදාටත් වඩා එතනින් යති එති. කෙල්ලෝ නම් එකලද කෙලින් දෙයක් නොකියන වටෙන් සිට එකවර හුකුස් ගාන මහ කුජීත ජාතියකි.

Thursday, November 28, 2013

සීයලයි කාලෙ හොරර් ආතල්

එය රබර් කැළයකි. මගේ ඥාතියෙකු වූ චූටි අය්යා මා නෑ ගෙදරක එක්කරං යමින් සිටියේය. ඔහු එතරම් අනක් ගුණක් ඇති එකෙකු නොවේ. මහ පාරෙන් යන විට තරමක් දුර බැවින් කැලෑ පාරෙන් යමු යැයි හේ කීවේය. මට වඩා වසර පහකට වඩා වැඩිමල් හේ තෙමේ පාර නිසැක වශයෙන්ම දන්නවා විය හැකි යයි මම සිතුවෙමි. මා ඔහු පසුපසින් යන්නට විය. මට මතක විදියට ඔහු හොල්මන් ගැනකතා කියමින් ගියේය. එය රාත්‍රියක් නොවුනත් වෙල් බඩවැටි,රබර් කෑලි ,බැදි කුට්ටි පසුකරගෙන ගිය ඒ ජාමය වඩාත් අයිති වූයේ හවස් ජාමයකටය. අහසද අඳුරු වූ වෙලාවකය අප දෙදෙනා කැලෑ පාරකින් නෑදෑ ගෙදරක යමින් සිටියේ. 

“යකෝ මට පාර මතක නැහැ බං ,හනේ මන් දැන් නැහැ ඕයි.. මේ තරං දුරක් ආවෙ නැහැ වෙනද.. “  අයියා කියන්නට විය. මාද ඔහු කලිං කී හොල්මන් කතා වලට සිනාසෙමින් සවන් දුන්නත් පාර අමතකැයි කී කිල බියට පත් විය. සර සර හඩින් නැගුන රබර් ගස්වල කොළ සෙලවෙන ශබ්ධයත්, හාත්පස කිසිම මනුස්ස පුළුටක් නැති අඳුරත්, වැහි කළුවත් මා බියපත් කරවීය. අසල ගෙයක් හෝ ඇතිදැයි බැලූමුත් එවැන්නක්ද දර්ශන පථයට හසු නොවුනි. 

‘‘දැං මොකෝ කරන්නෙ“ යැයි මගෙන් අසන චූටි අයියාද එක් තැනක නතර වී වටපිට බලමින් සිට තිබෙන අඩිපාර දිගේ ඉදිරියට යයි. නිතර නැවතෙමින් යන ඔහුට අනිවාර්යෙන්ම පාර වැරදී ඇතුවා විය යුතුයැ‘යි මා නිගමනය කළෙමි. දෑත් නිකට ගාවට ගෙන එකතු කොටගත් මා සිහින් හඩින් ඉතිපිසෝ ගාථාව කියන්නට විය. මා කර ඇති පිංපෙත් මතක් කරගෙන ශ්‍රර්ධාව ලෝඩ් කරගන්නට ද උත්සාහයක් මනසින් දැරුවෙමි. මා දෙස හැරුන අයියා “උඹ මොකද්ද බං මතුරන්නේ“ යැයි ඇසීය. එවිට මා ඔලුව උස්සා මං මේ ඉතිපිසෝ ගාථාව කියනවා යැයි කීය. අපේ පුංචි අම්මාත් ආච්චිල සීයලාත් පංසලේ හාමුදුරුවෝත් කියා ඇති පරිදි ඉතිපිසෝ ගාථාවලටත් පිරිත් වලටත් තිබුනේ සියලු යකුන් භූතයින් පලවා හරින මහත් වූ බලයකි. එබැවින් නිරායාසයෙන්ම මට ඉතිපිසෝ ගාථාව කියවුනි. 

ආ දැන් හරි මේ හරිය මතකයි වගේ යැයි කියමින් චූටි අයියා මට ගාථාව නවත්වන්නට සංඥාවක් දුනි. මා ගාථාව නැවැත්වීමි. ඉන් පසු රූප නැන්දලාගේ ගෙදර ගිය චූටි අයියා මහ හඩින් කොක් හඩලා සිනාසෙන්නට වූයේ රබර් වත්ත මැදදී මා බය වී ඉතිපිසෝ ගාථාව කිව් ආකාරය ද රඟ දක්වමනි. රූප නැන්දලාගේ ගෙදර සිටි උපාසක ආච්චිත් සීයල දෙන්නාත් තරඟෙට සිනා සුනෝය. සියල්ලන්ගේ සිනා මැද මා ද බිම බලාගෙන සිනාසුනෙමි. 

“උඹත් මේ කොල්ල බය කොල්ල ඉවර වෙල දැන් හිනාවෙනව. ඌට බය වෙල මොකක් හරි වුනානං“.. කියා උපාසක ආච්චී කියන්නට විය. මා අසලට පැමිණි රූප නැන්දාද මගේ ඔලුව අතගා “ඉතිපිසෝ ගාථාව කියන එක වැරැද්දක් නෙමෙයි පුතේ. ඔය අපේ එකාගේ නොසංඩාල කං ගනන් ගන්න එපා“. දැං ඉතිං පාර මතකයිනේ. වරද්ද වරද්ද ආවම පාරත් මතක් වෙනවා..“ යැයි කීවාය.


ඒ රූප නැන්දලාගේ දිහා තිබුනේ තෙත් ගතියකි. වසරේ වැඩි කළක් එහි වරුසාව පතිත වේ. කඳු ගැටයක් මත වූ උල්පතක සිට වලකට එකතු වූ ජලය බට ඔස්සේ නිතරම ගෙදර ටැංකියට එකතු වේ. ඒ වතුර ඇට මිදුලු දක්වා දිවයන තද සීතලක් ගෙනදේ. එහි ගොස් මා පලමුවෙන්ම කරන රාජකාරියක් නම් නා කියා ගන්නා එකය. මා ඒමට කාලයකට ප්‍රථම අපේ අයියලා ගිය කල ඒ පෙදෙසේ දොල පහරවල් වල ඔවුන් නෑ බවක් කියනු මා අසා ඇත. නමුත් මා ගිය කල දොලපාරවල් වල නෑමේ සිරිතක් නොපැවති අතර නෑම සිදු වූයේ ටැංකි වතුරෙනි. 

ඒ ගෙවල් පිහිටි වටපිටාව මහ රූස්ස කැළයක් මෙනි. අඩි විස්සට තිහට මෙහා මිටි වූ ගසක් කොළක් දැකගැන්ම අමාරුය. පොල් ගස් පවා පළදරන්නේ බොහෝ උස යෑමෙන් අනතුරුවය. ඒ පෙදෙසේ කුඹුරු තිබුනේ අඩුවනි. තිබුන ඒවාද යහමින් එරේ. රබර් වතු තිබුනද තව ටිකක් කැලෑව දෙසට යන විට තේ වතු කිහිපයක්ද හමු වේ. රූස්ස ගස් වලින් වට වූ නිවෙස් වල දවල් දොලහට පවා ඉර අව්ව යහමින් වැටීමක් නොවීය. ඒ ගෙවල වේලීමට ඇති දෙයක් වෙත් නම් ඒවා පඩංගු වල දමා කුඹුරට ගෙනගොස් වේලා ගනී. ගොරක ගම්මිරිස්, සාදික්කා, කරාබු, පුවක් ආදිය ඒ පැත්තේ වැවෙන බෝග ජාතිය. 

ඉඳ හිට නැගෙන සතකුගේ ශබ්ධයත්, රූස්ස ගස් වලට උඩින් හමන සුළඟත්, අඳුරත්,ජන ශුන්‍ය පාලු ගතියත්  නිසා එවකට ඒ පෙදෙසේ දී මනුස්සයකුට බය හිතෙන ගතිය වැඩි බවක් මට සිතේ.  
 ........................................
අඳුරු වූ තොවිල් බිම එළිය වී ඇත්තේ පන්දම් වලිනි. හොඳින් ඔතාගත් පාංකඩ වලට තෙල් දමා ගිනි දැල්වීමෙන් පන්දම් දල්වා තිබේ. කෙසෙල් කොට වලින් තැනූ තොරන් සැරසිලි ආදියද ගොක් කොල වලින් සැරසුනු මල් බුලත් තටු ආදියද කරන යාතුකර්මය අනුවද, පළාතඅ අනුවද වෙනස් වෙයි. බොහෝ යාග හෝම වල උච්චතම කාල සීමා උදා වන්නේ රාත්‍රිෙය්දීය.“ එලි වෙන ජාමෙට හොඳ හොද සෙල්ලං“  යයි කියන්නේ තොවිල් ගැන විය යුතුය. 

දහ අට සන්නිය සහ මා දැක ඇති පහතරට බොහෝ ශාන්තිකර්මාදියේදී යොදාගන්නා ඇඳුම් තද පැහැති ඒවාය. දහ අට සන්නියේ සමහර සන්නි යකුන් කළු පාට ඇඟට ඇලුනු කමිසයක් ඇඳ පැමිනියත් මුහුනට දමා ඇති විශාල වෙස් මුහුන නිසා ඔවුන් දුටුවනම ඇතිවන බියෙහි කිසි අඩුවක් වෙන්නේ නැත.මේ යකුන් ආල වට්ටං දමමින් බෙර කාරයන් සමඟ කොමල කරමින් කතා කරති. බෙරකරු කෙසේ හෝ යකා මෙල්ල කොට ගනී. නමුත් සමාර අවස්ථාවල යක් ඇඳුමින් නටන නැට්ටුවා ලේසියෙන් මෙල්ල වෙන්නේ නැත. 

සරසන ලද භූමියට විටෙකදී යකා පැමිනෙන්නේ රඟ බිමේ ඇති සිටවූ විසාල ගස් ගොන්නක් මත සිටය. ගස් සොලවාගෙන වටපිට බලමින් සෙමෙන් පැමිණෙන යක්කුද අහස ගගුරවාගෙන පොළොව පලාගෙන එන්නාක් මෙන් හූ කියාගෙන කෑ ගහගෙන එන යක්කුද සිටිති. මේ යකුන් කෙතෙක් පැමිණ අඩි උස්සමින් ඔලු වනමින් පැද්දෙමින් දුවමින් බෙර පද වලට අඩි තියමින් පෙරළි කරති.  යක් නැටුම් වල බිය ජනිත කරන එක් විදියක් නම් බෙර නාදයයි. සමුද්‍ර ඝෝෂක බෙරය යනුවෙන්ද හඳුන්වන පහතරට බෙර දෙක තුනක් එක විට වයන විට ඇත්තේ කන් බිහිරි කරවන බේස් නාදයකි. ඔවුන් ගහන පද වේගවත්ව සහ දැඩිව අපේ හදට වදින්නාක් මෙන් දැනේ. 

