Friday, July 22, 2011

නිරීක්ෂකයා...

      එකල මා නිකමෙකු විය..උසස් පෙල හමාරව ප්‍රථිපල ලැබෙන තුරු සිටීම..ජයග්‍රාහී දෙවන වරටද බූට් රස විදිම යන කාරනා නිසා මා සොවින් සිටියෙමි.එහෙත් පලමු වර බිඳවැටුනු ප්‍රේම වේදනාව තරම් මෙවර වේදනාව බලවත් නොවිය.දිවි තොර කරගැනීමට තරම් ලොවෙහි තනිවුන ආකාරයක් මට පලමුවර ඇතිවිය.මානසිකව වැටී අතපය කැඩී එකතැන් වන මට්ටමට පැමිණියේය.එහෙත් දෙවැනිවර අමාලි හමුවනවිට මට පෙර දුක කොහේ ගියාදැයි නොදැනුනි.කැහි ගෑනි නැතිවිට හොටු ගෑනි ගැනීමේ සංකල්පය මට හරි නොයන බැව් මා විසින් පසුව අවබෝධ කරගන්නා ලදී.පොතපතේ සඳහන් අන්දමට විරහ වේදනාව යනු ජීවිත යතාර්ථය දකින කැඩපතක් මෙන් දෙයකි..සැබෑ ජීවිත ස්වරෑපය අපි කෙතරම් දැක්කත් එය අවබෝධ කරගැනීමේ ඥානය පහල වෙන්නේ බූට් එකලැබුන පසුය යනු මා කතාවක කියවා තිබුනී..
                   නගරයේ සිනමා හල් නාට්‍ය,සමිති,දේශපාලනය මා විසින් ප්‍රේමය වෙනුවට ආදේශ ලෙස ‍තෝරාගන්නා ලදී..දෙවන වර උසස් පෙල අවසන මා උසස් අධ්‍යාපනයට යොමු වුවත් කිරීමට විසේස වැඩ නොමැති විශාල කාලයක් මා හට ඉතිරිවිය..මා දෙමාපියන් සමඟ ම විසු හෙයින් ද පෙර නගරය මාරු නොවන හෙයින්ද මට විශේෂ ජීවන බරක් හෝ ලෝක වෙනසක් නොපෙනුනි..ඒ කල මා විසින් නන්දසේන රතනපාල සහ නොයෙක් මනෝ විද්‍යා සහිත පොත් කියවීමට නැඹුරු වුන කාලයකි..කෙතරම් අප වසන් කරනු තැනුවත් මට බස්වල යන එන පෙම්වතුන් දකිනවිට මතක් වුයේ එදා මා ද එසේ වෙලී ගිය අවස්ථාය..කාලය විසින් මා දාර්ශනිකයකු කරනු ඇතැයි මා සිතුවෙමි..එහෙත් එය මායාවක් බව පසුව වැටහෙන ලදී.
             මා හට එකල පිං චාන්ස් වලට චිත්‍රපටි බැලීමේ අවස්ථාවක්  විය.මගේ ම්තුරකුගේ පියාට අයිති සිනමාශාලාවක් නගරයේ විය..ඉරිදාට සේවකයින් එකෙක් දෙන්නෙක් නිවාඩු ගන්නා බැවින් මගේ මිතුරා මා හට එන්නට කියයි..ටිකට් විකුනා අවසන මා චිත්‍රපටි බැලීමට යමි.බොහෝවිට ඒ සිනමා සාලාව බොක්ස් වලින් සහ වැඩිහිටියන්ට පමණක් පෙන්වන නිසාදෝ වැඩිහිටි පරපුරෙන් ආදායම් ලැබූවකි.ජැන්ඩියට ඇඳ පැලඳගත් මහතෙක්ද මා සමඟ චිත්‍රපටි නැරඹිමට නිතර සෙට් වෙයි.එනම් මා නැරඹ්මට කැමති ඕ ඩී සී අංශයේ සිටි යාවජීව සාමාජිකයෙකි මේ අංකල්.මා ගිය ඉරිදා දවසක් වෙත් නම් ඒ සෑම දිනම අර මහල්ලා විත් චිත්‍රපටිය බලයි..3.30ට පෙන්වන දර්ශනයට බොහෝ විට ඔහු එන්නේ 3.25ට පමණ වේ..ඒ වෙනවිට ජනප්‍රිය චිත්‍රපටියක් නොවුවත් ඉරිදා නිසා ඉඩ තිබෙන තැනක වාඩි වෙයි.ටිකටි විකුනා මමත් එන්නේ චිත්‍රපටිය අතරවාරයේ නිසා මා සහ ඔහු ළඟින් වාඩිවන අවස්ථා ගනන වැඩිය..වැඩිහිටි චිත්‍රපටි ළමා කතා වීරකතා ආදි කිසිදු දෙයක් මායිම් නොකරන අංකල් සෑම ඉරිදාම මා ගිය දවසක් ඇත්නම් සිනමා හලේවිය..ඔහු වැඩිහිටියන්ට පමණයි සිනමා පට නැරඹුවද වෙන අය මෙන් අවැසි දර්ශන පමණක් කට ඇරගෙන බලන්නක්නොවේ..තිරය මත සියක් දෙසීයක් මරන දර්ශනයත් ඉතා උද්වේගකර පෙම් ජවනිකාවත් කිසිදු ප්‍රතික්‍රියාවකින් තොරව බලයි.