Thursday, November 28, 2013

සීයලයි කාලෙ හොරර් ආතල්

එය රබර් කැළයකි. මගේ ඥාතියෙකු වූ චූටි අය්යා මා නෑ ගෙදරක එක්කරං යමින් සිටියේය. ඔහු එතරම් අනක් ගුණක් ඇති එකෙකු නොවේ. මහ පාරෙන් යන විට තරමක් දුර බැවින් කැලෑ පාරෙන් යමු යැයි හේ කීවේය. මට වඩා වසර පහකට වඩා වැඩිමල් හේ තෙමේ පාර නිසැක වශයෙන්ම දන්නවා විය හැකි යයි මම සිතුවෙමි. මා ඔහු පසුපසින් යන්නට විය. මට මතක විදියට ඔහු හොල්මන් ගැනකතා කියමින් ගියේය. එය රාත්‍රියක් නොවුනත් වෙල් බඩවැටි,රබර් කෑලි ,බැදි කුට්ටි පසුකරගෙන ගිය ඒ ජාමය වඩාත් අයිති වූයේ හවස් ජාමයකටය. අහසද අඳුරු වූ වෙලාවකය අප දෙදෙනා කැලෑ පාරකින් නෑදෑ ගෙදරක යමින් සිටියේ. 

“යකෝ මට පාර මතක නැහැ බං ,හනේ මන් දැන් නැහැ ඕයි.. මේ තරං දුරක් ආවෙ නැහැ වෙනද.. “  අයියා කියන්නට විය. මාද ඔහු කලිං කී හොල්මන් කතා වලට සිනාසෙමින් සවන් දුන්නත් පාර අමතකැයි කී කිල බියට පත් විය. සර සර හඩින් නැගුන රබර් ගස්වල කොළ සෙලවෙන ශබ්ධයත්, හාත්පස කිසිම මනුස්ස පුළුටක් නැති අඳුරත්, වැහි කළුවත් මා බියපත් කරවීය. අසල ගෙයක් හෝ ඇතිදැයි බැලූමුත් එවැන්නක්ද දර්ශන පථයට හසු නොවුනි. 

‘‘දැං මොකෝ කරන්නෙ“ යැයි මගෙන් අසන චූටි අයියාද එක් තැනක නතර වී වටපිට බලමින් සිට තිබෙන අඩිපාර දිගේ ඉදිරියට යයි. නිතර නැවතෙමින් යන ඔහුට අනිවාර්යෙන්ම පාර වැරදී ඇතුවා විය යුතුයැ‘යි මා නිගමනය කළෙමි. දෑත් නිකට ගාවට ගෙන එකතු කොටගත් මා සිහින් හඩින් ඉතිපිසෝ ගාථාව කියන්නට විය. මා කර ඇති පිංපෙත් මතක් කරගෙන ශ්‍රර්ධාව ලෝඩ් කරගන්නට ද උත්සාහයක් මනසින් දැරුවෙමි. මා දෙස හැරුන අයියා “උඹ මොකද්ද බං මතුරන්නේ“ යැයි ඇසීය. එවිට මා ඔලුව උස්සා මං මේ ඉතිපිසෝ ගාථාව කියනවා යැයි කීය. අපේ පුංචි අම්මාත් ආච්චිල සීයලාත් පංසලේ හාමුදුරුවෝත් කියා ඇති පරිදි ඉතිපිසෝ ගාථාවලටත් පිරිත් වලටත් තිබුනේ සියලු යකුන් භූතයින් පලවා හරින මහත් වූ බලයකි. එබැවින් නිරායාසයෙන්ම මට ඉතිපිසෝ ගාථාව කියවුනි. 

ආ දැන් හරි මේ හරිය මතකයි වගේ යැයි කියමින් චූටි අයියා මට ගාථාව නවත්වන්නට සංඥාවක් දුනි. මා ගාථාව නැවැත්වීමි. ඉන් පසු රූප නැන්දලාගේ ගෙදර ගිය චූටි අයියා මහ හඩින් කොක් හඩලා සිනාසෙන්නට වූයේ රබර් වත්ත මැදදී මා බය වී ඉතිපිසෝ ගාථාව කිව් ආකාරය ද රඟ දක්වමනි. රූප නැන්දලාගේ ගෙදර සිටි උපාසක ආච්චිත් සීයල දෙන්නාත් තරඟෙට සිනා සුනෝය. සියල්ලන්ගේ සිනා මැද මා ද බිම බලාගෙන සිනාසුනෙමි. 