ඒ යක් නැටුම් වලදී ආතුරයා නැමැති යක්ෂ විනයට හසු වූනේ යැයි සැක කරන රෝගියාගේ මනසට බලපෑමක් කරන්නට සමත් වෙනවා වන්නට ඇත. ආතුරයා පමණක් නොව බලන්නට ආ මහ සෙනගටද විශාල අත්දැකීම් සහ රස ගොඩක් ලබාදීමට තොවිල් නටන්නෝ සමත් විය. අද මෙන් සිනමා, නාට්ටි, ටීටර්, පරිඝනක, දුක(දුරකථන) නොමැති එකල තොවිල් සහ යාතුකර්ම යනු එක්තරා රස ගොඩකි. රස කීවේ හුදෙක් ආතල් එකම පමණක් නොවේ. බය හිතෙන ගතිය, හාස්‍ය රසය, නර්ථනය දැකීමෙන් ඇතිවන රසය, ගායනා සහ බෙර නද ඇසීමෙන් ඇතිවන රසය, කෙල්ලන්ට කොල්ලන් හමු වීමට ඇති අවස්ථාවක් සෙට් වන නිසා ඇති වන රසය, කට්ටියට සෙට් වෙන්නට අවස්ථාවක් වන නිසා ඇතිවන රසය ආදී වශයෙන් සමාජමය අතින් විශේෂ තැනක් එකල තොවිල් වලට සහ ශාන්තිකර්ම වලට අත් විය.

පහතරට දේශීය ශාන්තිකර්මයක් තුල භය කිරීමේ රසය නොහොත් හොරර් ෆිල්ම් බලන විට ලැබෙන ආතල් ගන්නටද කොටසක් බොහෝවිට ඇතුලත් විය. මා දුටු එක්තරා ශාන්තිකර්මයක් තුලදී බෙර නද අතර එක් වරම නැගිට ගත් ආතුරයා(ලෙඩා) දුවන්නට විය. ඔහු නතරකරන්නට තැනූ විට ආතුරයා සැනින් ගසකට පැන එහි අතු වල නැගී අතු පදින්නට විය. බෙර නදට අනුව ඔහු අතු වනමින් කළහ කරමින් සිටියි.  ඔහු සිටියේ භයානක තැනකය. ඔහු වැරදිලා හෝ ඒ වත්තේ වැටෙන් පිට වූයේ වී නම් එය ආතුරයාට කෙලින්ම බලපාන අසුබ නිමිත්තක් බව බොහෝ දෙනා අදහන ලදී. එබැවින් ආතුරයා අල්වා ගන්නට හැඩි දැඩි පුරුෂයෝ රොක් වූහ. 

දෙමළ සිනමා පටියක දහයක් අල්ලාගෙන සිටියත් එක්වරම නැගිටින වීරයා මා මගේ පියවි ඇසින් දැක්කේ එදාය. කෙසඟ පුද්ගලයෙකු වූ ආතුරයාට එවෙලේ තිබුනේ මහ පුදුම බලයකි. ඔහු සියලු දෙනාම ගසා බසා දාගෙන නැගිටියි. දුවයි. ගස් උඩ නගී. එතැනදී ඇතිවෙන බිය යක් ඇඳුම් ඇදගත් අය දුටුවිට ඇතිවන බියට වඩා සැබැවින්ම වැඩිය. එසේම ඒ සිද්දිය පුරාවට යක් බෙර ශබ්ධයද දැඩිව ඇසුනි. හත් අට දෙනෙකු විසින් අල්ලා ගත් ආතුරයාට මතුරන ලද පැන් ස්වල්පයක් ඉසීමෙන් යන්තමින් ආතුරයා මෙල්ල කරගත හැකි වීය. 

චලන රූප ලෙස යොදාගත් නළුවන් මගින් භය ජනනය කරන අවස්ථා ශාන්ති කර්ම වල සුළබ විය. පංසල් වල ඇති අඹන ලද පිළිම සහ අඳින ලද රූප දැක මිනිසුන් සහ දරුවන් බිය වූ අවස්ථා මා එකල අසා ඇත. අපේ පැත්තේ තිබු එක් පංසලක තිබූ යක්ෂ රුවකට නිතර දරුවන් බිය වූ නිසා ඒ චිත්‍රය උඩ සායම් අතුරා දැමීමට පංසලේ ලොකු හාමුදුරුවන් තීරනය කොට තිබුනි. අද මෙන් ස්වයං විනෝද උපාංග බහුල නොවූ එකල ජනයා කතා කීමටද ගෙතීමටද ඒවා රසකරමින් ඉදිරිපත් කිරීමටද දක්ෂයෝය. ඔවුන් කතා කියන විට ස්වරයෙන්ද, මුහුනේ ස්වභාවයෙන්ද, අත් වලින් කරන රඟ දැක්වීම් වලින්ද කතාව වඩාත් තාත්වික වෙයි. යකුන් ප්‍රේතයින් ගැන කියනවිට ඒ කියන අයගේ ඇස් ගෙඩි ලොකු වී කට පලල් වී යකා මෙවැන්නැකැයි පෙන්වීමට ඔවුන් උත්සාහ ගති. ඔවුන් වැන්නන් අදද සිටියත් ඔවුන් වැනි සතර අභිනයේ අගතැන්පත් අය රූපවාහිනියට වද්දා නොගන්නේ ඔවුන් සතුව සහතික කිසිවක් නොමැති නිසා වන්නට ඇත.

ව්රොන් ටර්න්(Wrong turn), ඩ්‍රැකියුලා(Dracula) , නයිට් මරේ(A Nightmare on Elm Street), එවිල් ඩෙඩ්( Evil Dead) , ආදි භූතයින් සිටින කතාන්දර ඇතුලත් බටහිර සිනමා පටි බලන අපි අද ඒ භය වීම ලබාගනිමු. එකල අපේ පැරැන්නෝ ඩෝබි ඩිජිටල්, විසල් පුලුල් තිර, දෘෂ්‍ය ප්‍රෙයා්ග රහිතවම සිය භය වීමේ ආතල් එක පියවි ඉන්ද්‍රියන්ගෙන්ම ලබාගත්තෝය. සුද්දාගේ රටේ හැදෙන ඒ බිය ජනක සිනමාපටිවල සිටින ඩ්‍රැකියුලා චරිත අදහන අද දරුවන් දහ අට සන්නියක යකෙකු රූපවාහිනියකින් වති නොදකිති. ඒ මහා යක්ෂයින්ගේ නිධාන කතා නොදනිති. යකුන් විසින් පෙර කළ කරන ලද අනර්ථයන් සහ අර්ථයන් සම්බන්ධ කතාන්දර නොදනිති. 

යම් දෙයක් බටහිර කියා උඩ තබාගැනීමවත් දේශීය යැයි කියා වන්දනා කිරීමවත් බුද්ධිගෝචර නොවේ. නමුත් ඩ්‍රැකියුලා සත්‍යකැයි කට ඇරගෙන මුව අයා  බලන මිනිසුන් තොවිල් නම් මහ පච ගොඩකැ‘යි ඉවතලීම හාස්‍යයට කරුණකි. 

Sunday, November 24, 2013

සොරයාට ගල් ගැසීම the stoning of soraya

රිසානා නෆීක් කියන්නෙ අඩු වයසින් සෞදියට ගිහිපු ගැහැනු ළමයෙක්. එයාගෙ අතින් වුන අත් වැරදීමකට එයාගේ හිස කඳින් වෙන්කරන්න කියලා සෞදි රජයේ නීතිය අනුව දඬුවම් නියම කලා. සෞදි රජතුමාට අපේ රජතුමා ඉල්ලීමක් කලත් රිසානා නෆීක් නන්නාදුන රටක, නන්නාදුනන නීතියකට යටත් වෙලා මැරුනා. සෞදි නීතිය පදනම් වෙන්නෙ ඉස්ලාමීය ෂරියා කියන නීතිය. ගොඩක් ඉස්ලාමීය රටවල් ෂරියා කියන කෝරාන නීතිය භාවිත කරනවා. 

සොරයා කියන්නෙ ඉරානයේ කඳුකර ගමක වසන දරුවන් හතර දෙනෙකුගේ අම්මා කෙනෙක්. ඇය ඇගේ සැමියාගෙන් දැඩිව හිංසාවට ලක්වෙනවා. සාමාන්‍ය සමාජයක සිද්ධ වෙන්න ඕනි සොරයා කියන ගැහැනියට සැමියාගෙ හිංසාව නැතිවෙලා ඇයට සාර්ථකව පවුල ගෙනියන්න සමාජය සහ නීතිය උදව් කරන්න එක. නමුත් සොරයා ඉන්න ගමේ දේශපාලනය සහ සංස්කෘතිය අහිංසක සොරයාට හරස් වෙනවා. සොරයා අහිංසකද නැද්ද කියලා හරියටම කියන්න බැහැ. නමුත් සොරයා මුහුන දෙන අත්දැකීම් ඉතාම කටුකයි. 

ස්ටෝනින් ඔෆ් සොරයා කියන මේ චිත්‍රපටිය තුල කියවෙන්නෙ ඉස්ලාමීය දැඩි නීති රීති පවතින ඉරානයේ ගමක සිදුවීමක් ගැන. ඒකෙදි ගැහැනියකට ගල් ගසා මරාදැමීම කියන අමානුෂික සිද්ධිය සහ ඒ ගල් ගැසීමේ තීන්දුව ලැබීමේ පිලිවෙල ගැන මනා කතාවක් ඉදිරිපත් වෙනවා. මම කඩුවෙන් ගහලා දඩුවමක් විදියට මරන සිද්ධියක් මුලින්ම දැක්කෙ රිසානාගේ සිද්ධිය කාලෙ ඉන්දුනීසියානු ගෑනු කෙනෙක්ව මරන යූ බට දර්ශනය. මේ ෆිල්ම් එක කුඩා කතාවක් වුනත් විශාල සමාජමය අතින් පුලුල් කතිකාවතතක් ඇති කරනවා. 

