Monday, May 14, 2012

උමතුවද නැතිනම් සැබෑවද?

ජූලි 5
තර්කන ශක්තිය මා වෙතින් ගිලිහී ගියේද? ඊයේ රෑ සිදුවීම පිළිබඳ මතකය මා හිස බමවයි.

 දොර අඟුලු ලා තිබිණ. හැම සන්ධ්‍යාවකම එසේ කරන්නට මම පුරුදු වී සිටිමි. පවසට දිය බඳුනෙන් අඩක් බීවෙමි. බඳුනේ පළිඟු මූඩිය ළඟටම දිය පිරි තිබුණා මට මතකය. ඉක්බිතිව යහනට වනමි. සිහිනයක් නිසා උපන්තේකට නොවුන සේ තැති ගෙන නැඟී සිටියෙමි. නිඳි ඇඳේදී පෙනහලු පලාගෙන යන සේ පිහියෙන් අනිනු ලැබ, හුස්ම හිරවී, ලෙයින් නැහැවී, තමාට කුමක් සිදුවූයේදැයි නොදැන, පිහියද සහිතව ඇඳෙන් නැඟී සිටි පුද්ගලයකු ඔබට සිහිකර ගත හැකිද? ඒ රැයේ මා නැඟී සිටියේ එ ලෙසිනි.

ඉකිබිතිව කෙමෙන් ම වෙත පියෙවි සිහිය එළැඹිණ. ඉටි පහන දල්වා, පිපාසයෙන් දිය බඳුන වූ මේසය වෙතට පිය මැන්නෙමි. බඳුන අතින් ගෙන වීදුරුවට නැමුවෙමි. එය හිස්ය. සහමුලින්ම හිස් ය. මින් ඇති කරන ලද භ්‍රාන්තිය කරණ කොට ගෙන මා ඉඳගත්තා නොව මට ඉන්දවුනා විය යුතු ය. ක්ෂණයෙන් යලි නැඟීසිටි මම අවට බැලුයෙමි. භය භ්‍රාන්තියෙන් පෙළෙමින් යළි හිඳ ගත්තෙමි. පිළිතුරු නොලබා අන්දමන්ද ව විනිවිද පෙනෙන හිස් බඳුන දෙස බලා සිටියෙමි. අත් වෙවුලයි. කවුරුන් හෝ ජලය පානය කර ඇත. කවු ද? මම ද? මා විය යුතුය. මා හීනෙන් ඇවිදින්නෙකු විය යුතු ය. මේ නාඳුනනා ස්වප්න යාත්‍රිකයා සමඟ මා මෙතෙක් දෙබිඩි ජීවිතයක් ගතකර තිබේ.

අප තුළ සත්වයින් දෙදෙනකු සිටිනවා විය යුතු ය. නැතහොත් නින්දේදී යම් පිටසක්වල ප්‍රාණියෙකු ඇඟ සිය ග්‍රහනයට ගන්නවා විය යුතු ය. අපි ඔහුට කීකරු වෙමු. හේ අපට කීකරු වෙයි. පැහැදිළිව කියන්නේ නම් අපි ඔහුට වඩා කීකරු වෙමු. 

අහෝ මේ ඛේදවාචකය වටහා දෙන්නේ කවුද? යහපත් සිහියෙන් හා හොඳ අවධියෙන් පසුවන, සාවධානී ප්‍රකෘතියේ පිහිටා සිටින මනුෂ්‍යයෙක් තමා නින්දේ සිටිය දී භාජනයෙන් සහමුලින් අතුරුදන් වූ ජලය දෙස බියපත්ව බලා සිටී. තේරුම් කර දෙන්නේ කවුද?

යළි යහන් වදිනා ධෛර්ය නොමැතිව මම එළිවන තෙක් එතැනම රැඳී උන්නෙමි.