“උඹත් මේ කොල්ල බය කොල්ල ඉවර වෙල දැන් හිනාවෙනව. ඌට බය වෙල මොකක් හරි වුනානං“.. කියා උපාසක ආච්චී කියන්නට විය. මා අසලට පැමිණි රූප නැන්දාද මගේ ඔලුව අතගා “ඉතිපිසෝ ගාථාව කියන එක වැරැද්දක් නෙමෙයි පුතේ. ඔය අපේ එකාගේ නොසංඩාල කං ගනන් ගන්න එපා“. දැං ඉතිං පාර මතකයිනේ. වරද්ද වරද්ද ආවම පාරත් මතක් වෙනවා..“ යැයි කීවාය.


ඒ රූප නැන්දලාගේ දිහා තිබුනේ තෙත් ගතියකි. වසරේ වැඩි කළක් එහි වරුසාව පතිත වේ. කඳු ගැටයක් මත වූ උල්පතක සිට වලකට එකතු වූ ජලය බට ඔස්සේ නිතරම ගෙදර ටැංකියට එකතු වේ. ඒ වතුර ඇට මිදුලු දක්වා දිවයන තද සීතලක් ගෙනදේ. එහි ගොස් මා පලමුවෙන්ම කරන රාජකාරියක් නම් නා කියා ගන්නා එකය. මා ඒමට කාලයකට ප්‍රථම අපේ අයියලා ගිය කල ඒ පෙදෙසේ දොල පහරවල් වල ඔවුන් නෑ බවක් කියනු මා අසා ඇත. නමුත් මා ගිය කල දොලපාරවල් වල නෑමේ සිරිතක් නොපැවති අතර නෑම සිදු වූයේ ටැංකි වතුරෙනි. 

ඒ ගෙවල් පිහිටි වටපිටාව මහ රූස්ස කැළයක් මෙනි. අඩි විස්සට තිහට මෙහා මිටි වූ ගසක් කොළක් දැකගැන්ම අමාරුය. පොල් ගස් පවා පළදරන්නේ බොහෝ උස යෑමෙන් අනතුරුවය. ඒ පෙදෙසේ කුඹුරු තිබුනේ අඩුවනි. තිබුන ඒවාද යහමින් එරේ. රබර් වතු තිබුනද තව ටිකක් කැලෑව දෙසට යන විට තේ වතු කිහිපයක්ද හමු වේ. රූස්ස ගස් වලින් වට වූ නිවෙස් වල දවල් දොලහට පවා ඉර අව්ව යහමින් වැටීමක් නොවීය. ඒ ගෙවල වේලීමට ඇති දෙයක් වෙත් නම් ඒවා පඩංගු වල දමා කුඹුරට ගෙනගොස් වේලා ගනී. ගොරක ගම්මිරිස්, සාදික්කා, කරාබු, පුවක් ආදිය ඒ පැත්තේ වැවෙන බෝග ජාතිය. 

ඉඳ හිට නැගෙන සතකුගේ ශබ්ධයත්, රූස්ස ගස් වලට උඩින් හමන සුළඟත්, අඳුරත්,ජන ශුන්‍ය පාලු ගතියත්  නිසා එවකට ඒ පෙදෙසේ දී මනුස්සයකුට බය හිතෙන ගතිය වැඩි බවක් මට සිතේ.  
 ........................................
අඳුරු වූ තොවිල් බිම එළිය වී ඇත්තේ පන්දම් වලිනි. හොඳින් ඔතාගත් පාංකඩ වලට තෙල් දමා ගිනි දැල්වීමෙන් පන්දම් දල්වා තිබේ. කෙසෙල් කොට වලින් තැනූ තොරන් සැරසිලි ආදියද ගොක් කොල වලින් සැරසුනු මල් බුලත් තටු ආදියද කරන යාතුකර්මය අනුවද, පළාතඅ අනුවද වෙනස් වෙයි. බොහෝ යාග හෝම වල උච්චතම කාල සීමා උදා වන්නේ රාත්‍රිෙය්දීය.“ එලි වෙන ජාමෙට හොඳ හොද සෙල්ලං“  යයි කියන්නේ තොවිල් ගැන විය යුතුය. 