මුස්ලිම් ආගමට විරුද්ධ අයට මේ ෆිල්ම් එක ගොඩක් වටිනවා. ලංකාවෙත් එහෙම අය කන්ඩායමක් ඉන්න නිසා එයාලටත් මේක බලලා ගොඩක් ලේ කෝපකරගන්න අවස්ථාවක් ලබාගන්න පුලුවනි. ඉස්ලාම් කියන්නෙ දැඩි නීති සහිත ආගමක්. කුමන ආගමක් වුවත් අදහන්නෙ මනුෂ්‍යයින්. මනුෂ්‍යයින්ගේ ජීවන ස්වභාවය කාලය අනුව නීති පද්ධති වෙනස් වෙන්න ඕනි. දැන් ඉස්ලාම් ආගම අදහන අන්තවාදී අය ෂරියා නීතිය ගේන්න ඕනි කියලා ලොකු උනන්දුවක් ඇතිකරගෙන ඉන්නවා. කුරානය සම්පූර්ණයෙන් කියවා අවබෝධ කරගත් අයෙක්ට සම්පූර්ණයෙන් සහතික වෙන්න පුලුවන්ද ඔබකුරාණය අනුවම ජීවත් වෙනවා කියලා? මම හිතන්නෙ අදකාලෙ ඉස්ලාම් ආගම අදහන බොහෝ දෙනාට ඒකට ඔව් කියල උත්තර දෙන්න බැහැ. මොකද අපි මිනිස්සු විදියට නොදැනුවත්ව හරි අපි අතින් වරදක් වෙන්න හැකියාවක් තිබෙනවා. ඉතිං ඔබ අදහන පොත අනුව ඔබ විශ්වාස කරන පොත අනුව ඔබට සියයට සියයක් ජීවත් වෙන්න බැරිනම් ඔබට තියෙන අයිතිය මොකක්ද පොතේ තියෙන දඩුවම් ඒ විදියටම අකුරටම මිනිස්සුන්ට නියම කරන්න..

පොඩි වෙබ් අඩවියක් තිබෙනවා ජනසංසදය කියලා.අපේ රටේ නීතිය ක්‍රියාත්මක කරන මහත්වරු නීතිය ක්‍රියාත්මක කරන ආකාරයේ තියෙන කැත ගතිය මේ ජනසංසදය අඩවියේ තිබෙනවා. මිනිහෙකුට දෙන්න පුලුවන් කැතම ආකාරයේ දඩුවම් දෙන්න අපේ රටේ පොලිස් නිළධාරින් පෙළඹුන අවස්ථා තිබෙනවා. ලෝකෙ කොච්චර ඉස්සරහට ගියත් තාමත් අපේ සමාජයෙ පොලිසිය සහ නිතිය කියන්නෙ මහ අමුතු දෙයක්. පොලිසිය පොඩි මිනිහාට සලකන විදියට නෙමෙයි යමක් කමක් ඇති මිනිහාට සලකන්නෙ. අපේ රටේ ෂරියා නීතිය නැහැ. නමුත් ඉඳලා හිටලා ඒ වගේ සිදුවීම් වාර්ථා වෙනවා. පහුගිය කාලෙ සුද්දෙක්ට ගහලා මරලා ඒ යාලුවෙල හිටිය කෙල්ලත් දූෂනය කරපු කතාවක් තංගල්ලෙන් වාර්ථා වුනා. ඒ ගම්බද ලොක්කා හිතන්න ඇත්තෙ පොරට පිටරට මිනිහෙක් මරන්න තරම් නීතිමය හැකියාවක් තිබෙනවා කියලා. ඉතිං ඒහෙම නීතිමය බලයක් නැහැය. ඌ කලේ වරදක්ය කියලා දැනෙන්න නම් මිනිහා හිරේ යන්න ඕන. අඩුවශයෙන් මිනිහා දරපු ප්‍රාෙද්ශිය නිලයෙන් හරි ඉවත් කරන්න ඕනි.  නමුත් එහෙම වුනේ නැහැ. ආන්ඩුවෙ ඉහලම තැන්වල ආනුභාවය අනුව අපිට බැලූ බැල්මට පේන්නෙ මිනිහා කල වැඩේ හරිය කියන්න වගේ හැසිරීමක්. 

මං එක් කාලෙක උසස් අධ්‍යාපන ආයතනයක ඉගෙනගත්තා. ඒකෙ සැරට රැග් එක තිබුනා. රැග් එකට ඒ නම කියන්නෙ නැහැ ඒකට දැන් කියන්නෙ පරිවාසය හෝ වෙන නමක්. ළමයින්ට කුනුහරුපෙන් බනිනවා. ළමයින්ව කැත විදියට විහිලුවට ලක් කරනවා. ශාරීරික දඩුවම් ලබාදෙනවා.. මේවා දකින කිසිම අධ්‍යාපනයක් නැති ඒ ආයතනයේ වැඩකරපු පිරිසිදු කරන මිනිස්සු ගෑනු සමහර දෙනෙක් කඳුලු පිරුනු ඇස් වලින් අර ලමයිට වෙන හිරිහැර වෙලාවකට බලාගෙන ඉන්නවා. සමහර ලෙක්චර්ස්ල සීනියස්ල මේවා දැනගෙන හිටියත් එයාලගේ කන් ඒ වෙලාවට වැඩකරන්නෙ නැති විදියට තමයි එයාල ඉන්නෙ. 

මාසයක් දෙකක් රැග් එක තිබිල කුනු වතුර බාල්දි ඔලුවට හලලා වැඩේ ඉවර කරනවා. ආයිත් තව අවුරුද්දකින් බැලුවාම ඒ ළමයිම ඊළග බැජ් එකට රැග් එක දෙන්න පෝලිං ගැහිල ඉන්නවා. කලිං රැග් එකේදි ඉතාම අමානුෂික විදියට හැසිරුන ළමයින්ට කැතම වචනයෙන් බැනපු ලොකු සද්දයක් තියෙන කටවල් තිබුන අයියලයි අත්වල රැග් එක කාපු නංගිල එල්ලිලා පෙම් කෙල කෙල ඇවිදිනවා පේනවා. ඒ විදියට ඒ සංස්කෘතිය විශ්වවිද්‍යාල උප සංස්කෘතියක් කියලබෝඩ් එකකුත් එල්ලගෙන ඉස්සරහට අරගෙන යන්න අර බුදධිමත් සිසුන් පෙල ගැහිල ඉන්නවා. නමුත් යාන්තං ඉස්කෝලෙ ගිහිපු වැසිකිලි පිරිසිදු කරන රැකයාව කරන මිනිස්සුන්ට තේරෙනවා මේ උසස් පෙල සමත් වෙලා තේරිල ඉන්න උගත් ළමයි කොරන්නෙ සහ කරනකල් බලං ඉන්නෙ මහ අමානුෂික දෙයක් කියලා.

දෙවන ලෝක යුද්ද කාලෙ සමහර ජර්මන් උගතුන් බුද්ධිමතුන් පවා යුදෙව් ජාතිකයන් තොග ගනනින් මැරෙන එක දිහා ඇහැ කන වහගෙන බලාගෙන සිටියා. ඒවාට අනුබල දෙන්නත් ඇති. ඒ ගෑස් කාමරවල මිනිස්සු මරන්න ගෑස් නිකුත් කරපු අය තමුන් මහා විශාල රාජකාරියක් කරනවා කියලා හිතන්නත් ඇති. ඒ කාලෙ ඒකට විරුද්ධ වුන අය ගැන හිට්ලර්ගේ හමුදාව විතරක් නෙමෙයි ඒ සමාජයේම බහුතර මිනිස්සු විරුද්ද වෙන්න ඇති. 

වත්මන් ඉස්ලාමීය සමාජයන් තුලත්  ඒ නීති වලට විරුද්ධ මිනිස්සු ඇති. නමුත් හිතේ තියෙන විරෝධය ගතින් දක්වන්න ගියොත් වෙන්නෙ ජීවිතේ නැතිකරගන්න. යුක්තිය සාධාරනය වටා මිනිසුන් ඒකරාශී වනවාට වඩා ඉතාම ඉක්මනින් මිනිස්සු ගෝත්‍රිකත්වය ජාතිකත්වය වටා ඒකරාශී කරගන්න පුලුවන්. මිනිස්සුන්ට එහෙම වෙන්නෙ අවුරුදු දාස් ගානක් වනාන්තරේ පොඩි පොඩි ගෝත්‍ර විදියට ඉදලා අවසාන අවුරුදු සිය ගණන පමණක් අපි ගෝත්‍රිකයන් නොවුන නිසා වෙන්න ඇති.

සොරයා දිහා බලලා ඉස්ලාම් ආගමට ගල් ගහන්න ගල් ලෝඩ් කරගන්න පුලුවනි. සොරයාට ගල් ගහන මිනිස්සු  කිලෝ 1.2කට ආසන්න  මොළයක් තියාගෙන ගල් ගැසීම ඒ තරම් උද්යෝගයෙන් කරන්නෙ ඇයි කියලත් හිතලා බලන්න.

සොරයාට ගල් ගැසීම.  

කිහිපදෙනෙක් එක්ක එකතුවෙලා චිත්‍රපටි ගැන කතා කරන්න චිත්‍රපටි පිස්සෝ කියලා ගූගල් ගෘෘප් එකක් අටවගෙන තියෙනවා. ඒකෙ මාත් ඉන්නවා. කැමති අයට පුළුවන් ඒකට ඇතුලත් වෙලා චිත්‍රපටි ගැන අදහස් හුවමාරු කරගන්න. 

Thursday, November 21, 2013

ලියවැල් දෙක ගස ඔතාගනීද

මූද අයිනෙ ඉන්නව නාකි මිනිහෙක් ..හැමදාම මූදු හුළඟ වදින මායිමේ ඉන්නෙ. මිනිහා හැමදාම දකිනවා මුහුදෙ නාන විදේශිකයො. පෙම් කරන ජෝඩු.. ළමයි හැමෝම ඇවිත් මුහුදෙ නානවා. ගෙවල් වල බල්ලො පවා වෙරළට එක්කරං ඇවිත් සෙල්ලම් කරනවා. මේ මනුස්සයාට තිබුනෙ මුහුද ගැන බයක්ද? නැත්තං සබකෝලයක්ද? මුහුද අයිනෙ ඉඳන් හැමදාම මුහුද දිහා බලං හිටියට මේ මනුස්සයට රැල්ල පාගන්නවත් කිසිම උනන්දුවක් තිබුනෙ නැහැ. අනික බලෙන් මුහුදට උස්සං යන්න තරං යාලුවන්ට නෑයින්ට උවමනාවක් තිබුනෙත් නැහැ. හැමෝම හිතුවෙ මිනිහ ඔය මුහුද අයිනට වෙලා හුලං වදිනකං ඉන්න වෙලේ කවුරුත් නැති කාරුත් නොදකින වෙලාවට හරි මුහුදු වතුර ටිකක් නානව ඇති කියලා.

