Saturday, July 29, 2017

දෙවන ලෝක යුද්ධයේදී ලංකාව සතුරාට යට නොවුනේ ඇයි


දෙවන ලෝක මහා සංග්‍රාමය අන්ත දෙකකින් ක්‍රියාත්මක වූ මහා සංග්‍රාමයක්. එක් පාර්ශවයකින් ජපානය සිය අධිරාජ්‍යය චීනය සහ අග්නිදිග ආසියාව දෙසට ව්‍යාප්ත කරන්නට උත්සාහ කරන අතර අනෙක් පසින් ජර්මනිය සිය ලෝක රාජ්‍යය යුරෝපය මූලික කොට ගෙන තනාගන්නට වෙහෙසුනා. දෙවන ලෝක යුද්ධය විසින් එවකට ලෝක ජනගහනයෙන් සියයට තුනක පමණ ජනතාවක් ලෝකයෙන් මුළුමනින්ම අතුගා දමන්නට සමත් වූ මහා ව්‍යසනයක් වුනා. 
 
1942 අප්‍රේල් මස 05 වැනිදා කොළඹ වරායට බෝම්බ දැමූ ජපනුන් HMS Cornwall සහ HMS Dorsetshire යන බ්‍රිතාන්‍ය විශාල නෞකා දෙක මුහුදුබත් කලා.  ඊට දින 4කට පසු ත්‍රීකුණාමලයට ප්‍රහාර එල්ල කල ඔවුන්,ගුවන්යාන ප්‍රවාහන විශාල යුධ නෞකාවක් වූ HMS Hermes සහ එහි සහායක නෞකා 4ක් ගිල්වා දමන්නට සමත් වුනා. වාර්ථාවන පරිදි මෙම නෞකාවල සිටි යුධ නාවුකයින් 728ක් ජීවිතක්ෂයට පත්කරන්නට මෙම ජපාන ප්‍රහාර මාලාව සමත් වී තිබෙනවා. 
ජපනුන් විසින් ගිල්වනු ලැබූ HMS Dorsetshire නෞකාව
 එවකට සිලෝන් නම් වූ ලංකාවේ මඩකලපුව ත්‍රීකුණාමලය සහ කොළඹ වරායන්හි නවතා තිබූ  නැව් වලටත් ඒ ආසන්න භූමියේ ස්ථාන කිහිපයකටත් මේ ප්‍රහාරවලින්  දැඩි ලෙස හානි සිදුවුනා. එම ජපාන ගුවන් ආක්‍රමණය සිදු වන්නේ ජපානය ඇමරිකාවේ පර්ල් වරායට බෝම්බ දැමීම හා සමරූපි ලෙසින්.  පර්ල් වරායට බෝම්බ බලකායේ මෙහෙයුම් ප්‍රධානී අදමිරාල් Chuichi Nagumo ඇතුළු එම කන්ඩායම මෙම ලංකාවේ වරායන්ට බෝම්බ හෙලීමට  දායක වී තිබුනා. ඔවුන් එම ගුවන් යානා ගුවන්ගත කරන්නේ  ජපාන පුහාරක ගුවන් යානා නංවන Akagi,Shokaku ආදී නෞකාවන් (Aircraft Carrier) මත සිටයි. එහිදී ත්‍රීකුණාමල සහ කොළඹ වරායේ නැංගුරම් ලා තිබූ සුවිසල් නැව් 5ක් මුහුදුබත් කරන්නට සහ විශාල හානියක් සිදුකරන්නට  එම ජපාන ගුවන් මෙහෙයුම සමත් වුනා. එවකට රේඩාර් වලින් සන්නනද්ධව ප්‍රහාරයකට සූදානමින් සිටියත් පලපුරුදු ජපන් ගුවන් කන්ඩායමට දැඩි අලාභයක් කරන්නට ලංකාවේ එවකට සිටි බ්‍රිතාන්‍ය හමුදා සමත් වී නැහැ. 