දහ අට සන්නිය සහ මා දැක ඇති පහතරට බොහෝ ශාන්තිකර්මාදියේදී යොදාගන්නා ඇඳුම් තද පැහැති ඒවාය. දහ අට සන්නියේ සමහර සන්නි යකුන් කළු පාට ඇඟට ඇලුනු කමිසයක් ඇඳ පැමිනියත් මුහුනට දමා ඇති විශාල වෙස් මුහුන නිසා ඔවුන් දුටුවනම ඇතිවන බියෙහි කිසි අඩුවක් වෙන්නේ නැත.මේ යකුන් ආල වට්ටං දමමින් බෙර කාරයන් සමඟ කොමල කරමින් කතා කරති. බෙරකරු කෙසේ හෝ යකා මෙල්ල කොට ගනී. නමුත් සමාර අවස්ථාවල යක් ඇඳුමින් නටන නැට්ටුවා ලේසියෙන් මෙල්ල වෙන්නේ නැත. 

සරසන ලද භූමියට විටෙකදී යකා පැමිනෙන්නේ රඟ බිමේ ඇති සිටවූ විසාල ගස් ගොන්නක් මත සිටය. ගස් සොලවාගෙන වටපිට බලමින් සෙමෙන් පැමිණෙන යක්කුද අහස ගගුරවාගෙන පොළොව පලාගෙන එන්නාක් මෙන් හූ කියාගෙන කෑ ගහගෙන එන යක්කුද සිටිති. මේ යකුන් කෙතෙක් පැමිණ අඩි උස්සමින් ඔලු වනමින් පැද්දෙමින් දුවමින් බෙර පද වලට අඩි තියමින් පෙරළි කරති.  යක් නැටුම් වල බිය ජනිත කරන එක් විදියක් නම් බෙර නාදයයි. සමුද්‍ර ඝෝෂක බෙරය යනුවෙන්ද හඳුන්වන පහතරට බෙර දෙක තුනක් එක විට වයන විට ඇත්තේ කන් බිහිරි කරවන බේස් නාදයකි. ඔවුන් ගහන පද වේගවත්ව සහ දැඩිව අපේ හදට වදින්නාක් මෙන් දැනේ. 

ඒ යක් නැටුම් වලදී ආතුරයා නැමැති යක්ෂ විනයට හසු වූනේ යැයි සැක කරන රෝගියාගේ මනසට බලපෑමක් කරන්නට සමත් වෙනවා වන්නට ඇත. ආතුරයා පමණක් නොව බලන්නට ආ මහ සෙනගටද විශාල අත්දැකීම් සහ රස ගොඩක් ලබාදීමට තොවිල් නටන්නෝ සමත් විය. අද මෙන් සිනමා, නාට්ටි, ටීටර්, පරිඝනක, දුක(දුරකථන) නොමැති එකල තොවිල් සහ යාතුකර්ම යනු එක්තරා රස ගොඩකි. රස කීවේ හුදෙක් ආතල් එකම පමණක් නොවේ. බය හිතෙන ගතිය, හාස්‍ය රසය, නර්ථනය දැකීමෙන් ඇතිවන රසය, ගායනා සහ බෙර නද ඇසීමෙන් ඇතිවන රසය, කෙල්ලන්ට කොල්ලන් හමු වීමට ඇති අවස්ථාවක් සෙට් වන නිසා ඇති වන රසය, කට්ටියට සෙට් වෙන්නට අවස්ථාවක් වන නිසා ඇතිවන රසය ආදී වශයෙන් සමාජමය අතින් විශේෂ තැනක් එකල තොවිල් වලට සහ ශාන්තිකර්ම වලට අත් විය.

පහතරට දේශීය ශාන්තිකර්මයක් තුල භය කිරීමේ රසය නොහොත් හොරර් ෆිල්ම් බලන විට ලැබෙන ආතල් ගන්නටද කොටසක් බොහෝවිට ඇතුලත් විය. මා දුටු එක්තරා ශාන්තිකර්මයක් තුලදී බෙර නද අතර එක් වරම නැගිට ගත් ආතුරයා(ලෙඩා) දුවන්නට විය. ඔහු නතරකරන්නට තැනූ විට ආතුරයා සැනින් ගසකට පැන එහි අතු වල නැගී අතු පදින්නට විය. බෙර නදට අනුව ඔහු අතු වනමින් කළහ කරමින් සිටියි.  ඔහු සිටියේ භයානක තැනකය. ඔහු වැරදිලා හෝ ඒ වත්තේ වැටෙන් පිට වූයේ වී නම් එය ආතුරයාට කෙලින්ම බලපාන අසුබ නිමිත්තක් බව බොහෝ දෙනා අදහන ලදී. එබැවින් ආතුරයා අල්වා ගන්නට හැඩි දැඩි පුරුෂයෝ රොක් වූහ. 