ජූලි 6
මම උමතු රෝගයකින් පෙළෙමි. ගත වූ රැයේද බඳුනෙන් ජලය මුලුමනින්ම බී තිබේ. එක්කෝ මා බී තිබේ. බීවේ මම ද? එහෙනම් ඒ මම ද? නැත්නම් කවුද? දෙවියනි, මම පිස්සුවෙන් ද? මා දැන් බේරාගන්නේ කවු ද?

ජූලි 10
මම පුදුම සහගත පරීක්ෂණ පෙළක් සිදුකරමින් සිටිමි. ඉඳුරා උන්මත්තකයෙකි එහෙත්. . . . . . 
ජූලි 6 වෙනිදා සයනයට පෙර මම මේසය උඩ වයින් කිරි හා වතුර ටික බැගින් ද පාන් හා ස්ට්‍රෝබෙරි පොකුරක්ද තැබූයෙමි.

යමකු, නැතහොත් මා වතුර සියල්ලද කිරි ටිකක්ද බී තිබේ. වයින් පළතුරු හා පාන් එළෙසින්ම තිබේ. ජූලි 7 දා යළි එම පරීක්ෂණයෙන් සමාන ප්‍රතිපල ලදිමි. ජූලි 8 වැනිදා කිරි හා වතුර නොතැබීමි. කිසිවෙකට අත ගසා නැත.

ජූලි 9 දා යළි කිරි හා දිය තැබීමි. සුදු මස්ලින් රෙද්දකින් බඳුන් එතුවෙමි. බෝතල් මූඩි කටට තබා බැන්දෙමි. මගේ තොල්වලද උඩු රැවුලේද රතු සායමක් ගා ගත්තෙමි. මා බීවොත් රෙද්දේ සායම් තැවරෙනු ඇත. නිදා ගත්තෙමි.

වහා නින්දට වැටුන මම සුපුරුදු සිහිනෙන් බියපත් ව අවධි වූයෙමි. යහනේ මා ඇඟ සෙලවී නැත. ඇතිරිල්ලේ සායම් ගෑවි නැත. වහා මේසය වෙත පැමිණ බැලුවෙමි. බෝතල එතූ සළුවේ ළපයකුදු නැත. බියෙන් ගැහෙමින් බඳුන් එතූ පිළීයේ රැහැන් මුදන්නට වීමි. වතුර සියල්ලම බී තිබේ. කිරි සියල්ලද බී ඇත. සර්වබළධාරී දෙවියනි, තව මිනිත්තුවක් මෙහි නොරැඳෙමි. පැරීසිය බලා යමි.

 මේ ටික උපුටා ගත්තෙ බණ්ඩාර සෙනෙවිරත්න දොස්තර මහත්තයගෙ මේන් මේ පහත තියෙන පොතින්..
 මේ කතාව ගීද මෝපසාං කියන ප්‍රංශ ගත්කරුවාගේ හෝලා කියන කෙටිකතාවේ එන කොටසක්...

මේ සම්පූර්ණ කතාව ගැන විස්තර කරන පරිවර්ථකයා...