දුර ගැටළුව

ජපානය සහ ජර්මනිය යන දෙවන ලෝක යුද්ධයට මූලික වූ ප්‍රධාන පාර්ශව දෙකම ලංකාව සහ ඉන්දියානු සාගරයෙන් බොහෝ දුරස්ථ වූ රටවල් දෙකක්. ජර්මනිය විසින් අවස්ථා ගනනාවකදීම ඊජිප්තුවට ප්‍රහාර එල්ල කරනු ලැබුවත් ඔවුන්ට සූවස් ඇල යටත් කරගන්නට අවකාශ ලැබෙන්නේ නෑ. එම නිසා ජපාන හමුදාවට සහාය පිණිස ජර්මනියට සිය යාත්‍රා දියත් කිරීමේ අවශ්‍යතාවයක් තිබුනත් එය කල හැකි වුනේ අප්‍රිකාව වටා අමතර සති කිහිපයක් යාත්‍රා කිරිමෙන් පමණයි. 

ඉන්දියානු සාගරයට ජර්මානු යූ බෝට්ටු පැමිණි මාර්ගය
 ජලය මතදී යාත්‍රාවක් සේ ධාවනය කල හැකි සේම ජලය තුල කිමිදී සැඟව ප්‍රහාර එල්ල කිරීමේ හැකියාවන්ගෙන් යුත් ජර්මානුන් සතු යූ බෝට්ටු (U Boat) දෙවන ලෝක යුද්ධයේ මිත්‍ර පාක්ෂික නැව් සිය දහස් ගනණක් ගිල්වන්නට සමත් වූ  ජර්මනිය සතු ප්‍රබලතම යුධ උපක්‍රමයක් වුනා. මෙම ජර්මන් යූ බෝට්ටු කිහිපයක් ඉන්දියානු සාගරයේද ක්‍රියාත්මක වුනා. ජපානය ලංකාවට බෝම්බ දමා අවුරුදු 2කට ආසන්න කාලයේදී  1944 පෙබරවාරි 29 වැනිදා ජර්මානු යූ බෝට්ටුවක් වූ U-183 විසින් ගාලු වරායට කිලෝමීටර 740ක් නුදුරේදී Palma නම් ටොන් 5419ක බඩු සහිත වාණිජ නැව ගිල්වනු ලැබුවා. බ්‍රිතාන්‍ය පාර්ශවයේ එම නෞකවේ  නාවුකයින් දෙදෙනකු අහිමි වුවත් 42ක් වූ කපිතාන් ඇතුළු නාවුක පිරිස HMS Balta යාත්‍රාව මගින් බේරාගෙන මාර්තු 2 වැනිදා කොළඹ වරායට ඇරලවා තිබුනා. 
 
ඉන්දියානු සාගරයේ සහ පැසිෆික් සාගරයේ ජපාන හමුදාවට සහාය පිණිස ජර්මානුවන් විසින් එවනු ලැබූ යූ බෝට්ටු ඇණිය Gruppe Monsun ලෙසින් හඳුන්වනු ලැබීය. පෙර කීවාක් මෙන් ඊජිප්තු කලාපය ජර්මානු ආක්‍රමනයට නතු නොවූ බැවින් සූවස් ඇලේ වාසිය ගත නොහැකි වූ මෙම ජර්මානු යූ බෝට්ටු  වලට ඉන්දියානු සාගරයට පිවිසෙන්නට සිදු වන්නේ අප්‍රිකාව වටා යාත්‍රා කිරීමෙනි. ඒ අතරමගදී මැඩගස්කරය ආසන්නයේදී ඒවාට මිත්‍ර පාර්ශවයෙන් ප්‍රබල ප්‍රතිරෝධයක් එල්ල වුවද මැඩගස්කරය පසුකොට ශ්‍රී ලංකාව ආසන්නයෙන් ගොස්  එම ජර්මානු යූ බෝට්ටු 1943 ජුනි ජූලි මාසවලදී සුමාත්‍රා ජාවා දූපත් ආසන්න ජපාන හමුදාවලට සිය සහයෝගය ලබා දී තිබේ. 