මූදෙ නාල එන අය මූදට යන අය එක්ක ගොඩක් සම්බන්ධකම් මේ නාකියට තිබුනා. නමුත් මිනිහා මුහුදු වතුරට බයයි කියලවත් මුහුදු රැල්ල පාගල නැහැ කියලවත් කාටවත් කිවුවෙ නැහැ. මුහුදු රැලි ගැන කතාකරනකොට මිනිහත් පැනලා තමුන්ට හැකි පමණින් අදහසක් දානවා. ඉතිං කස්ටිය හිතුවා මිනිහා පේන්නෙ නැති වුනාට ඉස්සර හරි රැල්ල පාගන්න ඇති කියලා. රැල්ල මිනිහට අපිට තරං ආතල් නැතුව ඇති. කියලත් කස්ටිය හිතුවා. නාකියා ඇත්තටම මුහුදට ආසයි. රැලිවලට පෙරලිලා නාන්න හරි ආසයි. ඒත් ඒ හැම එකටම වඩා ඉදිරියට අඩියක් තියලා රැල්ල ලගට යන්න මහ පුදුමාකාර බයක් නාකි හිත ඇතුලෙ ගල්වෙලා කොන්ක්‍රීට් වෙලා තියෙනවා.

මටත් ප්‍රේමය කියන සංසිද්ධියම අර නාකිය දකින මුහුද වගේ..නහය ළඟින් කට ගාවින් ඇදුනත් ප්‍රේම කරන අය දස අතින් දැක්කත්, ප්‍රේමය ගැන තියෙන කවි කතා නාට්ටි සිනමා පටි සිය ගනන් බැලුවත් මට ප්‍රේමය කියන්නෙ ආගන්තුක දෙයක්. හරියට අර මිනිහ මූද ගාවට වෙලා නාන අය දිහා බලං හිනාවෙවි කමෙන්ට් කර කර හිටියට මිනිහා කවදාවත් රැල්ල පාගල නැහැ වගේ. මුහුදු වතුර ටිකක් කකුලට වැටුනම ඇග වටේ යනකොට කොච්චර සීතල ඇත්ද. ඒ වගේම රාගී දෑසින් මගෙ ඇස් කෙවනි ඇතුල බලන යුවතියක් මාව වෙලාගෙන “ මං ඔයා හිතනවාටත් වඩා ඔයාට ගොඩාක් ආදරෙයි පැටියෝ “ කියනකොට මොන තරම් සනීපයක් ඒ පෙම්වතුන්ට දැනෙනව ඇතිද? සිනමා පටියක් ඇතුලෙ නවකතාවක සාරුක් කෙනෙක් දම්මි සුගත් කෙනෙක්ට ආශක්ත වෙලා ඒ විඳීම විඳිනවට වඩා සිරාවටම ඒ ආලය දැනෙන කොට කොයි තරම් අමුතු හැඟීමක් දැනෙනව ඇත්ද? අනේ අදත් බැහැ අදත් හරිම හීතල දවසක්.බාගෙදා මුහුදු වතුරත් හීතල ඇති. මගේ නාකි හිත හැමදාම මගේ ළඟින් ඇදෙන කෙල්ලො දිහා බලලා හීල්ලුවා.

ඉස්සර ඩබල් කෙහෙල් ගෙඩි කනකොට අපේ නෑනලාට නංගිලාට හෙම අම්මල වැඩිහිටියො ඩබල් කන්න දෙන් නැහැ. මොකද ගෑල්ලමයි ඩබල් කෙහෙල් කෑවම ඩබල් බබාල ලැබේවිය කියලා වෙන්න ඇති. බාගෙදා මිනිස්සු දෙන්නෙක් කසාද බැදගන්න ලැබෙයි කියන බයටත් වෙන්න ඇති. උන්ට කන්න නොදුන්න ඩබල් කෙහෙල් මං පැනල කෑවා. කෑවට මොකද දැන් තමයි රගේ තේරෙන්නෙ. මේ මා සම්බන්ධව එන ප්‍රේම සිද්ධි දාමයේ එන තවත් එක ඩබලක් විතරයි. ඇයි ඒ ඩබල්ම එන්නෙ. ඩබල් කියන්නෙ කෙල්ලො දෙන්නෙක් එකතුවෙල අර ටිබල් වල වගේ අපිව කන්න හදනවාට නෙමෙයි. එකම කාලෙකදි ආදරය කරන්න කෙල්ලො දෙන්නෙක්වම සෙට් වෙන එක තමයි මට අනුව ඩබල්. මේවා ආදරද? අනේ මන්දා. ඌට උගේ නොවන උගේම ආදරයක් නැති නිසා කොට්ටෝරුව වගේ හැම එකටම අනින්නයි බලං ඉන්නෙ. බාහිර නිරීක්ෂකයො හෙම කියනවාත් ඇති.

අක්කා නංගී, යාලුවො දෙන්නෙක්, නෑදෑවියක් සහ යාලුවෙක්, මිස්ලා දෙන්නෙක්, ආදි වශයෙන් මට කරුණාව දක්වපු ඩබල් ගොඩායි. ඒ අතරින් ඔය ඩබල් හේතුව නිසාම නැතිවෙලා ගිය කතා තුන හතරක්ම තියේ. සමාර අය පුදුම අකමැතියි එහෙම ආදරේ හඳුන්කූරු විකුනන්ට වගේ හැමෝටම බෙදන අයියලට. එයාල වංචාකාරයො. ඒත් වංචාකාරයින්ගෙන් නියම වංචාකාරයා කියලා අදුනගන්න ලැබෙන්නෙ වංචාව හරියට කොරාගන්න දන්නෙ නැති මං වගේ උන්. හරියට කොරන උන් හරියට දක්ෂ ඩෙංගු මදුරුවො වගේ..ඇන්නා වෛරසේ දුන්නා පැන්නා.

අචලා සහ ගයනි කියන්නෙ දෙන්නෙක්.කාල දෙකක මං සම්බන්ධ වෙලා ඉන්න කන්තෝරුවකට වැඩට ආපු ට්‍රේනින් කෙල්ලො දෙන්නෙක්. දෙන්නම නිලියො නෙමෙයි. ඒත් ගමේ කෙල්ලො තරම්ම කුලෑටිත් නැහැ. සිංහලෙන් කිව්වොත් සංවර්ධනය කලොත් හොඳ ගනන් වලට විකුනත හැකි ඉඩං කෑලි දෙකක් වගේ. වැඩිය මේක් අප් දාන්න විච්චූරන කරන්න උන්ට සල්ලි නැහැ. ඉගෙනගන්න සහ වෙනත් වැඩවලට ලොකු ගනන් වලිං වියදං වෙන නිසා සහ අවුරුදු විසිගනන් වල යැපෙන්නන් වන නිසා ඔවුන්ගේ අතමිට සරු නැහැ. ඔවුන් අයිති මධ්‍යම පන්තියට නිසා ඔවුන්ට ලොකුවට සල්ලි විසික් කරන්න හැකියාවකුත් නැහැ. ඈතින් දැක්කත් කෙල්ලො කියන්න පුලුවන් මට්ටමේ ගැහැනු ලලනා ලක්ෂන දෙන්නාටම තිබුනා. සිංහබාහු එකේ සිංහයා විස්තර කරනවා වගේ නිය මේමයි, දත් මේමයි, ලොං මේමයි,කේසර මේමයි. කියලා මට විස්තර කරන්න බැහැ. කොහොම වුනත් දෙන්න කෙල්ලො දෙන්නෙක් විදියට ටිකක් ලස්සන තියන ආඩම්බර නැති කෙල්ලො දෙන්නෙක්. දෙන්නම එකම ජාතියෙ විශයකට ට්‍රේනින් ආපු දෙන්නෙක්.

කලිං ආපු අචලා සහ ගයනි අතර ගතිගුන වෙනසක් නම් එහෙමටමලොකුවට නැහැ. හැබැයි ගයනි වයසින් අවුරුදු හතරක් විතර අචලාට වඩා අඩුයි. ඒ නිසාමද මන්දා ගයනි පොඩි දේටත් මහ ලොකුවට කලබල වෙනවා. දවසක් පොඩි විහිලුවක් දුරදිග ගිහින් ඉස්ටෙපල් පින්ස් ගහන මැසිම අරගෙන මට ගහන්නත් ගියා. ගැහුවෙ නැහැ. මොකද එයාට ක්ෂනයකින් මේක කන්තෝරුවක් කියලා මතක් වුනා. අචලා ලොකු වේදනාවක් කරේ තියාගත්ත ගෑනියෙක්. අචලාගේ තියෙන සුන්දර කෙලිලොල් ගතියට හරියන්න මිනිහ සෙට් වුන් නැහැ. ඒකිගෙ කොල්ල මහ වාතයක්. පොඩි මැසේජ් එකක් ලීක් වුනත් පොරට සැකයි කෙල්ල ගැන. පවු කෙල්ල. ඒ නිසාම අචලා මාව හමුවෙන හැමවතාවෙම ගොඩක් හිනාවෙලා ඉන්න බලනවා. ගොඩක් වෙලාවට ඒ පෙම්වතා ඩයල් එක අනුවම පුරෝහිතයෙක් වගේ හැමතිස්සෙම කෙල්ලට උපදෙස් දෙන මොඩල් එකේ පෙම්වතෙක් වෙන්න ඇති.

ගයනිගේ එකා මොන වගේද කියල දන් නැහැ. ඒත් එකෙක් ඉන්නවා. ගයනිලාගේ යුගය අදට අයිති එක මේ දෙන්නම චූ කරන්න යන ඒවා පවා මැසේජ් වලිං කොල්ලන්ට කියන ඩයල් දෙකක්. ටේනින් ආපු මුල් දවස් වල හැමදේම වෙන්ඩ සැමියාට කියනවා. පස්සෙ ඒක ටික ටික අඩුවුනා.

අචලා හිටපු මාස හය ගෙවිල ගියාට මොකද එයාට ඩිග්රිය ඉවර වෙලා පොඩි කන්ට්‍රැක් පිරියඩ් එකකට ආයි අපෙ කොම්පැනියෙම වෙන තැනකට එන්න ලැබුනා. එහෙම අචලා අපේ සෙක්සන් එකෙනුත් ගිහින් මාස ගානක් ගියාට පස්සෙයි ගයනි ආවෙ. ගයනි අචලා ගැන දැනගෙන හිටියා. ඒ වෙනකොට අපේ ඔපිස් වල ඉන්න අල ගෝනි වගේ බඩවල්, අලි සයිස් කෙහෙල් කොට වගේ කකුල් වතුර පුරෝපු සොපින් බෑග් වගේ එල්ලෙන තන් සහිත නාකි වෙමින් පවතින ගෑනු ටික ගයනිට කේලම් කියල තිබුනා මං ගැන. ඒ වගේ සෙම පිරුන මස් ගොඩවල් වලට ලයින් දානවට වඩා හොඳයි හැන්දෑවට පාන් බේකරියක පිටි අනන්න යනවා.