දෙමළ සිනමා පටියක දහයක් අල්ලාගෙන සිටියත් එක්වරම නැගිටින වීරයා මා මගේ පියවි ඇසින් දැක්කේ එදාය. කෙසඟ පුද්ගලයෙකු වූ ආතුරයාට එවෙලේ තිබුනේ මහ පුදුම බලයකි. ඔහු සියලු දෙනාම ගසා බසා දාගෙන නැගිටියි. දුවයි. ගස් උඩ නගී. එතැනදී ඇතිවෙන බිය යක් ඇඳුම් ඇදගත් අය දුටුවිට ඇතිවන බියට වඩා සැබැවින්ම වැඩිය. එසේම ඒ සිද්දිය පුරාවට යක් බෙර ශබ්ධයද දැඩිව ඇසුනි. හත් අට දෙනෙකු විසින් අල්ලා ගත් ආතුරයාට මතුරන ලද පැන් ස්වල්පයක් ඉසීමෙන් යන්තමින් ආතුරයා මෙල්ල කරගත හැකි වීය. 

චලන රූප ලෙස යොදාගත් නළුවන් මගින් භය ජනනය කරන අවස්ථා ශාන්ති කර්ම වල සුළබ විය. පංසල් වල ඇති අඹන ලද පිළිම සහ අඳින ලද රූප දැක මිනිසුන් සහ දරුවන් බිය වූ අවස්ථා මා එකල අසා ඇත. අපේ පැත්තේ තිබු එක් පංසලක තිබූ යක්ෂ රුවකට නිතර දරුවන් බිය වූ නිසා ඒ චිත්‍රය උඩ සායම් අතුරා දැමීමට පංසලේ ලොකු හාමුදුරුවන් තීරනය කොට තිබුනි. අද මෙන් ස්වයං විනෝද උපාංග බහුල නොවූ එකල ජනයා කතා කීමටද ගෙතීමටද ඒවා රසකරමින් ඉදිරිපත් කිරීමටද දක්ෂයෝය. ඔවුන් කතා කියන විට ස්වරයෙන්ද, මුහුනේ ස්වභාවයෙන්ද, අත් වලින් කරන රඟ දැක්වීම් වලින්ද කතාව වඩාත් තාත්වික වෙයි. යකුන් ප්‍රේතයින් ගැන කියනවිට ඒ කියන අයගේ ඇස් ගෙඩි ලොකු වී කට පලල් වී යකා මෙවැන්නැකැයි පෙන්වීමට ඔවුන් උත්සාහ ගති. ඔවුන් වැන්නන් අදද සිටියත් ඔවුන් වැනි සතර අභිනයේ අගතැන්පත් අය රූපවාහිනියට වද්දා නොගන්නේ ඔවුන් සතුව සහතික කිසිවක් නොමැති නිසා වන්නට ඇත.

ව්රොන් ටර්න්(Wrong turn), ඩ්‍රැකියුලා(Dracula) , නයිට් මරේ(A Nightmare on Elm Street), එවිල් ඩෙඩ්( Evil Dead) , ආදි භූතයින් සිටින කතාන්දර ඇතුලත් බටහිර සිනමා පටි බලන අපි අද ඒ භය වීම ලබාගනිමු. එකල අපේ පැරැන්නෝ ඩෝබි ඩිජිටල්, විසල් පුලුල් තිර, දෘෂ්‍ය ප්‍රෙයා්ග රහිතවම සිය භය වීමේ ආතල් එක පියවි ඉන්ද්‍රියන්ගෙන්ම ලබාගත්තෝය. සුද්දාගේ රටේ හැදෙන ඒ බිය ජනක සිනමාපටිවල සිටින ඩ්‍රැකියුලා චරිත අදහන අද දරුවන් දහ අට සන්නියක යකෙකු රූපවාහිනියකින් වති නොදකිති. ඒ මහා යක්ෂයින්ගේ නිධාන කතා නොදනිති. යකුන් විසින් පෙර කළ කරන ලද අනර්ථයන් සහ අර්ථයන් සම්බන්ධ කතාන්දර නොදනිති. 