1942 මාර්තු 8 වැනිදා සියම හෙවත් වර්ථමාන බුරුමයේ රැංගූන් ද මාර්තු 9 වැනිදා සුමාත්‍රාවද ජපානය අත්පත් කරගන්නා ලදී. සිංගප්පූරුව මැලේසියාව ආදී සමස්ථ අග්නිදිග ආසියාවේම විශාල කොටසක බලය 1942 මැදභාගය වනවිට සතුව තිබුනේ ජපානය වෙතය.  එහෙත් ලංකාව සහ ඉන්දියාවට ඉන්දුනීසියානු සුමාත්‍රාවේ සිට කිලෝමීටර 2000ක  දුරක් ගෙවා ආ යුතුය. ලංකාවට නැගෙනහිර දෙසින් වූ අන්දමන් නිකොබාර් දූපත්ද ජපානය විසින් 1942 සිට 1945 දක්වා වසර තුනකට අධික කාලයක් සිය ආධිපත්‍යයේ තබාගන්නා ලදී.

 එහෙත් ජපනුන් විසින් ඉන්දියානු සාගරයේ නාවුක බලය මඩිනු පිණිස කොළඹ වරාය ත්‍රිකුණාමලය ආදී ස්ථානවලට සහ බ්‍රිතාන්‍ය නැව් වලට ප්‍රහාර එල්ල කලා විනා ලංකාව අල්වාගන්නට විශාල ලෙස සැලසුමක් තිබූ බවක් නොපෙනේ. එහෙත් යම් ලෙසකින් ජර්මානු සහ ජපාන අන්තයන් දෙක එකතුවීමේ සැලසුම ඉන්දියානු සාගරයේදී සාර්ථක වූයේ නම් ඇතැම් විට ලංකාවට එයින් යම් බලපෑමක් එල්ල වන්නට ඉඩ තිබුනි.

ඉන්දියානු උපමහද්වීපයේ බලය

ලංකාව 1815ට ප්‍රථම සම්පූර්ණයෙන්ම වෙනත් ජාතියකට යටත් වී නොමැති මුත් ක්‍රි.ව 1500ට ප්‍රථම උතුරු පලාතේ කොටස්ද ඉන් පසු යුරෝපීය ජාතිකයින් විසින් වෙරළබඩ කලාපයේ කොටස්ද පාලනය කරන ලදී. ලංකාවෙන් කොටස් අල්වාගෙන සිටි කාලිංග මාඝ, දකුනු ඉන්දීය ආක්‍රමණිකයන්,  පෘතුගීසි, ලන්දේසි සහ සම්පුර්ණයෙන්ම යටත් කරගත් බ්‍රිතාන්‍යයන් සැලකූ කල එක් පොදු ලක්ෂණයක් තිබේ. එනම් ඔවුන් අඩුතරමේ දකුණු ඉන්දියාවේ කොටසක හෝ බලය සහතික කොට ගෙන ඉන් පසු ලංකාවේද බලය නතු කරගෙන තිබේ. පෘතුගීසි ලන්දේසි යුගයේදී ඉන්දියාවේ කේරළය සහ ගෝව ඔවුන්ගේ ප්‍රධාන වෙළඳ මධ්‍යස්ථානයක් විය. ඒ අනුව ඉන්දීය උපමහද්වීපයේ පහල කොටසක හෝ බලය ලංකාව යටත් කරගන්නා කවර  ජාතියකට වඩාත් වැදගත් සාධකයක් වේ.  
ලෝ යුධ සමයේ ගිලුනු අහස්යාත්රාවක් ගොඩට අදින ලාංකික පිරිසක්
1818 උඩරට මහ කැරැල්ල ගැන වූ ඉංග්‍රීසි ආණ්ඩුවේ ලිපි ලේඛන පිරික්සීමේදීද යම් ලෙසකින් උඩරට කැරැල්ලක් සාර්ථක වුවද ඉන් පසු කලෙක ඉන්දියාවේ සිට පැමිණෙන ඉංග්‍රීසි හමුදා විසින් නැවත කැරළිකරුවන්ගේ බලය අභියෝගයට ලක් කිරීමේ දැඩි අවධානමක් තිබූ බැව් පැහැදිලිව නිගමනය කල හැකිය. 