අවුට් ඔෆ් ෂේප් ඇඟ කෑල්ල අමාරුවෙන් කලිසම ඇතුලට දාගෙන ඒකට බැරල් බාගයක් වගේ හරියට රවුං වෙච්චි බ්ලවුස් එකක් ගහගෙන එන මේ ගෑනු හිතන්නෙ බඩු කියලා. ඇත්තටම අපේ කොම්පැනියේ මේ නාකි වෙමින් පවතින බැරල් වලට වාහන ඕඩර් කරනකොට තවදුරටත් වාහන වලට වායු බැලුන් අවශ්‍ය නැහැ. මොකද ඒ කර්තව්‍ය පිනිසම නිමවුනු විසල් බඩක් ඒ බොහෝ දෙනාට උරුම වෙලා තිබෙනවා. ස්ත්‍රියකගේ ඉදිරිපස ශරීරයේ ඇති වටකුරු පියරුරු වල දසුනින් පුරුෂයින් කුලප්පු වන ගතියක් තිබෙනවා. ඒ නිසාමදෝ මන්දා මේ නාකි ගෑනු ටික වටකුරු විශාල බඩක් බොහෝ විට හොඳට නඩත්තු කරනවා.

 අපේ ඔෆීෂියල් වැඩක් කරගන්න පොඩි පොතක් දානවා හැර..   උන් දිහා බලලා මනසට වින්දනයක් ගන්නෙ කෝමද ? බැහැ නෙව ඒක කොරන්න. ඒනිසාමද මන්දා ට්‍රේනින් එන පුංචි කෙල්ලන්ට පතිවත රැකගන්නා සැටි ගැන මුං ලෙසන් දෙනවා ආපු දවස්වලම. ඒ මදිවට බයකරනවා. ඒ අයියා මාර ගතී, ඉඩ දුන්නොත් ඇන පනිතී කියලා නරක කතා කියනවා. ඉතිං කෙල්ලො සේප් කරගන්න අපිට තව ලොකු බලයක් යොදන්න වෙනවා ඔය තත්වය මත.

කෝමහරි ගයනි ෂේප් වුනා පලවෙනි දෙවනි දවසෙම. මීට කාලෙකට පෙර අචලා සෙට් වුනා වගේම. වැඩි දෙයක් නැහැ.අපි කන්තෝරුවෙ වැඩ නැති වෙලාවට කතා කරමින් ඉන්නවා. කඩවලට තේ වතුර බොන්න යනවා. එක එක දේවල් ගැන කතාකරනවා. හිනාවෙනවා. මේ අතර අපේ අචලා ඉන්නෙ වෙන තැනක. ඉදලා හිටලා මගකදි හමුවෙනවා ඇර අචලා මට මුනු ගැහුනේ හෙන අඩුවෙන් පහුගිය කාලෙ. ඒත් අලුත් ළමයෙක් මෙතන්ට අාව දවස්වලම වගේ මට කෝල් එකක් ආවා. වෙනත් විස්තර ගානක් කතා කරලා කෝමද අලුත් කෙනා කියලත් ඇහුවා.

අචලා පෝන් එකක් ගත්තා. එයා සෙටිං ගැන දන්නැහැ. මං ඒවා හදලා දුන්නා. අචලාට සිංදු ඕනි වෙලා තිබුනා. මං මං ගාව තිබුන හත් පරන පෝල්ඩර් ටික ගිහින් දුන්නා. ඒකටත් ගොඩක් තෑන්ක්ස් කලා. තව අචලට ඕනි වෙලා නත්තලට නෑයින්ට ඇදුන් ගන්න මා්ත එක්ක කඩවල් ගානෙ පැය දෙකක් විතර රස්තියාදු වුනා වෙනදට එන යාලුවත් නැතිවම. මේ හැම දෙයක්ම සති දෙක තුනකට වුන දේවල්. අචලා මොකක් හෝ කරුණක් නිසා හෝ ඉතාම අහම්බෙන් හෝ ආයෙත් මාත් එක්ක සම්බන්ධ වෙනවා. දැන් හැමදාම හවස හෝ උදේ තේ බොන්න යන්නෙ අචලා එක්ක. ඒ වගේම අනිවාර්යෙන් කෝල් එකකුත් එනවා.

ඔය අතර ගයනි මේ හැමදේම දන්නෙ නැතත් යම් යම් දේ දන්නවා.දවසක් ගයනි එක්ක කතා කර කර ඉන්නකොට සින්දු තියෙන චිප් එක අරං එන්න පුලුවන්ද කියලා අචලා කතා කරලා ඇහුවා. එදා ඉදලා ගයනිටත් සිංදු අහන්න ඕනි . ඒ මදිවට එයාටත් චිප් එකම ඕනි. කලිං හිටිය අචලගේ ටේනිං රිපොට් එකෙන් බාගයක්ම මගේ. කාලයක් ගයනි කිය කිය හිටියෙ ඒකටම පොඩ්ඩක් වෙනස් කරල අලුත් එක ගහනවා කියලා. ඒත් ලගදි කියනවා. මං අලුත්ම එකක් හදන්න යන්නෙ. ඔයා මට සපෝට් කරන්න ඕනි කියලා. ඇයි දෙයියනේ මැසින් එකේ බබා වගේ සොෆ්ට් එකක් තියෙද්දි අලුත්ම එකක් හදන්න යන්නෙ.

ඔය අතර ගයනිටත් කොහේද නැති තේ වතුර බොන්න යන අමාරුව වැඩි වෙනවා. කන්තෝරුවෙ වැඩ අඩු නිසා ඉතිං ඔය ඩබලක් එක්කම තේ බොන්න යත හැකි. ඒත් සමාර දවසට තේ වතුර තුනක් බොන්න වෙන වෙලාවල් තියෙනවා. තැන් තැන්වල ගිහින් තේ බීල ඇවිත් කන්තෝරුවෙ තේ එක එපා කිව්වොත් ටික දවසක් යනෙකොට මූ එලියෙන්ම බොයි.. මූට තේ ඕනි නැහැ කියල මාක් කරාවි. ඒ නිසා ඒකත් බොනවා. .

අචලා ඉන්න තැන ටිකක් වෙලාවට තමයි වැඩ. ඒක හොදට ගියා. මොකද අචලා එන්නෙ එකම වෙලාවකට. ගයනි ඉන්නෙ අපේම වෙනත් ලොකේෂන් එකක නිසා එතන කොයි වෙලාවත් එකයි. අපි හිතං ඉන්න ලෝකෙ මේ ට්‍රේනර්ස්ල නැහැ. වර්ඩ් වල දෙයක් කරන්න කිව්වාමත් ටූල් එක හොයාගන්න බැරිව සමාරවිට එලෝ මෙලෝ නැතිව ඉන්නවා. ඒ වගේ වෙලාවට මට මවුස් එකෙන් අල්ලලා කී බෝඩ් එක ඔබලා කියල දෙන්න වෙනවා. දැන් තේරුනාද කියල මූන හරවනකොට කෙල්ල ඇස් දෙක දිහා බලනවා. සමහර වෙලාවට ගයනි හරිම මුරන්ඩුයි. ඇස් ඉවතට ගන්නෙම නැහැ. එතකොට මම පරාද වෙනවා. අචලා නම් ඉස්සර පොඩ්ඩක් එහෙම වුනත් ඇස් දෙක අයින් කරගන ආයිත් හොරාට හොර බැල්ම දාගෙන ඉන්නවා.

මෙහෙම වෙන්නෙ අර ඛාන් වගේ මම ලස්සන නිසා නම් නෙමෙයි. අපේ කොම්පැනියෙ ඉන්න තරමක් ඉන්නෙ නාකි. ටිකක් හරි වයසක තරුණයො හරි ඉන්නෙ අපි තමයි. ට්‍රේණින් නංගිලාට කතා කරන්න හිනාවෙන්න ගනුදෙනු කරන්න පිරිය සෙට් එකක් විදියට ඉන්නෙ අපි තුන හතර දෙනෙක් විතරයි. එතනිනුත් මාව ටිකක් අල්ලලා යනවා. මොකද මට දැන් මෙතන වෙන ඕනි දෙයක් සරලව කියල දෙන්න පුලුවන් මගේ එක්ස්පීරියන්ස් එක වැඩි නිසා.

මේ ප්‍රේම හුටපටය ඇතුලෙ තියෙන්නෙ බහු අස්‍ර ගොඩක්. මේවා සම කෝනී ත්‍රිෙකා්ණ කියල ගන්න බැහැ. ගයනිටත් අචලාටත් එයාලගේ ඔරිජිනල් කනෙක්ෂන් එකට වඩා මේ අලුත් හොර වයි ෆයි එකේ පොඩි ආතල් එකක් දැනෙනවා. ඒකත් වැඩිවෙලා තියෙන්නෙ තරඟකාරියො දෙන්නෙක් ඉන්න නිසා. කෝමහරි මූද අයිනට වෙලා කවදාවත් වැල්ල පාගපු නැති මට ඈතින් කුණාටුවක් පේනවා. සමහර විට දැන් සතියකට ඉස්සෙල්ල පිලිපීනෙ මූද අයිනෙ හිටපු නාපු නැති අය, 2004 සුනාමිය වෙලේ මහුදු අයිනෙ හිටපු මූදට පයක් නොගහපු අයට වගේ මටත් මේ අයහපත් කාලගුණය නිසා මූදු වතුර පාගන්න චාන්ස් එකක් ලැබේවි.  පීන පීන කිමිදෙන්න බැරි වුනත් මේ කුණාටුව මට නම් හරිම සනීපයි. වෙනදා මොබිටෙල් කෑල්ල විතරක් මැසේජ් එවන පෝන් එකට දැන් දෙන්නෙක් එකම වෙලාවට මැසේජ් එවනවා.

මාලු නැති මාලු පාන් එක දිහා බලං ඔහෙ ්කිඹුල කිරිමැටි ගිලින්නැහේ ගිලපු මාලු පාන් එක කනකොට හිනාවෙවි බොරු පලන්න සහ බොරු අහන්න කෙනෙක් ඉන්නවා. සීතල යුද්දෙකට මැදි වෙලා මොකක් කොරන්නද කියල හිතන්න දෙයක් තියෙනවා. ඒ වගේම ව්‍යංගාර්තයෙන් කියන ඇනුම් පද සංඥා නාම තේරුං ගන්න මට කල්පනා කරන්න සිද්ද වෙලා තිබෙනවා. ගෑවි නොගෑවි කඩ ගානෙ රස්තියාදු වෙවී අනුන්ගෙ වුවත් තමුන්ගේ කෑල්ල වගේ ලෝකෙට පෙන්වන්න කෑලි දැන් මට ඉන්නවා. කොටින්ම සමාර යාලුවොත් දැන් මට හෙන ඉරිසියයි.