යම් දෙයක් බටහිර කියා උඩ තබාගැනීමවත් දේශීය යැයි කියා වන්දනා කිරීමවත් බුද්ධිගෝචර නොවේ. නමුත් ඩ්‍රැකියුලා සත්‍යකැයි කට ඇරගෙන මුව අයා  බලන මිනිසුන් තොවිල් නම් මහ පච ගොඩකැ‘යි ඉවතලීම හාස්‍යයට කරුණකි. 

12 comments:

  1. තොවිල්වලට ශාන්ති කරම කියන්නේ ඇයිද කියා හිතුවාම වැඩේ තේරෙනවා!

    ඒ කෙසේ වෙතත් රුහුණු නැටුම්වල මිනිස්සුන් ගේ ඇඳුම් මට නං කැතයි. උඩරට ඒවා තරම් ගතියක් නෑ. ඇයි අර බෝරිච්චි හැට්ට වගේ ඒවා අඳින්නේ?

    ReplyDelete
    Replies
    1. උඩරට අයට ඇඳුම් කියලා ලොකු දෙයක් නැහැ..ඇඳුමක් කියලා එකක් තියෙනවා..ඒක කස්ටමයිස් කරගෙන ගොඩක් ඒවාට යොදාගන්නවා..
      නමුත් පහතරට ගත්තාම ඉවන්ට් ගාන වගේම නැටුම් ගානත් වැඩියි.. ඒ වගේම ඇඳුම් ආයිත්තම් පවා වැඩියි..
      වෙස් මුහුනු, දැඩි මේක් අප්ස්..වගේ ගොඩක් දේවල් පහතරට නැටුමේ තිබෙනවා.. අවාසනාවට මට ඒවා පෙන්වන්න වත් පිංතූර නැහැ අන්තර්ජාලයේ හොයාගන්න..

      මං තොවිල් බලපු කාලෙ මට කැමරාවක් තිබුනෙ නැහැ.. සික් දැන් කැමරාව තියෙනවා තොවිල් නැහැ..

      Delete
    2. apuuru lipiyak

      Delete
    3. මට නම් පහත රට ඇඳුම් තමයි ලස්සන. ඒ අපි පාත්තයෝ නිසා නෙමෙයි බොහොම වෛවර්ණ ඇඳුම් සිතට මෙන්ම ගතටත් උත්තේජනයක් ගෙන එනවා. වෙස් මූණුම කීයක් තියෙනවද..? එතකොට කෝලම් නැටුම්, මම කැමතිම නැටුම හා ඉදිරිපත් කිරීම තමයි "කෝළම් යකා" එහෙම නැත්නම් "ලැජ්ජා යකා" මම හිතන්නේ ඒකට කියන්නේ සළුපාලියද කොහෙද...

      Delete
  2. රෝන්ග් ටර්න්, නයිට්මෙයා(ර්), ඊවිල් ඩෙඩ්.

    ReplyDelete
  3. වටින ලිපයක් සහෝදරයා.

    ReplyDelete
  4. සිරාවට වටිනව බොලේ.....

    ReplyDelete
  5. මමත් තොවිලයක් දැකලා නෑනොවැ හැබෑවටම තාම

    ReplyDelete
  6. තොවිල් පවිල්, දහ අට සන්නි, ගම් මඩු දෙවොල් මඩු.. ඔය කොයික තිබ්බත් මම නම් නෙමේ ඒවා අතාරින්නේ... එලිවෙනකන් හරි බලලා තමා ගෙදර එන්නේ !

    ReplyDelete
  7. tika welawakata hari athethayata giya den liyana widiya nam hoday godak poth kiyawala tiyena bawa penawa

    ReplyDelete
  8. නයිට් මරේ නොවේ නයිට්මෙයා(ර්).
    ව්රොන් ටර්න නොවේ රෝන්ග් ටර්න්, එවිල් ඩෙඩ් නොවේ ඊවිල් ඩෙඩ්.

    ReplyDelete