ජපානය විසින් බුරුමයේ මායිමද පසුකොට ඉන්දියාවේ ඇසෑම් කෙළවර දක්වා බලය ව්‍යාප්ත කරගත් මුත් ඉන්දියාව ඔවුන් සතු කරගන්නට ජපනාට නොහැකි විය. එම කාලයේදී නොබෙදුනු ඉන්දියානු මහා උපමහද්වීපයම බ්‍රිතාන්‍ය සතුව තිබූ සුවිසාල යටත්විජිතයකි. ඉන්දියානු ජාතික කොන්ග්‍රසයේ පතාක යෝධයෙකු වූ සුභාෂ් චන්ද්‍රා බෝෂ් බුරුම අන්තයේ ජපාන හමුදා වෙත සහාය දැක්වුවද එහි බලපෑම සිතූ තරම්ම දැඩි වූයේ නැත. ඉන්දියානු උප මහද්වීපය විශාල බලයක් සහිත බ්‍රිතාන්‍යයට නතුව තිබියදී ජපානය විසින් ඉන් පහල තිබෙන ලංකා දිවයින යටත් කරගෙන පවත්වාගෙන යෑම සැබැවින්ම විශාල අභියෝගයකි.

බ්රිතාන්යෙය් බලය

එවකට හිරු නොබසින අධිරාජ්‍යය ලෙස විරුදාවලිය ලත් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ පැවැත්මට දෙවන ලෝක යුද්ධය විශාල අභියෝගයක් වූ නමුත් එම යටත් විජිත වැසියන්ගේ දේශපාලන නිදහසට එය වෙස්වලාගත් ආශිර්වාදයක් විය. බ්‍රිතාන්‍ය මෙන්ම නෙදර්ලන්ත, ප්‍රංශ යටත්විජිත රැසකට දෙවන ලෝක යුද්ධයෙන් පසු දේශපාලන නිදහස ලැබෙන්නට විය. 

ඇඩොල්ෆ් හිට්ලර් ප්‍රමුඛ ජර්මානු අධිරාජ්‍ය පිණිස සටන් වැදි ඇණිය විසින් බ්‍රිතාන්‍ය ඇමරිකා සහ යුරෝප නාවුක බලය කෙරෙහි දැඩි බලපෑමක් එල්ල කරනු ලැබීය. සමස්ථ ලෝකයේ සැපයුම් ජාල වෙළඳ ජාල උඩු යටිකුරු කරන්නට මෙම හිට්ලර්ගේ හමුදාවනට අවකාශ ලැබුනි. යටත් විජිත රැසක හිමිකාරිත්වයෙන් මිහිපිට දෙවියන් බඳු සැප මාලිගවල සිටි එවකට එංගලන්ත ජාතිකයන්ට සිය අහර කිස පිණිස ගෙවතු වැඩ කරන්නට නැවත වගාබිමට බහින්නට දෙවන ලෝක යුද්ධය විසින් පාර කපන ලදී. 

