Sunday, April 6, 2014

ගරාදි හැත්ත Gridiron Gang

කැලිෆෝනියාවේ සාන් ප්‍රනාන්දු නිම්නයේ California's San Fernando Valley පිහිටා තිබෙනවා වර්නන් ක්ලිපැට්රික් කියලා පරිවාස කඳවුරක්. මේ කඳවුරේ රඳවාතබාගන්නෙ අවුරුදු 18ට අඩු දරුනු ගනයේ අපරාධකරුවන්. විශේෂයෙන් ලොස් ඇන්ජලිස් නගරය කේන්ද්‍ර කරගෙන තමයි මේ කඳවුර පිහිටා තිබෙන්නෙ.

ලොස් ඇන්ජලීස් නගරය විවිධ ජාතියෙ මිලියන 4 කට ආසන්න මිනිස්සුන්ගෙන් පිරිල තිබෙනවා. සූදුවට සහ ධන කුවේරයින්ට අවශ්‍ය පහසුකම් සපයන ස්ථානයක් විදියට ලොස් ඇන්ජලීස් නගරය ලෝ පතල වෙලා තියෙනවා. මේ නගරයේ 1985 ආසන්න කාලෙකදි පාතාල කල්ලි අතර ගැටුම් නිතර ඇතිවෙනවා.මේක ඇවිල්ලා මහා ලොකූ සයිස් එකක් නෙමෙයි. වීදි දෙකක කන්ඩායම් දෙකක් කාලාන්තරයක් තිස්සෙ තියෙන වෛරයකට ගහමරාගන්න සිද්ධියක්. මේ පාතාල කල්ලි බොහෝවිට සමන්විත වෙලා තිබුන කළු ජාතිකයින්ගෙන්.

මේ පාතාල කන්ඩායම් සහ විවිධාකාර විෂමාචාර අපරාධ වලට පොලිසියට ඇවිත් වැරදිකරුවන්‍ බවට පත්වෙන අයව යොමුකරනවා මුලින් කිව්ව වර්නන් කිලිපැට්රික් කියන පරිවාස කඳවුරට. මේ කඳවු‍රේ ඉන්නවා දක්ෂ පරිවාස නිළධාරියෙක් සීන් පෝටර්(Sean Porter) කියලා. සීන් පෝටර් ඒ වැරදිකාර දරුවො වරදින් මුදවාගන්න සහ එවුන්ට නිසි මග පෙන්වන්න උත්සාහ ගන්නවා.

නමුත් ටික කාලෙකින් පෝටර් තේරුම් ගන්නවා මේක පෙරලුනු කෝප්පෙකට වතුර වක්කරනව වගේ ඵලක් නැති වැඩක් කියලා. ඒ වැරදිකාර 18ට අඩු ලමයි මනසින් බොහොම නරක් වෙලා. එවුන් වැරදි කරන්න කලහ කරන්න තියෙන බය නැතිවෙලා. තවදුරටත් ඔවුන්ට දැඩි දඩුවම් දීලා තදින් කතාකරලා වැරැද්ද පෙන්නුම් කරල දුන්නත් වැරැද්ද තේරුම් ගන්න තරම් තැනක මේ දරුවන් පිරිස නැහැ.

පොටර් ඉන් පස්සෙ ළමයින්ගේ මනස වෙනත් පැත්තකට ගෙනියන්න පුලුවන් විදියක් කල්පනා කරනවා. ඒ අනුව පොටර් ඒ ළමයින්ව ඇමරිකානු පාපන්දු ක්‍රීඩාවට පුරුදු කරනවා. මේ අය ක්‍රීඩාවකට හුරු කරනවා කියන එක ලේසි වැඩක් නෙමෙයි. පොඩ්ඩක් බුරුල දුන්න ගමන් උත්සාහ කරන්නෙ වලියක් කොක්කක් දාගන්නමයි. ඒත් පොටර් අධෛර්යමත් වෙන්නෙ නැහැ. ඔහු තමුන්‍ ගේ උත්සාහය නිර්මාණශීලිව ඉදිරියට ගෙනියනවා. කොහොම හරි පොටර් මස්ටෑන්ග් Mustang කියලා ඇමරිකානු පාපන්දු American football කන්ඩායමක් හදා ගන්නවා.