කැන්ටිමෙ වෙනද වැඩියෙන් කෑම බෙදන ආන්ටිලත් මං එක්ක දැන් වැඩිය හොද නැහැ. දෙන්නෙක් එක්ක වෙලාවල් දෙකකදි කැන්ටින් එන නිසා වෙන්න ඇති. තැන් තැන්වල හමු වුනාම කොල්ලොත් ආක මේක කියනවා. “මේ අපේ සෙක්සන් එකෙත් ටේනිං නංගිල ඉන්නව අපිත් එක්ක එක දවසක් එන්න තියා බලන්නෙවත් නැහැ නේ බං? හැබෑට ම තෝ මොනවද බං ඕකුං දෙන්නට දුන්නෙ? “ එකෙක් බැරිමතැන දවසක් එහෙමත් ඇහුවා.

හැමදාම අපි මූද ගාවට යන්න ඕනි නැහැ. කුණාටු වෙලාවට මූදත් අපේ ළගට එනවා. ලොකු විනාසයක් අත ලග වුනත් මට රැල්ල ටිකක් පාගන්නවත් ලැබේවි.. මං වෙනදා වගේම වැල නිලියක් මට අතවර කරන හීනයක් පෙනේවා කියලා ඇස් දෙක පියාගත්තා..

Wednesday, November 20, 2013

උද්ඝෝෂන මට්ටු කරන්නේ ඇයි.

ඔන්න ඉස්සර දැන් වගේ නෙමෙයි. හැමතැනම බෝම්බ. මිනිස්සු අතර බෝම්බ හරි සුලබයි. පොඩි මීටිමක් තිබුනත් බෝම්බ බැඳගෙන හරි තුවක්කු අරගෙන හරි මිනිස්සු ඇවිල්ලා නායකයො මරනවා. 

දැන් බෝම්බ නැහැ. තුවක්කු කාරයොත් අඩුයි මං හිතන්නෙ. ඒත් ඒ කාලෙ තිබුන මැටි වැඩ තාම තියෙනවා. දැනටත් උද්ඝෝෂන කරන අයට අදාල ඇමතිවරු සහ නිළධාරින් හමුවන්න අවස්ථාවක් දෙන්නෙ නැහැ. ඇයි එහෙම වෙන්නෙ. 

අද හවස කාල්ගාන්ත සහ පිරිසක් ජනපති තුමානන් ඉන්න අරලිය ගහ මන්දිරය පැත්තට ලොකු පෙළපාලියකින් යනවා ලොකු බෝඩ් අරගෙන. ඒ අය රු 10,000ක වැටුප් වැඩිවීමක් ඉල්ලනවා. සහ තව ඉල්ලීම් ගොඩක් එක්ක. ඕක විය යුතු විදියටම ගෝල්පේස් එකට මෙහායින් නවත්වන්න ඇති. අරලිය මන්දිරේ දැකලවත් නැතුව කස්ටිය නැවතිලා වතුර හෝ කඳුලු ගෑස් පාරවල් කන්න ඇති. ඇයි එහෙම වෙන්නෙ. 

අරලිය මන්දිරේ මම දන්න විදියට ටිකක් ලොකු තැනක්. ලොකු ඉඩමක්. ඒකෙ කීයටවත් දාහකට හමාරකට කන්න බොන්න ඉඩ මදි වෙන්න විදියක් නැහැ. මොකද චන්ද කාලෙට ඔය මන්දිරේ ඇතුලෙ හැමදාම මීටින් නෙව. මීටින් තියලා මහජනයාට කන්න බොන්නත් දෙනවා. ඔය අද පෙළපාලි ගිය අයත් පෝලිං හය හතක් විදියට පෙළ ගස්වල හොඳට යට ඒවත් අතගාල බලලා ඇතුලට ගන්නයි තිබුනෙ. ඇතුලට අරං කතා කරන්න කලියෙං පොඩි පළතුරු යුෂ එකකින් සංග්‍රහ කරලා ප්‍රශ්ණ ටික කතා කලානම් හරි. 

මං නුවර ගිය වෙලාවෙ ඒ නුවර මහ දළදා මාලිගාවෙ තියෙන පත්තිරිප්පුව දැක්කා. හප්පා. ඒකෙ උස. ඉස්සර උද්ගෝෂණ කරපු ඇහැලේපොලලා කැප්පෙටිපොලලා කන්න බොන්න රා අරක්කු දෙඤ්ඤං කියල සේනාව එක්කරං ඇවිත් හයියෙන් මාලිගේ ඉස්සරහ ඉඳන් කෑ ගහන්න ඇති. ඉන් මනත ඔය ඔක්කොන්ටම පේන්න රජතුමාට ඉන්න ඇහැකි වෙන්න පත්තිරිප්පුව හදන්න ඇති.පත්තිරිප්පුව ළඟ ඉඳලා ලොකු පීකර් කටක් තියෙන කාරුහරි කෑ ගහල රජතුමා කියන උත්තර මහජනයාට දැනුම ්දෙන්න ඇති. 

දැන් උනත් ඔය අරලිය මන්දිරේ ටිකක් විසාලෙට ලොකු පත්තිරිප්පුව වගේ ස්ටේජ් එකක් හදලා ෆ්ලෑෂ් පෑක් නායක තුමා වගේ කාරුහරි මියුසිකල් සෝ තියෙන පොරක් ගෙනල්ලා ලොකුවට සවුන්ඩ් දාල.. ආ මල්ලිලා ඔක්කොම දැන් තියෙන පස්න ටික කියන්ඩෝ.... ඔන්න මං ගනන් කරනවා එකායි.. දෙකායි...තුනායි..... 
දැන් මල්ලිලා කන්ෆියුස්.. මල්ලිලාත් ඕකට ලෑස්ති නොවී එන්න බැහැ. නේ.. එයාලත් දන්නවා මේ අලුත් වැඩක් ඇවිත් කියලා.. මල්ලිලා නංගිලා ඔක්කොම කියනවා ..

රොෂාන් අයියේ.. අපිට ඕනි රොකට්....අද ලංකාවෙ වැඩියෙන්ම ලොකු ප්‍රශ්ණයක් තමයි අපිට කියල චන්ද්‍රිකාවක් නැති නිසා චැනල් පේන්නෙ නැහැ. ඒ නිසා අපිට ජනාධිපතිතුමාගේ පණිවිඩ හරියට පේන්නෙ නැහැ. කියලා කස්ටිය කෑ ගහවි. 
ඉතිං ඒ වෙලාවට රොෂාන්ට නෙමෙයි ඕනි පොඩි එකෙක්ට තේරෙනවා නෙව කවුද ඔය පස්නෙට උත්තර දෙන්නෙ කියලා. ඉතිං විය යුතු විදියට ..
ගගන විද්‍යාව පිළිබඳ උපාධිදාරී ...කියලා තව ඇති නැති හෝ පෙන්ඩින් පට්ටං ටිකක් කියවලා..පිළිගන්න උක්කුං රාජපක්ෂ.. උක්කුං රාජපක්ෂත් ඉන්නෙ ඔය මන්දිරේම නොවැ. උන්දැත් එලියට බැහැලා රොකට් ප්‍රහ්ණයට උත්තර දෙනවා. 

ආර්ථික පස්න නම් බෑසිල් අංකල්, ආරක්ෂක සහ නාගරික ප්‍රශ්ණ නම් ගෝඨ අභය...කාල්ටන් සහ වනිතා ළමා ප්‍රශ්ණ නම් ශිරා ආන්ටී.. දැවෙන තරුණ්‍යයට  හොට පිළිබඳ ප්‍රශ්ණ නම් බාත් ෆ්ලවර්(නා මල්)  රාජපක්ෂ.. ඔසී යන ජනතාවට සහ නාවික ප්‍රශ්ණ නම් මද්දු පුතා.. ඌවේ ප්‍රශ්න සහ ස්කන්ධ කුමාරය සම්බන්ධ ප්‍රශ්ණ නම්  ඒජන්ට් ශෂීන් දර.ට කෝල් එකක් අරං ලවුස්පීකර් දාගතහැකි.. ෆෝන් සහ සිග්නල් සහ ඩේටා මදි පස්න ශමීන්ද්‍ර ..රා ජපක්ෂ.. පාර්ලිමේන්තු සම්බන්ධ ගැටලු ආදිය තියනෙම් ඒවා කතා නායක පක්ෂ. ඔය වගේ ලොකු පරාසයක ජනතා ප්‍රශ්ණ එකම තැනකින් එකම වේදිකාවකදි විසඳන්න පුලුවන්. හැබැයි ඉතිං ජනතාවත් බුද්ධිමත් වෙන්න ඕනි. එහෙම නැතුව ඔන්න උඩරට පැත්තෙ ජනතාව ආර්ථික පස්නයක් විදියට අපිට තේ වවන්න කඳු ගැට දියෝ..කියලා කෑ ගහනකොට ඒ අස්සෙ අපිට බෝට්ටු දියෝ කියලා ධීවර ජනතාව කෑ ගහන්න හොද නැහැ. එතකොට ආතල් කැඩෙනවා සහ නිවේදකයා හිර වෙනවා. 


ඔය ප්‍රශ්ණ අරං යන ජනතාවට කන්න බොන්න නිතර දංසැල් ආදිය පවත්වන්නත් ඕනි. අපේ පෙර රජ දවස බුදුන් වහන්සේ සමයෙත් අනේ පිඩු සිටුතුමා, බිම්බිසාර රජතුමා ආදි විශාල රාජ තේජ මහෝත්තමයන් දන් වැට පවත්වා පැන් කැන් පිළිගන්නවා ජනතාවට කෑම බීම ලබාදෙඤ්ඤ ලොකු වෙහෙස මහන්සියක් ගත්තාය කියලා  පොත පතේ තියෙනවා. ඉතිං ඒ විදියට ඈත පිටකොටුවෙ කොටුවෙ හරියෙන් ජනතාව එක්රැස්වෙනකොට හොඳ ගණින නිළදාරියෙක් හෝ හොඳ කැමරා පද්ධතියෙකින් ගණන බලලා අරලිය මන්දිරෙට එනකොට ඒ අයට තේ වතුර, බීම, ෆලූඩා, රෝල්ස්, මාලුපාන්, බනිස් ආදිය සහ දවල් වෙලා එනවනං දවාට කෑම, උදේ පාන්දර එනවනං උදේ කෑම ලෑස්ති කරලා තියන්න පුලුවන්.