ජර්මානු හිට්ලර්ගේ යුධ පිවිසුමේදී සෝවියට් දේශ්‍ය ආක්‍රමනය කරනවාට වඩා දුරින් ආසන්න වූ ප්‍රංශය සහ මහා බ්‍රිතාන්‍යය යටත් කරගන්නට සම්පූර්ණ බලය හිට්ලර් විසින් යෙදවූයේ නැත්තේ මන්දැයි ඇතැම් ඉතිහාසඥයින් විසින් ප්‍රශ්ණකරන ගැටළුවකි. එවකට ආහාර ගැටළුවකට මුහුනපා සිටි ජර්මනිය සිය ආහාර අවශ්‍යතා වෙනුවෙන් සෝවියට් දේශයේ වගාබිම් හරහා සිය යුධ මෙහෙයුම් කරන්නට ඇති බව ඒ ගැන ඇති එක් ප්‍රබල මතයකි.
 ජර්මානු ගුවන් බෝම්බ වලින් ගිනිගෙන දැවෙන ලන්ඩනය
1940 සැප්තැම්බර් 07 වැනිදා බ්‍රිතාන්‍යය දෙසට පැමිණෙන ජර්මානු යානා 1000කි.  අහසේ දකින මහා කුරුළු රෑනක් සේ ජර්මානු බෝම්බ රැගත් යානා බ්‍රිතාන්‍ය වෙත ආහ. පැමිණ ලන්ඩනය ඇතුළු සියලු බ්‍රිතාන්‍ය ප්‍රබල නගර සියල්ලම සුනු විසුනු වී යන පරිදි බෝම්බ හෙලනු ලැබීය. ඊළඟට එලැඹි රාත්‍රීන් 76ක් පුරාවට දිනපතාම ලන්ඩනයට සහ මහා බ්‍රිතාන්‍යෙය් සෑම නගරයකටම ජර්මානු බෝම්බ පතිත විය. එහෙත් එයින් බ්‍රිතාන්‍යය මට්ටු කරන්නට ජර්මානුන්ට නොහැකි විය.වර්ශාවක් මෙන් පතිත වූ මෙම බෝම්බ වලින් පිපිර ගිය නොගිය බෝම්බ සොයාගැනීම් ඉතාම මෑතක් වනතුරුත් ලන්ඩන් නගරයෙන් වාර්ථා වෙමින් තිබුනි.  ජර්මානුවන් සතුව තිබූ යූ බෝට්ටු මගින් මෙට්‍රික් ටොන් ලක්ෂ ගණනක බ්‍රිතාන්‍ය වෙත වූ ආහාර සහ සැපයුම් නැව් පිටින් ගිල්වනු ලැබීය. අහර සලාකයකින් යාන්තම් සප්පායම් වෙමින් රාත්‍රියට බෝම්බ බියෙන් ගැහෙමින් එකල ලන්ඩන් වැසියන් ගෙවූ කරුම දිවිය ලෝක යුද්ධයේ තවත් එක් පැතිකඩක් විය. 
 
යම් ලෙසකින් එවකට අපද අයිතිව සිටි බ්‍රිතාන්‍ය අධිරාජ්‍යෙය් හදවත බඳු මහා බ්‍රිතාන්‍යය ජර්මනිය සතු වීනම් එවකට සිලෝන් දිවයින වූ ලංකාවද ඉබේම ජර්මානු යටත් විජිතයක් වනු ඇත. ජර්මානු යුද්ධයෙන් ජයගත්තේ ඇමරිකාව බ්‍රිතාන්‍ය ප්‍රමුඛ මිත්‍ර සන්ධානය නිසා බ්‍රිතාන්‍යය ජර්මනියට යටත් වීම කිසිසේත්ම නොවිය හැකි ඉතාම අභව්‍ය දෙයක් ලෙස යුද්ධයෙන් ජයගත් පාර්ශවය විසින් අතිශයෝක්තියෙන් ලියූ බොහෝ වාර්ථා වල දැක්වේ. එහෙත් යුද්ධයේ මුල් කාලයේදී ජර්මනිය සහ ජපානය යනු  විරුද්ධ මිත්‍ර පාර්ශව සිතූ තරම්ම  සරල වූ පෙරමුණක් වූයේ නැති බැව් ඔවුන් සිදුකල විනාශයන් පිරිස්ක්සීමේදී පෙනී යයි. 
 බ්‍රිතාන්‍ය හමුදාවට සෙබලුන් බඳවාගන්නා දැන්වීමක්
 ලාංකික දේශපාලන පසුබිම
 
1940-42 වනවිට ලාංකික ස්වදේශිකයින්ට බලය යම්තාක් ලබාදී මෘදු පාලනයකට බ්‍රිතාන්‍ය රජය කැමති වෙමින් තිබුනි.  ජපානය විසින් නතුකරගත් ඉන්දුනීසියානු දිවයින් සිංගප්පූරුව මලයාව, පිලිපීනය, වියට්නාම සහ චීන ජාතිකයින්ට බොහෝ තැන්වලදී  ජපනුන් සලකා තිබුනේ ඉතාම කෘෘරතර ලෙසයි. ජේ ආර් ජයවර්ධන මහතා පසුකලෙක පවසා තිබූ පරිදි ඔවුන් ජපානයට ලංකාව නතු වී නම් කුමක් කරන්නේද යන්න ජාතික දේශපාලකයින් ලෙස රහසිගත සාකච්චා වල පවා නිරත වී තිබුනා. ජර්මනියට හෝ ජපානයට ලංකාව නතු නොවීම , ඔවුනට යටත් වූ රටවල් වල එකල ඉරණම දෙස බැලීමේදී අපගේ එකල විසූ ආච්චිලා සීයලා ලැබූ වාසනාවකි . බලකාමයෙන් මත් වූ  රණකාමින් යනු වර්ථමාන ඉතා දියුණු ගති සිරිත් ඇති ජර්මානුවන් හෝ ජපනුන් නම් නොවෙයි. 