‍මේ පරිවාස කඳවුරේ දරුවන් පුරුදුවුනාට එයාලට ක්‍රීඩා කරන්න ප්‍රතිවාදී කන්ඩායමක් නැති වෙනවා. අවසානෙ ඉස්කෝල ගානෙ ගිහින් නොවඳිනා වැඳුම් පවත්වලා තමයි යන්තම් ‍ප්‍රතිවාදි කන්ඩායමක් හොයාගන්න මස්ටෑන්ග් පුහුනුකරුට හැකිවෙන්නෙ. ඒ වගේම පරිවාස කඳවුරු පරිපාලනය මේ වැඩේට මුලින් කැමති වෙන් නැහැ. නමුත් පසුව ඔවුන් කැමති වෙනවා.

මේ කට්ටිය ඉතිං ‍කෝමහරි මුල්ම තරඟයට සහභාගී වෙනවා ලොකු නමක් තියෙන කන්ඩායමක් එක්ක. මුලු ග්‍රවුන්ඩ් එකම අර ප්‍රතිවාදී කන්ඩායමට චියර් කරනවා. නමුත් මෙයාලට චියර් කරන්න කවුරුත් නැහැ. මස්ටැන්ග් කන්ඩායම පරිදිනවා 38ට 0ක් විදියට.

මේ කතාව ඇත්ත කතාවක්. ඉන් පස්සෙ ඒ මෂ්ටෑන්ග් කන්ඩායම මානසිකව ගොඩක් වැටෙනවා. ඒ කන්ඩායම සමන්විත වෙන්නෙ පරිවාස භාරයට දාපු වැරදි කරපු ළමයින්ගෙන්. එහෙම ළමයින්ට දරාගන්න පුළුවන් හැකියාව අඩුයි. ඒ නිසා කන්ඩායමේ සාමාජිකයින් මහ හඩින් හඬා වැලපෙනවා. සමහරු සද්දෙ නැතිවුනත් මහත් කළකිරීමකින් ඉන්නවා.

නමුත් ඒ වෙනකොට ඒ අය ආපසු හැරෙන්න බැරි තරමෙ තැනකට ඇවිත්. ක්‍රීඩාව දිගටම කරගෙන යන්න කන්ඩායම තීරණය කරනවා. පසුව කන්ඩායම ජයග්‍රහනය කරා යාවිද? ඒක තමයි Gridiron Gang ෆිල්ම් එකේ බලන්න තියෙන්නෙ. සාමාන්‍ය ඒ වගේ කඳවුරකින් එළියට ගියාම නැවත අපරාධවලට යොමුවන්න තියෙන හැකියාව 75%ක් පමණ වෙනවාලු. නමුත් අර ක්‍රීඩාවට යොමුවුන ළමයින්ගෙන් නැවත පෙර පරිදි අපරාධවලට යොමුවුන අය ඉතාම සීමිත ප්‍රමාණයක් තමයි ඉඳලා තියෙන්නෙ. කොහොම හරි මහා දරුණු ක්‍රීඩාවක් වුනත් ඒක මගින් අර දරුවන් අකාලෙ මරණයට යන්න තිබුන හැකියාව අඩුකරගන්න හැකිවුනා.

මේ ෆිල්ම් එකේ පුහුනුකරු විදියට රඟපාන නළුවා ඩ්වේන් ජොන්සන්(Dwayne Johnson) කියන සුප්‍රකට ඇමරිකානු රෙස්ලින් නළුවෙක්. නමුත් ඔහු ඇමරිකානු ෆුට්බෝල් ක්‍රීඩාවටත් ‍එක්තරා කලකදී දායක වෙලා තිබෙනවා.

ඇත්ත කතාවක් වෙච්චි මේ ෆිල්ම් එකේ ඇත්තම චරිත බෙහොමයක් අද වෙනකොට අපරාද නැති ජීවිත ගතකරනවාලු.