මේ වගේ අවස්ථා දුන්නම අපේ ජනතාව ඒවගෙන් අයුුත පොරෝජන් ගන්න පුරුදු වෙනවා. ඒ නිසා ඒවා මඩින්නත් ආන්ඩුවට ලොකු වැඩපිලිවෙලක් කලින්ම හඳුන්වා දෙන්න ඕනි. නැත්තං පිටකොටු පැත්තෙ නාට්ටාමිලාට හවසට බොන්න නැතිවුනත්..ජනපති තුමනි අපිට අරක්කු බොන්න බැරිවෙන්න බදු වැඩි කල පරයා එලවා අරක්කු මිල අඩු කරනු. කියලා සීයක් දෙසීයක් එකතු වෙලා මන්දිරේට යාවි.  ඕකුන්ට දවසක් ඔතන මනුස්සකමට මන්දිරෙ ගානෙ අරක්කු ටිකක් බොන්න දුන්නම ආයි සම්මජ්ජාතියෙ ඕකුං ඔතනින් හොල්ලන්න බැහැ. ඒ නිසා ඒ වගේ වෙලාව එක සාමාන්‍ය ජනතාවෙක්ට මන්දිරේට එන්න පුලුවන් අවස්තාව දින සීයකට විතර එකවතාවක් විදියට වෙනස් වෙන්න ඕනි. ඒත් ඉතිං හැමදාම ප්‍රශ්ණම තියෙන කාල්ගාන්ත, ටිල්වින්, තිස්ස අට්ටනායක, කුමාරලා.. වගේ අයට සතියට වරක් වගේ ඇතුලට එන්න චාන්ස් එක දෙන්න ඕනි. හැබැයි එනකොට ඇතුලට ගන්න නම් උද්ගෝෂණයේ සෙනග දාහට වැඩි වෙන්න ඕනි කියලත් නීතියක් පැනෙව්වොත් හොදයි. මොකද එතකොට ලොකු සයිස් ඒවා විතරයි ඇතුලට ගන්නවෙන්නෙ. නැත්තං මේ අපේ වාට්ටුවෙ දොස්තර මහත්තයා මට මොට ආයුදෙන් හැන්දෑවෙ තට්ටුවක් දැම්මා කියලා ස්ටයික් කරන නර්ස් නෝනලාත් මන්දිරේට ම ඒවි. ( අර  අහිංසක කොල්ලො තුන්දෙනත් නරක් වේවි ඔය එක එක ගෑනු කුට්ටි පිටින් ඇතුලට ආවොත්..)

මේක හුදෙක්ම විහිලුවක් විදියට පෙනුනත් මේ වගේ දෙයක් කරන්න පුලුවන් නම් හොදයි නේද? හිතන්න ඔන්න සල්ලි තියෙන මනුස්සයෙක් පිටරට එක්ක කතා කරලා පොල් ලෙලි වලිං බුරුසු හදන්න පටන් ගන්නවා. මේ මනුස්සයා මුලදි සේවකයො දහයක් දොලහක් අරං වැඩ කරනවා. පස්සෙ අර සේවකයො මදි වෙලා දැන් එතන සේවකයො සීයක් දෙසීයක් වැඩ. මේ දෙසීයක් විතර සේවකයො අස්සෙ ඉන්නවා එක්තරා පක්ෂයක යූනියන් කාරයෙක්. පොර ඉතිං මිනිස්සු කුලප්පු කරලා යූණියන් එකක් අටවගෙන දවසක් මහ හයියෙන් අර පොල් බුරුසු කොම්පැනිය ඉස්සරහ උද්ගෝසනයක. දියව් දියව් තමයි හයියෙන්ම ඇහෙන වචන ටික. ඔය වගේ වෙලාවට තමුන්ගේ කොම්පැනිය තියෙන තැන.. තමුන් ණය වෙලා තියෙන තරම.. තමුන් මේ වියාපාරෙ ගොඩනගාගත්ත හැටි අර බුරුසු කොම්පැනියෙ අයිතිකාරයට කෙළින්ම යූනියන් අය නැතුව සියලු සේවකයින්ට ලොකු පීකරේකින් කියන්න පුලුවන්. 

ඒ වගේම තමුන්ගේ කොම්පැනිය අනික් කොම්පැනි එක්ක බලනකොට ගෙවන වැටුප් සහ ප්‍රතිලාබ වල වෙනස. කම්පැනිය දියුනු කරන්න සල්ලි ඉතිරි කරගන්න එකේ තියෙන වැදගත්කම. කම්පැනිය මේ වගේ වැඩ නිසා කඩා වැටුනොත් වෙන අබාග්‍ය සම්පන්න තත්වය..  අර බුරුසු කොම්පැනියෙ අයිතිකාරයාට කෙලින්ම ජනතාවට පැහැදිලි කරලා දෙන්න පුලුවන් නම් හොදයි. එතකොට මිනිස්සුන්ට අර ලොක්කා කෙරෙහි සැබෑ බැඳිමක් ඇතිවෙනවා.එ ්වගේම තැන් තැන් වලට කඩේ ගිහින් වැඩ නොකර මිනිස්සුන්ගේ තුට්ටු දෙක එකතු කරගෙන යූනියන් අටවලා කොම්පැනි වට්ටලා මිනිස්සුත් පාරට බස්සගෙන කෝලං කරන කෝලං කාරයින්ට යන එන මං නැතිවෙනවා.

යූනියන් කියන්නෙ හොඳ සංකල්පයක්. හැම දේකටම විකල්ප අදහස් තිබෙනවා. සමාගම් හෝ ආයතන ගැන විකල්ප මානයකින් දකින්න වෘත්තිය සමිති හේතු වෙනවා. නමුත් මා දකින ලාංකිය වෘත්තිය සමිති කියන්නෙ අමුතු දෙයක්. සැබෑවටම සේවක ප්‍රශ්ණ වලට වඩා වෙනත් ගැටලු තමයි ඉස්සරහට යන්නෙ. ඒ වගේම නිතරම වැටුප සහ ප්‍රතිලාභ පිණිසම පේ වෙච්ච සෙට් එකක් තාමත් ලංකාවෙ ගොඩක් යූනියන් වල ඉන්නවා. කාල්ගාන්ත කියන්නෙ මං දකින විදියට වෘත්තිය සමිති මුවාවෙන් ඉතාම පටු දේශපාලන අවශ්‍යතා දිනාගන්න හදන අවස්ථාවාදියෙක්. . මං නොදන්න හින්දා ඔ්ය කාල්ගාන්තසෙට් එකට කඩේ යන අයගෙන් පොඩි ලිස්ට් එකක් ඉල්ල ගන්න ඕනි කියල හිතුවා.. කාල් ගාන්ත මැදිහත්වෙලා විසඳපු වෘත්තිය ගැටලු මොනවද? දිනාගත් සටන් මොනවද? 

ප.ලි :- මේ ලිපිය අවසාන කිරීමට කාල් මාක්ස්ගේ ප්‍රාග්ධනය නම් කෘතිියේ වැඩි වැටුප් ඉල්ලා නිතර උද්ඝෝෂනය කරන වෘත්තිය සමිති වල ඇති නිසරු සහ අසාර්ථක බව පිළිබඳ වූ කොටසක් උපුටා දැක්වීමට අවශ්‍ය වූ මුත් අවාසනාවට මා ළඟ දැන් ඒ පොත නැත.

Thursday, November 14, 2013

මානසික කක්කබර නැතිකරන ෆේස්බුක්

කාලයක් බුදු හාමුදුරුවො කුඹුරක් අසලින් දිනපතා වඩිනවා. දවසක් ගොවියා සීසානවා. තව ටික දිනකින් ගොයියා ගොයම් හිටවනවා.තව දවස් ටිකකින් ගොවියා කුරුල්ලො එලවනවා. කුඹුරට පෝර දානවා සාත්තු කරනවා.. ඒ විදියට බුදු හාමුදුරුවො මේ කුඹුර අස්වද්දන තෙක්ම කුඹුර අසලින් දිනපතා වැඩියා. ඒ හැම දවසකදිම ගොවියා හමුවෙන්න නැතුව ඇති. නමුත් එකම කෙත වුනාට ගොවියා කරන වැඩ වෙනස්. එකම ගොවියා වුනත් කරන වැඩ වෙනස්.

දැන් ඔන්න අපි ෆේස් බුක් යනවා. හැමදාම එකම නිල්පාට ටිකක් වෙනස් වෙවී අලුත් වෙවී යන වෝල් එක හරියට අර හැමදාම ගොවියා විසින් වෙනස් කරන කෙත වගේ. මාක් සකර්බර්ග් සහ අපේ මිතුරන්  පිරිස අපි කැමති ආස හිතෙන විදියට අපේ මනස වඩාත් ලෝල කරන විදියට කෙත හදලා දෙනවා. කලිං කතාවෙ බුදුන් වහන්සෙ දැක්කෙ එක ගොවියෙක් විතරක් වෙන්න බැහැ නෙව. තව කුඹුරු වල වැඩකරන අය දකින්න ඇති. ඒ අයත් එක එක වැඩ කොරන්න ඇති. ඒ වගේ අපි ෆේස්බුක් ගියාමත් ඉන්නවා අපිට පේන්න පොරවල් ටිකක්. එයාල මොනව හරි කරනවා. අපි ඒ අය කරන දේවල් වලට හෝ ඒ අය දන්න කියන නිසා ඒ අයව ඇඩ් කරගෙන අපි එයාල විසින් ෂෙයා කරන දේවල් දාන ස්ටේටස් බලනවා. හැබැයි අපි කැමති අය විතරයි අපිට සෙට් වෙන්නෙ. හරියට නිකං අර බුදුන් වහන්සේ කෙත ගාවින් වැඩියට ඒ හැම ගොවියා ගැනම අවධානය යොමු කලේ නැහැ. පිං බලය තිබුන ගොවිය ගැන විතරයි අවධානය යොමු කලේ.

කාලයක් යුද්දෙ සහ දේශීය විරුවො,..ඉන් පස්සෙ හලාල් සහ තම්බි ...ඒ අස්සෙ ලව් සහ තවත් කතා.හිනා කතා හිනා නොයන කතා ඛේදනීය තත්වයන්. යූ ඇන් පී ජේ වීපී අදහස්.. අලුතින්ම මේ දවස්වල සෙයා වෙනව ඇත්තේ චෝගම් සහ කතාන්දර. මං හිතන්නෙ ප්‍රශ්ණ තියෙන රටක අපි ජීවත්වෙන එක පූරුවෙ කරපු පිනක්. හැබෑවට ප්‍රශ්ණ අඩු ස්විට්සර්ලන්තෙ, ඇමරිකාව, යුරෝපා රටවල මිනිස්සු මාර අසහනේකින් ඇත්තෙ. ඇයි උන්ට සෙයා කරන්න දෙයක් නැහැ නෙව. ලංකාවෙන් රට යන ඇත්තොත් මෙහෙ වෙන දේවල්ම හොය හොය ඉන්නෙ මම හිතන්නෙ ඒ රටවල උන්ට කතා බහ කරන්න වත් ප්‍රශ්ණ නැති නිසා වෙන්න ඇති. උගත්, බුද්ධිමත්, වෘත්තිය නිපුණ..ආදි එකී මෙකී නොකී හැම එකා එකීම මොන දේසයට ගියත් බාගයක් මෙහෙ.. හරියට අර බුද්ධදාස රජතුමා ගෙඩිය පලනකල් ඔලුව කෑල්ල  තුඹස ඇතුලෙ  දාගෙන හිටපු චිත්‍රයෙ ඉන්න නයා වගේ.