සමහර ගෑනු අය නම් චිත්‍රපටි යන අතර නිලිය අඬන විට අඬති එයින් සමහරෙක් විකට නලුවා පිස්සු කෙලින විටද කිසි කරදරයක් නැතුව කඳුලු පිසදා සිනාසෙති.සති 5-6ක් සතියට ඉරිදාව බැගින් එක දිගට බැලීම නිසා සමහර ජවනිකා මට කටපාඩම් වෙයි..එවිට මාකරන්නේ අනෙක් අය දෙස බැලීමයි..වැඩිහිටියන්ට ඇති සිනමාපට නැරඹිමට බොහෝවිට මත් වී පැමිනෙන අයද වෙති..පෙම්වතුන් සිය වැඩ සියල්ල පුරුදු වීමට සිනමා සාලාවේ අඳුර යොදාගනී.එහෙත් ඒ සියල්ල ඉතා සාමාන්‍ය දේය..
                              ‍මේ කතා කරන පුද්ගලයා නමින් නිකුලස් විය ඔහු ගමේ (නගරයේ උවත් එය ‍බොහෝ කලක් තිස්සේ එකම පිරිසක් වසන පෙදෙසක් වු බැවින් එය නාගරික පෙනුම සහිත ගමක් විය).නිකුලස් අංකල් හමු වූයේ සිනමාහලේ පමණක් නොවේ..ඔහු බොහෝ කලා කටයුතු පොදු කටයුතු වලට සහභාගී වුන පුද්ගලයෙකි..මෑත කාලය වනතුරුම නිකුලස් අංකල් පිට්ටනියේ කොල්ලන් සමඟ සෙල්ලම් කරමින් සිටි බව ‍ගමේ සමහරෙක් පවසති..තැනට නොගැලපෙන ප්‍රස්න ඇසීමත් නිකුලස් අංකල් සමතෙකි..දවසක් එක්තරා සුනාමි කෙටි චිත්‍රපටියක් පෙන්වීය..එහි අනුග්‍රහය අමෙරිකානු රාජ්‍ය නොවන සංවිධානයකි..චිත්‍රපටිය අවසානයේ ප්‍රස්න ඇසීමට අවස්ථාවක් දුනි..සමහරු ආධුනිකයෙකු වූ අධ්‍යක්ෂකවරයා හිනෙන් වත් නොහිතපු පැතිදැක ඔහුට ප්‍රසංසා කලේය.එහෙත් නිකුලස් අංකල්ට වූයේ එක ප්‍රස්නයෙකි..” දැං මේකෙ ගියා අත් ටැට්ටරයක් ඒ‍ක එ‍ලෙව්වෙ ලස්සනට ඇඳල තොල් පාටකරල තියෙන කෙල්ලෙක්(මේ අතර වටපිට සිටි අයගේ සිනා හඬ දසත රැව්දේ) මං උපන්තෙකට දැකල නෑ ගෑනු ටැට්ටැර එලවනව..අපි හිතමු ඩිංගකට වෙන කෙනෙක් නැති නිස එලෙව්ව කියල ඒත් කෝමද ඒ කෙල්ල නිකං කොළඹ යනව වගේ ඇඳල ඉන‍්නෙ” එය පිරිමි නැති හෝ පිරිමින් වෙනත් කටයුතු සඳහා නික්ම යෑම දක්වන සංකේතයක් බව අයෙක් ප්‍රකාශ කරන ලදී . එහෙත් නිකුලස් අංකල් හෝ සීයාගේ අද හස වූ මේ පට්ටපල් පචයකි යන අදහස නම් නැති වූයේ නැතිබවක් පසුවද ඇසූ ඒ තාලෙම ප්‍රස්නවලින් පෙනුනි.
                    සමවයෙසේ වෙනත් අය සමඟ සන්සන්දනය කරන විට නිකුලස් සීයාට වූයේ වෙනමම ලෝකයකි..මට ඔහු ප්‍රස්නයක් විය..ඔහු ඉන්නෙ‍ කොහෙද??හැම ඉරිදාම ඔහු චිත්‍රපට බලන්ට එන්නේ ඇයි.නාට්‍ය වැනි දේට යන්නේ ඇයි.පොදු වැඩ වලට ඉන්නේ ඇයි.කිසිවිට නිකුලස් සියා පනින්නෙකු නම් නොවීය.ඔහු ඉන්නා තැන මන්ත්‍රී සිටියාය විදුහල්පති සිටියාය වෙනත් කෙනෙක් සිටියාය කියා ඔහුට වගේ වගක් නැති.ඔහු ඔහුගේම ප්‍රස්න අසමින් හෝ කිසිත් නොකියා කරබාගෙන සිටියි..එහෙත් පිරිසක් රැස්වෙන තැනක් හෝ වැඩක් නම් එතැන නිකුලස් සිටී..මා කලින් සිතා සිටියේ නිකුලස් සීයා චිත්‍රපටි සාලාවට එන්නේ එහි තිරගත වන වැඩිහිටි සිනමාපට නැරඹිටමට යැයි කියාය..එහෙත් දිනක් සිදුවූ සිදුවීමකි න් මගේ මතය වැරදි බව තේරුනි.තිරයේ උද්වේගකර ලිංගික ජවනික‍ාවක් ඇරඹනාවාත් සමඟම හදිසි විදුලි බිඳවැටීමක් සිදුවිය..සියල්ලෝ එහෙ මෙහෙ බලති..එකෙක් විසිල් ගසයි අනෙකා සූ දමයි..එහෙත් මා සමීපයේම සිටි නිකුලස් සීයා තවමත් තිරය දෙස බලා සිටි..ස්වල්ප වේලාවක් බාහිර විදුලි ජනක යන්ත්‍ර ක්‍රියාත්මක වී යලි සිනමා පටය පේන තෙක්ම සීයා තිරය දෙස බලා සිටි අතර ඔහුට මේ චිත්‍රපටය නැවතුනා කියා විසේස වධයක් නොවීය..රුපියල් 50ක් දීල ඇවිත් නිකම් උඩබලගෙන ඉන්නේ ඇයිදැයි මා හට නම් සිතාගත නොහැකි විය.