ලංකාවෙදි මෙහෙම මහා පරිමාණ සාර්ථක ව්‍යාපාරයක් විදියට තරුණ සේවා සහ යෞවන සමාජ වැඩපිළිවෙල හඳුන්වන්න පුළුවනි. 1971 සහ 1989 අවුරුදු වල තරුණයින් ලංකාණ්ඩුවට එරෙහිව බොහොම ප්‍රාථමික සහ බොළඳ විදියෙ අවි අතට ගැනිමක් කලා. එතනින් පස්සෙ රජය පරීක්ෂණ පවත්වනවා මේකට හේතුව මොකක්ද විසඳුම මොකක්ද කියාල. එතනදි මෙතන තරුණ අසහනය දරුණු විදියට වැඩිවීමේ ගැටළුවක් තිබෙනවා කියල හොයාගන්න එවකට එක්සත් ජාතික පක්ෂ රජය සමත් වෙනවා.

මේ තරුණ සේවා සභාව සහ යෞවන සමාජ සහ වෙනත් බොහොමයක් වැඩ වල එකල පුරෝගාමින් දෙදෙ‍නෙක් බවට අපේ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සහ නැසීගිය ගාමිණි අතුකෝරළ මහත්වරුන් පත්වුනා. රනිල් වික්‍රමසිංහ මහතාගේ නිර්මාණශීලි දායකත්වය සහිතව තරුණ සේවා සභාවත් යෞවන සමාජ ක්‍රමයත් සාර්ථක ලෙස ගම් වල තරුණයින් අතරට ගියා.

සමහර ප්‍රශ්ණවලට ප්‍රශ්ණය විතරක් අතගාල හරියන් නැහැ. ප්‍රශ්ණ අවට අපිට නිර්මාණශීලිව අධ්‍යනය කරලා විසඳුම් හොයන්න සිද්ද වෙනවා. ඒ විදියෙ ලස්සන කතාවක් තමයි ග්‍රිඩි‍රොන් ගැන්ග්. මේ ෆිල්ම් එකේ අධ්‍යක්ෂවරු නළු නිලියො ආදිය ගැන මේ පහත ලිංකුව හරහා ගියාම නමද ගමද වයස එක්ක පිංතූරේ විස්තර තියනවා. ඉතිං මං මොකටද ආයිමත් ඒවා කියන්නෙ.කියලයි මම ඒවා නොලිය ඉන්නෙ.

http://www.imdb.com/title/tt0421206/?ref_=nb_watch_?ref_=nv_wl_img_3

11 comments:

  1. තරුණ සේවා සභාව ඇරඹුණේ 1989 ට දශකයකට ඬිතර කලින් නේද?

    චන්ද්‍රලේඛා, ශර්ලි වෛජන්ත වැනි ගායකයෝ ආවේ ඒ හරහා බවයි මගේ මතකය.

    ප්‍රේමදාස 1989 න් පසුව දැමූ තරුණ අහසන කොමිසමේ (සීඑල්වී ජයතිලක / ජීඑල් පීරීස්/) නිර්දේශ ලෙස තමයි විභාග තියා ජොබ් දීම, මනාප ලයිස්තුවලට තරුණ පිරිස් ප්‍රතිශතයක් ඇතුලත් කිරීම වගේ තීරණ ගත්තේ!

    ReplyDelete
    Replies
    1. ඒ ගැන හරියටම අදහසක් කියන්න දන්නෙ නැහැ. මම යෞවන සමාජ වල වැඩකරන කාලෙ ඒකෙ ආරම්භක ලොක්කෙක් කිව්වෙ ඔය කැරලි වලට පස්සෙ රජයට ඇතිවුන බලපෑම් සහ රජය පත්කල කොමිසන් වල නිර්දේශ මත තරුණ සේවා සභාවත් යෞවන සමාජ ක්‍රමයත් වඩාත් ශක්තිමත් වුනා කියලා...
      මේ හරහා ගමේ නිකං හිටපු කොල්ලො කුරුට්ටො කෙලි නැට්ටියො මොනයම්ම හරි දේකට යොමු වෙලා අරමුණක් ඇතිකරගෙන යහපත් විදියට සමාජගත වෙන්න ඇති.
      නමුත් ඒ ආන්ඩුවලට විශ්ව විද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතන ව්‍යුහයන් තුලින් ගැමියන්ටත් වඩා ග්‍රාමීය ආකල්ප සහිත ගොඩයන් බිහිවීම නවත්වන්න බැරිවුනා.