දෙවන ලෝක යුද්ධයේදී අපි අයින් වෙලා තිබුනේ ඇය ිකියන කාරණාවට අවශ්‍ය සැලකිය යුතු කාරණා කිහිපයක් ඔබට මෙයින් ලැබෙන්නට ඇති. ඔබටත් ඒ ගැන අදහස් තිබේ නම්  හුවමාරු කරගන්න අමතක කරන්නට එපා.  

11 comments:

  1. Leonard Birchall: The Canadian Who Saved the Island of Ceylon

    http://transyl2014.blogspot.ca/2015/01/leonard-birchall-canadian-who-saved.html

    ReplyDelete
  2. වටිනා සටහනක්... අර පෝස්ටරේ දැක්ක පලවෙනි වතාව...

    ReplyDelete
  3. අර පෝස්ටරේනම් වටිනවා

    ReplyDelete
  4. මටත් හිට්ලර්ගෙ ආක්‍රමනවල ඔය වැරැද්ද අහුවෙලා තිබුන. ඇත්තටම මගේ අරගලය පොත ලියන කාලෙත් හිට්ලර් උක්‍රයීන භූමියෙ ජර්මන් ජනාවාස ගැන අදහස් පලකරල තිබුන. ඔහු කල මෝඩම තීරනයක් සෝවියට් දේශය ආක්‍රමනය කිරීම. ස්ටාලින් එක්ක සම්මුතියක් ඇතිකරගෙන තිබුන එකේ හිට්ලර් සියමුළු ශක්තිය බ්‍රිතාන්‍යයට එරෙහිව යෙදෙව්වනම් බ්‍රිතාන්‍ය ස්ථිරවම වැටෙනව. ලොව පුරාම තිබූ බ්‍රිතාන්‍ය යටත් විජිත ජර්මන් යටත් විජිත වෙනව.
    එක අවදියක පෘතුගාල යටත් විජිත ස්පාඤ්ඤ යටත් විජිත වුනා වගෙ.

    එහෙම වුනානම් ජර්මනියත් ජපානයත් එකට මුන ගැහෙනව. ස්ටාලින් එක්ක මිත්‍රත්වය උපක්‍රමශීලීව තියාගෙන යුරෝපයම ජර්මන් භූමියක් කරගත්තනම් රුසියාව කොටුවෙනව. මේ වෙනකොට මෙක්ස්කෝව ඇමරිකන් භූමිය බෙදාගන්න ජර්මනිය එක්ක නිල නොවන මට්ටමේ එකගතාවයක හිටියෙ. වැඩේ අලවේගෙන යනකොට මෙක්සිකෝව පසු බැස්ස.නැත්නම් ටෙක්සාස් කැලිෆෝනියා ප්‍රදේශ මෙක්සිකෝව ඈදා ගන්නව.

    දැන් දැවැන්ත ජර්මන් ජපන් යෝධයන් දෙදෙනෙකුට කොටුවුන සෝවියට් දේශයක් හා කැබලිවුන එක්සත් ජනපදයක් තියෙන්නෙ. හතර වටින් කොටුවුන සෝවියට් දේශය බිදවැටීම කාලය සමග වුන ප්‍රශ්නයක් පමනයි.

    එහෙම වුනානම් අපේ ආච්චිල සීයල අපේ අම්මල තාත්තල වඩාගෙන ගෑස් කාමරවලට ගිය හැටි ජර්මන් හෝ ජපන් ඉතිහාසඥයන් විසින් දවසක ලියා තබාවි.