                   මා නිකුලස් සීයා මෙසේ කලාබර හෙවත් කලාවට බර එහෙත් කිසිවක් රස විඳින සෙයක් නොපෙන්වන සිද්ධියට හේතු සොයන්නට විය.මට නිකුලස් සීයා වසන ගෙදර වැඩකරන කෙල්ල දිනක් පාරේ යනවිට හමුවිය..ඇය පොල් ගෙනඒමට පොල් කඩේට යන්නේ මා ගෙදර යන පාරේමය..මා සිතා සිටියේ දෙමල කෙල්ලක වූ ඈ මා හා කතා නොකරාවිය කියාය..එහෙත් ඔයා ඉන්නෙ නිකුලස් සීයලයි ගෙදර නේද කියල ඇහුවහම ඒ කෙල්ල ඔව් මාතියා මොකද යැයි ඇසීය..ඇය ආඩම්බර කාරියක් නොවීය..”සීය ඔය වැඩ කරගෙන ගෙදරට වෙල ඉන්නව ඔන්න ඉරිද 3ට විතර කැර කර හිටිය වැඩක් උනත් මග දාල දුවනව මට වැඩක් තියෙනව කියල..මම හිතන්නෙ ඔක්කොම දන්නව නේ ඉරිදට ලොකු මාතිය නෑකියල..දවසක් අර චූටි බබා කෙනා අඬනව මාතිය නලෝනව නලෝ නලෝ ඉන්න අතර මට කතා කොරල රාධි මේ ලමය ගන්න ඉක්මනට මට යන්න තියනව කියල ආව..මම හිතන්නෙ එදාත් ‍ෙමාකක්හරිවැඩකට එන්න අැත්තෙ..ඔය මාතිය කාටවත් කියන් එපා ලොකු මාත්තියට ගොඩ වැඩ දෙනව ඒ නෝන මාතියය් අර අසන්ත මාතියයි..මං හිතන්නෙ ඒකෙන් බේරිලා ඉන්නවෙන් ඇති ඔය යන්නෙ” යැයි රාධිකා නම් වූ නිකුලස් සියා සිටි ගෙදර කෙල්ල පැවසුවාය..
                       මා ඉන්පසු දිනෙක චිත්‍රපටියේ විවේක වෙලාවක නිකුලස් සීයා හමු වීමි..මා සිතුවාට වඩා ඔහු හොඳ කෙනෙක් විය..මගෙන් විස්තර අසා පසුව ඉගෙන ගැනීම් ගැනත් කීය.එකල තිබු පාසැල් ගැනත් රස කතා කියන මට්ටමට අපි දෙදනා දින කීපයක් ඇතුලත මිත්‍ර උනෙමු..මා දින කීපයක්ම මෙසේ කලා සහ සිනමා වැඩ වලට පැමිණීමට සුලු හේතුවක් ඇතිදයි ප්‍රස්න කලත් පිලිතුරු නොවීය..මා එක විටෙක “ සීයට ගෙදර හරියට වැඩ නේ..මේ ෆිල්ම් එක බලන වෙලා ව විතරයි ඇත්තෙ නිකම් “ යැයි කීය..ඔහු හහ් හහ් හහ් යැයි සිනාසුනි..ඉන්පසු ඔය තියෙන්නෙ ලස්සන හේතුවක්..එකත් හොඳයි හැම දේටම හේතුවක් තියෙන්නත් එපැයි..මටත් දැන් වෙන කෙනෙක් ඇහුවොත් දෙන්න හේතුවක් තියෙනව..මා ඉන්පසු කිසි දිනක ඔහු ඒමට හේතු හොයන්න නොගිය අතර දිනක් පුතා අර බාර් එකට ළඟ දැකල තියෙනවද හවසට..මිනිස්සු..හැමදාම එන අයත් එනව..ඒ අය හිතනව ඒකෙන් හිත ගත රත්වෙල පස්සෙ ඒකෙන දුක නිවෙනව කියල..අර පාක් එකට දුවන අය දැකල තියෙනවද..ඒ අය හිතනව දිව්ව ම ඇඟ නිවෙනව කියල ...අර පන්සල් යන්නෙපෝයට අපෙ උපාසක හාමිනෙල ටික...ඒ අය හිතනව පන්සල් ආවම සසර නිවෙනව කියල..සමහර විට මමත් හිතනව ඇති මේ විච්චූරන තැනට ආවම සැනසීමක් ලැබෙනව කියල ..සැනසීම නොලැබුනත් කට්ටිය ලැබෙන තැනක් කියල පිලිගන්නවනෙ...ඒ කම මැදෑ....හෙහ් හෙහ් හෙහ් හෙහ්...ඔහු සිනාසෙයි..ඔහුට පරදින්නට බිය නිසා මාද සිනාසුනි..