      Delete
    2. ජාතික තරුන සේවා සභාව හැදුවේ 1978 හෝ 1979 මගේ හිතේ. රනිල් තරුන කටයුතු ඇමති වුනේ 1977 අගභාගයේ..ඊට ඉස්සෙල්ලා නි.විදේශ ඇමති. මේ ආයතනය ලොකු වැඩ කොටසක් කලා චරිත රත්වත්ත ලේකම් කාලේ. අදත් තරුන සේවා එක නිසාම ජීවිතය ශක්තිමත් කරගත් පිරිස් බොහෝයි.

      ඒ වගේම යම් යම් චෝදනාත් තිබුනා 1987-89 කාලේ.

      Delete
  2. මේ තරුණ සේවා සභාව සහ යෞවන සමාජ සහ වෙනත් බොහොමයක් වැඩ වල එකල පුරෝගාමින් දෙදෙ‍නෙක් බවට අපේ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සහ නැසීගිය ගාමිණි අතුකෝරළ මහත්වරුන් පත්වුනා. රනිල් වික්‍රමසිංහ මහතාගේ නිර්මාණශීලි දායකත්වය සහිතව?????

    බඩ රිදෙනවා ඕයි හිනා වෙලා හිහ් හිහ් හි

    ReplyDelete
    Replies
    1. එතන හිනා වෙන්න දෙයක් නෑ...
      අද විහිළු කාර චරිතයක් බලට මාධ්‍ය මගින් පත් කරල තිබුණට මහ නසරාණි බාල්දි දාගත්තට රනිල් කියන්නෙ මහින්දට වැඩිය හොද පොරක් ... එයාගෙ කල්කිරියාව මේ දවස් වල නරක් කරන්

      Delete
    2. මේ මැතිවරණ ක්‍රමය තුල ය තුල මිනිස්සුන්ගේ කැමැත්ත තමයි ඉස්මතු වෙන්නෙ. එතනදි මිනිසුන් බහුතරයක් අකමැතියි යථාර්තයට මුහුන දෙන්න. ඔවුන් කැමති සුරංගනා ලෝකවලට..
      රනිල් වික්‍රමසිංහ මිනිසුන්ට සුරංගනා ලෝක මැවීමේ අසමර්ථයෙක්. .. රාජ්‍ය නායකයෙක් ලෙස ඔහු සතු දුබලතා තිබෙනවා. උදාහරණ ලෙස ලැබෙන අවස්ථාවලදී ප්‍රතිවාදීන්ට සහ තරඟකාරීන්ට පොරි හැලෙන්න ගැසීම වගේ දේවල් වලදි රනිල් නායකයෙක් විදියට දුර්වලයි.
      නමුත් අනික් හැම කාරණාවකදිම රනිල් ශක්තිමත් නායකයෙක්. හැමෝටම විවේචනය කරන්න හැකියාව තිබෙනවා. නමුත් බලය ලැබුන විට ක්‍රියාත්මක කිරීමේ හැකියාව හැමෝටම නැහැ. රනිල්ට ඒ හැකියාව තිබෙනවා.