    ReplyDelete
    Replies
    1. මොන සම්මුති තිබුනත් ස්‍ටාලින් බලන් හිටියේ යුද්දෙන් ජර්මනිය දුර්වල උනහම මුලු ‍යුරෝපයම එකපාර අල්ලගන්න. ඒ නිසා තමයි හිටලර්ට සෝවියට් දේශය එක්ක යුද්ද කරන්න සිද්ධ උනේ. එකම වරද තමයි, හිටලර් සෝවියට් දේශය අවතක්සේරැවට ගත්ත එක.

      Delete
  5. ජාර්මානු හමුදා බටහිරට නොහරවන්නට හේතුව හේතුව ඇමරිකන් බ්‍රිතාන්‍ය අදිරාජ්යාවාදීන් යටින් බොහොම සුහදව හිට්ලර් ඵක්ක සබදතාවයෙන් සිටීමයි.

    ඔවුන්ට තිබුනේ සෝවියට් දේශය ඵක්ක පොදු කොමියුනිස්ට් විරෝදයක්.

    ඔක පාවිච්චි කරලා ප්‍රබල නාසි හමුදාව සෝවියට් දේශය පත්තට හැරෙව්වේ රත්තන් කුඩු පට්ටම් කරන අදහසින්.

    අමරිකාව පවා පරමානු බෝම්බය සුදු යුරෝපීය ජර්මනියට නොදා ආසියාතික ජපානයට දම්මේ මේ නිසා තමයි. ජාර්මනියට ඔක කලින්ම දැම්මා නම් යුද්දය කලින්ම ඉවර කරගන්න පුලුවන් කම තිබුනත් සුදු හම තියන ජර්මනියට විරුද්දව මේ වගේ දරුනු දෙයක් කරනවාට වඩා ඵම තිරස්චීන උපක්‍රමය ආසියාතිකයන්ට ඵරෙහිව කරන්න සුද්දා කැමති උනා....................

    ReplyDelete
    Replies
    1. ඇත්ත. එතනදි සුදු වර්ගවාදය තිබ්බ තමයි. අද වුනත් රුසියාවට එරෙහිව පාවිච්චි කරනවට වඩා චීනය උතුරු කොරියාවට පරමානු බෝම්බ දාන්න සුද්ද කැමතියි.
      හිට්ලර් කිව්ව බටහිර අධිරාජ්‍යයේ මුදුන් මුල් දෙකක් ගැන. ඒ කතෝලික පල්ලිය හා බ්‍රිතාන්‍ය රජපවුලයි. බ්‍රිතාන්‍ය සහ වතිකානුව සම්පූර්නයෙන් විනාශවෙනවට හිට්ලර් කැමති වුනේ නෑ. වතිකානුව එක්ක නම් ප්‍රසිද්ධ ගිවිසුමකුත් තිබුනනෙ.
      ඒ විතරක් නෙමෙයි අධිරාජ්‍යවාදය ආරක්ෂා කරන්නට හිට්ලර් දිනනවනම් හොදයි කියපු අයත් බ්‍රිතාන්‍යයෙ එදා සිටිය.

      බටහිරට අවුල් ගියෙ හිට්ලර්ගෙ යුදෙව් සංහාර එක්කයි. යුදෙව්වන්ට විරුද්ධ නොඉවුනනම් නාසි විරෝධී බටහිර එකමුතුවක් එන්නෙත් නෑ. නාසි කියන වචනය යොදනවාන්ම් චර්චිල් ල රුස්වෙල්ට් ලත් නාසීන් තමයි

      Delete
  6. යුද්ධ කාලෙ ජපානයට යටත් වුනානම් අපේ රටේ අයට නියම වහල් සේවා අත්දැකීමක් ලබන්න තිබුනා

    ReplyDelete
  7. අගේ ඇති ලිපියක්.. ඒකෙන් තවත් කාරණා හොයායන්නට පොළඹවනවා.. ස්තුතියි

    ReplyDelete
  8. //ලෝ යුධ සමයේ ගිලුනු අහස්යාත්රාවක් ගොඩට අදින ලාංකික පිරිසක්//

    Should be a Catalina flying boat

    ReplyDelete
  9. ඉතාමත් හරවත් සටහනක්.නොදැන සිිටි කරැනු ගොඩක් දැන ගත්තා ස්තුතියි

    ReplyDelete