7 comments:

  1. සමහර මිනිස්සු හරි පුදුමාකාරයි නේද.......

    ReplyDelete
  2. තවත් වෙනස් ආරක ලියවිල්ලක් ...

    ReplyDelete
  3. ස්තූතියි ඔබට...

    ReplyDelete
  4. මමත් මෙවන් මිනිසුන් කීප දෙනෙක් ඇසුරු කරල තියෙනවා. ඒ අය ගැන මතකය ආයෙ අවදි වුණා මේ ලියවිල්ලෙන්. එයාල ජීවිතේ ගැන නොදන්න මගුල් ගැන මහන්සි නොවී සරළව ජීවත් වෙන අය. නමුත් අපි කාටවත් නොපෙනෙන තරම් ඔවුන්ගේ ජීවිතේ ගැඹුරුයි. ඒ අය ජීවිතේ ගැඹුරින් සලකන දෙයක්. ඒ නිසාම ජීවිතේ ඔවුන්ට සරල දෙයක් වෙලා...

    ReplyDelete
  5. මිනිස්සු විව්ධාකාරයි. ඒ අය කියවීමත් එක අතකින් චමත්කාරජනකයි.
    මැණික්

    ReplyDelete
  6. හැම මිනිහෙක්ම කතන්දර ගුහාවක්. මට මතක්උනේ 'තනියාමය' කෙටිනාට්‍යය.(ධනංජයගෙ නේද?)
    මැණික් කිව්වා වගේ මේක හරි 'චමත්කාරජනකයි'.

    ReplyDelete
  7. එක හුස්මට කියවගෙන ගියා...

    ලෝකය ගෝලාකාරයි...
    මිනිස්සු පුදුමාකාරයි....

    ReplyDelete