      Delete
  3. ඩ්වේන් ජොන්සන්(Dwayne Johnson) කියන සුප්‍රකට ඇමරිකානු රෙස්ලින් නළුවෙක්////

    මෙච්චර දෙයක් කියන්නෙ මක්කටද.... කෙලින්ම ද රොක් කීව නං ඉවරනෙ...
    මේකට සිංහල සබ් දාල තියේද කව්රු හරි...නැත්තං හොදට සීඩ්ස් තියෙන ටොරන්ට් ලිංක් එකක් හොයල දියන් සිංහල පේක්සක ජනතාවට මේක බලන්න සබ් කරන්න

    ReplyDelete
    Replies
    1. Gridiron Gang torrent කියන එක ගූගල් වල සර්ච් කලාම එනවා පෝලිමක්ම... මං ටොරන්ට් බාන්නෙ නැති නිසා මොකක් හොදයිද කියන්න බැහැ.
      1080 එක හොඳ වෙයි. 720ත් අවුලක් නැහැ.මේ ෆිල්ම් එකේ සවුන්ඩ් ට්‍රැක් එක පස්ට..

      http://www.amazon.com/dp/B00AQ5VEH2/ref=nosim/?tag=sonypicturese-20
      ඇමසන් ස්ටෝරුවෙ මේකෙ එක ඩිවිඩි එකක් ඩොලර් 15කට තිබෙනවා කියල තියෙනවා. ඒකනම් සෝනි පික්චර්ස්ලාගේ ඔරිම ජිනල් කොපියක්..

      Delete
  4. නියමම ෆිල්ම් එකක්.. මං ඕක බලලා දැං අවුරුදු 5කට වැඩියි මං හිතන්නෙ.. ඒත් තාමත් අර බයිබල් වාක්‍යයෙන්ම ගහල දිනන සීන් එක මතකයි... ඇත්තටම ඒ වෙලාවෙදිත් මට අපේ රටම තමයි මතක් උනේ... නොතේරුම් කාලෙ කරන පුංචි දේකට, සමාජය ගහන මකන්න බැරි හංවඩු හින්දා ජීවිත කොච්චර නාස්ති වෙනවද ... කුඩු ටිකක් අහලින් ගියෙ නැති එවුන් කුඩු කාරයෝ වෙනවා.. යන්තං කොල්ලෙක් එකක් කතා කරපු ගමන් කෙල්ලො වේසියෝ වෙනව... අන්තිමට හංවඩුව හින්දම උනුත් ජීවිත නාස්ති කරගන්නවා... ඔය ෆිල්ම් එකේ ගතිම හරිය තමයි අර සෙල්ලම් කරන්න ටීම් එකක් හොය හොය යන හරිය...

    ReplyDelete
    Replies
    1. අපේ රටේ පාතාල මිනිස්සු මැරෙනකොට සමාරු සතුටුවෙනවා. ඒ මැරෙන්නෙත් මිනිස්සු නේද කියලා හිතනව අඩුයි..අපිට තියෙන කරදරයක් අඩුවුනා කියල කාලකන්නි සතුටක් ලබනවා..

      Delete
  5. බයිට් කියන්නේ සල්ලි නිසයි, ගොඩක් අය ෆිල්ම් බලන්නේ සාමාන්යෙන් අඟල් 24කට වඩා අඩු පුංචි ස්ක්‍රීන් වල නිසයි 1080p කොපියක් බාන එක ගොඩක් පාඩුයි. අඟල් 24කට වඩා අඩු ස්ක්‍රීන් වලට 720p හොඳ කොපියක් හොඳටෝම ඇති...
    මෙන්න ඒ විදිහේ හොඳ කොපියක් , කැමති අය බාගනිල්ලා...
    Gridiron Gang
    >
    තරුණ සේවා සභාව නිසා ලංකාවේ නාට්‍ය කලාවට නම් අවුරුදු තිස් ගානක් තිස්සේ විශාල සේවයක් උනා සහ තවමත් වෙමින් තියෙනවා. හැබැයි ඊට අදාලව මෑතකදී පටං ගත්තු සමහර ප්‍රොජෙක්ට් කෙරෙන විදිහ ගැන මම ලියපු පොඩි ලිපියක් තියෙනවා. කැමති කෙනෙක් කොටා බලත්වා..
    අත්තම්මලා'ගේ තේරීම - අත්තානං

    ReplyDelete