මෙහෙ හොද නැහැ. එහේ හරී සෝක්..එහේ සණීපායි...කියලා යනවා. ගිහිං ගිය දවසෙ ඉදං මෙහෙ යාලුවො එක්ක තමයි ආස්සරේ..එතකොට දේසීය දේ වල් මතක් වෙනවා. සික් ජරාව කියලා මාතර බත් කඩේ පැත්තකවත් නොගිහිපු ඩයල් මාතර බත් කඩේ ගැන තියෙන කාටුන් සෙයා කරනවා. ඇයි යකෝ මේක හොඳ නැත්තං ගිහිපු තැනකට වෙලා එහේ ආතල් ගනිවුකො..ඇයි අපිත් එක්කම හැමිනෙන්න එන්නෙ..?

මං හිතන විදියට උන්ටත් තියෙන්නෙ අවුල් නැතිකම. අවුලක් නැත්තං හෙන අවුලක් නෙව ඒකත්.  මට පේන්නෙ නිකං ෆේස්බුක් කියන්නෙ ලැට් එක වගේ තැනක්. අපි හොදට කාල බීල හිටියට, කොච්චර රස දේවල් කෑවත් ඒවා තියාගන්න බැහැ. ඒවා පිටකරන්න ඕනි අවශ්‍ය සුලු දෙයක් සරීරෙට අරගෙන. ඒ වගේ අපේ මනස ටිකක් ලොකුයි සතුන්ට වඩා.අපි එදිනෙදා ජීවිතේ ගෙවාගන්න ඕකෙන් සුට්ටක් තිබුනම ඇති. ඉතිරි මනස හෝ මොල  කොටස ඇතුලෙ එදිනෙදා ජීවිතේ ගෙවනකොට ඇතිවෙන පොඩි පොඩි කොන් කෑලි ඉතිරි වෙනවා. ඔය ඉතිරිවෙන මානසික ජරාව ටික අයින් කරගන්න අපිට ෆේස්බුක් සහ සයිබරය හේතුවාසනා වෙනවා.

දැන් ඕක සාධනය කරන්න පිට උදාහරණ නැතුව මම කියන පුද්ගලයාම සලකමු. දැන් මාත් ටිකක් ස්ටාර්ස් කෙනෙක් නෙව. මම ගිය අවුරුද්දෙ මේ කොම්පැනිය ඉස්සරහ මහ අයියෙන් උද්ගෝෂනය කලා වැටුප් වැඩිකරගන්න වෘත්තිය සුරක්ෂිතතාවය රැකගන්න. එහෙම කලාට මම නොට් වුන් නැති නිසා මාව බේරිලා ඒක ඕගනයිස් කරන්න සෙට් වුන පස්දෙනෙක්ට ගෙදර යන්න වුනා. පවු. උන් සමහරුන්ට ගෑනු සහ ලමයිතුත් ඉන්නවා. උන්ගේ අවාසනාව සහ අපේ කරුමෙ. 


මේ වෘත්තියට මම එන්නෙ සුදෝ සුදු ක්‍රමයකට නෙමෙයි. ඕනවටත් වඩා සුදුසුකම් තිබුනට මම එන්නෙ ජැක් එකක් හේතු වාසනා වෙන්න ඕනි. එහෙම එනකොට හිතුවෙ ටික කලක් යනකොට හරි යයි කියල නමුත් එහෙම එකක් නැහැ නේ. හැමදාම එකම තැන. ඒ නිසා පඩි පිණිස සහ රැකියාව ගැන හිතල අපි උද්ගෝෂණය කලා. ඒ කරනකොට අපි මිනිස්සුන්ට කියන්නෙ අපි ආයතනය ගැනත් හිතනවා කියලා. අපි පේස්බුක් සෙයා කරන්නෙ අපි ආයතනයේ අනාගතය වෙනුවෙන් තමයි මේ වෘත්තිය අරගල කරන්නෙ කියලා. ඒක බැලූ බැල්මට පට්ට ඇත්ත. මැනේජ්මන්ට් එක සේවකයා නිසිලෙස තෘප්ත කරන්නෙ නැතිව මෝටිවෙට් කරනනෙ නැතුව ගාලෙ හරක් වගේ අයාලේ යන්න දුන්නම ඔය වගේ දේවල් වෙනවා. 

නමුත් සිරාවටම හිතුවොත් මම කරන ජාතියෙ තනතුරක් රස්සාවක් ලෝකෙ වෙන මේ වගේ ආයතන වල නැහැ. ලංකාවෙත් ටිකක් අමාරුයි හොයන්න. හොයාගත්තත් සමාරවිට මේටත් වඩා සවුත්තුයි රස්සාව. ආයිත් පේස්බුකි පැත්තට හැරුනොත් තමුංගෙ රස්සාව දවල්ට හරියට නොකර පුලුවාන් තරං ආන්ඩුවෙන් හරි කොම්පැනියෙන් හරි ගසාකාල රෑට රට ගොඩනගන්න රට වෙනුවෙන් හඩනගන අයට ලොකු වර්චුවල් යුධ පිටියක් තමයි ෆේස්බුක් එක. 


ඒ වගේම ලංකාවෙ ඈත ගම්වල මිනිස්සු කන සීනි ඇටෙන් පවා ගන්න බදු මුදලින් ඉගෙන ගෙන ලංකාවෙ එක අවුරුද්දක් ඉන්නෙ නැතුව රට පැනලා එහේ ඩොලර් දාස් ගනන් ගන්න අතර රට ගැන වාත කැක්කුම හැදිලා තටමන අයත් එමටයි. එයාලගෙන් ඇහුවම ඇයි ඔයාලට අයිඩියා එකක් නැත්ද ලංකාවට ඇවිත් සේවය කරන්න කියලා උත්තරේ තමයි.. අපිත් කැමතියි ඒත් අපිට අවස්තාවක් දෙන්නෙ නැහැ නේ ආන්ඩුව. අනේ කේ ටන්නානේ.. එතකොට ඔය ගිහිපු දියුනු රටවල් ඔයාලට චාන්ස් එක දීලද ඔයාල ගියේ? නැහැ නේද? කරන්න පුලුවන් හැම මරි වැඩේම කරල බොනිකර තරුව දාල වීස එක අරගෙන රට පැන්න. ඒත් පස්සෙ කාලෙක අපේ රටට එන්න කිව්වාම රටින් ප්ලේන් එකක් යවල ගෙන්වගන්න ඕනි වගේ අදාසක් තමයි දාන්නෙ. 

මගේ යාලුවො ඉන්නවා ගොඩක් ආන්ඩු කන්තෝරු සහ වෙනත් පුද්ගලික ආයතන වල. ඒ ගොඩක් ආයතන වල වැඩකරන උන් කරන රස්සාව (ඒ කිව්වෙ තනතුර නෙමෙයි රැකියාව හෙවත් කරන දේ) වෙන රටවල හරිම සිම්පල් දෙයක්. හිතන්න ප්‍රාෙද්සිය ලේඛම් කාර්යාලෙක සමහර ලියන්නෙක් අමාරුවෙන් මාසෙම කරන සමාර වැඩ දැන් ලෝකෙ මට්ටමේදි සොෆ්ටවෙයා එකක කෑල්ලක් විතරයි. ඉතිං මේ වගේ බොහොම සරල රස්සාවක් ලක්ෂන නමක් හොද කම්පැනි නමක් එක්ක කරන මිනිස්සුන්ට යාන්තමින් තේරෙනවා තමුන් කරන්නෙ වරදක් කියලා. ඉතිං ඒ වරද වසාගන්න එයාල හයියෙන් ආන්ඩුවට බනිනවා. හරියට මේක නිකං කාරුහරි අපිට බනිනකොට අපි උන්ටත් වැඩිය හයියෙන් ආපස්සට බනිනවා වගේ. එතකොට අපේ කන් ලොක් වෙලා මුකුත්ම ඇහෙන් නැහැ. 

සරලවම හිතුවොත් ලංකාව දියුනු වුනොත්. ලංකාව ඇත්තටම ආශ්චරිය කරා ගිහින් මේක ස්විට්සර්ලන්තෙ,මැලේසියාව, සිංගප්පූරුව වගේ වුනොත් හෙම අපි වගේ ගෝත රැකියා කරන සියට අසූවකට විතර පාරට වැටෙන්න වෙනවා. මොකද ඒ රටවල අපි වගේ බොරු කරන හොර කරන්න උපන් අයට රස්සා නැති නිසා. කෙනෙක් කියන්න පුලුවනි අනේ මම උදේ ගිය වෙලේ ඉදලා හරි කැපවීමෙන් රස්සාව කරනවා කියලා. නමුත් කොච්චර කලත් ඔයා කරන රස්සාව ඔයාගේ කොම්පැනියට හෝ පද්ධතියට කොයි තරම් වැදගත්ද කියලා හිතුවොත්...? උදාහරන විදියට පැරණි කාර්යාල කටයුතු වලදි ෆයිල් මිටි ගනන් හැඩල් කරපු අය හිතනවා අඩේ අපි පස්ට වැඩ තොගයක් කරනවා කියලා. නමුත් ඇත්තම තත්වෙ බැලුවොත් ඒ කරන කිලෝ ගානක වැඩ අද වෙනකොට පොඩි මෙමරි චිප් එකකට සෙට් වෙලා ඉවරයි. 

ඇත්තටම ලංකාව දියුනු වුනොත් මම? කොහේද? ඔයා පිටරට නම් ඔයාට බලලා හූල්ලන්න රටක් නැති වෙනවා. ඔයා ආන්ඩුවෙ කන්තෝරුවක නම් අනිවාර්යෙන් ඔයාගේ වර්ක් ලෝඩ් එක වැඩිවෙනවා සහ කොම්පියුටර් ඉගෙනගන්න සිද්ද වෙනවා.ඔයා ප්‍රෝග්‍රැමර් කෙනෙක් නම් ඔයාට තුට්ටු දෙකට ප්‍රෝග්‍රැම් ලියන ඉන්ඩියන් කාරයො එක්ක හැප්පෙන්න වෙනවා.  පුද්ගලික ආයතනයක නම් දැනට වඩා දෙතුන් ගුනයක් වේගෙන් වැඩකරන්න සිද්ද වෙනවා. ඉතිං යාලුවනේ..ඒ නිසා අපි හැමදාම අපට පිටින් තියෙන ප්‍රශ්ණ එක්ක විතරක් හිතමු.. කවදාවත් අපි හරහා යන ප්‍රශ්ණ නොබලා ඉමු.