මෝපසාන්ගේ මේ කෙටිකථාව මහත් භයක් හා ශෝකයක් එක වර ඇති කරන්නකි. මේ ඔහුගේ ම අත්දැකීම යි. මේ කථාව ලියවෙන අවධිය වන විට ලේඛකයා සිටියේ උමතුභාවයෙනි. එබැව් හේ නොදනී. සිෆිල්ස් නම් ලිංගාශ්‍රිත රෝගයේ උත්සන්න අවධියේදී බැක්ටීරියාව රෝගියාගේ මොළයට වැද උන්මත්තකභාවය ඇති කරයි. මෙය එකල හැඳින්වූයේ  (Tertiary stage of insane) යන නමිනි. මේ උමතු රෝගයෙන් මෝපසාන් පමණක් නොව ලෝකයද නොදැන සිටිය බව අපට පෙනේ. කතාව ලියා මාස කිහිපයක ඇවෑමෙන් ඔහු මානසික රෝහලකට පමුණුවන ලද්දේ එහිදී මිය ගියේ ය. හැකි හැම තැන සිය දිවි හානි කරගැනීමට තැත් කලේය. මිහි මත සිටින කිසිම මනුෂ්‍යයකුට දරා ජීවත් විය නොහැකි වන තරම් ඛේදවාචකයක් බවට ජීවිතය පත්වන අන්දම මේ කතාව කියැවීමෙන් පාඨකයා දැන ගත හැකිය.
ලේඛකයා සතු නිසඟ තර්කන ශක්තියට බලගතු ලේඛන කෞෂල්‍යයට බුද්ධිය කෙස් ගසකිනු හානි පමුණුවන්නට මෙකී ව්‍යාධිය සමත් වී නැති බව කතාව කියවන අපට හැඟෙයි. මෙකී හැඟීම සොව තවද ලියලවයි. අසම සම ලේඛකයකුට උන්මත්තක භාවය වැළැඳුන කල්හි හේ එය ඇති සැටියෙන්ම ලියන්නේය. ධනවත් බුද්ධිමත් අවිවාහක විනෝදකාමියෙකු වූ මෝපසාන් ගේ තොරතුරු බිඳක් දැන ම කතාවට පිවිසීමෙන් ඔබට වඩාත් පළල් වින්දනයක් ලැබෙතැයි මම සිතුවෙමි..

ලෙස ඒ කතාවට අදාල ඇත්තම විස්තරය මැනවින් විස්තර කරයි..

පොතේ අංකය :- ISBN -978-955-54277-0-8
පොතේ නම :- විවාහයේ පරම විද්‍යාව. ( මෙය කෙටිකතා පොතක් වුවත් මේ නම යෙදූයේ පොත මුද්‍රණයක කරන ලද මිතුරාගේ අභිමතය පරිදි බව මේ පරිවර්ථක මහතා මා සමඟ පැවසීය.)
පර්වර්ථක :- වෛද්‍ය බණ්ඩාර සෙනෙවිරත්න.
(bandaraseneviratna@yahoo.com)
මිල :- රුපියල් 230/=
මිලදී ගත හැකි තැන් :- ඇස් ගොඩගේ පොත් සාප්පුව මරදාන, සරසවි පොත්හල නුගේගොඩ..

මෙය එළිදැක්වීමේ දේශනයේදී සමන් වික්‍රමාරච්චි පැවසූ පරිදි මෙහි බාසාව තරමක් පරන ස්වරූපයක් ගනී..නමුත් එහි රසය නොඅඩුව ඇත. කෙටි කතා වුවත් කතාන්දර මට්ටමේ වින්දනාත්මක තරමක් දිග කතාන්දර හතරක් මෙහි ඇතුලත්ය. මේ කොටස මා ටයිප් කර දැම්මේ පරිවර්තකගේ වාචික අවසරයක් සහිතවය.

4 comments:

  1. අනිවා කියවන්න ඕනෙ. ඒ කොටස නියමයි.

    ReplyDelete
  2. කියවිය යුතු පොතක්...

    සමන් වික්‍රමාරච්චි මෙනවා කිව්වත් කතාව ලියවෙලා තියෙන කාලයට සාපේක්ෂව පරිවර්ථනයේ භාෂාවද පැරණි වීම එහි අන්තර්ගතයට ඉටුකරන්නේ සාධාරණයක්....

    ReplyDelete
  3. උඹ ලියපු විදිහටද මන්දා කියවන්න ආස හිතුනා...

    ReplyDelete
  4. පරිවර්තන කියවන්ට ආසා නැති උනත්, මේ පොත පරිවර්තනය කර්ලා තියන විදිය දැක්කාම කියවලා බලන්ට හිතුනා.

    ඇත්ත ජීවිතයේත් ඔය වැනි අය දැකලා තියන හන්දා පොත කියවීමේ ආශාව තවත් වැඩි උනා.
    හොයාගෙන බලන්ට ඕනි.:)

    ReplyDelete